ඔහු අත්අඩංගුවට ගැනුණුදාම විදෙස් ඡායාරූප ශිල්පියෙකු මගෙන් විමසූයේ අන්තර් ජාතික වශයෙන් ආවරණය කිරීමට තරම් ප්‍රබල සමාජ විරෝධයක් මතුවීමට ඉඩක් ඇත්ද යනුයි.
මම එකවරම ‘නැහැ’ යැයි කීවෙමි. ඒ රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම එකවර පහත් වූ හෙණයක් නොව, දූෂිත දේශපාලනඥයින් මත පතිත වෙමින් ඇති මුරුගසන් වරුසාවක එක් ගිනි ගෙඩියක් පමණක් නිසාය. ලාල් කාන්ත කී ලෙස එය මැජික් එකක් නොවීය.

රනිල් වික්‍රමසිංහට විරුද්ධ ඝෝෂාකාරීම චෝදනා සපයා තිබුණේ පවිත්‍රාදේවී යනාදී රාජපක්ෂවාදීන්ය. බැදුම්කර වංචාවේ සහ බටලන්ද වධකඳවුරෙන් රනිල්ට වැටී තිබූ සමාජීය විලංගු ලංඩන් ගමනේ විලංගුවලට වඩා බලවත් විය.
රනිල් වික්‍රමසිංහගේ රෑපය දුර්වර්ණය. 2020 මැතිවරණයේදී ඔහුට ලැබුණේ එක් ජාතික ලැයිස්තු ආසනයකි. 2024 දී රාජපක්ෂවාදී ජන්ද මැෂීන් ගණනාවක් සමඟ ගෑස් ටැංකියෙන් ආ ඔහුට ලැබුනේ ජාතික ලැයිස්තු ආසන දෙකකි. තරමක හෝ ඡන්ද පදනමක් තිබූ රාජපක්ෂවාදීන් ඔහුගේ ලැයිස්තුවේ නොසිටින්නට ඔහු ලකුණු නොලබාම දැවී යන්නට තිබුණි.
දැන් ඔහුගේ මෙම දේශපාලනික අවාසනාව දෙගුන තෙගුන කරමින් ඔහුගේ කායික සිරුර ද බරපතල පසු බැසීමක සිටින බව ඔහුගේ නීතිවේදීන් මුළු ලොවටම කියා තිබේ.
කකුල කැඩුණූ අශ්වයකුට කිසිවකු ඔට්ටු තියන්නේ නැත. අඩුම වශයෙන් තුන්වැනියා වුවත් තුට්ටු දෙකක් හෝ දිනා ගත හැකි ‘වින් ඇන්ඩ් ප්ලේස්’ රේස් ඔට්ටුවකටවත් හදවතේ ධමනි තුනක්ම දුර්වල තුරඟකුගේ නම ‘ඉංගිරිසි පත්තරයක් කියවන අකුරු නොදත් මිනිසා”වත් ඇතුළත් කරන්නේ නැත.
ලෙස්ටර් පිගොට් (Lester Piggott)
මා බෝගහවත්ත හන්දියේ කරුණාසේන අයියාගේ කඩයේ රස්තියාදු ගහන අතර වාරයේ ඉඳිහිට දැමූ ‘වින් ඇන්ඩ් ප්ලේස්’ රේස් ඔට්ටුවකට එකල නම් දැරූ ජොකියා නොහොත් අශ්වාරෝහකයා වූ ලෙස්ටර් පිගොට් (Lester Piggott) අතහැරුණේම නැත. පිගොට්ගේ හොඳම තුරඟා වූයේ ට්‍රිපල් ක්‍රවුන්ය (Triple Crown). ඔහු, ‘නෙවර් සේ ඩයි’ සහ ‘රොබර්ටෝ’ වැනි තුරඟන් පිටද නැගී ජය කණුව පසු කළේය. තීරණාත්මක සාධකය තුරඟා නොව අශ්වාරෝහකයාය.
දැන් රනිල් වික්‍රමසිංහට දිවීමට සිදුව තිබෙන්නේ අශ්වාරෝහකයාද තුරඟාද චරිත දෙකම තමන්ට ආරූඩ කර ගනිමිනි. ඔහුට කියා බලගතු පක්ෂයක් හෝ සන්ධානයන් හෝ නැත. 2024 දී රනිල් වික්‍රමසිංහට ලැබුණු රාජපක්ෂවාදී ඡන්ද දැන් ආකර්ශනය වෙමින් භ්‍රමණය වන්නේ නාමල් රාජපක්ෂ වටාය. රනිල් හොරා කියූ රාජපක්ෂ කඳවුර ‘රනිල් දියව්’ කීමට පාරට බැස්සේ නැත.
රනිල් වික්‍රමසිංහ වැනි පාරාජිකා වූ දේශපාලන චරිතයකට සමාජ චලනයක් ඇති කළ නොහැකි බව පසුගිය දෙසතිය පෙන්වීය. ඇති වූයේ භීතියට පත්වූ විපක්ෂ දේශපාලන කණ්ඩායම් අතර චලනයක් පමණි.
පොදු වශයෙන් මෙරට දේශපාලන සමාජය තුළ ඇති වූයේ නීතිය කාටත් සාධාරණය යැයි තෘප්තියකි. ඒ රජුන් අසු පිටින් බිම හෙළීමට ජවිපෙ- ජාජබ ආණ්ඩුවට හැකි බව දැකීමෙනි.
සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් කොළඹට බැස්සේ, සජබ මංත්‍රී පිරිසක්, කලු ඇඳ ගත් ඊශ්වරයා, ඔහුගේ බිරිඳ සහ අනුන්ගේ සටන් පාඨ හොරුන් පිරිසකි.
මැස්සන් ඇහිරුණූ එම බලමුලු ගැන්වීම සමගි ජන බලවේගය තුළ කම්පන තරංග ඇති නොකළේ නම් එයට දිගටම අබසරණය.
සාමන්‍යයෙන් මෙවැනි අවස්ථාවන්හිදී පැත්තක් නොගැනීමට වග බලා ගන්නා චන්ද්‍රිකා කුමාරතුංගටද සිය සමාජ පංති මිතුරා වූ රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් යැයි කීමට බල කෙරුණි. ප්‍රභූ සමාජ ස්ථරය සොළවාලමින් තරමක භූමි කම්පාවක් හට ගත්තේය.
ධනපති එනම් ව්‍යාපාරික පංතිය අතර එවැනි තත්වයක් ඇති වූ බවට කිසිදු ප්‍රකාශනයක් නැත. මන්ද යත් එම සමාජ පංතිය ජාතික ජන බලවේග ආණ්ඩුව සමඟ සහජීවනයෙන් සිය කටයුතු කරගෙන යන නිසාය. ආණ්ඩුව ව්‍යාපාරික ප්‍රජාවෙහි බලකණු ස්වකීය ආයතනික ව්‍යුහයන්හි තීරණාත්මක ස්ථානයන්හි රඳවා ඇත්තේ තමන් මෙන් නොව පාඩු නොලබා ලාභ උපරිම කර ගැනීමට ඔවුන් දන්නා නිසාය. එය ප්‍රයෝජ්‍යතාවාදී (ප්‍රයෝජන නම් යෝග්‍ය වේ) පියවරකි.

මේ සියලු තත්වයන් ජාතික ජන බලවේගයට බඩ පිනුම් ගැසීමට වේදිකාවක් නිර්මානය කරන්නේ යයි සිතුව හොත් එය මරුවැළ පෑගීමක් වීමට ඉඩ තිබේ.කවරකුට වුවත් බිත්තියටම හේත්තු කළ විට ආපසු හැරී පහර දීම හෝ යටත්වීම හැර අන් විකල්පයක් නැත. යටත්වීමේ විකල්පය සාර්ථක වන්නේ තනි පක්ෂ දේශපාලනයක් සහ රාජ්‍ය පාලිත මාධ්‍ය පමණක් ඇති රටවලය. මන්ද යත් එවැනි රටවලදී රාජ්‍යයට අභියෝග කිරීමට ක්‍රමයක් නැති නිසාය.
බහු පක්ෂ දේශපාලනයක් සහ රජයට අයත් නැති සහ රාජ්‍යයට ගැති නොවන මාධ්‍ය ඇති රටවලදී දූෂිත යැයි චූදිත දේශපාලන බලවේගවලට පවා ආපසු හැරී සටන් කිරීමට අවකාශයක් තිබේ. සමාජ මාධ්‍ය විසින් ජනමනස සෑහෙන දුරකට හසුරුවන මෙම යුගයෙහි එය වඩා පුළුල් වෙයි.
සජිත් තුරඟා කොට රනිල් අශ්වාරෝහක කිරීමට කැස කැවීම් දක්නට ලැබෙන්නේ ද වර්ධනය වන භීතිය නිසාය. සජිත් තුරඟා වීමට සූදානම් නැත.
සිරගතවීමට බියැති භීතියේ සන්ධානයට දැන් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම කියා වැස්මක් දමා තිබේ. ඊට රාජපක්ෂවාදීහු ද දායක වෙති. දේශපාලන වර්ධනයන් පෙනෙනවාට වඩා සංකීර්ණය.

රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම විසින් විපක්ෂය එක් කළ ‘භීතියේ සන්ධානය’ ඉදිරියෙහි දී ශක්තිමක් වීමට ඉඩ තිබේ. ඒ පසුගිය ආණ්ඩු සමයන්හි දූෂණයෙන් බඩවඩා ගත් දේශපාලනඥයින් දුසිම් ගණනින් කල්දේරම් බත් කෑමට ද නියමිත නිසාය. හේතුව එයම නොවේ.
දූෂිතයින්ගේ නඩු විසඳීම කල් නොයවන විශේෂ අධිකරණ පද්ධතියක් පිහිටුවීමට අසමත් වුවහොත් බොහෝ එවැනි නඩු 2029 දක්වා රබර් වන්නට ඉඩ තිබේ. ‘අපේ ආණ්ඩුවකින් මේ පළිගැනීම් ආපසු හරවන බවට ‘භීතියේ සන්ධානය’ දැනටමත් දිව්රන්නේ ඒ නිසාය.
එවැනි මැතිවරණයක දී රාජපක්ෂවාදී කඳවුර, සජිත්-රනිල්-දුමින්ද - දයාසිරි - ගනේෂන්- හකීම්- දිගම්බරම් සන්ධානය සමඟ එක්ව ගමන් නොකළද සාමූහිකව පහර දීමට ඉඩ තිබේ. පුරෝකථනය කිරීමට දුෂ්කර නමුත් ජවිපෙ - ජාජබ විරෝධී බලවේග හවුල් ආණ්ඩු දේශපාලනයකට ඇදී යාමටද ඉඩ තිබේ. තවමත් එවැනි හවුලක් නොපෙනේ.
මෙම දේශපාලන වර්ධනයන්හි ජවිපෙ - ජාජබ ආණ්ඩුවට නොසළකා සිටිය නොහැකි භයානක අභ්‍යන්තර සාධකයක් තිබේ. එනම් බලය විසින් දූෂණය ඇති කිරීමය. දූෂිතයින් උපදින්නේ නැත. ඔව්හු දෙන ලද තත්ව සහ අවස්ථා මගින් නිර්මාණය වෙති. මෙය මාක්ස්වාදයේ විශ්ව සත්‍යයන්ට වඩා බලගතුය.

මා නමින් සඳහන් කිරීමට අකමැති වර්තමානයෙහි පිළිගත හැකි දූෂිත චෝදනාවන්ට ලක්ව ඇති දේශපාලනඥයින් ගණනාවක්ම ඔවුන් නොඉඳුල් චරිත ලෙස දේශපාලනයට පැමිණි යුගයේ මම ඇසුරු කළෙමි. ඒ අතර ජවිපෙ සිටි ප්‍රධානීන්ද වේ. ජවිපෙටම අනුව ඔවුන්ගේ හිටපු ප්‍රචාරක ලේකම් වූ රිදී සීනුව, ජනපති අපේක්ෂකයා සහ තවත් අය දැන් දූෂිතය. ඔවුන් දූෂණය කරා ඇද ගත්තේ බලය විසිනි. දූෂණය වනාහි අසුවුවහොත් බේරී යළි වෙරළට පිහිනා ඒම දුෂ්කර දියඹට ඇදෙන දිය සුළියකි.
දැනටමත් ජවිපෙ- ජාජබ ආණ්ඩුවේ මැති ඇමතිවරු අඩුම වශයෙන් හතර දෙනෙකුද පළාත් ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකුද දූෂණය සම්බන්ධයෙන් චෝදනා ලබා තිබේ. ජනපති අනුර කුමාරද ගජ මිතුරු සංග්‍රහය වර්ධනය කරයි. වෘත්තීය සමිති සමඟ ආණ්ඩුව සටනකය. මගී බස්, වන අලි සහ රිලවුන් සමඟ සටනින් දැනට ආණ්ඩුව පරාදය. ත්‍රී රෝද රථ රියදුරන් දැන් ‘ අපි අනුරට’ කියනු වෙනුවට අසන්නේ ‘මොකද වෙන්නේ’ කියාය.
ජාජබ- ජවිපෙ ජනප්‍රියත්වයේ හිණි පෙත්ත 2024 මහා මැතිවරණයයි. දැන් එයට ඡන්ද වැඩි වන්නේ නැත.
![]()
ස්වකීය දූෂණ විරෝධී දේශපාලනය ජයග්‍රහණයක් බවට පෙරළා ගැනීමට ආණ්ඩුවට ඇති මාවත නීතියේ පාලනයයි. රනිල්ට පමණක් නොව සැමට නීතිය ක්‍රියාත්මක කිරීමයි. ජනපති කාර්යාලයේ මාධ්‍ය අංශයේ හෝ ජනපති දේශීය සංචාරයන්හි තොරතුරු සඟවා ගෙන සිටීම නීතියේ පාලනය නොවේ.
ආණ්ඩුවට විශාලම අභියෝගය ඇත්තේ ස්වකීය ශ්‍රේණීන් තුළිනි. එනම් පාරදෘශ්‍ය සහ නීතියේ පාලනයකට බාධා කිරීම තුළය. සංකේතාත්මක අර්ථයෙන් ‘රනිල් අභියෝගය’ බවට පත්වනු ඇත්තේ මෙම සාධකයයි. ‘භීතියේ සන්ධානය’ට ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමේ සටන් පාඨය ලැබෙන්නේ මෙම අර්ථයෙනි.
ගැටුම් කළමනාකරණය සහ හානි පාලනය කර ගැනීම පැලවත්තේ හයවැනි පන්තිය ලෙස පැවැත්වීමට කාලය පැමිණ තිබේ.
(සටහන | සුනන්ද දේශප්‍රිය)
Journalist, Writer and Human Rights Activist
sunandadeshapriya@gmail.com
Twitter: @sunandadesh
Editor: http://srilankabrief.org
(උපුටා ගැනීම - srilankabrief.org)




