තුවාල ලැබූවන් 250 ට ආසන්නය. ඉන් 16 දෙනෙකු පොලිස් නිලධාරීන් ය. ප්‍රශ්නය වන්නේ මේ සංඛ්‍යා කිසිවක් නිල සංඛ්‍යා නොවීමය. මේවා මාධ්‍යවේදීන් විසින් ලබා දෙන, මහා ගාලගෝට්ටියක් අස්සේ ඔවුන් එකතු කර ගන්නා සංඛ්‍යා ය.
ඇමෙරිකාව, ප්‍රංශය, එංගලන්තය හා ජපානය පෙරේදා සඳුදා දිනයේම ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින්, සාමකාමීව එක්රැස්වීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ ජාත්‍යන්තර අයිතීන් සුරැකීම වෙනුවෙන් ඔවුන් නොපැකිලිව පෙනී සිටින බවත් තව දුරටත් ගැටුම් ව්‍යාප්තවීම වළකා ලමින් මෙම අයිතිවාසිකම් තහවුරු කර ආරක්ෂා කිරීමට සියලු පාර්ශව උපරිම සංයමයක් ඇතිව මැදිහත් විය යුතු බවත් ප්‍රකාශ කර තිබිණ.
සඳුදා දින උදයේ නේපාල "ජෙන්-සී" (Gen-Z) සන්නාහ නාමය යටතේ ටික්-ටොක් හරහා "හැෂ්ටැග් නෙපොකිඩ්ස්" (#NepoKids) හවුල්ව කත්මණ්ඩු නගරයට කැඳවනු ලැබූ සාමකාමී විරෝධයට අනපේක්ෂිත සෙනඟක් එකතු කෙරුවකි. එහෙත් ගාලුමුවදොර පිටියේ මෙන් කත්මණ්ඩු වලද එය මෙහෙයවීමට, එයට මාර්ගෝපදේශ ලබා දීමට පිළිගත් නායකත්වයක් නොවුනි.
එදින උදයේ මාධ්‍යවේදිනී ස්මිතා ෂර්මාගේ යූටියුබ් නාලිකාවට හවුල් කරගනු ලැබූ ජාත්‍යන්තර කීර්තියක් හා ගරුත්වයක් ඇති නේපාලයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකුවන කනක් මනි ඩික්සිට් හා ජෙන්-සී සාමාජිකාවක් වන තරුණ මාධ්‍යවේදිනී ඉෂිකා තාපා කියූ පරිදි එය පාසල් ළමුන්ගේ හා විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබූ යෞවනයින්ගේ විරෝධයක් වූ අතර, පළමු පැය දෙක තුනක කාලයේ කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවකට එහි නැඹුරුවක් නොවුනකි.
එහෙත් එය විරෝධයෙන් ඉවත්ව එන විට, පාර්ලිමේන්තුව දෙසට පෙළපාලි යාමත් සමග පොලීසිය සමග ගැටුමක් ඇතිව පොලීසිය වෙඩි තබා ඇතැයි ඉෂිකා පැවසුවාය. එය පිටස්තර කණ්ඩායම් විරෝධයට ඇතුළුවීමේ ප්‍රතිපලයක් යැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ඩික්සිට් කීවේ, ඔවුන්ට ප්‍රචණ්ඩ ලෙස හැසිරීමට ඇති අවකාශය, පැහැදිලි නායකත්වයක් හා සැළසුමක් නොමැතිව සමාජ සන්නිවේදන ජාල මගින් කැඳවන විරෝධතාවල ඇති බරපතල ගැටළුවක් බව අවධාරණය කරමින්ය.
මසකට ආසන්න කාලයක් ඉතා සාමකාමී සංවර විරෝධයක් වූ "ගෝටා ගෝ හෝම්" විරෝධය 2022 මැයි 08 වන දින බරපතල ප්‍රචණ්ඩ විරෝධයකට පරිවර්තනය වූයේද නොදන්නා ප්‍රචණ්ඩ කණ්ඩායම් ගාලුමුවදොර පිටියට ඇතුළුව සිටියෙනි.
මේ රටවල් තුනම චීන නැඹුරුවක් තිබූ දකුණු ආසියානු රටවල් ...
බංගලාදේශයේද පසුගිය අවුරුද්දේ ජුලි ආරම්භයේ ගොනු වූ ශිෂ්‍ය විරෝධය එවැනි ප්‍රචණ්ඩත්වයකට ගොදුරු වූවකි. සිවිල් පරිපාලනයෙහි පත්වීම් සළාක ක්‍රමයට වෙන් කිරීමේදී බරපතල අසාධාරණ සිදු වන්නේ යැයි, සළාක ක්‍රමය අහෝසි කරන මෙන් ඉල්ලමින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් කළ උද්ඝෝෂණය සඳහා ජූලි අවසානය වනවිට සාධාරණ ප්‍රතිචාරයක් තිබුණි. එහෙත් එය අවසන් වන්නට කලියෙන් වෙනත් කණ්ඩායම් විසින් එය ශිෂ්‍ය විරෝධයකට එහා ගිය ප්‍රචණ්ඩ ආණ්ඩු විරෝධයක් බවට පත් කරනු ලැබිණ. ඒ විරෝධයෙහි 300 ට වැඩි පිරිසක් ඝාතනය විය. අගමැතිනි ෂෙයික් හසිනාට රටින් බැහැර වන්නට සිදුවූවාය. මේවායේ අනෙක් සමාන්තරය වන්නේ මේ රටවල් තුනම චීන නැඹුරුවක් තිබූ දකුණු ආසියානු රටවල් වීම ය.
නේපාලයේද ඒ ප්‍රචණ්ඩත්වය සමග මන්ත්‍රීවරුන්ගේ හා ප්‍රධාන දේශපාලකයින්ගේ නිවෙස් ගණනාවක් ගිණි තබා ඇත. හිටපු අගමැති ජලනාත් ඛනායි ගේ බිරිඳ රාජ්‍යලක්ෂ්මි චිත්‍රකාර් ගිණි තබා ඝාතනය කර නිවසද ගිණි තබා ඇත. බැංකු සහ සුප මාකට් කිහිපයක්ම මංකොල්ල කා ඇත. අගමැති ෂර්මා ඔලී ඇතුළු ඇමතිවරුන් ගණනාවක් ඉල්ලා අස්වී ඇත. මන්ත්‍රීවරුන් වැඩිදෙනා ආරක්ෂාව සඳහා සැඟව ඇත. පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ගිණි තැබුවාට අමතරව, පාර්ලිමේන්තුව ලෙස රැස්වීමට මන්ත්‍රීවරුන් 601 න් අති බහුතරය සොයා ගැනීමට නොහැකි යැයි කත්මණ්ඩු ආරංචි මාර්ග සඳහන් කරයි. පාර්ලිමේන්තුව කැඳවන්නේ කවුරුන්ද යන්නත් දැන් ප්‍රශ්නයක් යැයි කියති.
ඒ අතරතුර ඊයේ සැප්තැම්බර 09 වන දින උදය වනවිට හමුදා ප්‍රධානී ජනරාල් අශෝක් රාජ් සිග්ඩෙල් විසින් කත්මණ්ඩු පාලනය සියතට ගෙන තිබුණි. ඔහු විසින් කරනු ලැබූ නිල හමුදා ප්‍රකාශයට අනුව සියලු විරෝධතාකරුවන් කත්මණ්ඩු නගරයෙන් වහා පිට විය යුතු විය. එසේ නොවුනහොත් කත්මණ්ඩු නගරය යථා තත්ත්වයට පත් කිරීමට සන්නද්ධ හමුදාව යොදවන බවත් එහි සඳහන්ව තිබිණ. රජෙක්, ආණ්ඩුවක්, පොලීසියක්, නීතියක් නැති රටක සන්නද්ධ හමුදාව "යථා තත්ත්වය" යැයි කියන්නේ සියල්ලන් නිවෙස් වලට වී දොරගුළු ලා ගෙන සිටීමට සූදානම් විය යුතු අතර, එසේ නොවන අයගේ ඉරණමට හමුදාව වග නොකියන්නේ යැයි විය යුතු ය. ඒ සමග නේපාලයේ ආර්ථික ක්‍රියාවලියද සහමුලින් ඇණ හිට ඇත.
අද බදාදා උදය වන විට කත්මණ්ඩු සන්සුන්ව තිබිණ. හමුදා භටයින් නගර පාලනය ඔවුන්ගේ අතට ගෙන හෙට බ්‍රහස්පතින්දා දවසටත් ඇඳිරි නීතිය දිගුකර තිබිණ. වසා දැමූ ත්‍රිබුවාන් ගුවන් තොටුපල අද බදාදා නැවත විවෘත කරන බවද කියා තිබිණ. හමුදාව සිය ආධිපත්‍ය තහවුරු කරගත් අතර, නේපාල ජෙන්-සී ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කිසිම අයුරකින් ප්‍රචණ්ඩ විරෝධයකට මුල පිරුවේ නැති බවත් ඔවුන්ගේ විරෝධය කිසියම් කණ්ඩායමක් විසින් පිල්ලි ගසා ඇති බවත් ප්‍රචණ්ඩත්වය ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයක් බවත් කියා තිබිණ.
එබැවින් ඉදිරි දිනවල කිසියම් විරෝධයක් වුවහොත් එය නේපාල ජෙන්-සී විරෝධයක් නොවන බවත් එනිසා හමුදාවට අවශ්‍ය ම ආකාරයෙන් එවැනි විරෝධ මැඩ පැවැත්වීමට ඔවුන් විරුද්ධ නොවන බවත් කියා තිබිණ. ඔවුන් අවසන් වශයෙන් කියා තිබුණේ ඔවුන්ගේ එකම ප්‍රධාන ඉල්ලීම වන්නේ "ජනතාව වෙනුවෙන් වැඩ කරන ස්ථාවර පාරදෘශ්‍ය ආණ්ඩුවක් මිස දූෂිත පුද්ගලයින් හෝ දේශපාලන ප්රභූන් වෙනුවෙන් වන ආණ්ඩුවක් නොවේ. සුදුසුකම් සහිත දූෂණයෙන් තොර නායකයින්ගේ යහපත් ආණ්ඩුවකි" යන්න ය.
"ජෙන්-සී" (Gen-Z) යනු කුමක්ද?
"ජෙන්-සී" (ඇමෙරිකානු උච්චාරණයකි) යනු ආසන්න දසකයක හමාරක පරම්පරාවන් හැඳින්වීමකි. එයට කිසිදු නිල තත්ත්වයක් නැත. ඇත්තේ භාවිතයක් පමණි. එහි ආරම්භය ඇත්තේ පරම්පරා සඳහා ඉංග්‍රීසි අක්ෂරයක් යෙදීම ඇමෙරිකානුවන් ඇබ්බැහි කර ගැනීමෙහි ය. 60 දසකයේ දෙවන භාගයේ සිට 80 දසකයේ ආරම්භය දක්වා කාලයේ උපත ලද පරම්පරා හැඳින්වීමට ඔවුන් Gen-X යොදා ගත්හ. ඒ පරම්පරා, ඉන් පසු පරම්පරා මෙන් නව තාක්ෂණය හා ඇසුරක් නොවූයෙනි.
ඉන් පසු පරම්පරා මුලදී හැඳින් වුනේ "සහශ්‍රකයින්" (Millennials) ලෙසින් ය. පසුව 80 දසකයේ ආරම්භයේ සිට 90 දසකයේ පළමු භාගය අවසන් වන තෙක් (1980 – 1995) කාලයේ දරුවන් Gen-Y ලෙස හඳුන්වන්නට විය. ඔවුන් නව තාක්ෂණය හා ඇසුරක් හදා ගනු ලැබුවද එකල තාක්ෂණයෙන් දුර කතනය, කේබල් රූපවාහිනිය, සම්මත පරිඝණක භාවිතය ඉවත්කර තිබුණේ නැත. එකල තාක්ෂණික නිෂ්පාදන ඉලක්ක කෙරුණේද 90 දසකයේ පළමු භාගය වනවිට සමාජයට පැමිණි නව තරුණන් ඉලක්ක කර ගනිමින් ය. ඔවුහු අර්ධ තාක්ෂණික නැතිනම් වර්ධනය වන්නාවූ තාක්ෂණය භාවිතයෙහි පුරෝගමීන් වූහ.
නේපාලයේ විනාශය සමග බහුලව කතා බහට ලක්වන "ජෙන්-සී" (Gen-Z) පරම්පරා, අන්තර්ජාල සබඳතා සමග සහමුලින් තාක්ෂණික ජීවිතයකට ඇබ්බැහි වූ පරම්පාරවන් ය. 90 දසකයෙහි දෙවන භාගයේ සිට නව සහශ්‍රයේ පළමු දසකය අවසන් වන තෙක් කාලයේ ඉපිද හැදී වැඩුණු පරම්පරා "ජෙන්-සී" ලෙස හදුන්වනු ලැබේ. ඔවුන් ඔවුන්ගේ සියලු දෛනික කටයුතු කර ගන්නේ සුහුරු (Smart) ජංගම දුර කතන මගින් ය. ඔවුන්ගේ ඉගෙනීම් කටයුතු වෙනුවෙන්ද, තොරතුරු ප්‍රවෘත්ති සදහාද, ක්‍රීඩා හා හිත මිතුරුකම් සඳහාද අවශ්‍ය සන්නිවේදන සඳහාද ඔවුහු අන්තර්ජාලය සමග සුහුරු ජංගම දුර කතන භාවිතයෙහි යැපෙන්නාහ.
"ජෙන්-සී" (Gen-Z) විරෝධයෙන් පසු කතාව
නේපාලයේ දූෂණය ඔවුන්ගේ රාජාණ්ඩු සමයේ සිට පිලිකාවක් මෙන් රාජ්‍ය පාලනය පුරා පැතිර තිබුණකි. විශේෂයෙන් 1951 න් පසු රටේ ආර්ථිකය වෙළද ආර්ථිකයක් බවට පරිවර්තනය වන්නට වූයෙනි. 1990 දී නේපාලය ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් විය. ඒ සමග සිවිල් පාලනයේ අකාර්යක්ෂමතා හා දූෂණ හමුවේ මාඕවාදී සන්නද්ධ කැරැල්ලක් 1996 සිට 2006 වන තුරු පැවතින. ඉන්පසුව මැතිවරණ සමග ආණ්ඩු මාරු සිදු වුවද දූෂණය හා රාජ්‍ය පාලනයේ අකාර්යක්ෂමතාවල අඩුවක් නොවුනි. මේ කාලයෙහි විවෘත වෙළදපල ආර්ථිකයෙහි වාසි ලැබූ වත්පොහොසත් ප්‍රභූ දේශපාලන පැලැන්තියක් හැදුණි. ආදායම් හා වත්කම් බෙදී යාමේ පරතරය සීඝ්‍රයෙන් වර්ධනය විය. වයස අවුරුදු 15 ත් 24 ත් අතර පිරිසෙහි 2023 වන විට විරැකියාව සියයට 22.7 ක් විය. අනෙක් අතට මේ වයස් සීමාවෙහි සාක්ෂරතාව 1995/96 වසරේ දී සියයට 35.6 ක් වූ නමුත් 2022/23 වසරේදී එය සියයට 72.5 ක් දක්වා ඉහළ ගොස් තිබිණ.
අප "ජෙන්-සී" භාෂාවෙන් කතා කළහොත් එහි සමාජ ආර්ථික බලපෑම වන්නේ වසර 2000 ත් 2010 ත් අතර පරම්පරාවන් ලෙස සැළකෙන "ජෙන්-සී" පිරිස් අතර විරැකියාව ඉහළ ගොස් ඇත. ඒ සමග ඔවුන්ගේ සාක්ෂරතාවද ඉහළ ගොස් ඇත. එබැවින් දැන් නේපාලයේ ජෙන්-සී පිරිස විරැකියාව නිසා දැඩි ආර්ථික පීඩනයකට හසුව ඉන්නා සහ ඉහළ සාක්ෂරතාවක් නිසා වැඩි සමාජ අවබෝධයක් ඇති පිරිසක් වන්නේ ය. එය ඕනෑම ආණ්ඩුවකට මුහුණ දීමට සිදුවන අභියෝගාත්මක සමාජ වගකීමකි. දූෂිත අකාර්යක්ෂම ආණ්ඩු පාලනයකට, යන එන මං අහුරණ ගැටළුවකි.
ප්‍රභූ දේශපාලන පැලැන්තියේ තරුණ දූ දරුවන්ගේ සුඛෝපභෝගී වරප්‍රසාදිත ජීවිතය හා සාමාන්‍ය තරුණ ජීවිතයේ වෙනස, පරතරය ඉතා ආකර්ශනීය, උත්ප්‍රාසයෙන් යුත් නිර්මාණ ලෙස සමාජ මාධ්‍ය ජාලවල "හැෂ්ටැග් නෙපොකිඩ්ස්" (#NepoKids) ලෙස බෙදා හැරුණි. පසුගිය වසරේ සිට ඉන්ස්ටග්රම්, ෆේස්බුක්, වට්ස්ඇප්, ටික් ටොක්, යූටියුබ් වැනි අන්තර්ජාල මෙවලම් වැඩි වැඩියෙන් භාවිත කෙරුණේ "හැෂ්ටැග් නෙපොකිඩ්ස්" නිර්මාණ බෙදා හදා ගැනීම වෙනුවෙනි.

එය අගමැති ෂර්මා ඔලීගේ ආණ්ඩුවට දරා ගැනීමට අපහසු ප්‍රචාරාත්මක දේශපාලන ව්‍යාපෘතියක් විය. ඒ සමග ඉකුත් සැප්තැම්බර 04 වන බ්‍රහස්පතින්දා ආණ්ඩුව ඉන්ස්ටග්‍රම්, ෆේස්බුක්, වට්ස්ඇප්, යූටියුබ් වැනි අන්තර්ජාල සමාජ මාධ්‍ය ජාල මෙවලම් වසා දැම්මේ ය. හේතු ලෙස දක්වනු ලැබුණේ එම සමාගම් ආණ්ඩුවේ නියමය අනුව නියමිත ලෙස ලියාපදිංචි නොවුනා යන්න ය.
"හැෂ්ටැග් නෙපොකිඩ්ස්" නම ලබා තිබූ ප්‍රසිද්ධිය සමග නේපාල "ජෙන්-සී" පිරිස් ඉතිරිව තිබූ අන්තර්ජාල මෙවලම් හරහා ඉකුත් සිකුරාදා සිට සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කරන මෙන් ඉල්ලා උද්ඝෝෂණයක් දියත් කළේ ය. එයට ඉරිදා වනවිට දූෂණ විරෝධය එකතුකර තිබිණ. සඳුදා උදය කත්මණ්ඩු නගරයට "ජෙන්-සී" කැදවීමට අනුව එකතු වූ විශාල තරුණ පිරිසෙහි ප්‍රධාන ඉල්ලීම් දෙක වූයේ සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කිරීම සහ දූෂණය පිටු දැකීම ය.
"ජෙන්-සී" යනු නූතන තරුණ පරපුර හැදින්වීමේ භාවිත නාමයක් මිස කිසිදු ආකාරයක සංවිධානයක් නොවේ. එනිසා එහි සාමාජිකත්වයක්ද නැත. එහි පිළිගත් නිශ්චිත මතවාදයක් නඩත්තු කර ගැනීමේ හැකියාවක්ද නැත. එබැවින් ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකු වන කනක් මනි ඩික්සිට් කියූ අයුරු නිශ්චිත මතවාදයක් රඳවා ගත නොහැකි, සාමාජිකත්වයක් සංවිධානයක් නොමැති අන්තර් ජාල මගින් මුදා හැරෙන විරෝධතා ව්‍යාපාර සමග ඒ සන්නාහ නාමයෙන්ම වෙනත් අයටද ඇතුළු වන්නට ඇති ඉඩ ප්‍රස්ථා අති බරපතල ප්‍රතිපල සමගින් අවසන් විය හැක.
හෙට බ්‍රහස්පතින්දා සමග හමුදාව හදා දෙන යථා තත්ත්වය සමග නේපාලයට අවදි වන්නට සිදු වන්නේ, සිටියාටත් වඩා බරපතල රාජ්‍යය පාලන අර්බුදයක් සමග ය. නේපාල "ජෙන්-සී" පිරිස් අතර ඇත්තේද බංගලාදේශ තරුණයින් අතර ඇත්තෙද වෙනසක් ඉල්ලා සිටින අපගේ තරුණ පිරිස් අතර වාගේම වෙනස සඳහා අවශ්‍ය දුර දිග යන රාජ්‍ය ප්‍රතිසංස්කරණයන් සමග වන ජාතික සංවර්ධන සැළසුමක් පිළිබද අදහසක් නොමැතිවීමේ අර්බුදයම වන්නේ ය. එවැනි සමාජ කතිකාවක් වෙනුවෙන් වාඩි වන්නට සූදානම් නොවන, වෙනසක් සඳහා ඇති නොමනා හදිස්සියකි.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 සැප්තැම්බර 10 වන දින




