දෛවයේ සරදම
මේ නේපාල අර්බුදය විසින් ලක්වැසියන්ට තද ටොක්කක් ඇන ඉතිහාසයේ නැවත මතක් කර දෙනු ලැබීය. රනිල් හිටියේ නැතිනම් නේපාලයේ ඒ පාර්ලිමේන්තුව, ශ්‍රේෂ්ඨාධිකරණය, තවත් රාජ්‍ය ගොඩනැගිලි ගිනි ගත් අයුරින් ඊටත් වැඩියෙන් ජීවිත දේපොළ හානියක් සිදුවිය හැකි බව ඇස් පනා පිට පෙන්නුම් කරමින් සිටී.
මේ කාලයේ සිදුවෙමින් පවතින මේ අර්බුදයත් සමග සමාජ මාධ්‍යයේ මෙන්ම ගමේ ගොඩේ කඩ පොළේ නැවතත් රනිල් ගැන ඇගැයුම් ගායනා මතුවෙන්නට පටන්ගෙන ඇත. මරු කටේ තිබූ රටක් බාර ගෙන "සීයා" කළ පෙළහර පිළිබඳව නැවතත් මේ ඇගැයුම් ගායනා අසන්නට ලැබෙන්නේ ලන්ඩන් විශ්ව විද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයකට ගියේයැයි චෝදනා ගොනු කොට තිබෙන පසුබිමක වීම දෛවයේ තවත් සරදමකි.
මට නේපාලයේ සිරගෙදරටත් යන්න ද කියන්නෙ...?
ලංකාවේ යුද ගිනි කන්ද බාර ගත් රනිල් කෙටි කාලයක් ඇතුළත ආර්ථිකය හරි පීල්ලට දමා ගත්තේය. මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර නව දූෂණ විරෝධී පනත සහ ආණ්ඩුවේ දුර්වලතා විනිශ්චය කිරීමේ තත්ත්වයක් නැති ඇති කර ගත්තේ ය.
රනිල් තනි මොළයෙන් සෙසු පාර්ශ්වකරුවන්ගේ සහාය ගෙන අඩිතාලම දැමූ ඒ යහපත් ආණ්ඩුකරණ මූලිකංග වත්මන් ආණ්ඩුවට සහ මුලින්ම අමතක වී ගොස් ඇති බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.
"ඔබතුමා නේපාලයේ ජනාධිපති කරන්න යෝජනා ඇවිත් තියෙනවා."
සමාජ මාධ්‍ය පෝස්ටුවක්
රුවන් කීවේ සමාජ මාධ්‍යයේ පැතිරෙමින් පවතින මතවාදයක් රනිල්ට පෙන්වා දෙමිනි.
" මම ලංකාවේ ජනාධිපති වෙලා අර්බුදයෙන් මිනිස්සු බේරගෙන අන්තිමට ලංකාවෙ හිරේට ගියා. නේපාලෙ ජනාධිපති වෙලා එහේ හිරේට යන්න ද කියන්නේ?"
රනිල්ගේ කතාවට එහි සිටි සියල්ලන්ටම සිනා පහල වූයේ නිරායාසයෙනි.
ලංකාවේ අරගල සමයේ ලාල්කාන්ත ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ කාඩර්වරුන් පාර්ලිමේන්තුව වැටලීමට එන්නැයි ආරාධනා කරන වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පැවතිණි.
වළක්වා ගත හැකිව තිබූ ව්‍යසනය
රනිල් ඒ මොහොතේ දැඩි තීරණයක් නොගත්තා නම් කොතරම් හානියකින් ඒ ක්‍රියාව නතර වේදැයි කිව නොහැකි ය.
"නේපාලයේ අරගලකරුවන්ගේ වීඩියෝ දර්ශන මම නිරීක්‍ෂණය කළා. ඔවුන් අරගලකරුවන්ට පාර්ලිමේන්තුව ළඟට ම එන්න ඉඩ දුන්නා. ආණ්ඩුවට තිබුණා ඔවුන් ඈතින් නවත්වන්න. ඇඳිරි නීතිය පනවන්න තිබුණා. විශාල වශයෙන් සෙනඟ රොක් වෙලා තිබුණෙ එක තැනක විතරයි. වෙන කොහෙවත් එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. පැත්තෙන් වට කරලා යම් ක්‍රියාමාර්ගයක් ගත්තනම් ඔය දේ පාලනය කරන්න තිබුණා."
රනිල් පළපුරුද්ද සහ කළ පුරුද්දෙන් අර්බුදය ගැන දකිමින් එසේ කීවේ දැන් ලංකාවේ සමාජ මාධ්‍යයේ කතා කෙරෙන විදියට ඇත්තෙන් ම නේපාලයේ අර්බුදය මඩින්නටත් සුදුස්සා රනිල් බව පෙන්වා දෙමිනි.
නේපාල අර්බුදය හොඳින් පිරීක්ෂණය කරන විට එහි බලය තහවුරු කර ගත යුතු මොහොත ගැන රනිල්ට හොඳ කියවීමක් තිබෙන බව දේශපාලන කණ්ඩායමටත් අවබෝධ විය.
ලංකාව ද හරි මොහොතේ බාර ගෙන ක්‍රියා කළේ නැතිනම් මේ සන්තෑසියම මීටත් වඩා දරුණු නිසා විඳින්නට සිදුවන බව දේශපාලන කණ්ඩායමේ ඒකමතික මතය විය.
සංවිධාන ගත අරගලයක්
" ලංකාවේ අරගලේදී එකතු වුණේ එක කණ්ඩායමක් විතරයි. මධ්‍යම පන්තියේ කණ්ඩායමක්. ගම්වල ඒ තරම් දෙයක් සිදුවුණේ නැහැ. නේපාලයට මුලින්ම කරන්න තිබුනේ සමාජ මාධ්‍ය වේදිකා තහනම් කරන එක නෙමෙයි. සීමා දාන එක. නේපාලේ අරගලකරුවන්ගේ ඇඳුම් දිහා මම බැලුවා. ඊට පස්සේ පාවහන් දිහා බැලුවා. මේවා එක්තරා ආකාරයක යම් මොඩ් ගතියක් තිබුණා. අනෙක ඒ ඔක්කොම හොඳට ඇඳගෙන හිටියා. ගැහැනු අය හිටියෙත් නෑ. සාමාන්‍යයෙන් සමාජ අරගලයක දි ගැහැනුත් ඉන්න ඕන නේ. අපේ අරගලයේ නම් ගැහැනුත් හිටියා. ඒ කියන්නේ මේක සංවිධාන ගත වෙච්ච කණ්ඩායමක්"
රනිල් නේපාලයේ අරගලය ගැන යම් මිනිස් විශ්ලේෂණාත්මක දැක්මකින් කරුණු ඉදිරිපත් කළේ එසේය.
ජී. එල්. නේපාලයට ගිහින්...
නේපාල අරගල තිබෙන සමයේ ජී. එල්. ද එහි ගොස් සිටියේය. රනිල් අමතමින් ජී. එල්. පවසා ඇත්තේ තමන් සිටින පෙදෙස්වල එවැනි කලබලකාරී ස්වරූපයක් නැති බවයි.
"ඒ කියන්නේ කත්මණ්ඩුවලට විතරයි මේ අරගලය සීමා වෙලා තිබුණේ. ඇත්තටම සර් මැදිහත් වෙලා ලංකාවේ සමථයකට පත් කළේ මීට වැඩිය ඔඩුදුවපු පිළිකාවක් වගේ අර්බුදයක්." වජිර කීවේය.
ලංකාවේ අරගලකරුවන් කෙමෙන් තහවුරු කර ගනිමින් තිබූ බලය අල්ලා ගත් රනිල් ඉන් පසුව යම් මානසික මෙහෙයුමක් ද දියත් කළේ ය. ගාලු මුවදොර පිටියට පහතින් හෙළිකොප්ටර් ගමන් කිරීම එයින් එක් උපක්‍රමයක් ලෙස හැඳින්විය හැකිය. එයින් අරගලකරුවෝ බිය වූහ. ඔය වගේ දහසකුත් එකක් සූක්ෂම උපක්‍රම හමුවේ තමන්ටත් නොදැනෙන ලෙස අරගලකරුවන්ට පසු බසින්නට සිදුවිය. අන්තිමට වුනේ මොකක්දැයි අරගලකරුවන්ට වත් අවබෝධ කර ගැනීමට නොහැකි වන අයුරින් රාජ්‍ය යාන්ත්‍රණය සාමාන්‍යකරණයට ගෙන එන්නට රනිල් සමත් විය.
හිමිකම් කපන පනත
සමාජය විසින් රනිල්ගේ මග යළි යළිත් ඉස්මතු කරමින් පෙන්වන ලද අවස්ථාවක ම හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් කපන පනත සම්මත කිරීම දෛවෝපගත සිදුවීමක් විය.
රනිල් ඒ ගැන කිව්වේ වචන දෙක තුනක් පමණි.
" මම කවදත් ව්‍යවස්ථාවට පිටින් වැඩ කරලා නෑ. කවද හරි මිනිස්සුන්ට සත්‍ය තේරේවි. ඒ වගේම මේ රටේ හිටපු හැම ජනාධිපති කෙනෙක්ම රටේ ප්‍රගමනයට නොයෙක් අයුරින් දායක වුණා. ඔවුන්ට ඊට හිමි ගෞරවය තිබිය යුතුයි"
රනිල් ඒ ගැන කීවේ එපමණකි.
නේපාල අර්බුදය රනිල් ගේ ඇසින්

ලංකාවට බොහෝ සෙයින් සමාන නේපාල අර්බුදය ගැන නිවේදනයක් සකසන ලෙස රනිල් හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක, හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න සහ විදේශ කටයුතු අධ්‍යක්ෂ දිනුක් කොළඹගේට උපදෙස් දුන්නේ බ්‍රහස්පතින්දා උදේය. ඒ උපදෙස් අනුව දවල් වෙන විට නිවේදනය සකස් කෙරිණි.
"නේපාලයේ කත්මන්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මගේ අවධානය යොමුව තිබේ. ඒ ගැන මාධ්‍ය ගණනාවක් ම විමසීම් කරනු ලැබිණ.
නේපාලයේ සිදුවූ සියලුම ආකාරයේ තරුණයන් ඇතුළු මිනිස් ඝාතන පළමුවෙන්ම හෙළා දකිමි. එලෙසම හිටපු අග්‍රාමාත්‍යවරයාගේ නිවසට ගිනිතබා හිටපු අගමැති බිරිඳ ඝාතනය කිරීම අතිශය ශෝකජනක තත්ත්වයකි. ඒ ඝාතනය ගැන කණගාටුව ප්‍රකාශ කරමි.
එසේම ඇමතිවරුන්ට සහ විශේෂයෙන්ම විදේශ ඇමතිනියට පහරදීම ද ඇති වූ ඛේදවාචකයේ තවත් දිගුවකි. එමගින් කාන්තා අයිතිවාසිකම් ප්‍රබල ලෙස උල්ලංඝනය විය. මෙවැනි ක්‍රියා මගින් පහර වදින්නේ නේපාලයේ කීර්ති නාමයට ය. එය නේපාලයට අවනම්බුවකි. කත්මණ්ඩු නුවර තත්ත්වය මෙතරම් දුරදිග යා යුතුව තිබුණේ නැත. පොලීසිය විසින් කරනු ලැබූ වෙඩි තැබීම්ද අනුමත කළ නොහැකිය. ප්‍රථම දිනයේදීම වෙඩි නොතබා ඇති වූ තත්ත්වය පාලනය කිරීමට හැකියාව පැවැති බව ආරංචි මාර්ග සඳහන් කළේය. මෙවැනි සිද්ධි හමුවේ ඇති විය හැකි භයානක තත්ත්වයක් ද වේ. ගූගල්, ෆේස්බුක්, යූටියුබ් වැනි ඇමරිකානු සමාජ මාධ්‍ය සමාගම්වලට ලෝකයේ සෙසු රටවල ආණ්ඩු නැති කිරීම සඳහා ඉඩ ප්‍රස්තාව විවර වීම කිසි ලෙසකින්වත් අවතක්සේරු කළ නොහැකි ය.

පාර්ලිමේන්තුව සහ අධිකරණ ගොඩනැගිලි රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ලෙස සැලකෙන්නේ එ්වා තුළ සිටින පුද්ගලයන් පදනම් කරගෙන නොවේ. පාර්ලිමේන්තුවටත්, අධිකරණයටත් ගිනි තැබීම නේපාලයේ ප්‍රජාතන්ත්‍රවාදයට කළ විශාල අගෞරවයකි.කෙසේ වුවත් අවසානයට ඉතිරි වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැති නේපාලයකි. රට තුළ සාමය ඇතිකර ව්‍යවස්ථානුකූලව ඡන්ද පැවැත්වීම පාලනය බලය ගත් හමුදාවේ වගකීම වන්නේ ය.
බුදුරජාණන්වහන්සේ උපත ලැබූ නේපාලය ශ්‍රී ලංකාවට සුවිශේෂ රටකි. එවැනි රටක මේ ආකාරයේ ම්ලේච්ඡ ක්‍රියා සිදුවීම කිසිසේත් අනුමත කළ නොහැකි ය. රාජ්‍ය පාලනයට දැක්වූ අදක්ෂතාවය ද මේ තත්ත්වය ඇති වීමට හේතු වූයේ යයි සිතීමට පුළුවන.
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සමගිව රැස්වී, සමගිව සාකච්ඡා කර, සමගිව විසිරී යන ලෙස ය. බුදුන් දේශනා කළ “සප්ත අපරිහානී ධර්මය” නේපාලයේ වත්මන් පාලනය ආදර්ශයට ගනු ඇතැයි අපෙක්ෂා කරමි."
පක්ෂ යාන්ත්‍රණය ඉදිරියට ගෙන යෑම පිළිබඳ සාකච්ඡා
එජාප සභාපති වජිර ඉකුත් සති අන්තය ගත කළේ ගාල්ලේ ය. ඒ සති අන්තයේ ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට නියමිත විශේෂ එජාප රැස්වීම් සංවිධාන කටයුතු පිළිබඳ සොයා බලා ඊට අවශ්‍ය කටයුතු කිරීම වෙනුවෙන් ය. එම නිසා පසුගිය සෙනසුරාදා සහ ඉරිදා දිනයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ සංවිධායකවරුන් සහ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් සමග විශේෂ රැස්වීම් කිහිපයක් ම වජිරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම රැස්වීම්වලදී පක්ෂ යාන්ත්‍රණය ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන්ම මෙන්ම රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබිණි.
(සටහන | මල් පාරේ ලියුම්කරු )




