ලැබුණු එක ඡන්දය සමග වැඩි ඡන්ද 150 ක් ඇතිව සම්මත කෙරුණි.
පසුදින උදයේ මහින්ද රාජපක්ෂ ඔහු පදිංචිව සිටි රජයේ නිල නිවසින් ඉවත්ව තංගල්ලේ ඔහුගේ පෞද්ගලික නිවස වන කාල්ටන් නිවස වෙත ගියේය.

ඒ පනත සම්මත කිරීම වෙනුවෙන් සැළසුම් කෙරුණු මාධ්‍ය ප්‍රචාර සමග, විශ්‍රාමික රාජ්‍ය නායකයින් වෙනුවෙන් ජනතා මුදල් වැය කිරීම මුදල් නාස්තියක් යැයි වන මතයක් සමාජගත කිරීමේ කාර්ය ජවිපෙ/මාලිමා ආණ්ඩුව පසුගිය මාස කිහිපයේ නොකඩවා කෙරුවකි. ඊට පෙරාතුව, විශේෂයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉලක්ක කෙරුණු නිල නිවෙස් වලින් හිටපු ජනාධිපතිවරුන් ඉවත් කිරීම, මේ පනතෙහි පසුබිම සැකසූවකි.
පනත සම්මත කළ දිනට පසු දින උදයේ ඔහු නිල නිවසින් පිටත්ව ගියේය.
එසේ පිටත්ව යන්නේ නිල නිවස ආපසු රජයට බාර දෙන මෙන් ඔහුට ලිඛිතව දැන්වූයේ දැයි විමසූ විට ඔහුගේ පිළිතුර වූයේ, ලිඛිත දැනුම් දීමක් කෙරෙන්නේ නම් ඔහු නිවසින් ඉවත් වීමට සූදානම් යැයි කියූවේ මාලිමාවේ මැති ඇමතිවරුන් තැන තැන, අහු මුලුවල ආඩපලි කීවාට නිවසින් ඉවත් වීමට ඒවා හේතු නොවන හෙයින් බවත්, දැන් පනතක් සම්මත කෙරුණු පසු එවැනි ලිඛිත දැනුම් දීමක් ඔහුට අවශ්‍ය නොවන බවත් ය. එහෙත් එහි තිබෙන්නාවූ රජයේ බඩු භාණ්ඩ බාරදීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමග වන ගනුදෙනුවට සතියක් හමාරක් ගත විය හැකි බවත් ඔහු කියා තිබිණ.
කොළඹ නගරයෙන් නිල නිවෙස් ලබා දෙමින් විශ්‍රාමික රාජ්‍ය නායකයින් නඩත්තුවට වාර්ෂිකව රුපියල් බිලියන ගණන් වැය වූයේ යැයි මාලිමා ආණ්ඩුව පාර්ලිමේන්තුවට ගණන් කීවත් හිස් කෙරෙන නිල නිවාස නොකඩවා නඩත්තු කිරීමට සිදුවන හෙයින් ආණ්ඩුවට ඇත්තට ඉතිරි වෙන මුදල කොපමණ දැයි ගණන් බලා කිව යුතුව ඇත. ඒ ඉතිරිවන මුදලින් රටේ ජනතාවට ලබා දිය හැකි වාසි මොනවාදැයිද කිව යුතුව ඇත. ඇත්ත නම්, නිල නිවෙස් 05 ක් හිස් කිරීමෙන් ආණ්ඩුවට වැදගත් ඉතිරියක් ලැබෙන්නේ නැත.
වැදගත් වන්නේත් තීන්දු කළ යුතුව තිබූයේත් වැය වන මුදල නොවේ. මුදල් කලමනාකරණය කළ හැකි සාධකයකි. තීන්දු කළ යුතුව තිබූයේ විශ්‍රාමික රාජ්‍ය නායකයෙකු සම්බන්ධයෙන් වන සමාජ වගකීම, ආණ්ඩුව බාර ගන්නේද නැද්ද යන්න ය. එයට මූලිකම හේතුව නම්, රාජ්‍ය නායකයා ලෙස ධූරයේ සිටියදී තීන්දු ගැනීමට සිදුවන ඇතැම් කාරණා සම්බන්ධ වගකීම, විශ්‍රාම ගිය පසුද ඔහුට හෝ ඇයට දැරීමට සිදුවීම ය.
| හිටපු ඉන්දීය රාජ්‍ය නායක, අගමැති රජිව් ගාන්ධි බලයේ සිටියදී එල්.ටී.ටී.ඊය අවසන් කිරීම වෙනුවෙන් ගනු ලැබූ තීන්දුව වෙනුවෙන් තනතුරෙන් ඉවත් වූ පසු ගෙවූ වන්දිය මරණයයි.
ඒ සම්බන්ධ ඉතාම වැදගත් තීරණාත්මක නිදසුනක් වන්නේ අසල්වැසි ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය කිරීම ය. ශ්‍රී ලංකාව සමග 1987 ජූලියේ ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට පියවර ගත්තේ එවකට ඉන්දීය රාජ්‍ය නායක වූ අගමැති රජිව් ගාන්ධි ය. ඒ ගිවිසුම අනුව උතුරු-නැගෙනහිර පළාතේ සාමය රැකීමට ඉන්දීය සාම සාධක හමුදා යොදවන්නට ජනාධිපති ජයවර්ධන එකඟ වූයේ රජිව් ගාන්ධි ගේ තීන්දුව අනුව ය.
ඉන්දීය සාම සාධක හමුදා සමග වසර 03 ක් එල්.ටී.ටී.ඊය යුධ වැදින. ජනාධිපති ප්‍රේමදාස ගේ මැදිහත්වීමෙන් 1990 දී ඉන්දීය සාම සාධක හමුදා රටින් පිටත්ව යන විට ඔවුන්ගේ සොල්දාදුවන් 1,100 ට වැඩි සංඛ්‍යාවක් මිය ගොසින් සිටි අතර, පරාජය නොවුනාට එල්.ටී.ටී.ඊය ලැබූ විනාශය අති මහත් විය.
රජිව් ගාන්ධිගේ කොංග්‍රස් පක්ෂය ඉන්පසු 1989 ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය විය. ඔහු ඒ අනුව විපක්ෂ නායක ලෙස ලොක් සභාවෙහි අසුන් ගත්තේය. 1990 දෙසැම්බරයේදී ඔහු විපක්ෂ නායක ධූරයෙන් ඉල්ලා අස් විය. එතැන් සිට ඔහුව අමතනු ලැබූයේ “හිටපු අගමැති” ලෙසිනි. ගාන්ධි නාමයට තිබූ දේශපාලන ඉල්ලුම නිසා නැවත 1991 පාර්ලිමේන්තු මැතිවරණයේ කොංග්‍රස් ප්‍රචාරක කටයුතුවල ඔහු පෙරමුණ ගත්තේය.
1991 මැයි 21 වන දින ශ්‍රීපෙරුම්බුදූර් හිදී එවැනි එක් ප්‍රචාරක රැස්වීමකදී සියදිවි නසා ගැනීමේ එල්.ටී.ටී.ඊ බෝම්බකාරියක වූ කලෙයිවානි නොහොත් ධනු ඔහු ඝාතනය කරමින් මිය ගියා ය. ඒ හිටපු ඉන්දීය රාජ්‍ය නායක, අගමැති රජිව් ගාන්ධි බලයේ සිටියදී එල්.ටී.ටී.ඊය අවසන් කිරීම වෙනුවෙන් ගනු ලැබූ තීන්දුව වෙනුවෙන් තනතුරෙන් ඉවත් වූ පසු ගෙවූ වන්දිය වන්නේය.
| ජපානයේ දීර්ගම කාලයක් අගමැතිව සිටි ෂින්සො අබේ ඝාතනය කරනු ලැබුවේ ඔහු “හිටපු අගමැති” ලෙස සිටියදීය
එවැනිම ඝාතනයක් 2022 ජූලියේදී ජපානයෙන් වාර්තා විය. දෙවරක් ජපානයේ අගමැති වූ සහ 2012 සිට 2020 වන තෙක් ජපානයේ දීර්ගම කාලයක් අගමැතිව සිටි ෂින්සො අබේ ඝාතනය කරනු ලැබුවේ ඔහු නාරා ප්‍රාන්තයේ අගනුවර සමුළුවක් අමතමින් සිටියදී ය. එවිට ඔහු “හිටපු අගමැති” පමණකි.
ඔහුව ඝාතනය කළ ටෙට්සුයා යමගාමි කළ පාපොච්චාරණයකට අනුව, හිටපු අගමැති අබේ ඝාතනය කිරීමට හේතු වූයේ, ඔහු අගමැතිව සිටියදී දකුණු කොරියාවේ බිහිවූ එක්සත්වාදී පල්ලිය (Unification Church) සඳහා ජපානයේ කටයුතු කිරීමට ලබා දුන් අවකාශය හේතුවෙනි.
| පාකිස්ථානයේ හිටපු එකම අගමැතිනි වූ බෙනසිර් බූතෝ 2007 දී ඝාතනය කරනු ලැබිය
එවගේම දෙවරක් පාකිස්තානයේ අගමැතිනිය වශයෙන් තේරී පත් වූ පාකිස්ථානයේ එකම අගමැතිනි බෙනසිර් බූතෝ 2007 දෙසැම්බරයේදී ඝාතනය කරනු ලැබුවේ ඇයගේ පාකිස්තානි ජනතා පක්ෂයේ ප්‍රචාරක රැළියක් අමතමින් සිටියදී ය. 2010 අප්‍රේල් 15 වන දින ප්‍රකාශයට පත් කෙරුණු එක්සත් ජාතීන්ගේ ස්වාධීන පරීක්ෂණ වාර්තාවකට අනුව, “ඝාතනය කරනු ලැබූ (හිටපු) අගමැතිනී බෙනසිර් බූතෝ සඳහා සංවිධානය කර තිබූ පකිස්තානි රජයේ හා ප්‍රාදේශීය ආරක්ෂක සේවා බරපතල දුර්වලකම් හා අකාර්යක්ෂමතා සහිත විය. එවගේම, එම ඝාතනය සම්බන්ධ පරීක්ෂණ පක්ෂග්‍රාහී වූ අතර, තොරතුරු හා වගකීම් වසා දැමීමේ නැඹුරුවක්ද විය”.
හිටපු අගමැතිනිය ලෙස ඇයව ඝාතනය කිරීමේ වුවමනාවක් ඇයට එරෙහි දේශපාලන කණ්ඩායම් කිහිපයකට තිබූ බවත් ප්‍රසිද්ධියේ කතා වුනු මාතෘකාවක් විය.
මෙහි මා අවධාරණය කරන්නේ, රාජ්‍ය නායක නායිකාවන් ඇතැම් විට ජීවිත අවදානමකට ලක් වන්නේ ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්ව එම ධූරයෙහි සිටියදී පමණක්ම නොව, ඔවුන් එම තනතුරු වලින් ඉවත් වූ පසුවද තනතුරෙහි සිටියදී ගනු ලැබූ තීන්දු තීරණ හේතුවෙන් අවදානමකට පත් වීමට ඇති ඉඩකඩ ය. එනිසා විශ්‍රාමික යැයි අප හඳුන්වන හිටපු රාජ්‍ය නායකයින්ගේ ආරක්ෂාව ගැන තිබිය යුත්තේ සමාජ වගකීමකි. ඒ වගකීම මහජන ඡන්දයෙන් පත්වන හැම ආණ්ඩුවක්ම බාර ගත යුතුය.
එබැවින් ජවිපෙ/මාලිමා ආණ්ඩුව මේ සම්මත කළ පනත, ජනතාවට තම වගකීම පිළිබඳ වැරදි වැටහීමක් ලබා දෙමින්, සමාජ වගකීම අත් හැර, තාවකාලික දේශපාලන වාසි වෙනුවෙන් සම්මත කර ගනු ලැබූ වැරදි පූර්වාදර්ශයක් සපයන පනතකි.
ආරක්ෂාව මූලික වශයෙන් පදිංචි නිවස සමගින් තීන්දු වන්නකි. කිසිම ආණ්ඩුවකට විශ්‍රාමික නැතිනම් හිටපු රාජ්‍ය නායකයින්ට ඔවුන්ගේම නිවසක් ඇතත් නැතත් ආරක්ෂාව ලබාදීමේ සමාජ වගකීම අතහැර ඔවුන් මෙළෙසින් අතරමං කළ නොහැක.(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 සැප්තැම්බර් 12 වන දින




