කෙසේ වෙතත් එවැනි ප්‍රාදේශීය දෙවි කෙනෙකු සම්බන්ධ විශ්වාසයක් එක් දහස් නව සිය හැටේ දශකයේ පමණ සිට මේ දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරලයේත්,කොළඹ දිස්ත්‍රික්කයට අයත් හේවාගම් කෝරලයේත් ජනතාව අතර ශීඝ්‍රයෙන් ප්‍රවර්ධනය වෙමින් තිබේ. සියවස් ගණනක් පුරා එම ප්‍රදේශ වල නොසිඳී තිබූ එම දේව විශ්වාසය එක් දහස් නවසිය හැටේ දශකයෙන් පසු කොතෙක්දුරට ප්‍රබල වී ද යත් අද වන විට එම දෙවිඳුන්ගේ ප්‍රතිමාවන් සිය ගණනක් ඉහත සඳහන් ප්‍රදේශවල ඉදිවී තිබේ.ප්‍රාදේශීය දෙවි කෙනකු වෙනුවෙන් යම් ප්‍රදේශයක් තුළ ඉදි වූ වැඩිම දේව ප්‍රතිමා සංඛ්‍යාව ද මෙයම විය යුතු ය.
ජනශ්‍රැති වල සඳහන් අන්දමට රන්වල දෙවියන් නමින් එලෙස දේවත්වයට පත්ව ඇත්තේ දෙවන රාජසිංහ රජ දවස රාජ උදහසකට ලක්ව කැලණි නදිය ඔස්සේ රහසින් පලා ආ ප්‍රාදේශීය ජන නායකයන් වූ තරුණයන් දෙදෙනෙකුගෙන් අයෙකි. තරුණ වියේ දී සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කළ ඔහු ජීවිතයේ සන්ධ්‍යා භාගයේදී කැලණි නදිය අද්දර රන්වල නම්ග්‍රාමයේ අසපුවක් තනාගෙන බ්‍රහ්මචාරී දිවි පෙවෙතක් ගත කළ බව ජනප්‍රවාදයේ සඳහන්ය. ඒ කාලයේ සිට ජනතා ගෞරව බහුමානයට පත්වූ ඔහු මරණින් පසු ‘රන්වල මුත්තා’ නමින් දේවත්වයට පත්ව තිබේ.
“මහත්තයා දන්නවද රන්වල දෙවියන්ගේ දේවාභරණ ළඟ තියාගෙන කෝටි පතියෙක් වෙච්ච කෙනෙක් ගැන? එයා ඒ දේවාභරණ හොයාගෙන තියෙන්නේ රහසේ කරපු කැණීමකින්.
අදත් එයා ඒවා ගෙදර බුදුගේ ඇතුළේ තියාගෙන ඒවට පුද පූජා කරනවා.නමුත් වැඩේ තියෙන්නෙ මිනිහා ඔය කතාව කාටවත්ම කියන්නේ නැහැ. පුළුවන් නම් මොකක්හරි ක්‍රමයකින් විස්තර දැනගන්න.”

ඔය අතරේ එක්තරා දිනයෙක දුරකතන ඇමතුමක් දුන් අයෙක් මට කීය. මා ඉහත ද සඳහන් කළ අන්දමට රන්වල දෙවියන් නමින් දේවත්වයට පත්ව ඇත්තේ ජීවිතයේ සන්ධ්‍යා සමයේ බ්‍රහ්මචාරී දිවි පෙවෙතක් ගත කළ ගැමියෙකි. ඒ අනුව ඔහු ආභරණ පැළඳි අයෙකු බව සිතීම අපහසු ය. එමෙන්ම එම දුරකතන ඇමතුමෙන් පැවසුණු අන්දමට ඒ දේවාභරණ කැණීමක් මගින් සොයාගත් පුවත ද සිහිනයෙන් දුටු ඉඩමක ඔප්පුවක් සොයා ගැනීම වැනි කෙසේවත් ඇදහිය නොහැක්කකි.
ඒ කෙසේ හෝ මෙම කැණීමෙන් ලබාගත් දේවාභරණ සම්බන්ධ සත්‍ය කතාව කුමක් දැයි සෙවීමට උනන්දු වූ මම මවෙත ලැබුණු දුරකතන ඇමතුමින් ලත් දුරකතන අංකය ඔස්සේ ඒ කෝටිපතියා හා කතාබහකට එළැඹුණෙමි. එහිදී මගේ සැබෑ අභිලාෂය හෙළි නොකර, මා රන්වල දෙවියන් සම්බන්ධ අප්‍රකට තොරතුරු විමර්ශනය කරන්නෙකු බව අඟවා ඒ සඳහා ඔහුගෙන් සහායක් අයැද සිටියෙමි.
“හැබැයි මම නම් රන්වල මුත්තා හාමුදුරුවෝ ගැන එහෙමට ලොකු තොරතුරක් දන්නේ නෑ. මෙහෙ බංගලාවත්තේ පියදාස කියලා කපු මහත්තයෙක් ඉන්නවා. සමහරවිට එයා නම් දන්නවා ඇති.”එම ව්‍යාපාරිකයා පිළිතුරු දුන්නේය.
“නෑ. මම මේ අහන්නේ රන්වල දෙවියන්ගේ දේවාභරණ සම්බන්ධව….?” මා එසේ පවසත්ම සැණින් දුරකතනය විසන්ධි කළ ඔහු ඉන්පසු මගේ ඇමතුම්වලට පිළිතුරු දීම මඟ හරින බවක් පෙනිණ. ඒ කෙසේ හෝ ඔහුගේ ඒ මඟහැරීම මුල්කොට එසේ කැණීමෙන් ලබාගත්දේවාභරණ සම්බන්ධ තොරතුරු දැනගැනීමට මා තුළ වූ උනන්දුව තවත් ඉහළ ගියේය.පසුව මට ඒ තොරතුරු සපයා ගත හැකි වූයේ ඒ ව්‍යාපාරිකයා හා නොමනාපයෙන් පසුවන ඔහුගේම සමීප ඥාතියෙකු වෙතිනි.
“ඔය මනුස්සයා ඉස්සර ඉඳලම කුණු ලෝබයා. කොහොම හරි මීට අවුරුද්දකට හමාරකට කලින් කඩුවෙල පැත්තේ සාත්තරයක් අහන්න ගිය වෙලාවක තමයි එතැනින් කියලා තියෙන්නේ ඔය මනුස්සයට රන්වල දෙවියන්ගේ ආභරණ හිමි කරගන්න පිනක් තියෙනවා කියලා. ඊට පස්සේ ඔය මනුස්සයා ඒ සාත්තර පොළෙන්ම දීපු තැනකින් අංජනමක් බලලා තියෙනවා. ඒකට තමයි කියලා තියෙන්නේ කැලණි ගඟ අයිනේ තියෙන අක්කර තුනක ඉඩමක් ගැන. ඒකේ පොළොව යට රන්වල දෙවියන්ගේ ආභරණ වැළලිලා තියෙනවා, ඒවා කැණිමකින් ගොඩගන්න කියලා ඒ අංජනමින් කියැවිලා තියෙනවා.”එම කෝටිපතියාගේ ඥාතියා කීය.

කෙසේ හෝ මේ සියලු උපදෙස් පිළිගත් ඒ කෝටිපතියා කැලණි ගඟේ ගංවතුරට යට වන ඒ ඉඩම විශාල මුදලක් දී මිලට ගෙන එම ස්ථානයට ඇදුරෙකු ගෙන්වා එහි මල් පැළක් තනවා ඔහු ආරූඪකොට එම කැණීම සිදුකොට තිබේ.
“අන්තිමට රෑ එළිවෙනකම් එහේ මෙහේ දඟලපු මේ ඇදුරා කොහෙන්දෝ ගෙනත් දාපු පරණ දම්වැල් පුරුක් කීපයක් පෙන්නලා කිව්වලු මෙන්න මේවා තමයි රන්වල දෙවියන්ගේ දේවාභරණ කියලා. කොටින්ම මේක සාස්තර කියපු, අංජනම් බලපු,ආරූඪයෙන් කැණීම් කරපු කට්ටිය සෙට් වෙලා දීපු ගේමක් කියලා දැන් මිනිහට තේරිලා. කොහොම හරි ඒ වැඩේට බර සල්ලියක් වියදම් වුණු හින්දා දැන් මිනිහා කවුරුවත් ඔය ගැන මතක් කරනවටවත් කැමති නෑ.” එම කෝටිපති ව්‍යාපාරිකයාගේ ඥාතියා කීයේ සිනාසෙමිනි.ඒ කෙසේ හෝ එවැනි ජාවාරම් සහ අනුවණයන් මුලා කිරීම් ද මෙවැනි ජනප්‍රිය ඇදහීම් වල අතුරු ඵලයක් සේ ඉස්මතු වීම ද සෑම සමාජයකින්ම දක්නට ලැබෙන්නකි.

(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com
(උපුටා ගැනීම- vinivida.lk)




