The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රාජපක්ෂලා සමග රට ආපස්සට ගමන් කළ යුතුද ? | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

T

The Leader Desk

September 19, 2025 • 6:47 AM

රාජපක්ෂලා සමග රට ආපස්සට ගමන් කළ යුතුද ? | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටේ නීතියට අවනත නොවූ විදේශිය සමාගම් කිහිපයක් වෙනුවෙන් තමන් උපන් දේශයට ගිනි තැබීම හෙවත් නේපාලයේ සංසිද්ධින් සදාචාර සම්පන්න මිනිසෙකුට අනුමත කළ නො හැකිය.
  • හේතුව ඔවුන්ගේ තාත්තාලා දෙදෙනාම රට අරාජිකව පැවති 88-89 කාලයේ ඉස්මතුව නිදහස් ශ්‍රී ලංකාවේ එතෙක් පැවති ගෞරවය කෙළෙසීමෙන් සිදු කළ හානිය නිසාය.
  • ආර්.ප්‍රේමදාසට 1988දී බලයට පත්වීමේ ඉඩ සැලසුණේ දකුණේ පැවති භීෂණය නිසාය.
  • මහින්ද රාජපක්ෂට 2005දී බලයට පත්වීමේ ඉඩ සැලසුණේ ප්‍රභාකරන්ගේ තුවක්කුවේ ආධාරයෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):


රටේ නීතියට අවනත නොවූ විදේශිය සමාගම් කිහිපයක් වෙනුවෙන් තමන් උපන් දේශයට ගිනි තැබීම හෙවත් නේපාලයේ සංසිද්ධින් සදාචාර සම්පන්න මිනිසෙකුට අනුමත කළ නො හැකිය. ලේ තැවරුණ නිදහස් සටන් ගණනාවකට පසුව යටත් විජිත පාලනය අතර සර්ව ජන ඡන්ද බලය හිමි වූ ශ්‍රී ලංකාවට 1948 ලැබුණ දේශපාලන නිදහස අළුයම ඇසුණ ප්‍රබෝධමත් කුරුළු කූජනයක් හැටියට සලකන දේශපාලන හා සමාජ විශ්ලේෂකයෙකු හැටියට තඹුත්තේගම අනුරට බයවුණ මහින්ද ආපසු ගමට යාම ගැන පවත්නා ප්‍රතිචාර ගැන ඇත්තේ දැඩි කම්පාවකි.

 

මේ රට ආපසු නාමල් රාජපක්ෂලාට සජිත් ප්‍රේමදාසට භාර දිය යුතු නොවේ. හේතුව ඔවුන්ගේ තාත්තාලා දෙදෙනාම රට අරාජිකව පැවති 88-89 කාලයේ  ඉස්මතුව නිදහස් ශ්‍රී ලංකාවේ එතෙක් පැවති ගෞරවය කෙළෙසීමෙන් සිදු කළ හානිය නිසාය. ආර්.ප්‍රේමදාසට 1988දී බලයට පත්වීමේ ඉඩ සැලසුණේ දකුණේ පැවති භීෂණය නිසාය. මහින්ද රාජපක්ෂට 2005දී බලයට පත්වීමේ ඉඩ සැලසුණේ ප්‍රභාකරන්ගේ තුවක්කුවේ ආධාරයෙනි. අනුර කුමාරලාගේ දේශපාලනය පිළිබඳ කුමන විවේචන ඇතද, ඔවුන් මේ අත තබා ඇත්තේ නඩු නැතිව රටේ සිදුවූ දේශපාලනික මිනි මැරුම් මං පැහැරීම් වලට එරෙහිව වන අතර, තමන් සමග සිටින චෝදනා ලැබූ සගයන් ආරක්ෂා කිරීම ජනතා විනිශ්චය අප විසින් අපේක්ෂා කළ යුතුව තිබේ.

රට ගමන් කළ යුත්තේ ඉදිරියට මිස ආපසු නොවේ. විධායක ජනාධිපති වරුන්ගේ වරප්‍රසාද කැපීමෙන් ඉතිරිවන ධනය මහින්ද ජීවත්වූ නිවසේ වටිනාකම ජනගහණයෙන් ඛෙදා ලැඛෙන උත්තරය සොච්චමක් හැටියට ඛෙදා පෙන්වීම තුට්ටු දෙකේ විග්‍රහයකි. තමන්ට අවනත නොවූ රටේ ප්‍රථම අගවිනිසුරුවරිය ධුරයෙන් පහ කළ සහ එකී පරීක්ෂණයේදී ඇයට හිඳ ගැනීමට අසුනක් දීමට එරෙහිවූ විමල් වීරවංශලා උනන්දුවන්නේ කුමකටද යන්න ජනතාව තේරුම්ගත යුතුව තිබේ. විදුලි බල මණ්ඩල අරගලය මා දකින්නේ මනු කියවන ස්ථීර සේවකයාට වඩා හොඳින් මනු කියවීම උනන්දු කරවන දීමනාවක් නිර්දේශ කළ රාජ්‍ය ආයතනයක අධිපතිවාදය බිඳ හෙළීමේ වාසිය ආපසු පැහැර ගැනීමට ඉඩ දිය යුතු නැත ස්ථාවරයේ සිටය.

 



2021 වසරෙහි පටන් විශ්‍රාමික ජනාධිපති වරුන්ට කළ වියදම් පමණක් ඉස්මතු කර පෙන්වීම තක්කඩිකමකි. 1988 විශ්‍රාම ගත් ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති  ජේ.ආර්.ජයවර්ධනගේ පටන් රනිල් වික්‍රමසිංහ තෙක්  සියලු දෙනා වෙනුවෙන් සිදු කළ වියදම් සියල්ල රටට හෙළි කළ යුතුවේ. කොළඹ වෝර්ඩ් පෙදෙසේ නිවසක ජීවත්වූ ජේ.ආර්.ට වෙන් කළ නිල නිවසේ වටිනාකම කීයද? එලීනා ජයවර්ධන ආර්යාවට ගෙවූ  විශ්‍රාම වැටුප් මුදල කොපමණද? ජනාධිපති ඩී.බී.විජේතුංගට වෙන් කළ නිල නිවසේ වටිනාකම සහ විජේතුංග ආර්යාවට ගෙවූ  විශ්‍රාම වැටුප් මුදල කොපමණද?

 


වරප්‍රසාද අහෝසි කිරිම ගැන මා සමග කතා කළ ප්‍රකට ලේඛක කපිල කුමාර කාලිංග කීවේ මේ පියවර මූලික වශයෙන් විශිෂ්ඨ ක්‍රියාවක් වුවද දේශපාලනික පලිගැනීමක් හැටියට යෙදා ගනී නම් අයහපත් බවය. දේශපාලකයන් විඳින සුවිශේෂි වරප්‍රසාද අහෝසි කිරීම ගැන කිසිවෙකු විරුද්ධ විය යුතු නැත. පසුගිය කාලයේ අනාවරණය වූ ආකාරයට හේමා ප්‍රේමදාස බෝල්පොයින්ට් පෑන් පවා ජනාධිපති මන්දියෙන් ඇනවුම් කර ගෙන්වා ගැනීම යනු ලජ්ජා නැති මහන්තත්වයක් මිස ප්‍රභූත්වයක් විය නොහැකිය. රනිල් වික්‍රමසිංහලේ ගෙට ගිනි තැබීම ගැන ප්‍රශ්න කළ දුලාංජලී ප්‍රේමදාස හොර සල්ලි සමග හසුවූ වහාම ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට මැදිහත්ව රටේ නීතිය බාල්දු කිරීම එක පෙළට ගැනීම රටේ ජනතාවට සිහිපත් කරනවා මිස තංගල්ලට ජනතාව ගෙන්වා අනේ අපොයි කියවීම මාධ්‍ය විසින් ඉස්මතු කළ යුතු නැත.  මා මේ සිද්ධිය දකින්නේ සෝල්බරි ව්‍යවස්ථා නීතිය පිළිබඳ මහත් ආශ්වාසයෙන් සිහිපත් කරන පුරවැසියෙකු හැටියටය.

 

වෙස්ට් මිනිස්ටර් සාම්ප්‍රදායික දෘෂ්ඨියෙන් සැකසූ සෝල්බරි ව්‍යවස්ථා නීතිය අනුව 1948 සිට 1972 තෙක් මේ රට පාලනය විය. ඒ කාලයේ ආණ්ඩුවේ ඒජන්ත පළාතේ පාලකයා වූ අතර ස්ථීර ලේකම් අමාත්‍යාංශයේ ප්‍රධානියා විය. 1956-60 කාලයේ මාතලේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් කරුණාතිලක, ගැමි කාන්තාවකට පින් පඩියක් ලබා දෙන ලෙස මාතලේ ආණ්ඩුවේ ඒජන්ත රත්නම් නම් සිවිල් නිලධාරියාට ලිඛිතව දන්වා යැවූ නමුත් ඉල්ලීම ඉටු වුණේ නැත. මේ ගැන මන්ත්‍රී නිමල් කරුණාතිලක, මේ ගැන විමසූ විට ඊට හේතු පැහැදිලි කළ මාතලේ ආණ්ඩුවේ ඒජන්ත කීවේ, වසමේ ගම්මුලාදෑණියාගේ නිර්දේශය අනුව එකී තැනැත්තිය සතු යැපීම් මට්ටම අනුව ඇය පින් පඩියක් (මහජන ආධරයෙක්) ලැබීමට නුසුදුසු බවට තමා තීරණය කළ බවය. එකී පිළිතුරෙන් නො සතුටට පත් නිමල් කරුණාතිලක කියා සිටියේ තමා එකී ඉල්ලීම කළේ  මාතලේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා හැටියට බවය. වහා ඊට ප්‍රතිචාර දැක්වූ සිවිල් නිලධාරි රත්නම්, ඔබ මාතලේ කොට්ඨාශයේ මන්ත්‍රී හැටියට ඔබගේ නිර්දේශය මාතලේ දිස්ත්‍රීක්කයේ ආණ්ඩුවේ ඒජන්ත හැටියට තමා ප්‍රතික්ෂේප කළ හෙයින් කාර්යාලයෙන් පිටවි යන ලෙස දැන්වීය.

මේ සිද්ධිය බෝල්ට් පොයින්ට් පෑනත් ආණ්ඩුවෙන් ලබා ගත් සජිත් ප්‍රේමදාසගේ අම්මාගේ සිහි කල්පනාව සමග සැසඳිය යුතුවේ. ජේ.ආර්. ජයවර්ධන යනු සිය දේපල රජයට පරිත්‍යාග කළ බව මෙන්ම විජේතුංග යනු රටේ අගමැතිව සිටියදීත් පිළිමතලාවේ නිවසේ සිටියා නම් හිමිදිරියේ පවුලේ ගව ගාලේ දෙනුන් ගෙන් කිරි දෙවූ සාමන්‍ය මිනිසෙකු බව රහසක් නොවේ. ජයවර්ධන විජේතුංග යන ජනාධිපති වරුන් දෙදෙනාම වෙස්ට් මිනිස්ටර් සම්ප්‍රදායික ප්‍රජාතන්ත්‍රවාදයට අනුගත වූ සදා අනුගම්‍ය විශිෂ්ට මිනිසුන් වන අතර, ප්‍රේමදාසලා රාජපක්ෂලා වික්‍රමසිංහලාට මෙහිදී ලැඛෙන තක්සේරුව කතා කිරීමට ජාතික මාධ්‍ය ඉඩ ප්‍රස්තාව සැලසිය යුතුවේ.

 


1956 ආණ්ඩුවේ තැපැල් හා ගුවන් විදුලිය භාර ඇමතිව සිටි සී.ඒ.එස්.මරික්කාර්ට සිය පාක්ෂිකයන් කිහිප දෙනෙකුට ගුවන් විදුලියේ රැකියා දීමට අවශ්‍ය වුවද, පැවති නීතිය අනුව එකල ලංකා ගුවන් විදුලි සේවයේ අධ්‍යක්ෂ ජනරාල්ව සිටි සිවිල් නිලධාරි ඇම්.ජේ.පෙරේරා ඊට එකඟ නොවීමෙන් ඇතිවූ ඇමති සහ රාජ්‍ය සේවයේ ගැටුම, එම්.ජේ.පෙරේරා විසින් එකල රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැමිණිලි කළේය. ඒ පිළිබඳව විමසා බැලු රාජ්‍ය සේවා කොමිෂම කැබිනට් ලේකම් වරයා ලවා කැබිනට් රැස්වීම අතර එවැනි බලපෑම් නො කරන ලෙස ඇමති  මරික්කාර්ට අගමැති බණ්ඩාරනායක ඉදිරියේ අවවාද කිරීමට පියවර ගත්තේය. පසු කලෙක මරික්කාර් අල්ලස් චෝදනාවක් මත දේශපාලනයෙන් ඉවත් කෙරිණ.

නිමල් කරුණාතිලක සහ සී.ඒ.එස්.මරික්කාර් සිද්ධින් දෙකින් අප තේරුම් ගත යුත්තේ රටේ නීතිය සියල්ලට ඉහළින් පැවතීමට සෝල්බරි ව්‍යවස්ථාව ඇති කළ පහසුකමය. මේ තත්වය විනාස කළේ ජනරජ පිස්සුව හෙවත් 1972 පළමුවෙනි ජනරජ ව්‍යවස්ථා නීතිය නිසාය. එයින් පසුව ඇතිවූ නීති තත්වය අනුව රාජ්‍ය සේවය මුළුමනින්ම දේශපාලකයන්ට අවනත වූ අතර, රාජ්‍ය නිලධාරි තන්ත්‍රය විවිධ වරප්‍රසාද අපේක්ෂාවෙන් දේශපාලනඥයන් පසුපස යන  එහෙයියන් බවට පත්විය.

මේ විකෘතිය 2005 පමණ වන විට රටේ පැවැත්මට හැම අතින්ම හානිකර වූ අතර වර්තමාන පාලකයන් දේශපාලනඥයන්ගේ වරප්‍රසාද ඉවත් කිරිම අප දැක්ය යුත්තේ දේශපාලනිකව නොව රටේ පැවැත්ම පැත්තෙනි. එහෙත් අවසනාවට ජරාජීර්ණ දේශපාලකයන් යළි ඉස්මතු වීම ඛෙහෙවින් ඛේදජනකය.

mahinda ranil

වරප්‍රසාද කැපීමෙන් යළි ගොඩ නැගෙන මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහට සාපෙක්ෂව ජනතාව අතර ජනප්‍රිය දේශපලනඥයෙකු බවට විවාදයක් නැත. මෙහිදී රනිල් යනු 2020දී සමගි ජන බල වේගය නිර්මානය කිරීමට අවශ්‍ය පසුබිම සකසා 1946 පිහිටවූ එක්සත් ජාතික පක්ෂය නම් විශිෂ්ඨ දේශපාලන සම්ප්‍රදාය රටට අහිමි කළ පුද්ගලයා වන අතර, මහින්ද රාජපක්ෂ කියන්නේ 1951දී පිහිටවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාස කිරීමෙන්ද ඉතිහාසය විසින් අවතක්සේරු වී ඇති බවය. ඒ සාම්ප්‍රදායික එජාප, ශ්‍රීලනිප දේශපාලනය පිළිබඳ බිම් මට්ටමේ කතා බහක් නිර්මානය වෙමින් පවත්නා මේ දිනවල නැවත මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ දෙදෙනා ජනතාව අතර අවධානයට ලක්වීම 2024 දී ජනතාව ඇති කළ පෙරළිය ආපසු හැරවීමකි.  

නීතිය පාච්චල් කිරීමේ අසික්කිත වැඩේ මේ රටේ මිනිසුන්ට බෝ කළේ මහින්ද රාජපක්ෂ විසිනි. මේ දිනවල රිමාන්ඩ් භාරයේ පසුවන ශෂින්ද්‍ර රාජපක්ෂ ඌව මහ ඇමති හැටියට පත් වන විට කතරගම දේවාලයේ බස්නායක නිළමේ තනතුර දරමින් සිටි අතර ඔහු රාජපක්ෂ පවුලේ වැඩිමහල් සහෝදරයාගේ දරුවෙකි. බස්නායක නිළමේ තනතුර විහාර දේවාලගම් පනතට අනුව, දේපල භාරයක් වන හෙයින් දේශපාලනඥයෙකුට එකී වගකීම් දැරිය නො හැකිය. කතරගම දෙයියන්ට ලැඛෙන පඬුරු පාක්කුඩම් කළමනාකරනය කරමින් සිටි සිය ඥාති පුත්‍රයාට පමණක් මහ ඇමති තනතුර දරණ අතර, කතරගම දේවාලයේ භාරය තවදුරටත් දැරීම සඳහා රටේ නීතිය නවමින් අපූරු ගැසට් පත්‍රයක් නිකුත් කළ  මහින්ද රාජපක්ෂ ගිරුවා පත්තුවේ පදිංචියට යාම හෝ යැවීම ගැන මේ පාලකයන් සම්මත කළ නීතිය ගැන කිසිවෙකු කරදර විය  යුතු නොවේ.

ජනාධිපති වරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීම හේතුවෙන් රනිල්ද ඉස්මතු වෙමින් සිටී. ඒ ඔහු නිල නිවසක් ලබා නො ගැනීම නිසාය. ඔහුගේ නිවස ගිනි තැබූ අවස්ථාවේ එහි පැමිණ සිටි දුලාංජලිගේ සහෝදර සජිත් ප්‍රේමදාස සමග ඔහු යළි එකතු වන්නේ 88-89න් පසුව මතුවූ දේශපාලන සංස්කෘතිය වෙනුවෙන් බව එජාප පාක්ෂියන් කල්පනා කළ යුතුවේ. රටේ ප්‍රබල පක්ෂ දෙක තම වාසියට විනාස කිරීමෙන් ඇතිවූ දේශපාලන රික්තය ගැන මහින්ද මෙන්ම රනිල් වික්‍රමසිංහද වගකිව යුත්තේය. නිල නිවසක් නො ගැනීමෙන් පමණක් රනිල් මහින්දට වඩා විශිෂ්ඨ වන්නේද?

 

WhatsApp Image 2025 09 19 at 12.11.45 PM

සුනාමි සල්ලි කොල්ලය, දුලාංජලීගේ හොර සල්ලි සිද්ධිය යට ගැසීම (මහින්ද රාජපක්ෂ), සීනි බදු මගෙඩිය, එන්නත නො ගෙන්වා පැනිය ප්‍රවර්ධනය කර ජනතාව රැවටීම (ගෝඨාභය රාජපක්ෂ), කූඨ ලේඛන සමග හසුවූ වීරවංශ සහ වංචනික අර්ජුන් මහේන්ද්‍රන් මුදවා ගැනීම (රනිල් වික්‍රමසිංහ), සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතා කිරීම (සජිත් ප්‍රේමදාස) ආදි අතීත දේශපාලනික  සිදුවීම් පෙළ ගස්වන විට අවමංගල්‍යාධාර සමිතියක තනතුරකට හෝ මේ කිසිවෙකු හෝ සුදුසු නොවේය යන්න කතා නො කරන ජනතාවගේ නිගමනය වේ.

lasanthapradeepthajudeenලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ, රගර් ක්‍රිඩක තාජුදීන්
ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ, රගර් ක්‍රිඩක තාජුදීන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ආදින් අමානුෂික ලෙස මහමග මරා දැමීම මෙන්ම රිවිර පත්‍රයේ ආරම්භක කර්තෘ උපාලි තෙන්නකෝන් කීත් නොයාර් ආදින් මරා දැමීමට තැත් කිරීම පිළිබඳව සදාචාර ලෝකයේ සැකයට එල්ලවී ඇති මහින්ද රාජපක්ෂලා පිළිබඳව රටේ පැත්තෙන් කතිකාවක් ගොඩ නැතිය යුතුව තිබේ. තමන් අකමැති ආණ්ඩුවක් පෙරළිමේ ප්‍රජාතාන්ත්‍රීක අයිතිය භාවිතා කිරිමේදී ලංකාවේ ජනතාව කිසි විටෙක නිවැරදි තීරණ ගත්තාද යන්න පුළුල්ව සාකච්ඡා කළ යුතුව තිබේ.

chandrasiri senevirathne
(සටහන | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...