The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වීරකැටිය, අබකොළවැවෙන් බිහි වූ සුවිශේෂ දියසේන කුමාරයා | තිලක් සේනාසිංහ

T

The Leader Desk

September 19, 2025 • 7:57 AM

වීරකැටිය, අබකොළවැවෙන් බිහි වූ සුවිශේෂ දියසේන කුමාරයා | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සැබැවින්ම දියසේන කුමාරයා යනු කෝට්ටේ රාජධානි සමයේ මතුවී මහනුවර යුගය වනවිට අප සමාජය පුරා ඉහවහා ගිය මිථ්‍යා විශ්වාසයකි.
  • මේ කවිය පදනම්කොටගෙන පසුකාලීනව මහනුවර යුගයේදී බෞද්ධ ත්‍රිපිටකයට අයත් නොවන ‘සුමන’ නම් ව්‍යාජ සූත්‍රයක් මගින් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන දියසේන නම් රජ කෙනෙකු අනුරාධපුරය රාජධානිය කොට වසර විසිදෙකක් රජකම් කොට කළුරිය කරන බවක් දක්වා තිබේ.
  • එදා මෙදා තුර අපේ රට සමාජ, ආර්ථික, දේශපාලන වශයෙන් අස්ථාවර වන සෑම විටෙකට කාට කාටත් මේ දියසේන කුමාරයාගේ පහල වීම සිහියට නැගෙන්නේ ඉහත සඳහන් මිථ්‍යාව ඔඩු දිවීමේ ප්‍රතිඵලයක් වශයෙනි.
  • ඒ අතර එදාමෙදා තුර සමාජයේ විවිධ ප්‍රදේශවලින් දියසේන කුමාරවරුන්ගේ පහලවීම් වාර්තා වූ අතර හිටි ගමන් තමන් දියසේන කුමරුන් බව පවසන කපටි කයිරාටිකයන් මෙන්ම මානසික රෝගීන්ද බව අනාවරණය වූ බව අපිට මතකය.
අකුරු ප්‍රමාණය (Font Size):

සැබැවින්ම දියසේන කුමාරයා යනු කෝට්ටේ රාජධානි සමයේ මතුවී මහනුවර යුගය වනවිට අප සමාජය පුරා ඉහවහා ගිය මිථ්‍යා විශ්වාසයකි. කෝට්ටේ යුගයේ සයවන පරාක්‍රමබාහු රජතුමන්ගේ ගුණ වර්ණනා කිරීම පිණිස ලියැවුණු ‘පැරකුම්බා සිරිතේ’ එන සමන් දෙවියන්ගේ ප්‍රකාශයක් බව පැවසෙන ‘ගිය කල දෙදහස් පන්සිය රජකු එතියි දියනා- කියැවිණි තන්වැසිය; එනම් පැරකුම් රජ මෙදිනා’ යන පැදිපෙළ මේ දියසේන කුමාර සංකල්පය නම් මිථ්‍යාවේ මූල බීජය බව පෙනේ.

මේ කවිය පදනම්කොටගෙන පසුකාලීනව මහනුවර යුගයේදී බෞද්ධ ත්‍රිපිටකයට අයත් නොවන ‘සුමන’ නම් ව්‍යාජ සූත්‍රයක් මගින් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන දියසේන නම් රජ කෙනෙකු අනුරාධපුරය රාජධානිය කොට වසර විසිදෙකක් රජකම් කොට කළුරිය කරන බවක් දක්වා තිබේ. එදා මෙදා තුර අපේ රට සමාජ, ආර්ථික, දේශපාලන වශයෙන් අස්ථාවර වන සෑම විටෙකට කාට කාටත් මේ දියසේන කුමාරයාගේ පහල වීම සිහියට නැගෙන්නේ ඉහත සඳහන් මිථ්‍යාව ඔඩු දිවීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

diyasenahd
ඒ අතර එදාමෙදා තුර සමාජයේ විවිධ ප්‍රදේශවලින් දියසේන කුමාරවරුන්ගේ පහලවීම් වාර්තා වූ අතර හිටි ගමන් තමන් දියසේන කුමරුන් බව පවසන කපටි කයිරාටිකයන් මෙන්ම මානසික රෝගීන්ද බව අනාවරණය වූ බව අපිට මතකය.

නමුත් 1960 දශකයේ මුල් භාගයේ අප රටේ දකුණු පළාතේ, වීරකැටිය, අබකොළවැව ග්‍රාමයේ, කන්දෙගෙදර නම් නිවසින් වාර්තා වූ දියසේන කුමාර උප්පත්තිය වත්මන් සියලු ආකාරවල දියසේන කුමාරවරුන්ගේ පහලවීම්වලට වඩා වෙනස්ය.

සහෝදර සහෝදරියන් රොත්තකට මැදිව 1960 දශකයේ මුල් භාගයේ උපත ලැබූ මෙම දියසේන කුමාරයාගේ නම උභයසිංහ ආරච්චිලාගේ ජයතිලක ය. එවක සිටි සාමාන්‍ය දරුවන් අතුරින් ඔහු දියසේන කුමාරයා නමින් ප්‍රකට වීමට හේතුව ගර්භනී සමයේදී ඔහුගේ මවට දේවාරූඪයක් ලැබී ඇය එවැන්නක් පැවසීම බව අබකොළවැව පැරණි ගැමියෝ කියති. කෙසේ හෝ ඒ මව ආරූඪයෙන් කළ ප්‍රකාශය කනින් කොනින් පිට ප්‍රදේශවලටද පැතිරයාම නිසා ජයතිලක දරුවාගේ උපතත් සමඟ විවිධ පිරිස් පිට ප්‍රදේශවලින් මේ දියසේන කුමාරයා දැකගැනීමට පැමිණ තිබේ.

අද මෙන් ජනමාධ්‍ය විද්‍යුත්කරණය නොවී තිබූ ඒ යුගයේ ග්‍රාමීය ජනතාව අතර සුවිශේෂ සහ අසිරිමත් තොරතුරු සන්නිවේදනය කළ ප්‍රධාන මාධ්‍යය වූයේ කවි කොළයයි. ඒ අනුව මෙම දියසේන කුමාර උපත පිළිබඳ කවි කොළ දිගට හරහට මුද්‍රණය වූ අතර, ජනතාවගේ දෙනෙත් නළලේ හිඳුවන ප්‍රවෘත්තීන්ද ඒ අතර විය. මෙම දියසේන කුමාරයා උපන් දවසේ සිට නිවසේ භූමිතෙල් බෝතලය කිසි දිනයෙක අඩු නොවී, බේබි සබන්, පවුඩර් ආදිය ආශ්චර්යවත් ලෙස ඉබේ පහල වීම, එම කුමාරයාගේ සිරුරින් වරින් වර රැස් විහිදීම වැනි දේ ඒ අසිරිමත් පුවත් අතරට එක්විය.

 

disghdf
මේ අතර ඔහු සම්බන්ධ ඡායාරූප විශේෂාංග සම්පාදනය කරනු පිණිස කොළඹින් මාධ්‍යවේදීහු ද වීරකැටියේ අබකොළවැව කන්දෙගෙදරට ආහ. ඒ ආ පසු දියසේන කුමාරයාගේ දෙමාපියන් පසෙකට කර කුමාරයා සම්බන්ධ ආශ්චර්යවත් විස්තර සපයන එම ප්‍රදේශයේ ‘සමාජ ක්‍රියාකාරීන්ගේ’ ඡායාරූප ද සහිතව පුවත්පත් වාර්තා ලිපි විශේෂාංග පළවූ අතර ඒ පුවත්පත් උණු කැවුම් මෙන් විකිනුණි.පසුව ඒ සම්බන්ධයෙන් දියසේන කුමාරයාගේ දෙමාපියන් පවසා සිටියේ තම පුතු සම්බන්ධයෙන් ඒ අසිරිමත් පුවත් තමන්ද දැනගත්තේ පුවත්පතේ පළවී තිබෙනු දැකීමෙන් පසුව බව ය.

මේ සියලු තත්ත්වයන් යටතේ දියසේන කුමාරයාගේ ජනකාන්ත භාවය කොතෙක් දුරට පැතිර තිබිණිද යත් ඔහුගේ ඉඳුල්කට ගෑම වෙනුවෙන් පුරා සත් දිනක් දිවා රෑ මුළුල්ලේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වීමට ගාල්ලේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකු ඉදිරිපත්ව තිබිණි. පරිත්‍රාණ ධර්ම දේශනය අවසානයේ දියසේන කුමරුන්ට ඉඳුල්කට ගෑම දැක බලාගැනීමට කොතෙක් ජනකායක් එක්රැස්ව සිටියේ ද යත් එවකට ඒ ජනකාය අතරේ තෙරපෙමින් සිටියදී වැඩිහිටියෙකු විසින් බේරා නොගන්නට තමන්ට විපතක් අත්වීමට පවා ඉඩකඩ තිබූ බව වීරකැටිය ප්‍රාදේශීය මාධ්‍යවේදී සමීර අබකොළවැව මහතා මා හා කීය.

මේ අතරේ දියසේන කුමාරයා නමින් අතිශය ප්‍රසිද්ධියට පත් මෙම දරුවා නිවසේ දේවාලයක් බැඳ වෙනම කුටියට රඳවා ඔහු සුවඳ පැනින් නැහැවීම වැනි පුද පිළිවෙත් කිරීමට වෙනම සංවිධාන බිහිවූ අතර, දියසේන කුමාරයාට උපහාර දැක්වීම පිණිස යැයි පවසමින් රට පුරා ආධාර එකතු කිරීමේ ක්‍රියාන්විත ද දියත් වී තිබිණ. ඒ ඔහුගේ දෙමාපියන් ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ අනු දැනුමින් තොරව ය.

 

the bodhi tree kandy clive wilson

එමෙන්ම මෙම දියසේන කුමාර නමින් හැඳින්වෙන ජයතිලක දරුවා පාසලකට ඇතුළු කිරීමට ඔහුගේ මාපියන් දැරූ උත්සාහයද දියසේන කුමාර බැතිමතුන් විසින් මුළුමනින් වළකන ලදි. ඒ උපතින්ම මහා ප්‍රඥා සම්භාරයක් හිමි දියසේන කුමාරයාට පාසල් අධ්‍යාපනයක් ලබාදීම ඔහුට කරන ‘පරම නිග්‍රහයක්’ බව පවසමිනි. කෙසේ හෝ එම ජයතිලක දරුවා සාමාන්‍ය දරුවෙකු ලෙස වයසින් වැඩෙත්ම ජනතාව තුළ පැවති දියසේන උන්මාදය මඳක් පසුබසින්නට වූයෙන් පාසල් අධ්‍යාපනය නොලද මේ දරුවා පීල්ලවෙල රජමහා විහාරයට ගොස් එහි හිමි වරුන් වෙතින් ස්වෝත්සාහයෙන් සිංහල භාෂාව ලිවීම සහ කියැවීම ඉගෙනගෙන තිබිණි.

ඒ අතර ඔහු පාලි භාෂාවද තරමක් දුරට ඉගෙනගෙන සිටි බව කියැවේ. එසේම වයසින් වැඩෙද්දී ඔහු කාර්මික හා තාක්ෂණික වැඩ කටයුතු කෙරේ විශේෂ දක්ෂතාවයක් දක්වූ බවද දැනගන්නට ඇත. සිංහ ආරච්චිලාගේ ජයතිලක නාමයට කිසියම් සුවිශේෂත්වයක් හිමි විය යුතු බව මගේ වැටහීම ය.

ජීවිතයේ යොවුන් වියේදී ගම්මුන් තමන් ‘කුමාරයා’ යනුවෙන් ඇමතීම පිළිබඳව මෙන්ම ජනමාධ්‍ය කෙරෙහිද දැඩි නොකැමැත්තක් පලකළ ජයතිලක, ජනතාව තුළ පවතින එවන් අන්ධ විශ්වාස දුරලීම පිළිබඳ කිනම් හෝ අරගලයක යෙදිය යුතු බවට තීරණය කළේය. එහි ප්‍රතිඵලය වූයේ ඔහු 1988-1989 කාලයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අරගලයට කිසියම් දායකත්වයක් ලබාදීමට ඉදිරිපත් වීමය. එහෙත් ඒ අතරේ ජයතිලක තරුණයා හදිසියේ මරණයට පත්වූ අතර ඔහු සමීපයේ වූ බෝම්බයක් පිපිරී යාම ඒ මරණයට හේතු වූ බව පසුව අනාවරණය විය.

මෙම දියසේන කුමාර කතාව කිසිදු ආගමික හෝ ඓතිහාසික නොමැති ගම්බද ව්‍යවහාරයට අනුව කිව හොත් ගෙඩියත් නැති වහල්ලටත් නැති කතාවකි. ඒ කෙසේ හෝ ගත වූ කාලය පුරා අප රට පුරා පැතිර ගිය දියසේන කුමාර මිථ්‍යාවන් අතරේ වුව අප රටේ දකුණු පළාතේ, වීරකැටිය, අබකොළවැව ග්‍රාමයේ, කන්දෙගෙදර නම් නිවසේ විසූ උභයසිංහ ආරච්චිලාගේ ජයතිලක නාමයට කිසියම් සුවිශේෂත්වයක් හිමි විය යුතු බව මගේ වැටහීම ය.

WhatsApp Image 2024 02 13 at 4.20.58 PM(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...