The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආර්ථිකය ස්ථාවර වන විට ලංකාවේ හුදී ජනයාගේ තත්වය ගැන ලෝක බැංකුව කියන්නේ කුමක්ද?

T

The Leader Desk

September 20, 2025 • 10:22 AM

ආර්ථිකය ස්ථාවර වන විට ලංකාවේ හුදී ජනයාගේ තත්වය ගැන ලෝක බැංකුව කියන්නේ කුමක්ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි දී මේ සමාලෝචන වාර්තාව තම කේන්ද්‍රීය අවධානය යොමු කරන්නේ රාජ්‍ය මුදල් කටයුතු වඩාත් සමතුලිත, සාධාරණාත්මක හා ආර්ථික වර්ධනයට යෝග්‍ය ලෙස යලි සකස් කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට පිලිතුරු සෙවීම බව ප්‍රකාශිතය.
  • ලෝක බැංකුවේ කලාපීය අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් රටේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය* බොහෝ දුරට යථා තත්ත්වයට පත් වී ඇති හෙයින්, ශ්‍රී ලංකාවට දැන් වඩාත් සමබර මූල්‍ය උපාය මාර්ගයක් සලකා බැලිය හැකියාව ලැබී ඇති බව සමාලෝචනය අවධාරණය කරයි.
  • තියුණු මූල්‍ය ගැලපීම්*, පාරිභෝගික භාන්ඩ මත පවතින ඉහල (වක්‍ර) බදු සහ රාජ්‍ය අංශයේ මූර්ත වැටුප්* සැලකිය යුතු ලෙස පහත වැටීම හේතුවෙන් කුටුම්බවලට ඇතිකර තිබෙන අහිතකර බලපෑමට; රාජ්‍ය ආයෝජන පහත වැටීම හේතුවෙන් මන්දගාමී වී ඇති ආර්ථික වර්ධනයද දායක වූ බව සමාලෝචනය කියයි.
  • මෙම සමාලෝචනය මඟින් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ මූල්‍ය ගැලපීම වඩාත් තිරසාර, සාධාරණ සහ සංවර්ධන හිතකාමී කරන්නේ කෙසේද යන්න ගැන ද අදහස් ඇතුලත් ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එහි දී මේ සමාලෝචන වාර්තාව තම කේන්ද්‍රීය අවධානය යොමු කරන්නේ රාජ්‍ය මුදල් කටයුතු වඩාත් සමතුලිත, සාධාරණාත්මක හා ආර්ථික වර්ධනයට යෝග්‍ය ලෙස යලි සකස් කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට පිලිතුරු සෙවීම බව ප්‍රකාශිතය.

මේ සම්බන්ධයෙන් අදහස් පලකර ඇති මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල් සඳහා වන ලෝක බැංකුවේ කලාපීය අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් පවසා ඇත්තේ "දැන් ශ්‍රී ලංකාව බොහෝ දුරට තම ආර්ථිකය ස්ථාවර කරගෙන ඇති මුත්, අභියෝගය වන්නේ රැස්කරගෙන වියදම් කරන සෑම රුපියලකින්ම වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීම," බවයි.  මේ අතර තම අදහස ඉදිරියට ගෙනයමින් මේ අධ්‍යක්ෂ වරයා පවසා ඇත්තේ තමන් මෙයින් අදහස් කරන්නේ බදු පරිපාලනය නවීකරණය කිරීම, සෘජු බදු කෙරෙහි අවධානය යොමු කිරීම සහ රාජ්‍ය වියදම්වල  කාර්යක්ෂම හා සාධාරණ බව රැක ගැනීමේ දී; විශේෂයෙන් සිය රට තුල වෙසෙන වඩාත්ම අවදානමට ලක්විය හැකි ජන කොටස් සම්බන්ධ අවධානය පවත්වාගෙන යා යුතු යුතු බවය.  

devide sisilanලෝක බැංකුවේ කලාපීය අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන්
රටේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය* බොහෝ දුරට යථා තත්ත්වයට පත් වී ඇති හෙයින්, ශ්‍රී ලංකාවට දැන් වඩාත් සමබර මූල්‍ය උපාය මාර්ගයක් සලකා බැලිය හැකියාව ලැබී ඇති බව සමාලෝචනය අවධාරණය කරයි.

තියුණු මූල්‍ය ගැලපීම්*, පාරිභෝගික භාන්ඩ මත පවතින ඉහල (වක්‍ර) බදු සහ රාජ්‍ය අංශයේ මූර්ත වැටුප්* සැලකිය යුතු ලෙස පහත වැටීම හේතුවෙන් කුටුම්බවලට ඇතිකර තිබෙන අහිතකර බලපෑමට; රාජ්‍ය ආයෝජන පහත වැටීම හේතුවෙන් මන්දගාමී වී ඇති ආර්ථික වර්ධනයද දායක වූ බව සමාලෝචනය කියයි. මූලික වශයෙන් ප්‍රධාන ණය ඉලක්ක සපුරා ගන්නා ප්‍රාථමික ශේෂයේ* සහ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයේ විවිධ සංකලන සැලකිල්ලට ගෙන, ශක්තිමත් මූල්‍ය ආරක්ෂණ සකසා ගැනීම සහ වර්ධනය, සාධාරණත්වය සහ තිරසාරභාවය අතර අන්තර් කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවට සිය මූල්‍ය ප්‍රතිපත්තිය ප්‍රවේශමෙන් ප්‍රතිසංවිධානය කිරීම සලකා බැලිය හැකි බව ලෝක බැංකුව පවසයි.

මෙම සමාලෝචනය මඟින් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ මූල්‍ය ගැලපීම වඩාත් තිරසාර, සාධාරණ සහ සංවර්ධන හිතකාමී කරන්නේ කෙසේද යන්න ගැන ද අදහස් ඇතුලත් ය.  

සිය රාජ්‍ය මූල්‍ය සමාලෝචනයේ (PFR) සොයාගැනීම් අනුව, ශ්‍රී ලංකාවට (i) 2029 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 - 2.0 ක අතිරේක ආදායමක් රැස් කර ගත හැකි බවත්; (ii) තවදුරටත් වියදම් කප්පාදු කිරීම හෝ වැඩි කිරීම කළ නොහැකි මුත්, අවම ලෙස වත්මන් වියදම් පොදිය තුළ, එම වියදම්වල කාර්යක්ෂමතාව සහ සමානාත්මතාවය වැඩි දියුණු කළ හැකි බවත් ලෝක බැංකු සමාලෝචනය කියයි.

tax

ආදායම් පැත්තෙන්, සෘජු බදු මත යැපීම වැඩි කිරීම, බදු පරිපාලනය නවීකරණය කිරීම සහ ඩිජිටල්කරණය කිරීම සහ තම බදු නිසි ලෙස අවදානම‌ට ලක්වී ඇති ජනතාවගේ සහනාධාර, හා රටේ සංවර්ධන කටයුතු වලට යෙදවෙන්නේ ය යන විශ්වාසය ඍජු බදු ගෙවන්නන් තුල වැඩි දියුණු කිරීම මගින් ඍජු බදු ගෙවන්නන්ගේ චිත්ත ධෛර්යය වැඩි දියුණු කිරීම සඳහා ඍජු බදු ගෙවන්නන්ගේ සහභාගීත්වය කෙරෙහි අවධානය යොමු කිරීම ද ඇතුළත් විය යුතු බවත්; ඒ සමඟ වියදම් පැත්තෙන්, වැටුප් බිල්පත් කළමනාකරණය වැඩිදියුණු කිරීම, ඌන ප්‍රාග්ධනය සහිත යටිතල පහසුකම් දෙසට ප්‍රාග්ධන වියදම් නැවත යොමු කිරීම සහ සමාජ ආධාර ඉලක්ක වැඩිදියුණු කිරීමද සිය සමාලෝචනයේ නිරීක්ෂණයන්ට ඇතුළත් වන බවද ලෝක බැංකු සමාලෝචනය සඳහන් කර ඇත.

බදු වලින් සියයට 75 කට වඩා වැඩි ප්‍රමාණයක් පැමිණ ඇත්තේ වක්‍ර බදු වලින් වීම දුප්පතුන්ගේ බදු බර අසමාන ලෙස ඉහල යෑමට බලපා ඇත. අනපේක්ෂිත ප්‍රතිපත්ති වෙනස්කම්, බර බෙදා ගැනීමේදී ඇති වූ මෙවන් විෂමතාවයන් සහ දුර්වල විනිවිදභාවය සහ වගවීම මේ තත්ත්වය පසුබිමේ පවතින බව ලෝක බැංකු සමාලෝචනය කියා සිටී.

සමාලෝචනය තමන්ගේම මේ නිගමනය අභියෝගයට ලක් කරමින් 2022 සිට ආදායම් ගැලපීම සැලකිය යුතු මට්ටමක පවතින බවත්, 2024 දී බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 කට ආසන්න වැඩිවීමක් එනම් 12.3% දක්වා ඉහළ ගොස් තිබෙන බවටත්, මෙය පහල අඩියක සිට බදු අනුපාතවල තියුණු වැඩිවීමක් මගින් මෙහෙයවනු ලැබ අත්පත් කරගෙන තිබෙන්නක් බවටත් කරන සාඩම්බර අවධාරණය ඍජු බදු හා වක්‍ර බදු සම්බන්ධව සමාලෝචනය තුල පරස්පර විරෝධී අදහසක් නිර්මාණය කරයි.

කෙසේ වෙතත්, මෙම ගැලපීම පටු බදු පදනමක් මගින් පීඩාවට පත් කර ඇත. බදු ගැලපීම් වලින් සියයට 75 කට වඩා වැඩි ප්‍රමාණයක් පැමිණ ඇත්තේ වක්‍ර බදු වලින් වන අතර ඒවා ප්‍රතිගාමී වන අතර දුප්පතුන්ගේ බදු බර අසමාන ලෙස ඉහල යෑමට බලපා ඇත.

 

man

ඒ අතර සමාලෝචනය මෙසේ ද කියයි. “තිරසාර හා සාධාරණ ආදායම්  ලැබීම මෙහෙයවීමේ  ප්‍රතිසංස්කරණ සඳහා මූලික ක්ෂේත්‍ර තුනක් සමාලෝචනය විසින් හඳුනා ගනී:

(i) සෘජු බදු මත යැපීම වැඩි කිරීම,
(ii) බදු පරිපාලනය නවීකරණය කිරීම සහ ඩිජිටල්කරණය කිරීම, සහ
(iii)බදු ගෙවිය යුතු අයගේ චිත්ත ධෛර්යය වැඩි දියුණු කිරීම සඳහා බදු ගෙවන්නන්ගේ සහභාගීත්වය කෙරෙහි අවධානය යොමු කිරීම”.

ඍජු බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්, අවම ආයතනික ආදායම් බද්දක් සියයට 15 ක ඵලදායී අනුපාතයකින් හඳුන්වා දීම, බදු දිරිගැන්වීම්වල පිරිවැය සහ ප්‍රතිලාභ පිළිබඳ වඩාත් සවිස්තරාත්මක තොරතුරු ප්‍රකාශයට පත් කිරීම, පුළුල් බදු දිරිගැන්වීම් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සහ ඉහළ ශුද්ධ වටිනාකමක් ඇති පුද්ගලයින් අතර බදු අනුකූලතාව වැඩි දියුණු කිරීම කළ යුතුව ඇති බව සමාලෝචනය කියයි.

මේ අතර වියදම් කාර්යක්ෂමතාව සහ සමානාත්මතාවය අඩු මූලික මට්ටම් සහ වියදම්වල ඉහළ අනම්‍යතාව සැලකිල්ලට ගෙන, තවදුරටත් කප්පාදු කිරීමට හෝ වැඩි කිරීමට සීමිත ඉඩක් ඇතැයි සඳහන් කරන වාර්ථාව. වියදම්වල කාර්යක්ෂමතාව, සමානාත්මතාවය සහ ආර්ථික වර්ධනයට ඇති බලපෑම වැඩිදියුණු කිරීමට සැලකිය යුතු හැකියාවක් ඇති බවද කියයි. වාර්තාව ප්‍රධාන වියදම් ක්ෂේත්‍ර තුනක් කෙරෙහි අවධානය යොමු කර තිබේ. එනම් රාජ්‍ය අංශයේ වැටුප්, ප්‍රාග්ධන වියදම් සහ පැවරුම් සහ සහනාධාර, මේවායේ එකතුව පොලී නොවන වියදම්වලින් සියයට 92 කට වඩා වැඩි බවද සමාලෝචනය පෙන්වා දෙයි.

2017–23 කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රථිශතයක් ලෙස සාමාන්‍යයෙන් සියයට 1.6 ක් පමණක් වන පැවරුම් සහ සහනාධාර දුර්වල ලෙස ඉලක්ක කර ඇත.

 

Salary 1000px

රාජ්‍ය අංශයේ වැටුප් බිල, දළ දේශීය නිෂ්පාදිතය අනුව අඩු වුවද (2023 දී සියයට 5.0), විශාල ශ්‍රම සංඛ්‍යාවක් සහ දීමනා ලැබීම් ආධිපත්‍යය දරණ විසිරුණු වැටුප් ව්‍යුහයන් මගින් අසමානතාවයන් විදහා දැක්වෙන බව කියන සමාලෝචනය, උද්ධමනය හේතුවෙන් සැබෑ වැටුප් සහ විශ්‍රාම වැටුප් තියුණු ලෙස පහත වැටී ඇති බවත් එය අඩු ආදායම්ලාභී රජයේ සේවකයන්ට අසමාන ලෙස බලපාන බවද පෙන්වා දෙයි.

මෙහි දී; පුහුණු හා කාර්යක්ෂම ඉදිරිපෙළ සේවකයින් ආරක්ෂා කර ගනිමින්, විශ්‍රාම ගැන්වීම් හරහා රාජ්‍ය සේවක සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු කිරීම, වන්දි ව්‍යුහයන් සමාලෝචනය කිරීම සහ තාර්කික කිරීම සඳහා වැටුප් කොමිසමක් පිහිටුවීම සහ කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීම සඳහා වැටුප් පද්ධති නවීකරණය කිරීම නිර්දේශ කරයි.

2023 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.4 දක්වා පහත වැටුණු ප්‍රාග්ධන වියදම් වල අසාර තත්ත්වය, 2017-22 සාමාන්‍යය වූ සියයට 4.4 ට වඩා අඩුවෙන්, අපැහැදිලි ප්‍රමුඛතාකරණය, පහළ ක්‍රියාත්මක කිරීමේ අනුපාත සහ නඩත්තුව සඳහා අඩු ආයෝජනය මගින් විදහා දැක්වෙන බවද සමාලෝචනය කියයි.

පසු සටහන්:

*සාර්ව ආර්ථික ස්ථාවරත්වය - අඩු උද්ධමනය, පූර්ණ රැකියා නියුක්තිය සහ තිරසාර ආර්ථික වර්ධනය මගින් විදහා දැක්වෙන ස්ථාවර හා සමතුලිත තත්වයක් පවත්වා ගැනීමට ආර්ථිකයකට ඇති හැකියාව.

*මූර්ත වැටුප් - මුදලින් ලැබෙන වැටුපෙන් මිලදී ගත හැකි පාරිභෝගික භාණ්ඩ හා සේවා ප්‍රමාණය

*ප්‍රාථමික ශේෂය - රජයේ ආදායම සහ එහි පොලී නොවන වියදම් අතර වෙනස.

*මූල්‍ය ගැලපීම - රජයේ ප්‍රාථමික අයවැය හිඟය අඩු කිරීමකි. එය රජයේ වියදම් අඩුවීම, බදු ආදායම් වැඩි වීම හෝ දෙකේම එකවර ප්‍රතිඵලයක් විය හැකිය.

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...