The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රනිල් බාරගත් අභියෝගය ගැන ඉතා කෙටියෙන් | කුසල් පෙරේරා

T

The Leader Desk

September 20, 2025 • 2:33 PM

රනිල් බාරගත් අභියෝගය ගැන ඉතා කෙටියෙන් |  කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමාත්‍යාංශය යටතේ වන “ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව” විසින් “රාජ්‍ය ආයෝජන වැඩසටහන” සකස් කොට 2025 ජුනියේදී ප්‍රකාශයට පත් කරනු ලැබුවේය.
  • එය සම්පාදනයේදී “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යැයි නම් කෙරුණු ජවිපෙ/මාලිමාවේ මැතිවරණ පොරොන්දු ප්‍රකාශනය පදනම් කරගත් බවද එහි සඳහන් ය.
  • එහි හැඳින්වීමෙහි කියන්නේ, “රාජ්‍ය ආයෝජන වැඩසටහන - 2026/2030 විසින් ප්‍රතිපත්ති සම්බන්ධීකරණය ප්‍රමුඛතාගත කරනු ලැබ ඇත්තේ ප්‍රධාන ක්ෂේත්‍ර ආවරණය කරමින් ආර්ථික විවිධාංගීකරණය, ආයතනගත ශක්තිය සහ මූල්‍ය තිරසාරත්වය පෝෂණය කෙරෙන අයුරු පැහැදිලි කරමින් ය” යනුවෙනි.
  • අප මේ කතා කරන්නේ 2022 දී ලංකාව හසුවූ බරපතලම ආර්ථික අර්බුදයෙන් අවුරුදු 03 ට පසුවය.
අකුරු ප්‍රමාණය (Font Size):

අමාත්‍යාංශය යටතේ වන “ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව” විසින් “රාජ්‍ය ආයෝජන වැඩසටහන” සකස් කොට 2025 ජුනියේදී ප්‍රකාශයට පත් කරනු ලැබුවේය. එය සම්පාදනයේදී “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යැයි නම් කෙරුණු ජවිපෙ/මාලිමාවේ මැතිවරණ පොරොන්දු ප්‍රකාශනය පදනම් කරගත් බවද එහි සඳහන් ය. එහි හැඳින්වීමෙහි කියන්නේ, “රාජ්‍ය ආයෝජන වැඩසටහන - 2026/2030 විසින් ප්‍රතිපත්ති සම්බන්ධීකරණය ප්‍රමුඛතාගත කරනු ලැබ ඇත්තේ ප්‍රධාන ක්ෂේත්‍ර ආවරණය කරමින් ආර්ථික විවිධාංගීකරණය, ආයතනගත ශක්තිය සහ මූල්‍ය තිරසාරත්වය පෝෂණය කෙරෙන අයුරු පැහැදිලි කරමින් ය” යනුවෙනි.

අප මේ කතා කරන්නේ 2022 දී ලංකාව හසුවූ බරපතලම ආර්ථික අර්බුදයෙන් අවුරුදු 03 ට පසුවය. නාගරික තරුණ පිරිස් කොළඹ ගාලුමුවදොර වාඩි ලා ගෙන ඇරඹූ “අරගලයෙන්” රාජපක්ෂ ආණ්ඩුව පළවා හැර, යළි පාර්ලිමේන්තුවේ රාජපක්ෂ බහුතරයෙන්ම හුදකලා එ.ජා.ප මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත්කර ගත් පාලනය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමග රට නැවත යථා තත්ත්වයට පත් කළේ යැයි කියන වට පිටාවක ය. ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති ධූරයෙහි ඉතිරි කාලය වික්‍රමසිංහ විසින් අවසන් කෙරුණු පසු පැවති ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් සමග පත් කෙරුණු ජවිපෙ/මාලිමා ආණ්ඩුව යටතේ 2022 “අරගලයෙන්” ඉල්ලා සිටි වෙනස එයි දෝ නොයෙයි දෝ යැයි වන අනුමාන වට පිටාවක ය.

rt4534rrr
පෞද්ගලික විදේශ ගමන් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයේ මුදල් වියදම් කළේ යැයි වන චෝදනාව සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව ඉකුත් අගෝස්තු 22 වන දින අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණ තීන්දුවක් මත රඳවා ගැනීම, බොහෝ පිරිස් කණස්සල්ලට පත් කෙරුවකි. එය අසාධාරණ යැයි කීමට ඔවුන් හේතු කර ගනු ලැබූයේ, රට ආර්ථික ප්‍රපාතයකට වැටුණු පසු නැවත රට ගොඩ ගන්නට කිසිවකු ඉදිරිපත් නොවූ විට, ඒ අතිශය දුෂ්කර කාර්ය බාර ගෙන රට නැවත යථා තත්ත්වයට පත් කළ පුද්ගලයාට එළෙස නොසැළකිය යුතු යැයි විශ්වාස කිරීම ය. අප හසුවූ ආර්ථික අර්බුදය එළෙස කලමනාකරණය කිරීමට වෙනත් කිසිවකුට නොහැකි යැයිද ඔවුහු කීහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත ආර්ථික ප්‍රතිසංස්කරණයකට එකඟ වන්නට හැකි වූයේද වික්‍රමසිංහගේ දක්ෂතාව නිසා යැයි කියනවුන්ද සිටියහ.


ජනාධිපති වික්‍රමසිංහ ගොඩ දැමූ ආර්ථිකය කුමක්ද? මේ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි දෛනික සමාජීය පැවැත්ම තිබූයේ අපනයන මත නොව, ආනයන මත ය. ඒ සඳහා අවශ්‍ය වූ විදේශ විනිමය උපයා දීමට අඩ සියවසකට ආසන්න කාලයක් පුරා සෘජු විදේශ අයෝජන ගෙන්වා ගත් අපනයන නිෂ්පාදනයට නොහැකි විය. 2022 “අරගලයට” පෙර අවුරුදු 02, කොරෝනා අවුරුදු දෙක විය. එය ලොවටම එසේ විය. ගෝලීය වශයෙන් සීමාවන් පැවති ඒ වසර දෙකක බර අපිද ඉසිලුවෙමු. එනිසාවෙන් යැයි 2021 අවසානය වනවිට පැවති ඉන්ධන හා එල්.පී ගෑස් තදබදය ගැන කතා විය.

විදුලිය උත්පාදනයෙන් සියයට 23 ක් පමණ ඉන්ධන මගින් උත්පාදනය කෙරෙන හෙයින් 2022 නව වසර ආරම්භ වූයේ විදුලි කප්පාදුවක්ද සමග ය. විදුලිය කප්පාදුව නාගරික මැදපංතියේ දෛනික ජීවිතය මුලුමනින් අවුල් කරන්නක් වූයෙන්, විදුලිය කප්පාදුවට හා ඉන්ධන හිඟයට එරෙහිව කොළඹ නගරයේ තැන තැන විරෝධතා ඇති විය. ඒ විරෝධතා ගාලුමුවදොර “අරගලය” දක්වා සංවිධානාත්මකව මෙහෙයවනු ලැබුවේ කවුරුන් විසින්ද යන්න ගැන කතා නොවුනු නමුත් සමස්ථ විරෝධය රාජපක්ෂ යුගයේ “යෝධ දූෂණ” වෙත බැර කෙරුණි. ඉන්ධන ආනයනයට විදේශ විනිමය හිඟය මූලික හේතුවක් වීම, ඒ වෙනුවෙන් කතා නොවුනකි.

dry5465
නාගරික මැදපංතික විරෝධතා 2022 ජනවාරියේ ආරම්භ වනවිට, අපගේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 58.7 ක් විය. 2022 වන විට වාර්ෂික පොලී වශයෙන් පමණක් අප ඩොලර් බිලියන 06.9 ක් ගෙවිය යුතු විය. හැම වසරකම හැම ආණ්ඩුවක්ම විදේශ වෙළද ශේෂය පියවීමට ඩොලර් ණයට ගත්තේය. 2015 හිඟය ඩොලර් බිලියන 08.96 කි. 2019 දී එය ඩොලර් බිලියන 07.99 කි. 2021 අවසන් වනවිට එය ඩොලර් බිලියන 08.12 ක් විය. නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ලංකාව බංකොලොත් යැයි ප්‍රකාශ කළ 2022 අප්‍රේල් මාසයද ගත් විට 2022 පළමු මාස 04 හි හිඟ එකතුව ඩොලර් බිලියන 03.1 ක්ව තිබිණ. අප ගොදුරු වූ ආර්ථික අර්බුදය ඇත්තේ එතැන ය.


රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත්කර ගැනීමෙන් ඒ අර්බුදය විසඳුවේ යැයි කියන්නේ, ඔහු වාර්ෂික වෙළඳ හිඟය පියවීමට අවශ්‍ය ප්‍රමාණ ඩොලර් ඉපැයීමේ විසඳුම් ක්‍රියාත්මක කළේද? නැත. එවැනි විසඳුම් අදටත් නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසගත් වැඩ සටහනෙහි ද විදේශ විනිමය ඉපැයීම දියුණු කළ හැකි විසඳුම් කිසිවක් නැත.

වික්‍රමසිංහව ජනාධිපති පුටුවෙහි වාඩි කරවීමට පියවර ගත් “අරගලයේ” අප්‍රකාශිත කර්තෘවරු නැවත ණය ගැනීමේ අවකාශයක් ඔහුට හදා දුන්හ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගැසිය යුතු වූයේ එළෙස ණය ගැනීමේ සහතිකය වෙනුවෙනි. 2022 ජූලි මාසයේ ජනාධිපති ලෙස දිවුරුම් දුන් වික්‍රමසිංහට ඉන්ධන ගෙන්වා ගැනීමට අවශ්‍ය ඩොලර් ලබා දී තිබුණේ ආසියානු සංවර්ධන බැංකුව ලංකාවේ ව්‍යාපෘති කිහිපයකට වෙන් කළ මුදලින් ය. එය එතෙක් ආසියානු සංවර්ධන බැංකුව නොකෙරුවකි. ඒ සමග අගෝස්තු මාසය අවසන් වනවිට ඉන්ධන හිඟය විසඳුනි.

ණයට වූවත් තමන්ගේ දෛනික ජීවන රටාව ස්ථාවර කෙරුණු හෙයින් නාගරික ඉහළ මැදපංතිය වික්‍රමසිංහ ගුණ ගායනා පටන් ගත්හ. ඔවුන්ගේ ගුණ ගැයුම් කෙසේ වෙතත් වික්‍රමසිංහ පාලනය යටතේ 2023 වසරේ ඩොලර් බිලියන 02.5 ක විදේශ ණය වාරිකය ගෙවූයේ ඉන් සියයට 34 ක් ආසියානු සංවර්ධන බැංකුවෙන්ද සියයට 30 ක් ලෝක බැංකුවෙන්ද සියයට 27 ක් ජා.මූ.අරමුදලෙන්ද ණය ලබා ගැනීමෙන් ය. ආණ්ඩුවේ දත්ත වලට අනුව, 2023 වසරේ අලුතින් ගත් අනෙක් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 02.7 කි. 2024 වසර අවසන් වනවිට නැවත ඩොලර් බිලියන 56.6 ක ණයක් වික්‍රමසිංහ පාලනය යටතේ එකතුවී තිබිණ.

drtye5645
අමාරුවේ වැටුණු රට රනිල් වික්‍රමසිංහ ගොඩ දැම්මේ යැයි කියන්නේ එළෙසිනි. එළෙසින් ණය වී මිස මේ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි නාගරික ජීවන පැවැත්ම නඩත්තු කළ නොහැක. රනිල්ගෙන් පසු ජනාධිපති ධූරය සමග ආණ්ඩු බලය ලබා දුන් ජවිපෙ/මාලිමාවටද රනිල්ගේ සැළසුම හැර වෙන ආර්ථික සැළසුමක් නැත. ඔවුන් නඩත්තු වන්නේද ණය ගැනීමෙනි. 2025 වසර සදහා ඔවුන්ගේ ඇස්තමේන්තුගත විදේශ ණය ගැනීම ඩොලර් බිලියන 03.2 කි.

kusal perera(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2025 සැප්තැම්බර් 20 වන දින

(මෙහි සියලු දත්ත ජා.මූ.අරමුදලේ, ලෝක බැංකුවේ, ආසියානු සංවර්ධන බැංකුවේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා ඇසුරෙනි)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රනිල් බාරගත් අභියෝගය ගැන ඉතා කෙටියෙන් | කුසල් පෙරේරා | The Leader