The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බල්සාක් කැෆේ : දේදුන්න පිළිබඳ කළු-සුදු රචනාවක්- (මංජුල වෙඩිවර්ධන)

T

The Leader Desk

September 21, 2025 • 6:44 AM

බල්සාක් කැෆේ : දේදුන්න පිළිබඳ කළු-සුදු රචනාවක්- (මංජුල වෙඩිවර්ධන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සති කිහිපයක් වසා දැමා තිබූ 'බල්සාක් කැෆේ' තීරුමය පරිශ්‍රය, කළු කෝපි දුමාරයේ වෙළෙන්නට කැමති සහෘදයන් හට ගොඩ වී යන්නට යළි විවර කළ යුතුව ඇත.
  • දෙවි දුන්නු හන්දා එය මුලින් දෙවි දුන්න වී පසුව දේදුන්න ලෙස රූපාන්තරණය වූවා විය හැකි ය.
  • එකී වචන, සංගීතය හා මානව ශෘංගාර මිල්ටන් ටෝනයෙහි කැලතී සංයුක්තව පවතින බැවින්, ගීත අතරේ ඇති දේදුන්න මතකයට ඒම නිරුත්සාහකව සිදුවන්නේය.
  • "දේදුන්නේ පාට පාටින් ආදරේ කැන්දු සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ලන්දු" රත්න ශ්‍රී අප දේදුන්නේ සෞන්දර්ය වෙත කැඳවන්නේ මෙලෙස ය.
අකුරු ප්‍රමාණය (Font Size):


සති කිහිපයක් වසා දැමා තිබූ 'බල්සාක් කැෆේ' තීරුමය පරිශ්‍රය, කළු කෝපි දුමාරයේ වෙළෙන්නට කැමති සහෘදයන් හට ගොඩ වී යන්නට යළි විවර කළ යුතුව ඇත. ඒ සහෘද කැඳවුමෙන් මිදෙන්නට මට නොහැකි ය. දේදුන්න පිළිබඳ මෙම රචනාව එ බැවිනි.
parakramaපරාක්‍රම කොඩිතුවක්කු
දේදුන්න, සංස්කෘතික රමණීයත්වයකින් දැනෙන්නට වූ පළමු මොහොත උදාකරලූයේ පරාක්‍රම කොඩිතුවක්කු කවීන්ද්‍රයාණන් ය. "සදා කැමති" කාව්‍යාවලියේ ඉහලින්ම, හැමදාම පරාක්‍රමයන්ගේ කාව්‍ය පරාක්‍රමය මෙසේ දේදුන්නක් ව පායා තිබේ  

"දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්
ඔබ නැතත් මම එතන පාට හත ගනින්නම්"

 

523515692 730539703054801 2761501965034907297 nප්‍රිස්මයීය තාක්ෂණය විසින් අත්පත් කර දෙනු ලබන දේදුන්නේ වර්ණාවලිය සහ හැඩතල නිසා කවර භාෂාවකින් වුව දේදුන්නට හැඩති නාමකරණයක් අත්පත් වී ඇත. දෙමළෙන් එය 'වානවිල්' ය. ඉංගිලීසියෙන් 'රේන්බෝ'ය. ෆ්‍රන්ස බසින් 'ආකොන්සියෙල්' ය. හින්දියෙන් 'ඉන්ද්‍රධනුෂ් ය. සිංහලෙන් දේදුන්නට පර්යාය වන 'ඉඳුදුනු' යනු මේ ඉන්ද්‍රධනුෂ්ම ය. එනම්, ඉන්ද්‍ර දෙවියන්ගේ දුන්න ය. දෙවි දුන්නු හන්දා එය මුලින් දෙවි දුන්න වී පසුව දේදුන්න ලෙස රූපාන්තරණය වූවා විය හැකි ය.

ඉඳු දුනු කී විට එක්වරම මතකයට නැගෙන්නේ කේඩීකේ ධර්මවර්ධන විසින් මිල්ටන් මල්ලවාරච්චි හට ලියවුණු පරම රමණීය පද පෙළයි. එකී වචන, සංගීතය හා මානව ශෘංගාර  මිල්ටන් ටෝනයෙහි කැලතී සංයුක්තව පවතින බැවින්, ගීත අතරේ ඇති දේදුන්න මතකයට ඒම නිරුත්සාහකව සිදුවන්නේය.

"රණාඹර ඉඳුදුනු සිතුවම් වෙලා
බිඟුවැල් මල් කෙමි මත මත්වෙලා
වසන්තේ උදාවුණා"

 



ප්‍රණීත් අබේසුන්දර ලියපු මේ වචන මොනතරම් ලස්සනද. දේදුන්න, ඔව් ඒ වචන අතර.

"දේදුන්නේ පාට පාටින් ආදරේ කැන්දු
සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ලන්දු"

 



රත්න ශ්‍රී අප දේදුන්නේ සෞන්දර්ය වෙත කැඳවන්නේ මෙලෙස ය.

"මිනීමිණි පොද වැටේවි
මල් මිණි දැදිරි වේවි
ඔබ එනවා නම්
දේදුනු පාලම ළඟ හැන්දෑවේ
මම ඉන්නම්"

එතන පාලමට දේදුන්න අභිමුඛ වන්නේ හැඩය හන්දා ය. නමුත් කවියා මවන රූපක සෞන්දර්ය විසින් ඔටෝමැටික ලෙස වචන වර්ණවත් වන්නේය.

කුමාරදාස සපුත්තන්ත්‍රී හෘදයාමන්ත්‍රණය මෙ ආකාර ය.

"පාට දේදුනු සේදිලා ඈත කඳු යායේ
සීත රෑ සඳ පීදිලා නීල තරු යායේ"


දේදුන්න හරහා මතුවෙන සමනළුන් සමාන්තරකරණය කිරීම හරහා සමකාලීන සමාජයේ සමරිසි ප්‍රජාව ගර්හාවට ලක් කිරීම දෛනික සංසිද්ධියකි. සමනලයා යන සෞන්දර්යයෙන් අනූන වචනය, අද නිතර යොදා ගැනෙන ගර්හිත වචනයක් දක්වා පිරි හෙළනු ලැබ ඇත. නමුත්, අජන්තා රණසිංහ දේදුන්න හා සමනළුන් තනි රූපකයකට ගොඩනඟන්නේ ප්‍රේමයේ සංකේතයක් ලෙසය.

"දේදුන්නෙන් එන සමනලුනේ
ගම්මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ලඟින් ඉඳහල්ලා"

ටී. අර්ජුනා විසින් අධ්‍යක්ෂණය කෙරුණු ' වසන්තයේ දවසක්' සිනමාපටය තිරගත වූයේ 1979 ජූනි මස 29 වැනිදාය. බොහෝ විටෙහි රූගත කිරීම් ක්‍රියාවලිය සිද්ධවන්නටට ඇත්තේ ඊට ආසන්න 1978 වසරේදී විය හැකිය. අද සමනළුන් ලෙසින් අවඥාවට ලක් කරන මනුෂ්‍ය සනුහරය මත දේදුන්න රැගෙනෙන ලද්දේ සැබැවින්ම ඒ වසරේදීමය. හාවේ මිල්ක්ගේ ඇරියුමින් ගිල්බට් බේකර් විසින් නිර්මාණය කෙරුණු 'දේදුනු ධජය' පළමුවෙන් ම ජනගත කෙරුණේ 1978 ජූනි 25වැනිදා සෙන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ පැවති පුරුෂ සහ ස්ත්‍රී සමරිසි සැමරුම් රැලිය දා ය.

 

bakers rainbow flag

මනුෂ්‍ය විවිධත්වය සහ ඊට සමාන්තරව කියවෙන ලෛන්ගික විවිධත්වය මානව හිමිකමක් ලෙස සැලකිය යුතු බව අවධාරණය කෙරුණු දේදුනු ධජයේ වර්ණාවලියෙහි ඒ ඒ වර්ණ පිණිස ගැඹුරු අරුත් සම්පාදනය කරන්නට එහි නිර්මාණකරුවා අතිශය සවිඥානික වී තිබිණ. ජීවිතය, ලිංගිකත්වය, සූර්යාලෝකය, ස්වභාවධර්මය, කලාව, මනුෂ්‍ය අධ්‍යාත්මය ඈ වූ කලාප ධජයකට හකුලා පෙන්වන්නට දේදුන්න ඉවහල් වූ බව සත්‍යයකි.

ග්‍රීක මිථ්‍යා සෞන්දර්යයේ 'අයිරිස්' මෙන් ම, චීන පුරාණයේ 'නූවා' දෙවි දේවතාවුන්ගේ සිට හින්දු ඇදහිල්ලේ ඉන්ද්‍ර දෙව් පෙළහර ලෙස ද, බයිබලීය ඉතිහාසයේ නෝවා හා යෙහෝවා අතර බන්ධනය ලෙසද සංකේතවත් වන දේදුන්න, නූතන සංකේත විශ්වයට පැමිණෙන්නේ නිරායාසකර ලෙස ය.  

කලාව හා සාහිත්‍යයට අදාළ සංකේත පද්ධතියක් දේදුන්න ගොඩනඟන අතරම, පරිසරය රැක ගැනීමේ ව්‍යාපාර වලදී වර නැගෙන දේදුන්න, මනුෂ්‍යයා හා ස්වභාව ධර්මය අතර සදාතනිකව අන්‍යෝන්‍යයව බැඳී පවතින සහසම්බන්ධය සංකේතගත කරයි.  

 

g565u8678678
දේදුන්න ගැන ඔබට කියන්නට වෙනත් මනරම් කතාවක් තිබේ. හරියටම දිනය කියන්නේ නම් ඒ 2002 වසරේ අගෝස්තු මස 23 වැනි දා සිකුරාදා ය.  25 වැනිදා දාතමින් එළිදැක්වෙන රාවය පත්තරයේ, ම විසින් සංස්කරණය කැරුණු 'මංජරිය' නිර්මාණ අවකාශයට මවිසින් ම ලියන ලද ලියවිල්ලක් ගැන ය.

අනිද්දා පත්තරයේ ප්‍රධාන සංස්කාරකවරයා වන ජනරංජන විසින්, එදා මා ඉදිරියෙහි දිගහරින ලද්දේ කට ලොක් වන ප්‍රශ්නයකි. එය ප්‍රශ්නයක්ම නොවේ. එක් අතකින් ගෞරවනීය කින්ඩියකි.

"ඕගොල්ලොම පත්තර ගහලා ඕගොල්ලොම විචාර ලියනවා නේ"

ජනරංජන මෙසේ කීවේ 'දේදුන්න' ගැන ය.

දේදුන්න යනු එදා විමුක්ති කොටි සංවිධානයේ නිල සිංහල ප්‍රකාශනයයි. එහි මංගල කලාපය තැපෑලෙන් මටද ලැබී තිබිණි. රාවය ලිපිනයට ය. මුල සිට අගටම එය  කියවූ මම මගේ අදහස ලීවෙමි. "දේදුන්න : නිදහසේ අපේක්ෂාව" ලෙස ශීර්ෂ ගැන්වූ එම තීරු ලියැවිල්ලෙහි ප්‍රවේශ ඡේදය මෙයාකාර විය.

"වේදනාවේ සුසුම් අවකාශයට මුදාහළ උතුරු නැගෙනහිර අරගලීය බිම්පෙත අලුත් පැතුමක් පුරමින් හිස් අහස දෙස ඇස් අයා සිටි. අලුත් වැස්සක බලාපොරොත්තුවෙනි. දේදුන්න! නිදහසේ අපේක්ෂාව එයයි."

ජනරංජන එසේ පවසන තුරු, කිසිවෙකුට එවැන්නක් සිතිය හැකි බව මට සිතී තිබුණේ නැත. මගේ ප්‍රායෝගික ජනමාධ්‍ය ජීවිතයේ දී,
සිංහලයන්ට සිංහලයෙන් ම ඇමතිය හැකි දෙමළ සහෝදරත්වයක් පවතින මම අත්දැකීමෙන් දැන සිටියෙමි. ඉදින්, දෙමළාගේ ජීවත්වීමේ සමාන අයිතිය වෙනුවෙන් විවෘතව පෙනී සිටි මා වන් සිංහලයන්ගේ අබමල් රොනක සම්ප්‍රදානයකින් තොරව 'දේදුන්න' ලෙලවා පෙන්වීමට ඔවුනට හැකි බව මා එදා ජනරංජනට කීවෙමි.

56hfghghgj

විසි තුන් වසරකට පසු ජනරංජනගේ සංස්කරණයෙන් යුතු අනිද්දා පත්තරය සමග 'දේදුන්න' අතපත් වේ. කවර විශ්මයක්ද.

කොහොමත් දේදුන්න යනු අපේක්ෂාව සහ සහයෝගීතාව පිළිබඳ සංකේතයකි. එය සහෝදරත්වයේ  වර්ණාවලියයි.

දේදුන්නට කෙතරම් කැමැත්තේ වුව මා එතරම් දේ දුන්න ගැන ලියා නැත. "නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක" කාව්‍යය කෘතියේ "පිටුවහලේ පිටු" මැයෙන් මා ලියූ කවිය පටන් ගන්නේ "දේදුන්න පවා කළු සුදු වුණු මන්දාරම ළඟ" ලෙසින් ය. "කුකුලෙක් අතින් ගත් කිකිළි" කෘතියේ එක් කෙටිකතාවක් "රත්මලානෙ රාත්‍රියක දේදුන්නක් යට" ලෙසින් නාමකරණය කර ඇත.  රාත්‍රී පවා දේදුන්නක් පායන්නට ඉඩ ඇති බව නොදන්නා මිත්‍රයන් මගෙන් ඒ ගැන ඇසූ විට, රාත්‍රියේ  සඳ එළියේ පායන්නේ "මූන්බෝ"  බවත්, සිංහලෙන් ඊට "සඳුදුන්න" යැයි ආමන්ත්‍රණය කළ හැකි බවත් කී වෙමි.

දේදුන්න ගැන මා අවසන් වරට ලියූ වචන ඇත්තේ  "බෝද්ලෙයාට සිලිටි පරසතු මලෙක පෙත්තක්" කෘතිය තුළ ය. එ වග මෙහෙම ය.

"ආකාශයෙන් මිදුණු දේදුන්න වැටුණ තැනන දන්නවද
අන්න ඒ එතන ඔබ තවම මග බලාගෙන ඉන්නවද?"


(සටහන | මංජුල වෙඩිවර්ධන)
Journalist/Writer
mwediwardena@gmail.com
http://www.jdslanka.org/

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...