The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නේපාල අර්බූදය සහ අපි | චරිත හේරත්

T

The Leader Desk

September 21, 2025 • 11:02 AM

නේපාල අර්බූදය සහ අපි | චරිත හේරත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය නිමා වූයේ අගමැතිවරයාට ඉල්ලා අස්වී ගෙදර යාමට පාර කැපෙමිනි.
  • සමහරුන් කීවේ මෙය හරියට 2022 ලංකාවේ සිදුවුණු ‘අරගලයට’ සමාන බවයි.
  • බංග්ලාදේශයේ මීට පෙර මෙවැනිම සිදුවීමක් වූ අතර එරට සිටි අගමැතිනිය ඉන්දියාවේ රැකවරණය ලබා ඇත.
  • දේශපාලනය කරන පන්තිය (ආණ්ඩු පක්සයේ හෝ විපක්ෂයේ) වෙත බරපතළ වෛරයක් මුදාහරිනු ලැබූ අතර ඒ අයගේ නිවාස ගිනිබත් කිරීම සාමාන්‍ය තත්වයක් බවට පත්විය.
අකුරු ප්‍රමාණය (Font Size):

එය නිමා වූයේ අගමැතිවරයාට ඉල්ලා අස්වී ගෙදර යාමට පාර කැපෙමිනි. රටේ ජාතික සම්පත් විශාල ප්‍රමාණයක්ද විනාශ විය. කත්මන්ඩු අගනුවර තරු පහේ හෝටල් විශාල සංඛ්‍යාවක් ගිනිබත් විය. දේශපාලනඥයන් මග දිගේ ඇදගෙන යමින් ඔවුන්ගේ නිවාස ගිනි තබන අවස්ථා රාශියක් අන්තර්ජාලය තුළ පෙන්නුම් කළේය.

සමහරුන් කීවේ මෙය හරියට  2022 ලංකාවේ සිදුවුණු ‘අරගලයට’ සමාන බවයි. බංග්ලාදේශයේ මීට පෙර මෙවැනිම සිදුවීමක් වූ අතර එරට සිටි අගමැතිනිය ඉන්දියාවේ රැකවරණය ලබා ඇත.

 

nepal palr
මේ සිදුවීම් තුනේදීම එනම් ලංකාවේ, බංග්ලාදේශයේ සහ නේපාලයේ පෙන්නුම් කරන එක් මහා පොදු සාධකයක් වන්නේ මේ අවස්ථා තුනේම සමාජයේ එක් සමාජ  පන්තියක් කෙරෙහි බරපතළ වෛරයක් නිර්මාණය කර තිබීමයි. දේශපාලනය කරන පන්තිය (ආණ්ඩු පක්සයේ හෝ විපක්ෂයේ) වෙත බරපතළ වෛරයක් මුදාහරිනු ලැබූ අතර ඒ අයගේ නිවාස ගිනිබත් කිරීම සාමාන්‍ය තත්වයක් බවට පත්විය. නේපාලයේද ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ දේශපාලනඥයන්ගේද ගෙවල් ගිනි තැබූහ.

Gen Z පරපුර

මේ ජනතා විරෝධය බොහෝ විට පවත්වාගෙන ගියේ Gen Z පරපුර යැයි කියන ඩිජිටෙල් අවකාශය තුළ සිටින තරුණ තරුණියන්ගේ සම්බන්ධතාවෙනි. නේපාලයේ මේ තරුණ පිරිස අතර වයස 13 - 23 දක්වා කාණ්ඩයක් සිටි බව ද වාර්තා විය. වයස 13 ක දරුවකු යනු ඡන්ද බලයවත් ඇති අයෙක් නොවේ. ෆෝන් එකක් අතේ තියෙන ඡන්ද බලයත් නැති පාසල් දරුවන් ආණ්ඩු වෙනස් කිරීමේ ගාමක බලවේගය බවට පත්වී ඇත. ඒ අර්ථයෙන් රටක ඡන්දදායක ප්‍රවණතාවට එහා ගිය ජනතා බලයක් මේ හරහා ගොඩනැගී ඇත.

 

nepal genzs

ලංකාවේ ඡන්දදායකයන්ගේ ගණන මිලියන දාහතකි. ඒ අය අතරින් තීරණාත්මක ඡන්දයකදී ඡන්දය පාවිච්චි කරන්නේ මිලියන 14ක්  වැනි ගණනකි. එහෙත් දැන් ඒ ගණනට වඩා වැඩි ගණනකින් ඡන්දදායක ප්‍රවණතාව ඩිජිටෙල් අවකාශය තුළ වර්ධනය වී ඇත.

විශේෂයෙන්ම මේ ඩිජිටෙල් තරුණ කණ්ඩායම් සිටින්නේ ද්විත්වකරණයකට පත්වූ ලෝකයකය. ඔවුන් ඩිජිටෙල් අවකාශයේ සිටින්නේ එංගලන්තයේ විලියම් කුමරුට තරම් බල සම්පන්න යැයි සිතන තත්වයකය. එහෙත් ඔවුන් පොළොවේ පය ගසා සිටින්නේ එවැනි කිසිම බලයක් නොමැති හුදු ගමේ තරුණයකුගේ වපසරිය ඇතුළේය. මේ තත්වය  නිසා එකවිට බලයන් දෙකක් නියෝජනය කරන තත්වයකට තරුණ ජනයා පත් වී ඇත. ඩිජිටෙල් අවකාශයේ තමනට ලැබෙන තත්වය (බ්‍රිතාන්‍යයේ රජ පවුලේ සිටින්නෙමි) යන පිළිගැනීම සහ ඇත්ත සමාජයේ පවතින ‘කිසිදු බලයක් නොමැති තත්වය’ අතර දෝලනය වෙමින් දිවි ගෙවන ඔවුන් සැමවිටම සිටින්නේ විසංවාදයකය. ඒ විසංවාදය බරපතළ වෛරයක් බවට පත් කිරීමේ ඉඩ ඉතාමක් ළඟ ය.

නේපාල තරුණයා යනු මා ඉහතින් සඳහන් කළ ආකාරයේ ලෝක දෙකක සිටින්නෙකි. තමා අවට ඇති අසාධාරණයේ  පදනම වන්නෙ අසල්වැසියන් ආර්ථික වශයෙන් ශක්තිමත් වීම යැයි මොවුහු කල්පනා කරති. පසුගියදා පුපුරා ගියේ මේ කාරණයයි.

මතවාදය ගොඩනැගීම

uut65df

ශ්‍රී ලංකාවේත් බංගලාදේශයේත් නේපාලයෙත් මේ සිදුවීම් සඳහා පදනම සැපයූ මතවාදී කරුණුවල සමානකමක්ද මේ අනුව පෙනී යයි. මෙම මතවාදී පදනම ගොඩනැගී ඇත්තේ සමාජය වෙත මුදාහරින ලද බරපතළ මිථ්‍යාව හෙවත් බොරු තොගයක් සහ බරපතළ වෛරයක් මතයි. බොරුව සහ වෛරය ඒකාබද්ධ කරන ලද පැකේජයක් හරහා ජනතාව සම්පූර්ණයෙන්ම මත් කිරීම මෙහිදී සිදුවූ බව ඉතාමත් පැහැදිලිය.

අප රටේ මේ ‘මත්වීම’ සඳහා පදනම දැමුණේ නිදහසින් පසු ගෙවී ගිය වසර 76ක කාලයයි. මේ කාලය පුරාම සිදුවී ඇත්තේ ජනතාවගේ දේපළ දේශපාලනඥයන් කොල්ල කා ඇති බවට මතයක් ගොඩනැගිණි. මේ ප්‍රධාන අදහස විවිධ ක්ෂේත්‍ර හරහා සමාජගත වූ අතර සමාජ මාධ්‍ය හරහා මේ අදහස ජනතාව අතර බරපතළ ආකාරයෙන් බෙදාහරිනු ලැබීය. මෙහිදී තේරුම් ගත යුතු කාරණයක් වන්නේ මේ අදහස සමාජයේ උස්-පහත් බේදයකින් තොරව සෑම තරාතිරමකම අය අතර ‘අවසාන සත්‍යයක්’ ලෙසින් ගෙන යාම හරහා ‘‘දේශපාලනඥයා යනු අනිවාර්යයෙන්ම හොරෙකි.’’ යන පිළිගැනීම ඉතාමත් වේගයෙන් සමාජගතවූ බවයි.

ශ්‍රී ලංකාවේත් බංග්ලාදේශයේත්, මෑතකදී නේපාලයේත් සිදුවූයේ මේ මතවාදය තුළට සමාජය ගමන් කිරීමයි. ඒ මතවාදයෙන් සන්නද්ධ වූ විට රටේ ඕනෑම දේශපාලනඥයකු යනු පහරදිය යුතු පුද්ගලයකු බවට නාමකරණය වීම අනිවාර්යයෙන්ම සිදුවන බව මේ රටවල් තුනේම සිදුවීම් මගින් පෙන්නුම් කරයි.

වර්තමාන සමාජ අවිඥානය

Teens in circle holding smart mobile phones - Multicultural young people using cellphones outside - Teenagers addicted to new technology concept
මෙවැනි බරපතළ මුසාවාද භාවිත කරමින් සමාජගත කෙරුණ වෛරය හරහා ආණ්ඩු මාරු කිරීම මේ අනුව ඉතාමත් පහසු තත්වයක් බවට පත් වූ බව මෙම සිදුවීම් තුනෙන්ම මනාව පෙන්නුම් කරයි.

මෙරට දේශපාලනයේ වත්මන් තත්වය දෙස බැලීමෙන් පෙනී යන්නේ දැන් සමාජය බලාපොරොත්තුවන්නේ ඉහතින් සඳහන් කළ පූර්ව පිළිගැනීම හෙවත් ‘සියලු දේශපාලනඥයෝ රටේ සම්පත් හොරකම් කළෝය’ යන පිළිගැනීම පරාජය කර ඇති තත්වයක් තුළ රට ඉබේම වගේ සංවර්ධනය විය යුතු බවයි. ජංගම දුරකථනයක් අතේ ඇතිව නිව් යෝර්ක් නුවර සිදුවන දෙයක් දෙස සජීවීව දෑස් යොමා සිටින තරහින් මුසපත් වූ තරුණයා වත්මන් පාලකයන් දෙස තර්ජනාත්මකව කියා සිටින්නේ එම පණිවිඩයයි. ආණ්ඩුවේ සුළු පරිමාණයේ හෝ වෙනස්වීමක් නොඉවසන ආකාරයෙන් සමාජ මාධ්‍ය තුළ තරුණයා හැසිරෙන්නේ මේ හේතුව නිසාය.

තවත් පැත්තකින් මේ තත්වය තේරුම් ගත හැකිය. දේශපාලනඥයා යනු ‘පරණ ආකාරයේ හොරෙක්’ නොවිය යුතු බව අපේක්ෂා කරන අතරම සමහරුන් අපේක්ෂා කරන්නේ ‘අලුත් දේශපාලනඥයා යනු තමන්ගේ කියා කිසිවක් නැති මිනිහෙක්’ විය යුතු බවයි.

v6ukjyසමාජ මාධ්‍ය පෝස්ටුවක්

වත්මන් ආණ්ඩුවේ සමහර ඇමැතිවරුන්ට පවා මේ වනවිට අත් විදින්නට සිදුවී තිබෙන්නේ මේ කාරණයටයි. තමන් සතු කිසිදු වත්කමක් නොතිබිය යුතු බවට ජනතා මතය නිර්මාණය කළ විට සිදුවිය හැකි මේ තත්වය හේතුනේ සමාජයේ විශාල විලෝපනයක් සිදුවිය හැකි බව මේ වනවිට පැහැදිලිවෙමින් පවතී.

එසේම වත්මන් පාලනයේ සිටින්නන් තමන්ම නිර්මාණය කළ මිත්‍යා මත සහිත සමාජ අවිඥානය ඉදිරියේ ‘‘බොරු සීලයක් රඟ දක්වන්නට නාට්‍යානුසාරයෙන් ඉදිරිපත්වීම පවත්වා ගෙන යා නොහැකි තත්වයක් බවට දිනෙන් දින පත් වන්නේ මේ හේතුව නිසාය.

ඒ අනුව ආණ්ඩුවට තමන්ගේ දේශපාලන ශ්‍රමයේ වැඩි කොටසක් යෙදවිය යුතු වන්නේ තමන්ම නිර්මාණය කළ මුසාවාදයේ ගොදුරක් බවට පත්වීමෙන් බේරෙන්නටය.

මෙතැනින් එහාට?

While quarantine a women watching live streaming by application on smartphone
දැන් අපගේ අවධානය යොමු විය යුත්තේ මේ තත්වය මෙතැනින් එහාට ගමන් කරන්නේ කුමන දිසාවට ද යන කාරණය තෝරා ගැනීමටය. රටේ ජනමතය යනු සෑම පැය 24 කටම සැරයක් වෙනස් වන සුළු සංකීර්ණ තත්වයක් බවට පත්වී හමාරය. එමෙන්ම ජංගම දුරකතන මිලියන 24ක් පමණ බෙදී ගොස් ඇති සමාජයක් යනු මිනිස් මොළයට අමතරව තාක්ෂණික මනසක් ලෙසින් උපකරණීය තාර්කිකත්වයක් සමාජගතවී හමාරය. සෑම පුරවැසියකුම තමන්ගේ මනසට අමතරව ‘විස්තාරණය කරන ලද තවත් මනසක්’ හෙවත්  Extented mind එකක් සාක්කුවේ දාගෙන ජීවත්වන යුගයකට රට වෙනස් වී ඇත. සමාජය වෙනස් වී ඇත.

මේ කාලයට දාර්ශනිකව කියන්නේ පශ්චාත් සත්‍ය හෙවත් Post truth යුගයක් කියාය. එයින් කියැවෙන්නේ පරණ ආකාරයේ ආකෘතියකින් සත්‍ය/ අසත්‍යභාවය  තීරණය කරන කාලය නිම වී ඩිජිටෙල් පැවැත්ම ගලාගෙන යන ආකාරයට රටේ සත්‍ය/ අසත්‍යතාව නිර්මාණය වන තැනකට රට ගමන් කර ඇති බවයි. ඊයේ වීරයා වූ අයකු අද දුෂ්ටයා වීමේ සම්භාවිතාව බරපතළ ආකාරයෙන් පවතින්නේ මේ තත්වය හමුවේය.

මේ තත්වයෙන් ඉදිරියට යන සමාජයක් ධනාත්මක ලෙසින් වෙනස් කිරීම සඳහා අනාගත දේශපාලනයට සිදු  කරන්නට වෙන වන්දිය ඉතාමත් විශාල විය හැකිය.

kdti7dty7i6
රටේ ඡන්දදායක ජනගහනය මේ වනවිට මිලියන 17ක් හෙවත් දශ ලක්ෂ දාහක් බවට පත්වී ඇත. එයින් මිලියන 14ක් පමණ තීරණාත්මක මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කරති. එයින් මිලියන 4ක් පමණ වූ තරුණ ජනගහනයක් සමාජය දෙස බලන්නේ තමන්ගේ දෑසින් නොව ජංගම දුරකතනයේ තිරය හරහා බවට පත්වී ඇත. ඒ දුරකතන තිරය තවදුරටත් මිථ්‍යාවෙන් පිරී යන්නේ නම් ඒ තත්වයෙන් රට තල්ලු වෙන්නේ විනාශයේ පැත්තටය.

නේපාලයේත්, බංග්ලාදේශයේත්, ශ්‍රී ලංකාවේත් සිදුවූ මේ ‘ඊනියා’ අරගල තත්වයේ අභ්‍යන්තර ගතිකය වැටී ඇත්තේ මේ කියන ජනගහනයෙන් සියයට 5ක පමණ වූ තීරණාත්මක සමාජ තීරුව මතය. ඒ කණ්ඩායමට මිථ්‍යාව හා මුසාවාදය වැපිරීම නැවැත්වීමෙන් තොරව ධනාත්මක දේශපාලන වෙනසක් ලබාගැනීමේ ඉඩක් නැති බව මාගේ අදහසය.

charitha herath mp(සටහන | මහාචාර්ය චරිත හේරත්)
charith9@yahoo.com

(ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ලෙසත් කටයුතු කළේය.)

(කිවිදා දැක්ම : ලංකාදීප- 2025 සැප්තැම්බර් මස 19 )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...