The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අමාත්‍යංශයේ කීප දෙනෙක් කරන වරදකට පාරෙ ඉන්න බල්ලෝ මරලා හරි යනවද? - වෛද්‍ය චමිත් නානායක්කාර

T

The Leader Desk

September 21, 2025 • 5:50 PM

අමාත්‍යංශයේ කීප දෙනෙක් කරන වරදකට පාරෙ ඉන්න බල්ලෝ මරලා හරි යනවද? - වෛද්‍ය චමිත් නානායක්කාර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වෙනකොට සමාජය ඇතුළේ විවිධාකාර විදියට ජල භීතිකාව තුරන් කරන්නේ කොහොමද?
  • වගේ විවිධ සාකච්ඡා ඇති වෙමින් තියෙනවා.
  • නමුත් ඇත්තටම මම නම් හිතන්නේ නෑ සෞඛ්‍ය අමාත්‍යංශය විදිහට මේ වෙලාවේ ඒ වගේ පටු අඥාන තීරණයක් ගනී කියලා.
  • හැබැයි එහෙම ප්‍රකාශයක් පදනම් කර ගෙන නිශ්චිත මූලාශ්‍රයක් සම්බන්ධයෙන් කිසිම අදහසක් නැතිව සමාජ මාධ්‍යවල විශාල විදියට ගෙවල් අහිමි මහ මඟට වැටිලා ඉන්න අසරණ සත්තු විනාශ කරලා සමූල ඝාතනය කරන්න ඕන කියන කෲර අදහස් මාලාවක් සමාජ මාධ්‍යවල යම්කිසි පිරිසක් විසින් වර්ධනය කරමින් යනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ වෙනකොට සමාජය ඇතුළේ විවිධාකාර විදියට ජල භීතිකාව තුරන් කරන්නේ කොහොමද? ඒ සඳහා එන්නත් කරන්නේ කොහොමද? එතකොට ඒ වගේම සුනඛ ගහනය කළමනාකරණය කරන්නේ කොහොමද? වගේ විවිධ සාකච්ඡා ඇති වෙමින් තියෙනවා. ඒ සම්බන්ධයෙන් පශු වෛද්‍යවරුන් විදිහට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, සත්ත්ව සුබසාධන සංවිධාන, ඒ වගේම පෞද්ගලික පශු වෛද්‍ය සංවිධාන ඔක්කොම ඒකාබද්ධව රට පුරා විවිධ වැඩසටහන් සංවිධානය කරමින් තියෙන වටපිටාවක් දැන් තියෙන්නේ.

මං හිතන්නේ මේක ඉතිහාසයේ පළවෙනි වතාවට ලංකාවේ ඉන්න පශු වෛද්‍යවරු බහුතරයක්ම ජලභීතිකාව තුරන් කිරීම වෙනුවෙන් ඒ සටනට අවතීර්ණ වෙලා ඉන්න වසර කියලා කිව්වොත් වැරැද්දක් නැහැ. මේක ඉතාම ප්‍රබල සිදුවීමක්.


නමුත් මේ වගේ වටපිටාවක නලින්ද ජයතිස්ස සෞඛ්‍ය අමාත්‍යවරයා බල්ලෝ නැති කරල දාන්න ආණ්ඩුව රුපියල් මිලියන සියයක් වෙන් කළා කියපු කතන්දරයක් ගැන සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා. නමුත් ඇත්තටම මම නම් හිතන්නේ නෑ සෞඛ්‍ය අමාත්‍යංශය විදිහට මේ වෙලාවේ ඒ වගේ පටු අඥාන තීරණයක් ගනී කියලා. මොකද මේ ආණ්ඩුව මිනිස්සුන්ගේ හද ගැස්ම යම් තරමකට අඳුනනවා කියලා අපි තවමත් හිතනවා. ඉතින් ආණ්ඩුව මේ වගේ සාහසික තීන්දුවක් ගන්නේ නැති වෙයි කියලයි අපි නම් හිතන්නේ. ඒ කියන්නේ සත්තු විනාශ කරලා දාන තීරණයක්.



හැබැයි එහෙම ප්‍රකාශයක් පදනම් කර ගෙන නිශ්චිත මූලාශ්‍රයක් සම්බන්ධයෙන් කිසිම අදහසක් නැතිව සමාජ මාධ්‍යවල විශාල විදියට ගෙවල් අහිමි මහ මඟට වැටිලා ඉන්න අසරණ සත්තු විනාශ කරලා සමූල ඝාතනය කරන්න ඕන කියන කෲර අදහස් මාලාවක් සමාජ මාධ්‍යවල යම්කිසි පිරිසක් විසින් වර්ධනය කරමින් යනවා. ඒ වගේම යම් කිසි කුමන්ත්‍රණයක් මේක අස්සේ තියෙනවද කියලා සත්තුන්ට ආදරේ කරන අය තුළ විශාල සැකයක් ඇති වෙලා තියෙනවා.

පළවෙනි කාරණය අයාලේ යන සුනඛයෝ කියන්නේ මිනිස්සුන්ගෙම නිර්මාණයක්. අනික මේක අසංවිධිත නාගරීකරණය නිසා ගම්බදට වඩා නගරබදව පැන නැඟිලා තියෙන්නේ.මිනිස්සු කිසිම පිළිවෙලක් වගකීමක් නැතුව, සැලසුමක් නැතුව සත්තු සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල. කිසිම සතෙක් කැමති නෑ කන්න බොන්න දෙයක් නැතුව, නිදා ගන්න තැනක් නැතිව ඔහේ පාරෙ රස්තියාදු වෙවී, වැස්සේ තෙමි තෙමී, එක එක තාඩන පීඩනවලට ලක් වෙවී, බයෙන් සැකෙන් ඉන්න. මේක කාලයක් තිස්සේ මිනිස්සු නිර්මාණය කරපු ප්‍රශ්නයක් නිසා තමයි මේ සත්තු අසරණවෙලා ඉන්නේ.

dty546yyy


නමුත් අනිවාර්යෙන්ම මේ සුනඛ ගහනය පාලනය කරන්න අවශ්‍යයි. හේතු දෙකකට. පළවෙනි කාරණය ජල භීතිකා රෝගය තුරන් කරනවා නම් ඒ ඉන්න ගහණයෙන් සියයට හැත්තෑවකට එන්නත් කරන්න ඕන. ඒ නිසා අඩු ගහණයක් තිබුණොත් තමයි අපිට ඒ ඉලක්කවලට ලේසියෙන් යන්න පුළුවන්. ඒ වගේම නිදැල්ලේ හැසිරෙන සුනඛයෝ පාරෙ ගොඩක් ඉන්නකොට මෝටර් රථ ඇක්සිඩන්ට් වෙන්න පුළුවන්. රථවාහන ආඥා පනත යටතේ අනතුරක් වළක්වා ගැනීම රියැදුරාගේ වගකීම වුණත් ඒක ඇත්තටම එක්තරා විදිහකට කරදරයක්. මේ සත්තු ගහණය අඩු කළ යුතුමයි. ඒ බවට වාදයක් විවාදයක් නෑ.

ගහණය අඩුකරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් මේ සත්තු මරල දාන්න ඕන. එහෙම නැත්නම් මේ සත්තුන්ගේ ගහනය පාලනය කරන්න ඉතා මානුෂිකව වඳ සැත්කම් කරන්න ඕන. ඉතින් අපි ගත්තොත් එහෙම පහුගිය කාලෙ 1971-2006 වෙනකල්ම කළේ මේ සත්තු ගහනය පාලනය කරන්න වසරකට සත්තු ලක්ෂය ගානේ මරල දාන එක. හැබැයි ඒ සම්බන්ධයෙන් ශිෂ්ට සමාජය ඇතුළේ බරපතල විවේචනයක් තිබුණා. ඒ විවේචනයේ ප්‍රතිඵලයක් විදිහට 2006 දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ විදිහට සත්තු නොමරන්න ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා.

ඊට පස්සෙ 2008 වෙනකොට මේ සම්බන්ධයෙන් සුනඛ වන්ධ්‍යාකරණ වැඩසටහන එළි දැක්වුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන්. වැඩසටහන තුළ යම් යම් අඩුපාඩු තිබුණා. නමුත් ඒ වැඩසටහන සාර්ථකයි. ගොඩක් සුනඛයෝ වඳ සැත්කම් වලට ලක් වුණා. මේ වෙනකොට ජල භීතිකා මරණ රටේ අඩු ප්‍රමාණයක් තියෙනවා ඒ වගේම සුනඛයොත් කලින්ට වඩා අඩු ප්‍රමාණයක් ඉන්නේ. සමහර සංඛ්‍යා ලේඛන අනුව 2008 වෙනකොට හිටපු සුනඛයෝ මිලියන තුනක් දැන් මේ වෙනකොට ඒකෙන් මිලියන 2.1 දක්වා අඩු වෙලා තියෙනවා. ඒ මිලියන 2.1 කෙනුත් මේ වෙලාව වෙනකොට ලක්ෂ 5ක ගැහැනු සත්තු වඳ සැත්කමට ලක් කරල ඉන්නේ. ඒත්, හරි සැලසුම් සහගත වැඩපිළිවෙලක් සංවිධානය කරනවා නම් මේ සුනඛ පරම්පරාවෙන් පස්සෙ ලංකාවේ මේ ගහණයේ ලොකු අඩු වීමක් තියෙනවා.

cgjr6u676


එතකොට මොකක්ද මේ වෙලා තියෙන්නේ. ඇයි මේ හදිස්සියේ මේ කට්ටිය කලබල වෙලා කෑ කෝ ගහන්නේ. මොකද ඇත්තටම මේ ආණ්ඩුව පත් වුණාට පස්සෙ මේ ආණ්ඩුවට නිශ්චිත වශයෙන් අදහසක් තිබුණේ නෑ; මොනවද කරන්නේ කියලා. අපි මුලින්ම කිව්වා මේ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් හදමු කියලා. සුනඛයන්ට විතරක් නෙවෙයි හැම සතෙක් සම්බන්ධයෙන්ම. අපි ඒ අදාළ පරිසර අමාත්‍යංශයට වගේම සෞඛ්‍ය අමාත්‍යංශයටත් දැනුම් දුන්නා. නමුත් ඒ සම්බන්ධයෙන් තවම මේවා ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ ඒ වෙලාවට ඒ ඒ විදිහට විසඳුම් සොයනව මිසක ජාතික ප්‍රතිපත්තියක් විදිහට හදලා ඒකට උත්තර හොයන්නේ නෑ. එහෙම හොයනවා නම් ජාතික ප්‍රතිපත්තියක් හදලා ඒ කාලයත් එක්ක විසඳන්න. ඕන. ඒක දඩි බිඩි ගාලා හදිස්සියේ විසඳන්න බැහැ. මේ ජලභීතිකා සම්බන්ධයෙන් ගත්තොත් මේ ගහණ පාලනය පිළිබඳ කතා කළොත් හදිසියේම සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මෙන්න මේ ජල භීතිකා මර්දන වැඩසටහන කඩාකප්පල් කළා.

rt453rere


මේ සෞඛ්‍ය සත්ත්ව ගහණ කළමනාකරන සැත්කම් කරන්න 2000-2024 මිලියන දෙසීයක් රජයෙන් වෙන් කළාට සෞඛ්‍ය අමාත්‍යංශය පාවිච්චි කළේ මිලියන සීයයි. මිලියන සීයක් ආපහු මහ භාණ්ඩාගාරයටම යැව්වා. මේ වසරෙදිත් වෙන් වෙච්ච මුදලින් දැනට දිස්ත්‍රික්ක වලට යවලා තියෙන්නේ මිලියන විසිපහක් විතරයි. මිලියන එකසිය හැත්තෑපහක් නැවත වාරයක් භාණ්ඩාගාරයට යවන්න සැලසුම් කරල තියෙනව කියල අපිට ආරංචි තියෙනවා.

අපි කියන්නේ මේ සුනඛයන්ට කරදර කරන්න එපා. නැවත වාරයක් ඒ ගොල්ලෝ මරන්න එපා. ෂෙල්ටර්ස්වලට දාන්න එපා. මේක විසඳන්න පුළුවන් කියලා අපි කියන කොට මේකට නැවත වාරයක් සමාජ මාධ්‍යවලත් මේ ගැන කිසිම අදහසක් නැති මිනිස්සු විවිධ විදිහට නරක විදියට අපිට දෝෂාරෝපණය කරමින් ඉන්නවා. හුඟ දෙනෙක් කියනවා වීදි සුනඛයෝ අපිට ගෙවල්වලට අරන් යන්නලු. නමුත් මේ වන විටත් මානුෂීය ක්‍රම මඟින් සුනඛ ගහනය පාලනය කිරීමේ විධිමත් උපායමාර්ග ඉදිරිපත් වෙලා තියෙන පසුබිමක ඒවා නොදැනුවත්කම මුල් කරගත්තු කතා විතරයි. ඇත්තටම මෙතන දෝෂාරෝපණය කරන්න ඕන අපිට නෙවේ.



මේකට දෝෂාරෝපණය එල්ල වෙන්න ඕන නිශ්චිත වැඩ පිළිවෙලක් නැතුව මේ සත්ත්ව ගහනය කළමනාකරණය කරන වැඩසටහන නතර කරල මේ සත්තුන්ට බෝ වෙන්න ඉඩ දෙන මේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් කීප දෙනාට. මොකද ඔවුන් නිසා තමයි මේ ගහණය වේගයෙන් වර්ධනය වෙන්නේ. ඒක සත්තුන්ට ආදරේ කරන අපේ අර්බුදයක් නෙමේ ඒක හින්දා ඔබ යම් විදිහකට අමනාපයක් තියෙනව නම් තරහක් තියෙනව නම් පාරෙ ඉන්න සුනඛයෝ වැඩි ඒක කරදරයක් කියලා හිතන අය කරුණාකරලා සෞඛ්‍ය අමාත්‍යංශයට ඉස්සරහට ගිහිල්ලා උද්ඝෝෂණ කරන්න සෞඛ්‍ය අමාත්‍යංශයේ අයට අනිවාර්යෙන්ම කියන්න. මොකද සත්ත්ව ගහන කළමනාකරණය කිරීම නතර වෙලා තියෙන්නේ අඩපණ කරල තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් දෙතුන් දෙනෙක්ගේ වුවමනාව මත.

ghe53456


ඒ අය මේ ගහණය පාලනය නොකර ගහණය වැඩි වෙන්න ඉඩ දීල නැවත වාරයක් ජල භීතිකාව තුරන් කිරීම පස්සට දානවා. මේ සම්බන්ධයෙන් ලැබෙන විශාල මුදල් ප්‍රමාණයක් තියෙනවා. බෙහෙත්වලට ලැබෙන ඒ බෙහෙත් වලින් වාසි ගන්න බලාගෙන ඉන්නවා කියලා අපි සෘජුවම ඒ ගොල්ලන්ට චෝදනා කරනවා. ඒ සම්බන්ධයෙන් අපි දැනට අල්ලස් කොමිසමටත් දැනුම් දීමක් කරලා තියෙනවා මේ ගැන සොයන්න කියලා. ඒ නිසා අනිවාර්යෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම අවශ්‍යයි.

සෞඛ්‍ය අමාත්‍යංශයට අපි කියන්නේ මේක කරන්න පුළුවන් සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට. සෞඛ්‍ය අමාත්‍යංශයේ කීප දෙනෙක් කරන වරදකට පාරෙ ඉන්න බල්ලෝ මරලා හරි යන්නේ නෑ කියලා අපි අතිශය වගකීම් සහගතව කියන්නේ ඒ හින්දයි.

Chamath Nanayakkara(සටහන | පශු වෛද්‍ය චමිත් නානායක්කාර)
මානුෂීය ක්‍රම මඟින් සත්ව ගහණ කළමණාකරණය සඳහා වූ පශු වෛද්‍ය එකතුවේ (Association of Veterinarians for Humane Management of Animal Population ) නිර්මාතෘ

උපුටා ගැනීම : vinivida
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අමාත්‍යංශයේ කීප දෙනෙක් කරන වරදකට පාරෙ ඉන්න බල්ලෝ මරලා හරි යනවද? - වෛද්‍ය චමිත් නානායක්කාර | The Leader