The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය හම්බන්තොටට වගේ මණ්ඩතීව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය යාපනයට

T

The Leader Desk

September 22, 2025 • 6:23 AM

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය හම්බන්තොටට වගේ මණ්ඩතීව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය යාපනයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යාපනයේ මණ්ඩතීවූ දූපතෙහි ආසන 40,000 ක් සහිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හැදීමට ඉකුත් සැප්තැම්බර 01 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක මුල් ගල් තබා, ඒ වෙනුවෙන් ඔවුන් නොතබනවා යැයි කියූ පලකයක් විවෘත කිරීමේ උත්සවයක්ද පැවැත් වූයේය.
  • එහිදී උත්සවය අමතා ජනාධිපති කියා තිබුණේ මණ්ඩතීවු දූපත ක්‍රිකට් සඳහා පමණක් නොව, අනෙකුත් ක්‍රීඩා සඳහාද වන නවීන ජාත්‍යන්තර ක්‍රීඩා ගම්මානයක් බවට පත් කරන බවය.
  • ඒ අනුව එහි ක්‍රීඩා කිහිපයක් සඳහා ගෘහස්ථ ක්‍රිඩාංගණයක්ද, නවාතැන් පහසුකම්ද හෝටල්ද ඉදිකරන බවට පවසා තිබිණ.
  • ( Construction of the Jaffna International Cricket Stadium Launched Under the Patronage of the President) මේ කියන්නාවූ ක්‍රිකට් ක්‍රීඩාංගණයට කෙතරම් මුදලක් වැය වනු ඇතිද?
අකුරු ප්‍රමාණය (Font Size):


යාපනයේ මණ්ඩතීවූ දූපතෙහි ආසන 40,000 ක් සහිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හැදීමට ඉකුත් සැප්තැම්බර 01 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක මුල් ගල් තබා, ඒ වෙනුවෙන් ඔවුන් නොතබනවා යැයි කියූ පලකයක් විවෘත කිරීමේ උත්සවයක්ද පැවැත් වූයේය.

එහිදී උත්සවය අමතා ජනාධිපති කියා තිබුණේ මණ්ඩතීවු දූපත ක්‍රිකට් සඳහා පමණක් නොව, අනෙකුත් ක්‍රීඩා සඳහාද වන නවීන ජාත්‍යන්තර ක්‍රීඩා ගම්මානයක් බවට පත් කරන බවය. ඒ අනුව එහි ක්‍රීඩා කිහිපයක් සඳහා ගෘහස්ථ ක්‍රිඩාංගණයක්ද, නවාතැන් පහසුකම්ද හෝටල්ද ඉදිකරන බවට පවසා තිබිණ. මේ වසර අවසාන වන්නට පෙර පළමු ක්‍රිකට් තරගය පැවැත්වීමට හැකි වේයැයිද ඔහු කියා තිබිණ. (Construction of the Jaffna International Cricket Stadium Launched Under the Patronage of the President)

 



මේ කියන්නාවූ ක්‍රිකට් ක්‍රීඩාංගණයට කෙතරම් මුදලක් වැය වනු ඇතිද? ඒ මුදල් වෙන් කෙරෙන්නේ කවර ගිණුමකින්ද? 2009 දී ආසන 35,000 ක් ඇති  සූරියවැව ඉදි කළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා රුපියල් බිලියන 05 ක් වැය වූයේ යැයි වාර්තා වූවත් කෝප් කමිටුවට අනුව එහි තක්සේරුව රුපියල් බිලියන 03 කි. ඒ මීට අවුරුදු 16 ට ඉහතින්ය.


open ceramoney

අවුරුදු 16 ට පසු ඉදිකරන මේ මණ්ඩතීවු ක්‍රිකට් ක්‍රීඩාංගණයට රුපියල් බිලියන 03 ක් වැය වන්නේ යැයි උපකල්පනය කළද, එවැනි මුදලක් වැය කිරීමට, “අද යාපනයේ ජනතාවගේ ප්‍රමුඛතාව ක්‍රිකට් ක්‍රීඩාංගණයක්ද” යන්නට කවුරුවත් උත්තර දෙන්නේ නැත.

කලින් වූ රාජ්‍ය නායකයින් කිසිදු ඉල්ලුමක් නැති යෝධ ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන ගණන් මුදල් නාස්ති කළේ යැයිද ඒ මගින් යෝධ දූෂණ සිදු කෙරුණේ යයිද මැතිවරණ වේදිකාවල බරපතල චෝදනා ඉදිරිපත් කළ ජවිපෙ/මාලිමා නායක වත්මන් ජනාධිපති  අනුර කුමාර දිසානායක විසින්ම, මණ්ඩතීවු දූපතෙහි එළෙසින්ම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් සහිත ක්‍රීඩා ගම්මානයකට මුල් ගල් තැබීම කෙතරම් නම් අසෝභන විහිළුවක්දැයි කියා නිම කළ නොහැකිය.

මේ සතරවන නාස්තිකාර ක්‍රිකට් ක්‍රීඩාංගනය වන්නේ මීට පෙර ඉදිකළ මෙවැනි යෝධ ක්‍රිකට් ක්‍රීඩාංගණ තව 03 ක් වසා දමා ඇති හෙයිනි. විශාල මුදලක් වැය කර දඹුල්ලේ ඉදිකළ රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයත්, පල්ලේකැලේ සහ සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණත් එවැනිම ක්‍රිඩාංගණ ය. ඒවායේ ඉඳහිට තරගයක් දෙකක් පැවැත්වෙන්නේ අවුරුදු ගණන් එක දිගට වසා තබන්නට නොහැකි හෙයින්, අනෙක් ක්‍රීඩාංගණ වලට පැමිණෙන තරග බලහත්කාරයෙන් මෙන් ඒවාට තල්ලු කිරීමෙනි.

 

dabulla stadium දඹුල්ලේ ඉදිකළ රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
මේවා පාළුවට යන්නේ වෙන කිසිවක් නිසා නොව, ඒ දිස්ත්‍රික්කයේ හා අවට දිස්ත්‍රික්ක වල පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කෙරෙන පාසල් දෙක තුනක්වත් නොමැති හෙයිනි. එවැනි විට ඒ අවට ප්‍රදේශවල ක්‍රිකට් ක්‍රීඩා කරන සමාජ හැදෙන්නේද නැත. එනිසා මේ ක්‍රීඩාංගණ නඩත්තු කළ හැකි ආදායමක් ඒවාට ලැබෙන්නේ නැත. වසා තැබුවත් දෛනිකව ඒවායේ තණ නිල්ල නඩත්තු කිරීමට අතිශය විශාල මුදලක් දෛනිකව වැය කළ යුතුය. මණ්ඩතීවූ දූපතෙහි ජනාධිපති අනුර කුමාර ඉදිකරන්නට යන්නේ තවත් එවැන්නකි.

kyts

මණ්ඩතීවු දූපතෙහි ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කරන්නට ජනාධිපති අනුර කුමාර ඉදිරිපත් වීමේ වෙනත් දේශපාලන කියවීමක්ද තිබිය හැක. අවුරුදු 35 ට පෙර මණ්ඩතීවු, අලෛපිට්ටි සහ මාන්කුම්බන් ප්‍රදේශවල සිදු කළ හමුදා මෙහෙයුම් වලදී ඝාතනය කෙරුණු තරුණ තරුණියන්ගේ මෘතදේහ 40 ක් පමණ මණ්ඩතීවු දෙවන කොට්ඨාශයේ ළිඳකට හා ඒ ආසන්නයේ පාසලක ළිඳකට දමා ඇතැයිද පසුගිය අගෝස්තු මාසයේ වේලනායි ප්‍රාදේශීය සභාව විසින් එම සැක සහිත සමූහ මිනී වළවල් කැණිය යුතු යැයි යෝජනාවක් ඒකමතිකව සම්මත කර ඇතැයිද “දෙබස ඩොට් එල්කේ” අන්තර්ජාල පුවත් අඩවියෙහි වාර්තාවක තිබිණ. එහි සඳහන් අයුරු විපතට පත් වූවන්ගේ ඥාතීන් විසින් සමූහ මිනී වළවල් යැයි සැක සහිත ළිං කැණීමට පියවර ගන්නා මෙන් ඉල්ලමින් කයිට්ස් පොලිස් ස්ථානයෙහි සැප්තැම්බර පළමු සතියේ පැමිණිලි සටහන් කර ඇතැයිද වාර්තා කර ඇත. (Call for Justice Over Mandaitivu Massacre: Complaints Filed to Exhume Mass Graves)

එවැනි පසුබිමක, යාපනය අර්ධ ද්වීපයට යා කර ඇති පුද්ගලයින් 1,500 ක පමණ ජනගහනයක් ඇති කුඩා දූපතක් වන මණ්ඩතීවු දූපත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සහිත ක්‍රීඩා ගම්මානයක් බවට පත් කිරීමේ තීන්දුව ගැටළු සහගත නොවන්නේදැයි නොසිතෙන්නේද?


(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 සැප්තැම්බර 21 වන දින

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...