''වසන්ත ගේ වත්කම්වල අනෙක් ඒවානම් ඒතරම් ප්‍රශ්නයක් නෑ කියමුකෝ. ක්‍රිප්ටෝ කරන්සි (cryptocurrency) වැඩේ තමයි උස්සන්න අමාරු. වසන්තටත් LOLC කොටස් තිබෙන නිසා ක්ෂුද්‍ර මුල්‍ය ණය චෝදනා එනව නේද?''
''අපට ඔය ධනපති සදාචාර ප්‍රශ්න වැඩක් නෑ අනේ."
දෛවයේ සරදම සහ සදාචාරාත්මක ගැටලුව
වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රචාරය වීමත් සමග මේ දිනවල ජවිපෙ - මාලිමා ආණ්ඩුවාදීන් අතරින් නැගෙන අඳෝනාවන්ගෙන් එකක් දෙකක් තමයි මේ.
මෙයට පෙර පැවති ආණ්ඩුවල මැති ඇමතීන්ගේ වත්කම් ගැන විවිධ මානයන්ගෙන් කරුණු ඉදිරිපත් කරමින් ඒවා පට්ටා ගැසූ පිරිස්වලටම ජවිපෙ - මාලිමා ආණ්ඩුවේ මැති ඇමතීන්ගේ වත්කම් වෙනුවෙන් පෙනී සිටින්නට සිදුවීම දෛවයේ මොන සරදමක්ද?
දැනට වසරකට පෙර ඔවුන් කිව්වේ "අපි නිර්ප්‍රභූ රාජ්‍යයක් හදන්නේ. මේක හදන්නේ ඉස්සර අය කරපු වැරදි කරන්න නෙමේ. එහෙම වුනොත් ඒවාට විරුද්ධව ඉස්සෙල්ලාම පාරට බහින්නේ අපි." නමුත් ආණ්ඩුවට වසරක් පිරෙද්දී "පහුගිය ආණ්ඩුවල කරපු වැරදි මෙයාලත් කළොත් ඒවා ආරක්ෂා කරන්න ඉස්සෙල්ලාම පාරට බහින්නේ අපි" කියන තැනට ඒ සටන් පාඨය විතැන් වෙලා.
මෙහෙම වුණේ ඇයි? වසන්ත සමරසිංහ ඇමති ක්‍රිප්ටෝ කරන්සි තබා ගැනීම නෛතික වරදක්ද? සදාචාරාත්මක් ප්‍රශ්නයක්ද?
මේ කරුණ අරභයා නිර්මාල් රංජිත් දේවසිරි මහාචාර්යවරයා විසින් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා. එය හඳුන්වා තිබෙන්නේ "ජේවීපී හිඟන්නන් කෝටිපතියන් වීම. ජනතා විමුක්ති පෙරමුණට වසන්තය උදා වූ වගයි" යි කියලා. ආරම්භයේදීම නිර්මාල් කියනවා "ක්‍රිප්ටෝ කරන්සි" වගේ ඒවානම් නෛතික ගැටලුවක් නෑ. ඒකේ තියෙන්නේ සදාචාරාත්මක ගැටලුවක් කියලා.
ලාබය නම් කම්කරුවාගෙන් සොරා ගත් මුදල් ය...
මේ ප්‍රකාශයේ අපැහැදිලි කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි 2017 විදේශ විනිමය පණත යටතේ අංක 12 වගන්තියේ තිබෙනවා නේද ඉලෙක්ට්‍රොනික් කාඩ්පත් භාවිතාවෙන් ක්‍රිප්ටෝ කරන්සි ගැනීම තහනම් කියලා. මුදල් විශුද්ධිකරණ පණත යටතේත් මෙය තහනම් ක්‍රියාවක් කියලත් කියනවා නේද? එහෙම තිබියදී වසන්ත අමතිතුමාගේ ක්‍රිප්ටෝ කරන්සි නීති විරෝධී නොවන්නේ කොහොමද මහාචාර්ය තුමා ම පහදා දෙනවානම් හොඳයි.
අනෙක් එක තමයි මේක සදාචාරාත්මක ගැටලුවක් වෙන්නේ කොහොමද කියන එක. මහාචාර්යතුමා කුමන දෘෂ්ටිකෝණයකින් බැලීමේ දී ද මෙය සදාචාරාත්මක ප්‍රශ්නයක් ලෙස දැක්කේ කියන එක.
මොකද මාක්ස්වාදී දෘෂ්ටිකෝණයකින් බලද්දී මට නම් මෙහි කිසිම සදාචාරාත්මක ප්‍රශ්නයක් නෑ. මේ තමයි ඇත්ත ජවිපෙ. බිස්නස් නම් බිස්නස්. මොකද සදාචාර බලබලා ලාභ ලබන්න බෑ. කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කියන කෘතියෙන් මේ අතිරික්ත වටිනාකම, ලාභය කියන සංකල්පය ගැන මනාව පැහැදිලි කර තිබෙනවා. කම්කරුවෙක්ගේ ශ්‍රමය මගින් නිෂ්පාදනය කරන භාණ්යක් හා එකී නිෂ්පාදනය වෙනුවෙන් කම්කරුවාට ගෙවන වැටුප අතර වෙනසක් තිබෙනවා. ධනේෂ්වර ක්‍රමයක ලාභය කියන්නේ මේ වෙනසට.

කොහොමද ඒක වෙන්නේ. භාන්ඩයක් නිෂ්පාදනයේදී ධනපතියෙක් විසින් කිසියම් පිරිවැයක් දරනවා. ඒ පිරිවැය තුළින් නිෂ්පාදනය කරන ලද භාණ්ඩය විකුණා ඔහු ලාභයක් උපයා ගන්නවා. කම්කරුවාට ගෙවූ වැටුපත් ඇතුළුව භාණ්ඩයක් නිෂ්පාදනයේදී දැරූ මුළු පිරිවැයම ඔහුට පෙරළා ලැබුණේ නම් ලාභයක් ආවේ කොහොමද? කම්කරුවාගේ ශ්‍රමයට අදාළ ගෙවීම නොකර ඉතිරි කරගන්නා ලද සොරා ගන්නා ලද මුදල තමයි මේ ලාභය කියන්නේ. මේ ලාභය නැවත නැවත ආයෝජනය කිරීමෙන් ලාභය එක තැනකට රාශීභූතවීම ප්‍රාග්ධනය සමුච්චය කියලා මාක්ස්වාදයේ උගන්වනවා. මෙලෙස ප්‍රාග්ධනය සංකේන්ද්‍රණය වීම සමාජයේ සුළු පිරිසක් අතට පත්වීම නිසා සමාජ අසමානතාවය වැඩිවෙලා ආර්ථික අර්බුද ඇතිවෙන බවයි කාල් මාක්ස් පඬිවරයා පෙන්වා දෙන්නේ. විසදුමක් දෙන්න බැරි වුණොත් ඇතිවන ආර්ථික අර්බූද දේශපාලන අර්බූද බවට පත්වෙන්නත් පුළුවන්.
නිර්ප්‍රභූ සීතාම්බර පටයෙන් වහං වී සිටි ප්‍රභූන්
ගෝඨාභයගේ ආණ්ඩුව ජනතා අරගලයකින් පෙරළා දමා ජවිපෙ - මාලිමා ආණ්ඩුව ආවේ ආර්ථික අර්බූදයට ගෝඨාගේ ආණ්ඩුවට විසඳුමක් නොතිබුණු නිසා. ඒකට අදාළ තවත් ජාතික සහ ජාත්‍යන්තර විවිධ කාරණා එකතු වුණා. නමුත් දැන් බැලුවාම මාලිමා මැති ඇමතීනුත් ප්‍රාග්ධන හිමියන් තමයි. එයින් පෙන්නුම් කරන්නේ පැවැති ආණ්ඩුවලට වඩා මාලිමා ආණ්ඩුව යම් යම් වෙනස්කම් කළත් අරගලය විසින් කර තිබෙන්නේ වඩා ප්‍රසිද්ධ ධනපතියන් වෙනුවට අප්‍රසිද්ධ එහෙත් එම පංතියට නෑකම් කියන සමාජ බලවේගයකට ආණ්ඩුව බාරදීමක්. නිර්ප්‍රභූ සීතාම්බර පටයෙන් වහං වෙලා හිටපු ප්‍රභූන් රජ කරවීමක්. මේනිසා "ලස්සන රටක් පොහොසත් ජීවිතයක්" කියන සංකල්පය පෙර පැවැති ආණ්ඩුවල වගේ මහ ධනපතියන්ට නැතිව සුළු ධනේෂ්වරය කියන සමාජ තීරුවට පමනක් උදාවෙන්න පුළුවන්. කවුද මේ සුළු ධනේෂ්වරය කියන්නේ?
මාක්ස්වාදයේ තිබෙනවා මේ සමාජ ප්‍රගමනය සිදුවන්නේ මූලික පංතීන් දෙකක් අතර ඇතිවන්නා වූ ඒකාබද්ධය හා ගැටුම තුළින් කියලා. කවුද මේ ප්‍රධාන පංතීන් දෙක? ප්‍රාග්ධන හිමි හා නිර්ධන නැතිනම් සේව්‍යයා හා සේවකයා. මෙතැනදී මාක්ස්වාදයේ කියනවා කම්කරුවා තනි පුද්ගලයෙක් විදියට ගත්තොත් ඔහුගේ චින්තනයත් තිබෙන්නේ මහ ධනපතියෙක්වීමට කියලා. නමුත් ඔහුට ඒ සඳහා මංපෙත් විවර වී තිබෙන්නේ වැඩපළේ කම්කරුවන් සාමූහිකව කරන්නා වූ අරගලයකින් බව. ඒ නිසා ඔහුට පුද්ගලවාදීව විමුක්තිය ලබා ගන්න බැහැ කියලා. මේ ප්‍රශ්නය සුළු ධනේශ්වරය කියන සමාජ තීරුවට නැහැ. මොකද ඔවුන් ඔවුන්ගේ ශ්‍රමය විකුණන්නේ පොදුවේ නෙමේ. පෞද්ගලිකව. කලා ක්ෂේත්‍රය, කෘෂි ක්ෂේත්‍රය, අධ්‍යාපන ක්ෂේත්‍රය, කුඩා කුඩා ව්‍යාපාර මේ වගේ කීපයක් අපට උදාහරණ විදියට ගන්න පුළුවන්.
ඔබ, ඔබට ම කොටා ගන්න
ලංකාවේදී ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂය ගොඩනගන්නේ මෙන්න මේ ධනපති හා කම්කරු පංතිය කියන පංතීන් අතර තිබෙන සමාජ ධාරාව කේන්ද්‍රකරගෙන. ඒ සමාජ ධාරාවේ චින්තනය තිබෙන්නේත්, චින්තනය ගොඩ නැගෙන්නේත් පොදු එකක් විදියට නෙමේ. මහ ධනේෂ්වරය වීමේ පෞද්ගලික උන්නතිකාමී විදියට.
කම්කරුවාට මෙන් නොව මහ ධනේෂ්වරයට යෑමේ මංපෙත් විවරව තිබෙන්නේත් පෞද්ගලිකව. ජවිපෙ -මාලිමා නායකයින් තමන්ගේ වත්කම් උපයා ගත්තේ කොහොමද කියලා කරන්නා වූ ප්‍රකාශ හොඳට බලන්න. එතකොට මම මේ කියන කතාව තේරුම් ගන්න තවත් පහසුවේවි.
කොහා බිත්තර දාන්නේ කපුටාගේ කූඩුව ඇතුළේ. කපුටි බිත්තර රැකළා ඒක පුපුරා පැටියෙක් එළියට ආවට පස්සේත් කවා පොවා ඌව ලොකු මහත් කරනවා. එහෙම කළා කියලා ඌ පියාපත් ගහලා ඉගිළෙන වයසේදී කොහෝ කොහෝ කියන්නේ නැතිව කාක් කාක් කියන්නද? ඌ කොහෝ, කොහෝ කියලා තමයි කියන්නේ.
අපි මෙච්චරක් කලක් මූට සාත්තු සප්පායම් කළේ අපේ එකෙක් බිහිකරගන්න නේද කියලා කෝපයට පත්වෙන කපුටිය මොකද කරන්නේ...? කොහා පැටියාට එළව එළවා කොටනවා. කොහොමින් කොහොම හරි ඌ වංගුවක් ගහලා ජීවිතේ බේරා ගන්නවා. ආයෙමත් කොහා නැවතත් සුපුරුදු චක්‍රයේම යනවා. මොකද ඌ සතෙක් නිසා බිත්තර වර්ග දෙක වෙන්කර හඳුනා ගැනීමේ හැකියාවක් සතුන්ට නැහැ. නමුත් මනුෂ්‍ය ලෝකයේ වෙන් වෙන්ව අදුනා ගැනීම සඳහා මනුෂ්‍ය වර්ගයාට තර්ක බුද්ධියක් කියා දෙයක් තිබෙනවා.

තර්ක බුද්ධියෙන් සිතා බලා කටයුතු නොකර දැන් සමරසිංහලාට කොටලා වැඩක් නෑ. ප්‍රශ්නය වසන්ත සමරසිංහලා, හේවගේලා නොව ඔබගෙමයි. එමනිසා ජවිපෙ - මාලිමා මන්ත්‍රී, මන්ත්‍රීනියන්ට එළව එළවා කොටනවා වෙනුවට ඔබ ඔබේම ...ට කොටා ගත්තානම් හොඳයි.
(සටහන | ඥානසිරි කොත්තිගොඩ)
BBC සිංහල සේවයේ හිටපු මාධ්‍යවේදී
(නිදහස් ලේඛක)
koththigoda@gmail.com




