The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජයවර්ධනගේ 'වෙනස' වෙනස් කළ නොහැකි අනුරගේ 'වෙනස' ගැන කිව හැක්කේ මොකක්ද?

T

The Leader Desk

September 23, 2025 • 8:57 AM

ජයවර්ධනගේ 'වෙනස' වෙනස් කළ නොහැකි අනුරගේ 'වෙනස' ගැන කිව හැක්කේ මොකක්ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු දිවුරුම් දුන්නේ මෙරට ලොකු වෙනසකට ගෙන යාමේ පොරොන්දුව මත ය.
  • පසුගිය පාලන කාලයේ සිදු කෙරුණු යෝධ දූෂණ පරීක්ෂා කිරීමත් දූෂිතයින්ට දඬුවම් දීමත් ඊට ඇතුළු විය.
  • ඒ අතරතුර, දූෂණය පිටු දැකීමට යැයි පෙර වරදකරුවන් සෙවීමේ පරීක්ෂණ ආරම්භ කර, පරීක්ෂණ සම්පූර්ණ කෙරෙන තෙක් ඇතැමුන් රදවා තබා ගැනීම, ඇතැමුන්ට ඇප ලබාදීම වැනි කටයුතු සිදු කෙරෙමින් යන්නේ ය.
  • විදේශ ගමනක් සම්බන්ධ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ අවුරුදු 19 ට පෙර පහරදීමක් සම්බන්ධ හිටපු රාජ්‍ය ඇමතිවරයෙකු වන නිමල් ලන්සාගේ වැනි ඇතැම් අත් අඩංගුවට ගැනීම් කෙතරම් අදේශපාලනිකද ස්වාධීනද යන්න ප්‍රශ්න කෙරෙන්නකි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු දිවුරුම් දුන්නේ මෙරට ලොකු වෙනසකට ගෙන යාමේ පොරොන්දුව මත ය. එය, විශේෂයෙන් දූෂණයෙන් තොර, ජනතාවට වග කියන්නාවූ පාරදෘශ්‍ය ආණඩු පාලනයක් වෙනුවෙන් දුන් පොරොන්දුවක් විය. පසුගිය පාලන කාලයේ සිදු කෙරුණු යෝධ දූෂණ පරීක්ෂා කිරීමත් දූෂිතයින්ට දඬුවම් දීමත් ඊට ඇතුළු විය.

ඒ සන්දර්භයෙහි මේ ගෙවුනු අවුරුද්ද තුල වැඩියෙන් කතා වූයේ,

 


■ ජනාධිපති ඉදිරියෙන් හා පිටුපසින් ගමන් ගන්නා ආරක්ෂක වාහන පෙළක් ගමන් නොයෑම

■ ඉහළ තනතුරු ලබා දීමේදී හිතවත්කම් ඥාති සම්බන්ධතා නොසැළකීම

■ රාජ්‍ය සේවය නිර්දේශපාලනීකරණය කිරීම

■ අනවශ්‍ය මැති ඇමති වියදම් කප්පාදු කිරීම

■ මැති ඇමතිවරුන් තොග ගණන් වාහන භාවිත නොකිරීම

■ ඇමතිවරුන් නිල නිවාස භාවිතයට නොගැනීම

■ නිල වාහන පවුලේ භාවිතයට නොගැනීම

■ ඉන්ධන භාවිතය සීමා කිරීම සහ

■ කිසියම් වටිනාකමක් ඇති වැඩක් ලෙස මධ්‍යම අධිවේගී මාර්ගයේ ආරම්භක කොටස වන කඩවත සිට මීරිගම දක්වා වන කි.මීටර 37 ක මාර්ගය ඉදිකිරීමේ වැඩකටයුතු රුපියල් බිලියන 08.6 ක ඇස්තමේන්තුගත වියදමක් සමග ආරම්භ කිරීම ය.

f66f6733286cfc5f532e056f67b72fef25d6eb89

 

ඒ අතරතුර, දූෂණය පිටු දැකීමට යැයි පෙර වරදකරුවන් සෙවීමේ පරීක්ෂණ ආරම්භ කර, පරීක්ෂණ සම්පූර්ණ කෙරෙන තෙක් ඇතැමුන් රදවා තබා ගැනීම, ඇතැමුන්ට ඇප ලබාදීම වැනි කටයුතු සිදු කෙරෙමින් යන්නේ ය. විදේශ ගමනක් සම්බන්ධ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ අවුරුදු 19 ට පෙර පහරදීමක් සම්බන්ධ හිටපු රාජ්‍ය ඇමතිවරයෙකු වන නිමල් ලන්සාගේ වැනි ඇතැම් අත් අඩංගුවට ගැනීම් කෙතරම් අදේශපාලනිකද ස්වාධීනද යන්න ප්‍රශ්න කෙරෙන්නකි.

ඊළඟට මේවා කෙතරම් දුරකට අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් ජවිපෙ/මාලිමා ආණ්ඩුව පොරොන්දු වූ දියුණු ලංකාවක් පිළිබඳ සිහිනය සැබෑ කර ගැනීමට අදාල වන්නේද?

1.අනුර කුමාර ජනාධිපති ලෙස දිවුරුම් දුන් පළමු දිනයේ සිට පාක්ෂික හා පෞද්ගලික හිතවත්කම් මත ඉහළ තනතුරු ලබා දුන්නේය

2. රජයේ ඉහළ තනතුරු පාක්ෂිකයින්ට ලබා දීමෙන් රාජ්‍ය සේවය නිර්දේශපාලනීකරණය කිරීම අතහැර ඇත - නිදසුනක් ලෙස, මාලිමා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට ගෙනැවිත්, අනතුරුව නියෝජ්‍ය මුදල් ඇමතිවරයෙකු ලෙස පත්කර, මුදල් හා මහ භාණ්ඩාගාර ලේකම් ධූරය පුරප්පාඩු වූ විට ඉකුත් ජුනි මස මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී මුදල් හා මහ භාණ්ඩාගාර ලේකම් ලෙස සිය පාක්ෂිකයා ජනාධිපති විසින් පත් කිරීම

පාරදෘශ්‍ය ආණ්ඩු පාලනයකට මේ පිළිවෙත් කෙතරම් දායක වන්නේද?

rti g7y
01. තොරතුරු දැන ගැනීමේ පනත ප්‍රකාරව ජනාධිපති ලේකම් කාර්යාලය, අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන වෙත කෙරෙන ඉල්ලීම්, ආණ්ඩුවේ අනුදැනුම ඇතිව නොතකා හැරීම

02. සය මසක් සභාපතිවරයෙකු පත් නොකිරීමෙන් තොරතුරු දැන ගැනීමේ කොමිසම් සභාව අක්‍රීය කර තැබීම සහ අනතුරුව කෙරුණු පත් කිරීමෙහි පාරදෘශ්‍යභාවයක් නොවීම

03. සහල්, දිය ලුණු ආනයනය කිරීමේ විවෘත, පාරදෘශ්‍යභාවයක් නොවීම

දූෂණයෙන් තොර? මෙයත් ප්‍රශ්නයකි.

මහ බැංකු බැඳුම්කර මගඩියටද වඩා විශාල දූෂණයක් ලෙස සමාජයේ සාකච්ඡාවට ලක්ව ඇති බහලුම් 323 සම්බන්ධ සියලු නිල ලියකියවිලි, වාර්තා ප්‍රසිද්ධ කිරීමෙන් වැළකීම

රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීය කිරීමට එරෙහිව කටයුතු කිරීම

image 3c3790f8d8
■ ත්‍රස්තවාදය වැළැක්වීම් පනත වහා අහෝසි කිරීමට මහජන පෙත්සම්ද අත්සන් කළ ජවිපෙ/මාලිමා නායක අනුර කුමාර ගේ ආණ්ඩුව, එය නිරන්තරව භාවිත කිරීම

ඒ සියල්ල එක ගොනුවකට ගත් කළ පොරොන්දු වූ පුනරුදයට ඒවා හේතු විය හැක්කේ කෙසේද? මන්ත්‍රීවරුන් 225 ක් වන පාර්ලමේන්තුවේ මාලිමාවට මන්ත්‍රීවරුන් 159 ක් සිටීම යෝධ වෙනසකට හේතුවක්ද?

මැතිවරණ වේදිකාවල පොරොන්දු වූ සහ අවුරුද්දක ආණ්ඩු පාලනයේදී සිදුකර ඇති “වෙනස” සම්බන්ධව මට ඇත්තේ වෙනස්ම සැසඳීමකි. එය මෙවැනිය.

අපි 1977 ජුලි මහ මැතිවරණය වෙත යමු. එය පැවැත් වූයේ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් වූ වාමවාදී සභාග ආණ්ඩුවේ අවුරුදු 07 ක පාලනය අවසානයේ ය. ඒ පාලන කාලයේ ’71 ජවිපෙ සන්නද්ධ කැරැල්ල තලා දැම්මාට ඇයගේ ආණ්ඩුවට 2009 උතුරු-නැගෙනහිර යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂට ලැබුණු කීර්තිය මෙන් වැල් පොලී කීර්තියක් නොලැබුනි. වෙළදපල තේරීම් හා පාරිභෝගික නිදහස අනුව ඇයගේ ආණ්ඩුව සහමුලින් අසමත් වූ ආණ්ඩුවක් විය.

 

image 47fdad617c

ඒ දේශපාලන පසු බිමෙහි ජේ.ආර් ජයවර්ධන සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූයේ “පෝලිම් නැති යුගයක්, ධර්මිෂ්ඨ පාලනයක්” පොරොන්දු වෙමින් ය. 1977 ජුලි මහ මැතිවරණ ප්‍රතිපලය, 2024 ජවිපෙ/මාලිමා ජයග්‍රහණයට වඩා ඉහළින් තැබෙන්නකි. දෙමසකට කලින් තමන්ගේ ජනාධිපති තේරී පත්ව සිටියදී 2024 නොවැම්බරයේ ජවිපෙ/මාලිමා මැතිවරණ ජයග්‍රහණයෙන් ඔවුන්ට ලැබුණේ මන්ත්‍රී ආසන 225 න් 159 කි. මුළු ආසන සංඛ්‍යාවෙන් සියයට 70.6 කි. ජනාධිපති කතා නොතිබූ 1977 ජුලි මහ මැතිවරණයෙන් ජයවර්ධනගේ එ.ජා.පය, එදා වූ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 168 න් 140 ක් දිනා ගත්තේය. එය සියයට 83.3 කි.

එතැනින් එහාට වැදගත් වන්නේ, ජයවර්ධන ගේ ආණ්ඩුවෙන් පළමු අවුරුද්දේ ඔවුන් සිදු කළ වෙනසය.

 

Tr9LJkdL42T1GvMu 2
■ ජයවර්ධන පාලනය යටතේ ශ්‍රී ලංකාව 1978 දී විවෘත වෙළඳපල ආර්ථිකයට මාරු විය. එවැනි ආර්ථික ප්‍රතිසංස්කරණයකට අත ගැසූ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාවය.

■ අප කෙදිනකවත් නොසිතූ විධායක ජනාධිපති ධූරයක් සහිත ආණ්ඩුව 1978 පෙබරවාරියේදී ජයවර්ධන අගමැති ව්‍යවස්ථ සංශෝධනයකින් ස්ථාපිත කර, 1978 ජුලියේදී විධායක ජනාධිපති ධූරය සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කළේය.

■ ඒ සමග ඔහු, මැතිවරණ ආසනය දිස්ත්‍රික්කය දක්වා පුළුල් කර, අනුපාත ඡන්ද ක්‍රමය නීතිගත කළේය.

අප එකඟ වූවත් නොවූවත් එකිනෙකට ඈඳුණු මේ වෙනස් කිරීම් තුන තනි දේශපාලන සැළසුමක් ලෙස, අපගේ සමාජ ආර්ථික හා දේශපාලන දේහයේ පළමු වරට සිදු කෙරුණු යෝධ සුසමාදර්ශී වෙනසකි (Paradigm Shift). මේවා කෙතරම් දැවැන්ත වෙනසකට හේතු වුනිදැයි කීවහොත් ඒවා කිසිදු දේශපාලන නායකත්වයකට ආපසු හැරවිය නොහැකි විය.
 
මෙයත් ලියා තබා, එදා වෙනසත් අද වෙනසත් ගැන මගේ කියවීම අවසන් කරමි.

 

gt5y


87 - 90 වසරවල ජවිපෙ ම්ලේච්ඡ ත්‍රස්තවාදය ප්‍රේමදාස ජනාධිපති යටතේ සමූලඝාතනය වීමෙන් පසු ඉතිරි වූ කල්ලි නැවත එකතු වෙමින් ‘94 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයටද හවුල් වී ජනප්‍රිය, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ගොඩ වෙමින් සිටියහ. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ගොනුවීම තහවුරු කර ගැනීමට ඔවුහු 1994 නොවැම්බර 09 වන දින පැවති ජනාධිපතිවරණයට පොදු පෙරමුණ අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වූ අගමැති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට කොන්දේසියක් ඉදිරිපත් කළහ. කොන්දේසිය වූයේ ඇය විධායක ජනාධිපති ධූරය 06 මසක් ඇතුළත මුළුමනින් අහෝසි කිරීමට ලිඛිත පොරොන්දුවක් දෙන්නේ නම්, ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා ඉවත් කර ගනිමින්, ඇයට පූර්ණ සහාය දෙන්නේය යන්න ය. චන්ද්‍රිකා එය නොපමාව පිළිගනිමින් විධායක ජනාධිපති ධූරය වහා අහෝසි කරන බවට ලිඛිත පොරොන්දුවක් දුන්නා ය.
 
ඒ සමග, එකල කොළඹ සිටි “ද හින්දු” පුවත් පතේ මාධ්‍යවේදීයා විධායක ජනාධිපති ධූරයේ නිර්මාතෘ වූ විශ්‍රාමික ජනාධිපති ජයවර්ධන හමුවන්නට ගොසින් විධායක ජනාධිපති ධූරයේ බලය ගැන අභිමානයෙන් කතා කරන ඔහු, දැන් ඒ ගැන කියන්නේ මොනවා දැයි ඇසී ය. ජයවර්ධන මඳ හිනාවක් පා, “ඕක වෙනස් කරපු දවසක එන්න....එතකොට මං කියන්නම්” යැයි ඔහුට පිළිතුරු දුන් බව එදා ඔහු අප කිහිප දෙනෙකු සමග කීවේ, “ජයවර්ධනත් මාර මිනිහෙක්” යැයි කියමිනි.

ඉන් අවුරුදු 30 ට පසු, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාව ලාංකීය දේශපාලනයේ ආකර්ශනීය ඉල්ලීමක් ලෙස ස්ථාපිත කෙරුණේ ජවිපෙ විසින් ය. එහි නායක, අද ජවිපෙ/මාලිමා ජනාධිපති ඒ පුටුවෙහිම අසුන් ගෙන, ඔවුන්ගේ පුනරුදය දියුණු ලංකාවක් පිළිබඳ සිහිනය විසි එක්වන සියවස තුල සැබෑවක් කරන බවට සහතික වන්නේ ය. එහෙත් අවුරුදු 46 ට පෙර අපගේ සමාජ ආර්ථික හා දේශපාලන දේහයේ පළමු වරට ජයවර්ධන ජනාධිපති විසින් සිදු කළ ඒ යෝධ සුසමාදර්ශී වෙනස, ආපසු හැරවිය නොහැකි මේ නායකයින්ට කළ හැකි අලුත් සුසමාදර්ශී වෙනසක් නැතැයි මම කියමි.


Kusal 28(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2025 සැප්තැම්බර 22 වන දින

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...