The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බේගල් නම් වන හිටිවන නළුකම | තිලක් සේනාසිංහ

T

The Leader Desk

September 24, 2025 • 7:22 AM

බේගල් නම් වන හිටිවන නළුකම | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “All the world’s a stage, And all the men and women merely players” යන ඉහත සඳහන් වාක්‍යය මෙලෙසින්ම හෝ යම් යම් වෙනස්කම් සහිතව හෝ ඔබ අසා තිබෙනවාට සැක නැත.
  • එමෙන්ම මෙය දහසයවන සියවසත් දහහත්වන සියවසත් අතර එංගලන්තයේ විසූ මහා කවි, නාට්‍යවේදී විලියම් ෂේක්ස්පියර්ගේ සුවිශේෂී ප්‍රකාශයක් ලෙසද බොහෝ දෙනෙක් හඳුන්වති.
  • ඒ ඉන් පැවසෙන ලෙසින්ම මෙලොව ජීවත්වන අප සැමට ජීවිතයේ විවිධ අවස්ථාවල විවිධ භූමිකා නිරූපණය කිරීමට සිදුවන බැවිනි.
  • ඔවුන් හඳුන්වනු ලබන්නේ බේගල්කරුවන් ලෙසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

“All the world’s a stage, And all the men and women merely players” යන ඉහත සඳහන් වාක්‍යය මෙලෙසින්ම හෝ යම් යම් වෙනස්කම් සහිතව හෝ ඔබ අසා තිබෙනවාට සැක නැත. එමෙන්ම මෙය දහසයවන සියවසත් දහහත්වන සියවසත් අතර එංගලන්තයේ විසූ මහා කවි, නාට්‍යවේදී විලියම් ෂේක්ස්පියර්ගේ සුවිශේෂී ප්‍රකාශයක් ලෙසද බොහෝ දෙනෙක් හඳුන්වති. එහෙත් එය සැබැවින්ම විලියම් ෂේක්ස්පියර් විසින් රචිත As You Like It (ඔබ කැමති පරිදි) නම් ප්‍රහසන නාටකයේ එන දෙබස් ඛණ්ඩයකි. 

ආර්ඩන් වනයට පිටුවහල් කරන ලද ජේකස් හෙවත් මලානික ජේකස් (Melancholy Jaques) විසින් පවසන ලද ඉහත සඳහන් දෙබස් ඛණ්ඩය සමස්ත මානව සංහතිය පිළිබඳ පුළුල් විශ්වීය නිරූපණයක් බව ඒ සම්බන්ධ විද්වත් මතය වී තිබේ. ඒ ඉන් පැවසෙන ලෙසින්ම මෙලොව ජීවත්වන අප සැමට ජීවිතයේ විවිධ අවස්ථාවල විවිධ භූමිකා නිරූපණය කිරීමට සිදුවන බැවිනි.

 

As You Like It
එහෙත්, එම ප්‍රවේශය මගින් මෙම සටහන ඔස්සේ අප අරමුණු කරනුයේ රඟබිමක් හෝ රඟමඬලක් අහිමි, කිසිදු පිළිගැනීමකට තබා විශේෂ හැඳින්වීමකටවත් ලක් නොවූ අප සමාජයේ වෙසෙන එක්තරා නළුවන් හෙවත් සජීවී නාට්‍යකරුවන් පිරිසක් පිළිබඳ විස්තර කිරීමට ය. ඔවුන් හඳුන්වනු ලබන්නේ බේගල්කරුවන් ලෙසිනි.


‘බොරු-බේගල්’ යනු සිංහල භාෂාවේ එන යුගල පදයකි. ඒ අනුව තවමත් බොහෝ දෙනකු සිතා සිටිනුයේ බොරුව සහ බේගලය එකක්ම බව ය. එමෙන්ම බේගලය යනු බොරුවේම දිගුවක් බව පවසන්නෝ ද වෙති. එහෙත්, පොදුවේ ගත් කල සත්‍ය නොවූ ප්‍රකාශ වශයෙන් හැඳින්විය හැකි වුවද බොරුව සහ බේගලය අතරේ සුවිසල් විෂමතා තිබේ. 

අසන්නවුන් රවටන අභිලාෂයෙන් කරනු ලබන ප්‍රකාශයන් බොරු නමින් හැඳින්වෙන අතර බුදු දහමේ මෙය මෘෂාවාදය හෙවත් මුසාවාදය ලෙසින් හැඳින්වෙයි. එහි දැක්වෙන අන්දමට අකුසල කර්මයක් වන මුසාවාදය සම්පූර්ණ වීමට කරුණු හතරක් එක් විය යුතුය.

පවසන කරුණ සත්‍යයෙන් තොර වීම, අන්‍යයන් රැවටීමේ අදහස, රැවටීමේ උත්සාහය, එසේ කී දෙය සත්‍යයක් වශයෙන් අනෙකා හෝ අන්‍යයන් වටහා ගැනීම යනු ඒ කරුණු සතර ය. එමෙන්ම පසුකලෙක ඉටු කළ ද ඉටු නොකිරීමේ අදහස පෙරදැරිව යම් පොරොන්දුවක් දීම ද මුසාවාද ගණයට අයත් වන බව බුදු දහමෙන් අනාවරණය කෙරේ. ඒ ඉහත සඳහන් කරුණු සතර මුල් කොට ඉහත පොරොන්දුව දුන් තැනැත්තාට මුසාවාද අකුසලය සිදු වන බැවිනි.

නමුත් බොරු යන යුගල පදයෙහි දෙවන කොටස වන බේගල් යන්නෙන් හැඳින්වෙනුයේ බොරු නොවේ. අන්‍යයන් පිනවීමේ, රසවත් කිරීමේ අදහසින් ප්‍රකාශ කරනු ලබන අභව්‍ය ප්‍රකාශයන් ය. එමෙන්ම හාස්‍යය හා කිසියම් පුද්ගලයකු, ප්‍රජාවක් හෝ සිරිතක්, විරිතක්, සම්ප්‍රදායක් වෙත එල්ල වන උපහාසය ගැබ් වූ ඒවායේ යටි තලයේ ගැඹුරු දාර්ශනික අදහස් ද බොහෝ විට තිබිය හැක. නමුත් මෙම බේගලය ග්‍රාමීය සංස්කෘතියෙන් මතු වන්නක් ලෙස ප්‍රකටව ඇති නිසාදෝ යටත් විජිත සමයේ සිට මෙරට ව්‍යාප්ත වූ නාගරික සංස්කෘතිය විසින් එය සමාජයීය කුණු මුල්ලට ඇද දමන ලදී. නමුත් අතීත ගැමි සමාජයේ බොරුකාරයන් පොදු ගර්හාවකට ලක් වුවද බේගල්කාරයන් සඳහා යම් පිළිගැනීමක් තිබිණි.

 

ape gama original
මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ‘අපේ ගම’ කෘතියෙහි එන අන්දො අයියා හෙවත් ‘බේගල්’ ගේ චරිතය තමන් සැබැවින්ම ඇසූ දුටු අපූරු චරිතයක් බව වික්‍රමසිංහයන් පසුව කියා තිබිණි. බේගල් මුත්තා යනුවෙන් හඳුන්වන ලද වැඩිහිටියන් ගැන ද අප කොතෙකුත් අසා තිබේ. පොදුවේ ගත් කල ඔවුන් හැඳින්විය හැක්කේ සැබෑ රසවතුන් ලෙස ය.

මා තරුණ වියේ දී අප ගම් ප්‍රදේශයේ දේශපාලනික වශයෙන් ජාතික මට්ටමේ ප්‍රසිද්ධියක් ඉසිලූ නාහිමි නමක් වැඩ සිටියහ. නමුත් ඒ කාලයේ උන්වහන්සේගේ සිල්වත් බව සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගෙන් බරපතළ චෝදනා එල්ල විය. එහෙත් ශ්‍රැතිමාත්‍ර පමණක් වූ ඒවායේ විශ්වසනීයභාවය සම්බන්ධයෙන් පැහැදිලි නිශ්චයක් අදත් මා තුළ නොමැත. කෙසේ හෝ කලක් රෝගාතුරව වැඩ සිටි ඒ නාහිමියන් අපවත් වූ අතර එම ආදාහන පූජෝත්සවය එවක රාජ්‍ය නායක කාරකාදීන්ගේ සහභාගීත්වයෙන් මහත් ගරු ගාම්භීර අන්දමින් සිදු කරන ලදී.

ඉන් දින හෝ සති කිහිපයකට පසුව මම අප ගම් ප්‍රදේශයේ ගැමියන් නිතර එක් රොක් වන සිල්ලර කඩයක ආලින්දයේ රැඳී සිටියෙමි. ඒ මොහොතේ ද එම කඩපිල මත ගැමියන් දෙදෙනකු දාං අදිමින් සිටි අතර තවත් කිහිප දෙනකුගේ විමසුම් නෙත්වලින් ඒ දෙස බලා හිඳිනු දක්නා ලදී. එවිටම ඒ ඉදිරිපිටින් වූ ගුරු පාරේ යමින් සිටි පාදයක සුළු ආබාධයක් ද සහිත ගැමියෙකු සුපුරුදු බස්තම ද සියතින් ගෙන එම කඩපිල වෙත ගොඩනැඟුණේ “මට ඊයේ අපායේ පත්තර කෑල්ලක් හම්බ වුණානේ බොලව්” යනුවෙන් හඬ නඟා පවසමිනි. 

tea shop

එමෙන්ම ඔහුගේ මෙම අප්‍රභ්‍රංශ කතාවෙන් අන්දමන්ද වූ කඩපිලේ දාං අදිමින් සිටි දෙදෙනා, එය වටා රැස්ව සිටි කිහිප දෙනා මෙන්ම එම වෙළෙඳසැලේ මුදලාලි ද, එසේ කඩපිලට ගොඩවැදුණු තැනැත්තා දෙස විස්මයෙන් බලා හිඳිනු පෙනුණි. “අන්න අපේ නායක හාමුදුරුවන්ට අවීචි මහා නරකාදියේ ඉස්සරහම පේළියේ පුටුවක් හම්බ වෙලා. ඒ පත්තරේ අපේ නායක හාමුදුරුවෝ මෙහෙදි කරපු වැඩ ගැන විස්තරත් එක්ක ඒ පින්තූරෙකුත් ලොකුවටම පළ කරලා.” ඔහු කඩපිලට පා තබන අතරේ කීයේ අවට සිටි සැමට හොඳින් ඇසෙන අන්දමිනි.

නමුත් එසේ කඩපිල අවට රැස්ව සිටි පිරිස අතරේ එම නාහිමියන් සමීපවම ඇසුරු කළ අයකු ද සිටි නමුත් කඩපිල වෙතට පිවිසි තැනැත්තා ඔහු දැක නොමැති බව එහි සිටි කාටත් වැටහුණි. එහි සිටි කිසිවකු ඔහුට ඒ කඩපිල අද්දර රැඳී සිටි නාහිමියන්ගේ සමීපතමයා නෙත් කොනින් පෙන්වන්නට ඇත්තේ එබැවිනි. එකෙණෙහිම ඒ කඩපිල මතට පිවිසි තැනැත්තා පෙර පරිදිම සිය කටහඬ උස් කොට යළි සිය කතාව ඇරඹීය.

“ඒ කියන්නේ ඉතින් අවීචි මහා නරකාදියට වැටුණු එකෙකුව උනත් ඒකෙන් ගොඩදාන්න තරම් මහා පින් බලයක් අපේ නායක හාමුදුරුවන්ට තියෙනවනේ. ඒකනේ උන්වහන්සේ දිව්‍ය ලෝකේ ඉඳලා තකහනියෙම ඔහොම අපායට වඩින්න ඇත්තේ.” ඔහු ගත් කටටම කීයේ ඔහුගේ ක්ෂණික පරිකල්පන ශක්තිය පිළිබඳව මා විස්මයෙන් අන්දමන්ද කරමිනි.

begal2ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සාලිය කුලරත්න
පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සාලිය කුලරත්න ද වරක් මහනුවර මාපනාවතුර නම් වන තම ගම් ප්‍රදේශයේ සිටි මෙවන් බේගල් ප්‍රතිභාවක් සහිත බැලගෙඩි කඩන්නකු පිළිබඳ අපූරු කතාවක් මා හා කීවේය.

“එහිදී ඔහු කීයේ අතු කැපීම පිණිස එවක තම ඉඩමේ තිබූ ඉතා උස් කොස් ගසක් මුදුනට නැඟි එම පුද්ගලයා ගස ආසන්නයේ බිම සිටි තම මවට ඇසෙන සේ “සාදු…. සාදු….. අනේ සාදු අනේ සාදු” යනුවෙන් මොර දුන් බවකි. පසුව ඔහුගේ එම අසාමාන්‍ය හඬ නැඟීම සම්බන්ධයෙන් ගස මුල සිට විපරම් කළ සිය මවට ඔහු “අනේ හාමිනේ; සිරිපාද පද්මෙ අතේ දුරින් වගේ පේනවා, ඒකයි මම මෙතන ඉඳන්ම වැඳ පුදා ගත්තේ, හාමිනේට බොහොම පින්” යනුවෙන් පැවසූ බව ද මහාචාර්යවරයා කීවේය.

මගේ පෞද්ගලික වැටහීම අනුව ඉහත සඳහන් ප්‍රකාශ දෙකම බේගල් ගණයට අයත් අතිශය රසාලිප්ත කියුම් ය. නමුත් මතුපිටින් සරල හාස්‍යෝත්පාදක බවක් පළ කළ ද මෙම බේගල් තුළ ඉතා ප්‍රබල ද්වනිතාර්ථ ගැබ්ව තිබේ.

ඉන් අප ගම් ප්‍රදේශයේ බේගල්කරු එම නාහිමියන් සම්බන්ධයෙන් කළ මුල් ප්‍රකාශයෙන් උන්වහන්සේ සම්බන්ධයෙන් සමාජයීය විඥානය තුළ ගැබ්ව තිබූ ආකල්ප හාස්‍යෝත්පාදක හා කාව්‍යාත්මක ලෙසින් ඉදිරිපත් කළ බව පැහැදිලි ය.

එමෙන්ම තම අදහස ඒ මොහොතේ එතැනට නොගැලපෙන බව වටහා ගත් බේගල්කරු එසැනින් ඊට ඉඳුරාම වෙනස් අදහසක් පළ වන අන්දමින් ඉදිරිපත් කිරීම ඔහු සතු ක්ෂණික නිර්මාණාත්මක පරිකල්පන ශක්තිය මනාව හුවා දක්වන්නකි. මහාචාර්ය සාලිය කුලරත්නයන්ගේ මව ඉදිරියේ බැලගෙඩි කඩන්නා ඉදිරිපත් කළ රසවත් බේගලය තුළින් එම කොස් ගසේ ඇති උස ප්‍රමාණය අතිශයෝක්තියට නැංවීමක් සිදු වූ බව ඉතා පැහැදිලි ය. ඒ අනුව එතරම් ඉහළ උසකට නැගීම වෙනුවෙන් තමන්ට හිමි විය යුතු “බැලය” ද තරමකින් හෝ වැඩි විය යුතු බව ඔහු අතිශය අහිංසක, සෞන්දර්යාත්මක හා කාව්‍යාත්මක ස්වරූපයකින් ඉදිරිපත් කරන්නට ඇතැයි යන්න මගේ පෞද්ගලික වැටහීම ය.

 

stand up komadi

ඉහත සඳහන් බේගල්වලට තරමක් සමාන නවතම හාස්‍යෝත්පාදක හා ප්‍රාසාංගික අංගයක් ද මේ වන විට ප්‍රවර්ධනය වෙමින් තිබේ. එය හැඳින්වෙනුයේ ‘ස්ටෑන්ඩ් අප් කොමඩි’ යනුවෙනි. මෙහිදී කිසියම් නිශ්චිත සමූහයක් ඉදිරියට පැමිණෙන එම ප්‍රහසනවේදියා හෝ වේදිනිය පවත්නා යමක් සම්බන්ධයෙන් හාස්‍යෝත්පාදක අර්ථ නිරූපණයක් ඉදිරිපත් කරනු දක්නට පුළුවන. මෙය මුළුමනින්ම බේගල් ආකෘතිය මත ගොඩනැඟී ඇති අතර මා දන්නා තරමින් නම් මේ දක්වාම මෙම ‘ස්ටෑන්ඩ් අප් කොමඩි’ සහ බේගලය අතරේ සැසඳීමක් සිදු වී නැත. නමුත් බේගලය සියවස් ගණනාවක් පැරණි අසම්භාව්‍ය, එහෙත් ඉතා තියුණු සමාජ විචාරාත්මක කලාවක් වුවද ‘ස්ටෑන්ඩ් අප් කොමඩි’යේ ඉතිහාසය දහනවවන සියවසේ මැද භාගයෙන් එපිටට විහිද යන බවක් නොපෙනේ. 

Harvard Theatre Collection Charles Farrar Brown TCS 1.3788 croppedචාල්ස් ෆරාර් බ්‍රවුන්ඇමරිකානු ප්‍රහසනවේදී චාල්ස් ෆරාර් බ්‍රවුන් (1834-1867) ආදීන්ගෙන් ඇරඹි මෙම ප්‍රහසන සම්ප්‍රදාය මේ වන විට ශ්‍රී ලාංකේය ජන සමාජයට පිවිස ඇතත්, එමගින් සියලු පාර්ශවයන් විසින් එහි දේශීය මූලය වන බේගල් නම් වන එම සමාජ යථාර්ථවාදී හාස්‍යෝත්පාදක මාධ්‍යය මුළුමනින්ම අමතක කොට තිබීම බරපතළ ඛේදවාචකයකි. 

එමෙන්ම අප ගැමි සමාජය තුළින් මතු වූ පිටපත් රචනය, අභිනය වැනි නාට්‍යාංග සියල්ල හිටිවනම ඉදිරිපත් කළ මෙම බේගල්කරුවන් නම් වන රඟබිම අහිමි අහිංසක ගැමි කලාකරුවන් මෙලෙස නොතකා හැරීම බරපතළ ඛේදවාචකයකි. එපමණක් ද නොවේ, 1940 දශකයෙන් පසු අප රට පුරා ව්‍යාප්ත වූ නූතන සම්ප්‍රදායේ සිංහල අලුත් අවුරුදු උත්සවවල පවා මුල් තැනක් ගෙන ඇති බොරු කීමේ තරග නම් වන දේශීය සංස්කෘතික විරෝධී තරග, බේගල් තරග ලෙස යාවත්කාලීන කිරීමට තරම්වත් වත්මන් සමාජ විඥානය ව්‍යක්ත නොවීම එම ඛේදවාචකයේ බරපතළ බව තවත් ඉහළ නංවන්නකි.

Thilak Senasinghe
(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී 

thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බේගල් නම් වන හිටිවන නළුකම | තිලක් සේනාසිංහ | The Leader