The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

“ඔයාට පාන් ද?” වදනේ සිට “බඩු බනිස්” තෙක්... | ප්‍රණීත් අභයසුන්දර

T

The Leader Desk

September 25, 2025 • 8:59 AM

“ඔයාට පාන් ද?” වදනේ සිට “බඩු බනිස්” තෙක්... | ප්‍රණීත් අභයසුන්දර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත්, මෙවර ඉස්මතු වී ඇති පාන් සම්බන්ධ කතිකාව ඊට ඉඳුරාම වෙනස්ය.
  • සාමාන්‍ය ජන වහරට අනුව ‘උඹට ඇති රුදාව මොකක්ද?’ යන අදහස විකල්ප ලෙසකින් හා උපහාසාත්මක අයුරකින් ඔහුගෙන් විමසා සිටීමේ අරමුණ ඇතිව ය.
  • ඇතැම්හු තම ප්‍රතිවාදීන් මානසිකව පසුබෑමට ලක් කිරීම පිණිස ද මෙවැනි අපහාස උපහාස භාෂාවන්හි යෙදෙන බව ප්‍රකට කරුණකි.
  • ඉහත සඳහන් ඇමතිවරයාගේ පාන් කතාවට පිවිසීමට පෙර ඒ සම්බන්ධයෙන් යම් දැනුමක් අවබෝධයක් ලබා ගැනීම වැදගත් වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


එහෙත්, මෙවර ඉස්මතු වී ඇති පාන් සම්බන්ධ කතිකාව ඊට ඉඳුරාම වෙනස්ය. ඒ එය හුදු වාග් ව්‍යවහාරයක් පදනම් වන බැවිනි. වත්මන් ආණ්ඩුවේ ප්‍රබලතම අමාත්‍යවරයකු එක්තරා රූපවාහිනී සම්මුඛ සාකච්ඡා වැඩසටහනක් අතරතුර දී එය මෙහෙයවන මාධ්‍යවේදියාගේ නම කියා ‘ඔයාට පාන්ද?’ යනුවෙන් ඔහුගෙන් විමසා සිටීම මෙම සමාජමය විමසුමට මුල් වී තිබේ.

මෙහිදී ඔහු එම ප්‍රශ්නය විමසා සිටියේ එම නිවේදකයාගේ ආහාර අවශ්‍යතාවක් පිළිබඳව දැන ගැනීමට නොවේ. සාමාන්‍ය ජන වහරට අනුව ‘උඹට ඇති රුදාව මොකක්ද?’ යන අදහස විකල්ප ලෙසකින් හා උපහාසාත්මක අයුරකින් ඔහුගෙන් විමසා සිටීමේ අරමුණ ඇතිව ය.

 



එවන් සාකච්ඡාවක් අතරතුර එය මෙහෙයවන නිවේදකයාගේ පැනයට සෘජුව පිළිතුරු දීම වෙනුවට ඔහු උපහාසයට ලක් කිරීමට එම ඇමතිවරයාට අවශ්‍ය වූයේ මන්ද යන්න වෙනම විමසිය යුතු කරුණකි. ඇතැම්හු තම ප්‍රතිවාදීන් මානසිකව පසුබෑමට ලක් කිරීම පිණිස ද මෙවැනි අපහාස උපහාස භාෂාවන්හි යෙදෙන බව ප්‍රකට කරුණකි. ඒ කෙසේ හෝ අපි ඒ සියල්ල පසෙක තබා මෙම ඇමතිවරයාගේ පාන් කතාවේ කථන හා භාෂාත්මක පසුබිම විමසා බලමු.

භාෂා ව්‍යවහාරයන් යනු සෑම මිනිස් සමාජයකම ඊට අනුරූපව සැකසුණු ලේඛන හා කථන මාධ්‍යයකි. ඒ අතුරින් කථන මාධ්‍යය මූලික වශයෙන් කොටස් හතරකට බෙදා දැක්විය හැක. ඉහත සඳහන් ඇමතිවරයාගේ පාන් කතාවට පිවිසීමට පෙර ඒ සම්බන්ධයෙන් යම් දැනුමක් අවබෝධයක් ලබා ගැනීම වැදගත් වනු ඇත.

පොදුවේ ගත් කල කථන ව්‍යවහාරයන් බෙදා වෙන් කළ හැකි කොටස් හතරක් තිබේ. එනම් වියත් වහර, ජනවහර, උපවහර හා අවවහර ලෙසිනි.

වියත් වහර යනු උගතුන්ගේ භාෂාව ලෙස සමාජ සම්මතයේ එන ශාස්ත්‍රීය පක්ෂයට නැඹුරු වූ කතා ව්‍යවහාරයකි. අප කුඩා කාලයේ අපේ වැඩිහිටි පරපුරේ සමහරකු යමකු ඇමතීම සඳහා ‘ඔබ’ යන වදන යෙදූ අයුරු අපට තවමත් මතක ය. තමන්ගේ ශාස්ත්‍රීය ප්‍රතාපය, ශික්ෂණය හා සංයමය සමාජය හමුවේ ගෙනහැර දැක්වීම පිණිස ඔවුන් මේ බස යොදා ගත් බව පෙනේ. නමුදු මේ වන විට ඒ පරපුරේ කිසිවකු ජීවතුන් අතර වෙත්නම් ඉතා කලාතුරකිනි. එය අප සමාජය වෙත එල්ල වූ විවෘත ආර්ථික බලපෑමත් සමඟ ක්ෂය වූ වියත් සම්ප්‍රදායක් බව පෙනෙයි.

මහාචාර්ය විනී විතාරණමෙහි දෙවනුව එන ජන වහර යනු ශාස්ත්‍රීය හා ලිඛිත භාෂාවට වෙනස් වූවකි. මෙය “කතා කරන භාෂාව” ලෙස ජන සම්මතයේ තිබේ. අතීතයේ ලේඛන මාධ්‍ය සඳහා යොදා නොගැනුණු මෙය මේ වන විට සාහිත්‍ය නිර්මාණ ඇතුළු විවිධ ලේඛන සඳහා යොදා ගැනීමේ නැඹුරුවක් ද තිබේ. එය ප්‍රායෝගික වශයෙන් පහසු වුවද සිංහල භාෂාවේ අභිමානයට හානිදායක බවට මතයක් ද තිබේ. සිංහලය පදනම් කරගත් මෙම ජන වහර ප්‍රාදේශීය වශයෙන් වෙනස් වීම ද පැහැදිලිව දැක ගත හැකිය. අප ඉහත දැක් වූ ශාස්ත්‍රීය ව්‍යවහාරයේ එන ඔබ යන්න සාමාන්‍ය කතාබස් වලදී “ඔයා” යනුවෙන් ව්‍යවහාර වන අතර අප රටේ දකුණු පළාතේ දී එය “ඔහේ” යනුවෙන් ව්‍යවහාර වීම ඒ සඳහා දැක්විය හැකි ඉතා පහසු හා සරල නිදසුනකි. අප රටේ ඇති ප්‍රාදේශීය ව්‍යවහාර අතුරින් දකුණු පළාතේ භාවිතා වන ජන වහර පැරණි සිංහලය හා බෙහෙවින්ම සමීප බව දකුණු පළාතේ ජන්ම ලාභය ලත් මෑත ඉතිහාසයේ පහළ වූ මහ පඬිරුවනක් වන මහාචාර්ය විනී විතාරණයන් පෙන්වා දී තිබේ.

dambana 2
මේ අතර උප වහර හෙවත් උප භාෂාව (Dialect) ලෙස හැඳින්වෙන වාග් සම්ප්‍රදායක් ද සිංහලයෙහි තිබේ. කිසියම් ජන කොටසක් හෝ ප්‍රජාවක් අතරේ පමණක් ව්‍යවහාර වන පැහැදිලි අනන්‍යතාවක් පළ කරන වාග් කෝෂයකින් යුතු ව්‍යවහාරයන් උප වහර හෙවත් උප භාෂාව ලෙස හැඳින්වෙයි. ඒ සඳහා කදිම නිදසුනක් වනුයේ අප රටේ වැදි භාෂාව ලෙස හැඳින්වෙන වාග් ව්‍යවහාරයයි. ඊට අමතරව ධීවර ආදී සමාජ ඒකක තුළ මෙන්ම විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය ප්‍රජාවන් තුළ පවා ඔවුනටම ආවේණික උප භාෂා හෙවත් උප වහර සම්ප්‍රදායන් පවතී. එමෙන්ම අප සමාජයේ පවතින සාමාන්‍ය ජන වහරේ ප්‍රාදේශීය විෂමතාවයන් හා මෙම උප වහර හෙවත් උප භාෂාවන් අතරේ දැකිය හැකි පැහැදිලි වෙනස්කම් තිබේ. කිසියම් ප්‍රජාවක් අතරේ ව්‍යවහාර වන උප භාෂාවකින් පැවසෙන කරුණක් ඒ අයුරින්ම වටහා ගැනීමට ඊට පිටස්තරයකු හට අවකාශයක් නොලැබීම ඉන් ප්‍රධාන වේ.

මෙහිදී පැවසිය යුතු විශේෂ කරුණක් ද තිබේ. එනම් අපේ රටට සාපේක්ෂව අපට ආසන්නතම ඉන්දියානු උප මහාද්වීපයේ මෙවන් උප භාෂා දස දහස් ගණනක් තිබීම ය. ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයන් හි යෙදුණු සමාජ හා මානව විද්‍යාඥයන්ගේ පොදු මතය අනුව කිසියම් ප්‍රජාවක් විසින් සම සංස්කෘතික පසුබිමක් යටතේ එකම ක්ෂේත්‍රයක නියැලීම, එක සමාජ, ආර්ථික පසුබිමක් පැවැතීම, සම අධ්‍යාපනික මට්ටම ආදී සාධක මෙලෙස උප වහරක් හෙවත් උප භාෂාවක් ඇති වීමට බලපාන බවකි.

lie

නමුත් ඉහත සඳහන් ඇමතිවරයා විසින් රූපවාහිනී නිවේදකයාගෙන් අසනු ලැබූ “ඔයාට පාන් ද?” යන පැනය ඉහත සඳහන් වර්ගීකරණයට අයත් සිව් වන කොටස වන අව වහර (Slang) ගණයට අයත් වන්නකි. මෙම අව වහර සම්බන්ධ පොදු සාධක අතුරින් සමාජ සම්මතයෙන් හා ශිෂ්ටත්වයෙන් බැහැරවීම ප්‍රධාන සාධකයන් ලෙස සැලකේ. අපගේ පැරණි සමාජය “හැබිචෝල්කාරයන්ගේ කතා” යනුවෙන් හඳුන්වන ලද්දේ මෙවන් අවියත් අව වහර බව නිසැක ලෙසම කිව හැකිය. ඔවුන් මෙලෙස හැබිචෝල්කාරයන් ලෙස හඳුන්වන ලද්දේ යම් යම් නොමනා ක්‍රියාකලාපයන්ට ඇබ්බැහි වූ අවිනීතවත් පිරිස් වන අතර එය Habitual යන ඉංග්‍රීසි වදන මුල් කොට අපගේ ජන වහරට එක් වූවකි. අප කුඩා අවදියේ සමහරකු තවත් කිසිවකුගේ ගෞරවයට අවමානයක් කිරීම පිණිස යෙදූ “දවල් ද? හිටගෙන ද?” ආදී වශයෙන් වන අවවහර අපගේ මතකයට නැඟේ. වැරදීමකින් හෝ මේවා භාවිතය එකල අපට සපුරාම තහනම් විය. කොටින්ම ඒවා පැවසීම වැඩිහිටියන් ලවා “කට තලා ගැනීමට” හේතු විය.

නමුත් අතීත සමාජයේ පොදු භාවිතයෙන් මුළුමනින්ම ඉවත්ව තිබූ මෙම අව වහර වත්මන් නව ලිබරල්වාදී සමාජ අර්ථ ක්‍රමය තුළ කෙමෙන් සමාජයේ ඉදිරියට පැමිණෙන අයුරක් දක්නට ලැබේ. ඒ සඳහා විශේෂයෙන් සමාජ ජාල පරිශීලකයන්ගේ සහාය නොමඳව හිමි වන බව පෙනේ. හුදෙක් වාමාංශික මූලයකින් යුතු දේශපාලන පක්ෂයක ප්‍රධානියකු ද මෙම නව ලිබරල්වාදී සමාජ ලක්ෂණයට නතුවීම විශේෂත්වයකි.

 

sampan dwellers‘සාම්පාන්’ නම් චීන යාත්‍රා විශේෂය
නමුත් මෙලෙස අව වහර පිණිස යෙදෙන ඇතැම් වදන් වල ඒ සම්බන්ධ මූලික අර්ථයක් ද ඇති බව පෙනේ. අපි නිදසුන් කිහිපයක් විමසමු. වර්තමානයේ බහුල ලෙස භාවිතා වන අව වහර අතරට ‘අම්බානක’ යන්න ඇතුළත්ය. මෙහි අරුත වනුයේ නොසෑහෙන ලෙස යන්න ය. එහෙත්, මෙම අම්බාන යන වදන බොහෝ බර පටවා ගෙන යාත්‍රා කළ හැකි හම්බාන නම් ඔරු විශේෂය මුල් කොට ව්‍යවහාරයට පැමිණි එකක් බව පෙනේ. පෙරදිග සහ අරාබිකරය අතර සමුද්‍රීය ගමන් මාර්ගයක් වූ සේද මාවත ඔස්සේ මෙම යාත්‍රාවන් මෙරටට ගොඩබැසීම මුල්කොට හම්බන්තොට, හම්බන්වැල්ල ආදී ග්‍රාම නාමයන් පවා ඇති වූ බව පැවසෙයි. ඒවායින් පැමිණි යෝනක වෙළඳුන් මෙහි ජනතාව විසින් ඔවුන් පැමිණි යාත්‍රාවල නමින් ‘හම්බයන්’ ලෙස හැඳින්වූ බව ද පෙනේ. මෙම හම්බන් නාමය ‘සාම්පාන්’ නම් චීන යාත්‍රා විශේෂය පදනම්ව අප ජන වහරට එක් වූවකි. එහෙත්, ඒවා ඒ සාම්පාන් ඉහත සඳහන් ඇමතිවරයා කී පාන් කතාවට කිසිසේත් සම්බන්ධ නැත.

මේ අතර එක්ව කටයුතු කරන පිරිස හෝ කණ්ඩායම හැඳින්වීමට යොදන ‘ගැන්සිය’ යන්න ද අව වහරක් වන අතර එය කණ්ඩායම, කල්ලිය යන අදහස සහිත Gang යන ඉංග්‍රීසි වදනින් බිඳී ආ එකකි. එතරම් වැදගත් නොවූ; ඇතැම් විට ප්‍රකට ස්ථානයක් හැඳින්වීමට යොදන ‘පොට් එක’ යන්න ද තැන, තිත ආදී අරුත්වලින් යුතු Spot යන ඉංග්‍රීසි වදනින් තත්භව වූවකි.

 

choone pan
මේ අතර වර්තමානයේ ඇමතිවරයාගේ ප්‍රකාශයට පදනම් වූ පාන් නොවුවත්, පාන් අලෙවියේ යෙදෙන වෑන් රථ චූන් පාන් නමින් හැඳින්වෙන අතර එහි එන චූන් යන්න තාලය, තනුව යන අරුත ගෙනෙන Tune යන්නෙන් බිඳී ගත් අව වහරකි.

නමුත් ඇමතිවරයා රූපවාහිනී නිවේදකයාගෙන් ඇසූ ‘පාන් ද?’ යන පැනය එවන් වෙනත් නිශ්චිත අදහසක් නොමැති හිස් වදනක් පමණක් බව පෙනේ. වත්මන් අව වහර අතරේ එබඳු වදන් ද තිබේ. ඊට ආසන්නතම නිදසුනක් වනුයේ යම් සිදුවීමක අසාමාන්‍ය නිමාවක් දැක්වීම උදෙසා යොදන “බඩු බනිස්” යන අවවහර ය.

එමෙන්ම අප කළ විමසුමට අනුව මේ වන විටත් සමාජයේ කිසියම් ආකාරයකින් ප්‍රචලිත වී නොමැති මෙම “පාන් ද?” යන අව වහර පොදු සමාජය විසින් මනස්ගාත හෝ විකාර අදහස් (Nonsense) ලෙස දැකීම නියත ලෙසම සිදුවන්නකි. එමෙන්ම රටේ ඉහළම තනතුරක් දරන බලවතකුගේ එවන් ප්‍රකාශ සමාජ අවනතියට හේතු වන බව අමුතුවෙන් කිව යුතු නැත.

Praneeth Abayasundara
(සටහන | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර)
හිටපු මානව විද්‍යා මහාචාර්ය

(උපුටා ගැනීම - vinivida.lk)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...