මිනිසුන් ඉදිරියේ සුරංගනා ලෝකයක් මවා පෙන්වා බලය ලබා ගත්තේ ය. අනෙක් සියලු පක්ෂ හොරු බවත්, තමන් පමණක් මලෙන් උපන් කුමාරවරුන් බවත් ඔවුහු ජනතාවට ඒත්තු ගැන්වූහ. ජනතාව ඒ කතා විශ්වාස කර ඡන්දය දුන්හ. ඡන්දයේ ජයග්‍රහණයෙන් ටික කලකට පස්සේ මේ පෝරිසාදයින් පවසා ඇත්තේ පච බව ජනතාවට ටිකෙන් ටික වැටහෙන්නට විය. ඒ වැටහීමත් සමග ජාතික ජන බලවේගය - ජාතික පච බලවේගය බවට පත්විය.
එහෙම කෙටි කාලයක් ගත විය. ජාතික පච බලවේගයේ නම දැන් ජාතික ධන බලවේගය බවට පත්ව තිබේ. එහෙම නම වෙනස් වුණේ අනන්ත නැති බැරිකම් කියා ලුණු කැඳ බී ජනතාව වෙනුවෙන් මෙහෙවර කරන බවට දහ අතේ දිවුරා බලයට පැමිණි කල්ලියගේ බැංකු ගිණුම් ඇතුළු වත්කම් හෙළිදරව් වීමත් සමග ය.
උඹලට පාංද...?
ජාතික ධන බලවේගයේ සියලුම දෙනාගේ පාහේ වත්කම් කෝටි ගණන් ය. කුලියක් මලියක් කර දවසේ ගත මනාව සොයා ගන්නා උදවිය බොරුවළට රැවටී දුන් රුපියල් දාහ හමාර, කරවල කූරියෙක් පවා මේ ධනවතුන් විසින් ඩැහැගෙන තිබිණි. ජනතාවට මේ ඇත්ත තේරෙන විට දැන් ස්තාලය වසා දමා අශ්වයා පැන ගොස් හමාර ය. බැංකු පොත්වල කෝටි ගණන් ස්ථිර තැන්පතු දමාගෙන දුක් විඳින ජනතාවගේ පාන් කෑල්ල උඳුරා ගෙන කන්නට දුක නැද්දැයි රූපවාහිනී සංවාදවලට යන ජාතික ධන බලවේගයේ උදවියගෙන් මාධ්‍යවේදීන් විමසන විට "ඔවුන් සතුටින් දෙනවනම් අපි සතුටින් ගන්නවනම් උඹලට පාංද...?'' කියා අසන්නට තරම් මේ සත් ගුණවත් ඇත්තෝ කුරිරු වී තිබේ.
බලවේගයේ උදවියගෙන් වත්කම් ගැන අහන විට ගැරඬියාට භූමි තෙල් ගහනවා වගේ වෙයි. නලියයි දඟලයි. පාංද අසයි. අබ කෑ මිනිහගේ මොලේ දනවා සේ මේ ඊනියා සුජාත පුතුන්ගේ ඇත්ත නිරුවත මේ වත්කම් බැරකම් කෙරුවාවෙන් හොඳින්ම හෙළිදරව් විය. එකවරම මත වූ මේ ජාතික ධන බලවේගයේ ඇත්තන්ගේ වත්කම් ගැන පීරා ජනතාව ඉදිරියේ ඇත්ත හෙළි කරන්නට විපක්ෂයේ ඇත්තෝ සූදානම් වෙමින් සිටිති. ඒ වගේම මේ මුදල් සහ වත්කම් ඉපැයුවේ කෙසේදැයි ප්‍රශ්න කරන්නට යති. ලබන සතියේ සිටම ඒ කටයුත්ත ඇරැඹීමට යන බව ආරංචිය.
මටයි මෛත්‍රීටයි ගෙවල් දෙකයි

"ඇත්තෙන්ම අපෙන් කවුරු හරි ඇහුවොත් මේ අපිට තියෙන වත්කම් ලැබුනේ කොහොමද කියලා හරි පැහැදිලි ඒවා කියන්න පුළුවන්. මට ගෙයක් තියෙනවා. මෛත්‍රීටත් ගෙයක් තියෙනවා. ඒ වගේම අපට ඉඩම් කීපයක් තියෙනවා. ගොඩක් දේවල් ලැබුණේ පරම්පරාවෙන්. මම ගත්ත ඉඩමකුත් තියෙනවා. සමහර ඉඩම් විකුණලා දැම්මා."
රනිල් තමාගේ වත්කම් ගැන මන්ත්‍රී කණ්ඩායම හමුවේ කීවේ එසේ ය.
"ඔබතුමාලගේ වත්කම් ගැන කාටවත් ඉතින් කියන්න දෙයක් නෑ. ඔබතුමාලා පාරම්පරික ධනවතුන්. ඒ ගැන සමාජෙ ප්‍රශ්න කිරිල්ලකුත් නැහැ.''
චාමර සම්පත් කීය.
"මම ඒ කාලෙ රුපියල් පහළොස් දාහකටත් ඉඩමක් ගත්තා. අධ්‍යාපන අමාත්‍යංශෙ ළඟ. පර්චස් 20ක්."
රනිල් හිනහෙමින් අතීත සිද්ධියක් මතක් කළේ ය.
දොස්තර රස්සාවට තට්ටු වෙන වැඩ
අනුර ජනපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල හමුවට සහභාගී වීම සම්බන්ධයෙන් ද මන්ත්‍රී කණ්ඩායමේදී කතා බහට ලක් විය.
"මහා මණ්ඩලයේ කතා කරනවට වඩා වැදගත් වෙන්නේ ඒකට සහභාගී වන ලෝක නායකයින් එක්ක සාකච්ඡා වට පවත්වන එක. අප ඒ වගේ හමු පවත්වන රටට ලොකු වාසි අත් කර ගත්තා."
රනිල් තමා ගිය මහා මණ්ඩල රැස්වීම් ගැන කීවේ එසේ ය.
රනිල් ඉතා අසීරුවෙන් ගොඩ නගන ලද රටේ ඖෂධ දැන් ටිකෙන් ටික හිඳෙමින් පවතී. ආණ්ඩුවේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ ගණනාවක් හිඟය. ඒ ගැන විමසූ විට ආණ්ඩුවේ ඇමතිවරු හතර වරං කතා කියති. උත්තර නැත. අලුත්ම ව්‍යසනය නම් ෆාමසිවලින් ගන්නැයි කියා බෙහෙත් තුණ්ඩු ලියා දෙන්නට ආණ්ඩුවේ රෝහල්වල දොස්තරවරුන් බිය වීම ය. මේක හරියට ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ වැඩකි.
"පිටින් ගන්න බේත් තුණ්ඩු ලියල දුන්නාම රෝහල්වල බෙහෙත් නෑ කියලා මාධ්‍යයේ දැම්මොත් අපේ රස්සාවට තමයි තට්ටු වෙන්නේ."
දොස්තරවරු එසේ කියති.
" ගෝඨාභය පවා සෞඛ්‍යයට මුල් තැන දුන්නා."
බේත් හිඟ කතාව කන වැකුණු පසු රනිල් කීවේ එලෙසිනි.
"මේ අය එක්ක බලනකොට කෙහෙලියට තෑග්ගක් දෙන්න වටිනවා."
යැයි තවත් මන්ත්‍රීවරයෙක් පැවසී ය.
"රාජිත ගෙනාවෙ හොඳම බේත්. දැන් එයාගේ අගය මිනිස්සුන්ට තේරෙන්න පටන් අරගෙන, ඒ මිනිස්සු එක්ක බලන කොට දැන් ඉන්න අය අහසට පොළොව වගේ,වචන විතරයි." වජිර කීය.
හිට්ලර්ගේ පුනරුප්පත්තිය
එජාපයේ 79 වන සංවත්සර උත්සවය මුළු විපක්ෂයම එකතු කළ තෝතැන්නක් විය. මොනාක් ඉම්පීරියල් හෝටලය එදින දේශපාලන නායකයන්ගෙන් පිරී ගියේය. සමගි ජන බල වේගය, පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ රැසක නායකයෝ එහි පැමිණියහ.
එජාප සංවත්සරයේ එජාපයෙන් කතාවක් තිබුණේ නායක රනිල්ට පමණි. තලතා මහ ලේකම් ලෙස පිළිගැනීමේ කතාව කළා ය. අනෙක් කතා ඔක්කොම තිබුණේ සෙසු පක්ෂ නායකයන්ට ය. සියලු පක්ෂ නායකයින් එදින කතා කළේ එක්වීමේ අගය ගැන ය. එමෙන් ම ඔවුහු ආණ්ඩුවට තියුණු විවේචන එල්ල කළහ.
උදය ගම්මන්පිල කීවේ අනුර කියන්නේ හිට්ලර්ගේ පුනරුප්පත්තිය කියාය. හිට්ලර් බලයට පත්වීමේ සහ අනුර බලයට පත්වීමේ අපූරු සමානකම් හයක් ගැන එහිදී ගම්මන්පිල ගෙන හැර පෑවේය.
ඒකාධිපති පාලනයට එරෙහි සමුළුව
මෙවර සංවත්සර සැමරුම සියලු පක්ෂ එකමුතුවෙන් පැවැත්විය යුතු බවට යෝජනා වූ පසු ඒ පක්ෂ ඒකරාශී කරගැනීමේ වගකීම නායක රනිල් විසින් පවරන ලද්දේ වජිරට ය. ඒ, එවැනි වැඩක් වජිර අකුරට ම කරන බව නායක රනිල් දන්නා බැවිනි. කෙසේ වෙතත් රාජකාරිය පැවරු දින සිටම ඒ සඳහා ක්‍රියාත්මක වූ වජිරගේ අවසන් ප්‍රතිඵලය අති සාර්ථක බව පැමිණි සිටි දේශපාලනඥයින් වජිරට පවසා තිබුණි.
"ඔබතුමා මේ වැඩේ කදිමට සංවිධාන කරලා තියෙනවා,'' යැයි ඒ දේශපාලකයෝ වජිරට කීහ.
සැමරුම සඳහා භික්ෂුන් වහන්සේලාටද ආරාධනා කර තිබූ බැවින් වජිර පෙර සිටම සූදානම් වූයේ අවශ්‍ය කරන දානමාන ආදිය ද නිසි පරිදි සංවිධානය කරමිනි. එම නිසාම කිසිඳු අඩු පාඩුවක් නොවන ආකාරයෙන් වජිර සංවිධාන කටයුතු කර තිබු බව නායක රනිල් සංවත්සරයෙන් පසු වජිරට පවසා තිබිණි. රනිල්ගේ අදහස වූයේ මෙම එකමුතුව සංවත්සරයට පමණක් සීමා නොවී ඉදිරියටත් දේශපාලනිකව රටේ අභිවෘද්ධිය වෙනුවෙන් සහ වර්තමාන රජය ගෙන ඒකාධිපති පාලනයට එරෙහිව ක්‍රියාත්මක විය යුතු බවයි. එය ඔහුගේ කතාව අතරතුරදීම පෙන්වා දී තිබිණි.
කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ ජා.ජ.බ සභාපති මහිල් මුණසිංහගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට වජිර අඟහරුවාදා උදේ ගියේය. එහිදී වජිර නායක රනිල්ගේ ශෝකය ද මහිල්ගේ පවුලේ ඥාතීන් වෙත පළ කර සිටියේ ය.
(සටහන | මල් පාරේ ලියුම්කරු )




