The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කෘතිම බුද්ධිය වෘත්තීය මාධ්‍යවේදියාට පහරක්ද?

T

The Leader Desk

September 27, 2025 • 10:27 AM

කෘතිම බුද්ධිය වෘත්තීය මාධ්‍යවේදියාට පහරක්ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සටහන : යුරෝපීය විකාශන සංගමය ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ලිස් කොර්බින් සහ ලෝක පුවත්පත් සහ ප්‍රවෘත්ති ප්‍රකාශකයින්ගේ සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී වින්සන්ට් පෙයිරෙග්නේ අප අවට ඇති ලෝකය වඩාත් හොඳින් තේරුම් ගැනීමට අප සැවොම කැමැත්තක් දක්වයි.
  • ඇතැම් අවස්ථාවන්හි අපට ගාසා තීරයේ සැබැවින්ම සිදුවන්නේ කුමක්ද හෝ අපගේ පවුල් යැපෙන සෞඛ්‍ය පද්ධතියට රජය සිදුකිරීමට බලාපොරොත්තු වන සංශෝධන මොනවද යන්න පිළිබඳව පැහැදිලි කිරිමක් ලබා ගැනීමට අවශ්‍ය වේ.
  • සොයන තොරතුරු කෙතරම් සංකීර්ණ හෝ සරල වුවත් විශ්වාසදායක ප්‍රවෘත්ති මාර්ගයෙන් එම තොරතුරු ලබා ගැනීමට අප සැමට අයිතියක් ඇත.
  • නමුත් වර්තමානය වනවිට කෘතීම බුද්ධිය හේතුවෙන් අන්තර්ජාලයේදී අප දකින වීඩියෝ පටයක් සැබෑ එකක්ද එසේත් නැතිනම් කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ එකක්ද යන්න පිළිබඳව ප්‍රශ්න කළයුතු වාතාවරණයක් උදාවී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

සටහන :
යුරෝපීය විකාශන සංගමය ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ලිස් කොර්බින් සහ ලෝක පුවත්පත් සහ ප්‍රවෘත්ති ප්‍රකාශකයින්ගේ සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී වින්සන්ට් පෙයිරෙග්නේ


අප අවට ඇති ලෝකය වඩාත් හොඳින් තේරුම් ගැනීමට අප සැවොම කැමැත්තක් දක්වයි. ඇතැම් අවස්ථාවන්හි අපට ගාසා තීරයේ සැබැවින්ම සිදුවන්නේ කුමක්ද හෝ අපගේ පවුල් යැපෙන සෞඛ්‍ය පද්ධතියට රජය සිදුකිරීමට බලාපොරොත්තු වන සංශෝධන මොනවද යන්න පිළිබඳව පැහැදිලි කිරිමක් ලබා ගැනීමට අවශ්‍ය වේ. එසේත් නැතිනම් දිනපතා ගමන් ගන්නා බස් රථයේ කාල සටහනේ වෙනස් කමක් සිදුවී තිබෙනවාද වැනි සරල කරුණක් පිළිබඳව දැන ගැනීමට වුවමනා වෙයි.

සොයන තොරතුරු කෙතරම් සංකීර්ණ හෝ සරල වුවත් විශ්වාසදායක ප්‍රවෘත්ති මාර්ගයෙන් එම තොරතුරු ලබා ගැනීමට අප සැමට අයිතියක් ඇත. අප සැවොම අන්තර්ජාලය ඔස්සේ පුදුමයට පත්වන මෙන්ම කම්පනයට පත්වන පුවත් පිළිබඳ වීඩියෝපට නැරඹීමට පුරුදුව සිටී.  නමුත් වර්තමානය වනවිට කෘතීම බුද්ධිය හේතුවෙන් අන්තර්ජාලයේදී අප දකින වීඩියෝ පටයක් සැබෑ එකක්ද එසේත් නැතිනම් කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ එකක්ද යන්න පිළිබඳව ප්‍රශ්න කළයුතු වාතාවරණයක් උදාවී ඇත.

කෘතිම බුද්ධිය හේතුවෙන් වර්තමානය වනවිට කිසිවක් විශ්වාස කළ නොහැකි තත්වයක් උද්ගතවී ඇති අතර ඇතැම් පාර්ශ්ව ඔවුන්ට අවශ්‍ය අයුරින් තොරතුරු විකෘති කර කෘතිම බුද්ධිය භාවිත කරමින් වීඩියෝ පට, ඡායාරූප නිර්මාණය කර ජනගත කරයි. අන්තර්ජාලය තුළ තිබෙන වීඩියෝ පටයක් හෝ ඡායාරූපයක් සැබෑ එකක්ද, එසේත් නැතිනම් කෘතිම බුද්ධිය භාවිත කරමින් නිර්මාණය කළ එකක්ද යන්න පිළිබඳව හඳුනා ගැනීමේ අද වනවිට ඉතාමත් අපහසු කරුණක් වී තිබීම අසත්‍ය තොරතුරු ජනගතවීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

ඒ හේතුවෙන් අද වනවිට සත්‍ය පුවතක් වුවද විශ්වාස කළ නොහැකි තත්වයක් උද්ගත වී ඇත. අවිශ්වාසය යනු කුමන්ත්‍රණ, සමාජ දුරස්වීම් සහ ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඈත් කිරීම් නිර්මාණය කරන ප්‍රධාන සාධකයයි. යථාර්ථය නම්, ලෝකය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා නිර්මාණය කර ඇති මෙවලම් අපව ප්‍රවෘත්තිවලින් ඈත් කරමින් සිටී.


mic hands
මෙම ලෝක ප්‍රවෘත්ති දිනයේදී, වෘත්තීය මාධ්‍යවේදීන් සහ ඔවුන් ලොව පුරා සේවය කරන මාධ්‍ය සංවිධාන සොයා ගන්නා කරුණු තහවුරු කිරීමෙන් අනතුරුව බෙදා ගැනීමට කැපවී සිටින බවත් මහජනතාවට නිවැරදි තොරතුරු ලබා ගැනීමට අයිතියක් තිබෙන බවත් අපි අවධාරණය කිරීමට කැමැත්තෙමු.

කෙසේ වෙතත්, මිලියන සංඛ්‍යාත ජනතාවක් දිනපතා භාවිතා කරන කෘතිම බුද්ධි පද්ධති ගොඩනඟන තාක්ෂණික සමාගම් ජනතාවට සත්‍ය ලබාදීමේ වගකීමෙන් බොහෝ දුරට පැන යමින් සිටී. බීබීසී පුවත් සේවය විසින් සිදු කරන ලද පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ මෙම වසරේදී ප්‍රවෘත්ති ආශ්‍රිතව කෘතීම බුද්ධිය වෙත ඉදිරිපත් වූ ඉල්ලීම්වලින් අඩක් සඳහා කෘතීම බුද්ධිය පිළිතුරු ලබාදී ඇත්තේ අත්‍යාවශ්‍ය තොරතුරු මගහැර බවයි. එසේම එම තොරතුරුවල සැළකිය යුතු තවත් දෝෂද තිබෙන බව ඉන් හෙළිවී ඇත.

බී.බී.සී  පුවත් සේවය පරීක්ෂා කළ කෘතීම බුද්ධි මෙවලම් කිසිදු පිළිගැනීමකින් තොරව නිරන්තරයෙන් විකෘති කරුණු, ගොතන ලද හෝ වැරදි ලෙස බෙදා හරින ලද උපුටා දැක්වීම් ඉදිරිපත් කර තිබිණි.

”වැරදි තොරතුරු දුන්නට මොකද වෙන්නේ, කෘතිම බුද්ධිය කාලය ඉතුරු කරනවා ප්‍රයෝජනයි, කාලයත් සමග දෝෂ නිවැරදි වෙයි” යමෙකු සිතිය හැක. නමුත් ගැටලුව නම් අප මේ කතා කරන්නේ කේක් ගෙඩියක් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය ගැන හෝ නිවාඩුවකට යෑමට සුදුසුම තැන පිළිබඳව නොවීමයි. නමුත් අවදානමට ලක්ව ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයයි, සත්‍යය පිළිබඳ පොදු අවබෝධයක් නොමැති සමාජයකට දැනුවත්භාවයකින් යුතුව තීරණ ගැනීමට හැකියාවක් නොමැත.

ස්වාධීන, නිරවද්‍ය පුවත්පත් කලාව අත්හැර අර්ධ සත්‍යයන් ලබාදෙන රැවිටිලිකාර විකෘතියක් මත විශ්වාසය තබන පුද්ගලයින් විෂ සහිත මඩ ගොහොරුවක එරී  යාමේ අවදානමක් ඇත.


data journalist
මිනිසුන් රැවටීමේ, වෙබ් අඩවිවලට වැඩි වශයෙන් මිනිසුන් ගෙන්වා ගැනීමේ සහ අභිමතාර්ථ ඉටුකර ගැනීමේ බලාපොරොත්තුවෙන් කෘතිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කර ඇති කෘතිම ව්‍යාජ වීඩියෝපට සහ ඡායාරූපයන්ගෙන් වර්තමානය වනවිට අන්තර්ජාලය පිරී තිබේ. කෘතිම බුද්ධිය භාවිත කරමින් ජනනය කර ඇති හඬවල්, මුහුණු සහ සිරස්තල හේතුවෙන් අද වනවිට තොරතුරු කෙරෙහි තිබෙන විශ්වාසය නැතිවෙමින් පවතී.
 
මේ අතර, මහජන අවශ්‍යතා වෙනුවෙන් සේවය කරන මාධ්‍යවේදීන්ගේ උත්සාහයන් අවතක්සේරු කරමින් අවසරයකින් තොරව ඔවුන්ගේ කාර්යභාරය ඇල්ගොරිතමයකට බාරදී ඇත. අවසරයකින් තොරව කෘතීම බුද්ධිය ලබා ගන්නා තොරතුරුවලට එම තොරතුරු අයිති මාධ්‍යවේදියාට හිමි නිසි ගෞරවය හෝ ගෙවීමක් ලැබෙන්නේද නැත.

නමුත් මෙයට අපට කළ හැක්කේ කුමක්ද?

මේ වනවිට කෘතිම බුද්ධිය පුවත් සහ පුවත් සපයන්නන් සමග කටයුතු කරන ආකාරය වෙනස්විය යුතු බවට යුරෝපීය විකාශන සංගමය සහ ලෝක පුවත්පත් සහ ප්‍රවෘත්ති ප්‍රකාශකයින්ගේ සංගමය, ලොව පුරා සිටින වෘත්තීය මාධ්‍යවේදීන් සහ සංගම් ගණනාවක් සමග එක්ව කෘතීම බුද්ධි වැඩසටහන් නිර්මාණය කරන්නන්ට දන්වා ඇත.

ලෝක පුවත්පත් සහ ප්‍රවෘත්ති ප්‍රකාශකයින්ගේ සංගමය සිටින නියෝජනය කරන බොහෝ විකාශකයින් සහ ප්‍රවෘත්ති ප්‍රකාශකයින් කතෘභාවයට හානියක් නොවන අයුරින් දුස්තොරතුරු හඳුනා ගැනීමට, පරිවර්තන කටයුතු වැනි දේ සඳහා කෘතීම බුද්ධිය වගකීමෙන් යුතුව භාවිත කරමින් සිටී. ප්‍රතිපත්තිගරුකව, විනිවිදභාවයකින්, ඉතාමත් සැලකිල්ලෙන් යුතුව කෘතිම බුද්ධිය භාවිත කළ යුතුව ඇත.

ඒ හේතුවෙන් ලෝක පුවත්පත් සහ ප්‍රවෘත්ති ප්‍රකාශකයින්ගේ සංගමය කෘතීම බුද්ධි වැඩසටහන් නිර්මාණය කර ප්‍රවර්ධනය කරන්නන්ට පැහැදිලි අවශ්‍යතා පහක් ඉදිරිපත් කර තිබේ. මෙම අවශ්‍යතා යථාර්ථවාදී වන අතර රැඩිකල් ඒවා නොවන බවද කිව යුතුය.
 
journalisam

* පළමු වැන්න නම් ප්‍රකාශකයාගේ කැමැත්තකින් තොරව අන්තර්ගතයන් ලබා නොගත යුතුය. කෘතීම බුද්ධි වැඩසටහන් හෝ සහායකයින් පුරුදු කිරීමට ප්‍රවර්ධකයින් අවසරයකින් තොරව අන්තර්ගතයන් ලබා නොගත යුතුය. බුද්ධිමය දේපළ පනතට අයත් එම අන්තර්ගතයන් ඉතාමත් වෙහෙස මහන්සි වී ලබාගත් මහජන විශ්වාසය දිනාගත් කරුණුය. අනවසරයෙන් උපුටා ගැනීම සොරකමකි.

* දෙවැන්න නම් වටිනාකමට නිසි ගරුත්වයක් හිමිවිය යුතුය. ඉහළ ගුණාත්මකභාවයකින් යුතු මාධ්‍ය කලාව මිල අධික වන අතර එය සමාජයට අත්‍යාවශ්‍ය දෙයකි. ඉහළ ගුණාත්මකභාවයකින් යුතු මාධ්‍ය කලාව ඔස්සේ බිහිවන අන්තර්ගතයන් ලබා ගන්නා කෘතිම බුද්ධි වැඩසටහන් සහ සහායකයන් නිර්මාණය කරන්නන් ඒ සඳහා සාධාරණ මුදලක් අදාළ මාධ්‍ය ආයතනයට හෝ මාධ්‍යවේදියාට ගෙවිය යුතුය.

* තෙවැන්න නම් විනිවිදභාවයෙන් යුක්ත විය යුතුය. කෘතීම බුද්ධියෙන් උත්පාදනය කරන ලද්දක් ප්‍රවෘත්තියක් සඳහා භාවිත කරන්නේ නම් ඒ බව පැහැදිලිව සඳහන් කළ යුතුයි. තොරතුරු පැමිණියේ කෙසේදැයි දැනගැනීමට ජනතාවට අයිතියක් ඇත.

* සිවුවැන්න නම් විවිධත්වය ආරක්ෂා කළ යුතුය. කෘතීම බුද්ධියට පුවත් කලාව පුළුල් කිරීමටද සහාය විය හැකිය. පස්වැන්න නම් එක්ව කටයුතු කළ යුතුය. ප්‍රවෘත්ති කර්මාන්තය සමඟ බැරෑරුම්, විසඳුම් මත පදනම් වූ සංවාදයකට කෘතීම බුද්ධි වැඩසටහන් නිර්මාණය කරන්නන් එළැඹිය යුතුය.
තාක්ෂණික සමාගම් විශ්වාසය ගැන ගොඩක් කතා කළත් විශ්වාසය ගොඩනැගෙන්නේ ප්‍රකාශවලින් නොවන බව අප සැවොම දන්නා කරුණකි. කෘතීම බුද්ධි විප්ලවයේ නායකයින් මෙම ගැටලුවට දැන්ම විසඳුමක් සෙවිය යුතුය. ඔවුන්ට තොරතුරුවල අනාගතය හැඩ ගැස්වීමට බලයක් ඇත.


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කෘතිම බුද්ධිය වෘත්තීය මාධ්‍යවේදියාට පහරක්ද? | The Leader