The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

චිරං ජයතු, කරු...

T

The Leader Desk

September 29, 2025 • 9:05 AM

චිරං ජයතු, කරු...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අවස්ථාවේ සාධාරණ සමාජයක් සඳහාවන ව්‍යාපාරයේ (NMSJ) ප්‍රධානම ඉල්ලීම වුණේ ඒකාධිපති බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම.
  • ඇත්තටම මාදුළුවාවේ සෝභිත හිමියන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරන්න එකඟවෙන්න කියල මුලින්ම ඉල්ලුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන්.
  • සිරිසේන ජනාධිපති නීති විරෝධී විදියට ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් රනිල් වික්‍රමසිංහ අගමැති පදවියෙන් පහ කළාම, කරු හිටගත්තේ තමන්ගේ කකුලෙන් ඇදපු රනිල් එක්ක.
  • එදා කතානායක විදියට කරු ජයසූරිය ගත්ත එඩිතර තීන්දු නොවුණා නම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්නේ සමහරු කියන විදියට අරගලකරුවෝ නෙවෙයි, පාර්ලිමේන්තුව ඇතුළෙම හිටපු අන්තවාදීන්.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අවස්ථාවේ සාධාරණ සමාජයක් සඳහාවන ව්‍යාපාරයේ (NMSJ) ප්‍රධානම ඉල්ලීම වුණේ ඒකාධිපති බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම.  

ඇත්තටම මාදුළුවාවේ සෝභිත හිමියන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරන්න එකඟවෙන්න කියල මුලින්ම ඉල්ලුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන්. එහෙම එකඟ වුණා නම් NMSJ එකත් මහින්දට සහය දෙනවා කියල එහිමියන් පොරොන්දු වුණා.

මහින්ද ඒකට එකඟ නොවුණ නිසා තමයි NMSJ මහින්දට විරුද්ධව පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න තීරණය කරන්නේ.

එතෙන්දි සෝභිත හිමියන්ගේ තේරීම වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය කරු ජයසූරිය.

 

Karu 1
නමුත් එතුමාගේ පක්ෂයේ නායකය, රනිල් වික්‍රමසිංහ, ඒකට දැඩි විරෝධය පළකරනවා. රනිල් දැඩිව කියන්නේ මාව පොදු අපේක්ෂකයා කරන්නේ නැත්නම් අපේ පක්ෂයේ වෙන කිසිම කෙනෙක් තෝරාගන්න බෑ කියල.

ඉතිරි ටික අපි හැමෝම දන්නවා.

එදා රනිල් ඒ විරෝධය පෑවේ නැත්නම් මේ වෙනකොට ලංකාවේ විධායක ජනාධිපතිවරයෙක් නැහැ කියල මම විශ්වාස කරනවා. මොකද කරු කියන්නේ මුල ඉඳලම ප්‍රතිපත්තිගරුක දේශපාලනයක යෙදුණු, විශේෂයෙන්ම රටේ පාලනයේ සැබෑ වෙනසක් ප්‍රාර්ථනා කරපු, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් දැඩිව පෙනී හිටපු දේශපාලන නායකයෙක් නිසා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරන්න පොරොන්දු වෙලා බලයට ඇවිත් 19 වෙනි සංශෝධනයෙන් නැවතුණ මෛත්‍රීපාල සිරිසේන වෙනුවට එදා කරු ජයසූරිය ජනාධිපති පුටුවට පත්වුණා නම් ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක කියන විධායක ජනාධිපතිවරුන් තුන් දෙනාම අපි නොදකින්න ඉඩ තිබුණ. විධායක ජනාධිපති කියන ඒකාධිපති කටු ඔටුන්න රටේ ඉදිරි ගමනට දැවැන්ත බාධකයක් කියල මාදුළුවාවේ සෝභිත හිමියන් වගේම කරු ජයසූරියත් දැඩිව විශ්වාස කළා.

නමුත් තමන්ට ලැබුණ ඒ අවස්තාව නැති කළා කියල කරු, රනිල් එක්ක වෛරයක් හදාගත්තේ නැහැ. සිරිසේන ජනාධිපති නීති විරෝධී විදියට ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් රනිල් වික්‍රමසිංහ අගමැති පදවියෙන් පහ කළාම, කරු හිටගත්තේ තමන්ගේ කකුලෙන් ඇදපු රනිල් එක්ක. ඒ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්.

එදා කතානායක විදියට කරු ජයසූරිය ගත්ත එඩිතර තීන්දු නොවුණා නම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්නේ සමහරු කියන විදියට අරගලකරුවෝ නෙවෙයි, පාර්ලිමේන්තුව ඇතුළෙම හිටපු අන්තවාදීන්.

 

image abfec81f0a
මිරිස් කුඩු ප්‍රහාර කාගෙන, ජීවිත තර්ජනවලට පවා මුහුණ දීල, කරු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී හිටියත්, ඩීල්වලට කුප්‍රසිද්ධ රනිල් මිරිස් කුඩු ප්‍රහාරකයෝ ආරක්ෂා කරන්න මහින්ද එක්ක සම්මුතියක් ගැහුවා.

රනිල් ගැන ඒ තරම් අමිහිරි අත්දැකීම් තිබිලත්, රනිල් අනුප්‍රාප්තික ජනාධිපති පදවියට පත්වුණාම කරු හිටගත්තෙ රනිල් එක්ක. ඒ පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් නෙවෙයි. ඒ මොහොතේ රටේ ආර්ථිකය ගොඩනගන්න සුදුසු එකම පුද්ගලයා රනිල් කියල එතුමා විශ්වාස කළ නිසා. ඒ ස්ථාවරයෙදී මම එතුමා එක්ක එකඟ නොවුණත්, එතුමා ඒ සියලු තීරණ ගත්තේ පුද්ගලිකත්වයට වඩා රටේ අභිවෘද්ධිය පෙරමුණේ තියල.

ජාතික ප්‍රශ්නය, ආර්ථික ප්‍රතිසංස්කරණ, දූෂණය පිටුදැකීම, නීතියේ ආධිපත්‍යය පිහිටුවීම, ජාතිවාදය පිටු දැකීම වගේ මේ හැම කරුණකදීම කරු ට වැදගත් වුණේ ඉදිරි පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීම; අදට වඩා යහපත් හෙටක් නිර්මාණය කිරීම.

පුද්ගලික ධනයෙන් වසර ගණනාවක් මුළුල්ලේ උතුරේ දරුවන්ට සිංහල භාෂාවත්, දකුණේ දරුවන්ට දෙමළ භාෂාවත් උගන්වන පන්ති පැවැත්වීම වගේම, දේශපාලනයෙන් විශ්‍රාම ගියත්, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයට නායකත්වය දෙමින් පුළුල් ප්‍රතිසංස්කරණ වෙනුවෙන් හඬ නගමින් රටේ අනාගතය වෙනුවෙන් කරන දෛනික මැදිහත්වීමෙනුත් පෙන්නුම් කරන්නේ ඒ කැපවීම.

අහම්බයක් නිසා සිංහලයෙක් විදියට උපත ලැබුවත්, සියල්ලන්ට කලින් මම මනුෂ්‍යයෙක් කියල එතුමන් නිතර කරන සඳහනේ ඒ සියල්ල කැටිවෙලා තියෙනව කියල මට හිතෙනවා.

අද එතුමන්ගේ 85 වෙනි උපන් දිනය.

චිරං ජයතු කරු ජයසූරිය මැතිතුමනි!

Xv1 Cg6r 400x400(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 සැප්තැම්බර් 29

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...