මැති ඇමතිවරුන්ගේ වාර්ෂික වත්කම් ප්‍රකාශ වල සිට, අල්ලස් හා දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ගේ අපක්ෂපාතීත්වය ප්‍රශ්න කිරීම හරහා ජනාධිපති අනුර කුමාර දිසානායක ලංකාව නැවත 2019 ට රැගෙන යාම ගැන ඇමෙරිකාවේදී දුන් සහතිකයට අමතරව, ගුරුවර ගුරුවරියන් පාසල්වල දූ දරුවන්ට අවවාද කිරීමත් හිරේ යාමට හේතු වන නීති පනවන්නේ යැයි වන ආන්දෝලනාත්මක අර්බුදකාරී ප්‍රශ්න වැළකට උත්තර සොයන්නට අපි දෙසතියකට වැඩි කාලයක් ගෙවූයෙමු.
ඒ අතරින් මේ වනවිට වඩාත් සංවේදී මාතෘකාව වී ඇත්තේ ළමුන්ට දඬුවම් කිරීමට අදාලව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා ජවිපෙ/මාලිමා ආණ්ඩුව ඉදිරිපත් කර ඇති පනත් සංශෝධනය වන්නේ ය. ඒ ගැන දිනකට දෙකකට කලින් අධ්‍යාපන ඇමතිනී වන අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය කියා තිබුණේ එම සංශෝධන පාසල් ළමුන්ට සීමා කෙරුණක් නොව, රටේ සියලු ළමුන්ට අදාලව, සියලු ළමුන්ගේ “ආරක්ෂාව” වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන සංශෝධනයක් යැයි කියා ය.
පළමුවෙන්ම කිව යුත්තේ, දඬුවම් කිරීම් ගැන අප කතා කරන්නේ, තමන්ගේ එකා පෝලිමේ ඉදිරියෙන්ම තියා ගන්න “ඕකව මකලා හරි කමක් නෑ සර්” යැයි කියන්නාවූ අති ආත්මාර්ථකාමී දෙමාපියන් ඉන්නා රටක ය. එහෙව් රටේ, ළමුන්ට දඬුවම් කිරීම සමාජයෙහි ඇති වූ වෙනස්කම් නොසළකා කතා කිරීම බරපතල අවුලකි. එවගේම ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට සීමා කරමින් වාද කිරීමත් අසම්පූර්ණ වාදයකි. “ළමයෙකුට රැව්වත් ගුරුවරු හිරේ දාන නීතියක් මේක” යැයි කවරෙකු හෝ කියා තිබෙණු මම මාධ්‍යයයක දුටුවෙමි. ළමුන්ට දඬුවම් කිරීම ගුරුවරයෙකු ලෙස තමන් සතු අයිතියක් යැයි සිතීම, ගුරු සේවයේ පසුගාමිත්වය ප්‍රදර්ශනය කරන්නකි.
සමාජයෙහි ගොඩ නැගෙන විරෝධය හමුවේ සමගි ජන බලවේගය (ස.ජ.බ) ආණ්ඩුවේ පනත් සංශෝධනයට පූර්ණ වශයෙන් එකඟ නැතැයි පෙන්වීමට සංශෝධනයක් ඉදිරිපත් කර ඇත්තේ ගුරුවර ගුරුවරියන් හා විදුහල්පතිවරුන් “සද්භාවයෙන් කරන දඬුවම්” නීතියට යටත් නොකළ යුතු යැයි කියා ය. දරුවන්ට හිරිහැරයක් වන දඩුවම් කිරීම් වලට එරෙහි නීතිමය මැදිහත්වීමක් හැටියට ඔවුන් ආණ්ඩුවේ ස්ථාවරයට ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ නැතැයි ද කීවේය. එහෙත් ඔවුන් කියන ආකාරයට දඬුවමක “සද්භාවය” තීන්දු කරන්නේ කවුරුන්ද? කෙසේද?
වරදක් වෙනුවෙන් ළමයෙකුට දඬුවම් කිරීමේදී එහි “සද්භාවය” තීන්දු වන්නේ, දඬුවමේ ස්වරූපය මත නොවේ. “සද්භාවය” තීන්දු වන්නේ, ළමයා කළ වරද නැවත නොවිය යුත්තක් යැයි ගුරුවරයා විසින් ළමයාට නිසි ලෙස තේරුම් කර දුන්නේද නැද්ද යන්න අනුව ය. අනෙක “සද්භාවයෙන් කරන දඬුවම්” නීතියට යටත් නොකළ යුතු යැයි කියූ විගස, සද්භාවයෙන් තොර දඬුවම් කෙරෙන බව පිළිගනු ලැබේ. ස.ජ.බ සිය සංශෝධනය ඉදිරිපත් කළ දින හෝ ඊට පෙර දිනයේ කොටහේනේ මහ විදුහලක ගුරුවරියක් ළමයෙකුට ඇළුමීනියම් අඩි රූලක් දමා ගැසීමෙන් ඒ ළමයාගේ ඇසට සිදුවූ තුවාලය හේතුවෙන් ඇයව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අත් අඩංගුවට ගෙන ඇප ලබා දී තිබිණ.
පාසල්වල ළමුන්ට ගුරුවරුන් විදුහල්පතිවරුන් පුටු කකුල්, කොසු මිටි සහ අතින් පයින් ගැසූ කතා පසුගිය කාලයේ දිනපතා මෙන් අසන්නට ලැබුණු අතිශය අප්‍රසන්න කතා ය. ඇතැම් ළමුන්ගේ කන් ඇසීමද අඩාලවී ඇතැයි වෛද්‍ය වාර්තා උපුටා දැක්වීම්ද තිබිණ. මිශ්‍ර පාසල්වල ඇතැම් වැඩිහිටි ගුරුවරු තරුණ ශිෂ්‍යාවන්ට අසභ්‍ය විහිළු කිරීමත් අසන්නට ලැබෙන්නකි.
එවන් මානසික හිංසන, කෲරකම්, අපයෝජන, ලිංගික අතවර/හිංසන සහ ළමා දූෂණ සම්බන්ධ සියලු සිදුවීම් වලින් අඩක් හෝ පළාතේ පොලීසියට නොවේ නම් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා නොකෙරෙන බව අප කවුරුත් දන්නා කාරණාවකි. එවැනි අතවරයක් සම්බන්ධව පැමිණිලි කළ විට ඒ සිසුවාට හෝ සිසුවියට බලපෑම් ඇති වන්නේ අදාල ගුරුවරයාගෙන් හෝ ගුරුවරියගෙන් පමණක්ම නොවන බවත් අපි බොහෝ දෙනා දන්නෙමු.
ඒ සියල්ල හමුවේ, ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ඉකුත් 2024 වසර පුරා ලැබී ඇති සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 8,746 කි. ඒ අතර, නොසළකා හැරීම් හා කෲරකම් සංඛ්‍යාව 109 කි. කුරිරු අතවර 1,950 කි. ශාරීරික හිංසන 203 කි. ලිංගික හිංසන 580 කි. දූෂණ සංඛ්යාව 42 කි. බරපතල තුවාලවීම් 225 කි. බරපතල ලිංගික අපචාර 321 කි.
ඇතැම් අපරාධ සම්බන්ධයෙන් පොලීසියට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාවට වඩා වැඩි ය. පොලීසියේ බරපතල අපරාධ සම්බන්ධ අවසන් වාර්තාව වන 2023 වාර්තාවට අනුව, බාලවයස්කාර දැරිවියන් 1,634 ක් දූෂණය වී ඇත. ඉන් කියැවෙන්නේ මේ රටේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් විය යුතු වයසේ හෝ ඉදිරිපත් වූ දැරිවියන් 1,634 ක් දූෂණය කර ඇති බවය. මේ මුළු දූෂණ සංඛ්‍යාවම පාසල් වලට සම්බන්ධ නොවන බැව් කවුරුත් දනිති. නමුත් ඉන් යම් ප්‍රතිශතයකට ගුරුවර ගුරුවරියන් හා විදුහල්පතිවරුන් වගකීම් බාර ගත යුතු ය.
වර්තමානයේ වැනි බරපතල පිරීහීම් නොතිබුණු, පරාර්ථකාමය හා ආත්ම ගරුත්වය සමාජ වටිනාකම් වූ 50-60-70 යුගයේ “අපි හැදුණේ ගුරුවරුන්ගෙන් ගුටි කාලා තමයි” කියන වුන් තේරුම් ගත යුත්තේ, ඒ යුගයේ ගුරුවර ගුරුවරියන් කළ දඬුවම්, වේවැල් කසාය, නොතිබිය යුතු වූවත් ඔවුන් ඒ දඬුවම් කෙරුවේ අද ස.ජ.බ කතා කරන “සද්භාවය” ඇතිව ය. වෛරය, ක්‍රෝධය, ඊර්සියාව පාසලේ නොතිබුණි. එබැවින් දඬුවම් කිරීම් සමග එවැනි ආවේගද නොවුනි.
අනෙක් වැදගත්ම කාරණාව නම් ඒ යුගයේ ගුරුවරුන් සමාජයේ ගෞරවනීය පිරිසක් වූවකි. ගුරුවරුන් බඳවා ගැනීමේ එකම පිළිවෙත වූයේ කොළඹ මධ්‍යම ආණ්ඩුවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් සියලු පාසල් සඳහා ගුරුවරුන් බඳවා ගැනීමය. එය පරිපාලනමය වශයෙන් පහසු කෙරෙන ලෙස මධ්‍යම ආණ්ඩුවේ බලය නිශ්චිතව ඒ වෙනුවෙන් දිස්ත්‍රීක් කාර්යාල වෙත පවරනු ලැබුණි. පාසලක වූයේ ගුරු පුහුණුව ලබා ගන්නා තෙක් සහතික නොලත් ගුරු පත්වීම් ලැබූවන් හා පුහුණු ගුරුවරුන් බහුතරය සමග උපාධිධාරී ගුරුවරුන් ය. ගුරු සේවයේ එකමිතියක් එමගින් පවත්වා ගනු ලැබිණ.
ඒ සියල්ල සම්පිණ්ඩනය කළහොත් නිදහසින් පසු 50-60-70 යුගය අන්නෝන්‍ය ගරුත්වයක් පැවති පරාර්ථකාමී, ශීලාචාර සමාජයකි. එහි ගුරු සේවාව යනු විනයක් සදාචාරයක් සමගින් පාසල පවත්වා ගත් සේවාවකි. ඔවුන් බාර ගෙන තිබූ වගකීම වූයේ එදා පැවති ශීලාචාර ශිෂ්ඨ සමාජයට හවුල් විය හැකි වැදගත් තරුණ පරපුරක් සමාජයට ලබා දීම ය. එබැවින් එකල විදුහල්පතිවරයෙකු, ගුරුවරයෙකු හෝ ගුරුවරියක ළමයෙකුට දඩුවමක් කළා නම්, ඒ පාසල් අධ්‍යාපනයෙහි ආවේනිකව පැවති සමාජ වගකීම වෙනුවෙනි.
මේ සමාජය එවැනි ශිෂ්ඨ සමාජයක් නොවේ. මේ සමාජය 80 දසකයේ සිට පුද්ගල වාසි, ලාභ සඳහා දූෂණ වංචා අපරාධ වගා කරගත් සමාජයකි. ආත්මාර්ථකාමය, කෙසේ හෝ අනෙකා පරයා යෑම, උපතේ සිට ළමුන්ට උගන්වන සමාජයකි. අධ්‍යාපනය හා පාසල් පද්ධතිය හැදී ඇත්තේද ඒ වෙනුවෙනි. එදා පැවති ශීලාචාර සමාජයෙහි පවා නොතිබිය යුතු වූ දඬුවම් කිරීම් අද මේ සමාජයේ සද්භාවයෙන් පැවතිය යුතු යැයි කියන්නේ එදා මෙන් හරියාකාර සමමිතික ගුරු සේවාවක්ද නොමැතිව ය. දෙමාපියන්ගේ හීනමානය වෙනුවෙන් දරුවන් තනි පීල්ලේ අධිවේගයෙන් තල්ලුකර ගෙන යන සමාජයක ය. අද පාසලක ඉන්නා ගුරුවරුන් ගත් විට, ඔවුන්ට පත්වීම් ලබා දුන්නේ කෙසේදැයි හෝ සිතා ගත නොහැක. ගුරු පුහුණු විදුහල් අද නැත. අද ඇත්තේ විද්‍යා පීඨ යැයි උසස් පෙළ සමතුන්ට ගුරු රැකියා දීමේ ආයතන කිහිපයකි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට “සංවර්ධන නිලධාරීන්” යැයි තොගේට පත්වීම් ලබා දුන් උපාධිධාරීන්ද දැන් ගුරු පත්වීම් ලබන වුන්ය. දුරස්ථ අධ්‍යාපනයෙන් හදන ගුරුවරුන්ද පාසල්වල ඇත. වඩාත් අර්බුදකාරී වන්නේ, එවැනි හත් හවුල් සමග පාසලක පොදු සමාජ වගකීමක් නඩත්තු කර ගැනීමට ඇති අපහසුවට වඩා ඔවුන්ද විනයක් සදාචාරයක් නැති, මේ ආත්මාර්ථකාමී සමාජයේ හැදී වැඩුණු පරපුටුවන් වීම ය.
එවැනි පිරිහුණු, දූෂිත, අශිෂ්ඨ සමාජයකට, 50-60-70 යුගයේද නොතිබිය යුතු වූ දරුවන්ට දඬුවම් කිරීම මේ සමාජයට ලබා දුනහොත් සිදුවිය හැක්කේ කුමක්දැයි කියන්නේ අප නොවේ. සිදුවිය හැකි විනාසය ගැන කියන්නේ ජාතික ළමා ආරක්ෂක අධිකාරයේ හා පොලීසියේ බරපතල අපරාධ සම්බන්ධ පැමිණිලි වාර්තා ය.
එහි ඇති වේදනාකාරී උත්ප්‍රාසය වන්නේ, 90 දසකයේ සිට හැදී වැඩුණු මේ පිරිස් සෑම ජනවාරි මස 04 වන දිනම “ළමා හිංසනයට එරෙහි ජාතික දිනය” ලෙස සමරනු ලැබීමය. මුල් ළමා විය සංවර්ධන ජාතික ලේකම් කාර්යාලයක් මහජන මුදලින් පවත්වා ගෙන යෑමය. ජාතික ළමා ආරක්ෂණ පස් අවුරුදු සැළැස්මක්ද ඔවුන්ට තිබීමය. ඔවුන් “ළමා හා කාන්තා නියමු ගම්මාන” පිහිටුවා ගෙනද ඇත. 2021 දී “ළමා ආරක්ෂණ පාසල් කමිටු” 1,655 ක විශේෂ වැඩසටහන් පැවැත්වීමට මහජන මුදල් ලබා දී ඇත. වයස අවුරුදු 18 ට අඩු වැඩිහිටියෙක් ලෙස නොසැළකෙන, පාසල් යන නොයන සියලු ළමුන්ගේ ආරක්ෂාව, සුව සෙත හා දියුණුව වෙනුවෙන් දේශීය හා විදේශීය ආධාර ආයතන සමග සංවිධානය කෙරුණු විශේෂ වැඩසටහන් වෙනුවෙන් කොපමණ මුදලක් ආණ්ඩු විසින් වැය කර තිබේදැයි ඔවුන් දන්නේද නැත. මා දන්නේද නැත. නමුත් එක කාරණාවක් අපි දනිමු. මේ සදාචාරයක් විනයක් හොඳක් නරකක් නොදන්නා සමාජයේ ඒ කිසිවක් නොසළකන දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන් කෙතරම් පීඩනයකට, ආතතියකට, හිංසනයකට යටත් කෙරුණත් අවශ්‍ය වන්නේ අනෙක් දරුවන්ට ඉදිරියෙන් සිටිය හැකි ප්‍රතිපල පමණි. එවැනි දෙමාපිය කුහකත්වයක් වෙන සමාජයක පැවතිය නොහැක.
අවසන් වශයෙන් ආණ්ඩුවටත් අගමැතිනී හරිනි අමරසූරියටත් කිව යුත්තේ, දියුණු සමාජ විඥාණයක් නොමැති අපගේ වැනි කුහක සමාජයක, අණ පනත් සම්මත කළ යුත්තේ පාර්ලිමේන්තුවේ කිසිදු සාකච්ඡාකට හවුල් නොවන මන්ත්‍රීවරුන් සීයක් හමාරක් දෙන ඡන්දයකින් නොවේ. අණ පනත් සම්මත කළ යුත්තේ ඉතා දැනුවත් දියුණු සමාජ සාකච්ඡා සංවිධානය කිරීමෙන් ලබා ගන්නා එකඟතාවක් සම්මුතියක් ඇතිවය. ගුරු සංගම් නායකයින්ද ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය යුත්තේ, පනත සම්මත කිරීමට පෙර ගුරුවරුන් හා දෙමාපියන් සමග පාසල් මට්ටමින් කෙරෙන සාකච්ඡා සඳහා කාලයකි.
ආණ්ඩුව වහා කළ යුත්තේ දස දහසකට වැඩි පාසල්වල දෙලක්ෂ තිස් දහසකට වැඩි ගුරුවර ගුරුවරියන්ට හා විදුහල්පතිවරුන්ට 2019 දී සම්මත කළ “ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති” ප්‍රකාශනය පහත උදෘතය කවරයේ මුද්‍රණය කර බෙදා දීම ය. පසුගිය අවුරුදු 05 ක කාලය තුල ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය එකදු ගුරුවරයෙකු ගුරුවරියක කියවා නොමැති විය හැකිය.

“සෑම ළමයෙකුටම ජීවත් වීමට, නිදහසට, සහ මනුෂ්‍යයෙකු ලෙස හිමි ආරක්ෂාවට මෙන්ම යහපැවැත්ම හා සංවර්ධනය සඳහා සාධාරණ හා සමාන අවස්ථාවක් ලැබීමට අයිතියක් ඇත. කිසිදු ළමයෙකු කිසිදු ආකාරයේ අපයෝජනයකට හෝ නොසළකා හැරීමකට හෝ සූරා කෑමකට ලක් නොවිය යුතුය. එසේම කිසිදු ළමයෙකු වධ හිංසාවට, කෲරත්වයට, අමානුෂික ලෙස හෝ ආත්ම අභිමානයට හානි වන ලෙස සැළකීමට හෝ දඬුවම් කිරීමට ලක් නොවිය යුතුය. නීතිය ඉදිරියේ සෑම තනකදීම, වයස අවුරුදු 18 ට අඩු තැනැත්තෙක්, ළමයෙකු ලෙස හඳුන්වනු ලැබීමට අයිතියක්, වගකීමක් හා යුතුකමක් ඇත. ළමයාගේ නිදහස හා යහපැවැත්ම සඳහා ළමා අයිතිවාසිකම් තහවුරු කිරීම තුලින් ළමයාට ඔහුගේ හෝ ඇයගේ ස්වභාවික වර්ධනයටත් පූර්ව විභව ශක්තිය කරා පත්වීමටත් සුදුසු සුරක්ෂිත පරිසරයක් නිර්මාණය වනු ඇත.”
(ළමා ආරක්ෂණ පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ඃ මග පෙන්වීමේ මූලධර්ම හා වටිනාකම් - අංක 01 /පිටුව 05)
දැනට යෝජිත පනතේ ගුණදොස් හරි වැරදි මම කතා නොකරමි. මේ මොහොතේ මා අවධාරණය කරනුයේ සමාජ සාකච්ඡාවක ඇති අනිවාර්ය අවශ්‍යතාවය පමණි. පනත් සම්මත කරන්නට කලියෙන් මේ ප්‍රතිපත්තිමය ස්ථාවරය මතයක් ලෙස සමාජගත කිරීමේ වැදගත්කම ආණ්ඩුවත් හරිනිත් තේරුම් ගත යුත්තේ, එසේ නැතිව සම්මත කරන අණ පනත් ක්‍රියාත්මක නොවන නිසා යැයි මම කියමි.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 සැප්තැම්බර් 29




