The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ළමා රැකවරණය; වෙළඳ කළාපයේ තවත් අඳුරු පැතිකඩක් | ඉෂංඛා සිංහආරච්චි

T

The Leader Desk

September 30, 2025 • 7:03 AM

ළමා රැකවරණය;  වෙළඳ කළාපයේ තවත් අඳුරු පැතිකඩක් | ඉෂංඛා  සිංහආරච්චි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වගුරන ශ්‍රමයට සරිලන, ඉහල යන ජිවන වියදමට සාපේක්ෂ වැටුපක්, නිරන්තරයෙන්ම සපුරාලිය යුතු ඉලක්ක මත පැටවෙන අධික වැඩ කොන්දේසි, රැකියා සුරක්ෂිත බව ගැන වූ අවිනිශ්චිතාව, වෘත්තීය සමිති තුල සංවිධානය වීමේ අයිතිය අහිමි කිරීම වැනි දිගු ලැයිස්තුවකින් යුත් ගැටළු ගණනාවක් වෙළඳ කලාප කම්කරුවන් සතුය.
  • ඒ අනුව සැලකීමේදී පැන නැගෙන ගැටලුව වන්නේ මේ නිදහස් වෙළඳ කලාප සංකල්පය සාර්ථක වී ඇත්ද යන්නය.
  • ආයෝජකයන් කෙතරම් මැසිවිලි නැගුව ද, ඔවුන්ගේ මතය යථාර්තයක් නොවන බව පසුගිය කාලය පුරාවට එලි දැක්වූ ආදායම් හා වියදම් පිලිබඳ වූ ඔවුන්ගේම දත්ත හා තොරතුරු සාක්ෂි දරනු ඇත.
  • චන්ද්‍රා දේවනාරායන නිදහස් වෙළඳ කළාප ඇරඹීම තුලින් ලක්ෂ ගණනාවකට රැකියා උත්පාදනයක් ඇති වුවද, එම සාර්ථකත්වය පිටුපස ඒවායේ නිරත කම්කරුවන්ට බලපාන එහෙත් නොසලකා හරිනු ලැබූ ප්‍රශ්න ගණනාවකි.
අකුරු ප්‍රමාණය (Font Size):

වගුරන ශ්‍රමයට සරිලන, ඉහල යන ජිවන වියදමට සාපේක්ෂ වැටුපක්, නිරන්තරයෙන්ම සපුරාලිය යුතු ඉලක්ක මත පැටවෙන අධික වැඩ කොන්දේසි, රැකියා සුරක්ෂිත බව ගැන වූ අවිනිශ්චිතාව, වෘත්තීය සමිති තුල සංවිධානය වීමේ අයිතිය අහිමි කිරීම වැනි දිගු  ලැයිස්තුවකින් යුත් ගැටළු ගණනාවක් වෙළඳ කලාප කම්කරුවන් සතුය.

වෙළඳ කළාප තුල ආයෝජනය කළ කර්මාන්තකරුවන්ට කෙතරම් සහන සළසා තිබුන ද  ඉකුත් සිව් දශකය පුරාවට නැගෙන්නේද නිෂ්පාදන වියදම් ඉහළ යෑම් වැනි මැසිවිලිය. ඒ අනුව සැලකීමේදී පැන නැගෙන ගැටලුව වන්නේ මේ නිදහස් වෙළඳ කලාප සංකල්පය සාර්ථක වී ඇත්ද යන්නය. ආයෝජකයන් කෙතරම් මැසිවිලි නැගුව ද, ඔවුන්ගේ මතය යථාර්තයක් නොවන බව පසුගිය කාලය පුරාවට එලි දැක්වූ ආදායම් හා වියදම් පිලිබඳ වූ  ඔවුන්ගේම දත්ත හා තොරතුරු සාක්ෂි දරනු ඇත.

CHANDRA DEVANARAYANAචන්ද්‍රා දේවනාරායන

නිදහස් වෙළඳ කළාප ඇරඹීම තුලින් ලක්ෂ ගණනාවකට රැකියා උත්පාදනයක් ඇති වුවද, එම සාර්ථකත්වය පිටුපස ඒවායේ නිරත කම්කරුවන්ට බලපාන එහෙත්  නොසලකා හරිනු ලැබූ ප්‍රශ්න ගණනාවකි. විශේෂයෙන් දරුවන් සිටින ස්ත්‍රී කම්කරුවන්ට, සිය දරුවන් වෙනුවෙන්  ආරක්‍ෂිත හා විශ්වාසදායි  රැකවරණ සේවයක් ලබා ගැනීම තවමත් අභියෝගයකි. මේ අර්බුදයේ යටපත්ව ගිය කටුක යථාර්තයන් හෙළිදරව් වුයේ මානව විමුක්තිය සඳහා වූ සංවිධානය [RED] මෑතක දී  කළ සමීක්ෂණයකින් අනතුරුවය. 2018 වසරේදී  මෙම සංවිධානය ඇරඹෙන්නේ, කාන්තා හා වෘත්තීය සමිති ක්‍රියාකාරිනියක මෙන්ම මාධ්‍යවේදිනියක වූ  චන්ද්‍රා දේවනාරායන ප්‍රමුඛ ස්ත්‍රී ක්‍රියාකාරිනියන් සමුහයක ගේ  එකතුවෙනි.

katunayaka export zone
මෙරට පළමු නිදහස් වෙළඳ කලාපය වූ කටුනායක කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරුණු මෙකි සමීක්ෂණය මගින් දහසක හතරකට වැඩි කලක සිට දරුවන් වෙනුවෙන් වූ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල ගැටළුකාරී  තත්වය හඳුනා ගෙන, ඒවාට අවශ්‍ය විසදුම් ද ඉදිරිපත් කර තිබේ. කම්කරු බල ඇනිය 31,347 ක් වූ  කටුනායක වෙළඳ කලාපයේ ඉන් අඩකට වැඩි ප්‍රමාණයක් එනම් 13,503 ක් ස්ත්‍රීන් වේ.

''කුඩා දරුවන් නොමැති ස්ත්‍රීන්ට වඩා, නිවසේ වයස අවුරුදු පහට අඩු දරුවෙකු සිටින ස්ත්‍රීන්ට  ශ්‍රම බලකායට සම්බන්ධ වීමේ සම්භාවිතාව සියයට 7.4 කින් අඩු කරයි.'' 2017 වසරේදී ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවක දැක්වේ. අද වන විට එය ලංකාව තුල කෙතරම් යතාර්ථයක් වී ඇත්ද..

''කුඩා දරුවන්  දිගු කලක් නින්දේ තබා ගැනීමට නිදි පෙති''

මෙහි බොහෝ මව්වරුන් තම සේවා මුරය හමාර වන තෙක්, සිය දරුවන් රැකවරණයට ලබා දෙන්නේ නිසි පරිදි ලියාපදිංචි නොකළ, පෞද්ගලික නිවාස වල, නිසි ක්‍රමවේදයකින් තොරව පවත්වා ගෙන යන දරුවන් රැකබලා ගන්නා ස්ථාන වලටය. මෙවැනි ස්ථානයන් හි දරුවන් ගනනාවක් බලා ගන්නේ කිසිදු වෘත්තීය පුහුණුවක් නොලද වැඩිහිටි ස්ත්‍රීන් ය. බොහෝ විට මෙවැනි නිවාස පවත්වාගෙන යන්නේ කාර්ය බහුල ජනාකීර්ණ ප්‍රදේශවලය. එබැවින් දරුවන් අනාරක්ෂිත වටපිටාවකට නිරාවරණය වීමේ අනතුර බහුලය. එබැවින් කර්මාන්ත ශාලා වල වැඩ කළ ද, මෙවැනි මව්වරුන්  නීරන්තරයෙන් පසුවන්නේ සිය දරුවන්ගේ ආරක්ෂාව ගැන බියකිනි. තුවාල වීම් වලට අමතරව වඩාත් බරපතල ඛේදවාචකය වන්නේ කුඩා දරුවන්  දිගු කලක් නින්දේ තබා ගැනීමට නිදි පෙති වැනි ඖෂධ ලබා දීමය.

child protest

ඊට අමතරව මෙම සමීක්ෂණයේදී  හෙළිදරව් වී තිබෙන කරුණු අනුව ආයෝජන මණ්ඩලය හා පුද්ගලික හිමිකරුවන් යටතේ පවත්වා ගෙන යන දිවා සුරැකුම් මධ්‍යස්ථානයන්හි දරුවන් නොසලකා හැරීම, සනීපාරක්ෂක සේවා දුර්වල තත්වයක පැවතීම, දරුවන්ට පහර දීම හා වධ හිංසාවට ලක්කිරීම වැනි දේ සුලබවේ. ඇතැම් දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල ඒවායේ පවතින ඉඩ පහසුකම් ඉක්මවා දරුවන් සිටින අතර ඔහුන්ව රැක බලාගන්නට ප්‍රමාණවත් සේවක සංඛ්‍යාවක්  ද නොමැත. ඒ හේතුවෙන් නිසි අයුරින් පෝෂණය කිරීම, සනීපාරක්ෂක හා පවිත්‍ර කිරීම් ආදිය නිසි පරිදි ඉටු නොවේ. දරුවන් රැක බලාගන්නා සේවකයන් ද ප්‍රමාණය ඉක්මවා වැඩ කිරීම හේතුවෙන් ඔවුන් තුල මානසික ආතතිය, ශරීර ශක්තිය හීන වීම, නිරන්තර රෝගී තත්වයන්ට භාජනය වීම දක්නට ලැබේ.

2010 වසරේදී  කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ සමීක්ෂණයට ලක් කරන ලැබූ ළමා රැකබලා ගන්නන්ගෙන් සියයට 18 කට  සාමාන්‍ය පෙළ අධ්‍යාපන සහතිකයක් හෝ සාමාන්‍ය පෙළ සුදුසුකම් පවා නොමැති බවය. ඔවුන්ගෙන් සියයට 43 කට කිසිදු ආකාරයක පුහුණුවක් ලබා නොමැති බවය.

දිවා සුරැකුම් මධ්‍යස්ථාන විවෘතව තබන්නේ උදේ සිට සවස පහ හෝ හත දක්වා පමණි. එමෙන්ම සති අන්තයන්හි ඒවා වසා දැමේ. එහිදී මතු වන බරපතල ගැටලුව වන්නේ මේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන විවෘතව ඇති වෙලාවන් හා කම්කරු මව්වරුන්ගේ වැඩමුර සමපාත නොවීමය. මේ නිසා රැකියාවෙන් වේලාසනින් පිටවීමට මෙන්ම සති අන්තයන් හි අතිකාල සේවයේ යෙදෙමින් අමතර ආදායමක් ලබා ගැනීම අත්හල යුතුවේ.

 

MAS Active Pvt employees enter the company's factory in the Export Processing Zone in Biyagama, Sri Lanka, on Wednesday, Oct. 21, 2015. Sri Lankas central bank kept interest rates unchanged for a sixth straight month and Governor Arjuna Mahendran said the government will focus on boosting revenue in its budget due November. Photographer: Buddhika Weerasinghe/Bloomberg via Getty Images
දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල පවතින මෙම ගැටළු හේතුවෙන් වැඩකරන මව්වරුන් වැඩබිම් වල දීද බරපතල දුෂ්කරතාවලට මුහුණ දෙනු ඇත. සේවයට වාර්තා කිරීම ප්‍රමාද වීම නිසා වැඩ ඉලක්ක සම්පුර්න කිරීමට නොහැකිවේ. ඒ හරහා සිදුවන්නේ ද  ඔවුන්ට මාසිකව ලැබෙන සොච්චම් වැටුපෙන් යම් ප්‍රමාණයක් හෝ කැපී යාමය. පැමිණීමේ දීමනා කප්පාදුව, උසස් වීම් හා දිගු කාලින වෘත්තීය පළපුරුද්ද සඳහා වූ අවකාශය ස්ත්‍රී කම්කරුවන්ට මේ හේතුවෙන් අහිමීවේ.

දරුවන්ගේ ආරක්ෂාව ගැන අම්මලාට මානසික ආතතිය

විශ්වාසදායක ළමා රැකවරණයක් නොමැතිවීම නිසා නිරන්තරයෙන් පවතින බිය නිසා වෙළඳ කලාපයේ වැඩකරන මව්වරු මානසික ආතතියෙන් පෙළෙති. මුල්‍ය දුෂ්කරතා මත වන පීඩනය, ශාරීරික තෙහෙට්ටුව හා අසරණ කමේ හැඟීම ඔවුන් තදුරටත් පිඩනයට තල්ලු කරනු ඇත. නිදහස් වෙළඳ කලාපය තුල එහි සේවයේ නියුතු  කම්කරුවන්ගේ  දරුවන්ගේ රැකවරණය හාම්පුතුන් මෙන්ම, බලයට පත්වන ආණ්ඩු විසින් ද අත්හැර දමා ඇති බවට RED සංවිධානයේ මෙකි සමීක්ෂණය මගින් නිරාවරණය වීම වැදගත් කරුණකි.  

ළමා ආරක්ෂණ පහසුකම් සැලසීම සම්බන්ධයෙන් නිදහස් වෙළඳ කලාපයට වගකියන  ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වූ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සතුව ප්‍රතිපත්ති හෝ විධිවිධාන නොමැති කම නිසා ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති  ක්‍රියාත්මක නොවේ. එමෙන්ම කම්කරු අයිතිවාසිකම් හා ළමා රැකවරණය වැඩබිම් හි ඒකාබද්ධ කිරීමට ද අසමත් වී තිබේ.

ministry of women

"ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වන ජාතික ප්‍රතිපත්තිය", යුනිසෙෆ් ආයතනයේ තාක්ෂණික සහාය ඇතිව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් සකස් කර ඇත්තේ 2017 වසරේදී ය. එය ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වන ජාතික මාර්ගෝපදේශ මත ගොඩනගා ඇති අතර, ළමුන් 24,000 ක් දක්වා රැකවරණය සලසන දිවා සුරැකුම් මධ්‍යස්ථාන 1,200 ක් පමණ නියාමනය කිරීම සඳහා හඳුන්වා ලැබූ මෙම ජාතික ප්‍රතිපත්තිය  2017 ජූලි මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කෙරිණි.  මෙම ප්‍රතිපත්තිය දරුවන්ගේ යහපැවැත්ම සහ අයිතිවාසිකම්  ප්‍රමුඛත්ව දෙන මූලධර්මය අනුව ක්‍රියාත්මකය.

''ළමා රැකවරණය අනිවාර්ය කරන්න''

නිදහස් වෙළඳ කලාපයේ  වැඩකරන මව්වරුන්ගේ ළමුන්ට රැකවරණය වෙනුවෙන්  සියලු පහසුකම් වලින් යුත්, ආරක්ෂාකාරී දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉදිකිරිම අත්හල නොහැකි වගකීමක් ලෙස RED සංවිධානය ආණ්ඩුව ඇතුළු වගකිව යුතු බලධාරීන්ට පෙන්වා දී ඇත. ඒ අනුව කටුනායක නිදහස් වෙළඳ කලාපයට පිවිසෙන සෑම දොරටුවක් ආසන්නයේම දිවා සුරැකුම් මධ්‍යස්ථාන හතරක් ස්ථාපිත කිරීම ඔව්හු යෝජනා කරති. වෙළඳ කලාපයේ වැඩකරන මව්වරුන්ට පහසුවෙන් ලඟාවිය හැකි පරිදි නිර්මාණය කළ යුතු මේවා ඔවුන්ගේ වැඩ කාලයට මෙන්ම අතිකාල සේවා, සති අන්තයට සමපාත වන පරිදි ක්‍රියාත්මක කළ යුතුවේ. ආරක්ෂාව, සනීපාරක්ෂාව හා ළමා සංවර්ධන ප්‍රමිතීන් සහතික කිරීම වෙනුවෙන් මෙරට ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වන ජාතික  මාර්ගෝපදේශ යටතේ පුහුණුව ලැබුවන් රැක බලාගන්නන්ගෙන් කාර්ය මණ්ඩලය සමන්විත විය යුතු අතරම ඔවුන්ද නියාමනයට ලක් කිරීම වැදගත්ය.

එමෙන්ම තිරසාර දිවා සුරැකුම් සේවාවක් වෙනුවෙන් ආයෝජන මණ්ඩලය, හාම්පුතුන් ඇතුළු රජයේ සෙසු ආයතනවල  දායකත්වයෙන් ඒකාබද්ධ අරමුදලක් අවශ්‍යවේ. ප්‍රතිපත්තිමය අධීක්ෂණයක්  ආයෝජන මණ්ඩලය හරහාත්, ළමාරක්‍ෂක ප්‍රමිතීන්ට අනුකුල වගකීම කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයටත්, කර්මාන්තශාලා හිමියන්ට දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා භුමිය, ඉඩකඩ සැලසීම වෙනුවෙන් අරමුදල් සැපයීමේ වගකීම පැවරේ. මේ ඒකාබද්ධ සහයෝගිතාව වැදගත් වන්නේ එක් පාර්ශවයක් මත පමණක් සියලු වගකීම් පැටනොවෙන බැවිනි.

 

garment factory1

500 කට වඩා වැඩි කම්කරුවන් සංඛ්‍යාවක් වැඩ කරන නිදහස් වෙළඳ කලාපයේ කම්හල් වැඩබිම්වලට ළමා ආරක්ෂක පහසුකම් සැපයීම අනිවාර්ය කළ යුතුවේ. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති හා නීති රෙගුලාසි  ස්ථාපිත කරමින්, ඒවා ක්‍රියාත්මක කිරීමට ආයෝජන මණ්ඩලයට වගකීම් පැවරීම ආණ්ඩුවෙන් ඉටුවිය යුත්තකි. මෙවැනි නීතියක් ක්‍රියාත්මක කිරීම තුලින් ළමාරක්‍ෂක කටයුතු විධිමත්ව හා ප්‍රමිතිගතව සිදුවනු නිසැකය. ඒ තුලින් දැනට නිසි ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන යන දිවා සුරැකුම් මධ්‍යස්ථාන මුළුමනින්ම අහෝසි වන්නට හෝ  අඩුපාඩු සකසා ගනිමින් වඩාත්  සංවර්ධනය වීමේ අවස්තාව ද පවති. මෙවැනි තත්වයක් තුල  දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීමට නව සේවා යෝජකයන්ගේ  පෙළඹීම දැකිය හැකි අතර ඔහුන්ව දිරි ගැන්වීමක් ලෙස බදු සහන මෙන්ම සහනාධාර  ද ලබා දිය යුතු යැයි  RED සංවිධානය  සිය වාර්තාව මගින් නිර්දේශ කොට ඇත.

කාර්ය සාධක බළකායක්

නිදහස් වෙළඳ කලාපීය වැඩකරන මව්වරුන් වෙනුවෙන් ළමාරක්ෂණ සේවාව වඩා ගුණාත්මක හා විධිමත් කිරීමට  සියලු අංශ අතර අන්තර් සහයෝගය ශක්තිමත් කළ යුතුය. ඒ වෙනුවෙන් ආයෝජන මණ්ඩලය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය නොවන සංවිධාන හා වෘත්තීය සමිති එක්ව කාර්ය සාධක බළකායක් නිර්මාණය කර ගැනීම වඩා යහපත්වේ. මෙවැනි කාර්ය සාධක බළකායක් ඔස්සේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව වඩාත් සුදුසු දිවා සුරැකුම් වැඩසටහන් සැලසුම් කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය සහ සම්බන්ධීකරණය කළ හැකිය. උසස් මට්ටමේ ළමා ආරක්ෂණ සේවයක් සහතික කරන්නට මෙවැනි ඇගයීම් හා අධීක්ෂණ යාන්ත්‍රණයක අවශ්‍යතාව අති මහත්ය.

එමෙන්ම නිදහස් වෙළඳ කලාපයේ ළමාරක්ෂණ සේවයක් වෙනුවෙන්  දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම ගැන සියළුම පාර්ශවන් අතර  දිරි ගැන්වෙන සුළු දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කළ යුතුය. එහිදී පෙන්වා දිය යුත්තේ  ලමා රක්ෂණය හරහා  ලබා ගත හැකි ආර්ථික හා සමාජ ප්‍රතිලාභ පිලිබඳවය.

R

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ විධිමත් ළමාරක්ෂක පහසුකම් නොමැතිවීම කම්කරු ස්ත්‍රීන්ගේ ශ්‍රම දායකත්වය, වැඩබිම් වල සමානත්වය, සහ පවුලේ යහපැවැත්මට ප්‍රමුඛතම බාධකයකි. එබැවින් වැඩබිම් ආසන්නයේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම, දැනට පවතින කම්කරු ප්‍රතිපත්ති සංශෝධනය, විවිධ පාර්ශයන් හා අංශ අතර සහයෝගිතාව ශක්තිමත් කිරීම මගින්  නිදහස් වෙළඳ කලාපයේ  ආර්ථික වර්ධනයට මග පෙන්වන අවකාශයක් බවට පරිවර්තනය විය හැක. එමෙන්ම කම්කරුවාගේ  වෘත්තීය ගෞරවය ද, අයිතිවාසිකම් ද  ආරක්ෂා  වනු ඇත.

මෙරට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, කම්කරු අයිතීන් හා තිරසාර සංවර්ධනයක් සාක්ෂාත් කර ගන්නට නම් ආරක්‍ෂිත ළමා පරපුරක් නිර්මාණය කර ගැනීම අත්‍යාවශ්‍යවේ. එබැවින් ළමා රැකවරණය යනු පෞද්ගලික වගකීමක් නොව පොදු වගකීමකි.


(සටහන | ඉෂංඛා සිංහආරච්චි)
Ishankha Singha Arachchi
Freelance Journalist

ishanka.singhe@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...