The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආණ්ඩුව ෆුටා එකත් ඇන්දුවා ද ? | රීටා ජෙනට් පෙරේරා

T

The Leader Desk

October 1, 2025 • 11:28 AM

ආණ්ඩුව ෆුටා එකත් ඇන්දුවා ද ? | රීටා ජෙනට් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ එවක දේශපාලන වේදිකාවල දී ඔවුන් සමාජයේ විවිධ ජන කොටස් සම්බන්ධයෙන් ගන්නා අතිශය ප්‍රගතිශීලී හා සාධනීය පියවර ගැන රසාලිප්ත කතා පවසන අතරේ එක් එක් විද්වත් වෘත්තික ප්‍රජාව පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කරන බව පුන පුනාම කී බැවිනි.
  • නමුත් ආණ්ඩුවට වසරක් සපිරීමත් සමඟ මේ වන විටත් ඉටු නොවූ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු ඊයේ (30) එක් දින සංකේත වැඩ වර්ජනයක යෙදුණහ.
  • ආචාර්යවරුන්ගේ විශ්‍රාම වැටුප සඳහා 10% ප්‍රමාණයක් වැටුපෙන් කපා ගන්නා අතර බදු ඇතුළත්ව වැටුපෙන් අඩු කෙරෙන ප්‍රමාණ අනුව සමස්ත වැටුපෙන් 50% ක් වත් අතට නොලැබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
  • එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර හමුවක් ඉකුත් මාර්තු 13 වන දා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු අතර එම හමුවේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මුහුණ දෙන ගැටළු සහ ඒ පිළිබඳ වූ විසඳුම් සම්බන්ධයෙන් අවධානය යොමු කොට තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ එවක දේශපාලන වේදිකාවල දී ඔවුන් සමාජයේ විවිධ ජන කොටස් සම්බන්ධයෙන් ගන්නා අතිශය ප්‍රගතිශීලී හා සාධනීය පියවර ගැන රසාලිප්ත කතා පවසන අතරේ එක් එක් විද්වත් වෘත්තික ප්‍රජාව පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කරන බව පුන පුනාම කී බැවිනි.

නමුත් ආණ්ඩුවට වසරක් සපිරීමත් සමඟ මේ වන විටත් ඉටු නොවූ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු ඊයේ (30) එක් දින සංකේත වැඩ වර්ජනයක යෙදුණහ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ බඳවා ගැනීම් සහ ආචාර්යවරුන්ගේ හිඟයට පිළියම් යෙදීම, ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම හා වාර්ෂික නිවාඩු ලබා ගැනීමේ දී කලින් පැවැති පහසුකම් නැවත ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඔවුන් ආණ්ඩුවට ඉදිරිපත් කරමින් මෙලෙස වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වී තිබේ.

 



මෙය ද එක්තරා අන්දමක ආණ්ඩුවේ “සායම යන්නට” පටන් ගැනීමකි. මේ වන විටත් ආණ්ඩුව කෙරෙහි පෙර පැවැති විශ්වාසය පළුදු කර ගෙන ඇති විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (ෆුටා) පවසනුයේ මේ සම්බන්ධයෙන් මාසයකට පෙර ද මෙම ඉල්ලීම් ඇතුළත් කරමින් සාකච්ඡාවක් ලබා දෙන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් සිදු කළ ද ඒ සඳහා මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවකි. ඊට හේතුව පවා අවිනිශ්චිත යැයි ඔව්හු කියති.

vw46u6

චාරුදත්ත ඉලංගසිංහ

 

ඉකුත් 29 වන දා මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වුණු අතර එහි දී අදහස් දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ ප්‍රකාශ කළේ අගමැතිවරිය ඇතුළු දේශපාලන අධිකාරිය සමග ද මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවල දී ඇති වූ එකඟතා මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවයි.

ආචාර්යවරුන්ගේ විශ්‍රාම වැටුප සඳහා 10% ප්‍රමාණයක් වැටුපෙන් කපා ගන්නා අතර බදු ඇතුළත්ව වැටුපෙන් අඩු කෙරෙන ප්‍රමාණ අනුව සමස්ත වැටුපෙන් 50% ක් වත් අතට නොලැබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

 



එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර හමුවක් ඉකුත් මාර්තු 13 වන දා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු අතර එම හමුවේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මුහුණ දෙන ගැටළු සහ ඒ පිළිබඳ වූ විසඳුම් සම්බන්ධයෙන් අවධානය යොමු කොට තිබේ.

එහි දී සියලු වෘත්තිකයින්ගේ ගැටලු පිළිබඳව රජයට මනා අවබෝධයක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් සංවේදීව කටයුතු කරමින් සියලු දෙනාගේ අයිතීන් සුරක්ෂිත කිරීමට කැපවන බවත් ජනාධිපතිවරයා පවසා තිබූ අතර සුමධුර ධර්ම දේශනාවක් බඳු ඊට සවන් දීමෙන් විශ්වවිද්‍යාල ආචාර්ය ප්‍රජාව ඉමහත් සෑහීමට පත් වූ බව එහි සාමාජිකාවක අප හා කීවා ය.

ඇය වැඩි දුරටත් පවසා සිටියේ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලන සාමාජිකත්වයේ බහුතරය ඉකුත් කාලයේ ප්‍රඥාව ඉක්මවන බැතිබර ස්වරූපයකින් ජාතික ජන බලවේගයට අවනත වූ බවකි. නමුත් ඉන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අභිලාෂයන් ඉටු නොවීම මත ඊට පසුව ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතා ඇතුළු සෙසු ගැටලු පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නිලධාරීන් සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ඡාවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඉකුත් ජූනි 11 වන දා පවත්වන ලදී.

එහි දී අගමැතිවරිය තම ගැටලු අර්බුද කෙරෙහි මහත් සංවේදී වූ බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් සම්බන්ධයෙන් පවතින තාක්ෂණික කාරණා පිළිබඳ අදාළ නිලධාරීන් සමග පළමුව සාකච්ඡා කිරීමටත්, එළඹෙන තීරණ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් තීරණය කළ බවත් අනාවරණය විය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ එවක සභාපති අනුරුද්ධ කරුණාරත්න, ලේකම් චාරුදත්ත ඉලංගසිංහ ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වී තිබේ. නමුත් ඉන් ද පුස්ස බිඳීමකට වැඩි යමක් සිදු වී නැත.

1735541773171 257

විශාඛා සූරියබණ්ඩාර

 

නමුත් ඉකුත් 29 වන දා පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විශාඛා සූරියබණ්ඩාර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මේ දක්වාම විසඳී නොමැති ගැටලු හේතුවෙන් ආණ්ඩුව කෙරෙහි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තුළ විශාල කලකිරීමක් හටගෙන ඇති බවයි. දැනට විශ්වවිද්‍යාලවල සිටින හොඳම ආචාර්යවරුන්, පර්යේෂකයන් රට හැර යමින් සිටින අතර මේ සම්බන්ධයෙන් අගමැතිවරිය සමඟ සාකච්ඡා පැවැත්වූ පුවත ද මහාචාර්යවරිය අනාවරණය කළාය.

සාකච්ඡාවලින් අනතුරුව බලධාරීන් සිය වෘත්තීය ගැටලු හඳුනාගෙන ඇති අතර මෙය සංවේදී ප්‍රශ්නයක් බවත් දැන දැනම ප්‍රශ්නවලට පිළිතුරු නොදී සිටීම බරපතල ප්‍රශ්නයක් බව ද ඇය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියාය. තවමත් බොහෝ දෙනකු නොදන්නා නමුදු අගමැතිවරියගේ දේශපාලන ආගමනයට මුල් වනුයේ ද අධ්‍යාපනය හා සම්බන්ධ අර්බුදකාරී තත්වයකි.



 කවර හෝ හේතු කාරණා මත පසුගිය කාල සීමාවේ දී පැවති සෑම ආණ්ඩුවක්ම අධ්‍යාපනයට වෙන්කරන ප්‍රතිපාදන ක්‍රමයෙන් අඩුකරන තත්වයක් දක්නා ලදී. පාසල්, විශ්වවිද්‍යාල, වෘත්තීය අධ්‍යාපන ආයතන ඇතුළු පොදුවේ සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයේම බිඳවැටීමේ ප්‍රධානම සාධකය මෙය බව විද්වත් මතයයි. පිළිගත් ගෝලීය සම්මතය අනුව රටක් අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් අවම වශයෙන් වෙන් කළ යුතු වේ.

නමුත් අධ්‍යාපනය සඳහා කලාපයේ අඩුම අගයක් වෙන්කරනුයේ මෙරටයි. ගෝලීය වශයෙන් ගත් කළ ද එය අඩුම අගයන් වෙන්කරන රටවල් අතර ඉදිරියෙන්ම සිටී. ” අධ්‍යාපන ක්ෂේත්‍රයට රාජ්‍ය ආයෝජන ඉහළ දමන අතර, දළ ජාතික නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා දැනට වෙන් කරනු ලබන ප්‍රමාණය ක්‍රමයෙන් 6% දක්වා වැඩි කිරීම අපේ අපේක්ෂාවයි ” යනුවෙන් ජාතික ජන බලවේග ප්‍රතිපත්ති ප්‍රකාශයේ , ( පිටු අංකය 12) සඳහන් වුව ද 2025 අයවැයෙන් අධ්‍යාපනය සඳහා වෙන් වූයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.86% කි. එය 2024 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා වෙන්වූ ප්‍රතිශතයට වඩා 0.1% ක සුළු ප්‍රතිශතයකින් ඉහළ යාමක් පමණි. ඒ අනුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද ඉහත සඳහන් චෝදනාවේ වග උත්තරකාර පාර්ශවය නියෝජනය කරන්නියක බව අප ගේ වැටහීම ය.

රාජ්‍ය පාලනය යනු සමස්ත රාජ්‍යයේ සියළුම අංශයන් ගේ සමතුලිත බව රැකෙන පරිදි බෙහෙවින් සීරුවෙන් කළ යුත්තක් බවත් එසේ නොකිරීමෙන් සමස්ත රාජ්‍යම බිඳ වැටෙන බවත් එදා මෙදා තුර ලෝක දේශපාලනික කරුණුවලින් මනාව ස්ථාපිත වේ. නමුත් වත්මන් ආණ්ඩුව පසුගිය මැතිවරණ සමයේ දේශපාලන බලය සඳහා “අලි දෙන්නම් කොටි දෙන්නං” න්‍යාය මත පදනම් ව ප්‍රවාද ගොඩනඟා ප්‍රලාප වපුරමින් කටයුතු කළ බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (ෆුටා) නොදැන සිටි බවට ඊයේ පැවැති එක් දින සංකේත වැඩවර්ජනය කදිම නිදසුනක් බව අප ගේ වැටහීම ය. නමුත් තවම මෙම සංසිද්ධියේ මූලාරම්භය පමණක් බැවින් දැනට අපට කළ හැක්කේ ආණ්ඩුවේ සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ඉදිරි ක්‍රියා කලාපයන් මනාව නිරීක්ෂණය කිරීම පමණි.

Screenshot 2024 12 25 at 10.13.44 copy(සටහන | රීටා ජෙනට් පෙරේරා)
madampagereetajenet@gmail.com

උපුටා ගැනීම - vinivida

සබැඳි පුවත් :

වර්ජනය සියයට සීයක් සාර්ථකයි - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

මේ පෝස්ටරේ ගැහුවේ ඇයි?  | Mahesh Hapugoda

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...