මේ කාලයේ අලූත්ම කතාවක් වන්නේ, ජවිපෙට සන්නද්ධ කැරළි දෙකකින් අල්ලා ගැනීමට නොහැකි වූ ''රාජ්‍ය බලය'' මෙවර ලැබුණු මැතිවරණ ජයග්‍රහණ දෙක මගින් අල්ලා ගැනීමට සූදානම් වන්නේය යන්න ය. තෙමසකට පමණ කලින් සතියකට වැඩි කාලයක් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා චීනයේ සංචාරය කරමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන නායකයින්ගේ සිට ප්‍රාදේශීය නායකයින් දක්වා සැළකිය යුතු පිරිසක් හමුවී සාකච්ඡාකර ඇත්තේ චීන රාජ්‍ය හා චීන කොමියුනිස්ට් පක්ෂය ව්‍යුහගතව ඇත්තේ කෙසේද යන්න යැයි කොළඹ ඕපාදූප කව වල කතා වූවකි. ඒ කතාවල කියවුනේ ජවිපෙ ''රාජ්‍ය බලය'' ඔවුනගේ අතට ගැනීමට සූදානම් වන බවකි.
| 1949 දී ''පීකිං'' යැයි හැඳින් වූ ඛෙයිජිං නුවර වැටලීම
චීන කොමියුනිස්ට් පක්ෂය රාජ්‍ය බලය ලබා ගත්තේ මැතිවරණයකින් නම් නොවේ. ඔවුන් රාජ්‍ය බලය ''අල්ලා ගත්තේ'' සන්නද්ධ කැරැල්ලකින් ය. චීන කො.පයේ සන්නද්ධ ගෙරිල්ලා භටයින් 1949 දී ''පීකිං'' යැයි හැඳින් වූ ඛෙයිජිං නුවර වැටලීමත් සමග චීන රාජ්‍ය පාලනයේ නායකයා වූ චියැං කායි-ෂෙක් ඔහුට පක්ෂපාතී හමුදා පිරිසක් සමග ආසන්න තායිවාන් දූපතට පලා ගියේය.
පීකිං නුවර කේන්ද්‍ර වූ චීන රාජ්‍යයේ හමුදා කාණ්ඩ කොමියුනිස්ට් පක්ෂයේ ගෙරිල්ලන්ට යටත් වූ පසු, එතෙක් පැවති චීන රාජ්‍යයේ බලය අහෝසි විය. රාජ්‍ය සේවාවේ සෙසු ආයතන සඳහා විධාන නිකුත් කිරීමේ ආණ්ඩු බලයද චියැං කායි-ෂෙක් ගේ පලා යෑමෙන් අවසන් විය. අනතුරුව කෙටි අරාජිකත්වයකින් පසු චීන කොමියුනිස්ට් පක්ෂ නායකත්වය ආණ්ඩු බලයට ආදේශ විය. නව චීන ආණ්ඩුව ලෙස 1949 ඔක්තෝම්බරයේදී මාඕ සෙඩොං ගේ ප්‍රකාශයත් සමග කො.ප නායකත්වය ආණ්ඩුව බවට පත් වීමත් සමග මාඕ සෙඩොං චීන රාජ්‍ය නායකයා විය. චීන රාජ්‍ය නැවත එකලස් වූයේ කො.ප විධාන යටතේ ය.
ආණ්ඩු මාරු කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත වන්නේ, බහුතර සමාජයේ කැමැත්ත අනුව, රාජ්‍ය පාලනය සඳහා ආණ්ඩුවක් පත්කර ගැනීම ය. එය එතෙක් පැවති ආණ්ඩුව නැවත පත්කර ගැනීමක් හෝ වෙනත්ම කණ්ඩායමක් ආණ්ඩු පාලනයට පත්කර ගැනීමක් විය හැක. එවැනි තේරීමකට දේශපාලන මත වෙනස්කම් අනුව සංවිධානය වූ පක්ෂ කිහිපයක් සමාජයේ විවෘතව පැවතිය යුතුය. බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් යනු එවැන්නකි. චීනය එවැනි බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නොවේ.
බිඳ වැටෙන්නට පෙර සෝවියට් රුසියාවත් නැගෙනහිර යුරෝපීය රටවල් කිහිපයක් සහ කියුබාවත් උතුරු කොරියාව හා වියට්නාමයත් ''තනි පක්ෂ'' රාජ්‍ය පාලන විය. තනි පක්ෂයක් රාජ්‍ය බලය අතට ගත් පසු වෙනත් තේරීමක් රටේ ජනතාවට ඉතිරි නොවන හෙයින්, එවැනි ආණ්ඩු පාලන ප්‍රජාතන්ත්‍රවාදී පාලන යැයි පිළිගනු නොලැබේ.
එවැනි ''තනි පක්ෂ'' රාජ්‍ය හැදුණු ආකෘති කිහිපයක් ඇත. සාර් රුසියාවේ හැර අනෙක් රටවල රාජ්‍ය බලය සඳහා තරග වැදුණේ ආයුධ සන්නද්ධ කල්ලියක් විසින් මෙහෙයවනු ලැබූ රාජ්‍ය විරෝධී ජන බලයකි.
| 1917 ඔක්තෝම්බර විප්ලවය
01. රුසියාවේ සාර් රාජ්‍ය අහෝසි කිරීමෙහි ආකෘතිය වූයේ කම්කරු බලය ගැන විශ්වාසය තැබූ දේශපාලන නායකත්වයක් විසින් තීන්දු කෙරුණු කම්කරු වර්ජනයක් වටා ගොවි කැරළි එකතු වීමත් යුද්ධයෙන් හෙම්බත්ව පැමිණි නාවුක හා හමුදා සොල්දාදුවන් කැරැල්ලට එකතුවීමත් ය. එබැවින් 1917 ඔක්තෝම්බර විප්ලවය යනු නගරගත කම්කරු වර්ජනය සමගින් සමස්ථ ජන අරගලයට දේශපාලන නායකත්වය ලබාදුන් බොල්ෂෙවික් පක්ෂය කේන්ද්‍රය වූ අරගලයකි.
02. චීනය හා වියට්නාමය, වෙනස් වන්නේ ඒවායේ රාජ්‍යයට අභියෝග කළ කේන්ද්‍රීය බලය දේශපාලන නායකත්වයක් විසින් ගොනු කෙරුණු සන්නද්ධ කැරැල්ලක් ස්වරූපයෙන් ප්‍රකාශ වීමෙනි. එබැවින් පැවති රාජ්‍ය ඉවත් කිරීමට ජනතා සම්මුතියක් හැදෙන්නේ පැවති රාජ්‍ය යටත් වීමත් සමග ය.
| කියුබානු අගමැති ෆිදෙල් කැස්ත්‍රෝ සහ සෝවියට් අගමැති නිකිටා කෘෂ්චෙව්
03. කියුබාව ඊට වෙනස් විය. කියුබාවේ අති දූෂිත, අධිකාරවාදී රාජ්‍ය පාලනයට එරෙහිව කුඩා සංක්‍රමණික සන්නද්ධ කල්ලියක් ''ජුලි 26 ව්‍යාපාරය'' නමින් කැරළි ගසා රාජ්‍ය බලය නගරයට කොටු කිරීමෙන් පැවති ආණ්ඩුව අතරමං කර 1959 ජනවාරියේදී රාජ්‍ය බලය ලබා ගත්තකි. එහි පළමු උත්සාහය වූයේ දූෂණයෙන් තොර ආණ්ඩු පාලනයක් වෙනුවෙන් පැවති රාජ්‍ය නවීකරණය කිරීමකි. නමුත් ඔවුන්ගේ දේශපාලනය ගැන වොෂිංටනයේ වූ අවිශ්වාසය හේතුවෙන් දෑවුරුද්දක් යන්නට පෙර 1961 දී ඔවුන්ට සෝවියට් රුසියාවේ ආධාර මත සෝවියට් පන්නයේ ''කොමියුනිස්ට්'' රාජ්‍ය පාලනයක් තහවුරු කරන්නට සිදු විය.
04. නිකරගුවානු සන්නද්ධ කැරැල්ල සෝවියට් රුසියාවට, කියුබාවට හා චීනයට වෙනස් වූවකි. ඔවුන් සොමෝසා පාලනයේ හමුදා ප්‍රධානීන් පැහැර ගෙන ගොස් රාජ්‍ය බලය සම්බන්ධයෙන් සම්මුති වලට එළැඹෙන්නට උත්සාහ කළේය. අවසානයේ නගරය ආක්‍රමණය කළ සන්නද්ධ බලය සමග, නගරයේ ජනතා සහයෝගය ඇතිව බලය ගන්නේය. නමුත් ඔවුන් පාලන බලය තහවුරු කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සකසන්නේ මැතිවරණ සඳහා පූර්ණ අවකාශයයක් ඇතිවය. ඒ වෙනුවෙන් ඔවුන්ගේ සන්නද්ධ සටන්කරුවන් නිරායුධ කරමිනි. එහි ආකෘතිය වන්නේ, සන්නද්ධ බලය මගින් පැවති රාජ්‍ය ඉවත් කර, ජනතාවාදී ආණ්ඩු බලයක් සඳහා මැතිවරණ තැබීමේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයකට යෑමේ ආකෘතියකි.
කොළඹ ඕපා දූප කතා වලට නැවත හැරුණු විට, ටිල්වින් සිල්වා හා ජවිපෙ කතා සතුව ඇත්තේ ''රාජ්‍ය බලය'' අත්පත් කර ගැනීමේ අලූත් කතාවකි. එය 90 දසකය ආරම්භයේ මාතෘකාවක් වූ ''රාජ්‍ය නිර්දේශපාලනීකරණය'' කිරීම සඳහා ස්වාධීන කොමිසම් පත් කිරීමෙන් ගත් උත්සාහය අසාර්ථක වූවකි. ස්වාධීන කොමිසම් මගින් නවතා ගන්නට හැදූ දේශපාලනීකරණය හා ටිල්වින් සිල්වාගේ රාජ්‍ය දේශපාලනීකරණය කිරීම අතර ලොකු වෙනසක්ද ඇත. එහි වෙනස ඇත්තේ මෙතෙක් පැවති රාජ්‍ය දේශපාලනීකරණය කිරීම, ජවිපෙ දේශපාලනයට රාජ්‍ය යටත් කර ගැනීමේ උත්සාහය මෙන් පක්ෂ තීන්දුවක් අනුව සිදු කෙරෙන මධ්‍යගත මැදිහත්වීමක් නොවීමෙහිය.

දැනට සිදු වන්නේ ජනාධිපති හා ඇමතිවරුන් ඔවුන්ගේ වාසි වරදාන හා ලාභ වෙනුවෙන් වැදගත් තීරණාත්මක තනතුරු සදහා හිතවතුන් ඥාතීන් පත්කර ගැනීමකි. එය රාජ්‍ය දූෂණ හා සෘජු සම්බන්ධයක් තිඛෙන්නකි. එවගේම, මැතිවරණ දේශපාලනයද දූෂිත දේශපාලනයකට යටත් කිරීමකි. දේශපාලනය දූෂණය වූ පසු බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයෙහි වැදගත් තේරීම් ඉතිරි වන්නේ නැත.
ජවිපෙ සමග රාජ්‍ය දේශපාලනීකරණය කිරීමෙහි ටිල්වින් සිල්වා ගන්නා උත්සාහයෙහි මූලික වෙනස ඇත්තේ එය මධ්‍යගත මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කිරීමේ දේශපාලන තීන්දුවක් වීමෙහි ය. ඔවුන්ගේ ඒ උත්සාහය පළමු වරට දැකිය හැකි වූයේ ජාතික තරුණ සේවා සභාවෙහි ප්‍රාදේශීය තරුණ සංගම් නිලවරණ සඳහා ජවිපෙ සාමාජිකයින් පත්කර ගැනීමට ගනු ලැබූ තීන්දුවෙහි ය. එය ජාතික වශයෙන් ග්‍රාමීය තරුණ සමිති ජාලයම ජවිපෙ සංවිධානයක් බවට පත්කර ගැනීමේ තීන්දුවක් විය. එමගින් ගමේ පැවැත්ම ජවිපෙ දේශපාලනයෙන් හැසිර විය හැකි යැයි ඔවුන් කල්පනා කළ සෙයකි.
එළෙසින්ම සෑම රජයේ කාර්යාලයකම කාර්යාලීය කටයුතු සමග ජවිපෙ ශාඛා හවුල් කිරීමේ අප්‍රකාශිත තීන්දුවක්ද ක්‍රියාත්මක වන බවක් දැකිය හැකිය. එමගින් ඇමතිවරුන් හා අමාත්‍යාංශ ලේකම්වරුන් පක්ෂ ලේකම් ටිල්වින් සිල්වාගේ විධානයන්ට හා පක්ෂයේ දේශපාලනයට අවනත කර ගැනීමේ උත්සාහයක් දැකිය හැකිය.
ඔවුන්ට ඉතිරිවන බරපතල ප්‍රශ්නය වන්නේ එවැනි දේශපාලනයකින් රාජ්‍ය කෙතරම් දුරකට ජවිපෙහි සංවිධාන යාන්ත්‍රණයට යටත් කරගත හැකිද යන්න ය. පවතින රාජ්‍ය මතවාදය සිංහල-බෞද්ධ මතවාදයක් වන හෙයින් ඊට අනුගත නොවන දේශපාලනයකට රාජ්‍ය යටත් කරගත නොහැක. එහෙත් එවැනි දේශපාලනයකට උතුරු-නැගෙනහිර රාජ්‍ය යාන්ත්‍රණය යටත් කරගත හැකි ජවිපෙ ක්‍රියාකාරීන් ඇත්තේ නැත.
එබැවින් ටිල්වින් සිල්වාගෙ මේ ජවිපෙ අත්හදා බැලීම, චීන කොමියුනිස්ට් පක්ෂය විසින් අයිති කරගෙන තිඛෙන රාජ්‍ය ආකෘතියකට ඉඩ තබන්නක් නොවන බව නම් කිව හැක.(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 ඔක්තෝම්බර 01 වන දින




