“ප්‍රකාශනයේ නිදහසට බාධාවන වගන්තීන් ඉවත්කොට 2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත සංශෝධනය කිරීම” ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 1.8 පරිච්ඡේදයේ පොරොන්දු අතර තිබේ (පොහොසත් රටක් ලස්සන ජීවිතයක්, 60 පිටුව). මුදල් සම්බන්ධ නොමැති කාරණයක් වන මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දුව බැරෑරුම් ලෙස සැලකිය හැකිය.
මාස 11කට පසු කෙසේ හෝ රජය පසුගිය මාසයේ මේ පිළිබඳ මහජන අදහස් සහ යෝජනා ඉල්ලා සිටියේය.

ආරම්භයක් ලෙස, ජාතික ආරක්ෂාවට, මහජන සෞඛ්‍යයට හෝ මහජන සාමයට තර්ජනයක් වන හෝ විවිධ පන්ති අතර, මිනිසුන් අතර අමනාපකම් සහ සතුරුකම් ප්‍රවර්ධනය කිරීමේ වරදට වසර පහක් දක්වා සිර දඬුවම් සහ/හෝ රුපියල් කෝටි පහක් දක්වා දඩ පැනවිය හැකි 12වන වගන්තිය ඉවත් කර දැමිය යුතුය.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 12 වගන්තියේ දැක්වෙන්නේ මෙසේය:
12. ව්‍යාජ ප්‍රකාශන සන්නිවේදනය තහනම් කිරීම
(1) යම් තැනැත්තෙකු විසින්, ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් බැහැර සිට, මාර්ගගත ගිණුමක් මගින් හෝ මාර්ගගත ස්ථානයක් මගින්, පහත සඳහන් යම් අරමුණක් සඳහා ව්‍යාජ ප්‍රකාශනයක් සන්නිවේදනය කරනු ලබන්නේ නම්, එවැනි තැනැත්තකු විසින් වරදක් කරනු ලැබ ඇතැයි සැලකිය යුතු යි:-
(අ) ජාතික ආරක්ෂාව, මහජන සෞඛ්‍ය හෝ මහජන සාමය සඳහා තර්ජනයක් වන, නැතහොත් විවිධ පංතිවල ජනතාව අතර ද්වේෂ සහගත සහ සතුරු හැඟීම් ඇති කරවන, නැතහොත් දණ්ඩ නීති සංග්‍රහය හෝ ඊට අදාළ වෙනත් යම් ලිඛිත නීතියක් යටතේ වරදක් වන, යම් සිදුවීමක් සම්බන්ධයෙන් වූ කරුණු ප්‍රකාශ කිරීම, හෝ
(ආ) ශ්‍රී ලංකාවේ පවතින නීතියක් මගින් සීමා කරනු ලබන වෙනත් යම් කරුණක් සම්බන්ධයෙන් වූ කරුණු ප්‍රකාශ කිරීම.
(2) (1) වන උපවගන්තිය යටතේ වරදක් සිදුකරනු ලබන යම් තැනැත්තකු, වරදකරු කිරීමෙන් පසු, වසර පහකට නොවැඩි කාලයකට සිර දඬුවමක් හෝ රුපියල් දස ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ එම සිර දඬුවම් සහ දඩ දෙකටම යටත් විය යුතු යි. දෙවන හෝ ඊට පසු වරදකරු කිරීමක දී, එම සිර දඬුවම් කාලය හෝ දඩය හෝ එම සිර දඬුවම් සහ දඩ දෙකම දෙගුණ කළ හැකි යි.
12 වන වගන්තිය මගින් නිර්මාණය කරන ලද වරදෙහි මූලිකාංග නිවැරදි කළ නොහැකි තරම් අපැහැදිලි ය. අපැහැදිලි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය උල්ලංඝනය කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය නැවත නැවතත් ප්‍රකාශ කර තිබේ.
එම නොපැහැදිලි භාෂාව අර්ථකථනය කර වරදක් සිදු කර ඇත්දැයි තීරණය කිරීම පුහුණු විනිසුරුවන්ට භාර දීම එක දෙයකි. එහෙත්, 23 වන වගන්තිය මගින්, පනතේ නිර්මාතෘවරුන් අදහස් කර තිබෙන්නේ සත්‍ය සහ අසත්‍ය දේ මොනවාද, එය වෛරය සහ සතුරුකම ප්‍රවර්ධනය කළේද යනාදිය තීරණය කිරීම සඳහා අධිකරණ ක්ෂේත්‍රයෙන් පරිබාහිර පුද්ගලයින් පස්දෙනෙකු පත් කිරීමටයි. පැහැදිලිවම, එය සීමාව ඉක්මවා යාමකි. එබැවින්, රජය 12වන වගන්තිය ඉවත් කළ යුතුය. එපමණක් නොව, එකී කොමිෂන් සභාව ද අත්හැර දැමිය යුතුය. එය තවමත් ස්ථාපිත කර නොමැති කොමිෂන් සභාවක් බැවින් එය කිරීම පහසුය.
පනත භාවිතා කර ඇති ආකාරයෙන් උගත හැකි පාඩම්

මෙම පනත සමාජයට ප්‍රවර්ධනය කළේ පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝ භාවිතා කරමින් කාන්තාවන්ට හිරිහැර කරන සහකරුවන්ට එරෙහිව කාන්තාවන්ට ලබා දිය යුතු ආරක්ෂාව මත පදනම්ව ය. 20වන වගන්තිය මතුපිටින් කියවීමෙන් එසේ ඒත්තු යාම සම්බන්ධයෙන් අප ද වැරදිකරුවෝ වන්නෙමු. එහෙත්, 24වන වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරුන් ඉදිරියේ නඩු පැවරීමේ අවස්ථාව භාවිතා කර තිබෙන්නේ බලවත් ස්ථානවල සිටින පිරිමින් පමණක් වීමෙන් කියවෙනේ කුමක්ද? මෙහි තිබෙන්නේ අපහාසය සාපරාධී වරදක් නොවන තත්වය තුළ දේශපාලනඥයින්ට විසඳුමක් ලබා දීම සඳහා දරන කූට උත්සාහයක් නොවේද?
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ පැමිණිලි සිදුකර තිබෙන පුද්ගලයන් අතර කිසිදු කාන්තාවක නැත. එක් අයෙකු හැර අන් සියල්ලන්ම දේශපාලනයේ නියැලි අය වන අතර, එක් පැමිණිලිකරුවෙකු විපක්ෂයේ ඉදිරි පෙළ නායකයෙකි. මෙයින් ඇඟවෙන්නේ පනත දේශපාලන පන්තිය විසින් ඔවුන් වෙනුවෙන්ම නිර්මාණය කරගෙන ඇති බවයි.
ජනතාව මුහුණ දෙන ගැටලුව කුමක්ද?
මාර්ගගත වේදිකාවලදී තමන්ට නරක හා අප්‍රසන්න යමක් සිදු වූ විට සාමාන්‍ය ජනයා අසරණ වෙති. ඔවුන්ට අවශ්‍ය වන්නේ හැකි ඉක්මනින් හානිය නතර කරගැනීමටයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ හානිකර අන්තර්ගතය කඩිනමින් ඉවත් කරගැනීමයි. කාට පැමිණිලි කළ යුතුදැයි, කාගෙන් උපකාර ලබාගත හැකිදැයි ඔවුන් දන්නේ නැත. මෙම මාර්ගගත වේදිකා ඉතා ස්වයංක්‍රීය ඒවාය. පරිශීලක ගැටලු විසඳීම සඳහා ඔවුන් සේවයේ යොදවන්නේ ඉතා සුළු පිරිසක් පමණි. එම කාර්ය මණ්ඩල සාමාජිකයන් පවා සිටින්නේ දුරස්ථ ස්ථානවලය.
“මාර්ගගත ආරක්ෂාව" වෙනුවෙන් බව කියන නීති සම්බන්ධයෙන් තිබෙන සැබෑ ගැටලුව මෙයයි. නමුත් සෑම රටකම පාහේ දේශපාලනඥයෝ එය තම ආරක්ෂාව වෙනුවෙන් භාවිතා කරති. එසේම, මෙම නීති අකාර්යක්ෂම ය. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ පනවන ලද නඩු හයෙන් මූලික විරෝධතා මත පදනම්ව නිෂ්ප්‍රභ කරන ලද එක් නඩුවක් හැර, අනෙක් නඩු පහම තවමත් අවසන් වී නොමැත. මෙමගින් අපේක්ෂිත විසඳුම අන්තර්ගතය කඩිනමින් ඉවත් කිරීම නම්, ඒ සම්බන්ධයෙන් පවා මෙම පනත අසාර්ථක ය.
එය ජනතාවගේ ගැටලු විසඳීමට අසමත් වනවා පමණක් නොව, එය ස්ට්රේයිසැන්ඩ් ආචරණය (Streisand Effect) නම් දෙය මගින් ප්‍රශ්න උග්‍ර කරයි. ස්ට්රේයිසැන්ඩ් ආචරණය මගින් අදහස් කෙරෙන්නේ වාරණය කිරීමෙන් හෝ වෙනත් ආකාරයකින් යමක් කෙරෙහි අවධානය තහනම් කිරීමට උත්සාහ කිරීම ඒ කෙරෙහි වැඩි අවධානයක් ආකර්ෂණය කර ගැනීමට හේතු වීමයි.

ඇමරිකානු ගායිකාවක සහ නිළියක වන බාබ්‍රා ස්ට්රේයිසැන්ඩ් විසින් 2003දී ඡායාරූප ශිල්පියෙකුට එරෙහිව ගොනු කරන ලද නඩුවෙන් ස්ට්රේයිසැන්ඩ් ආචරණය සංකල්පගත කරන ලදී. එමඟින් සිදු වූයේ ඇයට අන්තර්ජාලයෙන් ඉවත් කරගැනීමට අවශ්‍ය වූ ඡායාරූපයක් කෙරෙහි වැඩි අවධානයක් යොමු වීමයි. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතෙහි පළමු නඩුව ද එවැනි ප්‍රතිඵලයක් අත් කර දුන්නේය. එහිදී, ජනාධිපති අපේක්ෂකවරයකුගේ අනියම් සම්බන්ධයක් කෙරෙහි වැඩි අවධානයක් යොමු විය.
විසඳුම
ජනතාවගේ ගැටලුව විසඳීමට ඇති එකම ක්‍රමය වන්නේ වෛරස් ලෙස ව්‍යාප්ත වන අහිතකර අන්තර්ගතයන් වහාම ඉවත් කිරීම සඳහා වේදිකාවල ඇල්ගොරිතම හැකියාවන් උපයෝගී කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය සමාගම් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමයි. මේ සඳහා පනතේ II කොටසේ විස්තර කර ඇති ආකාරයේ කොමිෂමක් අවශ්‍ය වන්නේ නැත. කොමිෂමක නියෝගයක් මඟින් සිදුවිය හැක්කේ සමාගම් ඔවුන්ගේ නීතිඥයින් හරහා සියල්ල ක්‍රියාත්මක කරන්නට යාමෙන් ප්‍රමාදයන් වැඩි වීමයි.
වඩාත් යෝග්‍ය වන්නේ SL-CERT හෝ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තුළ ස්ථාපිත ඒකකයක් මගින් පැමිණිලි පරීක්ෂා කර අන්තර්ජාල වේදිකා සේවා සපයන සමාගම්වලට ඉවත් කිරීම් සම්බන්ධ අදාළ පණිවුඩ සන්නිවේදනය සිදු කිරීමයි. ඒ සඳහා, වේදිකා සමාගම් සමග කාර්යක්ෂමව සහ වේගයෙන් පණිවුඩ සන්නිවේදනය කළ හැකි යාන්ත්‍රණයක් ස්ථාපිත කළ හැකිය.

හානිකර අන්තර්ගතයන් ඉක්මනින් ඉවත් කිරීමේ එකම මාර්ගය සහයෝගීතා මාර්ගයයි. පනතේ 23වන වගන්තියේ දැක්වෙන කොමිෂන් සභා කේන්ද්‍රීය මාර්ගය අහෝසි කිරීමෙන්, පනතේ II කොටස සම්පූර්ණයෙන් ඉවත් කළ හැකිය. අත්තනෝමතික ඉවත් කිරීමේ තීරණවලට එරෙහිව ශ්‍රී ලංකා අධිකරණ සහ/හෝ පරිපාලන ආයතන වෙත අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා පනත මගින් විධිවිධාන සැලසිය යුතුය.
මහජනතාව මුහුණ දෙන සැබෑ ගැටලු විසඳීමට ආණ්ඩුවට අවශ්‍ය නම් කළ යුත්තේ එයයි. නැතහොත්, කලින් පැවති ආණ්ඩු මෙන්, දේශපාලන පන්තියේ ගැටලුවලට ප්‍රමුඛතාව දිය හැකිය. මෙම පනත මගින් එය පවා, සිදු වන්නේ අකාර්යක්ෂම ලෙස ය.
(සටහන | මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික
rohan@lirneasia.net
Chair, LIRNEasia (www.lirneasia.net)
Twitter: @samarajiva
https://www.linkedin.com/in/rohan-samarajiva-39199918/
Most recent publication: https://journals.sagepub.com/doi/full/10.1177/14614448221143428
Most recent book: https://www.idrc.ca/en/book/infocus-information-lives-poor-fighting-poverty-technology




