The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කාටවත්ම කියවන්න බැරි බෙහෙත් වට්ටෝරු ගැන අධිකරණ නියෝගයක්

T

The Leader Desk

October 3, 2025 • 7:30 AM

කාටවත්ම කියවන්න බැරි බෙහෙත් වට්ටෝරු ගැන අධිකරණ නියෝගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන් මහත් කම්පාවටත් ශෝකයටත් පත් ඔවුන් වටපිටාව විමසන විට එම කාමරයේ මේසය මත ඇති එම වෛද්‍යවරයාගේ අත් අකුරින් ලියැවුණු කුඩා තුණ්ඩු කැබැල්ලක් දක්නට ලැබිණි.
  • එහෙත්, එහි ලියා ඇත්තේ කුමක්ද යන්න ඒ පවුලේ කිසිවකුටත් කියවා ගත නොහැකි විය.
  • මෙය දිවි නසා ගැනීමක්ද නැතහොත් සාමාන්‍ය මරණයක්ද යන්න නිශ්චය කර ගැනීම සඳහා වන හොඳම සාක්ෂිය වනුයේ එම තුණ්ඩුවේ ඇති දෙය කියවා ගැනීම බව හදිසි මරණ පරීක්ෂක තැන වටහා ගත්තේය.
  • එහෙත්, ඔහුටද එහි ඇති කිසිවක් කියවීමට නොහැකි විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන් මහත් කම්පාවටත් ශෝකයටත් පත් ඔවුන් වටපිටාව විමසන විට එම කාමරයේ මේසය මත ඇති එම වෛද්‍යවරයාගේ අත් අකුරින් ලියැවුණු කුඩා තුණ්ඩු කැබැල්ලක් දක්නට ලැබිණි. එහෙත්, එහි ලියා ඇත්තේ කුමක්ද යන්න ඒ පවුලේ කිසිවකුටත් කියවා ගත නොහැකි විය. එමෙන්ම එය හදිසි මරණයක් වූ බැවින් හදිසි මරණ පරීක්ෂක තැනද වහා කැඳවන ලදී. මෙය දිවි නසා ගැනීමක්ද නැතහොත් සාමාන්‍ය මරණයක්ද යන්න නිශ්චය කර ගැනීම සඳහා වන හොඳම සාක්ෂිය වනුයේ එම තුණ්ඩුවේ ඇති දෙය කියවා ගැනීම බව හදිසි මරණ පරීක්ෂක තැන වටහා ගත්තේය.

එහෙත්, ඔහුටද එහි ඇති කිසිවක් කියවීමට නොහැකි විය. අවසානයේ එම වෛද්‍යවරයාගේ ඥාතීන් විසින් එක්තරා පුද්ගලයකු එහි කැඳවනු ලැබිණි. එම තුණ්ඩුව අතට ගෙන කියවා බැලූ සැනින් ඔහු කීයේ එය එම වෛද්‍යවරයා තමන්ට අමතක විය හැකි කරුණු කිහිපයක් සටහන් කරන ලද තුණ්ඩුවක් මිස එය ඔහුගේ හදිසි මරණය හා සම්බන්ධ නොවූවක් බවය.

එම හදිසි මරණ පරීක්ෂකවරයාට පසුව දැන ගැනීමට ලැබුණු අන්දමට එසේ ගෙන්වන ලද තැනැත්තා ෆාමසිකරුවෙකි.

 

sign1

මෙය එක්තරා විහිළු සහගත කතාවකි. එහෙත් මෙහි සඳහන් කරුණ නම් විහිළුවක් නොවේ. පැහැදිලිව කියවීමට නොහැකි අත්අකුරින් බෙහෙත් තුණ්ඩු ලිවීම නවතා දමා, වෛද්‍යවරුන් සියලුම බෙහෙත් තුණ්ඩු පැහැදිලිව විශාල අකුරින් ලිවිය යුතු බවට හෝ සම්පූර්ණයෙන්ම ඩිජිටල් ක්‍රමවේදයකට මාරු විය යුතු බවට ඉන්දියාවේ පන්ජාබ් සහ හර්යානා මහාධිකරණ විනිසුරු ජස්ගුර්ප්‍රීත් සිං පූරි නියෝග කර තිබේ.

රෝගීන්ගේ ආරක්ෂාව මූලික කර ගනිමින් මෙම නියෝගය ලබා දී ඇති බවද සඳහන්ය. පන්ජාබ් සහ හර්යානා මහාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ, විනිසුරුවරයෙකුට ඉදිරිපත් කළ වෛද්‍ය-නෛතික වාර්තාවක් “එකදු වචනයක්වත් හෝ අකුරක්වත් කියවීමට නොහැකි” බවට නිරීක්ෂණය වීමෙන් පසුවය. ඒ සමඟම අධිකරණය නිර්දේශ කළේ, වෛද්‍ය විද්‍යාල විෂය මාලාවට පැහැදිලි අත්අකුරු පුහුණුවද ඇතුළත් කළ යුතු බවත්, වසර දෙකක් ඇතුළත ඩිජිටල් බෙහෙත් වට්ටෝරු අනිවාර්ය කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත්ය.

 

Doctor sitting at desk and writing a prescription for her patient

සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේද වසර ගණනාවක් තිස්සේ ඉන්දියාවේ වෛද්‍යවරුන්ගේ නොපැහැදිලි අත්අකුරු ගැටලුවක්ව පැවති අතර, එමගින් භයානක ඖෂධ දෝෂ ඇතිවීමට හේතු වී ඇති බවකි.

මේ වන විට ඉන්දීය වෛද්‍ය සංගමයද මෙම තීන්දුව පිළිගෙන ඇති අතර, බොහෝ නාගරික වෛද්‍යවරුන් දැනටමත් ඩිජිටල් මෙවලම් භාවිත කළද, ග්‍රාමීය සහ අධික රෝගීන් සංඛ්‍යාවක් සිටින ස්ථානවල තවමත් අතින් ලියන ලද බෙහෙත් වට්ටෝරු සුලබව දක්නට ලැබෙන බව ඔවුහු පෙන්වා දෙති. ඖෂධවේදීන්ට පමණක් යාන්තමින් හා අනුමාන වශයෙන් කියවා ගත හැකි වෛද්‍යවරුන්ගේ කුරුටු ගෑම් ස්වරූපයේ අත් අකුරු පිළිබඳ විහිළු ඉන්දියාවේ මෙන්ම ලොව පුරා බහුලව දක්නට ලැබේ.

puri

ජස්ගුර්ප්‍රීත් සිං පූරි

 

නමුත් පැහැදිලි අත් අකුරු වල වැදගත්කම අවධාරණය කරන නවතම නියෝගය මෑතකදී පන්ජාබ් සහ හර්යානා මහාධිකරණ විනිසුරු ජස්ගුර්ප්‍රීත් සිං පූරි එම නියෝගය ලබා දී ඇත්තේ “පැහැදිලි වෛද්‍ය බෙහෙත් වට්ටෝරුව මූලික අයිතිවාසිකමක්” බවත් එය ජීවිතය හා මරණය අතර වෙනසක් ඇති කළ හැකි බවත් අවධාරණය කරමිනි.

රජයේ රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වෙමින් එක් තැනැත්තකු තමාගෙන් මුදල් ලබාගෙන, තමන් සමඟ ව්‍යාජ සම්මුඛ සාකච්ඡා පවත්වා පසුව තමන් ලිංගිකවද සූරා කෑමට ලක් කළ බවට එක් කාන්තාවක් අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබුණි. නමුත් විත්තිකරු අධිකරණය හමුවේ එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. තමන් ඇය හා සුහද එකඟතාවයකින් ලිංගික සම්බන්ධතාවයක් ඇති බවත් පසුව මුදල් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් ඇය තමන්ට එරෙහිව මෙම අසත්‍ය චෝදනා එල්ල කොට ඇති බවත් ඔහු අධිකරණය හමුවේ කියා සිටියේය.

එහෙත් එම නඩු විභාගයේදී කාන්තාව පරීක්ෂා කළ රජයේ වෛද්‍යවරයෙකු විසින් ලියන ලද වෛද්‍ය-නීතිමය වාර්තාව දෙස බැලූ විට එය කියවා ගත නොහැකි බවත් “වචනයක් හෝ ලිපියක්වත් කියවිය නොහැකි වීම නිසා එය මෙම අධිකරණයේ හෘදය සාක්ෂියට කම්පනයක් ඇති කරන බවත්” විනිසුරු පූරි සිය නියෝගයේ ලිවීය.

sign2

කියැවිය නොහැකි බෙහෙත් වට්ටෝරු යනු ලොව පුරා පවතින ගැටලුවකි. වෛද්‍යවරුන්ගේ අපැහැදිලි අත් අකුරු නිසා ඖෂධ නාමයන්, මාත්‍රාවන් හෝ උපදෙස් නිවැරදිව තේරුම් ගැනීමට අපහසු නම් ඉන් බරපතල වැරදි සිදුවීමේ අවදානමක් පවතී.

වෛද්‍ය අත් අකුරු කියැවිය නොහැකි වීමට හේතු කිහිපයක් තිබිය හැකිය: වෛද්‍යවරුන් කාර්යබහුල වීම, කෙටි කාලයකදී විශාල රෝගීන් සංඛ්‍යාවක් හමුවීමට සිදු වීම, සටහන් සහ වට්ටෝරු ඉක්මනින් ලිවීමට ඇති අවශ්‍යතාවය, වෛද්‍ය පුහුණුවේදී ඉතා ඉක්මනින් සටහන් ලිවීමට පුරුදු වීම, ඇතැම් ඖෂධ නාමයන් නිවැරදි අක්ෂරවලින් යුතුව ලිවීමට ඇති නොහැකියාව ඒ අතරින් කිහිපයකි. මේ වන විටත් වෛද්‍යවරුන්ගෙන් සිදුවන මෙම අඩුපාඩුව පිරිමැසීම පිණිස ලෝකයේ බොහෝ රටවල් මෙම ගැටලුවට විසඳුම් සොයමින් සිටී. ප්‍රධානම විසඳුම වන්නේ විද්‍යුත් වට්ටෝරු (E=prescription) හඳුන්වා දීමයි.

මෙහිදී බෙහෙත් වට්ටෝරු පරිගණකයක ටයිප් කර කෙළින්ම මුද්‍රණය කර රෝගියාට ලබා දීම හෝ ෆාමසියට යැවීම සිදු කෙරේ.

ඔබට කියවීමට අපහසු බෙහෙත් වට්ටෝරුවක් තිබේ නම්, නිවැරදි ඖෂධය ගැනීම සහතික කර ගැනීම සඳහා වෛද්‍යවරයාගෙන් හෝ ඖෂධවේදියාගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටීමට කිසිවිටෙකත් පසුබට විය යුතු නැත. එය ඔබගේ මූලික අයිතිවාසිකමකි. මෙහිදී ඇතැම් බෙහෙත් වට්ටෝරු කියවා බලන ෆාමසිකරුවන් බෙහෙත් නිකුත් කිරීමට පෙර ඒවා එහි හිඳින තවත් අයකුට පෙන්වීම හෝ එම රෝගය පිළිබඳ ඔබෙන් ප්‍රති විමසුමක් කිරීමද බොහෝ විට සිදුවන්නකි.

sign3

ඒ එම බෙහෙත් වට්ටෝරු ඔවුනටද හරි හැටි කියවා ගත නොහැකි නිසා වීමටද පුළුවන. නමුත් අප සැම දන්නා මෙම කරුණු වෛද්‍යවරුන් නොදැන හිඳීමට බැරි කමක් නැත. මේ අතර පසුගියදා මාධ්‍ය හමුවකට එක් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයකු රෝගීන්ගේ ජීවිතාරක්ෂාව තකා තම මෝටර් රථවල ඉදිරිපස වීදුරුවේ Doctor ලේබලය ඇලවීමට අවසර තිබිය යුතු බව කියා සිටියේය. එහෙත්, අප පවසනුයේ ඔවුන් තුළ රෝගීන් පිළිබඳව සැබෑ දයානුකම්පාවක් ඇත්තම් තම කාර් ලේබලය ගැන සැලකිලිමත් වීමට වඩා සිය දහස් වතාවක් පැහැදිලි අත් අකුරු සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවකි.


( සටහන - ෆාතිමා හලල්දීන්)

උපුටා ගැනීම - vinivida.lk

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

කුරුටුබලි තහනම්: බෙහෙත් තුණ්ඩුවල අකුරු පැහැදිලිව ලියන ලෙස අධිකරණයකින් වෛද්‍යවරුන්ට නියෝග


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...