The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ලු. කර්නල් නෙවිල් වන්නිආරච්චි අත්අඩංගුවට ගත්තේ ඇයි? මහින්ද රාජපක්ෂ සමග ඔහුට තිබූ සම්බන්ධය කුමක් ද?

T

The Leader Desk

October 3, 2025 • 5:08 PM

ලු. කර්නල් නෙවිල් වන්නිආරච්චි අත්අඩංගුවට ගත්තේ ඇයි? මහින්ද රාජපක්ෂ සමග ඔහුට තිබූ සම්බන්ධය කුමක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයා වන නෙවිල් වන්නිආරච්චි ඔක්තෝබර් මස 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.
  • බෝදරගම මෙම නියෝගය නිකුත් කළේ, ඊයේ (ඔක්: 02) දිනයේදී ය.
  • ඔක්තෝබර් 02 වන දා ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූ නෙවිල් වන්නිආරච්චි අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබීය.
  • "ස්වාමීනී 2014 වසරේ ජූලි මස 24 වන දා අල්ලස් කොමිසමට ලැබුණු ලිඛිත පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයා වන නෙවිල් වන්නිආරච්චි ඔක්තෝබර් මස 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කළේ, ඊයේ (ඔක්: 02) දිනයේදී ය.

ඔක්තෝබර් 02 වන දා ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූ නෙවිල් වන්නිආරච්චි අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

cfght5y456
අල්ලස් කොමිසමේ නිලධාරිනිය අධිකරණයට කීවේ මොනවා ද?

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසීය.

"ස්වාමීනී 2014 වසරේ ජූලි මස 24 වන දා අල්ලස් කොමිසමට ලැබුණු ලිඛිත පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළා. ඉන් අනතුරුව විමර්ශනවලට අවශ්‍ය තොරතුරු ලබා දෙන ලෙස 2016 වසරේ දෙසැම්බර් මස දැනුම් දුන්නත්, එම තොරතුරු නිසියාකාරව ඔහු ලබා දුන්නේ නෑ. පසුගිය වසර හතක කාලයක් තිස්සේ විමර්ශනවලට අවශ්‍ය තොරතුරු ලබාදීම සහ ඒ සඳහා ප්‍රකාශ ලබා දීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටීම ඔහු මගහැර තිබෙනවා. මේ වසරේ අගෝස්තු මාසයේ ඔහු තොරතුරු සමහරක් ලබා දුන්නා. ඒවා අසම්පූර්ණ තොරතුරු. මේ වන විට සිදු කර තිබෙන විමර්ශනවලට අනුව සැකකරු තමන්ගේ නීත්‍යනුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 28ක් වැඩිපුර උපයාගෙන තිබෙන බවට තොරතුරු අනාවරණය වෙලා තිබෙනවා. මෙම සැකකරුට ප්‍රකාශ ලබා දෙන්න කියලා අවස්ථා කිහිපයක ම දැනුම් දුන්නා. එහෙත් ඔහු ආවේ නෑ. දුරකතන ඇමතුම් ලබාදුන්නත් ඒවාට පිළිතුරු ලබා දුන්නෙ නෑ. අවසානයේදී එක් දුරකතන ඇමතුමකට ඔහු තත්පර 52ක පිළිතුරක් ලබා දුන්නා. එහිදී ඔහු සඳහන් කළේ "දැන් එන්න බැහැ කියල යි," යනුවෙන් සඳහන් කර සිටියා.

නෙවිල්ගේ වත්කම් ගැන අධිකරණයට ඉදිරිපත් කළ කරුණු

"ස්වාමීනි... අද දින මේ සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව ඔහු විසින් අත්පත් කරගෙන තිබෙන දේපළ ගණනාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා. වලස්මුල්ල ප්‍රදේශයේ අක්කර තුනයි පර්චස් හතක විශාලත්වයකින් යුත් ඉදිකරමින් පවතින ඉන්ධන හලක්, පල්ලෙකැලේ ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා නිවසක්, මහරගම නාවින්න ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 125ක් වටිනා නිවසක් මොහු විසින් අත්පත් කරගෙන තිබෙන බවට අනාවරණය වී තිබෙනවා.

ඊට අමතරව, දෙමටගොඩ ප්‍රදේශයේ රුපියල් 1,650,000 වටිනා නිවසක්, තිස්සමහාරාම ප්‍රදේශයේ පර්චස් 44කින් යුත් හෝටලයක්, මාදිවෙල ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 400ක් පමණ වටිනා ඉඩමක් මොහු විසින් අත්පත් කරගෙන තිබෙන බවට කරුණු අනාවරණය වී තිබෙනවා. ඊට අමතරව මෙම සැකකරුට බෙලිඅත්ත සහ වීරකැටිය ප්‍රාදේශීය සභාවල බදු පදනම මත ලබාගත් කඩ සාප්පු තිබෙන බවටත් තොරතුරු අනාවරණය වුණා. එමෙන් ම මෙම සැකකරුට බස් රථ හා ටිපර් රථ ගණනාවක් තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. එම වාහනවල සේවය කරන්නේ මොහුගේ ඥාතීන්. ඒ නිසා එම වාහනවලින් මොහුට කොපමණ ආදායමක් ලැබෙනවා ද යන්න ගණනය කිරීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකළ යුතුයි," යනුවෙන් අල්ලස් කොමිසමේ නිලධාරිනිය සඳහන් කළේ ය.

අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "ස්වාමීනී මෙම සැකකරු පසුගිය වසර හත තුළ විමර්ශනවලට අවශ්‍ය සහය ලබා දුන්නේ නැහැ. ප්‍රකාශ ලබා දීම සඳහා දැනුම් දුන් අවස්ථාවල පැමිණියේ නෑ. විමර්ශනවලට අවශ්‍ය තොරතුරු ලබා දීමක් ද සිදු කළේ නැහැ. මොහු යටතේ තිබෙන බස් රථ හා ටිපර් රථවල සේවය කරන්නේ ඔහුගේ ඥාතීන්. මොහුට ඇප ලබා දුන්නොත් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට හැකියාවක් තිබෙනවා," එම නිසා සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.

විත්තියේ ඉල්ලීම

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "ස්වාමීනී මෙම සැකකරුට එරෙහිව මීට පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශ නොකිරීම සම්බන්ධයෙන් මීට පෙර අල්ලස් කොමිසමෙන් නඩු පහක් ගොනුකර තිබුණා. ඔහු එම චෝදනාවලට වරද පිළිගත්තා. මොහු විමර්ශනවලට සහය ලබා නොදුන් බවට අල්ලස් කොමිසම එල්ල කරන චෝදනා පිළිගන්න බැහැ. මොක ද මොහු විමර්ශනවලට අවශ්‍ය දිවුරුම් ප්‍රකාශ හතක් අවස්ථා කිහිපයකදී ම ලබා දීලා තිබෙනවා. ඒ වගේ ම මේ විමර්ශනය පසුගිය වසර 11 තිස්සේ පැවැත්වෙනවා. ඒත් මේ සැකකරු කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් සිද්ධ කළ බවට මේ දක්වා පැමිණිල්ලක් ඉදිරිපත් වී නැහැ. ඔහු විමර්ශනවලට අවශ්‍ය පූර්ණ සහය ලබා දීලා තිබෙනවා," යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඒ අනුව සැකකරු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේ ය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, "මෙම සැකකරු මීට පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශ නොකිරීම සම්බන්ධ නඩු පහකට වරද පිළිගත් බව ඔහුගේ නීතිඥවරු ප්‍රකාශ කළා. එහෙත් එම නඩුකරය හා මෙම විමර්ශනය කරුණු දෙකක් බව පෙනී යනවා. සිය විමර්ශනවලට මේ සැකකරු සහය ලබා නොදුන් බවටත් අල්ලස් කොමිසම ප්‍රකාශ කළා."

ඒ අනුව, මෙම අවස්ථාවේදී විමර්ශන කටයුතු ඉදිරියටත් සිදුවන හෙයින් මෙම සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ය.



ඒ අනුව, අදාළ සැකකරු ඔක්තෝබර් මස 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම එදින මෙම සැකකරු සම්බන්ධව සිදු කළ විමර්ශන අනුව ඔහු අත්පත් කරගෙන ඇති බව කියන දේපළ පිළිබඳ සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේ ය.

නෙවිල් වන්නිආරච්චි යනු කවුද?

hktyuit

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සෙසු නිලවලට අයත් සේවා බළකායට එක්ව නෙවිල් වන්නිආරච්චි යුද්ධ හමුදා සේවයට පිවිස තිබේ.

ඉන්පසු නෙවිල් වන්නිආරච්චි මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයට පෙර සිට ම ඔහුගේ ආරක්ෂකයා වශයෙන් අනුයුක්ත කර සේවය කරමින් සිට ඇත.

පසුව ක්‍රම ක්‍රමයෙන් සෙසු නිලයන්ගේ ඉහළ ම තනතුරුවලට උසස්වීම් ලබා ඇති ඔහු යුද්ධ හමුදාවේ අධිකාරිලත් නිලයකට පත්ව ඇති අතර, 2014 වසරේදී ඔහු 2011 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි මේජර් නිලයට ස්ථිර කරනු ලැබී ය.

ඒ වන විට නෙවිල් වන්නිආරච්චි කපිතාන් නිලය දරමින් සිටියේ ය.

2019 වසරේදී යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ගත් නෙවිල් වන්නිආරච්චි ලුතිනන් කර්නල් ධූරයට උසස් වීම් ලැබී ය.

වත්කම් හෙළි නොකිරීම ගැන වරද පිළිගැනීම
 
xfgye4643
 
මීට ඉහතදී 2010 සහ 2014 වසරවල වත්කම් බැරකම් හෙළි නොකිරීමට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩුවකට වරද පිළිගත් නෙවිල් වන්නිආරච්චිට ඒ සඳහා රුපියල් 5000ක දඩයක් නියම විය.

2016 වසරේදී නෙවිල් වන්නිආරච්චිගේ බිරිඳට අයත් බව පැවසෙන වීරකැටිය, අත්නයාල ප්‍රදේශයේ ඉඩමක් ආරක්ෂක අංශ විසින් බැකෝ යන්ත්‍ර යොදා හාරනු ලැබූ බවට වාර්තා පළ විය.

එකල මාධ්‍ය වාර්තාවල පළ වූයේ, එම ඉඩමේ වළ දමා ඇති බවට සැකකෙරන රත්රන් සහ මුදල් සොයා එම කැණීම සිදුකළ බව ය.

(බීබීසී සිංහල සේවය)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලු. කර්නල් නෙවිල් වන්නිආරච්චි අත්අඩංගුවට ගත්තේ ඇයි? මහින්ද රාජපක්ෂ සමග ඔහුට තිබූ සම්බන්ධය කුමක් ද? | The Leader