The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මාලිමා ආණ්ඩුවේ අවුරුද්දක කෙරුවාව හා කයිවාරුව සඳහාවන සහතික පත්‍රය | කුසල් පෙරේරා

T

The Leader Desk

October 8, 2025 • 10:26 AM

මාලිමා ආණ්ඩුවේ අවුරුද්දක කෙරුවාව හා කයිවාරුව සඳහාවන සහතික පත්‍රය | කුසල් පෙරේරා  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුව පිහිටුවීමට ඔවුන් ඇමති මණ්ඩලය ලෙස දිවුරුම් දෙනු ලැබුවේ ඉකුත් 2024 වසරේ නොවැම්බර 18 වන දිනයේ ය.
  • මැතිවරණ ප්‍රකාශනයෙහි කුමක් ලියා තිබුණත් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය සහමුලින්ම වාගේ දූෂණ විරෝධී, පිරිසිදු ආණ්ඩු පාලනයක් පොරොන්දු වූ මැතිවරණ ව්‍යාපාරයක් විය.
  • මාලිමාව සිය මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් මැදපංතිකයන් හවුල් වූ 2022 ගාලුමුවfදාර පිටියේ “ගෝඨා-ගෝ-හෝම්” උද්ඝෝෂණය සමග ඔසවනු ලැබූ “මහ පරිමාන දූෂණ” විරෝධයෙන් උපරිම වාසියක් ගත්තේ ය.
  • සොරකම් කළ මුදල් නැවත ලබා ගැනීමටත් රාජපක්ෂලාට දඬුවම් කිරීමටත් හැකි එකම දේශපාලන නායකත්වය තමන් බව ඔවුහු මැතිවරණ වේදිකාවල අඛණ්ඩව කියූ කතාවකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ආණ්ඩුව පිහිටුවීමට ඔවුන් ඇමති මණ්ඩලය ලෙස දිවුරුම් දෙනු ලැබුවේ ඉකුත් 2024 වසරේ නොවැම්බර 18 වන දිනයේ ය. මැතිවරණ ප්‍රකාශනයෙහි කුමක් ලියා තිබුණත් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය සහමුලින්ම වාගේ දූෂණ විරෝධී, පිරිසිදු ආණ්ඩු පාලනයක් පොරොන්දු වූ මැතිවරණ ව්‍යාපාරයක් විය.

 

image 238282f4ae

මාලිමාව සිය මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් මැදපංතිකයන් හවුල් වූ 2022 ගාලුමුවfදාර පිටියේ “ගෝඨා-ගෝ-හෝම්” උද්ඝෝෂණය සමග ඔසවනු ලැබූ “මහ පරිමාන දූෂණ” විරෝධයෙන් උපරිම වාසියක් ගත්තේ ය. දූෂණයට එරෙහි ජනතා මතයක් ගොනු කිරීම ඉතා වැදගත් ය. එහෙත් එය නිසියාකාරව, විවෘතව කතා නොවීමට ලොකු හේතුවක් වූයේ ජවිපෙ-මාලිමා නායකත්වය දූෂණය “රාජපක්ෂ විරෝධයකට” සීමා කර ගැනීමය. රටේ ආර්ථිකය බිඳ වැටුණේ රාජපක්ෂලා ජනතාවගේ වත්කම් සොරකම් කළ නිසා යැයි ඔවුහු වෛරී මානසිකත්වයක් සමාජගත කළහ. සොරකම් කළ මුදල් නැවත ලබා ගැනීමටත් රාජපක්ෂලාට දඬුවම් කිරීමටත් හැකි එකම දේශපාලන නායකත්වය තමන් බව ඔවුහු මැතිවරණ වේදිකාවල අඛණ්ඩව කියූ කතාවකි.

ff98

 

ඔවුන්ගේ දේශපාලනය ඉතාම පටු ආධුනික දේශපාලනයක් බව මැතිවරණ ව්‍යාපාරයෙහි ප්‍රදර්ශනය වූවත් “දීලා බැලීමේ” මැදපංතික මෝඩ සූත්‍රය සමග ඔවුන්ට ආණ්ඩු බලය ලැබිණ. ඔවුන්ගේ ආධුනිකත්වය හේතුවෙන් ආණ්ඩු පාලනය ආරම්භයේදීම ඔවුහු ප්‍රතිවිරෝධ දෙක තුනකට හසු වූහ. එක් ප්‍රතිවිරෝධයක් වූයේ ඔවුන් කියූ “බොරු” සහ පවතින “සැබෑව” අතර ප්‍රතිවිරෝධය ය. දෙවැන්න, ඔවුන් කියූ “රාජපක්ෂ දූෂණය” හා ඔවුන් නොකියූ “රාජ්‍ය තන්ත්‍රයේ දූෂණ” සමග පිරිසිදු ආණ්ඩු පාලනයක් හැදීමට නොහැකිවීමේ ප්‍රතිවිරෝධය වන්නේ ය. අවුරුදු 50 ක පමණ කාලයක් ධනේශ්වර විරෝධී “විප්ලවවාදී” පක්ෂයක් ලෙස නඩත්තු කෙරුණු ජ.වි.පෙ, අවසානයේ අලුත් මැදපංතික මැතිවරණ හවුලක් ලෙස මාලිමාව පෙරටු කරගෙන ආණ්ඩු බලය ලබා ගැනීමෙන් “ජ.වි.පෙ සාමාජිකත්වය” හා “මාලිමාව” අතර මතුවන ප්‍රතිවිරෝධය තෙවැන්න වන්නේය.

ඔවුන් කියූ “බොරු” සහ පවතින “සැබෑව” අතර දැන් ප්‍රතිවිරෝධයක් දකින්නට ඇත. කියූ කිසිවක් නොකරන තවත් කයිවාරු නඩයක් ලෙසින් ඔවුන් දකින්නට දකුණේ පමණක් නොව උතුරේ සමාජයද හුරුවෙමින් ඇත. ඔවුන්ගේ ගලිවර් පන්නයේ බොරුවක් වන “පැරැණ්නෝ අවුරුදු 76 ක් මේ රට කෑවා” යැයි එල්ල කළ චෝදනාව ප්‍රශ්න කළ විට, ඔවුන්ගේ ප්‍රබන්ධ සාහිත්‍යයේ තරම දැකිය හැකිය. අන් සියල්ල අතහැරියත් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය 1948 නිදහසින් පසු අවුරුදු 50 ට වැඩි කාලයක් පුරා දියුණු කළ මට්ටම කිසිවකුට අභියෝග කළ නොහැක. නිදහස ලබන විට තිබූ මැලේරියා, පෝලියෝ, බරවා රෝගය හා වසූරිය වසංගත ගැන පැරැණ්නන්ට චෝදනා කරන වත්මන් පරම්පරාවේ කිසිවකු අසාවත් නොතිබිය හැක. 60 දසකය අවසන් වන විට ඒ සියල්ල නැත්තටම නැති තරමට තුරන් කරනු ලැබ තිබිණ. අපගේ ප්‍රජා සෞඛ්‍ය සේවය තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇගයීමට ලක් කරන්නේ ඔවුන්ගේ එන්නත් ව්‍යාපාර හා සනීපාරක්ෂක පැවතුම් සමාජගත කිරීමේ වැඩසටහන් සහ ඒවාට අධ්‍යාපනයෙන් ලැබුණු පිටුවහලද අවධාරණය කරමින්ය. අප කොවිඩ්-19 වසංගතයෙන් බරපතල අසීරුවකට පත් නොවූයේත් ඒ ප්‍රජා සෞඛ්‍ය සේවා නිසා බැව් අමතක නොකළ යුත්තකි. ජවිපෙ-මාලිමා වේදිකාවල “අවුරුදු 76 ක් පැරැණ්නො මේ රට කෑවා” යැයි කියූ “බොරු” හෙළිදරව් වන්නේ එළෙසින් ප්‍රශ්න කිරීම තුල පමණි.

 

anura
දෙවැන්න, ඔවුන් කියූ “රාජපක්ෂ දූෂණය” හා ඔවුන් නොකියූ “රාජ්‍ය සේවාවන්හි දූෂණ” ගැන කතාවය. ජවිපෙ-මාලිමා නායකයින් රාජ්‍ය සේවාවේ පිරිහීම හා දූෂණය සම්පූර්ණයෙන් අමතක කළ හෙයින් රාජපක්ෂලා දේශපාලනයෙන් ඉවත් කිරීම, සියල්ල පිරිසිදු කිරීමේ විසඳුම යැයි වන සමාජ මතයක් තහවුරුු විය. එබැවින් දූෂණ විරෝධයේ සමාජ ඉල්ලුම වූයේ රාජ්‍ය පිරිසිදු කිරීමක් නොව, ජවිපෙ-මාලිමා ආණ්ඩුව පිහිටවූ විගස රාජපක්ෂලා හිරේ විලංගුවේ දැමීම ය. ආණ්ඩු බලය ලැබුණු පසු එනමුත් ඒ කිසිවක් ඒ කියූ අයුරු කළ නොහැකි විය. මැතිවරණ වේදිකාවල කියූ සාක්ෂි තොරතුරු නොමැති වීමත් විමර්ශන සඳහා කාලයක් ගත වීමත් නිසා සිදුවන “ප්‍රමාද” සමාජ කලකිරීම් වලට, නුරුස්නාවන්ට සහ විශ්වාසය කඩ වීමකට හේතු වී තිබෙන්නේ පොරොන්දු දෙන විට එවැනි ක්‍රියාපිළිවෙත් ගැන කිසිදු ඇඟවීමක් නොවුනු නිසා ය.

 

vb56u56u3u3u

ඔවුන්ට දූෂණය සම්බන්ධව තවමත් ඇත්තේ මැතිවරණ සමයේ මෙන් ප්‍රචාරකවාදී ගෝසාවක් පමණි. ඔවුන්ට දූෂණ සම්බන්ධව විවෘතව උත්තර බඳින්නට නොහැක්කේ ඔවුන්ගේ ආණ්ඩුවේද දූෂිතයින් ඉන්නා බැව් ප්‍රසිද්ධ වන විටය. මහ බැංකු බැඳුම්කර වංචාවටත් වඩා බරපතල “රතු” ලේඛනගත බහලුම්ද ඇතුළුව බහලුම් 323 ක් රේගු පරීක්ෂණයකින් තොරව එක රොත්තට මුදා හැරීමේ දූෂණ චෝදනාව ආණ්ඩුව පිහිටුවා දෙමසක් යන්නටත් කලියෙන් ප්‍රසිද්ධ වූවකි. පොරොන්දු වූ පාරදෘශ්‍යභාවයකින් තොරව සහල් ආනයනය, දිය ලුණු ගෙන්වා බෙදා හැරීම ඇමතිවරුන්ගේ පිරිසිදුකම විවෘතව ප්‍රශ්න කෙරුණකි. ආණ්ඩු බලය ලැබෙන්නටත් පෙර ජවිපෙ වෘත්තීය සමිති නායකයින් වූ මාලිමා ආණ්ඩුවේ ඇමතිවරයෙකු වන වසන්ත සමරසිංහ, උප ඇමතිවරයෙකු වන මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට එරෙහිව හොර ඔප්පුවක් මත ගොඩනැගිල්ලක් බදු දීමට අදාලව කෙරෙන පරීක්ෂණයක් සම්බන්ධව පොලීසිය විසින් ගල්කිස්ස අධිකරණයට වාර්තාකර තිබිණ.

56u56hrh

 

එවගේම, 2004 ජනාධිපති චන්ද්‍රිකා ගේ ආණ්ඩුවේ අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමතිව සිටියදී ඔහුගේ නිර්දේශය මත පොහොර සංස්ථාවෙහි කලමනාකාර තනතුරකට පත් කෙරුණු ඔහුගේ ආණ්ඩුවේ බල ශක්ති ඇමති ලෙස ඔහුම පත් කළ කුමාර ජයකොඩිට එරෙහිව මුදල් වංචා කිරීමේ චෝදනා, අල්ලස් හා දූෂණ කොමිසමෙන් පරීක්ෂා කිරීමට ලේඛනගතව ඇත. තවත් බරපතල ඉහළ පෙළ දූෂිත පත්වීක් යැයි ජනාධිපති අනුර කුමාරට හා ඔහුගේ මාලිමා ආණ්ඩුවට චෝදනා කෙරෙන්නේ, ජවිපෙ නීති කමිටුවෙහි කටයුතු කළ, පසුව විනිසුරු පත්වීමක් ලද, රංග දිසානායක අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව නොමග යැවීමේ වැරදි තොරතුරු ලබාදීම සම්බන්ධව ය. ජවිපෙ-මාලිමා නායකයින් කියූ රාජපක්ෂ “දූෂණ” සහ ඔවුන්ගේ දූෂණ අතර පරස්පරය එවැනිය.

මේ ආණ්ඩුවේ අනෙක් බරපතල දේශපාලන ගැටළුව සෘජුව බලපාන්නේ සමාජයට පෙර ඔවුන්ගේ දේශපාලන පැවැත්මට ය. ග්‍රාමීය ජවිපෙ ක්‍රියාකාරීන් සහ සිංහල මධ්‍යම පංතික පාර්ලිමේන්තුවාදී මාලිමා දේශපාලකයින් අතර වන ප්‍රතිවිරෝධය එවැනිය. විජේවීරගේ නායකත්වයෙන් වූ ඔවුන්ගේ 87 - 90 දෙවන ත්‍රස්තවාදී කැරැල්ල ගොනු කෙරුණේ පුළුල් අර්ථයෙන් “දේශප්‍රේමී” නැතිනම් “ජාතිකවාදී” සමාජවාදී දැක්මක් සමගිනි. එය පක්ෂයේ ක්‍රියාකාරීන්ට පැහැදිලි කෙරුණේ, ඔවුන්ගේ දේශපාලනය බහුතර සමාජයේ ජනගත කිරීමට නම්, “සමාජවාදය” බහුතර සිංහල සමාජයේ “දේශප්‍රේමය” සමග එක්ව ගමන් යා යුතු බව කීමෙනි. ඔවුන්ගේ දෙවන ම්ලේච්ඡ ත්‍රස්තවාදී කැරැල්ල අසාර්ථක වූයේ, ඒ වෙනුවෙන් හෝ “රාජ්‍ය බලයට” අභියෝග නොකළ හෙයිනි. ඒ වෙනුවට ඔවුන්ගේ “දේශප්‍රේමී සමාජවාදය” නොපිළිගත් බහුතර සමාජයේ සිංහලයින් ඝාතනය කෙරුණු නිරුවත් ත්‍රස්තවාදයක් ලෙස එය මුදා හැරියකි. එනිසා ඔවුන්ට ස්වේච්ඡා ජන සහායක් නොලැබුණි. එවැනි ම්ලේච්ඡ ත්‍රස්තවාදී කැරළි අවුරුදු ගණන් ඇදගෙන යා නොහැකිය. ඔවුන්ට තරග කළ නොහැකි වූ බලසම්පන්න, සංවිධානාත්මක “රාජ්‍ය ත්‍රස්තවාදය” ක්‍රියාත්මක වන විට, බහුතර සිංහල සමාජය නිහඬ විය. දේශපාලන මණ්ඩලයේ සෝමවංශ අමරසිංහ හැර, විජේවීර ඇතුළු සියලු දෙනා සමග ජවිපෙ මුළුමනින් තලා දමන්නට 1990 නොවැම්බරය වන විට ජනාධිපති ප්‍රේමදාසගේ ආණ්ඩුවට හැකි වූයේ එබැවිනි.

ඉන්පසු ඉතිරිව සිටි ජවිපෙ ක්‍රියාකාරීන් අතළොස්ස අවුරුදු 04 ක පමණ කාලයක් තුල පාර්ලිමේන්තුවාදී දේශපාලනය සඳහා ප්‍රතිසංවිධානය වීමේදී ජාතිකවාදී සමාජවාදී දේශපාලනය වඩාත් තනුක කෙරුවකි. එහෙත් “විප්ලවය” අත හරින්නේ යැයි ග්‍රාමීය ජවිපෙ ක්‍රියාකාරීන් පුහුණු කිරීමේදී නොකීවකි. අන්තර්ගතය කෙසේ වූවත් රත් පැහැ ගැන්වූ හැඩරුව ඔවුන් අත නොහැරියේ එනිසාවෙනි. මැතිවරණවාදී දේශපාලනයෙන් බලය ගැනීමේ ගමන කෙතරම් දුර වූවත් අවුරුදු 76 ක් රට කෑවේ යැයි චෝදනා කෙරුණු සාම්ප්‍රදායික පාර්ලිමේන්තුවාදී පක්ෂ සමග ජවිපෙ නායකත්වය එළැඹි එකඟතාවන් අනුව කවර ගනුදෙනු තබා ගත්තද ග්‍රාමීය ජවිපෙ ක්‍රියාකාරීන්ගේ විප්ලවවාදී සමාජවාදී සිහිනය ඔවුන් අත හැරියේද නැත.

 

The LG Rally Of Thissamaharama Crowd 1024x576
නායකයින් ප්‍රශ්න කිරීමේ සම්මතයක් සම්ප්‍රදායක් නොමැති ජවිපෙහි, මැතිවරණය වෙනුවෙන් නායකයින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ රාජපක්ෂ විරෝධී අති අලංකාර ප්‍රබන්ධ සාහිත්‍ය ප්‍රශ්න නොකළ ග්‍රාමීය ක්‍රියාකාරීන් “මාලිමාව” දුටුවේ රාජ්‍ය බලය ගැනීම වෙනුවෙන් ඔවුන්ගේ බිලී කොක්කට ඇමුණු පණුවෙකු ලෙසිනි. එහෙත් දැන් ඔවුන් මාලිමාව අත් දකින්නේ බිලී පිත්තම ඇදගෙන යන යෝධ (සුර)තල් මසෙකු විලසිනි. ඔවුන්ට වඩා වැඩි ආණ්ඩු බලයක් මාලිමාව නමින් වන වෙනත් පිරිසක් අත රැඳී ඇති සැටිය. මාලිමා ආණ්ඩුවේ දේශපාලනය තීන්දු කෙරෙන්නේ ජවිපෙ මධ්‍යම කාරක සභාවේ හෝ දේශපාලන මණ්ඩලයේ නොවන බවය. තමන් “ජවිපෙ නොවේ” යැයි කියන කැබිනට් ඇමතිවරුන් ඉන්නා ආණ්ඩුවක තීන්දු වෙනුවෙන් ග්‍රාමීය සමාජයේ පෙනී සිටින්නට බලකෙරෙන ජවිපෙ ක්‍රියාකාරීන් බවට ඔවුන් පත්ව ඇත.

ග්‍රාමීය සමාජයේ ජවිපෙ හසුව ඇති ඒ හෙයියම්මාරුවෙන් ගොඩ එන්නට කොළඹ ආණ්ඩු පාලනයට ඇතුළු නොවුනු පැලවත්තේ නායක ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ දේශපාලනය වන්නේ “තනි පක්ෂ” රාජ්‍ය පාලනයක් හැදීම ය. චීන රාජ්‍ය පාලන ආකෘතිය ගැන ජවිපෙ ක්‍රියාකාරීන් අතර කතා ඇත්තේ එබැවිනි. සන්නද්ධ බලයකින් තහවුරු කෙරුණු චීනයේ තනි පක්ෂ රාජ්‍ය පාලන යාන්ත්‍රණය, මැතිවරණයකින් පත් මාලිමා බලපෑමත් සමග වන ආණ්ඩුවකින් හදන්නට නොහැකි බව ජවිපෙ පාක්ෂිකයින් නොදන්නකි. ජවිපෙ ක්‍රියාකාරීන් එනිසා ටිල්වින් සිල්වාගේ ග්‍රාමීය උත්සාහය සමග තව වටයක් පුරුදු කතුරු ඔන්චිල්ලාවේම එල්ලී යනු ඇත.

මේ පරස්පරය, මේ ප්‍රතිවිරෝධය අනෙක්වාට වඩා දේශපාලනිකව ආණ්ඩුවට බලපානු ඇති බව අවධාරණය කළ යුත්තකි. එවගේම එහි ගැට ගැසී එන රාජ්‍ය මර්දනය සමාජ අවධානයට යොමු විය යුත්තකි.  

Kusal 28(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2025 ඔක්තෝම්බර 08

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...