The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වියපත් මාපියන්ට සැලකීම ඉස්ලාමයේ අනිවාර්ය නියමයකි

T

The Leader Desk

October 9, 2025 • 12:40 PM

වියපත් මාපියන්ට සැලකීම ඉස්ලාමයේ අනිවාර්ය නියමයකි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එමෙන්ම ඒ සඳහා අප සමාජයේ විවිධ පාර්ශවයන් ගෙන් විසදුම් ඉදිරිපත් විය යුතු බව මගේ වැටහීම ය.
  • ඒ අනුව වියපත් දෙමාපියන්ට සැලකීම සම්බන්ධයෙන් ඉස්ලාමය ගෙන හැර දක්වා ඇති කරුණු ස්වල්පයක් මෙසේ ඔබ හමුවට ගෙන ඒමට මම අදහස් කරමි.
  • ඉස්ලාමීය ඉගැන්වීම්වලට අනුව, වියපත් වූවන්ට ; විශේෂයෙන්ම දෙමාපියන්ට සැලකීම අතිශයින් වැදගත් කටයුත්තකි.ඒ බව ඉස්ලාමය මනාව අවධාරණය කොට තිබේ.
  • ඉස්ලාමිකයන් ගේ ජීවිත හා සම්බන්ධ ප්‍රධාන වගකීමක් වන එය ආගමික වෘතයක් ලෙස ද සලකනු ලබයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එමෙන්ම ඒ සඳහා අප සමාජයේ විවිධ පාර්ශවයන් ගෙන් විසදුම් ඉදිරිපත් විය යුතු බව මගේ වැටහීම ය. ඒ අනුව වියපත් දෙමාපියන්ට සැලකීම සම්බන්ධයෙන් ඉස්ලාමය ගෙන හැර දක්වා ඇති කරුණු ස්වල්පයක් මෙසේ ඔබ හමුවට ගෙන ඒමට මම අදහස් කරමි.
 
ඉස්ලාමීය ඉගැන්වීම්වලට අනුව, වියපත් වූවන්ට ; විශේෂයෙන්ම දෙමාපියන්ට සැලකීම අතිශයින් වැදගත් කටයුත්තකි.ඒ බව ඉස්ලාමය මනාව අවධාරණය කොට තිබේ. ඉස්ලාමිකයන් ගේ ජීවිත හා සම්බන්ධ ප්‍රධාන වගකීමක් වන එය ආගමික වෘතයක් ලෙස ද සලකනු ලබයි. අල්-කුරානයේ සහ මුහම්මද් නබි (සල්) තුමාගේ ඉගැන්වීම්වල (හදීස්) පැහැදිලිව දක්වා ඇති අන්දමට දෙමව්පියන් ඇතුළු වැඩිහිටියනට සැලකීම ඉස්ලාමීය නියමයක් මිස නිර්දේශ කිරීමක් හෝ අනුමත කිරීමක් නොවන බව අතිශයින් පැහැදිලි ය.
කොටින්ම වැඩිහිටියන්ට, විශේෂයෙන්ම දෙමාපියන්ට, අසීමිත ගෞරවයක්, කරුණාවක් සහ ඉවසීමක් දැක්විය යුතු බව ඉස්ලාමය අවධාරණය කරයි.ඒ සම්බන්ධ අල්-කුර්ආන් 17:23-24 වැකිවල මෙසේ සඳහන් වේ.

“ඔබේ අල්ලාහ් (දෙවියන් වහන්සේ) ඔබට අණ කර ඇත්තේ, ඔබ ඔහුට මිස අන් කිසිවෙකුට නමස්කාර නොකළ යුතු බවත්, දෙමව්පියන්ට කරුණාවන්ත විය යුතු බවත්ය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ දෙදෙනාම හෝ ඔබ සමග සිටියදී වයස්ගත වුවහොත්, ඔවුන්ට අගෞරව වන වචනයක්වත් නොකිව යුතු ය. ඔවුන්ට එළවා නොදැමිය යුතු ය.ඔවුන්ට ගෞරවාන්විතව ඇමතිය යුතු ය. ඔබ ඔවුන්ට කරුණාවෙන් යුතුව යටහත් පහත් ලෙසින් පියාපත් විහිදුවිය යුතුය.’අහෝ මාගේ අල්ලාහ් දෙවියනි; ඔවුන් කුඩා කළ මා පෝෂණය කළා සේ ඔවුන්ට අනුකම්පා කළ මැනව’ යි පැවසිය යුතු ය.
 
is1
ඉහත සඳහන් අල්-කුර්ආන් වැකි මගින් පැහැදිලි කරන්නේ, දෙමාපියන් වයස්ගත වී අපේ රැකවරණය අවශ්‍ය වන විට ඔවුන් උදෙසා ‘චී’ හෝ ‘හ්ම්’ වැනි අප්‍රසාදය පළ කරන කිසිදු වචනයක්වත් ප්‍රකාශ නොකළ යුතු බවයි.මෙය ලොව ආගම් අතර මා පියන් කෙරෙහි ඉහළම වටිනාකමක් ලබා දෙන්නක් බව ද නිසැක ය.
 
අප සමාජයේ පවුල නම වන මූලික ඒකකය කාලානුරූපී ලෙස වෙනස් වී තිබේ.මින් පෙර පැවැති විස්තාරිත පවුල ( Extended family ) වෙනුවට මේ වන විට න්‍යෂ්ඨික පවුල ( Nuclear family )යන මූලික ඒකකය ප්‍රවර්ධනය වෙමින් තිබේ.නමුත් ඒ ඔස්සේ වුව වියපත් මාපියන් පිටු දැකීමට ඉස්ලාමයෙන් අවසරයක් නැත.වියපත් දෙමාපියන්ට සහ පවුලේ අනෙකුත් වැඩිහිටියන්ට විවිධාකාරයෙන් සහාය ලබා දීම සහ ඔවුනට ඇප උපස්ථාන කිරීම දරුවන්ගේ වගකීමකි.ඒ අනුව ආහාර, ඇඳුම්, වෛද්‍ය ප්‍රතිකාර,සහ මානසික රැකවරණ යන ඔවුන්ගේ මූලික අවශ්‍යතා සැළසීම අත්‍යවශ්‍ය කරුණකි.
 
අද වන විය වැඩිහිටි නිවාස සංකල්පය ලෝකයේ ශීඝ්‍ර ප්‍රවර්ධනයකට පත්ව තිබේ.නමුත් ඉස්ලාමය වැඩිහිටියන්ව වැඩිහිටි නිවාසවලට යැවීම පහසුවෙන් අනුමත නොකරන අතර හැකි සෑම විටම පවුල තුළම ඔවුන් රැකබලා ගැනීම අපේක්ෂා කෙරේ.ඉස්ලාමය සඳහන් කරනුයේ අප අපගේ දරුවන්ටත් වියපත් වැඩිහිටියන්ටත් එක සේ සැලකිය යුතු බවකි.එමෙන්ම අප වියපත් මා පියනට සලකන ආකාරය මතු දිනයෙක අපේ දරුවන් ද ආදර්ශයට ගනු ඇතැයි යන්න ඉස්ලාමීය විශ්වාසයකි.
is2
“අපගේ දරුවන්ට දයාව නොදක්වන සහ අපගේ වැඩිහිටියන්ට නොසළකන තැනැත්තා අපෙන් නොවේ.” (තිර්මිදි, අබු දාවුද්) යන්න ඒ සම්බන්ධ ඉතා වැදගත් ඉස්ලාමීයඉගැන්වීමකි.දෙමාපියන් වයස්ගතව සිටියදී ඔවුන්ට හොඳින් සලකන තැනැත්තාට ඉස්ලාමිකයන්ට සදාතනික සැනසුම ලබා දෙන ජන්නාහ් ( ස්වර්ගය) වෙතට ඇතුළු වීමේ විශේෂ වරප්‍රසාදයක් හිමි වන බව අවධාරණය කරන ඉස්ලාමය “යමෙකු තම මව්පියන් දෙදෙනා හෝ එක් අයෙකු හෝ මහලු වියේදී දැක, නමුත් (ඔවුන්ට සේවය කිරීමෙන්) ස්වර්ගයට ඇතුළු නොවන්නේද, ඔහුට විනාශය වේවා!” (සහී මුස්ලිම්)යනුවෙන් ප්‍රකාශ කිරීමෙන් එය කෙතරම් බැරෑරුම් ලෙස සළකා ඇත්යිදැයි සිතා ගත හැක.

ඉහත සඳන් කරුණු අනුව ඉස්ලාමයේ වියපත් වූවන්ට සැලකීම යනු ආදරය, ගෞරවය, මූල්‍ය සහය සේම මානසික රැකවරණය ඇතුළත් වේ.ඔවුන් උදෙසා කරුණාවෙන් සහ ඉවසීමෙන් යුතුව ඉටු කළ යුතු කටයුතු උසස් ආගමික යුතුකමක් හා වගකීමක් ලෙස ඉස්ලාමයේ සඳහන් වේ. එය දෙවන වනුයේ ඉස්ලාමිකයජ්ගේ අනිවාර්ය වගකීමක් වන සලාතය (නමැදුමට ) පමණි.
නමුත් බොහෝ දෙනා දන්නා අන්දමට වැඩිහිටි විය යනු යමකු කායික හා මානසිකව දුර්වල වන කාලයක් ලෙස පිළිගන්නා ඉස්ලාමය ඔවුන්ට සැලකීම අල්ලාහ් දෙවියන් උදෙසා කරන කැපවීමක් සහ පූජාවක් හා සමාන ලෙස සලකන බව පොදු සමාජයේ බොහෝ දෙනෙක්නො දනිති.එමෙන්ම මේ වන විට පොදු සමාජයේ දක්නට ලැබෙන කිසිදු සදාචාරාත්මක පදනමක් නොමැති අන්ධ භක්තිය කුළු ගන්වන පූජා චාරිත්‍ර අතර මේවා කෙතරම් මානුෂීය හා සදාචාරාත්ම කදැයි විමසා බැලීම ඔබට භාර කරමි.
මා එසේ පවසනුයේ තම වියපත් අබල දුබල මා පියන් නිවස තුළ සිරකරුවන් බවට පත් කොට අන්ධ පූජා චාරිත්‍ර ඉටු කිරීම උදෙසා විශාල ධනයක් හා කාලයක් කැප කරන දූ පුතුන් ගැන මා පෞද්ගලිකව දන්න බැවිනි.නමුත් එහි අතිශය අවාසනාවන්ත තත්වය වනුයේ ඒවා තම ආගමික ශාස්තෲන් විසින් තරයේම පිටු දැක ඇති බව ඔවුන් නොදන්නා හෝ නොපිළිගන්නා නිසා ය.
 
gr5j676
වියපත් දෙමාපියන් උදෙසා මිල මුදල් වැය කිරීමෙන් පමණක් ඔවුනට නිසි පිහිටාරක්ෂාවක් ලබා දිය නොහැක.තනිකමෙන් ආරක්ෂා කිරීම ඔවුන් ද පවුලේ සාමාජිකත්වයේ රඳවා ගැනීම සේම සමාජයෙන් හුදෙකලා වීමෙන් ආරක්ෂා කිරීම ඉතා වැදගත් වේ.

වැඩිහිටියනට සැලකීම සම්බන්ධ ඉස්ලාමීය ඉගැන්වීම් පද්ධතිය එලෙස ඉතා ශක්තිමත් වුවද, නූතන සමාජයේ විවිධ හේතූන් මත ඉස්ලාමීය වැඩිහිටියන් ද අසරණ තත්ත්වයට පත්වීමේ යම් වැඩිවීමක් ද දක්නට ලැබේ.ඒ අතුරින් පවුල් ව්‍යුහය බිඳ වැටීම ප්‍රධාන සාධකයක් ව පවතී. ගෝලීයකරණය සහ නූතන ජීවන රටාව හේතුවෙන් සාම්ප්‍රදායික විස්තාරිත පවුල් ක්‍රමය බිඳ වැටීම රැකියා සඳහා දරුවන් වෙනත් රටවලට හෝ නගරවලට සංක්‍රමණය වීම නිසා පවුල් ඒකක බිඳ වැටී වැඩිහිටියන් තනි වීම ඉස්ලාමීය ප්‍රජාව තුළ ද දක්නට තිබේ.

එමෙන්ම ඉස්ලාමිකයන් ගේ පාරම්පරික සම්ප්‍රදායන් අනුව පවුලේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීම සම්බන්ධයෙන් වියපත් වැඩිහිටියන් වෙතින් උපදේශනාත්මක සහාය ලබා ගත හැක.එමෙන්ම පරපරා උරුමය සුරැකීම (නසබ් ) යනු ද ඉස්ලාමය ඉතා වැදගත් කොට සලකයි.
 
නමුත් නමුත් පවුලේ ආර්ථිකය දුර්වල වන අවස්ථාවන්හි දී හෝ වැඩිහිටියන්ට ස්ථිර ආදායමක් නොමැති විට ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් හෝ පෝෂණය නොලැබී යන තතවයන් ද දක්නා ලැබෙන මුත් “ඉස්ලාමිකයා යනු ආගමික සත්වයෙකි” යන ප්‍රකට කියුම ඔස්සේ ඔවුනට එම යුතුකම් හා වගකීම් පහසුවෙන් බැහැර කළ නොහැක.
එමෙන්ම වියපත් බවත් සමඟ වැඩිපුර දක්නට ලැබෙන ඩිමෙන්ෂියාව, ඇල්සයිමර්,පාකින්සන් වැනි රෝග ශාරීරික දුර්වලතා හේතුවෙන් වියපත් වැඩිහිටියන් නිරන්තර රැකවරණයක් අවශ්‍ය වන නමුත් ඒවා සැපයීමට පවුලට සම්පත් නොමැති වීම ආදී හේතූන් මත ඒ සම්බන්ධ ප්‍රායෝගික ගැටළු ඉස්මතු විය හැක.

එහෙත් ඉස්ලාමීය දර්ශනයට අනුව වැඩිහිටියන්ගේ අසරණභාවය යනු අතිශය ගෞරවයෙන් සහ කරුණාවෙන් යුතුව විසඳිය යුතු පවුලේ වගකීමක් බව තහවුරු කොට තිබීමෙන් ඒ සම්බන්ධ සුවිශේෂී බැඳීමක් ඉස්ලාමිකයන් තුළ පවතින බව අතිශයින් පැහැදිලි ය.

(සටහන | ෆාතිමා හලල්දීන්)

උපුටා ගැනීම - vinivida.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...