දිගෑරෙන්නට පටන් ගෙන තිබේ. කන්ටේනර් අර්බුදය පොඩ්ඩක් යට යෑමත් සමග රංගගේ පැටිකිරිය ගැන ප්‍රශ්නය උඩ මතුවන්නට විය.
විපක්ෂයට අංශභාගය

ආණ්ඩුවේ එකී මෙකී ප්‍රශ්න ගැන පාර්ලිමේන්තුවේ ක්‍රියාශීලීව සිටින්නේ විපක්ෂයේ එක් කොටසක් පමණි. විපක්ෂයේ සජබෙ කොටසේ බහුතරයක් නිද්‍රාශීලී ය. ක්‍රියාකාරී එක් කොටසක් පමණි. දේශපාලන විචාරකයින් පවසන්නේ විපක්ෂයට අංශභාගේ වැළඳී ඇති බවයි. සජිත් ප්‍රමුඛ පැත්ත පණ නැති අංශය යි.
විපක්ෂයේ කාර්ය භාරය කරන්නේ සුළුතර හඬවල් කිහිපයක් පමණි. සජබෙ දැන් අරාජික වෙමින් පවතී. පාර්ලිමේන්තුවට ඉන්නේ නමට විපක්ෂ නායකයෙක් පමණි. ආණ්ඩුව පවා විපක්ෂ නායකයා ආණ්ඩුවට ශක්තියක් බව කිහිප වතාවකම පාර්ලිමේන්තුවේදී ද පවසා ඇත.
ඇත්තෙන් ම දැන් විපක්ෂ නායක හඳුන්නෙත්ති බව "නොබෙල්, බික්කුච්චන්" ආදී කතා පැවසූ කාලයේ බුකියේ විහිළු කතා ද පැතිරිණි. ඒ කතාවල ගැඹුරු සත්‍යයක් ද නැතුවාම නොවේ. මන්ද වර්තමාන සජබෙ විපක්ෂයට වඩා ආණ්ඩුව ඇතුළෙහි ම කොටසක් ආණ්ඩුව අප්‍රසාදයට පත් කරමින් සිටින හෙයිනි.
දෙකොන විලක්කුව

විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවක දී බොහෝ දෙනකුගේ අදහස වූයේ කන්ටේනර් සිද්ධිය නිසා ආණ්ඩුව හිරවීමට ලක්වන බවයි. ආණ්ඩුව වරද පිළිගත්තත් නැතත් ඒ ප්‍රශ්නය දෙකොන විලක්කුවක් සේ ඇවිළී පවතින බව විපක්ෂයේ මතය විය.
ගෝඨා ගැසට් රිවස් කළා සේ මේ ආණ්ඩුවද ඉතා වේගයෙන් පිම්මක් පනින්නට දුවගෙන ඇවිත් ආපසු යූ ටර්න් ගසා හැරෙන්නේ ය. හිටපු ජනාධිපතිවරුන්ගෙන් ගත් වාහන ඉල්ලුවොත් ආපහු දෙන්න සූදානම් යැයි මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ දී කීවේ ජවය බලය සිදුණු ස්වරයෙනි.
"මහින්දට වාහනේ දුන්නොත් අනෙක් හිටපු ජනාධිපතිවරුන්ටත් ඒක දෙන්න වෙනවනේ, එතකොට ඉන්ධනත් දෙනව ද? දෙන්න පුළුවන්කම තියෙනව නම් අයින් කළේ ඇයි? පනතක් ගෙනාවෙ ඇයි? ඔය වගේ ප්‍රශ්න ගණනාවක් ඊට පස්සේ එනවා.''
රනිල් එසේ කීවේ ආණ්ඩුවේ දුර දිග නැති තීරණ ගැනය.
ගමේ සැබෑ මතය

කලින් මාලිමාවේ උදවිය කීවේ සමූපකාර ඡන්ද වලින් පිළිඹිඹු වන්නේ සැබෑ ගමේ මතය බවයි.
"හිටි ගමන් අංක එකට ආපු මාලිමාව ඔන්න දැන් පොඩි කාලෙකින් ආපහු පන්තියේ අන්තිමයා වෙලා," යැයි තලතා කීවේ මෑතකදී පැවැත්වුණු සමූපකාර ඡන්ද තුනක ප්‍රතිඵල උපුටා දක්වමිනි. එහි පොදු විපක්ෂය සියලු ම ඡන්ද ලබාගෙන තිබූ අතර මාළිමාවෙන් පත්වූ සභික සංඛ්‍යාව බිංදුවකි.
"ආණ්ඩුවකුත් තියාගෙන මෙහෙම අබග්ගයක් කවදාවත් වෙලා නෑ නේ ද...?'' යැයි මන්ත්‍රීවරුන් පැවසුවේ පුදුමයෙනි .
හැම බරක් ම ජනපති කරට

ජනාධිපති තනි දහිරියක් දමා ආණ්ඩුවක් ගත්තා සේ දැන් ඔහුට තනිවම තමන්ගේ ආණ්ඩුවේ උදවිය නාන රෙදි සියල්ල හෝදන්නට වී ඇති බව පෙනෙන්නට තිබෙයි. ඇමතිවරු ඇතුළු අනෙක් උදවිය කසාය බීපු ගොළුවන් බවට පත්වී සිටී.
"ඉස්සර ලොකු හඬක් වෙච්චි ලාල් කාන්ත දැන් ඉන්නවද නැද්ද නෑ. මට පේන හැටියට ජනාධිපති තමයි ඔක්කොම බර තනියම දරන්නේ.අනිත් උදවිය ටික ටික කර අරිනවා," යැයි රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කීය.
මේ අතර ඉදිරි යම් සැලසුමක් වෙනුවෙන් පක්ෂය ශක්තිමත් කිරීමේ කටයුතු ද රනිල්ගේ මූලිකත්වයෙන් සිදු කෙරෙයි. ඒ සඳහා මාධ්‍ය කටයුතු මෙහෙයවීමේ වගකීම නායක රනිල් විසින් පවරන ලද්දේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත්ට සහ හිටපු ජනාධිපති අධ්‍යක්ෂ ශානුක කරුණාරත්නට ය.
අර්ජුන් මහේන්ද්‍ර ගේ පාස්පෝට් එක රිලීස් කළේ කවුද?

චාමර බදාදා පාර්ලිමේන්තුවේදී ලොකු බෝම්බයක් පත්තු කළේය. ඒ බෝම්බයේ ඉලක්කය වී තිබුණේ රංග දිසානායකයි.
අර්ජුන් මහේන්ද්‍රගේ "පාස්පෝට් එක" 2017 වසරේ කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස නිදහස් කළේ කවුදැයි රංග දිසානායක ප්‍රකාශ කළ යුතු බව චාමර එහි දී කීය.
''මේවා ලොරියේ 'බුදු සරණයි' කියා ගහගෙන මරන්න හරක් ගේනවා වගේ වැඩ,'' බව චාමර කීවේ උපහාසයක් ද මතු කරමිනි. චාමරගේ ඒ කතාවට පාර්ලිමේන්තුව ඇතුළත මෙන්ම එළියේ ද අවධානය යොමු විය. එය දවසේ කතාව විය.

"රංග දිසානායක මහත්තයාගේ නම කියලම මම මේ දේ කියනවා.රංග දිසානායක මහත්තයාට මම අභියෝගයක් කරනවා. ඒගොල්ලන්ගෙ ජේ.වී.පී එකේ නන්දන කියපු දේවල් අපිට වැඩක් නෑ. 2017 අවුරුද්දේ මේ රටේ වෙච්ච ලොකුම හොරකම මොකක්ද? සිංගප්පූරුවේ ඉන්න අර්ජුන් මහේන්ද්‍රයන්ගේ බැංකු හොරකම තමයි ලොකුම හොරකම. රංග දිසානායක මහත්තයා දැන් මාධ්‍යයටත් එනවා. ඩී. ජී. හැටියට මාධ්‍යයට එන්නත් බෑ. මාධ්‍යයට ඇවිත් ලොකු සංදර්ශන දානවා. සංදර්ශන දැම්මට කමක් නෑ. 2017 කොටුව මහේස්ත්‍රාත් කවුද කියන එක කියන්න ඕන. එයා නෙමෙයි නම් කමක් නෑ. 2017 අවුරුද්දේ කොටුව මහේස්ත්‍රාත්වරයා හැටියට අර්ජුන් මහේන්ද්‍රයන්ගේ පාස්පෝට් එක රිලීස් කලේ කවුද? එයා ඒක කියන්න ඕන. එයාගේ පළවෙනි නෝනා මහ බැංකුවේ. දෙවැනි නෝනත් මහා බැංකුවේ. දෙවැනි නෝනා අර්ජුන් මහේන්ද්‍රයන්ගේ මොන තනතුර ද කළේ කියලත් කියන්න ඕන. මේව රටේ මිනිස්සු දැනගෙන ඉන්නන ඕන. මේවා අනුරාධපුරේ ඉඳන් බුදු සරණයි කියලා ගහගෙන එන හරක් ලොරි වගේ. ලොරිය ඇරලා බැලුවම ඉන්නෙ මරන්න ගේන හරක්. පිරිසුදු නම් හැම මිනිහම පිරිසිදුව ඇවිල්ල කතා කරන්න ඕන; පිරිසිදුව තනතුරු දරන්න ඕන; අනිත් අයට ඇඟිල්ල දික් කරන්න කලින් තමන් පිරිසිදු වෙලා ඉන්න. මගේ නඩු තුනක් තියෙනවා. මේක කිව්වට පස්සේ අනිවාර්යයෙන් මට ලබන මාසෙ අධි චෝදනා බාර දෙනවා. මට ඒක ප්‍රශ්නයක් නෑ. මේවා කවුරුත් දැනගන්න ඕන"
චාමර පාර්ලිමේන්තුවේදී එල්ල කළ ඒ චෝදනාව ලේසි පහසු එකක් නොවේ. ඊට පිළිගත හැකි උත්තරයක් දීම දැන් රංගගේ වගකීම යි.
පාර්ලිමේන්තුවේ එජාප ලීඩර්

රනිල් මේ සතියේ දෙරණේ දිලිත්ගේ ආරාධනය පරිදි සාදමය උත්සවයකට සහභාගී විය. දෙමළ මාධ්‍යවේදියෙකුට දිලිත්ගේ මාධ්‍ය ආයතනයක ඉහළ තනතුරක් පිරිනැමීම උත්සවයේ නිමිත්ත විය. ඊට සහභාගී වූ බහුතරය දෙමළ දේශපාලකයෝ වූහ.
ජීවන් තොණ්ඩමන්, රාසමානිකම්, මනෝ ගනේෂන්, දිගම්බරන්, ශ්‍රීදරන්, අලි සබ්‍රි, රවුෆ් ෆකීම් ඇතුළු දෙමළ පක්ෂවල නියෝජිතයෝ එහි වූහ. සිංහල සමාජය නියෝජනය කරන දේශපාලකයන් වශයෙන් මීට සහභාගී වූයේ රනිල් සහ දිලිත් පමණි. රනිල් ජනපති සමයේ මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක ද එහි වූහ.
"සර් මට Interview එකක් දෙන්න පුළුවන්දැයි එහි සිටි මාධ්‍යවේදියෙක් නායක රනිල් අමතමින් විමසී ය.
"ඇයි මගෙන් Interview ගන්නේ... යූ.එන්.පී එකේ පාර්ලිමන්ට් ලීඩර්ගෙන් ගන්න පුළුවන්නේ...?" රනිල් ඇඟට පතට නොදැනී කී කතාවට සියල්ලෝම පුදුමයට පත් වූහ. කවුද ඒ ලීඩර්, අපි දන්නේ නෑනේ එහෙම එකක්..."
එහි සිටියෝ විමසලිමත් වූහ.
ජීවන් දෙසට අත දිගු කළ රනිල් ''ඇයි මේ ඉන්නේ, මෙයා තමයි ලීඩර්...," යනුවෙන් පැවැසී ය.
"පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සටන ඉස්සරහට ගෙනියන්නේ දැන් කීප දෙනෙක් විතරයි. මේ සටන දිනුවොත් ආණ්ඩුව වට්ටන්නත් පුළුවන්" යනුවෙන් ද රනිල් කීය.
වජිර ගේ අලුත් ම සැලසුම

නායක රනිල්ගේ සහ සභාපති වජිරගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ 25 ක සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් සහ භෝජන සංග්‍රහයක් පසුගිය සතියේ කොළඹ පුද්ගලික හෝටලයක දී පැවැත්විණි.
ඊට සහභාගී වූ සියලු දෙනා ම පාහේ එකඟවුණේ මෙම විපක්ෂයේ සුසංයෝගය එකම එකඟතාවයකින් දිගටම පවත්වාගෙන යා යුතු බවයි. ඒ අනුව නායක රනිල් මෙම හමුවෙන් අනතුරුව සභාපති වජිරට පවසා තිබුණේ ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙළ සකස් කරමින් මෙම එකමුතුව ඉදිරියට ගෙන යන ලෙසයි.
එසේම විවිධ දේශපාලන පක්ෂවලට සම්බන්ධ විවිධ කණ්ඩායම් වෛද්‍ය, නීතීඥ, වෘත්තීයවේදීන් ආදී වශයෙන් වෙන වෙනම සම්බන්ධ කරගනිමින් රටේ පවතින දේශපාලන තත්ත්වය සහ පිරිහෙන ආර්ථිකය පිළිබඳව ඔවුන් දැනුවත් කර ඒ සම්බන්ධ ඔවුන්ගේ අදහස් ද විමසමින් ජනතාව මාධ්‍ය හරහා දැනුවත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන ලෙසත් නායක රනිල් වජිරට පවසා තිබුණි. නායක රනිල් දුන් උපදෙස් ක්‍රියාත්මක කරමින් වජිර ඊට අවශ්‍ය පසුබිම සුදානම් කළේ ය. ඒ අනුව විපක්ෂයේ දේශපාලන පක්ෂවල විවිධ කණ්ඩායම් එකතු කරමින් රැස්වීම් මාලාවක් ම සංවිධානය කිරීමට වජිර සැලසුම් සකස් කළේය.
ඒ අනුව මේ සතිය අවසානයේ දී ද එවැනි රැස්වීම් කිහිපයක් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වීමට කටයුතු කරන අතර මෙම රැස්වීම් සියල්ල නායක රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.
(සටහන | මල් පාරේ ලියුම්කරු )




