The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මේ කාලයේ සිදුවිය හැකි අකුණු අනතුරු වලින් වැළකෙමු - ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේ. ආර්. අභයසිංහ

T

The Leader Desk

October 10, 2025 • 8:02 AM

මේ කාලයේ සිදුවිය හැකි අකුණු අනතුරු වලින් වැළකෙමු - ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේ. ආර්. අභයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙවන අන්තර් මෝසම් සෘතුවේ ද පවතින කාලගුණ තත්වය වන්නේ උදය කාලයේ තරමක් උණුසුම්, යහපත් කාලගුණයක් තිබී මධ්‍යහනය පසුකරනවාත් සමඟ අහස් තලයේ අකුණු ධාරා පහර දර්ශනය වී සන්ධ්‍යා හෝ රාත්‍රී හෝරා වල ප්‍රදේශ රැසකට බලපාන අකුණු සහ ගිගුරුම් සහිත වර්ෂාව බොහෝ විට ආපදාකාරී වන බව අමතක නොකරමු.
  • අප නිවාස සහ ගොඩනැගිලි වලට විදුලි බල ශක්තිය සැපයෙන්නේ වෝල්ට් 240 ක තරම් ප්‍රබලත්වයෙන් වන අතර විදුලි ධාරාව ඇම්පියර් 35ක් පමණ ය.
  • සෘජු ලෙස, පාර්ශ්වික ලෙස, අකුණු පහර ලෙස හෝ වෙනත් මාධ්‍ය ඔස්සේ සන්නයනය වී හෝ අකුණු ධාරාවක් එහි කොටස් අපේ ශරීරයට ළඟා විය හැක.
  • විශේෂයෙන් අකුණු සහිත වාතාවරණ වලදී, 01.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙවන අන්තර් මෝසම් සෘතුවේ ද පවතින කාලගුණ තත්වය වන්නේ උදය කාලයේ තරමක් උණුසුම්, යහපත් කාලගුණයක් තිබී මධ්‍යහනය පසුකරනවාත් සමඟ අහස් තලයේ අකුණු ධාරා පහර දර්ශනය වී සන්ධ්‍යා හෝ රාත්‍රී හෝරා වල ප්‍රදේශ රැසකට බලපාන අකුණු සහ ගිගුරුම් සහිත වර්ෂාව බොහෝ විට ආපදාකාරී වන බව අමතක නොකරමු.

බෙංගාල බොක්ක සහ අරාබි මුහුදේ වර්ධනය වන කාලගුණ පද්ධති වල බලපෑම් තිබුණහොත් ඉහත සඳහන් වූ වේලාවල් වෙනස් විය හැක.මීට දශක දෙකකට පමණ පෙර සමය තෙක් අප රටේ වසරකට මිනිස් ජීවිත 40 ත් 50ත් අතර ප්‍රමාණයක් අකුණු වලට බිලි වූ නමුත් ජනතාවගේ දැනුවත් වීම ඉහළ යාමත් සමඟ අකුණු මගින් වන ජීවිතහානි ප්‍රමාණය සෑහෙන ලෙස අඩු වී ඇත. එසේ වුවද එමගින් සිදුවන දේපල හානිය තවමත් සැලකිය යුතු තරමට සිදු වෙයි.

 



අප නිවාස සහ ගොඩනැගිලි වලට විදුලි බල ශක්තිය සැපයෙන්නේ වෝල්ට් 240 ක තරම් ප්‍රබලත්වයෙන් වන අතර විදුලි ධාරාව ඇම්පියර් 35ක් පමණ ය. නමුත් අකුණු පිළිබඳව කරන ලද නිරීක්‍ෂණ වලට අනුව අකුණු පහර නිකුත් කරන වලාකුලක වෝල්ටීයතාවය වෝල්ට් මිලියන 100ක් තරම් විශාල වේ.ඒ අතර අකුණු පහරක සාමාන්‍ය ධාරාව ඇම්පියර් 30000ක් තරම් වුවද එම අගය සමහර විට ඇම්පියර ලක්‍ෂයක් දක්වා වැඩිවිය හැකි නිසා අකුණු පහර කෙතරම් ආපදාකාරීද යන්න ඔබට වැටහී යනු ඇත.

වලාකුලක සිට පහලට ළඟාවන අකුණු පහරක් ගසක් හෝ ගොඩනැගිල්ලක් වෙත පමණක් නොව, මිනිසෙකු හෝ සත්වයෙකු වෙතට ළඟා විය හැකි ආකාර කිහිපයකි.

rain 4

සෘජු ලෙස, පාර්ශ්වික ලෙස, අකුණු පහර ලෙස හෝ වෙනත් මාධ්‍ය ඔස්සේ සන්නයනය වී හෝ අකුණු ධාරාවක් එහි කොටස් අපේ ශරීරයට ළඟා විය හැක. අකුණු සහිත කාලගුණ තත්ව පවතින විට කෙනෙක් එළිමහනේ සිටී නම් අකුණු පහර සෘජුවම ඔහු හෝ ඇය වෙත ළඟා විය හැකි අතර යමෙකු තරමක් උස් වූ ගසක් හෝ ලෝහමය ඉදිකිරීමක් ආසන්නයේ සිටින විටෙක උස් වූ දෙය වෙත ළඟා වන අකුණු ධාරාව පෘථිවියට ගලායන අතරේ ආසන්නයේ සිටින කෙනෙකු වෙතට ධාරාවෙන් කොටසක් වීසි කිරීම ද සිදුවේ.

විශේෂයෙන් ගොඩනැගිල්ලක් තුළ සිටින විට විද්යුත් උපකරණ හෝ විදුලි බල පද්ධතියේ වයර් වෙතට ළඟාවන අකුණු ධාරාවකින් කොටසක් ගොඩනැගිල්ල තුළ සිටින කෙනෙක් වෙතට වීසි වීම ද සිදුවී ආපදා විය හැකිය.

 



පෘථිවිය වෙත ළඟාවන අකුණු ධාරාවක් පොලෝ තලය ඔස්සේ ඈතට සන්නයනය වන විට ඒ මාර්ගයේ හිටගෙන හෝ දිගා වී සිටින කෙනෙකුගේ දෙපා හරහා හෝ ශරීරය හරහා අකුණු ධාරාව හෝ එහි කොටසක් ගමන් කිරීම ද ආපදා ගෙන එන සිදුවීමකි.විශාල අකුණු ධාරාවක් ඉහත සඳහන් වූ කුමන ආකාරයෙන් හෝ කෙනෙකුගේ ශරීරය වෙත ළඟා වුවහොත් එය භූගත වන්නේ ශරීරය හරහා ක්‍ෂණිකව ගමන් කිරීමෙන් පසුව නිසා ශරීරයට විවිධ ආපදා සිදුවිය හැකි අතර අකුණු ධාරාව හදවත හරහා ගමන් කිරීම ක්‍ෂණික මරණයට ද හේතුවේ.

ඉහත කරුණු පිළිබඳව සැලකිලිමත් වී අකුණු ආපදා අවම කර ගැනීම උදෙසාගත යුතු පියවර රැසකි. විශේෂයෙන් අකුණු සහිත වාතාවරණ වලදී,

01. එළිමහනේ විවෘත ස්ථානවල සිටීමෙන් වලකින්න.

02. උස ගස් අසල සෙවන නොපතන්න.

03. එළිමහනේ හෝ ගොඩනැගිල්ලක් තුළ සිටින විට දෙපා ඉතා ආසන්නව තබා ගන්න. හැකිනම් පහත් ස්ථානයක වාඩිවෙන්න.

04. විදුලි උපකරණ සහ ලෝහමය ද්‍රව්‍ය පරිහරණයෙන් වැලකෙන්න.

05. සියලු විදුලි උපකරණ විදුලි පරිපථයෙන් විසන්දි කරන්න.

 

rain
මේ අතර ජංගම දුරකථන භාවිතය පිළිබඳව සමහරු අතර වැරදි අවබෝධයක් තිබෙන බව පෙනේ. අතේ තිබෙන ජංගම දුරකථන මගින් අකුණු ධාරා ආකර්ශනය වී ශරීර හානි පවා සිදුවන බවයි ඒ.වලාකුළුවල සිට පහත් වන අකුණු පිළිගැනීමට පෘථිවිගත ද්‍රව්‍ය, ගොඩනැඟිලි,චෛත්‍ය ප්‍රතිමා සහ උස් ගස් වලින් පමණක් නොව මිනිසුන් සහ සත්වයින්ගේ ශරීර වලින් ආරම්භ වන විද්යුත් ධාරා ඉහළට ගමන් කරන බව පරීක්‍ෂණ වලින් පැහැදිලි වී ඇත.

එහෙත් ජංගම දුරකථනයෙන් හෝ අතේ බැඳි ඔර්ලෝසු වලින් එවන් ප්‍රබල ප්‍රති විද්යුත් ධාරා ඉහළට ගමන් කරන බවට සාක්‍ෂි නොමැත. නමුත් වෙනත් සාධක නිසා කෙනෙකුවෙත ඇදී එන අකුණු පහර හෝ ඉන් කොටසක් ගෙලේ බැඳි රන් මාලයට, කනේ පැළඳි රන් අරුංගලයට, අතේ බැඳි ලෝහ ඔර්ලෝසුවට, පැලඳි ලෝහ වලලු වලට හෝ අත තිබෙන ජංගම දුරකථනයට ළඟා වීමේ ඉඩ කඩ ඇත්තේ ඒවායේ විදුලිය ගමන් කිරීමට උපකාර වන ලෝහමය කොටස් තිබෙන නිසා ය.

akunu kulunu
දුරකථන කුළුණු වෙත ළඟාවන අකුණු පහරවල් අහල පහල ස්ථානවලට වීසි කරන බවට තවත් වැරදි මතයක් ජනතාව අතර පැතිරී ඇත. දුරකථන කුළුණු පිළිබඳව තිබෙන නීතිරීති වලට අනුව ඒවාට කිසි ප්‍රමිතියට අනුකූල, අංගසම්පූර්ණ අකුණු සන්නායක ( Lightning Conductor) සවිකළ යුතුමය. ප්‍රමිතියට එකඟ අකුණු සන්නායකයක් වෙත ළඟා වෙන අකුණු පහරවල් බාහිරට බාධා නොවන පරිදි භූගත වන නිසා එමගින් බාහිර වස්තුවලට හෝ ගොඩනැගිල්ලකට අකුණු ආපදා සිදු නොවේ.

අකුණු පහර පිළිබඳව අප සැම විසින් අවබෝධ කරගත යුතු කරුණු රැසකි. අකුණු වළාකුලකට පහළ තිබෙන සෑම වස්තුවක් මගින්ම වළාකුලෙන් පහළට එන අකුණු ධාරාව පිළිගැනීමට සූදානම් වුවද ඒ සඳහා වඩාත්ම සුදුසු ප්‍රතිධාරා යවන ස්ථාන වෙත අකුණු ධාරාවේ කොටස් ළඟා වේ. ප්‍රමිතියට අනුව සවිකල අකුණු සන්නායක සහිත ගොඩනැඟිලි හෝ සන්නිවේදන කුළුණු, ප්‍රතිමා, ආදිය වෙත ළඟාවන අකුණු ධාරාවලින් බාහිර ස්ථානවල තිබෙන යමකට ආපදාවක් සිදුවන්නේ නැත. මෙම යථාර්ථය වටහා ගෙන අකුණු ආපදා අවම කිරීම උදෙසා පහත සඳහන් පියවර දියත් කිරීමට පියවර ගන්න.

akunu sannayaka

කුමන ස්ථානයක වුවද නිවසක්, ගොඩනැඟිල්ලක් ප්‍රතිමාවක් කුළුනක් හෝ චෛත්‍යයක් ඉදිකරන්නේ නම් එයටම සවිකරන අකුණු සන්නායකය ද සැලසුමට එකතු කිරීම අත්‍යාවශ්‍යම වන්නේය.ගොඩනැඟිල්ල ඉදිකල වහාම අකුණු සන්නායකය සවිකොට ප්‍රමිතියට අනුකූලව භූගත කරන්නමහා මාර්ගය ඔස්සේ ඉහළින් සවිකර ඇති විදුලි සහ දුරකථන රැහැන් වෙත මෙන්ම ගොඩනැගිල්ල අසල ඉදිකොට ඇති ටෙලිවිෂන් ඇන්ටෙනා හෝ දුරකථන ඇන්ටෙනා වෙත ළඟාවන අකුණු පහර හෝ ඉන් කොටසක් කම්බි ඔස්සේ ගොඩනැඟිලි වෙත ළඟා වීම සිදුවිය හැකිය.

ඉන් සිදුවන ආපදා අවම කිරීමට නම් නිවසේ විදුලි පරිපථය මෙන්ම අදාල ඇන්ටෙනා නිසි ලෙස භූගත කිරීම සිදුකළ යුතුය. මෙහිදී එම තාක්‍ෂණික කාර්යය පිළිබඳ මනා අවබෝධය සහිත කාර්මික ශිල්පීන්ගේ සහාය ලබා ගැනීම යෝග්‍යය වන්නේ ය.


සටහන |

493095630 3877344959144903 7605428264597224196 nජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේ. ආර්. අභයසිංහ
හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ

උපුටා ගැනීම - vinivida.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...