The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සම්මුති විසම්මුති : ගාසා සටන් විරාම දේශපාලනය සහ ප්‍රක්ෂේපන කිහිපයක් | සුනන්ද දේශප්‍රිය

T

The Leader Desk

October 10, 2025 • 12:25 PM

සම්මුති විසම්මුති : ගාසා සටන් විරාම දේශපාලනය සහ ප්‍රක්ෂේපන කිහිපයක් | සුනන්ද දේශප්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම සතිය ගසාහි යුද්ධය එක්කෝ නතරවීම හෝ උත්සන්නවීම තීරණය කරනු ඇතැයි තර්ජනය කළේය.
  • මෙම විසි වැදෑරුම් කෙටුම්පතට විස්තීර්ණ එකතුවක් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් විශේෂ නියෝජිතයින් 36 දෙනෙකු ප්‍රකාශයක් නිකුත් කළේය.
  • එහිලා ඔවුන් කියා සිටියේ එහි සාධනීය ලක්ෂණ ඇති නමුත් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ හොත් පලස්තීන රජයක උරුමය සහ අයිතිය නැති වී යා හැකි බවය.
  • ගසාහි ඊශ්‍රායල විරෝධී සන්නද්ධ අරගලය මෙහෙයවන හමාස් සංවිධානය තමන් සටන් විරාමයකට සහ සිරකරු හුවමාරුවකට සූදානම් නමුත් සමස්ත කෙටුම්පත තවදුරටත් සාකච්ජා කළ යුතු බව මුලින් කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම සතිය ගසාහි යුද්ධය එක්කෝ නතරවීම හෝ උත්සන්නවීම තීරණය කරනු ඇතැයි තර්ජනය කළේය. 09 වන බ්‍රහස්පතින්දා උදෑසන ඊජිප්තුවෙහි දී දෙපර්ශවයම ඊට අත්සන් කළෝය.

මෙම විසි වැදෑරුම් කෙටුම්පතට විස්තීර්ණ එකතුවක් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් විශේෂ නියෝජිතයින් 36 දෙනෙකු ප්‍රකාශයක් නිකුත් කළේය. එහිලා ඔවුන් කියා සිටියේ එහි සාධනීය ලක්ෂණ ඇති නමුත් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ හොත් පලස්තීන රජයක උරුමය සහ අයිතිය නැති වී යා හැකි බවය.

 

ගසාහි ඊශ්‍රායල විරෝධී සන්නද්ධ අරගලය මෙහෙයවන හමාස් සංවිධානය තමන් සටන් විරාමයකට සහ සිරකරු හුවමාරුවකට සූදානම් නමුත් සමස්ත කෙටුම්පත තවදුරටත් සාකච්ජා කළ යුතු බව මුලින් කියා සිටියේය. එනමුත් එහි ප්‍රධානියා බ්‍රහස්පතින්දා සවස ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තම සංවිධානය සියලු පලස්තීන සටන්කාමී පාර්ශවයන් සමඟ සාකච්ඡා කර ඊට අත්සන් තැබූ බවයි.

මෙම එකඟතාවයේ මූලික සාධකය වන්නේ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය සහතික වී සිටීමයි.

සාම සාකච්ඡා සාර්ථකවීම සඳහා ඊශ්‍රායලය සිය ප්‍රහාර නතර කළ යුතු බවට ට්‍රම්ෆ් කළ අවසාන නිවේදනය යුද අපරාධකාර නෙතෙන්යාහු පයිසයකටවත් ගණන් ගත්තේ නැත. ඔහු නොනවත්වා ප්‍රහාර එල්ල කරන්නේ ගොඩනැගිළි සුන්නත් දූවිලි කරමින් සහ සිවිල් ජනයා ඝාතනය කරමිනි. ඊශ්‍රායලය සටන් විරාමයකට අවංක කැමැත්තක් දක්වා නැත. සටන් විරාම ගිවිසුමට අත්සන් කිරීමෙන් පසුත් ගාසාවෙහි දස දෙනෙකු ඊශ්‍රායලය මරා දැම්මේය.

v45yv455

 

අනෙක් අතට ගසා තීරයෙහි සාමය ඇති කිරීමේ හැකියාව තිබුණේ එම ජන ඝාතනයේ ප්‍රධාන සහකරු වන එක්සත් ජනපදයට බව මෙම වර්ධනය විසින් යළි සනාථ කර තිබේ. බලවත් යුරෝපීය රාජ්‍යයන් ට්‍රම්ෆ්ගේ සැලැස්මට  සහාය දෙමින් සටන් විරාමයට එකඟ වීම ගැන සතුට පළ කළේය.

ලොව දෙවැනි සහ තෙවැනි බලවතුන් වන චීනයට සහ රුසියාවට ඔවුන්ගේ පිළිවෙත අත සෝදා ගැනීමේ එකක් නිසා සාම හෝ යුද්ධ මේසයේ පුටුවක් නැත. මැදපෙරදිග දේශපාලනයට බලපාන මෙම තීරණාත්මක අවස්ථාවෙහි කිසිවකු එම දෙරට ගැන කතා නොකරයි. එය විශේෂයෙන්ම චීනයට බලවත් රාජ්‍ය තාන්ත්‍රික පරාජයකි.

සටන් විරාම ගිවිසුමෙහි මැදිහත්කරුවන් ලෙස තුර්කියා, ඊජිප්තුව සහ කටාර් යන රාජ්‍යන් කටයුතු කළහ. තුර්කියා දිගටම ගාසා සිය මැදිහත්වීම පවත්වා ගන්නා බව ඊයේ ප්‍රකාශ කළේය.

රටවල් 100ක් පමණ විජිතවාදයෙන් නිදහස ලද 19වන සියවස (1900-2000) නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ලෝකයෙහි ප්‍රධාන දේශපාලන ගතිකත්වය බවට පත් වූ සියවස ලෙස නම් කෙරුණි.  21 වන සියවස ( 2000-2100) ඉදිරියට පැමිණයේ එකී පරමාදර්ශයන් මත පදනම් වූ ප්‍රගතියේ සියවස ලෙසය. නමුත් දැන් 21වන සියවස යනු මානව අයිතීන් කණපිට හැරවීමේ  යුගයක් බවට පත්වීම ගසා ජන ඝාතනයෙන් සංකේතවත් විය.

b7i67467ifgu56u

 

ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) ඊශ්‍රායල නායකයින් යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සඳහා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර ඇත. ජාත්‍යන්තර යුක්ති අධිකරණය (ICJ) ඊශ්‍රායලය පලස්තීන භූමි අත්පත් කර ගැනීම නීති විරෝධී බවට තීරණය කර නීති විරෝධී ජනාවාස විසුරුවා හැරීමට ඉල්ලා සිට තිබේ.‍

එසේ තිබියදීත් මේ ජන ඝාතනය අභිසය  ප්‍රායෝගික නිහඩතාවක් දැක්වූයේ බටහිර බලවතුන් පමණක් නොවේ. චීනයේ සිට රුසියාව දක්වා පැවතියේ ද එකම භයානක නිහඬතාවයකි.

යුක්රේනයේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් බිලියන දහස් ගණනින් වැය කරන බටහිර ජාතීන් ගාසා තීරයේ සෛවරීභාවය විනාශ කිරීමට අවි ආයුධ සැපයීය. බටහිර එනම් ඇමෙරිකාව ප්‍රමුඛ නැටෝ රාජ්‍ය කණ්ඩායම ලිබියාව, සිරියාව සහ ඉරාකය විනාශ කර දැමූයේ ඊශ්‍රායලයේ පැවැත්ම සහතික කිරීමට සහ තෙල් සම්පත් සූරා කෑමටය. එම රටවල් ශක්තිමත්ව පැවතුණේ  නම් මැද පෙරදිග බල තුලනය පලස්තීනය දිසාවට වර්ධනය වන්නට තිබුණි.

රුසියාව, යුක්රේනයේ යුද්ධය ඇරඹූයේ එරටින් තුනෙන් එකක් පමණ අල්ලා ගැනීමටය. එම යුද්ධයෙහි චීනය සහ රුසියාව එක පෙරමුණකය. චීනයෙහි හදිසි දේශපාලන මාන බැලීම තායිවානය බලහත්කාරයෙන් හෝ දේශපාලන උපාමාරු මගින් අල්ලා ගැනීමටය. එය ඊශ්‍රායලය විසින් ගාසා අල්ලා ගැනීම හා සමාන වනු ඇත. එනයින් රුසියාව සහ චීනය යම් දුරකට සිටින්නේ අන් රටවල් අල්ලා ගැනීමේ ඊශ්‍රායල න්‍යායෙහිමය. ඇමෙරිකාව ද එසේය. එයට ග්‍රීන්ලන්තය සහ වෙනිසියුලාව අල්ලා ගැනීමට අවශ්‍යය.

කෙසේ වෙතත් මහජන බලපැම වෙනස සිදු වන්නේ බටහිරිනි. වෙසෙසින්ම යුරෝපයෙනි. ඒ මිලියන ගණන් ජනයා විරෝධතා දක්වමින්, අපරාධ ලේඛනගත කරමින් සහ වගවීම ඉල්ලා සිටි නිසාය. ඉතාලියේ සිට ස්පාඥය දක්වා ද නෙදර්ලන්තයේ සිට ස්කැන්ඩිනේවියාව දක්වා ද  පලස්තීනයේ නිදහස උදෙසා සහ යුද්ධයට විරුද්ධ සිවිල් ව්‍යාපාර පෙර නොවී විරූ බලගතු සාධකයක් බවට පත්ව තිබේ. එය වත්මන් ලෝක දේශපාලනයේ නොසළකා හැරිය නොහැකි සාධනීය වර්ධනයකි. ලොව ආකර්ෂණය දිනාගත්  නිදහසේ බොට්ටු සමූහය Freedom Flotilla ද යුරෝපීය සිවිල් සමාජ මූලිකත්වයක් විය.

දැන් ට්‍රම්ෆ්ගේ සාම කෙටුම්පකෙහි මුල් පියවර යථාර්තයක් බවට පත්ව ඇති බැවින් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සහ හමාස් ප්‍රහාර නතර වනු ඇත. මානුෂීය ආධාර නිදහසේ ගලා යාමට ඉඩ සැළසෙනු ඇත. තමන් දිනකට ආහාර,ඖෂධ සහ කුඩාරම් රැගත් ලොරි 600ක් ගාසා කරා යැවීමට සූදනම් බව එක්සත් ජාතීන්ගේ යුනිසෙප් ආයතනය පවසයි.

 



යුනිසෙප් පවසන්නේ ගසා ජනයාට අවශ්‍ය වන්නේ ද්‍රව්‍යමය ආධාර පමණක් නොවන බවයි. මිලියනයකට ආසන්න දරුවන් සඳහා මනෝ ප්‍රතිකාර අවශ්‍ය වන්නේ ඉන් බොහෝ දෙනෙකු යුද්ධ ආතතිය නිසා මානසික පීඩාවට පත්ව ඇති බැවිනි. අඩුම වශයෙන් දස දසකට වඩා දරුවන් ජීවිත කාලයටම විකලාංග වී තිබේ.

සටන් විරාම ගිවිසුම අනුව ගාසාහි රඳවා ගෙන සිටින සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පැය 72ක් ඇතුළත නිදහස් කළ යුතුය. ප්‍රාණ ඇපකරැවන් 20 දෙනෙකු සහ  මළ සිරුර 20කට වැඩි ප්‍රමාණයක් ඒ අතර වේ. ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් 1,900කට වැඩි පිරිසක් නිදහස් කළ යුතුය.

ගාසා තීරය මධ්‍යස්ථ පලස්තීන පරිපාලනයකට භාර දෙනු ඇත. හමාස් සමීකරණයෙන් ඉවත් වනු ඇති නමුත් ඊශ්‍රායල ගාසා තීරය ඈඳා ගැනීම වළකිනු ඇත. දැනට එකඟ වී ඇති සටන් විරාම පළමු අදියරට අනුව ඊශ්‍රායල හමුදා ඉවත් වනු ඇත්තේ ගාසාහි ජනාකීර්ණ උතුරු ප්‍රදේශයෙන් පමණය. හමාස් සංවිධානය නිරායුධ වීම ඇරඹෙනු ඇත්තේ ඊශ්‍රායල් හමුදා සම්පූර්යෙන් ගාසා තීරයෙන් ඉවත් වූ පසු පමණය.

 

මෙම පළමු අදියර යටතේ යටිතල පහසුකම්, රෝහල් සහ බේකරි ප්‍රමුඛතාවය දී ප්‍රතිසංස්කරණය ආරම්භ කෙරෙනු ඇත. භූමිය පිරිසිදු කිරීම පිණිස විශාල බුල්ඩෝසර් ගාසා කරා ඇතුළු වීමට සූදානම් කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ රතු අඩසඳ සංවිධානය විසින් ආධාර සම්බන්ධීකරණය කරනවා ඇත.

‍සාර්ථක සටන් විරාම ගිවිසුම දිගටම පැවතිය හොත් ට්‍රම්ප්ගේ ගෝලීය පිළිගැනීම ඉහළ නංවනු ඇති අතර මැද පෙරදිග එක්සත් ජනපද නායකත්වය පිළිබඳ සාධකය යළි තහවුරු කරනු ඇත. මැද පෙරදිග රටවල් ඇමෙරිකාව කරා වඩා ආකර්ෂණය වනු ඇත.

 

n67i467478i
චීනය සහ රුසියාව හුදු නිරීක්ෂකයින්ව සිටියදී එක්සත් ජනපදය සාම සාකච්ඡා වලදී ආධිපත්‍යය නැවත තහවුරු කර ගත් බැවින් කලාපය තුළ ඔවුන්ගේ බලපෑම අඩු වනු ඇත. ස්ථිර සාමය පිහිටුවීමට හැකි වුවහොත් සහ පලස්තීන රාජ්‍යයෙහි සෛවරීයත්වය යථාර්ථයක් වුවහොත් එමගින් බටහිර කෙරෙහි ඇති විශ්වසනීයත්වය ඉහළ යනු ඇත.

දැනට එකඟ වී ඇත්තේ සටන් විරාම ගිවිසුමෙහි පළමු අදියට පමණි. තවත් අදියර හතරක් සම්පූර්ණ වන තුරු නිත්‍ය සාමයක් මැද පෙරදිග ස්ථාපිත නොවනු ඇත. භයානක විකල්පය නම්  සටන් විරාමය  බිදී යාමයි. ඊශ්‍රායල අණ්ඩුවේ කොටස්කරුවන් වන අන්තවාදී දේශපාලන පක්ෂ පලස්තීනය පිළිගන්නේ නැත. ඔවුන් සටන් විරාම ගිවිසුමට ද විරුද්ධය. එනමුත් දැන් ඊශ්‍රායල සමාජයෙහි සාමය සඳහා බලගතු ඉල්ලීමක් තිබේ.

ඊශ්‍රායලය විසින් පෙර පරිදි සටන් විරාම ගිවිසුම උල්ළංඝනය කළ හොත් එහි ක්ෂණික ප්‍රතිඵලය වනු ඇත්තේ  ප්‍රචණ්ඩත්වය උත්සන්න වීමයි.

එවිට වර්ධනයක් යටතේ ට්‍රම්ෆ්ගේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිරූපය දුර්වල වනු ඇත. එම සැලැස්ම යථාර්ථවාදී නොවන හෝ ඒකපාර්ශ්වික යැයි කී විවේචකයින් ධෛර්යමත් වනු ඇත.

ඊශ්‍රායලය යළි ජන ඝාතන යුද්ධය ඇරඹුව හොත් එක්සත් ජනපදයට සහ යුරෝපයට අරාබි සහ මුස්ලිම් බහුතර ජාතීන්ගෙන් නිශේධාත්මක ප්‍රතික්‍රියාවලට මුහුණ දීමට සිදුවනු නොඅනුමානය. එවැනි තත්වයක් යටතේ යළි ඇතිවෙන ගාසා ජන ඝාතනය හමුවෙහි යුරෝපයේ නිහඬවුවහොත් එහි සදාචාරාත්මක අධිකාරිය පතුලටම ඛාදනය වනු ඇත.

ගාසාහි ඊශ්‍රායල් ප්‍රචණ්ඩත්වය මැදපෙරදිග කලාපය පුරා ප්‍රචණ්ඩත්වයන්ට ඉන්ධන සැපයිය හැකි අතර, සාම මැදිහත්කරුවන් වූ ලෙබනනය, ජෝර්දානය සහ ඊජිප්තුව යම් දුරකට අස්ථාවර වීමට ඉඩ තිබේ.

hm7467
ඊශ්‍රායලය ගාසා තීරය අත්පත් කර ගෙන පලස්තීන ජනයා නෙරපා හැරීමට ඇති ඉඩ හුදෙක් න්‍යායාත්මක එකක් නොවේ. සටන් විරාම ගිවිසුම අසාර්ථක වුවහොත් ඊශ්‍රායලය ගසාහි ජනගහණය ඉන් පලවා හැරීමට හෝ එළිමහන් සිර කඳවුරු වැනි භූමියකට කොටු කිරීමට ඉඩ තිබේ.

අල්ලා ගත් භූමිය අත් නොහරින බව ඊශ්‍රායල නිලධාරීන් දැනටමත් විවෘතව ප්‍රකාශ කර ඇත. අගමැති නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ "ජෝර්දානයට බටහිරින් ඇති සියලුම භූමි ප්‍රදේශය පුරා සම්පූර්ණ ඊශ්‍රායල ආරක්ෂක පාලනය සම්බන්ධයෙන් මම සම්මුතියක් ඇති නොකරමි". කියාය

ඊශ්‍රායලය යළි යුද්ධය උත්සන්න කර කර පලස්තීනුවන් නෙරපා හැරියහොත්, එය ජනවාර්ගික ශුද්ධ කිරීමක් වනු ඇති අතර ඊජිප්තුව, ජෝර්දානය සහ ලෙබනනයට දැවැන්ත සරණාගත ප්‍රවාහයන් ගලා එනු  ඇත.

ඊශ්‍රායලය එවැනි සාහසික වාර්ගික ශුද්ධ කිරීමකට ගිය හොත් ද්වි-රාජ්‍ය විසඳුමක් සඳහා ඇති කවර හෝ අපේක්ෂාවක් අවසන් වී දශක ගණනාවක් තිස්සේ මැදපෙරදිග කලාපය අස්ථාවර වීමට බොහෝ ඉඩ තිබේ.

එවැනි තත්වයක් යටතේ අරාබි සහ මුස්ලිම් රටවලින් බටහිර මත දැඩි පීඩනයක් එල්ල වීම වැළැක්විය නොහැකිය. මැද පෙරදිග කලාපය පුරා ප්‍රචණ්ඩ දේශපාලන මූලිකත්වයන් හට ගැනීමට ද බොහෝ ඉඩ තිබේ. ඉරානයේ නායකත්ව භූමිකාව වර්ධනය වී ඇමෙරිකානු ගැති මැද පෙරදිග රාජ්‍යයන් දේශපාලන සුළිවලට හසුවීමට  ද බැරි නැත. යුරෝපයෙහි යුද විරෝධී ජනතා බල මුලු ගැන්වීම් එහි පදනම් කරාම කම්පන තරංග ඇති කිරීමට ඉඩ තිබේ.

මැද පෙරදිග අස්ථාවර වීම බටහිරට භයානකය. එසේ වුහොත් අවසානයේ දී ඊශ්‍රායල ද නොනවතින යුද්ධයකට මුහුණ දෙනු ඇත.

 

muir67u67
මැද පෙරදිග අස්ථාවර වී පලස්තීන ජනයා රටක් නැති ජනතාවක් බවට පත් වුවහොත් රුසියාව සහ චීනයට සිය භූමිකාව ඉහළ නංවා ගැනීමට අවස්ථාව සළසා ගැනීමටද ඉඩ තිබේ.

ගාසාහි සාමය ඇති කිරීම බටහිර දේශපාලන න්‍යාය පත්‍රයේ ඉහළටම  පැමිණ තිබෙන්නේ විය හැකි මෙවැනි වර්ධනයන් නිසාය. දැන් ලෝකය සිටින්නේ තීරණාත්මක මොහොතක් අභියසය. එම මොහොත මේ අවස්ථාවෙහි බටහිරට වාසිදායක බවට පත්වෙමින් තිබේ.

sunanda deshapriya(සටහන | සුනන්ද දේශප්‍රිය)
Journalist, Writer and Human Rights Activist
sunandadeshapriya@gmail.com

Twitter: @sunandadesh
Editor: http://srilankabrief.org

(උපුටා ගැනීම - srilankabrief.org)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...