The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බහුබූත කෝලමා සහ කවට අන්දරේ | තිලක් සේනාසිංහ

T

The Leader Desk

October 11, 2025 • 5:35 AM

බහුබූත කෝලමා සහ කවට අන්දරේ | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නාඩගම්, සොකරි, කෝලම් සමඟ කියැවෙන ගැමි නාටක විශේෂයක් වුවත්, නාඩගම් එම ගැමි නාටක කලාවන් දෙකටම වඩා රංග ශෛලිය අතින් ද, නාට්‍යමය ලක්ෂණ අතින් ද දියුණු බවක් පළ කරන නාටක විශේෂයකි.
  • “ආයුබෝවන් සබේ මහතුන්ටා බොහෝ මා කාලෙකින් ආවේ දැකගන්ටා” ආදී වශයෙන් ඇරඹෙන එහි පද පෙළ බොහෝ විට හාස්‍යය හා ඇතැම් විට ලිංගිකත්වය ද ව්‍යංගයෙන් ගැබ්ව තිබේ.
  • පසුව ඒ සම්බන්ධයෙන් කළ විමසුමක දී අනාවරණය වූයේ එය නාඩගමක බහුබූත කෝලමා ගැයූ සින්දුවක් බවකි.
  • නමුත් හේනේ මාමා සහ වෙල්ලාව යන රජක වෘත්තිය හා සම්බන්ධ වදන් ඊට එක් වීම මත, එය අතීතයේ සිදු වූ රසවත් ඕපාදූපයක් සින්දුවක මාධ්‍යයෙන් රසිකයා හමුවට ගෙන ඒමක් බව මට වැටහිණ.
අකුරු ප්‍රමාණය (Font Size):


නාඩගම්, සොකරි, කෝලම් සමඟ කියැවෙන ගැමි නාටක විශේෂයක් වුවත්, නාඩගම් එම ගැමි නාටක කලාවන් දෙකටම වඩා රංග ශෛලිය අතින් ද, නාට්‍යමය ලක්ෂණ අතින් ද දියුණු බවක් පළ කරන නාටක විශේෂයකි. සොකරි, කෝලම් වැනි ජන රංගන මෙන් නොව පිටපතක් සහිතව රඟ දැක්වුණු නාඩගම ලංකාවේ උතුරු හා දකුණු මුහුදුබඩ පළාත්වල පැතිර ගිය අතර, වෙන්නප්පුව, හලාවත, මීගමුව, මාතර, තංගල්ල, හික්කඩුව, බළපිටිය ආදී ප්‍රදේශවල ව්‍යාප්ත වුවද, කන්ද උඩරට රාජධානිය තුළ නාඩගම් දක්නට නොමැති වීම ද විශේෂත්වයකි.

නාඩගම් නිසා අපට හිමි වූ සංස්කෘතික දායාදයන් බොහොමයකි. ගී තනු, ගී පද මාලා, තාල රටා, පද, වාද්‍ය භාණ්ඩ, ගායන වාදන ශෛලීන් ආදී අංග කැටි වූ නාඩගම් සංගීතය ඉන් ප්‍රධානය. රැඟුම් ආරම්භ වන්නේ ‘පොතේ ගුරු’ ගේ ප්‍රාරම්භක ගීතය ගායනා කිරීමෙනි. නළුවන් එකිනෙකා ඉදිරිපත් කෙරෙනුයේ ඉන් අනතුරුව ය. පළමුව බහුබූතයා වේදිකාවට එයි.

 

nadagam potheguru

මෙම නාඩගම්වලට සැබෑ ජීවයක් ලැබෙන්නේ, බහුබූතයා, බහුබූත කෝලමා, කෝනංගි ආදී නම්වලින් හඳුන්වන නාඩගමේ එන මුල්ම චරිතය කියා නටන ගීතයෙනි. මෙය ‘සින්දුව’ යනුවෙන් හැඳින්වීම ද විශේෂත්වයකි. අමුතුම තාලයේ විකට ඇඳුමකින් සැරසුණු බහුබූත කෝලමා “නන්නාන නානෙන” යනුවෙන් අරඹමින් විකාර රූපී නර්තනයක් සමඟ ගයන මෙම සින්දුව සෑම නාඩගමකටම පොදු වූවකි. එමෙන්ම එය රසිකයා තුළ විශේෂ ආහ්ලාදයක් ජනිත කරවන්නකි. මෙහි තනුව සමාන වුවත් එහි පද මාලාව නාඩගමකින් නාඩගමකට වෙනස් ය.


“ආයුබෝවන් සබේ මහතුන්ටා
බොහෝ මා කාලෙකින් ආවේ දැකගන්ටා”

ආදී වශයෙන් ඇරඹෙන එහි පද පෙළ බොහෝ විට හාස්‍යය හා ඇතැම් විට ලිංගිකත්වය ද ව්‍යංගයෙන් ගැබ්ව තිබේ. ඒ සමඟම කිනම් හෝ සමාජමය පණිවිඩයක් දීම ද ඉන් බොහෝ විට සිදු වේ.

 

lenchina 5

මීට කලකට ඉහත මිරිස්සේ වෙරළබඩ පැවැති සුහද සාදයක දී එම ප්‍රදේශයේ හිතවතකු “පිං හේනෙ මාමගේ සුකොමළියා-සයියාගේ වෙල්ලාව යට හිටියා” යනුවෙන් ඇරඹෙන අමුතු පද වැලක් සහිත ගීතයක් ගයනු මම අසා සිටියෙමි. පසුව ඒ සම්බන්ධයෙන් කළ විමසුමක දී අනාවරණය වූයේ එය නාඩගමක බහුබූත කෝලමා ගැයූ සින්දුවක් බවකි. නමුත් හේනේ මාමා සහ වෙල්ලාව යන රජක වෘත්තිය හා සම්බන්ධ වදන් ඊට එක් වීම මත, එය අතීතයේ සිදු වූ රසවත් ඕපාදූපයක් සින්දුවක මාධ්‍යයෙන් රසිකයා හමුවට ගෙන ඒමක් බව මට වැටහිණ. එහි දී මට එක්වරම සිහි වූයේ ජසයා සහ ලෙන්චිනා කෝලමේ එන අනුරාගී ලෙන්චිනා ය.

බහුබූතයා, බහුබූත කෝලමා, කෝනංගි ආදී නම්වලින් හඳුන්වන කවටයා හෝ විකටයා අපට පමණක් සීමා වූවෙක් නොවේ. ඔහු ලොව පැරණි ශිෂ්ටාචාරවල රාජ සභා සහ උසාවි කවටයා, විකටයා ලෙස ද හැඳින්වෙන ශිල්පියෙකි. Jester යනු ඒ කවටයා හැඳින්වෙන පොදු නාමයයි. රාජ සභාවක හෝ අමුත්තන්ට සංග්‍රහ කිරීම සඳහා තබා ඇති වංශාධිපති මැදුරක බොහෝ විට පළමුව අමුත්තන් හමුවට එන්නෝ මොව්හු ය. එමඟින් අමුත්තන්ගේ සිත් තුළ පවත්නා නොපහන් හැඟීම්, ආවේග දුරු කොට එම රජවරුන් හා වංශාධිපතීන් කෙරෙහි අමුත්තන් තුළ පවත්නා නොපහන් සිතුවිලි හා හැඟීම්, ආවේග සමනය කරවීම මොවුන්ගේ ප්‍රධාන කාරිය වූ බව පෙනෙයි.

kawata andare

එය එක්තරා අන්දමක භාව විරේචනයක් වූ බව ද පැහැදිලි ය. එහි දී ඔවුනට ඒ අමුත්තන් හමුවේ තම හාම්පුතුන් හාස්‍යයට ලක් කිරීමේ අවසරයක් ඇත. විශේෂයෙන් එම මැදුරේ මහේෂිකාව හෝ කුලවමිය ඔවුන්ගේ සරල උපහාසයට ලක් ව තිබේ. ඒ මඟින් එම මැදුරට පැමිණෙන අමුත්තන් වංශාධිපතීන් සමඟ අතිශය ප්‍රසන්නශීලී හමුවකට ඉඩ පෑදෙන බව නොරහසකි.මෙම කවටයන් පොළවල් සහ නගර වෙළෙඳපොළවල ද පොදු ජනතාවට විනෝදාස්වාදය ලබා දුන් සංචාරක රංගන ශිල්පීන් ද වූ අතර, ඓතිහාසික තේමාවන් සහිත සිදුවීම්වල සිට සමකාලීන සිදුවීම් තෙක් මොවුන්ගේ උපහාසයට ලක් ව තිබේ. පුරාණ රෝමය, චීනය, පර්සියාව සහ ඇස්ටෙක් අධිරාජ්‍යය ඇතුළුව ලොව පුරා දියුණු ශිෂ්ටාචාරවල මෙම කවටයන් මාදිලියේ චරිත බහුලව දක්නට ලැබුණි. පශ්චාත් සම්භාව්‍ය සහ පුනරුද යුගයන්හි දී, මොවුන් බොහෝ විට දීප්තිමත් වර්ණ ඇඳුම් සහ විකාර රටාවකින් යුතු හිස්වැසුම් පැලඳ සිටි බව පැවසේ. ‘තොප්පිය සහ සීනුව’ (Cap and Bell) යනුවෙන් හැඳින්වෙන මෙම හිස්වැසුම ‘මෝඩ තොප්පිය’ (Fool Hat) ලෙස ද ප්‍රකට ය.

විවිධාකාර කුසලතාවන්ගෙන් සපිරි මෙම කවටයන් විවිධාකාර ලෙසින් රසිකයන් විනෝදමත් කොට තිබේ. ඔවුන් අතර ප්‍රධාන වූයේ ගීත, සංගීතය සහ ඕපාදූප ගණයේ සරල කතන්දර කීමයි. නමුත් බොහෝ දෙනෙක් පිනුම් ගැසීම හා බෝල හෝ මුදු වැඩි ප්‍රමාණයක් එක්වර උඩ දැමීම සිදු කොට තිබේ. ඒ අතර මැජික් උපක්‍රම ද භාවිතා කළ මොවුන් විසින් විනෝදාස්වාදයෙන් සපිරි හැසිරීම් සහිතව විකට ශෛලියකින් ගායන හා රංගන සිදු කරන ලදී.

 අප රටේ කරළියට ආ නාඩගම්වලින් මතු වූ බහුබූතයා, බහුබූත කෝලමා, කෝනංගි ආදී නම්වලින් හඳුන්වන මෙම චරිතය මෙරට සර්කස් කණ්ඩායම්වල සිටි බවත්, මීට වසර කිහිපයකට පෙර අප රටේ සාරවිට වෙළෙඳුන් පවා මේ ඇඳුම් සැරසී සිටි බවත් අපට මතක ය. එමෙන්ම අප ජන සංස්කෘතිය හා විකල්ප ලෙසින් සම්බන්ධ වන බූරුවා කුට්ටමේ “ජෝකර්” ලෙසින් පෙනී සිටින්නේ ද මෙම හාදයාම බව කිව යුතු ය. ලොව පුරා මැජික් ශිල්පීහු ද මේ ඇඳුම භාවිත කරති.

 

joker

ඉහත සඳහන් ප්‍රභූ සමාජයේ කවටයා සිහිගන්වමින් සිංහල රාජ වංශයෙන් මතු වන රජවාසල කවටයකු පිළිබඳව ද මෙහි දී අපට සිහිපත් වේ. එනම් රජවාසල කවට අන්දරේ ය. රාජාධිරාජසිංහ රජ සමයේ (වර්ෂ 1782-1798) රජවාසල කවටයා ලෙසින් හඳුන්වනු ලැබූ අන්දරේ සම්බන්ධ රසවත් කතා පුවත් සිය ගණනක් වර්තමානයට ශේෂ වී තිබේ. ඒවා මුල් කොට විවිධ සාහිත්‍ය ග්‍රන්ථ සහ සිනමා සහ නාට්‍ය නිර්මාණ ද බිහි වී තිබේ. එහෙත්, සිංහල රාජ වංශයේ කිසිදු අවස්ථාවක ‘රජවාසල කවටයා’ නම් නිලයක් හෝ තනතුරක් තිබිණි ද යන්න ඓතිහාසික වශයෙන් විමසීමේ දී පෙනී යන්නේ ලක් ඉතිහාසයෙන් එවැනි චරිතයක් වාර්තා වන මුල්ම වතාව එය බව ය. ඒ අනුව රජවාසල තුළ කෝලමකු, බහුබූතයකු ලෙස පෙනී නොසිටිය ද, අන්දරේගෙන් ඒ භූමිකාව එපරිද්දෙන්ම ඉටු වූ බවක් පෙනෙයි.

අන්දරේ පිළිබඳ පිළිගත හැකි තොරතුරු අනුව ඔහු මාතර දිස්ත්‍රික්කයේ දෙවුන්දර, කිරලවැල්ලේ ගුරුන්නැහේගේ වත්ත නම් ප්‍රදේශයේ උපත ලැබූවෙකි. සියලු ජනප්‍රවාදවලට අනුව අන්දරේගේ පියා ඉමාන් විල්හෙම් ෆැල්ක් (වර්ෂ 1762-1785) ඕලන්ද ආණ්ඩුකාරයා වෙතින් පවා පදවි තානාන්තර ලැබූ එවක සමාජයේ සිටි උගත් ප්‍රභූවරයෙකි. ලන්දේසි, පෘතුගීසි ආදී අපරදිග භාෂාවන් සේම සිංහල, දෙමළ, පාලි, සංස්කෘත ආදී පෙරදිග භාෂාවලත් නිපුණත්වයකින් හෙබි උගතකු වූ ඔහු එවක ඕලන්ද රජයෙන් හිමි වන ‘පල්ලියේ ගරු’ තනතුරකින් ද පිදුම් ලැබූවෙකි. එනිසාම ඔහු කිරලවැල්ලේ ගුරුන්නාන්සේ නමින් ප්‍රකට වූ බවද පැවැසෙයි.

කිරලවැල්ලේ ගුරුන්නාන්සේ තම එකම පුතණුවන් හට එවක පෘතුගීසි ජාතිකයන් විසින් බහුලවම යොදාගත් ‘ආන්ද්‍රේ’ යන නම යොදන ලද්දේ ඔහු පෘතුගීසි පාලන සමය තුළ උපත ලැබූ නිසා විය හැක. තම ආගමික, සංස්කෘතික විශ්වාසවලට අවනත වන්නවුන් හට විවිධ සමාජ, ආර්ථික වරප්‍රසාද හිමිකර දීමට යටත් විජිත පාලකයෝ විශේෂ උනන්දුවක් පළ කළහ. ‘ආන්ද්‍රේ’ යන්න ඉංග්‍රීසි බසෙහි වර නැගෙන්නේ ‘ඇන්ඩෲ’ යනුවෙනි. තම පියා සමාජ සම්මත උගතකු හා ප්‍රභූවරයකු වුව, තම ළමා වියේ සිට සාම්ප්‍රදායික අධ්‍යාපනය ප්‍රතික්ෂේප කළ අන්දරේ විශිෂ්ට නිර්මාණාත්මක හා පරිකල්පනමය හැකියාවෙන් සපිරි කවිකාර තරුණයකු වූ බව පෙනේ.

andare

ඒ අනුව කන්ද උඩරට රජතුමාට වන්දි භට්ටයන් විසින් ප්‍රශස්ති ගැයූ කවිකාර මඩුවට සෞන්දර්යාත්මක, විනෝදාත්මක සේම ජනතාවාදී ස්වරූපයක් ලබාදීම රාජාධිරාජසිංහ රජු විසින් සිදුකරන ලද නිහඬ විප්ලවයකි. කන්ද උඩරට රාජ්‍යයේ ඔඩු දුවා තිබූ කුලභේදය පිළිබඳව පවා තැකීමක් නොකළ ඔහුගේ කවිකාර මඩුවෙහි සිටි කවීන් අතර මුංකොටුවේ රාළ, කොත්මලේ සංගර නයිදේ, වඩුගොඩපිටිය නිලමෙ සහ ‘උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ’ යන අතිශය ජනප්‍රිය කවිය සහිත කැලණි හෑල්ල රචනා කළ තාඹුගල ලෝකුරු නයිදේ ද විය. ඔවුන් අතරේ අන්දරේට ද සුවිශේෂ තැනක් හිමිව තිබූ බව පෙනේ. එමෙන්ම ඉහත සඳහන් ප්‍රභූ කවටයන් මෙන් අන්දරේ ද ප්‍රසිද්ධියේම රජතුමා සේම මෙහෙසිය හාස්‍යයට, උපහාසයට ලක් කළ කතා පුවත් බොහොමයක් අදට ද ප්‍රකට ය. මෙය ලොව පුරා පැරණි ශිෂ්ටාචාරවල දක්නට ලැබෙන රාජකීය හා ප්‍රභූ කවටයාගේ භූමිකාව සිහිගන්වන්නකි.

නාඩගම් සම්බන්ධයෙන් අද දක්වාම ප්‍රබල සමාජ කතිකාවක් පවතින අතර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමන්, මහාචාර්ය එම්. එච්. ගුණතිලක, මහාචාර්ය ඩී. වී. හපුආරච්චි, ඩබ්ලිව්. ආතර් ද සිල්වා, මහාචාර්ය තිස්ස කාරියවසම් යන විද්වත්හු නාඩගම් ඉතිහාසය සම්බන්ධව විවිධ මත පළ කොට තිබේ. ඒ සම්බන්ධයෙන් මහාචාර්ය සරච්චන්ද්‍රගේ මතය වනුයේ මෙහි ආරම්භය දකුණු ඉන්දියානු ජන රංගනයක් වන ‘තෙරුක්කුත්තු’ බවකි. නමුත් එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමාණන් පවසනුයේ සිංහල නාඩගම මෙරටට ආ මිෂනාරි පූජකවරුන් ඉදිරිපත් කළ කතෝලික ජන වන්දනා රංග ඇසුරෙන් ප්‍රභවය වූ බවයි.

 

nadagama

 ‘රජ තුන් කට්ටුව‘ පළමුවැනි සිංහල නාඩගමට කතෝලික ප්‍රවාදයක් අන්තර්ගත වීම ඊට හේතුව ලෙස එතුමෝ කියති. එමෙන්ම පෘතුගීසි බස පිළිබඳව එකම ප්‍රමාණික පඬිවරයා වූ මහාචාර්ය එම්. එච්. ගුණතිලක, අප රටේ ප්‍රචලිත වූ ඇතැම් නාඩගම්වලට පෘතුගීසි පුරාණෝක්ති පදනම් වූ අයුරු පෙන්වා දී තිබේ. එමෙන්ම ඔහු තම ආචාර්ය උපාධි නිබන්ධය සඳහා සිංහල නාඩගම් විෂය පථය තෝරාගෙන තිබීම මත අප රටේ නාඩගම් හා පෘතුගීසි සබඳතා පිළිබඳ තර්කය පහසුවෙන් බිඳලිය නොහැක.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් අප ඉදිරිපත් කරන අතුරු තර්කයක් තිබේ. එනම්, අන්දරේ හෙබ වූ ශ්‍රී ලංකාවේ එකම රජවාසල කවට භූමිකාව, නාඩගම්වල එන බහුබූතයාගේ කෙසේ වෙතත්, ඊට පදනම් වූ ලොව පුරා පැවැති රාජකීය කවට භූමිකාව හා කිසි ලෙසකින් සම්බන්ධ විය නොහැකි ද යන්න ය.


Thilak Senasinghe
(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...