The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බල්සාක් කැෆේ : ලකී කෙතරම් අන්ලකී ද?; 'මෙරු' ඇදෙන දිශාව නොහොත් මරු සිටින දිශාව - (මංජුල වෙඩිවර්ධන)

T

The Leader Desk

October 11, 2025 • 10:05 AM

බල්සාක් කැෆේ : ලකී කෙතරම් අන්ලකී ද?;  'මෙරු' ඇදෙන දිශාව නොහොත් මරු සිටින දිශාව - (මංජුල වෙඩිවර්ධන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ ලක්ෂ්මන් නිපුණආරච්චිද, මේ ලක්ෂ්මන් නිපුණආරච්චිද දෙදෙනෙක් නොවේ එක්කෙනෙකි.
  • අද, රූපවාහිනී දේශපාලන සටන් ජවනිකාවලදී මිත්‍රයන් අතර ලකියා ලෙසින් ඇමතෙන, ඇමතිකමක් හෝ උප ඇමතිකමක්වත් නොලද මෙම මලිමා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාව පෙනෙන්නේ නොහික්මුණු, වහා කිපෙන සුළු, මුරණ්ඩුකාරක, චන්ඩි පහේ ජෙප්පෙකු ලෙස ය.
  • සමකාලීන මාලිමා දේශපාලන මොහොතේ වඩා විශ්මප්‍රාප්ත ෆුල්ටයිමික ජෙප්පන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ වඩා සංකීර්ණ සංවාදයක් බවට පත්විය.
  • මෙකී අර්ථයෙන් ලකියා සිදු කර ඇත්තේ සැබෑම කැපකිරීමකි.
අකුරු ප්‍රමාණය (Font Size):


 ඔව්. ඒ ලක්ෂ්මන් නිපුණආරච්චිද, මේ ලක්ෂ්මන් නිපුණආරච්චිද දෙදෙනෙක් නොවේ එක්කෙනෙකි.

 අද, රූපවාහිනී දේශපාලන සටන් ජවනිකාවලදී මිත්‍රයන් අතර ලකියා ලෙසින් ඇමතෙන, ඇමතිකමක් හෝ උප ඇමතිකමක්වත් නොලද මෙම මලිමා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාව පෙනෙන්නේ නොහික්මුණු, වහා කිපෙන සුළු,  මුරණ්ඩුකාරක, චන්ඩි පහේ ජෙප්පෙකු ලෙස ය.  මෙසේ නිදහසේ දියත්වන ලකියාගේ මනෝභාවය  මනෝවිශ්ලේෂණීය ප්‍රවේශයකින් කියවා ගන්නට නොහැකි ද?

 

nipuna arachchi

 සමකාලීන මාලිමා දේශපාලන මොහොතේ වඩා විශ්මප්‍රාප්ත ෆුල්ටයිමික ජෙප්පන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ වඩා සංකීර්ණ සංවාදයක් බවට පත්විය. ආන්දෝලනාත්මක මුදල් හරි හම්බකරන්නකු වන වසන්ත සමරසිංහ කැබිනට් අමාත්‍යවරයාගේ ක්‍රිප්ටෝ කරන්සී ක්‍රියාන්විතයන්ගේ සිට, ප්‍රකට කටමැතකාර  නලීන් හේවගේ ෆුල්ටයිමිකයාගේ කොටහළු ආධායම් දක්වා විකාර වෙමින් තිබුණු පීඩිත පන්තියේ වත්කම් සහ බැරකම් ලක්ෂ්මන් නිපුණ ආරච්චිගේ ‘’කටුගෑමේ ඩික්ලෙයාර් කිරීම’’ හරහා ‘’කටුකෑමේ දේශපාලනය’’ වඩා සංකීර්ණ තලයකට එසැවිණ. සමස්ථ සමාජයම ලකියාගේ ඩික්ලෙයාරුකරණය හාස්‍යයෙන් බාරගත්තා මිස එමඟින් ඔහු ආණ්ඩුවට ඇටවූ කාල බෝම්බය සංකීර්ණව බාර ගත්තේ නැත.

 

 1994 දී නිශ්චිතෝම ජවිපෙ දේශපාලනය තෝරා ගත් ලකි නම් වූ මෙකී අන්ලකී ජෙප්පාගේ දේශපාලන ජීවිතය, දැන් දශක තුනක් ඉක්මවාලූ පැරණි එකකි. නවසිය හැටපහේ ඉපදුණු ලකියා, සිය ජීවිතයෙන් මුළුමනින්ම අඩක් ෆුල්ටයිමීකරණ කැපකිරීමට නතු කළ මිනිසෙකි.  රාජ්‍ය යන්ත්‍රයේ පොල්මංකරුවන් සේ දඟලමින් සිටින ඇප්ප්‍රැන්ටිස් චරිතවලට සාපේක්ෂව ලකියා අතිශය ජ්‍යේෂ්ටයෙකි. ඉදින් එය සැලකිය යුතු කැපකිරීමකි.

කැප කිරීම යනු අප අනුදත් දේශපාලනයට අනුව යහපත් සමාජමය  පරමාර්ථයන් උදෙසා පෞද්ගලික සැපත හා ප්‍රතිලාභ අත්හැරීමක් වන්නේ ය. මෙකී අර්ථයෙන් ලකියා සිදු කර ඇත්තේ සැබෑම කැපකිරීමකි.  ඔහුගේ මේ ඩික්ලෙයාරුකාර කැරැල්ලේ මූලය ඇත්තේ එතැන ය. තමන්ගේ කලා ජීවිතයද, තමන් එතෙක් ගොඩනංවාගෙන ආ වෘත්තිමය ජීවිතය හෙවත් දියුණුවට පත්වෙමින් තිබූ ව්‍යාපාරික හිමිකාරීත්වය ද, මුළුමනින්ම අතැර "ෆුල් ටයිමරයකු" වැ පැමිණි සහෝදරයෙකු, දශක තුනකට පසු තමා අවට බඩ බැඳගෙන සිටි සිටින සහෝදරයන් විසින් රවට්ටනු ලැබ ඇති බව ස්වයං අවබෝධයට පත්වූ විට කැරලි නොගසා කොහොමද? ලකියා මේ ගසන්නේ අභ්‍යන්තර කැරැල්ලකි. එක් අතකින් එය මරාගෙන මැරෙන ප්‍රහාරයකි.

 ඉකුත් සැප්තැම්බර් 30වැනිදා සිරස සටනේ දී සම්මානනීය මාධ්‍යවේදිනියක වන ඔමායා කෝවිලගොඩගේ ලකියාගේ වත්කම් බැරකම් ප්‍රකාශය ප්‍රශ්න කරන්නී ය.

omayaඔමායා කෝවිලගොඩ‘’ලක්ෂ්මන් නිපුණ ආරච්චි මන්ත්‍රීතුමාගේ වත්කම් බැරකම් ප්‍රකාශය අපි අරගෙන බැලුවම, මේක ඕන කෙනෙකු ගූගල් සර්ච් කරලා බලන්න පුළුවන්...,’’ ලෙසින් ඇය  ප්‍රශ්නය අසනු අරඹන දෙස ඔහු බලා සිටින්නේ සාකැස්ටික සිහවකනි.  ඒ සිනහවෙන් වර නැඟෙන්නේ කැළඹීමක්ද, තිගැස්මක් ද, භීතියයක්ද, ලජ්ජාවක් ද, හීනමානයක්ද, ඔය මළ ඉළව මොනම හැඟීමක්වත් ඔහු තුළ නැති සෙයකි.

 

ඔමායාවී මෙසේ ලැයිස්තුව වහරන්නී ය.’’නිවාසවලට ඉරක්. වාහනවලට ඉරක්. වතුපිටිවලට ඉරක්. වැටුප්වලට ඉරක්. මාසික ආධායමක් නෑ- ඉරක්. මන්ත්‍රීතුමා එහෙම කරන්න බෑනෙ ඉතින්. මං  අහන්නෙ වත්කම් බැරකම් නීතියට අනුව අනිවාර්යෙන්ම තියෙන්න ඕනි නිවැරදි තොරතුරු .’’

 ලකී මෙසේ කියයි. ‘’මට නැති දේවල් බෑනෙ’’

 ‘’නැති දේවල් දාන්න බෑ කියන තැන ඉඳලා ඔබ ඉදිරිපත් කරත්, ඒ ඔක්කොම කටු ගාලා දැම්මත්....’’ පැකිළෙනසුළු ප්‍රශ්න කිරීම ය.

 

assets 250705

 ඔහු එවිට කියන්නට හදන්නේ ‘’හැමදාම...’’ ඩික්ලෙයා කළේ මෙලෙසින්ම යන්න ය. ඔහු කැස්බෑවේ ප්‍රාදේශීය සභාවේද, බස්නාහිර පළාත් සභාවේ ද, පාර්ලිමේන්තුවේ ද, සිටි අද්දැකීම් ද බහුල මන්ත්‍රී චරිතයකි.  නමුත් එය කියන්නට ලැබෙන්නේ නැත. ඊට උඩින් ඔමායා ‘එතකොට....මුකුත් නැද්ද ජීවත් වෙන්න’’ යැයි අසයි.

 එවිට ඔහු දෙන පිළිතුර අතිශය වේදනාබර එකකි. එය ගැඹුරින් සලකා බලන්නේ නම්, විහිළුවට, හාස්‍යයට කරුණක් නොවේ. එය  ආණ්ඩුවට, විපක්ෂයට, අල්ලස් කොමිසමට පමණක් නොවේ ප්‍රශ්න අසන සිරසට පවා ඔරොත්තු නොදෙන සංකීර්ණ උත්තරයකි.

 ‘’නැත්නං ඉතිං මොනවා කරන්නද?’’

 එය කියන ලක්ෂ්මන්ගේ මුහුණේ හැඟුම් සමුදාය විමසන්නැයි මම ඔබට ඇරියුම් කරමි. වචන පිටවෙන, දෙකොපුල් නැටවෙන රිද්මය බලන්න.

 



 ප්‍රශ්නය ඌණපූරණය කර ගැනීමට ඔමායා තතනන විට ලකී මෙලෙස තිරසාරව  පවසයි.  ඔහුගේ අමුතුම මුරණ්ඩුකාර තිරසාර තානයෙනි.  ‘’මට අමුතුවෙන් ඕක හංගන්න දෙයක් නෑනෙ. මොකද්ද මං හංගන්නෙ. මගේ තියෙන දේවල් මං දාලා තියෙනවා.’’

 එවිට මාධ්‍යවේදී ගෝෂාව නැඟැ එයි. අවම වශයෙන් වැටුප හෝ ඩික්ලෙයාර් නොකිරීම ගැන සියල්ලන්ටම පුදුම ය.

 එවිට ලකී මෙසේ පවසන්නට ගනියි.

 ‘’ඇත්තටම පොදුවේ අපි ඉදිරිපත් කළාට, මටත් තියෙනවනෙ පෞද්ගලිකත්වයක්,. මම...වත්කම් බැරකම් ප්‍රකාශය ඉදිරපත් කරලා තියෙනවා. ‘’

අවසානයේ ඔහු අවධාරණයෙන් පවසන්නේ තමන් ඉදිරිපත් කර ඇති කරුණු සාවද්‍යය නම්, අල්ලස් හා දූෂණ කොමිසමට හෝ අවශ්‍ය ඕනෑම කෙනෙකුට ඒ පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට බාධාවක් නැති බවයි.  ලකියාගේ වත්කම් බැරකම් ප්‍රකාශනය විමර්ශනයට නීත්‍යානුකූල ප්‍රවේශයක් අරගන්නට සිදුවෙන පළමු මොහොතේම සෙු සියල්ලටද එය එසේම සිදු කිරීමට සිදුවීම වළක්වන්නට බැරි ය. එය, ලකියාගේ විරෝධය තුළ වර නැඟෙන එක් සුවිශේෂ සලකුණු කිරීමකි.

 කිසිවෙක් තවමත් ප්‍රශ්න කර නැති ලක්ෂ්මන් නිපුණ ආරච්චි මන්ත්‍රීවරයා මෙසේ තිරසාරව පවසන කතාවේ පසුබිම පමණක් සැකෙවින් ලියා තබන්නට අනවසරයෙන්ම වචන ගොනු කරන්නෙමි.   

ලකියා පිළියන්දල ය. මා රත්මලානේ ය. ළඟ ළඟ ය. මම ද,  ද ලකියා මෙන්ම  මේ නගර දෙක යා කරන, ප්‍රධාන පාර මෙන්ම, අතුරු පාරවල්, හොර පාරවල් ආදී හැම පාරකම කරක් ගසා ඇත්තෙක්මි. මම ද ඔහු මෙන්ම තරුණ සේවා සභා පරිශ්‍රයේ නාට්ටිකාර සනුහරය සමඟ කප්පරක් වාරයක් කරක් ගසා ඇත්තෙක්මි.  ඔහු අනුදත්, පිළියන්දළ සෙන්ට්‍රලීය නාට්‍යක්කාර සනුහරයේ බහුතරයක් මා දන්නා මිත්‍රයන් ය.  ඔහුගේ දේශපාලන මිත්‍රයන් මෙන්ම පෞද්ගලික මිත්‍රයන් රාශියක් සමඟ මගේ ද එයාකාරම මිත්‍රත්වයන් පවතී. ඉදින් බොහෝ මාධ්‍යකාරයන්ට වඩා  ලකියාගේ ජීවන විකාශනය  ගැන මා දන්නා ප්‍රමාණය වැඩි ය.  එබැවින් ඔහුගේ වත්කම් බැරකම් බෝම්බයේ යථාර්ථය මට අබිමුක වන්නේ වෙන ම පරාසයක ය.

lakshman

පීඩිතභාවය ජීවිතයේ කොටසක් වූ ලකියා සිවුදෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමලා ය. ආණ්ඩුවේ නිවාස කළාපයක නිවැසි නිපුණ ආරච්චි සනුහරයේ මූලිකයා- ලකියාගේ තාත්තා -  ජීවිතයෙන් සමුගන්නේ දෛනික ජීවන අරගලයේ අහඹු අනතුරකිනි. උසස්පෙළින් ඉගැනුම හමාර කෙරුමට ජීවිතය විසින් ලකියාට බල කෙරුණි. පියෙකු අහිමි වූ පවුලක බර එන්නේ වැඩිමහල් දරුවාගේ කරට ය.

 පිළියන්දල පළාතේ සුප්‍රකට ම පැණිබීම ඒජන්සියේ වෙළෙඳ නියෝජිතයකුගේ සිට පළාත් කලමනාකාරවරකු දක්වා ඔහු ඔසවා තැබුණේ තමන්ගේ  රස්සාව වෙනුවෙන් සිදුකළ කැපවීම ය. ලකී තමන්ගේම කියා කුඩා ව්‍යාපාරයක් අරඹන්නේ දීර්ග කාලයක් ලද අද්දැකීම්වලින් ද, ඒ තාක් ගොඩනඟාගෙන තිබි ව්‍යාපාරික  සම්බන්දතාද හේතුවෙන් ය. ලකීගේ ඉපැරණිම මිත්‍රයන්ට අනුව ඔහු ජවිපෙ ෆුල්ටයිමරයකු නොවුණා නම් අද වන විට ඔහු එක්කෝ බරපතළ ම නාට්‍යකරුවෙකි. නැත්නම් මහා ව්‍යාපාරිකයෙකි.

 තිස්වසරක දේශපාලන ජීවිතයෙන් කිසිවක්ම හරි හම්බ කර නොගත්,  දියුණුවෙන් දියුණුවට පැමිණෙමින් තිබූ ව්‍යාපාර සියල්ල, ෆුල්ටයිම්කාර දේශපාලන ජීවිතය වෙනුවෙන් අත්හැර දැමූ, නිල වශයෙන් ලද වැටුප් පවා සහමුළින්ම දේශපාලන ව්‍යාපාරයේ ආර්ථික ස්ථුලතාව වෙනුවෙන් කැප කළ, එ බැවින්ම දෝ,  ජීවත්ව සිටි එකම නිවස පවා උගස්කරන්නට සිදුවූ, එය බේරා ගන්නට බැරි වූ, දේශපාලනයේ ජ්‍යෙෂ්ටත්වය මත, ලැබිය යුතු තනතුරු වගකීම් සහමුලින්ම කප්පාදු කරන ලද, ඒත් තවමත් තමන්ගේ දේශපාලන ඉතිහාසය සහ ‍උරුමය වෙනුවෙන් පෙනී සිටිනා,  කලාකාර හදවතක උරුමයක් සහිත, ගේම්කාර දෙබිඩි ජීවිතයක් නැති වමේ උරුමය ලත් මිනිසකුගේ වත්කම් බැරකම් ප්‍රකාශය කවරාකාර වේදැයි ලකී මා ඔබෙන් ඇසුව හොත් ඔබ කුමක් පවසන්නේ ද?

 එවන් මන්ත්‍රිකාර මිනිසෙකු නියෝජනය කරන්නේ කෝටිපති ව්‍යාපාරිකයක් සිටින පක්ෂයක් වුව,  එකී මන්ත්‍රිකාර මිනිසා ගේ වත්කම් බැරකම් ප්‍රකාශයක් කටුගා තිබෙනු මිස අන්කවරාකාර වේදැයි ලකී මා ඔබෙන් ඇසුවහොත් ඔබ දෙන පිළිතුර කුමක්ද?

 සිරස සටනේදී වේදනාබරව වුව පුපුරුවා හැරියේ බෝම්බයක් බව මා පවසන විට ලකී ඔබ පවසන්නේ කුමක්ද?

pijama dramaපිජාමා වේදිකා නාට්‍යය

 1988 දී ‘මෙරු’ මුදා හැරියා වූ ද , සමකාලීන මොහොතේ ‘පිජාම’ නමින් දුවන නාට්‍යයේ මැවුම්කරු වූ ද ලකියා වත්මන් ආණ්ඩුවේ සංස්කෘතික ඇමතිවරයා නොවේ. ඔහු කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සාමාජිකයකු පමණි.

මාධ්‍යකරුවෙකු ලෙස ඔහුට කතා කර මෙය ලිවීමට අවකාශ තිබුණත්, මා හිතාමතාම එය අතහැරියේ මෙකී දේශපාලන සංසිද්ධිය විශ්ලේෂණය කිරීමේ පරම නිදහස මා තුළම රඳවා ගන්නටය.

 එබැවින් ඒ ගැන කතා කරන්නටත්, ලියන්නටත්, වරදක් ඇතොත් නිවැරදි කරන්නටත්, නිවරදක් ම දුටුවොත් එය විකාශය කරන්නටත්,  "පිජාමා"  නාට්‍යකරුවාට ඉඩ හසර තිබේ.

 ‘මෙරු’ කැටුව පැමිණි ඒ රමනීය ස්ලෝගනය යළි එක් වරක් අප මිත්‍ර නාට්‍යයක්කාර ලකියා නොහොත් ලක්ෂ්මන් නිපුණ ආරච්චි සහෝදරයාගේ සන්තානය අවුළුවනු පිණිස මෙසේ ලියා තබමි.

 ‘’’එතුමලා කිව්වෙ අපිට ඔටුණු පළන්දනවා කියලා. කවුද හිතුවේ අපේ හිස ගසා දමයි කියලා’’


Manjula wediwardhana
(සටහන | මංජුල වෙඩිවර්ධන)
Journalist/Writer

mwediwardena@gmail.com
http://www.jdslanka.org/


(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බල්සාක් කැෆේ : ලකී කෙතරම් අන්ලකී ද?; 'මෙරු' ඇදෙන දිශාව නොහොත් මරු සිටින දිශාව - (මංජුල වෙඩිවර්ධන) | The Leader