The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දරුවන්ට ශාරීරික දඬුවම්දීම වැරදියි - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

T

The Leader Desk

October 12, 2025 • 11:09 AM

දරුවන්ට ශාරීරික දඬුවම්දීම වැරදියි - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමාජයේ මේ කතිකාවතට හේතු වී තිබෙන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මේ වන විට මෙය දෙවරක් කියවා අවසාන කර ඇති දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පිළිබඳ කෙටුම්පතයි.
  • වෘත්තීය සමිති නායකයින් හා ඇතැම් විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ද පාසලක විනය පවත්වා ගැනීමට මෙමගින් බාධා පැමිණේ යයි යන සැකය නිසා මේ ගැන බියවී ඇති බව පෙනේ.
  • නිදසුනක් ලෙස පාසල් ගුරුවරයෙක් කනට කරාබුවක් දමාගෙන පාසලට එන්නේයැයි සිතමු.
  • නමුත් කරාබුව ගලවා දමන ලෙස පවසා එම ගුරුවරයාට පවසා පහරදීමට අයිතියක් විදුහල්පතිවරයාට නැත.
අකුරු ප්‍රමාණය (Font Size):


සමාජයේ මේ කතිකාවතට හේතු වී තිබෙන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මේ වන විට මෙය දෙවරක් කියවා අවසාන කර ඇති දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පිළිබඳ කෙටුම්පතයි. වෘත්තීය සමිති නායකයින් හා ඇතැම් විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ද පාසලක විනය පවත්වා ගැනීමට මෙමගින් බාධා පැමිණේ යයි යන සැකය නිසා මේ ගැන බියවී ඇති බව පෙනේ. දරුවන් යනු හඬක් නැති, ඡන්ද බලයක්  නැති පිරිසකි. ඒ නිසා ඒ අය වෙනුවෙන් කතා කරන්නට යම්කිසි පිරිසක් ඉදිරිපත් විය යුතුය.


 
වැඩිහිටියෙකුට පහරදීම වරදක් නම් දරුවෙකුට පහරදීම වරදක් නොවේද?

දණ්ඩ නීති සංග්‍රහයට අනුව වැඩිහිටියකු, තවත් වැඩිහිටියකුට පහර දීම වරදකි. නිදසුනක් ලෙස පාසල් ගුරුවරයෙක් කනට කරාබුවක් දමාගෙන පාසලට එන්නේයැයි සිතමු. මෙය පාසල් ගුරුවරයකු සම්බන්ධයෙන් පිළිගත් සාම්ප්‍රදායික තත්ත්වයට වඩා වෙනස් ආකාරයක දෙයකි. නමුත් කරාබුව ගලවා දමන ලෙස පවසා එම ගුරුවරයාට පවසා පහරදීමට අයිතියක් විදුහල්පතිවරයාට නැත. එසේ පහර දුනහොත් ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරයා ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ගයකට අවතීර්ණවීමට ගුරුවරයාට හැකියාව තිබේ. එසේ නම් පාසලේ ශිෂ්‍යයෙකු එම වරදම කළොත් ඒ දරුවාට පහරදීමට විදුහල්පතිවරයාට පුළුවන්ද? මගේ පළමුවෙනි තර්කය වන්නේ ගුරුවරයාගේ ඒ වරදට පහරදිය නොහැකි නම්, ඒ වරදම කළ  දරුවාට පහරදීම වැරදියැයි යන්නයි.

මේ ගෙනත් තිබෙන සංශෝධනය දැනටමත් දණ්ඩ නීති සංග්‍රහයේ සාමාන්‍ය පුරවැසියන්ට තිබෙන අපරාධ නීතියෙහි දඬුවම් ක්‍රමයේ වැඩිහිටියන්ට සේම දරුවන්ට ද අදාළ ව පවතින්නකි. මෙහි කිසිවක් වෙනස් කර නැත. මෙම සංශෝධනය ගෙනැවිත් තිබෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 19 වෙනි අධිකාරියට ය. එහි පැහැදිලිව දක්වා ඇති විස්තරය සරල ලෙස පැවසුවහොත්, කෙනෙකු කෝටුවක් ගෙන "මම නුඹට ගහනවා" යැයි කිව්වත් එය පහර දීම  හා සමාන වරදක් ලෙසට සැලකේ.

මෙය දණ්ඩ නීති සංග්‍රහයේ චිරාත් කාලයක් තුළ පැවති දෙයකි. මේ නව සංශෝධනයෙන් කර ඇත්තේ  දණ්ඩ නීති සංග්‍රහයේ මේ  වනවිටත් තිබෙන අපරාධ වරදවල් දරුවන්ටත් අදාළ බව නැවත ප්‍රකාශ කිරීම  පමණි.  රටේ තිබෙන පොදු නීතිය දරුවන්ටත් අදාළ විය යුතුය. වැඩිහිටියෙකුට පහර දිය නොහැකි නම් දරුවකුට ද පහර දිය නොහැකි විය යුතුය. දරුවාද  මනුෂ්‍යයෙකි. මේ රටේ පුරවැසියෙකි.

වැඩෙන මනසට ඇතිකරන බලපෑම

45675ybh
රටක සාමාජීය ප්‍රචණ්ඩකාරීත්වය වැඩිකරන ප්‍රධානම කරුනක් නම් දරුවන්ට පහරදීමයි. දරුවා යනු වැඩෙන මනසක් ඇති පුද්ගලයෙකි. එවැනි වැඩෙන මනසක් සහිත අයෙකුට  ශාරීරික දඩුවම් කිරීම ඉතා අයහපත් දෙයක් වන අතර එමගින් දරුවාට දීර්ඝකාලීන මානසික ගැටලු ඇතිකරන බවට පර්යේෂණ රැසකින් හෙලිදරව් වී තිබේ.

විවිධ දර්ශකවලට අනුව ලෝකයේ විනයානුකූලම ශිෂ්‍යයන් සිටින රටවල් 3ක් ඇති අතර ඒ ජපානය, හොංකොං සහ තායිවානයයි. මේ තුනම ආසියාතික රටවල් ය. එසේම බෞද්ධ රටවල්ය. මේ තුනේම දරුවන්ට ශාරීරික දඬුවම් පැමිණවීම නීතියෙන් තහනම් කර තිබේ. ලෝකයේ විනයානුකූල නොවනම ශිෂ්‍යයන් සිටින රටවල් ලෙස සැලකෙන්නේ මැද පෙරදිග රටවල්ය. මේ මැද පෙරදිග රටවල්වල දරුවන්ට ශාරීරික දඩුවම් පැමිණවීමට නීතිමය බාධාවක් නැත. මෙයින් පැහැදිලි වන්නේ ශාරීරික දඬුවම හා  පාසල්වල විනය රැකීම  යන කරුණු දෙක අතරේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

අතීතයේ සිටම මේ දක්වාමත් දඬුවම්කර දරුවන් ඇති දැඩි කල ලංකාවේ ඉතා විනය ගරුක ලෙස හැසිරෙන සාමකාමී සමාජයක් තිබෙන්නේ යැයි ඔබ සිතනවාද? ලෝකය ගැන දන්නා, ලෝකය දැක තිබෙන ඕනෑම කෙනෙක් අප රටට වඩා විනයගරුකව හැසිරෙන, මීට වඩා අපරාධ අඩු සමාජ ලොව ඕනෑ තරම් ඇති බව දනී. මේ රටවල දරුවන්ට දඬුවම් කිරීම අපරාධ නීතියක් ලෙස සැලකේ.  හොඳම උදාහරණය ජපානයයි. ජපානය ඉතාමත්ම විනයගරුක පුරවැසියන් සිටින රටක් බවට අද වනවිට ලෝකයම පිළිගෙන ඇත. භූමිකම්පා සිදුවී ගොඩනැගිලි කැඩී ගිය අවස්ථාවලදී පවා ඔවුන් ආහාර ලබා ගත්තේ පෝලිමේ හිඳිමිනි. තම ජීවිතයේ සියලු දෑ විනයානුකූල ලෙස කරයි. අද විනයානුකූල ලෙස තම දැවැන්ත ජනකාය හසුරුවාගනිමින් ඉදිරියට ඇදෙන චීනයේද පාසැල් දරුවන්ට ශාරීරික දඬුවම්දීම තහනම් කර තිබේ.

පාසැල් විනය රැකගන්නේ කොහොමද?


දරුවකුන්ට ශාරීරික දඬුවම් නොපැමිණුවා පාසලේ විනය ආරක්ෂා කල නොහැකි බවට ඇතැමුන් තර්ක කරයි. ශාරීරික දඬුවම් නොපනවා පාසලේ විනය රැකිය හැකි ආකාර රාශියක් ඇති අතර ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛණ දෙකක් 2005 වසරේ හා 2016 වසරේ නිකුත්කර ඇත. ශාරීරික දඬුවම් පැමිණවීම තුළින් කිසිදු ආකාරයකින් පාසලේ විනය ස්ථාපිත කළ නොහැකි ය. එයින් සිදුවන්නේ සමාජය තව තවත් ප්‍රචණ්ඩත්වයට පත්වීම පමණි.

අප යම්කිසි දෙයකට පුරුදුවී සිටිනවිට අප සිතන්නේ ඒ පුරුද්ද නිවැරදි බව ය. අප  විනයගරුකවී තිබෙන්නේ ඒ පුරුද්ද නිසා බවය. අප ජීවත් වන්නේ විනයගරුක සමාජයකයැයි ඔබ සිතනවා නම්  මඳක් වටපිට බලන්න. කඩයකට ගොස් බඩුවක් මිලදී ගන්නා විට, මහමග වාහනයක් පදවනවිට, එසේත් නැත්නම් වෙනත් යම් කටයුත්තක් කරනවිට අපේ රටේ මිනිසුන් කෙතරම් දුරට විනය ගරුක ලෙස හැසිරෙනවාද කියා බලන්න.

යම්කෙනෙක් "අපේ තාත්තලා, ගුරුවරු අපට ගහල හැදුවා. ඒ නිසා අපි හැදුණා" යනුවෙන් පවසනවා නම් ඒ තර්කය සම්පූර්ණයෙන්ම වැරදි ය. එසේ නම් මේ රට මේ තරම් අන්ත දුක්ඛිත සහ ආර්ථික වශයෙන් දරුණු තත්ත්වයකට, මෙබඳු විවිධාකාර දරුණු අපරාධ සිදුවන තත්ත්වයකට පත්වන්නට කොහෙත්ම ඉඩක් නැත. දරුවන්ට දඬුවම් නොදී හදන, දරුවන් ශික්ෂණයට අනුව හසුරවන රටවල්වල අද වනවිට පවතින්නේ ඉතාමත් ම සාමකාමී තත්ත්වයකි.

දරුවන්ට ශාරීරික දඬුවම් දීම මුලින්ම තහනම් කළ රටවල් වන්නේ  ස්කැන්ඩිනේවියානු රටවල්ය. දාමරික මිනීමරු වයිකිංවරුන්ගෙන් පැවත එන මේ රටවල මේ වනවිට ඉතාමත්ම සාමකාමී වාතාවරණයක් පවතියි. දාමරික යුධ නායකයන් විසින් පාලනය කල, බිහිසුණු සමුරායි, හරාකිරි සම්ප්‍රදායන් තිබූ ජපානය අද සාමකාමී විනය ගරුක මිනිසුන් බිහිකරයි. ඒ ළමා හිංසනයෙන් ඉවත්වීමෙනි.

අපේ සංස්කෘතිය කුමක්ද?

බෞද්ධයන් බහුතරයක් වෙසෙන මේ රටේ පිරිස් මේ කරුණ ගැන බුදුරජානන් වහන්සේ දේශනාකර ඇත්තේ කුමක්දැයි විමසිය යුතුය. බුද්ධ දේශනාවට අනුව ගුරුවරුන් සිසුවන්ට සැලකියයුතු අයුරු පැහැදිලි කරන, ඕනෑම කෙනෙක් දන්නා සූත්‍රයක් වන්නේ  සිඟාලෝවාද සූත්‍රයයි. එහි මෙසේ සඳහන්වේ.

 


"ගෘහපති පුත්‍රය, ශිෂ්‍යයෙකු විසින් දකුණු දිශාව වූ ගුරුවරයෝ මේ පස් කරුණෙන් උවටැන් කරන ලද්දාහු පස් කරුණකින් සිය ශිෂ්‍යයාට අනුකම්පා කරති. මනා හික්මවීමකට හික්මවති. මනාකොට ගනු ලැබූවක් සෙයින් ශිල්ප උගන්වති. ගුරුවරුන් අසා ඇති සියලු  ශිල්ප මැනැවින් කියා දෙති. ගුරුවරුන්ගේ විශේෂ යහළු මිතුරන්ට හඳුන්වා දෙති. දිශාවන්හි රැකවරණය සළස්වති. ගෘහපති පුත්‍රය, ශිෂ්‍යයා විසින් දකුණු දිශාව නම් වූ ගුරුවරයෝ මේ පස් කරුණෙන් උවටැන් කරන ලද්දාහු මේ පස් කරුණෙන් සිය සිසුවාට අනුකම්පා කරති. මෙසේ ඔහු විසින් මේ දකුණු දිශාව අනතුරු නොවන ලෙස රැකවරණයෙන් යුක්ත ව, භය රහිතව වසා තබන ලද්දේ වෙයි."

එනිසා මේ සංශෝධනය බටහිර න්‍යාය පත්‍රයකට අනුව සිදුවන්නේ යැයි කෑමොර ගසන, සිංහල සංස්කෘතිය රැකීම තමන්ට බාරයැයි සිතා ඒ වගකීම තමන්ම පවරාගත් කපටියන්, මහමග ඝෝෂා කිරීමට පෙර සිඟාලෝවාද සූත්‍රය නැවත කියවිය යුතුය.

 

දරුවන්ට පහරදීම අපේ සංස්කෘතියේ අංගයක් වුයේ පසුකාලීනවය. මෙය සාධාරණීකරනය කරන “ගණදෙවි හෑල්ල සහ වදන් කවි පොත” ලියා තිබෙන්නේ මහනුවර යුගයේ ය. මහනුවර යුගය යනු ලංකාවේ සංස්කෘතිය ඉතාමත් දරුණු ලෙස පරිහානියට පත් වී සංඝයා වහන්න්සේලා ගනින්නාන්සේලා වූ කාලයකි.  මහනුවර යුගය වන විට ලංකාවේ උල තැබීම, අත් පා සිඳීම, කන් කැපීම වැනි දඬුවම්  සාමාන්‍ය රාජධර්මයක් බවට පත්ව තිබිණි. මේ යුගයේ නරේන්ද්‍රසිංහ රජදවස සිටි අත්තරගම රාජගුරු බණ්ඩාර ලියූ වදන් කවි පොතේ දරුවන්ට දඬුවම් කිරීම අනුමත කර තිබෙන්නේ මේ ආකාරයට ය.


වේවැල් කෝටු නාරං සියඹලා       අතූ

කිතුල් පොල් ඉරටු වැල් කසඹිලිය  අතූ

මේ හැම ඉපල් මගෙ දෑතට නොපෑ යුතූ

පමා නොවී එමි අකුරට මෙයින්      මතූ

 
අම්මොයි කියා ගෑ සිය ළඟ තෙල්   රුවට

යම්මොයි කියා යති අකුරට ගුරුන්   ගෙට

බම්මොයි කියා බස් තෙපළති විටින්   විට

අම්මොයි කියා කීවත් ගුරු දෙතෙයි   බැට


5wioheriwuh

සංස්කෘතියක හොඳ අංග මෙන්ම නරක අංග ද තිබේ. අප සමාජයක් ලෙස ඉදිරියට යන්නට නම් සංස්කෘතියෙහි හොඳ අංග ආරක්ෂා කරගෙන නරක අංග ඉවත් කළ යුතුය. ගුරුවරුන් විසින් ශිෂ්‍යයන්ට පහරදීම හොඳයැයි කියන මතය මෙලෙස සංස්කෘතියෙන් ඉවත් කළ යුතු නරක අංගයකි. “දරුවන්ට දඬුවම් කිරීමෙන් සමාජයක්  යහපත් අතට හැරේ”  යන්න භයානක මතයකි.

අවමානය යන්න පැහැදිලි නැත

දණ්ඩ නීති සංග්‍රහයේ මෙම නව සංශෝධනවල " කොතරම් අඩු වුවත් යම් ප්‍රමාණයක අවමානයක් ඇති වීමට හේතුවන බවට ක්‍රියාවක් ශාරීරික හිංසාවක් සේ සැලකිය හැකිය” යැයි සඳහන් වේ.

මෙහි අවමානය යන්න විග්‍රහ කිරීම ඉතා අපහසුය. එනිසා මෙහි අවමානය යන්න කුමක්දැයි මීට වඩා නිර්නය කළ යුතුය. අවමානයක් යන්න යම්කිසි ආකාරයකට වැරදි ලෙස අර්ථ නිරූපණය කොට  එම අර්ථ නිරූපණය තුළින් ගුරුවරයාට එරෙහිව දඬුවම් පැමිණවීමට ඉඩ ඇත. එනිසා මේ සංශෝධනය පාර්ලිමේන්තුවේදී තුන් වෙනි වර කියවීමට ප්‍රථම අවමානයක් යනු කුමක්දැයි පැහැදිලි කළ යුතුය. නීති විශාරදයන් විසින් නැවත සිතා බලා යම්කිසි ආකාරයක වෙනසක් මෙම අවමානය යන වචනය සම්බන්ධයෙන් කළ යුතු වෙයි.

එහෙත් මේ තනි වචනය නිසා මේ මුලු සංශෝධනයට විරුද්ධවීම යුක්තියුක්ත නොවේ.

පහරදීම හැරුණුකල වෙනත් දඬුවම් නැත්ද?

4424qwewa
2005දී නිකුත්කල චක්‍රලේඛනය විදුහල්පතිවරුන් හා ගුරුවරුන් නැවත කියවිය යුතු යැයි සිතමි. එහි මෙලෙස දක්වා ඇත. "තවද ශාරීරික දඬුවම්වලින් තොරව විනය පවත්වා ගත නොහැකි නම් එමගින් පිළිබිඹු කරන්නේ ගුරුවරයාගේ අදක්ෂ භාවය බව පැහැදිලි වේ." පාසැලක විනය රැකීම සඳහා ශාරීරික දඬුවම් හැර වෙනත් දඬුවම් ක්‍රම තිබේ.

මෙහි 2:2 වගන්තියෙහි ශාරීරික දඬුවම් වෙනුවට ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳවද දක්වා ඇත. මෙහි පැහැදිලිව දැක්වෙන්නේ පාසලේ පවතින නීතිය පිළිබඳව දරුවාට නිවැරදිව කියා දිය යුතු බවයි.

2005 හා 2016 චක්‍රලේඛනවල සඳහන් වන ආකාරයට පාසලේ විනය නීති පිළිබඳව විනය මණ්ඩලයක් සහ විනය පාලකවරයෙක්  පත්කොට පාසලේ නීතිරීති පිළිබඳව  ශිෂ්‍යයන්ට මනාව  පෙනෙන  ප්‍රදර්ශනය කර තබා ඊට අනුකූලව කටයුතු කරන ලෙස ශිෂ්‍යයන්ට නියම කිරීම කළ යුතුය. පාසල්වල විනය මණ්ඩලය විනය පාලකවරයකු පත්කොට පියවරෙන් පියවර එම දරුවන් විනයානුකූල කිරීම මිස "දරුවා කළ දේ වැරදියි" සිතා කෝපයෙන්, තමන්ම තනිව තීරණය කර දරුවාට පහරදීම නිවැරදි නොවේ.

එසේම දෙමාපියන් සහ පාසල අතර මනා සම්බන්ධතාවයක් තිබිය යුතුය. ඒ සඳහා ගුරු දෙගුරු සම්බන්ධතා පොතක් මගින් ගුරුවරුන් හා දෙමාපියන් අතර සන්නිවේදන ක්‍රමයක් සලසා ගත යුතුය. වර්තමානයේ  බොහෝ දෙනෙකු දුරකථන භාවිතා කරන නිසා ඒ ඔස්සේද දෙමාපියන්ට පණිවිඩ යැවීම කළ හැකිය. විනය විරෝධී ක්‍රියාවක නියැලුණු ශිෂ්‍යයකු සම්බන්ධයෙන් එලෙස මව හෝ පියා පාසලට ගෙන්වා ගෙන කරුණු පෙන්වා දීම ගුරුවරයකුට කළ හැකි වේ.

observations from under the fatherhood disciplining a 2 year old 1 1140x640
එසේම විනය විරෝධී ක්‍රියාවක නියැළුණු ශිෂ්‍යයෙකුගේ දිනක් දෙකක් වැනි කාලයකට පන්ති තහනම් කිරීම, දරුවා පාසලේදී කරනු ලබන ක්‍රීඩා වැනි බාහිර ක්‍රියාකාරකම් යම් කාලයකට නතර කිරීම වැනි ශාරීරික නොවන දඬුවම් ඒ ඒ ශිෂ්‍යයාට ගැලපෙන ආකාරයට ලබාදීමට පුළුවන.

මෙහිදී ඉතා වැදගත් දෙයක් නම් පාසල්වල මනෝ උපදේශනය සඳහා පුහුණු කළ ගුරුවරුන් සිටීම ය. ඒ බව චක්‍ර ලේඛනවල ද සඳහන් වේ. දැනටත් එම ක්‍රියාවලිය යම්කිසි ආකාරයකට අපේ රටේ පාසල්වල සිදුවේ.

ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර තිබෙන සම්බන්ධය වැඩිදියුණු කරන්නේ ගුරුවරයාගේ පෞරුෂයයි. පෞරුෂයේ ප්‍රධාන අංගයක් වන්නේ ඉගැන්වීමේ හැකියාවයි.

රජකාලේ දඬුවම්

සමහර වැරදිවල දී අපේ සමාජය පවසන දෙයක් නම් "රජ කාලේ දඬුවම් පැමිණ විය යුතුයි" යන්න ය. රජ කාලේ දඬුවම් අප ඉහත ද සඳහන් කළ පරිදි අත්පා කැපීම උල තැබීම ආදියයි. නමුත් එවැනි දඬුවම් දුන් කාලයන්හිදීත් අපේ රටේ විශේෂ විනයක් නොපැවතුණු බව ඉතිහාසය දෙස විමසිලෙන්ලෙන් බලන විට පැහැදිලි වේ. දරුවන්ට පහරදීමද රජකාලේ දඬුවමකි. එය බෞද්ධ දර්ශනයටද විරුද්ධය. ළමුන් හික්මවා සමාජය හික්මවීම ප්‍රචණ්ඩත්වය පිටුදැකීමෙන්ම කල හැක්කකි.


(විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ විසින් පවත්වන ලැබූ සාකච්ඡා දෙකක් ඇසුරෙන් ඉන්දු පෙරේරා විසින් සකස්කල මෙම ලිපිය අනිද්දා පුවත්පතේ පළවූවකි.)

දක්ෂ ව්‍යාපාරිකයෝ අදක්ෂ රාජ්‍ය පාලකයෝය (ධම්මිකගේ සිහින) - විශේෂඥ වෛද්‍ය  අජිත් අමරසිංහ

Amarasinghe_ajith@yahoo.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...