The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගෙදර කියා ප්‍රකට ගෙවල් තුළ සැඟවුණු අතීත රස කතා | තිලක් සේනාසිංහ

T

The Leader Desk

October 15, 2025 • 9:02 AM

ගෙදර කියා ප්‍රකට ගෙවල් තුළ සැඟවුණු අතීත රස කතා | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දහනව වන සියවසේ අග භාගයේ දී එම ප්‍රදේශයේ සේරුගහහේන නම් ඉඩමක තැනූ නිවසේ විසූ දොන් චාර්ලිස් නම් ධනවත් වැවිලිකරුවෙකු විසින් චීනාඩි ශාස්ත්‍රය නම් සටන් කලාව ප්‍රගුණ කළ අයකු තම ආරක්ෂකයා ලෙස බඳවා ගෙන තිබේ.
  • එම ආරක්ෂකයා සිංහල ජාතිකයකු නොවන බව ද පැවසෙයි.
  • එම ධනවතාගේ මරණයෙන් පසු, එම චීනාඩි සටන්කරු දිගටම එහි පදිංචි වී ප්‍රදේශයේ තරුණයන්ට සටන් ශාස්ත්‍රය ඉගැන්වූ අතර පසුව ඔහු ‘චීනාඩි මුත්තා’ ලෙස ප්‍රසිද්ධ වී තිබේ.
  • ඔහු විසූ නිවස අදටත් ‘චීනාඩි ගෙදර’ ලෙසත්, එම ප්‍රදේශය ‘චීන අඩිය’ ලෙසත් හැඳින්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


දහනව වන සියවසේ අග භාගයේ දී එම ප්‍රදේශයේ සේරුගහහේන නම් ඉඩමක තැනූ නිවසේ විසූ දොන් චාර්ලිස් නම් ධනවත් වැවිලිකරුවෙකු විසින් චීනාඩි ශාස්ත්‍රය නම් සටන් කලාව ප්‍රගුණ කළ අයකු තම ආරක්ෂකයා ලෙස බඳවා ගෙන තිබේ. එමෙන්ම ඔහු ගේ පදිංචිය සඳහා එම වැවිලිකරු තම සේරුගහහේන ඉඩමේ කොනක නිවසක් ද තනා දී තිබේ. එම ආරක්ෂකයා සිංහල ජාතිකයකු නොවන බව ද පැවසෙයි.

එම ධනවතාගේ මරණයෙන් පසු, එම චීනාඩි සටන්කරු දිගටම එහි පදිංචි වී ප්‍රදේශයේ තරුණයන්ට සටන් ශාස්ත්‍රය ඉගැන්වූ අතර පසුව ඔහු ‘චීනාඩි මුත්තා’ ලෙස ප්‍රසිද්ධ වී තිබේ. ඔහු විසූ නිවස අදටත් ‘චීනාඩි ගෙදර’ ලෙසත්, එම ප්‍රදේශය ‘චීන අඩිය’ ලෙසත් හැඳින්වේ.

’චීනාඩි මුත්තා’ පිළිබඳ සිය මතකය අවදි කළ දොන් චාර්ලිස් ගේ දෙටු පුත් ඩේවිඩ් ජයවර්ධන (සේරුගහහේනේ ලොකු මහත්තයා ) මහතා 1990 දශකයේ දී අප හා පවසා සිටියේ ‘චීනාඩි මුත්තා’ගෙන් සටන් කලාව උගත් තරුණයන් අතීතයේ තම ප්‍රදේශයේ ගැමියන්ගේ පොදු ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි අතර ඔවුන් ඒ වන විටත් වියපත්ව මිය ගොස් ඇති බවකි.

එමෙන්ම එම චීනාඩි මුත්තා චීනාඩි සටන් කලාවට අමතරව මන්ත්‍ර ශාස්ත්‍ර ප්‍රගුණ කළ අයකු ලෙස ප්‍රකටව සිටි බවත් සිය ජීවිතයේ අවසන් කාලයේ යෝගී දිවි පෙවෙතක් ගත කළ බවත් ජයවර්ධන මහතා කීය.

නමුත් ඒ අතීත උරුමයන් සියල්ල සඟවා ගත් චීනාඩි ගෙදර බෙලිඅත්ත, කුඩාහීල්ලෙන් හැරී යන මීගහවෙල පාරට මඳක් ඔබ්බෙන් අදටත් දැකගත හැක. චීන අඩි නම් සටන් ශිල්පය අප රට පුරා පැතිරෙන්නට ඇත්තේ 1937 දෙසැම්බර් 13දා චීනයේ නැන්පින් ප්‍රදේශයට ජපන් ආක්‍රමණික හමුදා එල්ල කළ යුදමය ප්‍රහාරය මුල් කොට ගත් දෙවන ජපන් චීන යුද්ධය නිසා චීනයෙන් පලා විත් අප රටේ පදිංචි වූ චීන ජාතිකයන් ගෙන් බව ඒ පිළිබඳව බොහෝ දෙනකුගේ මතයයි.

ජපනුන් විසින් චීනුන් වෙත එල්ල කළ මෙම යුදමය ප්‍රහාරය හුදක් කුරිරු ත්‍රස්තවාදයක මුහුණුවර ගෙන තිබුණේ ජපන් සොල්දාදුවන් චීන සිවිල් වැසියන්ට විශේෂයෙන් කාන්තාවන්ට එල්ල කළ අතිශය කෲර වධ හිංසා හේතුවෙනි. එමෙන්ම චීන තරුණයන් හට නොයෙක් වධ හිංසා කරමින් තම හමුදා කදවුරුවල වහල් සේවයට යොදා ගත් බවටත් වර්තා වී තිබේ.


WhatsApp Image 2025 10 15 at 2.37.55 PMචීනාඩි ගෙදර වර්තමානය

1937 ඇරඹුණු එම යුද්ධයට බියෙන් පලා ආ චීන ජාතිකයන්ගෙන් යුතු ජනාවාස කිහිපයක්ම අදටත් අප රටේ දැකිය හැකිය. ගාල්ල නගර මධ්‍යයේ ඇති චීන කොරටුව සහ කොළඹ කොම්පඤ්ඤවීදියේ යුනියන් පටුමග ආශ්‍රිත ‘චීන මුඩුක්කුව’ ඉන් ස්ථාන දෙකකි. මේවායේ මෑතක් වන තුරුම චීන පවුලක් දෙකක් දැකිය හැකි මුත් ඔවුන් අතර චීනාඩි සටන්කරුවන් සිටි බවට කිසිදු තොරතුරක් සොයා ගත නොහැක.

මේ අතර අප සමාජයේ තවත් පිරිසක් පවසනුයේ මේ වන විට නාමික වශයෙන් වත් අසන්නට නොලැබෙන චීන අඩි හෙවත් චීනාඩි යනු චීනයට කිසිදු සබැඳියාවක් නොමැති දකුණු ඉන්දියාවෙන් පැමිණි මලයාලි සටන් ක්‍රමයක් බව ය.

එමෙන්ම රාවණා රජුටත් පෙර සිට අප රටේ පැවත එන බව ඇතමුන් පවසන අංගම්පොර නම් සටන් ශිල්පය ද හුදෙක් දකුණු ඉන්දියාවේ කේරළයෙන් පැමිණි සටන් ක්‍රමයක් බව පෙන්වා දෙන ඔවුන් වැඩිදුරටත් පවසනුයේ මලයාලම් බසෙන් යුද්ධය, සටන හැඳින්වීම පිණිස යෙදෙන ‘අංකම්’යන්න සිංහලයේ දී අංගම් ලෙස ව්‍යවහාර වීමෙන් මෙම අංගම්පොර යන නම පවා සැකසී ඇති බව ය. 

 

apora4

මෙය මේ දක්වා බොහෝ දෙනකුගේ කතා බහට ලක් වී නොමැති මාතෘකාවකි. අංගම්පොරවල එන සුදලිය සහ මරුවල්ලිය වැනිම කණ්ඩායම් දෙකක් ඩෙකාවර් සහ අන්කඩේකවර් යනුවෙන් මලයාලම් ‘අංකම්‘ සටන් සම්ප්‍රදායන් තුළ පවතින බව ද ඔව්හු දක්වති.

WhatsApp Image 2025 10 15 at 2.37.54 PMලාල් වෙත්තසිංහනමුත් දකුණු ඉන්දීය සටන් ක්‍රමයක් වූ චීනාඩි ශාස්ත්‍රය ප්‍රගුණ කළ ගම්පහ ඩබ්ලිව්.ඒ.ලාල් මහතා පවසනුයේ මෙම සටන් ක්‍රමය හා චීනය අතර කිසිදු සම්බන්ධයක් නොමැති අතර එහි මන්ත්‍ර ගුරුකම් හා සබැඳි ගුප්ත ශාස්ත්‍රීය පක්ෂයක් ද ඇති බවකි.

මේ අතර තවත් සමහරුන් එම ශිල්පයෙන් චීනාඩි යන නම ඉවත් කොට අංගම්පොර වෘත්තිකයන් ලෙස සිය වෘත්තිය යාවත් කාලීන කරගෙන ඇති බවක් ද පෙනෙයි. ඒ මේ වන විට අංගම්පොර සඳහා ලැබී ඇති ජනකාන්ත බව මුල් කර ගනිමිනි.

එම පූර්වාපර සන්ධි ගැළපීම කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ අංගම්පොර ඉතිහාසය මීට වසර තිස් දහසක් දක්වා අතීතයට යන බවක් පැවසීම පුරාවිද්‍යාත්මක සහ මානව විද්‍යාත්මක කෝණයෙන් බලන විට විහිළුවකි. ඒ අනුව අපට පෙනී යන්නේ මෙම සටන් ශාස්ත්‍රය සම්බන්ධ පීතෘත්වය රාවණා රජුට හෝ චීනයට ප්‍රදානය කිරීමට වඩා අපට ආසන්නම දකුණු ඉන්දියාවේ කේරළයට ලබා දීම සුදුසු බවකි. එමෙන්ම ඉහත සඳහන් චීනාඩි මුත්තා මන්ත්‍ර ශාස්ත්‍ර ප්‍රගුණ කළ අයකු ලෙස ප්‍රකටව ඇත්තේ ඔහු මලයාලම් ජාතිකයකු වීම නිසා ද විය හැක.

ch3වැව් වේල්ලට මායිම් වූ පැරණි වැව තිබූ භූමි භාගය
මෙම චීනාඩි ගෙදර සේම “ගෙදර” යන නම සඳහන් ග්‍රාම හා ප්‍රදේශ නාම සේම නිවාස නාම ද බොහොමයක් තිබේ. ඒ සඳහා අප ජීවත් වන ප්‍රදේශය ආශ්‍රිත කදිම නිදසුනක් නම් ගණේමුල්ල, හොරගොල්ල ශ්‍රී ලංකා කනිෂ්ට විද්‍යාලයට ඔබ්බෙන් ඇති වෙල් යායට මායිම් වූ නිවාස දෙක තුනක් අදටත් “වැව ගෙදර” යනුවෙන් හැඳින්වීම ය.

නමුත් අහල ගම් හතක වත් වැවක් නොමැති පසුබිමක වැව ගෙදරක් එහි වූයේ කෙසේ ද යන්න විමසීමේ දී තව දුරටත් තහවුරු වූයේ එම වෙල් යාය මැදින් වැටී ඇති මාර්ගය ද අදටත් “වැව් වේල්ල” යනුවෙන් හඳුන්වන බවකි. එමෙන්ම එම වෙල් යාය කෙලවරින් ගලා බස්නා ඇල මාර්ගයේ කොටසක් අදටත් “වෑකඩ මුල්ල” ලෙස ද හැඳින්වෙයි.

එමෙන්ම මේ වන විට එම ගම් කොටස හම්බාගම ලෙස හැඳින්වෙන අතර කෝට්ටේ යුගයේ දී පමණ සම්බාකෙත නම් හැඳින්වුණු එම කුඹුරු යායට දියවර සපයා ගැනීම පිණිස එම මාර්ගයේ වම් පස කොටස වැවක් බැඳ තිබූ බවත් ප්‍රවාදගත මූලාශ්‍ර වලින් අනාවරණය කර ගැනීමට අපට හැකි විය. සාමාන්‍යයෙන් නිවසක් හැඳින්වීම පිණිස යෙදෙන ගෙදර යන්නට පෙරටුව යෙදෙන වදනක් වේ නම් බොහෝ විට එය භූ විෂමතාව, පිහිටීම වැනි පාරිසරික හෝ ස්වාභාවික සාධක මත පදනම් වන්නකි.

paddy feildසම්බා කෙත වෙල් යාය
ඉහළ ගෙදර, පහළ ගෙදර, කන්දෙ ගෙදර, වත්තේ ගෙදර, වෙලේ ගෙදර, කර ගහ ගෙදර, ජම්බු ගහ ගෙදර ඒ සඳහා වන සුලබ නාමයන් ය. ඊට අමතරව එම නිවාස වල ජීවත් වන්නවුන් ගේ නම්, තරාතිරම් හෝ වෘත්තීන් මුල් කොට ද ගෙවල් හෙවත් නිවාස හඳුන්වනු ලැබේ. වෙද ගෙදර, කම්මලේ ගෙදර, හෙට්ටි ගෙදර, පට්ටලේ ගෙදර, බඩල් ගෙදර, කිරි ගෙදර, සෙක්කු ගෙදර ඒ අතරින් කිහිපයකි.

එමෙන්ම අතීතයේ වන ගතව තිබූ ප්‍රදේශ වලට පිටපළාත් වලින් පැමිණි පවුල් පදිංචි වූ නිවෙස් ද එම පදිංචි කරුවන් පැමිණි ප්‍රදේශ වල නම් වලින් හැඳින්වුණු අතර පසුව එම ප්‍රදේශ වල තවත් පිරිස් පදිංචි වීමත් සමඟ ඒවා ගම්මාන සහ නගර ලෙස ද ප්‍රසිද්ධ විය. ඒ අතුරින් ගෙදර යන නාමය සහිත ප්‍රදේශ සහ ගම් රාශියක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දක්නට තිබේ. ඒ අතර තලවත්තේගෙදර, බෙම්මුල්ලේ ගෙදර, මුවන්වැල්ලේ ගෙදර, පානවගෙදර, නාවුන්නේ ගෙදර, මාදුරේ ගෙදර, වීරහේනේ ගෙදර, මඩවලගෙදර යනු කිහිපයක් පමණි.

weerabugedara

නමුත් මීට අමතරව යම් යම් පුරාවෘත්ත මුල් කොට ගෙදර යන නම් ලද ප්‍රදේශ, ග්‍රාම හෝ නිවාස නාමයන් වේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වීරඹුගෙදර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අතීතයේ වීර අඹුවක ජීවත් වූ නිවසක් මුල් කොට නමක් පබැඳුණු ප්‍රදේශයක් බව නිසැක ය.

Praneeth Abhayasundara3හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරමීට වසර කිහිපයකට ඉහත මම එවන් ගෙදර යන නම සඳහන් ප්‍රදේශ හෝ නිවාස මුල් කොට ගවේෂණ කළ හොත් ඉන් සමාජ හා මානව විද්‍යාත්මක වශයෙන් ඉතා වැදගත් තොරතුරු සම්භාරයක් ගොනු කර ගත හැකි බව එවක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාරය වරයකුව සිටි මගේ හිතවත් ප්‍රණීත් අභයසුන්දරයන්ට කීවෙමි. එවිට ඔහු පවසා සිටියේ එවැනි අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් ( Intangible Cultural Heritage ) ආරක්ෂා කර ගැනීම ජාතික වශයෙන් සේම ගෝලීය වශයෙන් ද ඉතා වැදගත් වන අතර යුනෙස්කෝව පවා එහි වැදගත් කම අවධාරණය කොට ඇති බවකි.

එමෙන්ම අප රටේ සමාජ සහ මානව විද්‍යා විෂය පථය අදටත් න්‍යායන්, මූලධර්ම හා සිද්ධාන්ත යන සීමාවන් ප්‍රමාණවත් ලෙස අතික්‍රමණය කිරීම්ට අසමත් වීම මත ලොව දියුණු රටවලට සාපේක්ෂව එවැනි ගවේෂණ සඳහා ඇති ප්‍රායෝගික ඉඩ ප්‍රස්ථා ඉතා සීමිත බව ද ඔහු කීය.

 

WhatsApp Image 2025 10 15 at 2.37.56 PMචීනාඩි ගෙදර වර්තමානය
එහෙත්, මගේ පෞද්ගලික අදහස නම් මෙය පාසල් අධ්‍යාපනයට පවා එක් කළ යුතු අධ්‍යාපනික විධි ක්‍රමයක් බව ය. ඒ අනුව මෙය විවිධ දෘෂ්ඨි කෝණ වලින් අපේ උරුමයන් රැක ගැනීම සම්බන්ධයෙන් උනන්දුවක් පළ කරන සැමගේ නොමඳ අවධානයට යොමු විය යුත්තක් බව ද මගේ වැටහීම ය.

Thilak Senasinghe
(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගෙදර කියා ප්‍රකට ගෙවල් තුළ සැඟවුණු අතීත රස කතා | තිලක් සේනාසිංහ | The Leader