ඒ උත්කර්ෂය කෙතරම් ආකර්ෂණයක් රැගෙන අවාද යත්, ෂාර්ම් එල්-ෂෙයික් ( Sharm el-Sheikh) හි කිරිගරුඬ පාෂාණ කාන්තාර හිරු එළියෙන් දිස්න දෙන්නට විය. කැමරා ආලෝක කදම්භ දසත විසිරිණ. ප්‍රීති ඝෝෂා, අත්පොළසන්වලින් මුළු නුවර ම පිරි ගියේ ය.
ඊළඟ කුණාටුවට පෙර විරාමයක් ද...?
මේ අසිරිය මැද නිහඬ ඊශ්‍රායල් - පලස්තීන සටන් විරාමය ප්‍රකාශයට පත් කෙරිණ. යැංකිවාදී බොහෝ ගෝලීය මාධ්‍ය මෙය තෙවන ලෝක යුද්ධයෙන් ලොව ගලවා ගන්නා මෙහෙයුමක් ලෙස වර නැගී ය. ව්‍යාපෘතියේ ප්‍රධාන අනුග්‍රාහක ගනුදෙනුකරු වන ට්‍රම්ප්, සාමයේ පොරොන්දුව සමග වේදිකාවට ගොඩවිය.
මෙම නාට්‍යානුසාරී රංගනයේ දීප්තිය යටින් යටින් දිවෙන ලොවට සඟවන යථාර්ථය පිළිබඳ ලොව වඩාත් ම පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ විද්වතුන් වෙනස් දෙයක් දකිති. ඒ බව විමසීමට මේ පිලිබඳ තුලනාත්මක සන්නිවේදනයන් රැගෙන එන මාධ්‍ය වාර්තා කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් ය.
ගවේෂණශීලි බොහෝ මාධ්‍යකරුවන්, රාජ්‍යත්‍රාන්තිකයින්, විමසන්නේ මෙම සැලැස්ම සාම ව්‍යාපෘතියක්ද නැතහොත් ඊළඟ කුණාටුවට පෙර විරාමයක්ද යන්නයි.
අත්පොළසන් සහ ප්‍රීති ඝෝෂා මැදින් ගලා ගිය සැකයේ අඳුරු දුමාරය
ඇත්ත වශයෙන්ම බැලූ බැල්මට මෙම ව්‍යාපෘතියේ ඉමහත් අභිලාෂකාමීත්වයක්, ඉදිරිගාමී බවක් සහ ප්‍රගතිශීලි ගුණයක් දක්නට ලැබේ. එනම්, ගාසා තීරයේ සමහර ප්‍රදේශවලින් ඊශ්‍රායල හමුදා අදියරෙන් අදියර ඉවත් කිරීම, ව්‍යුහගත අන්තර්කාලීන පරිපාලනයක්, සහ ගල්ෆ් පරිත්‍යාගශීලීන් විසින් මෙහෙයවනු ලබන ඩොලර් බිලියන ගණනක ප්‍රතිසංස්කරණ අරමුදලක් මෙහි යෝජනා කරයි. හුදෙක්ම ඒ අලංකාරිකයින් සාමයේ නර්තන වින්‍යාසය රැගෙන එයි. නමුත් 2025 ඔක්තෝබර් 14 රොයිටර් පුවත් සේවයේ වාර්තාව හා සබැඳි ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙම ගිවිසුම විස්තර කරන්නේ "උත්සවාකාර සටන් විරාමයක්" (Ceremonial ceasefire) ලෙසයි.
අඩුම තරමේ ඊශ්‍රායලය තුළ පවා මෙම සටන් විරාම ව්‍යාපෘතියට ඒකමිතියක් නොමැත. අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සන්ධානය ද මේ හේතුවෙන් යම් දෙදරා යෑමකට ලක් වෙමින් ඇත. ඕනෑම භෞමික සම්මුතියකට විරුද්ධ වන අන්ත දක්ෂිණාංශික ඇමතිවරු (Far-right ministers) සහයෝගය ඉල්ලා අස්කර ගන්නා බවට තර්ජනය කර ඇත.

මැදපෙරදිග ට්‍රම්ප්ගේ සාම සන්දර්ශයනය රොයිටර් වාර්තා කළේ. "ට්‍රම්ප් නෙතන්යාහුට සාම ගනුදෙනුව භාර ගන්නා ලෙස බලකර සිටී'' යනුවෙනි. නමුත් ඔහුට නෙතන්යාහුව සිය අරමුණ වෙනුවෙන් රඳවා තබා ගත හැකිද යන්න තවත් ප්‍රශ්නයකි."
(Trump has been pushing Netanyahu to accept the peace deal) - Reuters.
එම ප්‍රශ්නය සාමයට ළැදි සුවහසක් ගෝලීය මිනිස් ප්‍රජාවගේ සැකයේ හදවත් තුළ එලෙස ම පවතී. බෲකින්ස් ආයතනයේ (Brookings Institution) විශ්ලේෂකයින් සඳහන් කරන්නේ මෙම සැලැස්ම ක්ෂණික සටන් නතර කිරීමට යම් හැකියාවක් ඇති නමුත්, එයට "සාමය තිරසාර කිරීමට අවශ්‍ය යාන්ත්‍රණ, කාලරාමු සහ සහතික නොමැත" (lacks the mechanisms, timelines and guarantees needed to sustain peace) යනුවෙනි. වෙනත් වචන වලින් කිවහොත්, එය සාමයේ ඡායාවක් මිස ඇත්ත සාමයම නොවන බවයි.
කුලුනු නොමැති සැලැස්මක්
සාම සැලැස්ම පිළිබඳ මත පළ කරන විශේෂඥයින් මෙහි ඇති තීරණාත්මක දෝෂ කීපයක් පෙන්වා දෙයි.
සැලැස්ම තුළ රාජ්‍යයක් යන්න සටහන් කර ඇති නමුත් සාමය වෙත යා යුතු මාර්ගය අඳුරු සෙවනැල්ලකින් වසා ඇති බව ඔවුන් පවසයි. ගාසා තීරයේ කිසිඳු ගොඩනැගිල්ලක් හෝ භෞතික ඉදිකිරීමක් නැති තරමට සුන්බුන්ව ඇති කොන්ක්‍රීට් නටබුන් පාලනය කරන්නේ කවුද, සටන්කාමී කණ්ඩායම් නිරායුධ කරන්නේ කවුද, හෝ ඊශ්‍රායලයේ බැඳීම් සහ වගවීම් අධික්ෂණය කරන්නේ කවුද යන්න එහි නිර්වචනය කර නැත. අනෙක් අතට මෙම සමස්ත සැලැස්ම ගල්ෆ් අරමුදල් සහ නොපැහැදිලි ජාත්‍යන්තර අධීක්ෂණය මත දැඩි ලෙස රඳා පවතී. මේ කරුණු සියල්ලක් ම අතීත සාම ප්‍රයත්න තුළ කල් පවතින සාධක බවට ඔප්පු වී නොමැත.
මෙම ගිවිසුම පිළිබඳ බෲකින්ස් පත්‍රිකාවක හඳුන්වා දී ඇත්තේ "දේශපාලන තෙහෙට්ටුව මත ගොඩනගා ඇති බිඳෙනසුලු ගෘහ නිර්මාණ ශිල්පයක්" (A fragile architecture built on political fatigue.) ලෙසයි. පලස්තීනුවන්ගේ විශ්වාසය, ඊශ්‍රායලයේ දේශපාලන අයිතියේ සහයෝගීතාවය හෝ මධ්‍යස්ථ තුන්වන බලවතෙකුගේ සහතිකයක් නොමැතිවීම යන ගිවිසුමේ බර, ගිවිසුමටම දරා ගැනීමට නොහැකිව බිඳ වැටීමේ අවදානමක් ඇත.
බෲකින්ස්හි ජේෂ්ඨ විද්වතෙකු සඳහන් කරන පරිදි, "මෙය මාධ්‍ය නිවේදනයක් මගින් උත්පාදිත සාමයකි, සිරස්තල ආකර්ෂණීය යි, නමුත් සාමය සඳහා වූ ආයතන සහ ව්‍යුහයන් හිස් අවකාශයක්." ලෙස ය.
අතීතයේ දෝංකාර
මෙම සාම ව්‍යායාමය බොහෝ දෙනකුට රැගෙන එන්නේ "ඩෙජා වූ" (déjà vu) තත්වයකි. මීට කලින් අත්විඳි සහ රසවිඳි, මනෝමුල සංසිද්ධියක අත්දැකීමකි.
මීට පෙර ට්‍රම්ප්ගේ “සියවසේ ගනුදෙනුව” (2020) (Deal of the Century) නම් වූ ව්‍යාපෘතිය වෙත බටහිර මාධ්‍ය විප්ලවීය ලෙසත් ආකකර්ෂණීය ලෙසත් ප්‍රශංසා කරමින් ප්‍රශස්ති ගායනා කළ නමුත් පසුව පලස්තීන ස්වෛරීභාවය සීමා කිරීම සහ ඊශ්‍රායල උපායමාර්ගික අවශ්‍යතාවලට අනුග්‍රහය දැක්වීම, සම්බන්ධයෙන් පුළුල් ලෙස හෙළා දැක්කේ ය. මානුෂීය මිහිරි භාෂාවකින් සරසා ඇසුරුම් කර ඇති ඇති නව ව්‍යාපෘතිය, ඊශ්‍රායලයට ආරක්ෂාව, පලස්තීනයට යටත්වීම යන තර්කනය ම ප්‍රතිරාවය කරන බව පෙනී යයි.
ජාත්‍යන්තර සාමය සඳහා වූ කානගී එන්ඩොව්මන්ට් (Carnegie Endowment) ආයතනය වරක් සඳහන් කර සිටියේ ට්‍රම්ප්ගේ සාම විලාසය " යුක්තියක් පිළිබඳ න්‍යායකින් තොරව ගනුදෙනුවකට සිමා වූ රාජ්‍යතාන්ත්‍රික තත්වයක්" ( diplomatic state of affairs that is limited to a deal without a theory of justice.) ලෙසයි. වර්තමානයේ එල්ලවන විවේචනය ද ඊටත් වඩා වලංගු බව හැඟී යමින් තිබේ. විචාරකයින් තර්ක කරන්නේ එක්සත් ජනපදයට දේපළ වෙළඳාම් මෙන් සාමය විකිණීමට නොහැකි බවයි. එය දේශපාලන ධෛර්යයෙන්, වෘත්තිමය රාජ්‍යතාන්ත්‍රික බවකින් සහ අන්‍යෝන්‍ය පිළිගැනීමට ලක්වූ විශ්වාසයේ ගඩොල්වලින්, ගඩොලෙන් ගඩොල ගොඩනැගිය යුතු බවයි.
ගෝලීය දකුණේ නිහඬතාවය
මේ සන්දර්භය තුළ වඩාත්ම කුතුහලය දනවන ප්‍රශ්නය වොෂින්ටනය හෝ ජෙරුසලමේ ප්‍රසාංගික බවට නොවෙයි. මොස්කව්, බිජිං, ජකර්තා, ප්‍රිටෝරියා සහ බ්‍රසීලිය ඇතුළු සමස්ත ගෝලීය දකුණේ නිහැඬියාවයි. ගෝලීය දකුණ මෙතරම් බරපතල නිද්‍රාවක පසුවන්නේ ඇයි?.

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මේ තත්වයට හේතුව වන්නේ ප්‍රායෝගිකත්වය සහ පීඩනය මිශ්‍රවූ මනෝභාවයක් ගෝලීය දකුණ වෙළාගෙන ඇති බවයි.
බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් එක්සත් ජනපද වෙළඳාමේ ආන්තික ඩොලර් අදායම් මත, වෙනත් මුල්‍ය ආධාර හෝ ගල්ෆ් ආයෝජන මත රඳා පවතී. එක්සත් ජනපදය මුලික වූ සාම මුලපිරීමකට විවෘතව අභියෝග කිරීම, ආර්ථික පළිගැනීමක් හෝ රාජ්‍ය තාන්ත්‍රික හුදකලාවක් අත්විඳීමට සිදුවිය හැකි බවට වූ අවිනිශ්චිත සාංකාවකින් ඔවුන් පෙළෙමින් සිටි.
එමෙන් ම ගෝලීය දකුණට අයත් ඇතැම් කලාපවල දක්නට ඇති නිමක් නැති යුද්ධවලින් හෙම්බත් වී සිටින තවත් සමහරු මෙම රංගනය දුරස්ථව නැරඹීම පෙළඹී ඇත. බෲකින්ස් සඳහන් කරන පරිදි " රාජ්‍ය තාන්ත්‍රික වෙහෙසකර හැඟීමක් නිරීක්ෂණය වෙමින් ඇත. කලබලකාරී සහ රැඩිකල් විවේචන මගින් භූමියේ කිසිවක් සාධනීය ලෙස වෙනස් නොකරන බවට විශ්වාසයක් ඇත." (There is a belief that nothing positive will be changed on the ground by tumultuous and radical criticism.)
ඇත්ත වශයෙන් ම ගෝලීය දකුණේ නිහඬතාවය උදාසීනත්වයක් හෝ වෙහෙසකර බවක් නොවේ. එය යථාර්ථවාදීව පවතින තත්ත්වයට මුහුණ දීම උදෙසා වූ ප්‍රවේශම් සහගත ක්‍රියාවකි. අභ්‍යන්තර අර්බුද සහ බාහිර ණය සමතුලිත කරන රජයන් පරම්පරා ගණනාවක් තිස්සේ විසඳුමක් නොමැතිව විනාශය වෙත තල්ලු වූ රාජ්‍යයන් දෙකක්, ඕනෑම විසඳුමකට ප්‍රතිරෝධය දැක්වූ ගැටුමක්, කුමක් හෝ විසඳුමක් රැගෙන එන මහා බලවතුන්ට අභියෝග කිරීමෙන් ලැබෙන වාසිය ඉතා අල්ප ය.
දේශපාලන උපහාසයට ලක් වූ නොබෙල් ත්‍යාගය!

ඉන්පසු උත්ප්‍රාසය සමග රංගනයේ උච්චස්ථානය සනිටුහන් විය. ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කළ යුතු බවට ඊශ්‍රායලය විසින් යෝජනා කරන ලදී.
හින්දුස්ථාන් ටයිම්ස් ඇතුළු මාධ්‍ය කිහිපයක් විසින් වාර්තා කරන ලද මෙම අදහස අවිශ්වාසයක් සහ සාම ගනුදෙනුවේ සැක සංකා මතු කළේය. විචාරකයින්ට අනුව, සාමය ඇති කරන්නකු ලෙස ට්‍රම්ප්ගේ ප්‍රතිරූපය විකාරයකට සහ උමතුවකට සංකේතවත් කරයි. ඊශ්‍රායල ජනාවාස ව්‍යප්තකරණයට ආශීර්වාද කල, ධෛර්යමත් කළ, සහ පලස්තීන ආයතනවලට අරමුදල් කපා හැරීමට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළ එම නායකයාම දැන් ගැලවුම්කරුවෙකු ලෙස ප්‍රශංසා කර ප්‍රශස්ති ගැයුමට ලක් කිරීම හාස්‍ය උපදවනු ලැබේ.
නමුත් මෙය ද ආඛ්‍යාන රංග ශාලාවේ එක්තරා තීරණාත්මක කොටසකි. සම්මාන, ලබාදීම, උත්සව චමත්කාරය, යන සාධක "සංකේතවාදය යථාර්ථය යටින් දැවෙන විට පවා ප්‍රගතියේ මායාව පවත්වා ගෙන යයි". (Maintains the illusion of progress even when reality burns beneath it)
ට්‍රම්ප් - සාම අත්තිවාරමේ ඉරිතැළීම් තුනක්
මෙම සැලැස්ම විනාශ කළ හැකි එකිනෙකට අන්තර් සම්බන්ධිත දුර්වලතා තුනක් විද්වතුන් හඳුනාගෙන ඇත.
1- ක්‍රියාත්මක කිරීමේ පරතරයක් (An implementation gap): කාලරාමු බැඳීමකින් හෝ බලාත්මක කිරීමකින් තොරව, සටන් විරාම ඉක්මනින් අලුත් සතුරුකම් බවට පත්වේ.
2- අභ්‍යන්තර දේශපාලන අස්ථාවරත්වය (Domestic political instability): නෙතන්යාහු ඔහුගේ සන්ධානය තුළ කැරැල්ලකට මුහුණ දෙමින් සිටි. හමාස් තවමත් බිඳී ගිය නමුත් අතුරුදන්ව නොමැත.
3- මූලික ගැටලු මඟහරවා ගැනීම (Avoiding core issues): මෙම ගනුදෙනුව ජනාවාස, දේශසීමා, සරණාගතයින්, සහ වගවීම, පිළිබඳ කල් පවතින අර්බුද මඟ හරියි.
මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන තුරු, ගාසා තීරයේ කොන්ක්‍රීට් නටබුන් මත සාමය දිලිසෙන මිරිඟුවක් ලෙස පවතිනු ඇත.
කල් පවතින සාමයක් ළඟා කරගත හැක්කේ කෙසේද?
කෙසේ වෙතත්, ඉදිරි මාවත පටු ය. බෲකින්ස් ඇතුළු බොහෝ විශේෂඥයින් බහුපාර්ශ්වික බලාත්මක කිරීමේ රාමුවක් යෝජනා කර සිටී. සමහර විට එක්සත් ජාතීන්ගේ නියෝගය යටතේ, පලස්තීන සිවිල් සමාජය සම්බන්ධ වන පාලන ආකෘතියක්, සහ මානව හිමිකම් මිණුම් සලකුණුවලට බැඳී ඇති විනිවිද පෙනෙන ප්‍රතිසංස්කරණ අරමුදල් ප්‍රවාහ ක්‍රමවේදයක් මේ සමග සම ඒකාබද්ධ විය යුතු ය.
බෲකින්ස් විශ්ලේෂකයෙක් පවසා සිටියේ "සාමය උප කොන්ත්‍රාත්තු කළ නොහැක; එය දිනපතා ජීවත් වන අය විසින් සම -හිමිකාරීත්වයක් යටතේ බලාත්මක විය යුතුය." යනුවෙනි.
ට්‍රම්ප් සහ ඔහුගේ සහචරයින් සැබවින්ම අවධානයට ගත යුතු කරුණක් තිබේ. ඉතිහාසය විසින් ඔවුන්ව කරුණාවෙන් විනිශ්චය කරනු ඇතැයි අපේක්ෂා කරන්නේ නම්, ඔවුන් සංහිඳියාව සඳහා ප්‍රදර්ශන කාමය හුවමාරු නොකර ගත යුතුය. ඡායාරූප, අත්පොළසන්, සම්මාන, නොව ප්‍රතිපත්ති මුලික වූ ක්‍රියාවලියක් සමග වේදිකාවෙන් මහා පොළොවට බැසිය යුතුයි.
මේ වන විට ජනාධිපති ට්‍රම්ප්ගේ මැදපෙරදිග සාම ව්‍යාපෘතිය විරුද්ධාභාසයක් (Paradox) ලෙස පවතී. ඩිජිටල් කැමරාවකට නිරවුල්ව පෙනෙන නමුත් පරීක්ෂා කිරීමේ දී මෙය දියවෙන සහ වැහැරෙන ගිවිසුමකි. එය ලේ ගැලීම නැවැත්විය හැකි නමුත් තුවාලය සුව නොකරයි. එය තුවක්කු සන්සුන් කළ හැකි නමුත් දුක්ගැනවිලි නිහඬ නොකරයි. ඩේවිඩ් කඳවුරේ සිට ඔස්ලෝ දක්වා, ඇනපොලිස් සිට බහරේන් දක්වා මැද පෙරදිග පුරා ප්‍රකාශිත බොහෝ උදාවන් ලෝකය දැක තිබේ. ඒ සෑම එකක් ම පොරොන්දුවෙන් ආරම්භ වූ අතර බලාපොරොත්තු සුන්වීමෙන් අවසන් විය.
ට්‍රම්ප්ගේ මෙවර මැදපෙරදිග උදාව, මෙතුවක් වේදනාකාරී ඉතිහාසයෙන් යමක් ඉගෙන නොගන්නේ නම්, එයත් මිරිඟුවක් බවට පත්වී කාන්තාර සුළඟට හසු වූ තවත් දිලිසෙන ශීර්ෂ පාඨයක් පමණක් වෙනු ඇත.
(සටහන | විජේපාල දිසානායක විසිනි)
ප්‍රවෘත්ති මුලාශ්‍ර :
• රොයිටර් : “ට්‍රම්ප් නෙතන්යාහුට ගිවිසුමක් ඇති කර ගැනීමට ඒත්තු ගැන්වීය. ඔහුට ඔහුව නැවේ තබා ගත හැකිද?” (ඔක්තෝබර් 14, 2025)
• බෲකින්ස් ආයතනය : “ඊශ්‍රායලය-ගාසා ගිවිසුම මැද පෙරදිගට කුමක් අදහස් කළ හැකිද?” (ඔක්තෝබර් 2025)
• ජාත්‍යන්තර සාමය සඳහා කානගී ප්‍රදාන: "මැද පෙරදිග සාම සැලැස්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවසාන ගනුදෙනු ෆැන්ටසියයි."
• හින්දුස්ථාන් ටයිම්ස් : “ගාසා අවුල් සහගත තත්ත්වය මධ්‍යයේ ට්‍රම්ප් සඳහා නොබෙල් නාමයෝජනා සඳහා ඊශ්‍රායල ජාතිකයින් තල්ලු කරයි” (ඔක්තෝබර් 2025)




