The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සම්මුති විසම්මුති : දිල්රුක්ෂි ඩයස්, රංග දිසානායක සහ අපරාධ රාජ්‍යය | සුනන්ද දේශප්‍රිය

T

The Leader Desk

October 17, 2025 • 8:51 AM

සම්මුති විසම්මුති : දිල්රුක්ෂි ඩයස්, රංග දිසානායක සහ අපරාධ රාජ්‍යය | සුනන්ද දේශප්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යහපාලන ආණ්ඩුවේ මූලික ව්‍යාපෘතියක් වූයේ දූෂණ විරෝධී වැඩ සටහනය.
  • යුද්ධය දිනූ නායකයා වශයෙන් විරුදාවලි ලබා තිබූ මහින්ද රාජපක්ෂ පරාජය වීමට බල පෑ ප්‍රධාන හේතුව රාජපක්ෂ පවුල සහ ඔහුගේ අතවැසියන් දූෂිතයින් ලෙස සමාජ ගත වී තිබූ මතවාදයයි.
  • ජනවාරි 09 දා ජනාධිපති ධූරයට පත් සිරිසේන පෙබරවාරි 15 දා දිල්රුක්ෂි ඩයස් බණ්ඩාරනායක අල්ලස් සහ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත් කරන ලදී.
  • එම පෙබරවාරි මාසයේ දීම අගමැති බලතල යටතේ රනිල් වික්‍රමසිංහ විසින් පත් කර ගන්නා ලද මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිය ප්‍රත්‍රයා වූ ඇලෝසියස් මහේන්ද්‍රන් සමඟ එක්ව ආණ්ඩුවට සහ ජනතාවට අවම වශයෙන් රුපියල් බිලියන 08ක් පාඩු කරමින් මහා බැදුම්කර වංචාව සිදු කළෝය.
අකුරු ප්‍රමාණය (Font Size):

2015 යහපාලන ආණ්ඩුවේ මූලික ව්‍යාපෘතියක් වූයේ දූෂණ විරෝධී වැඩ සටහනය. යුද්ධය දිනූ නායකයා වශයෙන් විරුදාවලි ලබා තිබූ මහින්ද රාජපක්ෂ පරාජය වීමට බල පෑ ප්‍රධාන හේතුව රාජපක්ෂ පවුල සහ ඔහුගේ අතවැසියන් දූෂිතයින් ලෙස සමාජ ගත වී තිබූ මතවාදයයි.

 2015 ජනවාරි 09 දා ජනාධිපති ධූරයට පත් සිරිසේන පෙබරවාරි 15 දා දිල්රුක්ෂි ඩයස් බණ්ඩාරනායක අල්ලස් සහ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත් කරන ලදී. ඇය යටතේ රාජපක්ෂ ආණ්ඩුවේ සිටි  බලවත්  ඇමතිවරුන්ට සහ නිලධාරීන්ට විරුද්ධව අල්ලස් චෝදනා ගොනු වන්නට විය. ඒ අතර ඇවන්ට් ගාඩ් සමුද්‍ර ආරක්ෂක සේවය සහ එහි ප්‍රධානියා වූ නිශ්ශංක සේනාධිපති ද විය. එමෙන්ම කුප්‍රසිද්ධ මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් ද පරීක්ෂණ ආරම්භ විය.

 



එම පෙබරවාරි මාසයේ දීම අගමැති බලතල යටතේ රනිල් වික්‍රමසිංහ විසින් පත් කර ගන්නා ලද මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිය ප්‍රත්‍රයා වූ ඇලෝසියස් මහේන්ද්‍රන් සමඟ එක්ව  ආණ්ඩුවට සහ ජනතාවට අවම වශයෙන් රුපියල් බිලියන 08ක් පාඩු කරමින් මහා බැදුම්කර වංචාව සිදු කළෝය. ඇලෝසියස් මහේන්ද්‍රන් එවකට මුදල් ඇමැතිවරයා වූ රවි කරුණානායක පවුලට නොමිලයේ විසීමට සුපිරි නිවසක් ලබා දුන්නේය. මහ බැංකුව අයත් වන්නේ තම අමාත්‍යාංශයට නොව අගැමැති වික්‍රමසිංහට යැයි කරුණානායක කීවේය. යූ ටියුබ් නාලිකාවකට පැමිණි එකල එජපයෙහි සිටි බව කී අයකු කීවේ එජාප මූලස්ථානය වූ සිරිකොතෙහි කාමරයක් පුරා මුදල් ගොඩ ගසා තිබූ බවයි.

ජනාධිපති සිරිසේන වසරක් යෑමට පෙර දේශපාලන න්‍යාය පත්‍ර මත රණ විරුවන් දඩයම් කරන්නේ යැයි අල්ලස් කොමිසමට ප්‍රසිද්ධියේ බැණ වැදුණි. 2016 පෙබරවාරියේ දී එහි අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩයස්ට එම ප්‍රහාර හමුවෙහි ඉල්ලා අස්වීමට සිදු විය. ඇය යළි නීතිපති දෙපාර්තමේන්තුවෙහි අතිරේක නීතිපතිවරියක ලෙස වැඩ බාර ගත්තාය.

 

arjuna ranil
ඇවන්ට් ගාඩ් ජාවාරමෙහි හිමිකරු වූ නිශ්ශංක සේනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මෙන්ම වත්මන් එජාප සභාපති වජිර අබේවර්ධනගේද ගජ මිතුරකු විය. ඇවන්ට් ගාඩ් ජාවරම පිළිබඳ පියවර ගැනීමට තැත් කළ දිල්රුක්ෂී ඩයස්ගෙන් පළි ගැනීමට උගුලක් ඇටවීමට  නිශ්ශංක සේනාධිපති සහ වජිර අබේවර්ධන කූටෝපායක් සැලසුම් කළේය. 2019 දී ඔවුන් දෙදෙනා සංස්කරණ කළ හඬ පටයක් ප්‍රසිද්ධ කරමින් කියා සිටියේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ නියෝජ්‍ය නීතිපතිවරියක වූ දිල්රුක්ෂි ඩයස් බණ්ඩාරනායක “තමන් නීතිය නවන්නත් කඩන්නත් දන්නවා” යැයි තමන්ට කී බවය.

එය සේනාධිපති ඇටවූ උගුලක් ඇටවූ බව පරිපාලන අභියාචනාධිකරණය දිල්රුක්ෂි ඩයස් පිළිබඳ පැවැත් වූ විභාගයෙහි තීන්දුවෙහි සඳහන් කළේ මෙසේය.

“ඉහත තොරතුරු වලින් පැහැදිලිව පෙනී යන්නේ, නිසංක සේනාධිපති විසින් උගුලක් අටවා ඇය සමඟ දුරකථන සංවාදයක් වාර්තා කිරීමට සූදානමින් සිටි බවත්, අවශ්‍ය අවස්ථාවකදී තමන්ගේ අරමුණු සඳහා එම සංවාදය වාර්තා කිරීමට වහා ක්‍රියාත්මක වූ බවත්ය.”

Screenshot 2025 10 17 123214
මෙම උගුලෙහි අනෙක් අපරාධ සහායකයා වූයේ වජිර අබේවර්ධනය. එම හඬපටය නිසා 2019 ඔක්තෝම්බර මාසයේ  දී නීතිපති දෙපාර්තමේන්තුවෙහි රැකියාවෙන් දස මසක් ඉවත් කර සිටි දිල්රුක්ෂි ඩයස්ට ගෝටා බලයට පැමිණ අනිවාර්ය නිවාඩු යවන ලදී. පරිපාලන අභියාචනාධිකරණයේ තීන්දුවෙන් නිදහස් වූ ඇයට එම තනතුර යළි ලැබුණේ 2021 අගෝස්තු මාසයේ දීය. නමුත් සංවිධානාත්මක ඇයට එරෙහිව කළ අපහාසයේ බලපෑම නැති වූයේ නැත. නීතිපති තනතුර දක්වා යෑමට ඉඩ තිබූ ඇයගේ වෘත්තිය විනාශ කරන ලදී.

ව්‍යාජව සැකසූ හඩපටය කරට ගත් වාචාල ජනපති සිරිසේන මෙසේ කීවේය. “මේ දවස්වල අල්ලස් හා දුෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ නෝනගේ හඬ පටයක් යනවා හැමතැනම. තමුන්නාන්සෙලාට මතකද මම දන්නේ නැහැ අපේ ත‍්‍රිවිධ හමුදාපතිවරු උසාවියට ගෙනිච්ච වෙලාවේ, ආරක්ෂක ඇමති විදියට මගේ අනුදැනුමකින් තොරව. ඒ ගැන මම කරපු කතාවකින් තමයි දිල්රුක්ෂි ඩයස් අධ්‍යක්ෂ ජනරාල් ධුරය දාලා ඉල්ලා අස්වෙලා යන්න ගියේ.”

ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණිමෙන් පසු දූෂිත විනිසුරුවරයකු වූ උපාලි අබේරත්න යටතේ පිළිගැනීම් කොමිසමක් පිහිටුවා දිල්රුක්ෂි ඩයස්ට විරුද්ධවද පැමිණිලි ගොනු කරන ලදී. විය යුතු පරිදිම කොමිසම ඇය වරදකාරියක බවට පත් කරන ලදී.

දිල්රුක්ෂි ඩයස් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් හා නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් වශයෙන් කටයුතු කළ අවධියේ බලය අයථා ලෙස පරිහරණය කරමින් හා රාජ්‍ය සේවයට අපකීර්තියක් වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් ගෝටාගේ කොමිසම ඇයට නඩු පැවරිය යුතු බවට බව නිර්දේශ කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය එම නිර්දේශ කුණු කූඩයට දමා ඇය නිර්දෝශී බවට තීරණය කළේය.

 

Gotabaya Rajapaksa AFP
ගෝඨාභය 19 වන සංශෝධනය අහෝසි කර සියලූ කොමිෂන් සභා සිය තැරැව්කරුවන්ගෙන් පිරවූයේ මෙම දූෂිත ක්‍රියාවලියේ දිගුවක් ලෙසය. ඊට මඟ පෑදුවේ සිරිසේනය. එහි උරුමය බාර ගත්තේ රනිල් රාජපක්ෂය.

2019 සිට 2024 දක්වා කාලය තුළ අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩු 102 ක් ඉල්ලා අස්කර ගැනුණි. විමර්ශන නිලධාරීන් සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටීමට අපොහොසත් විය. බොහෝ නඩු ඉල්ලා අස්කර ගත්තේ නිර්මාණය කරන ලද තාක්ෂණික හේතුවක් උඩය. තමා විසින් පවරන ලදුව පසුව ඉල්ලා අස්කර ගත් නඩු මහජන අධිකරණයක් ඉදිරියෙහි වුව ඔප්පු කිරීමට සාක්ෂි ඇති බව දිල්රුක්ෂි ඩයස් ප්‍රසිද්ධියේ කියා සිටියාය.

වික්‍රමසිංහගේ වජිර අබේවර්ධන සහ රාජපක්ෂලාගේ නිස්සංක සේනාධිපති සහ ගමරාළලාගේ සිරිසේන අල්ලස් දූෂණ නඩු පැවරූ රාජ්‍ය නිලධාරිනියක් හඹා ගොස් යළි යළි පළි ගත්තේ එසේය. බියකරු සිනමා පටයකට සුදුසු මෙම සිදුවීම් පෙළ සිහි ගන්වන්නේ සිසිලියෙහි මාෆියා අපරාධකරුවන් අවංක රාජ්‍ය නිලධාරීන් හඹා ගොස් ඔවුන් විනාශ කරන අන්දමයි.

අල්ලස් කොමිසමේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව දැන් සියලු දූෂිත දේශපාලනඥයින් රංචු ගැසීමට පටන් ගෙන ඇත්තේ ද එම මාෆියා අපරාධකරුවන් අනුගමනය කරමිනි.

මෙවර වජිර අබේවර්ධගේ අවතාරය නන්දන ගුණතිලකට ආරුඪ විය. හිටපු ජවිපෙ නායකයකු සහ දැන් රනිල්වාදියකු වන ඔහු කියා සිටියේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක තමන් යටතේ ජවිපෙ නීති කමිටුවේ වැඩ කළ බවය. එබැවින් ඔහු නුසුදුසු බවය. එම රැස්වීම්වල අත්සන්  පත්‍රිකා තමා සතු බවට ඔහු කීවේය. දූෂණ චෝදනා සම්බන්ධයෙන් නඩු පැවරී ඇති තවත් හිටපු ජවිපෙ නායකයකු වන විමල් වීරවංශ කීවේ එකල තමාටද එවැනි නමක් ඇසී ඇති බවයි. එනමුත් වජිරගේ බෝම්බය මෙන්ම නන්දනගේ බෝම්බයද පුස්සක් බවට පත් විය. ඔහු තවම එම අත්සන් පත්‍රිකා ඉදිරිපත් කර නැත.  රංග දිසානායක එවැනි සාක්ෂි ඇතොත් ඒවා නීතිය හමුවට පමුූණුවන ලෙස කළ අභියෝගයට නන්දන ගුණතිලක නිහඬ විය.

අල්ලස් දූෂණ සම්බන්ධ නඩුවකට මුහුණ දී සිටින රාජපක්ෂවාදියකු වන චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවෙහි රංග දිසානායකට විරුද්ධව නිතිපතා විවිධ ප්‍රහාර දියත් කරයි. එහි උත්ප්‍රාසය නම් ඔහු පහර දෙන්නේ තමාට නඩු පවරා ඇති ආයතනයට විරුද්ධව වීමයි!  

රංග දිසානායක ද ගෝටා සමයේ අල්ලස් කොමිසම මෙන් මෙන් ව්‍යාජ දූෂණ විරෝධයක් පෙන්වමින් සිටියේ නම් ඔහුගේ පත්වීමේ ඇද කුද දයාසිරි ජයසේකරට  පේන්නේ ද නැත. විපාක්ෂික දේශපාලන අදහස් දරන සති අන්ත පුවත්පතක් පසුගිය දා වාර්තා කර තිබුණේ දයාසිරි ජයසේකර ලවා එම ප්‍රහාරය දියත් කරවන ලද්දේ රනිල් වික්‍රමසිංහ විසින් බවයි. වජිර අබේවර්ධන වෙනුවට රනිල් දැන් දයාසිරි තෝරා ගෙන තිබෙනවා විය හැකිය.

රනිල් වික්‍රමසිංහ, රනිල් රාජපක්ෂ ලෙස බෞතිස්ම කරවා ජනාධිපති පුටුවට සැපත් කළ රාජපක්ෂවාදීහු ගණනාවක් දැන් අල්ලස් දූෂණ චෝදනාවන්ට ලක්ව සිටිති. සමහරු දැනටම ජමපර් සූට් වලය. එබැවින් දිල්රුක්ෂි ඩයස්ට කළ දේ රංග දිසානායකට කිරීමට සැලසුම් කිරීම අරුමයක් නොවේ.

 

Ranil Namal 2024.04.12 1

ලබන නොවැම්බර් 19 දා රනිල් රාජපක්ෂ සමඟ මහජන රැළියකට එක්වන බව කියන,  නාමල් රාජපක්ෂ, ගෝඨාභය ජනාධිපති සමයෙහි පළිගැනීම් කොමිසම ඇතුළු  සියලු අනීතික පියවරයන්ට දෑතම ඔසවා සිටියේය. ඔහු දැන් සිටින්නේ ඔහු ‘ලිප ගිනි මොළවන තෙක් දිය සැළියේ - සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ’ ය. නාමල් ඇතුළු රාජපක්ෂවරුන් ගණනාවක් දැනටම අල්ලස් දූෂණ දැළේය.  එබැවින් ඔහුට ද රංග දිසානායක පලවා හැරීම නොහොත් අල්ලස් දූෂණ කොමිසම අඩපණ කිරීම දේශපාලන ජීවිතය සහ මරණය අතර සටනකි.

රංග දිසානායක සමඟ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට තරඟ කළේ නීතිපති දෙපාර්තමේන්තුවෙහි එතරම් ප්‍රසිද්ධියක් නැති නිලධාරියෙකි. ඔහු පතෝල හා සමාන විය හැකිව තිබූ බව මානව හිමිකම් නීතිඥවරියක වන අචලා සෙනවිරත්න කියයි. ඔහු අධ්‍යක්ෂ ජනරාල් කළ යුතුව තිබුණැයි කියන දයාසිරි - නාමල් හවුල නියෝජනය කරන්නේ  සජබ- එජාප- පොහොට්ටු සන්ධානයයි.

 

ranga disanayaka251003
ඔවුන්ගේ සැලැස්ම නින්දා අපහාස සහ බිය වැද්දවීම් මගින් අල්ලස් සහ දූෂණ කොමිසම අඩපණ කිරීමය. එහි අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක පලවා හැරීමය. මෙය අද පොදු විපක්ෂය එක් කරන මහා පොදු සාධකයයි. එය ජනයා දිනා ගත හැකි සටන් පාඨයක් නොව නිශේධාත්මක එකකි.

රංග දිසානායක සතු අභියෝගය නම් තමා කිසිදු දේශපාලන පක්ෂයක චූදිතයින් ආරක්ෂා නොකරන බව පෙන්වීමයි. මේ අවස්ථාවෙහි සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සිටිය යුත්තේ අල්ලස් කොමිසමේ ස්වාධීනත්වය සහ රංග දිසානායක සමඟය. මේ වතාවෙහි ද දිල්රුක්ෂි ඩයස්ට කළ දේ කිරීමට පොහොට්ටු- එජාජ- ජාතිවාදී හවුල සමත් වුවහොත් එය ආපසු හැරවීම ඉතා දුෂ්කර වනු ඇත. එයට ඉඩ නොදිය යුත්තේ එනිසාය.

sunanda deshapriya
(සටහන | සුනන්ද දේශප්‍රිය)
Journalist, Writer and Human Rights Activist

sunandadeshapriya@gmail.com

Twitter: @sunandadesh
Editor: http://srilankabrief.org

(උපුටා ගැනීම - srilankabrief.org)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සම්මුති විසම්මුති : දිල්රුක්ෂි ඩයස්, රංග දිසානායක සහ අපරාධ රාජ්‍යය | සුනන්ද දේශප්‍රිය | The Leader