ඊයේ (ඔක්තෝම්බර 17) දවස පුරා විටින් විට කාන්දු වූ මඳ වැස්ස නිසා සවස් වන විට පැවති තෙත බරි, කම්මැලි, අඳුරු වට පිටාව නොතකා නිකම් ලැබුණු රුපියල් තුන් දහසක ප්‍රවේශ පත්‍රයකුත් අත තිබුණු හෙයින්, “සියුම් අර්ථ හඳුනා ගන්නට සමත් ප්‍රේක්ෂක සමූහයක්” අතර මට හිමි අසුන තෝරා බේරා අසුන් ගෙන පැය දෙකකට ආසන්න කාලයක්, මගේ වරදක් නොවුනාට නැරඹුවාට වඩා පහසුවෙන් සවන් දුන් වේදිකා නිෂ්පාදනයක මෑත සිදුවීම් එක පෙළට එළා සැහැල්ලු, අසංකීර්ණ, කෙටි, සරළ, රසවත් දෙබස් මගින් ඉදිරිපත් කිරීම, මහන්සියකින් තොරව රස වින්දෙමි.

දෙබස් සතු වූ හාස්‍ය, පුද්ගල සබඳතා පිළිබඳ ඉඟි කිරීම්, ඒවායේ තිබූ නිගාමි තර්ක, 2022 කවුරුත් “ගෝ ගෝ” කියා කෑ ගැසූ තැන සිට වත්මන් දේශපාලනයට පැමිණි ගමන් මගේ ආන්දෝලනාත්මක සිදුවීම්, තරුණියන් කිහිප දෙනෙකු පාසල් වියෙන් කලකට පසු හමුවන්නට යොදා ගත් “පාටියක” ඇති වූ ගැහැණු පිරිමි පටලැවිලි අස්සේ නැවත සුන්දර සිහි ගැන්වීම් ලෙස දිග හැර තිබුණේද රසවත් හාස්‍යෝත්පාදක දෙබස් මගින් ය.
සැවොම දක්ෂ නළු නිළියන් වූවත් ඔවුන් වෙහෙසට පත් කෙරෙන චරිත නිරූපණයක වගකීම් පැවරීමකින් තොරව, “සියුම් අර්ථ හඳුනා ගන්නට සමත් ප්‍රේක්ෂක සමූහය” හමුවේ රසවත් දෙබස් රසවත්ව ඉදිරිපත් කිරීමේ වගකීම ලබා දීමෙන් හදේ දැවෙන ආදරය, රටේ දැවෙන නිවෙස් හා ගැට ගැසීමේ දේශපාලන උත්සාහය, කතා නිර්මාණයක් ලෙස සාර්ථක නොවුනා නොවේ යැයි කිව යුත්තේ, ඒ දෙබස් සඳහා ප්‍රේක්ෂකාගාරයේ මහ හඬින් ඇති වූ සිනහවීම් නිසාම ය. එවගේම ආරම්භයේදී තරුණියන් ඔවුන්ගේ එකමුතුවට සූදානම්වන අතර ප්‍රේක්ෂක සමූහය රස විඳි ලස්සණ ගීත දෙකක්ද නූතන නැටුම් සමග ගැයූහ.

අවසන් වශයෙන් කිව යුත්තේ ප්‍රොසීනියම් වේදිකාවක ඉදිරිපත් කෙරෙන නාට්‍යයක් සම්බන්ධයෙන් සාම්ප්‍රදායිකව කෙරෙන චරිත නිරූපණය, වේදිකා භාවිතය, වේදිකා සැකසීම්, වේශ නිරූපණය හා ඇඳුම් පැළඳුම්, සංගීතය සහ ආලෝකකරණය වැනි කාරණා හා අදාල විවරණ, විචාර කිසිවක් අවශ්‍ය නොවන මේ වේදිකා නිෂ්පාදනය වෙන කිසිවක් නැතත් එක කාරණාවක් අවධාරණය කරමින් අවසන් විය. ඒ සමාජ මාධ්‍ය ජාල වලට ගොඩ වෙන වගකීමක් නැති, ගැටළුවක දිගක් පළලක් හරියාකාරව දකින්නට නොදන්නා, තමන්ගේ මෝඩකම් කෙළවරක් නැතිව ප්‍රකාශ කරන පිරිසක් වේ නම්, ඔවුන් සමාජයක නීතිය හරියාකාරව ක්‍රියාත්මක කිරීමටද බාධාවක් වන්නේ යැයි කියා දීම ය.
රාජිත දිසානායකමේ කෙටි සටහන සම්මානලාභි නාට්‍ය නිෂ්පාදක රාජිත දිසානායකගේ “අපේ ගෙදර ගිනි තියයිද?” වන ඔහුගේ නවතම වේදිකා නිර්මාණයෙහි ලයනල් වේන්ඩ් රඟහලේ පැවති මංගල දර්ශනය සම්බන්ධයෙනි.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 ඔක්තෝම්බර 18 වන දින




