පීඩිතයන් සමූලඝාතනය උදෙසා යොදා ගැනුණු 'බරඅවි' නින්දිත යෙදුම පසුකාලීනව පීඩිතයන් දිනා ගැනීම උදෙසා පෙරබිමට කැඳවන්නට එහි නිර්මාතෘවරුන් කටයුතු කෙරුවේ කිසිඳු හිරිකිතයකින් තොරව ය. ඒ 'සීනුවෙන්' සංකේතවත් වූ 'සිංහල-බෞද්ධ'රතු සොල්දාදුවන්ගෙන් සමන්විත බොල්ෂෙවික බලකායයි.
සමාජ මාධ්‍ය පෝස්ටුවකි
මෙකී 'සීනු' බලකාය: නායකකාරකාදීන්, මහා නායකයා - මහා ලේකම්වරයා ඇතුළු සමස්තය අතිශය දරුණු ලෙස භාෂා ලෝකය තුළ පවතින බර අවි ප්‍රහාරයකට ලක් කළ සමකාලීන සාහිත්‍ය කෘතියක් වේ නම් ඒ අනුරාධා නිල්මිණි සහෝදර කිවිඳියගේ මංගල කෙටිකතා සමුච්චය වන 'සීනුව නාද කරපල්ලා' කෘතිය බව මම ඔබට නොපැකිලව පවසමි. එහි එන කේන්ද්‍රීය නිර්මාණය 'සූකර සාජ්ජේ' සමකාලීන දේශපාලන මොහොත බොටුවෙන් අල්ලා හොල්ලා කියවන්නා සසල කරවයි.
එය ඉතා කුඩා "හුරුබුහුතල්" පුස්තිකාවෙකි. පිටු 57ක් පුරා දිවෙන 'ඉතා කෙටි කතා' 8කි. රමණීය 'මොල' කංචුකයකින් හැඩැවුණු 'පහන්' පොතකි. මිල පවා හිතට දැනෙනසුළු ය. රුපියල තුන්සිය අසූවෙකි. මා ඔසවා ළෙලවා පෙන්වන "සූකර සාජ්ජේ" දිව යන්නේ පිටු 9ක් පුරා පමණි.
නූතනවාදී සාහිත්‍යයේ ප්‍රධානතම ප්‍රකාශනයක් වූ සංකේතවාදය සියලු කතා මත අතිශය සවිඥානිකව අත්හදා බලන අප කිවිඳිය, සමස්ත කෘතිය පුරා මුදා හරින නූතනවාදී ව්‍යාපෘතිය සාහිත්‍ය සමාජය ද සංස්කෘතික දේශපාලන සමාජය ද සිය අවධානයට පාත්‍ර කර නොගන්නේ, ශ්‍රී ලංකා වනාහි නූතනවාදය අත්දුටු රටක් නොවන හන්දාම නොවේ; දැනුවත්වම මඟහැරිය යුතු වස විස කෘතිය පුරා විසිරී පැතිරී පවතින බව දන්නා නිසා ය. ඉනුත් අතිශය ප්‍රබලව සහ භයානකව මෙන්ම උත්සවාකාරී දුර්ගන්ධයකින් සහෘදයාට අබිමුඛ වන්නේ සූකර සාජ්ජයයි.
ජෝජ් ඕවල් නම් මහා සාහිත්‍යකරුවා 1945දී ලියා අවසන් කළ, සංකේතවාදය හරහා නූතනවාදී ව්‍යාපෘතියක් රැගත්, එමෙන්ම අනාගතවාදී අඩංගුවකින් සමන්විත 'ඇනිමල් ෆාම්' කෘතිය "සත්ව ගොවිපොළ" යයි පහසුවෙන් සිංහල කළ හැකිව තිබියදී ගරු කටයුතු පරිවර්තක දයාරත්න ගරුසිංහ ඊට ගරුතර ලෙස සිංහලෙන් නම් තැබුයේ 'ගොවිපලේ පෙරළිය' ලෙස තරමක් සැර බාල කරමිනි. අවශ්‍ය වී නම් 'ගොවිපොලේ විප්ලවය' ලෙස වුව එය නම් කිරීමට ඉඩ හසර තිබිණ. යහමින් එළියට දැනෙන්නට එය "ඌරු කොටුවේ විප්ලවය' ලෙස පවා නම් කරන්නට ඉඩ තිබිණ.

ස්ටැලින්වාදී සෝවියට් පරිහානියේ දෘෂ්ඨාන්තයක්වැ ගොඩනැඟුණු මෙම කෘතියේ සිටිනා නැපෝලියන් නම් මහා ඌරා සහ ඌරු සනුහරය කෘතියේ පදනමේ සිටින බැවිනි.
එහි එන සියලු සත්ව චරිත මෙන්ම සිදුවීම් සියල්ලක්ම පාහේ රුසියානු විප්ලවය හා සෝවියට් පාලනය තුළ වූ සංසිද්ධි සාහිත්‍යයික ලෙස ප්‍රතිනිර්මාණයකිරීමක් බව එය කියවා ඇති කප්පරක් පාඨකයා දනී.
මට අනුව අනුරාධා නිල්මිණිගේ කෘතියේ එන 'සූකර සාජ්ජේ' යනු සහසුද්දයෙන්ම ඕවලියානු සූකර ප්‍රවාදය හා අන්තර් පඨිතමය සහසහසම්බන්ධධයක් ඇති සාහිත්‍යය ප්‍රකාශනයකි. මිහායෙල් බඛ්තීන්ගේ 'ඩයලෝගීසම්' ප්‍රවාදය මත පදනම්ව ජූලියා ක්‍රිස්තෝවා විසින් විස්තාරණය කෙරුණු සාහිත්‍යයේ 'ඉන්ටර්ටෙක්ෂුවැලිටි" යන්න කවරාකාරවේදැයි තේරුම් ගැනීමට මෙම කෘති ද්වය එකට තබා කියවනු යෙහෙකිය.
ඕවල්ගේ සත්ව ගොවිපළේ සතුන් විසින් බලය අත්පත් කර ගනු ලැබූ කල්හි එහි නියාමකත්වය අත්පත් කර ගන්නේ සූකරයන් ය: දේශපාලන සන්ධර්භය තුළ බොල්ෂෙවික යාන්ත්‍රණයයි.
අනුරාධාවන් ගෙත්තම් කරන "සූකර සාජ්ජේ" මෙකී බොල්ෂෙවිකයන් ස්තානගත කර ඇත්තේ කොහේද? ඒ වනාහි "නා නා ලංකාර විදුලිය එළියෙන්ද, චාමර සේසත් ධජ පතාකවලින්ද, අඟිල් ගුගුල් සුදු හඳුන් රත් හඳුන් මී ඉටි එකට අනා කොටා වේලා පිටි කර ගත් දූම ධූපයෙන්ද" පිරුණු නෘත්‍යාගාරයකි. එහි සිංහාසනයේ වැඩ සිටින්නේ යක්ඛ-නාග-මනු-ශාක්‍ය යන සකල ගෝත්‍ර වලට අගතැන්පත් සූකර අධිරාජයෙකි.

නෘත්‍යාගාරය තුළ සිටින "පුනුරුද කලාකරුවන්" කැටයම් දමනු පිණිස බලා සිටින්නේ සීනුව හැඩවෙනතුරුය.
සමකාලීන බොල්ෂෙවික උත්ප්‍රාසය ඉදින් සෙසු පිටු අට පුරා විකාරව ගලා යයි. අතිශය නිර්මාණාත්මක වූ කාව්‍යමය සංයමයකිනි.
සිංහාසනාරූඪ මස්තකව සිටින මහා සූකර බලවතා සිය කෙටි වලිගය නටවමින් නෘත්‍යාගාරය පුරා අසූචි දුගඳ පතුරුවයි. එය කෙතෙක් කෙතෙක්ද යත් මහා කකුසිවලක ද්වාර එහෙ මෙහෙ ව පවතින්නාක් මෙනි. ඉක්බිති කිවිඳිය තමන්ගේ සාහිත්‍ය ප්‍රබන්ධමය තර්කනය අතිශය තීව්‍රම තලයට රැගෙන එන්නී ය. හුස්ම වැටෙන හැම නාසයකටම මුලින්ම දැනෙන්නේ මහා සූකරයාගේ ගූ ගඳ බව නිර්භීතව මෙන්ම අතිශය නිර්මාණාත්මකව ලියා දැක්වීම ඔස්සේ සමකාලීන දේශපාලන මොහොත ඥානනය කරන ලෙස ඇය සහෘදයාට ඇරයුම් කරන්නි ය. ඒ දුගඳ හා මුසුවැවිත් සියලු මුහුණු මත පතිත වන්නේ නේක හැඩතල ගත් අසූචි කැබිලිතිය.
ඒ අසූචි කැබිලිත පවා වැටුණු වැටුණු තැන නිකන්ම පතබෑවී ඔහේ බලා සිටින්නට කැමති නිකමුන් පිරිසක් නොවන බව පැහැදිලිවම කිව යුතුය. හොඳින් නිරීක්ෂණය කරන විට පෙනෙන්නේ ඒවාටද සිය ස්වාමිත්වය සමග බැඳුණු සාරාර්ථ අරමුණු තිබූ බවය. අහෝ! සූකර අධිරාජයාගේ අසූචි මත පවා සාරාර්ථ! කෙබඳු බරපතල උත්ප්‍රාසයක් ද.
ඉදින් කලාකරුවන්, කලාව ලෙස එළිදැක්වීමට පුල පුලා බලා සිටින කවර ආකාර ප්‍රකාශනයක වුවත් සූකර අධිරාජයාගේ අසූචි කැබලිවලින් මිදුමක් නම් නැත. එබැවින්, තමන්ගේ මුහුණේ ඇතිල්ලෙන මෙම රාජාධිරාජ අශූචි තලපය මතු නොව ඉන් විහිදෙන දුර්ගන්ධය ගැන කිසිවකු මැසිවිලි නඟන්නේ ද නැත.
ඡායා : Shehan Gunasekara
අනුරාධා නිල්මිණි කිවිඳිය මේ කෘතිය මුද්‍රණයෙන් පළ කර ඇත්තේ 2024 මැයි මස නොහොත් ජනපතිවරණ මඩ ගොහොරුවේ අරවින්ද පිපෙන්නට සිව් මසකට පෙර ය. ඇගේ ලිවීම මේ නිශ්චිත මොහොතට අභිමුඛ වන්නේ විශ්මිත ලෙසය. සියල්ලන් ම සීනුවක් නාද වන තුරු බලා සිටිනා මොහොතකය.
ඒත් තවමත් සීනු කිසිවක් ම සොයා ගනු නොහේ. ඒවා රැස් කර තිබූ ගබඩාවේ පොළෝ යටට ගිලා බැස ගොසිනි. අනුරාධා මේ ගොඩනගන්නේ කවර දරුණු දේශපාලන උත්ප්‍රාසයක් ද. කේවට්ට කලාකාරයන් පරසක්වළ ගසනා, එහි කූඨප්‍රාප්තිකර ගොඩනැංවීම මෙසේ මුළුමනින්ම උපුටන්නට මා සහෝදර කිවිඳී අනුරාධා නිල්මිණීගෙන් අවසර පතමි.
"මොකක් සීනු ඔක්කොම ගබඩාවේ පොළොව යටට ගිලා බැහැලා" සූකර අධිරාජයා ගුගුළේ ය.
කේවට්ටයාගේ කන් පතුල් පිපිරි හතර අතේ ලේ විදින්නට වූයේය .ඒ අදිසි රුධිර කාන්දුවෙන් නැහැවී ගිය මුහුණු ඇත්තෝ වුවද තවදුරටත් නටන්නටත් ගායනටත් වයන්නටත් පමණක්ම බලා සිටියහ.

උන්ට ඕනෑ වී තිබුණේ කොහෙන් කොහොම හෝ මේ දැන්ම සීනු නාදයක් ශ්‍රවණය කිරීමේ උවමනාව පමණකි. සීනු හඬ ඇසුණු වහාම සාජ්ජය ඇරඹීමේ නොතිත් ආශාවකින් ඔවුහු පෙළුනාහ.
"ලෝකෙ කොහෙන් හරි කමක් නෑ .. .කැඩුණු එකක් බාගෙට අටවගෙන හරි කමක්නෑ...දෙන්ඩ බෑ කියන එකක් බලහත්කාරයෙන් උදුරගෙන හරි කමක් නෑ...මෙතන මට ලැදියාවක් තියෙන එකෙක් හරි ඉන්නවනම් සීනුවක් අරගෙන වරෙල්ලා"
සූකර අධිරාජ තෙමේ සිය අවසන් නිවේදනයද විධානයද එසේ නියම කළේ ය.
පසුව සිංහාසනයේ පසුපසට වන්නට මඳක් කුදුව වක් වී එක් ගාතයක් සිංහාසන පාදයකට අල්ලා ඔබ්බවා ඇති ගෝමේදයක මතුපිට සුවපහසුව තබා, රඳවා ගනිමින් දෑස් තර කර පියා ගත්තේය.
ඒ යළි කොහෙන් කෙසේ හෝ නෘත්‍යාගාර මධ්‍යයට රැගෙන එන සීනුවක් දකිනතුරු අත්තා මුත්තා කිත්තා කිරිකිත්තා පනත්තා කීවද දෑස් නොහරිමි යන දැඩි අධිෂ්ඨානයකිනි.
පෙර මෙන්ම,
නැට්ටුවෝ නටන්නට ද
වාදකයෝ වයන්නට ද
ගායකයෝ ගයන්නට ද
සීනුව වැදෙන තුරු නො ඉවසිලිමත් දෑසින් බලා සිටියහ.
"සීනුව නාද කරපල්ලා"

අනුරාධා නිල්මිණි කිවිදිය අඛණ්ඩව සිය සාහිත්‍ය භාවිතය පුරාම නා නා වේශයෙන් ද, නා නා කටහඬින්ද වර නගන "ස්ත්‍රී හඬ" පිළිබඳ සංවාදය පසුවට තබමි. ඇගේ සාහිත්‍යයේ ආත්මීයත්වය හෙවත් ඇගේ අවිඥානයේ නිරායාසකර මුද්‍රාව, අවම වශයෙන් පුස්තිකාවක් තරම්වත් වන දීර්ඝ රචනාවකින් මිස කොලම්කාර ලියවිල්ලකින් සාධනය කළ නොහෙන බැවිනි. එතෙක් ජරපත් සීනු මහ පොළොවේ කිඳී සැඟවුණු "නිශ්චිත අවිනිශ්චිත මොහොතක" සූකර අධිරාජයා කෙරෙන් මතුවන ස්ත්‍රීකාරක කටහඬ ගැන සංවාදය සාහිත්‍ය සමාජය වෙත පවරමි.
සීනුව නාද කරපල්ලා යයි සූකර අධිරාජයා විධානය කළද කිසිවක් සිදුවන්නේ නැත. සියලු සීනු මහපොළොවේ කිඳා ගොසිනි. නිර්මාණකාරිනිය මෙම කෘතිය නාම කරණයකිරීමේදී අතිශය සවිඥානික වන්නී ය. මෙකී නිශ්චිත කෙටි කතාවේ නම වෙනුවට ඇය කෘතිය සඳහා යොදා ගන්නේ සූකර අධිරාජයාගේ විධාන වාක්‍යයයි. ඒ "සීනුව නාද කරපල්ලා" යන්නයි
ජෝජ් ඕවල් ස්වකීය සත්ව දෘෂ්ටාන්තයේ මෙසේ පවසයි.
"සියලු සත්වයෝ සමාන වන්නා හ. එහෙත් ඇතැම් සත්වයෝ අනෙකුත් සතුන්ට වඩා සමාන වන්නාහු ය.'
(සටහන | මංජුල වෙඩිවර්ධන)
Journalist/Writer
mwediwardena@gmail.com
http://www.jdslanka.org/
(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )




