නිර්දේශ සහ අතුරු නිර්දේශ කිහිපයකින් සමන්විත එය, ඉංග්‍රිසී මාධ්‍යය ට පමණක් සීමාවෙමින් නිකුත් කර ඇත්තේ පීඩාවට පත් වින්දිත පැමිණිලිකරුවන් සහ සාක්ෂිකරුවන් සියළු දෙනාම දෙමළ බස ඔවුන්ගේ මව් භාෂාව ලෙස භාවිතා කරන බවද නොතකමිනි.
පිටු 60 ට ආසන්න වාර්තාවේ සැලකිය යුතු ඉඩක් වෙන් කොට ඇත්තේ ප්‍රහාරයට මුල් වූයේ යැයි පැවසෙන හීපිටියේ ගෙදර කුමාරසිංහ නමැති 41 වියැති ලොරි රියදුරුගේ මරණය සහ ඒ ආශ්‍රිත කරුණු කාරනා පිළිබඳව පැවසීමට ය.
කුමාරසිංහගේ ඝාතනය මුස්ලිම්වරුන් ට එරෙහි ප්‍රහාරවලට බලපෑ ආසන්නතම හේතුවක් වූ නමුත් ඔවුන් පිළිබඳව සිංහල ජාතිවාදි සංවිධාන සහ මැර කණ්ඩායම් අතර මුල් බැස ගත් වෛරය නුවරින් පිටාර ගලන්නේ එම සිදුවීම මතම යමින් නොවේ.
කුමාරසිංහගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංඟුවට ගත් මුස්ලිම් ජාතිකයන් සිවු දෙනා පල්ලේකැලේ බන්ධනාගාරයේදී කොමිසමේ විමර්ශන කණ්ඩායම හා පවසා තිබුනේ තමන් කුමාරසිංහ හට පහර දුන්නේ ජාතිවාදි අරමුණින් නොව ඒ අවස්ථාවේ ඇති වු කළහකාරි තත්වය මත පමණක්ම බවයි. ජාතිවාදී අරමුණින් හෝ කුමාරසිංහ මරා දැමීමේ අරමුණින් හෝ ඔහුට පහර නොදුන් බවටද එම සැකකරුවන් පැවසුවේ යැයි කොමිසම් වාර්තාවේ සඳහන් ය.
" කුමාරසිංහට පහර දුන්නේ ඒ අවස්ථාවේ ඇතිවූ ක්ෂණික තත්වය අනුව මිස ඔහුගේ ජාතිකත්වය මත නොවේ යැයි සැකකරුවන් පැවසූහ. තමන්ව අත්අඩංගුවට ගන්නා තෙක් ඔහුගේ ජාතිය පිළිබඳව නොදැන සිටි බවත්, එමෙන්ම ඔහුව මරා දැමීමේ අරමුණින් පහර නොදුන් බවත් සැකකරුවන් කියා සිටිය හ."
නමුත් සිංහලයෝ එම ගැටුම ජාතිවාදි ප්‍රහාරයකට සම කරමින් ප්‍රචණ්ඩත්වය මුදාහැරියහ.
ප්‍රහාරයේ පළමු උණ්ඩය තෙල්දෙණිය පොලීසියෙන්
ජාතිවාදීන්ගේ ප්‍රචණ්ඩත්වයට උත්තේජනයක් සපයන්නට තෙල්දෙණිය පොලිසිය කටයුතු කර තිබුණේ සැකකරුවන් සිවු දෙනා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති යටතේ පමණක් නොව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ (International Convention on Civil and Political Rights - ICCPR ) 3 (1) වගන්තිය යටතේ තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවීම මගිනි. දෙපාර්ශයක් අතර ඇති වු සිවිල් ආරාවුලක ප්‍රතිපලයක් ලෙස එක් පාර්ශවයක අයෙක් මරණීය තුවාල ලද පමනින් එය ජාතිකත්වය මත පදනම්ව අධිකරණයට කරුණු වාර්තා කිරීම සැබවින්ම නොකළ යුතුව තිබු දෙයකි. එයට රටේ භාවිතාවන පොදු අපරාධ නීතිය ප්‍රමාණවත්ය. එම ඝාතනයට ජාතිය හෝ ආගම හේතුවක් වී තිබී ඇතැයි විමර්ශනවලින් පසුව අනාවරණය වූයේ නම් ඒ බව අධිකරණයට වාර්තා කිරීම වෙනම තත්වයකි. නමුත් පොලිසිය කිසිදු සාධාරණ හේතුවකින් තොරව එම ගැටුමට ජාතිවාදී ස්වරූපයක් ඔබ්බවා රට හමුවේ තැබීය. නමුත් ඒ පිළිබඳව විනිසුරුවරයා පොලීසියෙන් කරුණු විමසීමක් කළේද යන වග නොපැහැදිලි ය.
ICCPR පනතේ 3 (1) වගන්තියේ මෙසේ දැක්වේ.
"කිසිම තැනැත්තෙකු විසින්, යුද්ධය පැතිරවීම හෝ වෙනස් කොට සැලකීමට, එදිරීවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම් නොකළ යුතුය."
© JDS Lanka
පනතේ මෙම වගන්තිය යටතේ සැකකරුවන් සිවු දෙනා අධිකරණයට ඉදිරිපත් කරන්නට , ගැටුම ඇති වූයේ ආගමික හෝ වාර්ගික පදනමින් යැයි අධිකරණය හමුවේ පවසන්නට තරම් පොලීසිය සතු වූ සාක්ෂි මොනවා දැයි කොමිසම විසින් පොලීසියෙන් ප්‍රශ්න කළ බවක් නම් වාර්තාවෙන් හෙළිදරවු නොවේ. සාමාන්‍ය අපරාධ නීතිය යටතට ගැනෙන වරදක්, මුස්ලීම් වීම මතම ජාතිකත්වය උලුප්පා, "යුද්ධය සහ ආගමික, වාර්ගික වෛරය පැතිරවීම" යන චෝදනා යටතේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම බරපතල තත්වයක් වනවා සේම අනෙක් පසින් ජාතිවාදි මැරයන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට පොලිසිය විසින් ආරම්භයේදීම වෙඩි බෙහෙත් සපයා දීමක් ද වන්නේ ය. පොලිසියේ චෝදනාව අධිකරණය හමුවේ ඔප්පු වූයේද යන්න සොයා බලන්නට කොමිසමට තවත් හත් අවුරුද්දක් ගතවේද යන්න දන්නේ එහි ඉන්නා විද්වතුන්ම පමණි.
මුල් ගැටුම සහ ඉන් අනතුරුව වාර්ගික පදනමින් ඇතිවු ප්‍රහාර අතර ඇති වෙනස සහ ස්වභාවය වෙන් කර ගන්නට ද කොමිසම අසමත් වී තිබේ. කුමාරසිංහ පිළිබඳව කතා කිරීම මෙන්ම ඔහුගේ මරණයට හේතු වූ සමාජ වටපිටාව පිළිබඳව අවධානය යොමු කිරීමද වැදගත් මුත් කොමිසමේ ප්‍රධාන කාර්ය විය යුතුව තිබුණේ එම මරණයෙන් පසුව රටේ ඇතිවු ජාතිවාදී ප්‍රහාරවලට වගකිව යුතු පාර්ශව මෙන්ම හේතු ද විමසා බලා ඒ සම්බන්ධයෙන් ගැඹුරු සහ නිරවුල් විමර්ශන නිගමනයක් ඉදිරිපත් කිරීමයි.
මානව හිමිකම් කොමිසම විසින් ඉදිරිපත් කොට ඇති වාර්තාව වනාහී, විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ඉදිරිපත් කරන ලද්දක් ද, එසේත් නැත්නම් සාමාන්‍ය මට්ටමේ තොරතුරු ඉදිරිපත් කිරීමේ වාර්තාවක් ද යන පැණය අප හමුවේ නැගේ. ප්රහාරයෙන් අනතුරුව කොමිසමේ දැනුම් දීම් මත විමර්ශන කණ්ඩායම හමුවේ පෙනී සිටි වින්දිත පැමිණිලිකරුවන් සහ සාක්ෂිකරුවන් යන සියල්ලන්ගේම ප්‍රකාශ සැලකිය යුතු මට්ටමින් මෙහි නොතකා හැර තිබේ. වාර්තාවට පාදක කර ගෙන ඇති තොරතුරු මූලාශ්‍ර සහ ඒවා ඉදිරිපත් කිරීමේ ස්වරූපයත් අනුව ගත් විට බැලූ බැල්මට පෙනෙන්නට ඇති දෙය වන්නේ කොමිසම රාජ්‍යයට එරෙහිව සාක්ෂි ඉදිරිපත් කිරීමේදීත් අවසානයේ ඒ සම්බන්ධව තමන්ගේ මතය ඉදිරිපත් කිරීමේදීත් "ඉතා පරෙස්සම් සහගත" වී ඇති ආකාරයකි.
රාජ්‍ය අපරාධකාරිත්වය නොතකා හැරලා
© JDS Lanka
රාජ්‍ය අපරාධ සහ රාජ්‍ය මැදිහත්වීම මත සංවිධානාත්මකව සිදුවන ජාතිවාදි මැර ක්‍රියා පිළිබඳව රාජ්‍ය පද්ධතිය දෙසට ඇඟිල්ල දිගු කිරීමකින් තොරවම, කොමිසම හුදු ජනප්‍රිය තලයේ මත කිහිපයක් පමණක් ඉදිරිපත් කරයි. සංහිඳියාව, ජාතින් අතර සුහදතාවය, ආගමික ගැටුම් පිළිබඳ සංකල්ප මෙන්ම සාමය සහ ගැටුම් නිරාකරණය පිළිබඳ මාතෘකා රාජ්‍ය නොවන සංවිධාන තලයේ ජනප්‍රිය ප්‍රකාශන ය. ව්‍යපෘතින් ය. විවිධ කාල වකවානුවලදි බලයට පත්වන ආණ්ඩු විසින් ද මෙවැනි දෑ ඉදිරියට දමනු ලැබේ. එනිසාම රාජ්‍යයේ ද නම ඈඳෙන සංවිධානාත්මක ජාතිවාදි ප්‍රහාරයකදි ජාතික මානව හිමිකම් කොමිසම වැනි අධිකාරි ලත් ආයතනයක කාර්යය සහ වගකීම විය යුතු වන්නේ ප්‍රහාර සහ එයට ආධාර අනුබල ලබා දී ඇති පුද්ගලයන් මෙන්ම පාර්ශවයන් ද පිළිබඳ සෘජු හෙළිදරවු කිරීමකි.
කන්ද උඩරට මුස්ලිම් විරෝධී කැරැල්ලට රාජ්‍ය අනුග්‍රහය ලැබුණු බවට විශ්වාසනීය සාක්ෂී ඇති විටදීත් කොමිසම ඔවුන්ගේ වාර්තාවේ කිසිදු තැනක රාජ්‍ය ආයතන පද්ධතියට චෝදනා එල්ල කරන්නේ නැත. රාජ්‍යය යනු දේශපාලන බලාධිකාරිත්වයම නොවේ. එයට පොලීසිය, ආරක්ෂක හමුදා, රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය, නීතිය සහ එය ක්‍රියාත්මක කරන ආයතන, පුද්ගලයන් ආදි අති විශාල වපසරියක් අයත් ය.
විශේෂයෙන්ම ප්‍රහාරය සම්බන්ධයෙන් නම් ඈඳුණු පොලිස් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් හඳුනා ගෙන ඔවුන් නම් කරමින් හෝ ඔවුන්ට එරෙහිව තොරතුරු සහ සාක්ෂි ඉදිරිපත් කිරීමට හෝ කොමිසම කටයුතු කර නැත. ප්‍රහාරයේ ගොදුරු බවට පත්වු වින්දිත මුස්ලිම් ජාතිකයන් විසින් පිළිගත හැකි මට්ටමේ සාක්ෂි සහ තොරතුරු පොලිස් සහ ආරක්ෂක අංශ සමාජිකයන්ට එරෙහිව ඉදිරිපත් කර තිබියදීත් කොමිසමේ අදාල විමර්ශන කණ්ඩායම හෝ එහි බලධාරීන් හෝ එය නොතකා හරින ලද්දේ කවර නම් හේතුවක් නිසා දැයි ගැටළු සහගතය.
" මහසෝන් බලකාය" නැමති අන්ත ජාතිවාදි සංවිධානයේ ප්‍රධානී අමිත් වීරසිංහ
ප්‍රහාරයට සම්බන්ධ යැයි හඳුනා ගනිමින් කොමිසම විසින් ඔවුන්ගේ වාර්තාවේ සඳහන් කොට ඇති එකම පුද්ගලයා වන්නේ " මහසෝන් බලකාය" නැමති අන්ත ජාතිවාදි සංවිධානයේ ප්‍රධානී අමිත් වීරසිංහ නමැත්තා පිළිබඳව පමණි. එය ද චෝදනාත්මකව නොව සරල මට්ටමේ කරුණු දැක්වීමකි .
කොමිසම ඔවුන්ගේ විමර්ශන වාර්තාවේ ආරම්භක පරිච්ඡේදයක මෙසේ ලියා තිබේ.
" 1996 අංක 26 දරණ පනත මගින් පිහිටුවන ලද මානව හිමිකම් කොමිසම මේ රටේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බැඳී සිටි. කොමිසමට පැවරී ඇති බලතල යටතේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රජයේ ආයතනයක් සම්බන්ධයෙන් පමණක් ක්‍රියාමාර්ග ගත හැකි අතර, පෞද්ගලික පාර්ශවයන් වන අපරාධකරුවන්ට එරෙහිව සෘජු ක්‍රියාමාර්ග ගත නොහැකි ය. නමුත් ප්‍රචණ්ඩත්වයේ ස්වභාවය සහ එහි ඇඟවුම් මත පුරවැසි අයිතිවාසිකම් යටතේ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ක්‍රියාදාමයේ දී අනාගතයේදි එවැනි ක්‍රියාමාර්ග වලක්වා ලීමට කළ හැකි දේ සිදුකිරීම කොමිසම සතු වගකීමකි."
කොමිසම ම ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන වලින් පෙන්නුම් කෙරෙන්නේ බලලත් පාර්ශවවල සහයෙන් තොරව එවන් විනාශයක් සිදු කළ හැකිද යන්නයි. නමුත් කොමිසම ම පවසන රාජ්‍ය මැදිහත් වීම එයින් ප්‍රශ්න කෙරෙන්නේ නැත.
කොමිසමේ වාර්තාවට අනුව විනාශ කර ඇති නිවාස මුළු සංඛ්‍යාව 290 කි. එයින් නිවාස 243 පහරදී විනාශ කර ඇති අතර ගිනි තැබීම් 47 ක් වාර්තා වී තිබේ. ගිනි තබන ලද නිවාස 47 න් 17 ක්ම පල්ලේකැලේ ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් ජාතිකයන්ට අයත් නිවාසය. සමස්තයක් ලෙස ගත් විට නිවාස වැඩිම සංඛ්‍යාවක් විනාශ කොට දමා ඇත්තේ කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයෙනි. ඒ 106 කි. පහරදී අලාභ හානි සිදුකළ නිවාස සංඛ්‍යාව 94 ක් වන විට එයිනුත් වැඩිම සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ පල්ලේකැලේ ප්‍රදේශයෙනි. ඒ 33 ක් ලෙසටය.
ව්‍යාපාරික ස්ථාන 220 කට හානි සිදු කොට තිබේ. ඒ ගිනි තැබීම් සිදුවීම් 96 ක් සහ පහර දීම් 121 ලෙසටය. එයිනුත් වැඩිම සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ තෙල්දෙණිය ප්‍රදේශයෙන් වන අතර ඒ ගිනි තැබීම් 35 සහ පහර දී අලාභ හානී කිරීම් 50 ක් ලෙසය.
මුස්ලිම් ආගමික ස්ථාන 20 ක් සහ එක් බෞද්ධ විහාරයකට ප්‍රහාර එල්ල කෙරී ඇති අතර, මුස්ලිම් දේවස්ථාන 6 ක් ගිනි තබා විනාශ කරන්නට ජාතිවාදි මැරයන් කටයුතු කර ඇත. ජුම්මා දේවස්ථාන 15 ක ට පහරදි අලාභ හානි සිදු කර ඇත්තේ ආගමික වෛරය කෙතෙක් දැයි මනා සේ පෙන්නුම් කරමිනි.
නමුත් එකල වාර්තාවූ සාතිශය අපරාධකාරී ක්‍රියා සම්බන්ධයෙන් කොමිසම් වාර්තවේ කිසිදු සඳහනක් නැත.
© JDS Lanka
කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ පහළ එඬෙරුතැන්න ග්‍රාමයේ නිවාස 56 ට එකවර ප්‍රහාරයක් එල්ල කෙරුනු අතර, ඒ හේතුවෙන් එම නිවාසවල සියයකට වැඩි පිරිසක් ජිවිතාරක්ෂාව පතා අසල කැලෑවක සැඟවුණි. එසේ කැලෑ වැදුණ’වුන් අතර රෝගීන්, ළමුන් , වයෝවෘද්ධ වැඩිහිටියන් පමණක් නොව ප්‍රසුත ආසන්නයේ සිටි ගැබිනි මව්වරුන් ද විය. පසුව මැරයන් එම නිවාසවලින් බොහෝමයක් කොල්ල කා නිවාසවලට ගිනි තබා තිබු අතර, ප්‍රහාරයක් සැලවු වහාම පදිංචිකරුවන් මුස්ලිම් පූජකවරුන් හරහා ආරක්ෂක අංශ දැනුවත් කොට තිබුණද ඒ කිසිවකුත් සැලකිල්ලක් දක්වා තිබුණේ නැත. එම සිදුවීම ඡායාරූප සාක්ෂි ' ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ -JDS ' ද ඇතුළු වෙබ් අඩවි කිහිපයකම පළ විය¹ . නමුත් කොමිසම් වාර්තාවේ එවැනි බරපතල සිදුවීම් පිළිබඳව කිසිදු සඳහනක් දක්නට නැත.
පොලීසිය, හමුදාව අහක බැලු අපරාධ
© JDS Lanka
මේ සියළු අපරාධ, ප්‍රහාරයන් සිදු වූයේ කුමාරසිංහගේ මරණය වාර්තා වූ දිනයේ සහ පසු දින පමණක් නොවන අතර, එය ඔහුගේ ගම් ප්‍රදේශයට පමණක් ද සීමා නොවුණි. මේ සියල්ල අතරේ වැදගත්ම දෙය නම්, බොහෝ ප්‍රහාර සිදුවුයේ පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව ප්‍රදේශයේ රැකවල්ලා සිටියදීම වීමය. අනෙක් පසින් පොලිස් ඇඳිරි නීතිය සහ හදිසි අවස්ථා තත්වයන් ප්‍රකාශයට පත් කර තිබියදීය.
ඒ සම්බන්ධයෙන් කොමිසම් වාර්තාවේ දක්වා තිබෙන සංඛ්‍යා ලේඛන කිහිපයක් මෙසේය.
මාර්තු 03 දා සිට 10 වනදා දක්වා කාලය තුළදි මහනුවර දිස්ත්‍රිකයේ පොලිස් බල ප්‍රදේශ 16 කින් සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය විසින් (CTID) විසිනුත් අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව 230 දෙනෙකි. එයින් 61 දෙනෙක් සිවිල් හා දේශපාලන සම්මුති පනත (ICCPR) යටතේත්, 55 දෙනකු දණ්ඩ නීතී සංග්‍රහය යටතේත් අත්අඩංගුවට ගැනුනු අය බව දැක්වෙයි. තවත් හදීසි නීති රෙගුලාසි යටතේ ගත් 22 ක් සහ පොලිස් ඇඳිරී නිතීය යටතේ අත්අඩංගුවට ගත් 58 දෙනකුත් එම මුළු සංඛ්‍යාවට අයත් ය.
එසේ අත්අඩංගුවට පත් කී දෙනෙකුට එරෙහිව පැහැදිලි සාක්ෂි සහිතව නඩු පවරා ඇද්දැයි නිරවුල් තොරතුරු නොමැත. නමුත් අප දන්නා පරිදි එයින් සැලකිය යුතු සංඛ්‍යාවක් අධිකරණය මගින් පසුව නිදහස් කර හරිනු ලැබුණි. ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් බාරයට පත් කළ ඇතැමුන් තමන් නිර්දෝශි පුද්ගලයන් යැයි කොමිසම හා පවසා සිටියේ යැයි ද කොමිසම් වාර්තාවේ දැක්වෙයි.
පැහැදිලිවම යළිත් වතාවක් එයින් පෙන්නුම් කෙරෙන්නේ ශ්‍රි ලංකාවේ අන් ජාතීන්ට සහ ආගමිකයන්ට එරෙහි සංවිධානාත්මක අපරාධ, ප්‍රහාර සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ ඉන් අනතුරුව නෛතික ක්‍රියාවලියකට ප්‍රවිශ්ඨ වීම සම්බන්ධයෙන් පවතින නොතකා හැරීම් ය. මෙවැනි සංවිධානාත්මක ප්‍රහාර හුදෙක් සමාජයේ පහල මට්ටමේ පුරවැසියන්ගේ මැදිහත්වීම මතම පමණක් යමින් සිදුවිය නොහැකි මට්ටමේ ඒවාය. පසුගිය කාලය පුරාම මුදා හැරුණු මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස බෞද්ධ භික්ෂුන්, දේශපාලනඥයන්, ආරක්ෂක අංශ සාමාජිකයන් මෙන්ම ඔවුන්ගේ අනුහස ලත් ප්‍රාදේශීය මැරවරයන් ද සිටි බව නොරහසකි. අවසානයේ එය ඉහළම දේශපාලන බලාධිකාරිය හෝ පවතින ආණ්ඩුවේ මුල් ඇවරිය දක්වාම විහිදි යන්නෙකි. මහනුවර මුස්ලිම් විරෝධී ප්‍රහාරවලදී ද අපි ඒ බව මනා සේ අත් දුටුවෙමු. තත්වය ඔඩු දිවු පසු හෝ සියල්ල සිදුවී අවසානයේ හෝ එය පාලනය කළ බව පෙන්වීම සඳහා රාජ්‍ය පාර්ශවයේ ඉහළම පුද්ගලයන් වින්දිතයන් මුණ ගැසීමටත්, ප්‍රජා නායකයන් සමග සුහද හමු පවත්වන්නටත්, කණගාටුව පල කරන්නටත් එන්නේ එනිසාමය. මහනුවර ගිනි බත් වූ පසුව එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහත්, හමුදාපතිව සිටි මහේෂ් මුණසිංහත් පැමිණ මාධ්‍යයට මූණු ඔබන්නේ ද එයට වඩා වෙනස් අර්ථයකින් විය නොහැකි ය.
මානව හිමිකම් කොමිසම ඔවුන්ගේ විමර්ශනයේ දි වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබුණේ පොලීසිය, පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය (STF), සහ යුද හමුදාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව මිස පොලු මුගුරු රැගෙන තෙල්දෙණිය, කටුගස්තොට ඇතුළු ප්‍රදේශ වෙත ආ සාමාන්‍ය මට්ටමේ මැරවරයන් පිළිබඳව නොවේ. ඔවුන් මෙහි දෙවැනි පෙළ ක්‍රියාකාරින් ය.
තොරතුරු සැඟවූ විමර්ශනයක්
ප්‍රහාරයේ ගොදුරු බවට පත්වු, විශේෂයෙන්ම ආරක්ෂක අංශවල හිංසා පීඩාවන්ට සහ පහර කෑම්වලටත් පසුව අනීතික සිරගත කිරීම්වලටත් ගොදුරු වූ මුස්ලිම් ජාතිකයන් විසින් ඒ පිළිබඳව කොමිසමේ විමර්ශන කණ්ඩායම හමුවේ ලබා දී තිබුණු වාචික, ලිඛිත සහ ඡායාරූපමය සාක්ෂි කිසිවක් නිසි පරිදි භාවිතාවට ගෙන ඇද්දැයි යන බරපතල සැකය අප හමුවේ මතු වෙයි.
සාක්ෂි සහ තොරතුරු තමන් හට නිසි පරිදි නොලැබීම ගැන හත් අවුරුද්දකට පසු කියා පාමින් එම වරද සාක්ෂිකරුවන් සහ පැමිණිලිකාර වින්දිතයන් මතම පැටවීමට මානව හිමිකම් කොමිසම උත්සාහ ගත බවක් පෙනෙන්නට තිබේ.
වධහිංසා පැමිණවීම්, මරණිය තර්ජන සිදු කිරීම ද ඇතුළු විමර්ශන කමිටුව හමුවට ලැබී තිබුණු බරපතල ආකාරයේ පැමිණිලි සියයකට වැඩි සංඛ්‍යාවක් අතරින් කොමිසම ඔවුන්ගේ වාර්තාවට ඇතුලත් කොට ඇත්තේ ඉතාම සුළු සංඛ්‍යාවකි. කොමිසම හමුවට ආ සියළු පැමිණිලි සිදුවීම් ලෙස වාර්තාවට ඇතුලත් කළ නොහැකි බව සත්‍යයකි. නමුත් වඩා වැදගත් වන්නේ පැමිණිලි සියල්ල සිදුවීම් ලෙස වාර්තාවට ඇතුලත් කිරීම ම නොව නොතකා හැරිය නොහැකි සිදුවීම් පිළිබඳව අවධානයක් යොමු වන ලෙස කරුණු වාර්තා කිරීමය. විශේෂයෙන්ම එම පැමිණිලි කරුවන් විසින් චෝදනාවට ලක් කරන පාර්ශව කවරේද? ඔවුන්ට එරෙහිව ඇති චෝදනා මොනවාද? එකී පැමිණිලිකරුවන් , වින්දිතයන් හිංසා පීඩාවට පත්ව ඇත්තේ කෙසේද යන වග සවිස්තරාත්මකව දැක්වීම මගින් රාජ්‍ය සහ මිලිටරි අපරාධකාරිත්වය පිළිබඳ තොරතුරු සමාජ ගත කරන්නට ඉන් ඉඩක් තිබුණි. මන්ද යත්, මෙම විමර්ශනය සිදු කරනු ලැබුවේත්, අවසානයේ වාර්තාවක් ඉදිරිපත් කරන්නේත් රටේ ජාතික මානව හිමිකම් කොමිසම විසින් මිස වෙනත් කමිටුවක් හෝ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් හෝ නොවන බැවිනි. මානව හිමිකම් කොමිසමට සීමා මායිමක් තිබිය නොහැකිය. ඔවුන්ගේ ‘වර පත්‍රය ( Mandate)’ මගින් කොමිසමට විධාන වගකීමක් පැවරී නැතත් නොතකා හැරිය නොහැකි අර්ධ අධිකරණමය බලයක් ඔවුන් සතුය. එය පැමිණිලි පිළිබඳව විමර්ශනය කිරීමේ අධිකාරි බලයේ සිට රටේ මානව හිමිකම් සහ මුලික අයිතිවාසිකම් පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදනය සහ රජයට උපදෙස් සැපයීම තෙක් විහිදි යන්නෙකි.
වින්දිත පැමිණිලිකරුවන් සහ සාක්ෂිකරුවන් බහුතරයක් පැමිණිලි ලෙස ඉදිරිපත් කොට ඇත්තේ පොලු මුගුරු අතින් ගත් සිවිල් මැරවරයන්ට එරෙහිවම පමණක් නොව රාජ්‍ය බලය සහිත STF පිරිස් විසින් කර ඇති අකටයුතුකම් පිළිබඳව. සපරාධි බිය ගැන්වීම් සහ බලහත්කාරය, වධහිංසාවන්ට ලක් කිරීම මෙන්ම අසත්‍ය චෝදනා මත අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීම ආදී බරපතල ගණයේ අනීතික ක්‍රියා ය. ප්‍රහාර හේතු කොට ගෙන ඇතැම් වින්දිතයන්ට රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නට පවා සිදුවිය.
දිගන ජාතිවාදී ප්‍රහාර පිළිබඳ කොමිසම් වාර්තාව එන්න එන්නම පමාවීම ප්‍රශ්න කරමින් 2024 දී ප්‍රචාරය කෙරුණු වාර්තා චිත්‍රපටයක පෙනී සිටි මුස්ලිම් වින්දිතයකුගේ දෙකකුලම බිඳී ගොසිනි.
එක් පැමිණිලිකරුවකුගේ පැමිණිල්ල පරිදි ඔහු තවත් 40 ක් 50 ක් පමණ බැතිමතුන් පිරිසක් සමඟ 2018 මාර්තු 04 වන දා හිජ්රාපුර මුස්ලිම් දේවස්ථානයේ සවස යාඥාව අවසන්ව පිටතට පැමිණෙද්දි විශේෂ කාර්ය බලකා ජීප් රථයකින් මුහුණු ආවරණය කොට ගෙන පැමිණ ඇති පිරිසක් ඔහු සහ තවත් බොහෝ දෙනෙකුට තුවක්කු බඳවල් මෙන්ම පොලුවලින්ද පහර දී තිබේ.
සාක්ෂි
"පැමිණිලිකරුට අනුව STF ජීප් රථයක් පල්ලිය ඉදිරිපිට නතර කර තිබේ. එහි සිටි අය මුහුණු වසා පොලු අතැතිව සිටියේ ය. ඔවුන් විශේෂ කාර්ය බලකායේ බවට හඳුනා ගන්නේ කෙසේ දැයි කළ විමසීමට පිළිතුරු දෙමින් පැමිණිලිකරු පැවසුවේ නිල ඇඳුමින් සිටි ඔවුන් STF ලාංඡනය සහිත තොප්පි පැළඳ සිටි බවත් ය."
මුල් පැමිණිලිකරුගේ ප්‍රකාශය සනාථ කරමින් දේවස්ථානයේ සිටි තවත් අයෙක් ද කොමිසම හමුවේ පැමිණිලි කොට ඇත්තේ ඔහු ඇතුළු පිරිසට STF සෙබළුන් විසින් පහර දී දේවස්ථානයෙන් මීටර් 50 ක් පමණ එපිටට රැගෙන ගිය බවයි.
කොමිසම ඉදිරිපත් කරන තෙවැන්නාගේ පැමිණිල්ලට අනුව ඔහු සහ තවත් අයකු නිවසේ සිටියදි නිවසට කඩා පනින විශේෂ කාර්ය බලකා සෙබළුන් පිරිසක් ඔවුන්ට පොලුවලින් පහරදී අසල පිහිටි ක්‍රිස්තියානි දේවස්ථානයක් වෙත රැගෙන තිබේ.
එම පැමිණිලිකරුගේ ප්‍රකාශය සනාථ කරමින් ඔහු සමඟ එම නිවසේ රැඳි සිටි ඔහුගේ මිතුරාද කොමිසම හමුවේ සාක්ෂි ලබා දී තිබුණි.
"මේ වන විට ඔහුගේ හිස තුවාල වී ලේ ගලා යමින් තිබී ඇත. තුවාලය පෙන්නු පසුව STF නිලධාරීන් ඔහුට අයිස් ලබා දී තිබේ. සවස 6 ට පමණ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔවුන් දෙදෙනා තෙල්දෙණිය පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ. ඉන් අනතුරුව තුන්වැනි පැමිණිලිකරු තෙල්දෙණිය රෝහලට යවා ඇත. එම පැමිණිලිකරු විසින් තමන්ගේ හිසේ තුවාලය දැක්වෙන ඡායාරූප කොමිසමේ විමර්ශන නිලධාරීන් හට පෙන්වනු ලැබුණි."
ඔහුගේ ප්‍රකාශය සනාථ කරමින්, ඔහු සමඟ නිවසේ සිටි අනෙක් තැනැත්තාද කොමිසම හමුවේ සාක්ෂි ලබා දී තිබුණි.
" ප්‍රහාර නිසා බියට පත්ව සිටි ඔහුගේ දරුවා නිවසේ සිටි හෙයින් දොර වසා ගෙන සිටි බව ඔහු කීය. STF සෙබළු බෝතල් කිහිපයක් මල්ලක දමා දිගන පල්ලිය දක්වා එය රැගෙන යාමට බල කළ බවද ඔහු පැවසීය. විශේෂ කාර්ය බලකා සෙබළුන්ට එරෙහිව තමන් 2018 මාර්තු 13 දා පොලිසියේ පැමිණිල්ලක් කළ බවටද පැමිණිලිකරු සඳහන් කරයි. පෙට්‍රල් බෝම්බ සන්තකයේ තබා ගත් බවට චෝදනාවක්ද මෙම පැමිණිලිකරුට එරෙහිව ගොනු කර තිබේ."
පෙට්‍රල් බෝම්බ ළඟ තබා ගැනීම පිළිබඳව චෝදනා එල්ල කරමින් පවරා තිබු නඩුවෙන් තෙල්දෙණිය අධිකරණය විසින් ඔවුන් දෙදෙනා නිදොස් කොට නිදහස් කරන්නේ එම චෝදනා ව්‍යාජ සහ ද්වේශ සහගතව ගොනු කර ඇතැයි යන බවද පවසමිනි. නමුත් හත් අවුරුද්දකට පසුව හෝ නිකුත් කළ කොමිසම් වාර්තාවේ එවැන්නක් සඳහන් වන බව නම් පෙනෙන්නට නැත.
ගම්පොල STF කඳවුරේ සහකාර පොලිස් අධිකාරි ඒ.රණසිංහ ගේ සාක්ෂියට අනුව හිජ්රාපුර පල්ලියේ සිටි මුස්ලිම් ජාතිකයන් 'මෙල්ල කිරීම' සඳහා සෙබළුන් කණ්ඩායමක් ඒ වෙත යොමු කොට ඇත්තේ ඔහු විසිනි. ඒ දිගන සිට පැමිණෙන සිංහලයන්ට පහර දීම සඳහා හිජ්රාපුර පල්ලියේ මුස්ලිම්වරුන් ඒකරාශී වන බවට ග්‍රාම නිලධාරිවරයකු විසින් " දුරකතනයෙන් " ලබා දී ඇති තොරතුරු මත පදනම් වෙමිනි. තමන්ට පහර දුන්නේ එසේ පැමිණි සෙබළුන් යැයි තුවාල ලත් අය පවසන විට අණ දෙන නිලධාරියා එය ප්‍රතික්ෂෙප කරමින් කොමිසම හමුවේ සෙබළුන් වෙනුවෙන් පෙනී සිට තිබුණි. කොමිසම, සහකාර පොලිස් අධිකාරිවරයාගේ ප්‍රකාශය උපුටා දක්වා තිබුණද වින්දිත පැමිණිලිකරුවන් විසින් නගන චෝදනා පිළිබඳව ඔහුගෙන් පෙරලා ප්‍රශ්න කර තිබේ දැයි සඳහන් කිසිවක් වාර්තාවේ දක්වා නොමැත.
විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් පල්ලිය අසලදි මුස්ලිම්වරුන්ට පහර දෙන බව දැක්වෙන ඒ දිනවලම JDS අඩවියෙන් ප්‍රසිද්ධියට පත් කරන ලද වීඩියෝ දර්ශන ඉකුත් අවුරුදු හත පුරා විවිධ මාධ්‍ය ඔස්සේ පල කොට තිබේ. පැමිණිලිකරුවන් විසින් එයද කොමිසමේ විමර්ශන කණ්ඩායමට ලබා දී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් වැඩි දුර ක්‍රියාමාර්ගයකට එළැඹියේ නැති බව නම් පැහැදිලිය.

ඉහත පැමිණිලිකරුවන්ට STF සෙබළුන් විසින් කරන ලද පහර දීම් හේතුවෙන් හිසට ඇති වු තුවාල වලට ප්‍රතිකාර ලබා ගැනීමට තෙල්දෙණිය රෝහලට රැගෙන ගිය අවස්ථාවේදි එහි සිංහල ජාතික වෛද්‍යවරුන් විසින් හැසිරී ඇති ආකාරය පිළිබඳවත් කොමිසම් වාර්තාවේ 'සැර බාල කොට' දක්වා ඇත.
" තමුසෙලාව රෝහලට නෙමෙයි කූඩුවට දාන්න තිබුණේ" යනුවෙන් රෝහලේ මූලික ප්‍රතිකාර සිදු කළ වෛද්‍යවරයා පැමිණිලිකරුට සිංහලෙන් පවසා ඇතැයි කොමිසම් වාර්තාවේ සඳහන් ය.
නමුත් එම වෛද්‍යවරුන් සම්බන්ධයෙන් කොමිසම විසින් කවර නම් ක්‍රියා මාර්ගයක් ගත්තේ දැයි කිසිදු සඳහනක් නැත. එම වෛද්‍යවරුන් චේතනාන්විතවම නීතියත්, වෛද්‍ය ආචාරධර්මත් කෙලසා තිබේ. ජාතිය සහ ආගම මත පදනම් වෙමින් වෛරී සහගතව රෝගි පුද්ගලයන්ට පරිබව සිදු කොට තිබේ. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත ක්‍රියාත්මක විය යුතු වන්නේ මෙවැනි පුද්ගලයන් හට එරෙහිව නොවේද? ජාතිය මත පදනම්ව වෛද්‍යවරුන් කටයුතු කරන්නේ නම් එය වෘත්තීමය විෂමාචාරයකි. කොමිසම විසින් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් හෝ ශ්‍රි ලංකා වෛද්‍ය සභාව හෝ දැනුවත් කරනු ලැබුවේද? අවම වශයෙන් එම වෛද්‍යවරුන් විමර්ශන කමිටුව හමුවට කැඳවනු ලැබුවේද?
මේ සියල්ල අවසානයේ කොමිසම කියන්නේ පැමිණිලිකරුවන් වෙතින් කොමිසම විසින් ඉල්ලා සිටි ලිඛිත සහ විද්‍යුත් සාක්ෂි නිසි පරිදි තමන් වෙත නොලැබුණු බවකි. මෙයින් පෙන්නුම් කරන්නට හදන්නේ කුමක්ද? අප විසින් මතු කරන්නට වෙර දරන්නේද එයයි. එනම් මානව හිමිකම් කොමිසමේ වගකීම් විරහිත සහ දියාරු ප්‍රතිපත්තියේ දිග පළල යි. මූලිකවම කොමිසම ව්‍යවස්ථාපිතව ඔවුන්ට පැවරී තිබෙන බලතල පිළිබඳ අවබෝධයක් ඇති කර ගත යුතුය. ඔනෑම විමර්ශනයකට හෝ පැමිණිල්ලකට අදාලව ඔනෑම ආයතනයක්, පුද්ගලයකු වෙතින් ලිඛිත, වාචිත, විද්‍යුත් හෝ වෙන යම් ඕනෑම සාක්ෂියක්, තමන් වෙත සෘජුව කැඳවා ගැනීමේ බලය සහ අයිතිය මානව හිමිකම් කොමිසම සතුය. එමෙන්ම ඔනෑම තරාතිරමක පුද්ගලයෙකු වෙතින් ප්‍රශ්න කිරීමේ බලයද කොමිසම සතුය. වින්දිත පැමිණිලිකරුවන් චෝදනා එල්ල කරන්නේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සමාජිකයන්ට එරෙහිව නම් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීමේ වගකීම ඇත්තේ කොමිසම සතුවය. එසේ නම් මේ වින්දිත පැමිණිලිකරුවන් පවසන දෑ සනාථ කරන්නට අවැසි ලිඛිත සාක්ෂි එනම් වෛද්‍ය වාර්තා, අධිකරණ සහ පොලිස් පැමිණිලි වාර්තා ඔවුන් වෙතින්ම ඉල්ලා සිටින්නේත් එය නොලැබුණු පසුව එහි දෝෂය හෝ වරද එම පැමිණිලිකරුවන් මතම පටවන්නේත් කුමක් නිසාද?
ශ්‍රී ලංකාවේ රෝගියකු, විශේෂයෙන්ම අධිකරණ වෛද්‍ය පරීක්ෂාවට ලක්වන තැනැත්තන්ගේ එම වාර්තා සෘජුවම රෝගියා අතට පත් නොවන බව ඕනෑම අයෙක් දන්නා සත්‍යයකි. අවම වශයෙන් විමර්ශන භාර පොලිස් නිලධාරීන් හට හෝ අධිකරණ වෛද්‍ය වාර්තා සෘජුව ලබා ගැනීමේ හැකියාවක් ශ්‍රි ලංකාවේ නොමැත. එය සංකීර්ණ සහ කල් ගතවන ක්‍රියාවලියකි. අධිකරණ වෛද්‍ය වාර්තා යොමු කෙරෙන්නේ අධිකරණය වෙතය. කොමිසමේ විමර්ශන කණ්ඩායම ඒ බව නොදැන සිටින බවක් කිව නොහැකිය. මන්ද යත් විමර්ශන කණ්ඩාමේ බහුතරයක් දෙනා නීතිය පිළිබඳ හසල දැනුමැත්තන් ය. එසේ තිබියදී මුස්ලිම් වින්දිතයන්ට වෛද්‍ය වාර්තා ඉල්ලන්න යයි කියන්නේ බෙහෙත් නොදී ‘කුඩුවට දාන්න’ යෝජනා කළ සිංහල වෙද්දුන්ගෙන්ම ද?
ආරක්ෂක අංශවලට පක්ෂපාතී ද?

සැකකාර සෙබළුන් සහ පොලිස් නිලධාරීන් සම්බනධයෙන්ද අනුගමනය කර ඇති ප්‍රතිපත්තිය ඉතා මනා ලෙස පෙන්නුම් කෙරේ. කොමිසමට අවශ්‍යතාවයක් තිබුණේ නම් වින්දිත පැමිණිලිකරුවන්ගේ චෝදනාවට ලක් වන සෙබළුන් කවුරුන්දැයි එම සෙබළුන් භාරව සිටි කඳවුරු ප්‍රධානීන් වෙතින් දැන ගන්නට හැකියාවත් තිබුණි. ප්‍රහාර වළකාලන්නට හෝ කවර නම් හේතුවකට හෝ නුවරට කැඳවන ලද පොලිස් හමුදා කාණ්ඩ කවරක්ද? ඒවායෙහි අදාල කාල වේලාවන් තුළ රාජකාරි කරන ලද සෙබළුන් කවුද, ඔවුන්ට අණ දුන්නේ කවර නම් නිලධාරීන් ද යන වග නිල වශයෙන්ම දැන ගන්නට කොමිසමට හැකියාවක් තිබේ.
පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කරන ලද පහර දීම් හිරිහැර මෙන්ම සංවිධානාත්මක ජාතිවාදි සිවිල් මැරවරයන් විසින් කරන ලද ප්‍රහාර ද වළකාලන්නට ආරක්ෂ අංශ කටයුතු නොකළ බවට ද බරපතල චෝදනා අවැසි තරමටත් වඩා තිබේ. එම චෝදනා වින්දිත මුස්ලිම් ජනයා පමණක් නොව සිද්ධිය හෙලා දුටු සියළු පාර්ශවයන් මෙන්ම එවක ආණ්ඩුවේ ඇමැති ධූර දරමින් සිටි මුස්ලිම් ජාතික දේශපාලඥයන්ද ප්‍රසිද්ධියේම කියා පෑ දෙයකි. එහෙත් වගකීම් විරහිත එක් පුද්ගලයෙක් හෝ පාර්ශවයක් හෝ සෘජුව නම් නොකරන්නට තරම් කොමිසම "පරෙස්සම් සහගත" වී ඇත්තේ කුමක් නිසාද?.
වසර 7 ක් තිස්සේ කොමිසම් වාර්තාව ප්‍රමාද වන විට වින්දිත මුස්ලිම් ජනයා දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් සැක පළ කරමින් කියා සිටියේ ප්‍රහාරවලට සාමාන්‍ය ජනයා මෙන්ම ආරක්ෂක අංශද සම්බන්ධව සිටින බැවින් ඒ තත්වය හෙළිදරවු කිරීමේ නොහැකියාවක් මත කොමිසම වාර්තාව ප්‍රමාද කරන බවකි. සත් වසරකට පසුව එය නොතකා හැරිය නොහැකි වීමේ තරම වාර්තාවෙන්ම පිළිඹිබු වෙයි.
මානව හිමිකම් කොමිසමේ විමර්ශන කණ්ඩායම හමුවේ දීර්ඝ ප්‍රකාශයක් ලබා දී තිබෙන එවකට මධ්‍යම පලාත භාරව සිටි ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ ට අනුව, මුස්ලිම් ජනයාට එරෙහිව යම් සංවිධානාත්මක ප්‍රහාරයක් ඇති වීමේ තත්වයක් කලින්ම වාර්තා වී තිබේ. නමුත් ප්‍රදේශයට පැමිණි ප්‍රචණ්ඩකාරීන් සංඛ්‍යාවත්, ප්‍රහාර පැතිරී ගිය භූමි ස්වභාවයත් අනුව තත්වය පාලනය කිරීම සඳහා ප්‍රදේශයේ පොලිසිවලට පිරිස් බලය හිඟ වූ බව පවසා ඇති ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් මුලස්ථානයෙන් යොමු කළ කැරළි මර්දන කණ්ඩායම් දෙකටද තත්වය පාලනය කළ නොහැකි වූ බව කියා සිටි. නමුත් මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙයවා ඇති බවට කොමිසම විසින් නම් කර ඇති එකම පුද්ගලයා වන මහසෝන් බලකාය නැමැති සංවිධානයේ ප්‍රධානී අමිත් වීරසිංහ ගේ බිරිඳ සහ අම්පිටියේ සුමනරත්න නම් භික්ෂුව එම පොලිස් නිලධාරියා ප්‍රහාර පිටුපස සිටි බවට චෝදනා එල්ල කරති. ඔවුන්ට අනුව අමිත් වීරසිංහව ඒ සඳහා යොදා ගෙන ඇත්තේ හිටපු ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහ විසිනි. නමුත් කොමිසමට ඒ බව වගක් නැත. එතරම් චෝදනා ඇත්තකු පසු කලෙක මහජන දුක් ගැනවිලි පිළිබඳ ඔම්බුඩ්ස්මන්වරයා ලෙස පත් කිරීමේ දි මානව හිමිකම් කොමිසම කවර නම් මැදිහත් වීමක් කරේ දැයි විමතිය දනවන කරුණකි. අවම වශයෙන් වාර්තාව තුළ හෝ ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමක් කරන්නට කොමිසම කටයුතු කළ යුතුව තිබුණි.

එමෙන්ම පසුගිය පලාත් පාලන මැතිවරණයේදි අමිත් වීරසිංහ ඔහුට සුපුරුදු ජාතිවාදි ස්වරූපයෙන් කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවට තරඟ වැදෙන විට තවත් මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවේ යැයි අනුමානයෙන් හෝ කොමිසම යම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේද? අප දන්නා පරිදි එසේ නොවේ. ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රදේශයේ අන්‍යාගමික පූජකවරුන් පවා ඔහුගේ ජාතිවාදි ක්‍රියා පිළිවෙත කොමිසම හමුවේ පවසා තිබියදීත් ඔහුට මහජන නියෝජිතයෙකු ලෙස මැතිවරණවලට නිදහසේ තරග කරන්නට ඉඩ ලැබුණේ මානව හිමිකම් කොමිසමේ දියාරු ප්‍රතිපත්තිය හේතු කොට ගෙන බව පැවසිය යුතුය.
ප්‍රාදේශීය ලේකම්වරුන් වැනි රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ පිරිස් වෙතින් ද කොමිසම සාක්ෂි ලබා ගෙන ඇත. එහි සම්පිණ්ඩනයක් ගෙන බැලු විට පෙන්නුම් කෙරෙන්නේ ඒ සාක්ෂිවලින් වින්දිත මුස්ලිම් ජනතාවට එරෙහිව නැගි ප්‍රචණ්ඩත්වය පිළිබඳ සැබෑ තතු හෙළිදරවු නොවන ආකාරයකි. ප්‍රහාරවලින් පසුව සමාජ සුබසාධනය, වන්දි ප්‍රදානය වැනි කරුණුවල සිට ඔවුන්ගේ පරිපාලන විෂය ක්ෂේත්‍රයට පමණක් වැදගත්වන ප්‍රකාශයන්ට පමණක් එම සාක්ෂි සීමා වී තිබේ.
ජාතිවාදයට වඩා කොමිසමට වැදගත් පරිපාලන ගැටළු
කොමිසම දීර්ඝ ලෙස එම කරුණු පිළිබඳව අවධානය යොමු කර ඇති බවක් පෙනෙන්නට තිබේ. විශේෂයෙන්ම ගිනි නිවන හමුදාව සතු සම්පත්, ඔවුන් රාජකාරි සඳහා මුදාහැරීමේ පවතින ගැටළු, පරිපාලන අර්බුද, පිරිස් බලය සීමා වීම් ආදිය පිළිබඳව කොමිසම දීර්ඝව කරුණු ගෙන හැර දක්වා තිබේ. ඒ සියල්ල කැරළි කෝළාහල සහ ප්‍රචණ්ඩ ක්‍රියා මර්දනයේදී වැදගත් මුත් මානව හිමිකම් කොමිසම කළ යුතුව තිබුණේ ඔවුන්ගේ විමර්ශන ක්‍රියාවලියේදි එවැනි දෑ අතුරු කාරනා සහ දෙවැනි පෙළ තත්වයන් ලෙස සලකා ප්‍රහාරයේ වගකීම සහ වගවීම ප්‍රමුඛත්වයේ ලා සැලකීමයි. එසේ කරනු ලැබුවේ නම් චෝදනා ලත් ආරක්ෂක අංශ සාමාජිකයන් සහ රාජ්‍ය නිලධාරීන් පිළිබඳව තොරතුරු හෙළිදරවු වන්නටත්, ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරවන්නට ඇවැසි පසුබිමක් සැකසෙන්නටත් ඉඩ තිබුණි. වින්දිත පැමිණිලිකරුවන්, සාක්ෂිකරුවන් කොමිසමෙන් බලාපොරොත්තු වුයේ ද එයයි.
මේ සියල්ල අතරේ වාර්තාව ප්‍රමාද වීම පිළිබඳවද කොමිසම නිදහසට කරුණු දක්වයි.
එයට පෙරද කොමිසමේ බලධාරීහු වසර 7 ක් පුරා විවිධ අවස්ථාවල විවිධ දේ කියා පෑහ. විටෙක සංස්කරණ දෝෂ තත්වයන්ය. තව විටෙක භාෂා පරිවර්තන කටයුතු අවසන් නැත. ඒ අතරේ විවිධ කාලවල සභාපතිවරුන්, කොමසාරිස්වරුන් මාරුවීම් ගැනද පමාවට හේතු ලෙස දක්වන ලදී. භාෂා පරිවර්තනයක් ගැන පැවසුවද එය අමූලික බොරුවක් බව පෙනෙන්නේ අවසානයේ ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමා වෙමින් වාර්තාව නිකුත් කර තිබීමෙනි. වින්දිතයන්, පැමිණිලිකරුවන් සාක්ෂිකරුවන් අති බහුතරයක් දෙමළ භාෂිත අයයි. කොමිසම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියද උල්ලංඝණය කර තිබේ. අවසානයේ නිදහසට කරුණු ලෙස වාර්තාවේම දක්වා තිබෙන්නේ ද හරි අපුරු හේතු දැක්වීමකි.
2019 වර්ෂයේ සිදුවු පාස්කු ප්‍රහාරය, 2021 කෝවිඩ් වසංඟත තත්වය සහ 2022 ඇති වු ආර්ථික අර්බුදය වාර්තාව පමා කරන්නට හේතු වූ යේ යැයි කොමිසම පවසයි. නමුත් මේ මුළු වසර 7 පුරාම මානව හිමිකම් කොමිසම ඉතා දීර්ඝ සිද්ධි අධ්‍යයන සහිත වාර්තා ගණනාවක්ම ප්‍රසිද්ධියට පත් කොට ඇති බව අමතක නොකළ යුතුය. බන්ධනාගාර ආශ්‍රීත තත්වය, මහර බන්ධනාගාරයේ සිදුවීම පිළිබඳ සිද්ධි අධ්‍යයන වාර්තාව හා රඹුක්කන ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාව ඒ අතරින් කිහිපයකි.
අවසානයේ මානව හිමිකම් කොමිසම පසුගිය සැප්තැම්බරයේදි වාර්තාව ප්‍රකාශයට පත් කරන්නේ මුලින් දැක්වු පරිද්දෙන්ම ඉතාම සම්ප්‍රදායික නිර්දේශ කිහිපයකට පමණක් සීමා වෙමිනි.
නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශය, තරුණ කටයුතු, ක්‍රීඩා, කාන්තා සහ ළමා, රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ ආදි අමාත්‍යාංශවලට අදාලව නිකුත් කර ඇති නිර්දේශ සියල්ලක්ම පාහේ අලුත් ඉදිරිපත් කිරීම් නොවේ. අතිරේක නිර්දේශ අතර ICCPR පනතේ 3 වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සහ මානව හිමිකම් කොමිසම විසින් ලබා දී ඇති නිර්දේශ මත ක්‍රියාත්මක වීම දැක්වෙයි. මේ හැරුණු කොට අවසානයේ ඇති එකම විශේෂිත අතුරු නිර්දේශය වන්නේ රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකරන බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා වූ අධිකාරියක් පිහිටු වීමේ යෝජනාව යි.
මානව හිමිකම් කොමිසමේ එවක සභාපතිනිය මෙන්ම විමර්ශන කණ්ඩායමේ ප්‍රධානත්වයද ඉසිලු මහාචාර්ය දීපිකා උඩගමගේ , එවක කොමසාරිස් නීතිඥ ගසාලී හුසේන් ද ඇතුළු කණ්ඩායම හට අපට අවසානයේ පවසන්නට ඇත්තේ මෙවැන්නකි. වින්දිත මුස්ලිම් ජාතිකයන් බොහෝ පීඩා තර්ජන ගර්ජන මධ්‍යයේ ඔබ කමිටුව හමුවට පැමිණ සාක්ෂි ලබා දුන්නේ, දුක් ගැනවිලි පවසන ලද්දේ යුක්තිය ඉටු කර ගැනීමේ අරමුණින් මිස සැබෑ අපරාධකරුවන්ට සුදු හුණු තවරන ආකාරයේ වාර්තාවකින් පමණක් සෑහීමකට පත් වන්නට නොවේ.
වාර්තාවේ නිර්දේශත්, එය වින්දිතයන් හෝ රටේ බහුතරය හෝ වහරන භාෂාවලින් පල නොකිරීමත් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් සේ නියම කරන ලෙස ඉල්ලා කිසිවකු හෝ මානව හිමිකම් කොමිසමට එරෙහිව උසාවි ගියහොත් එයද පුදුමයට කරුණක් නොවේ.
හිටපු කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් යුතුව 2019 වසරේදි පිහිටුවන ලද " ශ්‍රි ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සහතික කිරීම පිණිස ඒ පිළිබඳව අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලීමේන්තු විශේෂ කාරක සභාවේ" මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව දැක්වෙන්නේ මෙසේය.
" කළුතර, ගාල්ල, අම්පාර සහ මහනුවර දිස්ත්‍රික්කවල මෑතදී උද්ගත වූ සිදුවීම්වලට අදාලව නීතිය ක්‍රියාත්මක කිරීමේදි පොලිස් දෙපාර්තමේන්තුව සිදුකර ඇති 'සමාව දිය නොහැකි' තරමේ ප්‍රමාදයන් මෙන්ම, ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ අයට එරෙහිව නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව අසමත්වීම පිළිබඳවත් හෙළිදරවු වෙමින් තිබේ. නීතිය ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා තව තවත් ගැටුම් ඇති වීමට දිරි දෙන අතර, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් මෙම ක්‍රියාවට සහාය දැක්වීම පිළිබඳ වන චෝදනා මානව හිමිකම් කොමිසම වැනි ස්වාධීන ආයතන මගින් විමර්ශනයට ලක් කොට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරන බව සහතික කර ගැනීම සඳහා නොපමාව ක්‍රියාත්මක වීම අවශ්‍ය වන හෙයින් එවැනි දුර්වලතා ආමන්ත්‍රණය කිරීම අවශ්‍ය ය."
කොමිසම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළේ ද? මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් කොමිසම ප්‍රකාශයට පත් කර ඇති සමස්ත වාර්තාවට ම වඩා පාර්ලීමේන්තු වාර්තාවේ අදාල පේලී කිහිපය නාමිකව හෝ කෙතරම් බලවත්ද? වැදගත් ද?
- කේ විජේසිංහ




