The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සොකරි ගෙ පැටිකිරිය | තිලක් සේනාසිංහ

T

The Leader Desk

October 21, 2025 • 11:39 AM

සොකරි ගෙ පැටිකිරිය | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද මෙන් තොරතුරු තාක්ෂණික දියුණුවක් නොතිබූ ඒ කාලයේ මා දන්නා හඳුනන කිහිප දෙනකුගෙන්ම ඒ පිළිබඳ විපරමක් කළ මුත් කිසිදු හෝඩුවාවක් සොයා ගත නොහැකි විය.
  • එ බැවින් තඹරාවිට ආශ්‍රිතව එහි යම් ප්‍රවාදගත කරුණු හෝ තිබෙන්නට ඇතැයි යන විශ්වාසය එවක මා තුළ පැවතිණ.
  • පසුව ඒ සම්බන්ධයෙන් මා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ද විමසීමක් කළ අතර එහි නිලධාරියකු පැවසුවේ අඩුම තරමින් තඹරාවිට ගම්මානය පිහිටි පළාත හෝ කිවහොත් එය සොයා ගැනීමට වඩාත් පහසු විය හැකි බවය.
  • එවිට ඔහු පවසා සිටියේ එම පළාත්වල වුව තැපැල් සේවා ක්‍රියාත්මක වන එවන් ගම්මානයක් පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

අද මෙන් තොරතුරු තාක්ෂණික දියුණුවක් නොතිබූ ඒ කාලයේ මා දන්නා හඳුනන කිහිප දෙනකුගෙන්ම ඒ පිළිබඳ විපරමක් කළ මුත් කිසිදු හෝඩුවාවක් සොයා ගත නොහැකි විය.

මට එසේ තකහනියේම තඹරාවිටක් සොයා ගැනීමට වුවමනා වූයේ අතිශය රූමත් සරාගී තරුණ විවාහක කාන්තාවක වන ‘සොකරි’ පිළිබඳ තොරතුරු සොයා බැලීමටය.

 

sokari1

ඉන්දියාවේ කාසි රට ඉපිද හැදී වැඩී ගුරුහාමි නම් වන වියපත් ආඬි ගුරෙකුගේ ඉනාවකට හසු වී ඔහු හා විවාහපත්වන ‘සොකරි’ ඔහු හා ඔවුන්ගේ පරයා හෙවත් පච්චමිරා නම් නොසන්ඩාල මෙහෙකරුවරයා ද සමඟ අප රටට පැමිණ පදිංචි වනුයේ තඹරාවිට නම් ගම්මානයකය. එහි දී ඇය තම සැමියාට ප්‍රතිකාර කිරීමට පැමිණෙන තඹරාවිට ගමේ වෙදරාළට දාව දරුවකු ප්‍රසූත කිරීම දක්වා වන සිදුවීම් දාමය මීට සියවසකට දෙකකට එපිට සිට ‘සොකරි’ නම් වන ජන රංගනයෙන් එළි දැක්විණි. එ බැවින් තඹරාවිට ආශ්‍රිතව එහි යම් ප්‍රවාදගත කරුණු හෝ තිබෙන්නට ඇතැයි යන විශ්වාසය එවක මා තුළ පැවතිණ.

පසුව ඒ සම්බන්ධයෙන් මා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ද විමසීමක් කළ අතර එහි නිලධාරියකු පැවසුවේ අඩුම තරමින් තඹරාවිට ගම්මානය පිහිටි පළාත හෝ කිවහොත් එය සොයා ගැනීමට වඩාත් පහසු විය හැකි බවය. ඒ අනුව ‘සොකරි’ ජන රංගනයෙන් අනාවරණය වන කරුණු අනුව එය මධ්‍යම, වයඹ හෝ සබරගමු පළාතට අයත් ගම්මානයක් විය හැකි යැයි මම ඔහුට කීවෙමි. එවිට ඔහු පවසා සිටියේ එම පළාත්වල වුව තැපැල් සේවා ක්‍රියාත්මක වන එවන් ගම්මානයක් පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බවය.

 

sokari4

සොකරි, කෝලම්, නාඩගම් යන අපගේ ජන රංගන ත්‍රිත්වයේ මුල්ම ජන රංගනය වන සොකරි මුළුමනින්ම පාහේ දේශීය ආරක් ගත් ජන රංගනයක් බව පොදු පිළිගැනීමය. එහෙත්, ඊට සොකරි, ගුරුහාමි සහ පරයා යන ඉන්දීය චරිත මුල් කොට සොකරි සඳහා කිසියම් ඉන්දීය ආභාෂයක් ලැබී තිබේද? යන සැකය ද ජනිත විය හැක. හින්දි භාෂාවේ හිතුවක්කාර කෙල්ල වැනි අදහසක් පළ වන ‘චොකොරි’ යන ගැමි වහරින් මෙම ‘සොකරි’ යන වදන බිඳී ආ බවට ද මත පළ වේ. එපමණක් නොව එහි එන ගුරුහාමි යන වදන ද හින්දි ඇතුළු ඉන්දීය භාෂා කිහිපයක ආධ්‍යාත්මික හෝ ගුප්ත ශාස්ත්‍රඥයන් හැඳින්වීම පිණිස යෙදෙන ‘ගුරු ස්වාමි’ යන්න සිංහල ඌරුවට සකස් වීමකි. එපමණක් ද නොව සොකරි නාටකයේ එන පරයාගේ චරිතය ද නීචයා යන අරුත දෙන ‘පුරායර්’ යන හින්දි වදනින් බිඳී ආවකි. ඉංග්‍රීසි බසෙහි මෙය Pariah යනුවෙන් හැඳින්වේ. නමුත් ඒ කරුණු මත මෙම ‘සොකරි’ නාටකයට මුළුමනින්ම ඉන්දීය පීතෘත්වයක් ප්‍රදානය කළ යුතු නැත. මක්නිසාද එහි තේමාවේ සිට කතා සන්දර්භය තෙක් දේශීය ගැමි අනන්‍යතා රැසක් ඇති බැවිනි.

sokari2

 

සොකරි නාටකය එහි ප්‍රධාන චරිතයේ නමින්ම හැඳින්වීම විශේෂත්වයකි. බොහෝවිට සොකරි නාටකය දක්නට ලැබෙනුයේ උඩරට ප්‍රදේශ වලදීය. ඊට අමතරව උඩරැටියන් සංක්‍රමණය වූ ඉන් බැහැර ඇතැම් ප්‍රදේශ වලද දක්නට තිබී ඇත. හඟුරන්කෙත, හේවාහැට, මාතලේ, දඹුල්ල, කළුන්දෑව ආදී ප්‍රදේශ වල එවක බහුලව දක්නට තිබූ මෙය සමාජය නාගරිකරණය වීමේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රමයෙන් අභාවයට ගොස් තිබේ. නමුදු මෙහි කතා සාරය මේ වන විට වේදිකා නාට්‍යයක් ලෙස රඟ දැක්වෙනු පෙනේ.

සොකරි රඟදැක්වීමේ ප්‍රධාන අරමුණ ලෙස විනෝදාස්වාදය ලබා ගැනීම බව පෙනෙන්නට තිබුණ ද එහි එක්තරා යාතු කර්ම ස්වරූපයක් ද දක්නට තිබේ. දෙවි දේවතාවුන් සතුටු කර ඊළඟ කන්නයේ සරුසාර අස්වැන්නක් ලබා ගැනීම සේම ප්‍රදේශය පුරා පැතිර යන වදුරු වසංගත පිටු දැකීම හා සතුට සොම්නස පිරි වසරක් ප්‍රාර්ථනා කිරීම මෙහි සෙසු අරමුණු බව පෙනෙයි. මෙහි වදුරු යනු වසූරියයි. මින් පූජා ලබන මූලික දෙවිවරු ලෙස පත්තිනි දේවිය හා කතරගම දෙවියන් දැක්විය හැක.

සොකරි රංගභූමිය ලෙස බොහෝ විට කමතක් යොදා ගත් අතර පසු කාලීනව එළිමහන් පිට්ටනි ද යොදා ගත් බව පෙනෙයි. මෙය කවාකාර එළිමහන් රඟ මඬලකි. සොකරි රැයක් පහන් වන තුරු රඟ දැක්වුණු බැවින් නරඹන්නවුන්ට නිදහසේ බිම වාඩිවී නාටකය නැරඹිය හැකි ලෙස රඟ මඬල සකස් වී තිබිණ. රංගභූමිය පිටුපසින් කෙසෙල් පතුරු වලින් සාදා ගොක් කොළ කැටයමින් යුතු කලාත්මක මල් යහනක් ඉදි කෙරෙනුයේ දෙවි දේවතාවුන් වැඩම කරවීම පිණිසය. ඒ අනුව සොකරි නැරඹීම දෙවියන් ඉදිරියට පැමිණෙන්නක් ද නිසා නරඹන්නවුන් තුළ විශේෂ විනයක් හා සංවරයක් තිබෙන්නට ඇත.

sokari7
මෙහි කතා නායිකාව සොකරි වන අතර ඇගේ සැමියා වන ගුරුහාමි, මෙහෙකරු පරයා හෙවත් පච්චමිරා, තඹරාවිට වෙදරාළ සෙසු ප්‍රධාන චරිත වේ. ඒ හැරුණු කොට වෙද රාළගේ මෙහෙකරු සොත්තානා, හෙට්ටියා, කපුරාළ, වඩු රාළ, කාලි අම්මා මෙහි සෙසු චරිත වන අතර ඒවා ප්‍රාදේශීය වශයෙන් ආච්චි, මුනුපුරා, රජතුමා ආදී වශයෙන් විවිධාංගීකරණයට ලක් වේ. නමුත් මේ සියළු චරිත පිරිමින් විසින් රඟ දැක්වීම ද විශේෂත්වයකි. ප්‍රාදේශීය වශයෙන් යම් යම් වෙනස්කම් තිබුණ ද සොකරි නාටකයේ කතා තේමාව මෙයයි.

කාසි රටේ ගුරුහාමි නමින් යුත් වියපත් ආඬි ගුරෙක් වාසය කරයි. මෙම ආඬි ගුරුන් යනු අප ශ්‍රී ලාංකේය ජන සමාජය හා විවිධාකාර සහසම්බන්ධතා පැවැත්වූවෝ වෙති. ඔවුන් සීතාවක හා මහනුවර යුග වල දී අප රටේ රාජ්‍යත්වයට පවා ඉව කළ අවස්ථා කිහිපයක් තිබේ.

ගුරුහාමි වියපත් සේම කුදු ශරීර ස්වභාවයක් ඇත්තෙකි. සොකරි නම් වූ අතිශය රූමත් යුවතියක සරණ පාවා ගන්නා ඔහු පරයා හෙවත් පච්චමිරා මෙහෙකාරකමට ගනී. පසුව ජීවනෝපායක් සොයමින් රටින් රට ඇවිදින ඔවුන් සිංහල දේශයට පැමිණෙන අතර ඔවුහු මුහුදු හතක් තරණය කොට ලක්දිවට පැමිණෙති. එමෙන්ම සොකරි නාටකයේ ප්‍රාදේශීය වර් නැඟීමකට අනුව ගුරුහාමි සොකරි ද සමඟ අප රටට එන්නේ ඇයට දරුවන් නොමැතිකම මුල් කොට කතරගම දෙවියන්ට බාරයක් වීමය. මෙහි දී පළමුවෙන්ම ශ්‍රී පාදස්ථානයට ගොස් වැඳ පුදා ගන්නා වූ ඔවුහු අනතුරුව තඹරාවිට නම් ගම්මානයට පැමිණ එහි පැලක් සාදාගෙන පොළව ගොම ගා පවිත්‍ර කරගෙන එහි වාසය කරන්නට සැරසෙති. පසුව ගුරුහාමි හාල් සොයන්නට නික්ම යන මුත් සිංහල බස නොතේරෙන බැවින් ඔහුට නොයෙක් අකරතැබ්බ වලට මුහුණ පාන්නට සිදු වෙයි. ඔහු කෙසේ හෝ හාල් ටිකක් සොයා ගෙන විත් බත් පිසින්නට කියා සොකරියට දෙන මුත් එය පිසීමට වතුර නැති නිසා ඔහුට නැවත ගංගොඩේ ඇවිදින්නට සිදු වෙයි.

 

sokari5
ඒ ගමන යන විට තඹරාවිට ගමේ වෙදරාළගේ බල්ලා ගුරුහාමිගේ කකුළ සපා කයි. අමාරුවෙන් ගෙදරට එන ගුරුහාමි පොළොවෙහි වැතිර සිටින විට ඒ පරයා අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන සොකරිය අනාචාරයට පොළඹවන්නට මාන බලයි. පරයා කෙරෙහි උරණ වූ සොකරිය වෙදරාළ කැඳවාගෙන එන මෙන් ඔහුට අණ කරයි. වෙදරාළ ද මුහුණ පුරා වැඩුණු රැවුලකින් යුතු මැදි විය ඉක්ම වූවෙකි. පරයා ගොස් වෙදරාළට තතු පවසන නමුත් සොකරියම පැමිණෙතොත් මිස තමන් නොඑන බව වෙදරාළ දන්වා එවයි. එකල සොකරිය තමාම ගොස් වෙදරාළ කැඳවාගෙන එයි. නිවසට පැමිණෙන වෙදරාළ මැදියම තෙක් ගුරුහාමිට බෙහෙත් දී පිළියම් කොට අළුයම් යාමයක සොකරිය සමඟ පලා යයි.

එවිට තම බිරිය නැති සොවින් පෙළෙන ගුරුහාමි ඇය සොයා දෙන මෙන් කතරගම දෙවියන්ට බාරයක් වෙයි. කෙළවර දී කතරගම දෙවියෝ ගුරුහාමිට යම් ඉඟියක් ලබා දෙති. ඒ ඉඟියට අනුව සොකරිය සොයා යන ගුරුහාමිට ඇය වෙදගෙදර සිටියදී හමු වේ. ගුරුහාමි ඇය කැඳවාගෙන ගොස් ඇයට තලයි. එහෙත් ඇය වෙද රාළ තමන්ට ඉනා බෙහෙතක් දී වරදට පොළඹවා ගත් බව පවසා ගුරුහාමිගෙන් සමාව යදියි. එහෙත් ඒ වන විට සොකරිය ගැබ් ගෙන ඇති අතර දරුවාගේ පියා තඹරාවිට වෙදරාළ බව සැමට ඒත්තු යයි. එම දරුවා ගුරුහාමිගේත් සොකරිගේත් ආදරය සේම පූර්ණ ආරක්ෂා රැකවරණය යටතේ හැදී වැඩෙයි. ඒ අනුව සොකරි එම මාතෘත්වය මත පදනම් ව ගැමි සමාජයට ශාන්තිය උදා කරන්නියක බව ජන සම්මතයයි.

නමුත් සොකරි නාටකයේ එන සොකරිය අතිශය රූමත් අනුරාගී කාන්තාවක බව එහි පූරකයා විසින් ඇය කරලියට හඳුන්වා දෙන මෙම කවි වලින් අතිශයින් පැහැදිලිය.

ආල වඩන පියයුරු දෙක
ළැම දිලිසෙන්නේ
කෝළ නැතුව සබයට
එළි බැසලා නටන්නේ
මාල කරට දමා හැට්ට සළු
පළදින්නේ
බාළ සොකරි ළමා මෙ නුඹ
නටා වරෙන්නේ
සොකරි එන්නී සබයෙන් අවසර ගන්නී
නැටුම් නටන්නේ තාලෙට රාග කියන්නී
පද අල්ලන්නී පියයුරු ළැම සොලවන්නී
කැඩපත ගන්නී සුරතින් මූණ බලන්නී
අඳුන් ගන්නී නෙත් දෙක ඔමරි කරන්නී
මල් ගවසන්නී කොණ්ඩේ ගොතා හෙළන්නී
තෝඩු දමන්නී පවලන් මාල දමන්නී
සේල අඳින්නී පටකින් ඔමරි දමන්නී


මෙම කවි අප ජන මනැසේ කෙතරම් ස්ථාපිතව තිබේද යත් මෙම පද මාලාව ඇසුරින් ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා සූරීන් විසින් “සිනා නඟන්නී ලැසි ලැසි ගමනින් එන්නී” නම් ගීයක් රචනා කොට තිබේ. හෙදියක මුල් කොට ලියැවුණු එම ගීතයේ තනුව හා ගායනය මහාචාර්ය සනත් නන්දසිරි සූරීන්ගෙනි. එමෙන්ම ඔවුන්ගේ මෙහෙකරු පරයා හෙවත් පච්චමිරා ද සබය දෙවනත් කරමින් ආටක නාටක පාන අතරේ සොකරිය වෙත නිතර බැලුම් හෙළන බවට ඔහු හඳුන්වා දෙන මෙම කවිය කදිම නිදසුනකි.

 

sokari6
ඉතින් කියන්නේ තුන්වෙනි වරට නටන්නේ
පරයා එන්නේ වටපිට නිතර බලන්නේ
කට දොඩවන්නේ ගිය ගිය තැන් පෙරළෙන්නේ
කොක්හඬ ලන්නේ සොකරිය දෙසයි බලන්නේ


එදා මෙදා තුර අතිශයින් ජනප්‍රිය මහගම සේකර සූරීන් විසින් ප්‍රබන්ධ කරන ලද ‘මූදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කරවා – පෙණ කැටියක පාකරලා – මගෙ දෝතට පුතු ආවා‘ ගීතය බොහෝ දෙනෙකු දන්නා පරිදි 1962 දී මුල් වරට වේදිකා ගත වූ ගුණසේන ගලප්පත්තිගේ ‘මූදු පුත්තු‘ වේදිකා නාට්‍යයට ඇතුළත් එකකි.

ධීවර වෘත්තියේ යෙදෙන තම සැමියාට දාව දරුවකු නොලබන බිරිඳක එය මුල් කොට සමාජමය ගැරහුම් ලබන අතර ඉන් අත් මිදීම සඳහා කතරගම දෙවියන්ගේ පිහිට අපේක්ෂාවෙන් තම සැමියාට මුහුදු රැකියාවෙන් විවේකයක් නොමැති බැවින් වෙළෙන්ඳෙකු වූ ඔහුගේ මල්ලී ද සමග කතරගම යන අතර ඒ ගමනේදී ඇය ඔහු හා පවත්වන කායික සබඳතාවක් මුල් කොට ටික කලකින් සියලු දොම්නස් දුරුකර දරුවෙකු බිහි කරන්නට සමත් වීම මූදු පුත්තු නාටකයට තේමා වී තිබේ. ඒ ඔස්සේ ඇගේ වඳ භාවය මුල් කොට ගත් සමාජ අපවාද මුළුමනින් තුරන් වන මුත් ඒ සම්බන්ධයෙන් සැමියාගේ සිත තුළ හට ගන්නා සැකයක් නිසා විශාල අර්බුදයකට මුල පිරෙයි.

එහෙත් මූදු පුත්තු යනු ගර්ෂියා ලෝකෝගේ යෙර්මා නාට්‍යයේ අනුවර්තනයක් වීම මත එය සොකරි හා ගැලපිය නොහැකිව තිබේ. නමුත් සොකරි නාටකයේ අවසානය ඉතා ශාන්තිදායක බවක් පළ කිරීම සම කාලීන ජන විඥානය තුළ පවත්නා සහනශීලීත්වය මැනැවින් ප්‍රකට කරවයි.

 

sokari3
තත්වය මෙසේ වුවද ඉන්දීය සොකරියට දරු සම්පතක් ලබා දීමට අප රටේ වෙද රාළ කෙනෙකු සමත් වූ අයුරින් ඉන්දීය මූලයකින් මෙරටට පැමිණිය ද සොකරි සඳහා දේශීය අනන්‍යතාවක් ලබා දීමට අපගේ ගැමි කලා කරුවා සමත් වී ඇති බව නිසැකය.

Thilak Senasinghe(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සොකරි ගෙ පැටිකිරිය | තිලක් සේනාසිංහ | The Leader