මීට පෙරද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල දේශපාලඥයන් ඝාතනය වී ඇතත් මෙම සිදුවීම එම තත්ත්වයන්ට වඩා සපුරා වෙනස්ය.
ඩැනී හිත්තැටියගේ පළාත් සභා අමාත්‍යවරයා ඝාතනය වීමත්, රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරුන් වන ගාමිණි ඩික්සන් පින්නදූව සහ මනෝජ් මෙන්ඩිස්, 2003 සහ 2015 වසර වල ඝාතනයට ලක් වීමත්, ගාල්ල නගර සභාවේ හිටපු විපක්ෂ නායක දූෂන්ත සෙනවිරත්න මෙන්ම 1988 සහ 1989 දී තංගල්ලේ හිටපු මන්ත්‍රී ජිනදාස වීරසිංහ, හබරාදුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.වී.එස් ද සිල්වා ඝාතනය කිරීම ආදී දේශපාලන ඝාතන පිළිබඳ ඉතිහාසයක් දකුණු පළාත් තුළ දක්නට ඇත.

නමුත් මෙම ඝාතනය මින් පෙර සඳහන් කර සිදුවීම් වලට වඩා වෙනස් වන්නේ ඔහු විසින් පොලිස් ආරක්ෂාව ඉල්ලා සිටි පසුබිමක එය ලබා නොදීමෙන් සිදුවීමක් බව ඔහුගේ නීතිඥවරයා විසින් සමාජ මාධ්‍යයේ තැබූ සටහනකින්ම තහවුරු වීමෙනි.
ඔහු වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයට පත් වූයේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමග ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම් සමන්විත වූ පොදු බලවේගයකිනි. මුලින්ම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සඳහා මන්ත්‍රී වරුන්ගේ ඡන්ද විමසීමේ අවස්ථාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු පැහැර ගත්තේ යැයි විශාල අපවාදයක් ඇති කරමින් සිදුවූ ක්‍රියාදාමයේ පොලිස් විමර්ශනවල අවසාන ප්‍රතිඵලයක් මේ දක්වා දක්නට නැත.
එසේම ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුගේ නිවසට වෙඩි තැබුවේ යැයි කියන සිද්ධියක විමර්ශනයට සිදුවූ දෙයක් නැත.

මේ සියලුම චෝදනා ලසන්ත වෙත යොමු වුණත් පොලිසිය අවසාන විමර්ශන වාර්තා අධිකරණය වෙත යොමු නොකලේ මෙහි වැරදිකරුවන් වෙනත් කණ්ඩායමක් බව හඳුනාගත් නිසාද ? එසේම රාජ්‍යම කොටසක් වන ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙකුට ආරක්ෂාව ලබාදීම රජයේ වගකීම නොවන්නේද ?
එබැවින් රජය හෝ රජය නියෝජනය කරන පාර්ශ්වවල අඳබාල ප්‍රකාශ වලට වඩා පැරණි විමර්ශනවල ප්‍රගතිය වාර්තා කිරීමට අපොහොසත් වූ පොලීසිය මෙන්ම මෙම ඝාතනය පිළිබඳව පූර්ව නිගමනවලට එළඹෙන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් ගැඹුරින් සිතා බැලිය යුතු කරුණු කීපයක් වේ.
ලසන්ත වික්‍රමසේකර ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඝාතනය පිළිබඳ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රකාශය ඔහු පාතාලයට සම්බන්ධ බැවින් එය ඒ සම්බන්ධ ක්‍රියාදාමයක් ලෙස හුවා දැක්වීමට ගත් උත්සාහයක් ලෙස දැක්විය හැකිය. එසේ නම් මීට පෙර ඔහුට එල්ල වූ ප්‍රාදේශී සභා මන්ත්‍රීවරුන් දෙදෙනා පැහැර ගැනීම සහ තවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට වෙඩි තැබීම පිළිබඳව වූ විමර්ශන පිළිබඳ පොලිසිය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයි ? එසේම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රකාශය මගෙන් හෙළිවන්නේ ලංකාව හයිටි වැනි රාජ්‍යයක් බවට පත්වෙමින් තිබෙන බව නොවේද ?
මේ වන විට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන සිය පුරවැසියන්ට ප්‍රවේශම්වල ලෙසට සංචාරක අවදානම් නිවේදනයක් නිකුත් කොට ඇති සමයක මෙම ඝාතනය සිදුවූයේ ලංකාවේ මේ වන විට ඉතාමත් ජනප්‍රිය සංචාරක කලාපයක් වන වැලිගම මිරිස්ස කලාපය ආශ්‍රිතව පිහිටා ඇති ප්‍රාදේශීය සභා කාර්යාලයක් තුළය.
එසේම සමාජ මාධ්‍ය තුළ එසේම පොලිසියෙන් සිය ජීවිතය පිළිබඳ ආරක්ෂාවක් ලබා දෙන ලෙසට ඉල්ලා සිටි තත්ත්වයක් තුළ එය ලබාදීමට ශ්‍රී ලංකා පොලිසිය අසමත් වී ඇත. මේ වන විට ප්‍රභූ විරෝධී සංකල්පයක් මත සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමට කටයුතු කරන රාජ්‍ය ආරක්ෂක අංශයන්, මෙම රජයේ ආරක්ෂාව ඉල්ලා සිටි නමුත් එය සැපයීමට අපොහොසත්ව ඝාතනයට ලක් වූ ලසන්තගේ ඝාතනයට රජය වගකිවයුතු නොවේද? තනි තරුවක් පළඳින හමුදා නිලධාරියාට ද සුවිශේෂ ආරක්ෂාවක් හිමිවන රටක සියලුම මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව අහිමි කිරීම මෙවැනි වටපිටාවක අතිශය විවාද සම්පන්නය.
ප්‍රාදේශීය සභාවක් ද රාජ්‍යයේ කොටසකි. එහි බලය දරන්නේ වෙනත් පක්ෂයක් විය හැකිය. එවැනි ආයතනයක ප්‍රධානියෙකු ආරක්ෂාව ඉල්ලා සිටි විට ආරක්ෂාව ලබාදීම රජයක වගකීමකි. පළාත් පාලන ආයතනයක ප්‍රධානියකු ආරක්ෂාව ඉල්ලා සිට එය නොලැබෙන්නේ නම් සාමාන්‍ය පුරවැසියෙකුගේ තත්ත්වය කෙසේ විය හැකිද ?
(සටහන | නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)
prasadrharischandra@gmail.com




