The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දිවුලපිටියෙන් මතු වූ ගල් ප්‍රේතයා | තිලක් සේනාසිංහ

T

The Leader Desk

October 23, 2025 • 9:10 AM

දිවුලපිටියෙන් මතු වූ ගල් ප්‍රේතයා | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි සඳහන් කථා ප්‍රවෘත්තියකට අනුව ගල් ප්‍රේතයා යනු කල්ප ගණනාවක් තිස්සේ දැඩි දුක් විඳින අද්භූත ජීවියෙකි.
  • එමෙන්ම මෙම ප්‍රේතයා ගලක් මෙන් විශාල ශරීරයක් ඇත්තෙකි.
  • ඔහු ගල් පර්වතයක් මත හෝ ඇතුළත ගිලී සිටින ස්වරූපයෙන් දක්නට ලැබේ.
  • සීහළවත්ථු කෘතියේ සඳහන් එක් කථාවකින් මෙවන් ගල් ප්‍රේතයන්ගේ උප්පත්ති කතා ද අනාවරණය කර ගත හැක.
අකුරු ප්‍රමාණය (Font Size):


එහි සඳහන් කථා ප්‍රවෘත්තියකට අනුව ගල් ප්‍රේතයා යනු කල්ප ගණනාවක් තිස්සේ දැඩි දුක් විඳින අද්භූත ජීවියෙකි. එමෙන්ම මෙම ප්‍රේතයා ගලක් මෙන් විශාල ශරීරයක් ඇත්තෙකි. ඔහු ගල් පර්වතයක් මත හෝ ඇතුළත ගිලී සිටින ස්වරූපයෙන් දක්නට ලැබේ.

සීහළවත්ථු කෘතියේ සඳහන් එක් කථාවකින් මෙවන් ගල් ප්‍රේතයන්ගේ උප්පත්ති කතා ද අනාවරණය කර ගත හැක. ඉහත සඳහන් ප්‍රේතයා මෙම බිහිසුණු අවාසනාවන්ත තත්වයට පත්ව ඇත්තේ කාශ්‍යප බුදුන්ගේ කාලයේදී මිනිසත් බවක් ලැබ හිඳින අතරේ සංඝයාට අයත් දේ විනාශ කිරීමේ පාප කර්මය හේතුවෙනි. ඔහු තම කුඹුරේ ඉම තිබූ කළු ගලින් කළ මායිම් කණුවක් උදුරා සාංඝීක කුඹුරකට අයත් බිම් කොටසක් බලහත්කාරයෙන් හිමි කර ගැනීම නිසා මෙම කර්ම විපාකය විඳින බව ඇතැම් තැනක සඳහන් ය.

 

ඒ කතා ප්‍රවෘත්තිය සම්බන්ධ මගේ පෞද්ගලික විශ්වාසය නම් මෙය අතීතයේ සඟ සතු දේපල ගිහියන් විසින් කොල්ල කෑම වැළැකෙනු පිණිස සංඝ සමාජය විසින් යොදන ලද උපාය මාර්ගයක් බවකි.

ඒ කෙසේ වෙතත් දිවුලපිටියේ ඇතැයි කියන වර්තමාන ගල් ප්‍රේතයාගේ සැබෑ තතු දැන ගනු රිසියෙන් පළමුව මම, එම ප්‍රේතයා වෙසෙන බව කියන නිවසේ නිවෙස් හිමියා දුරකතනයෙන් සම්බන්ධ කරගතිමි. ඔහු හැත්තෑ දෙහැවිරිදි දෙදරු පියෙකි. උසස් අධ්‍යාපන සුදුසුකම් මත වෘත්තිකයන් සේ කටයුතු කරන ඔහුගේ දියණිය සහ පුතු මේ වන විට විවාහ වී අගනුවරට ආසන්නව වාසය කරති. මේ ඉඩම හිමියාගේ මුල් ගම බියගම ප්‍රදේශයයි. පසුගිය කාලයේ ඒ ප්‍රදේශය කේන්ද්‍රගතව සිදුවූ දැවැන්ත මාර්ග ව්‍යාපෘතියක් නිසා එම ඉඩම සහ නිවස මාර්ග සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන තිබේ. ඒ ඔවුන්ට සුවිසල් වන්දි මුදලක් ගෙවීමෙන් පසුව ය.

පසුව දරු දෙදෙනා උසස් අධ්‍යාපනයේ යෙදෙන සමයේ සැමගේ පොදු එකඟත්වය මත කුඹුරු යායකට මායිම් වූ මිශ්‍ර බෝග සහිත අක්කර හයක ඉඩම සහ වත්මන් නිවස මිල දී ගෙන ඇත. කලබලකාරී නාගරික පරිසරයෙන් මිදී ඔවුන් එහි පදිංචියට පැමිණ ඇත්තේ ඊට වසර ගණනාවකට ඉහතදී ය.

“අපි මේ ගෙදරයි ඉඩම ගැනයි දැනගත්තේ පත්තරේක දැන්වීමකින්. ඒත් මේ ගේයි ඉඩමයි බලන්න ආපු මුල් කාලේ මේ අහල පහල මිනිස්සු කිව්වා ඕක අමනුස්ස ගුහාවක්. ඒක තමයි ඉඩම අඩුවට දෙන්නේ. හැබැයි ඉතින් ඕක ලාබෙට ගත්තට මොකද? අරගෙන යහතින් නම් ජීවත් වෙන්න ලැබෙන්නේ නෑ නම් කියලා.”

දුරකතනයෙන් මා හා විස්තර ප්‍රකාශ කළ නිවෙස් හිමියා කීය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ප්‍රදේශවාසීන් කී කතා ප්‍රලාප හෝ සට කපට ඉඩම් බ්‍රෝකර්වරුන් විසින් පැතිරවූ කටකතා බව කියමින් තම දියණිය හා පුතු එම නිවස හා ඉඩම ගැනීමට දැඩි බලපෑමක් එල්ල කළ බව ය.

house

“කොහොම හරි අපි මේ ගේයි ඉඩමයි අරගෙන අවුරුදු කීපයක් කිසිම ප්‍රශ්නයක් නැතුව හිටියා. ඔය අතරේ අපේ දරුවෝ දෙන්නා ඉගෙනීම ඉවර වෙලා හොඳ රස්සාවල් අරගෙන කසාද බැඳලා වෙනම ජීවත්වෙන්න පටන් ගත්තා. ඔය අතරේ තමයි මගේ නෝනාගේ හැසිරීම් ටිකෙන් ටික වෙනස් වෙන්න පටන්ගත්තේ.”

නිවාස හිමියා වැඩිදුරටත් කී අන්දමට ඒ වන විට එම නිවස හා අවට පරිසරයේ අමුතුම පාළු ගතියක් දැනෙන බවත්, අමුතුම දුර්ගන්ධයක් දැනෙන බවත් මුල්වරට පවසා ඇත්තේ බිරිඳ ය. පසුව ඇය වරින්වර රෝගී වී ඇති අතර, විශේෂඥ වෛද්‍යවරුන් දස දෙනෙකු පමණ ප්‍රතිකාර කළද කිසිදු සුවයක් ලැබී නැත.

“ඔය අතරේ තමයි මොකක්ද මේකට හේතුව කියලා දැනගන්න කටානේ ආරූඪයෙන් සාත්තර කියන තැනකට ගියේ. පුදුමේ කියන්නේ එතැන දී බලාගෙන හිටියා වගේ කාරණේ කියැවුණානේ. මමත් ඕවා එච්චර විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. අපේ නෝනගේ කරදරේට තමයි ඔය සාත්තරේ අහන්නත් ගියේ.” හෙතෙම කීය.

images 23

එහිදී ආරූඪයට පත් ශාස්ත්‍රකාරිය මෙය භූමියක් හා ප්‍රාණකරුවකු සම්බන්ධ පැනයක් බව පවසා, අතීතයේ එම භූමියට දැඩි තෘෂ්ණාවකින් පසුවූ අයෙකු මරණයෙන් පසු ඒ භූමියේ ගල් ප්‍රේතයෙකු ලෙස ලැගුම්ගෙන සිටින බවත් කියා තිබේ. එම ඉඩමේ මායිම හතර තුළ පොළොවෙන් යන්තමින් හෝ මතු වූ කළුගලක් ලෙස ඒ ගල් ප්‍රේතයා දර්ශනය විය හැකි බවත්, ඒ ගල් ප්‍රේතයා වෙසෙන ප්‍රදේශය අවට තරමක දුර්ගන්ධයක් පවතින බවත්, කළුගලක ස්වරූපයෙන් යුතු ඒ ගල් ප්‍රේතයාගේ ශරීරයට අපේ මහපටැඟිල්ල තබා තද කළ විට එය කබරයෙකුගේ පිටක් මෙන් දැනෙන බවත් ශාස්ත්‍රකාරිය ආරූඪයෙන් කියා ඇත. එමෙන්ම එයට තියුණු අවියකින් පහර දෙන විට ඉන් රුධිරය පිට වන මුත් කෙසේවත් එසේ නොකරන ලෙස ද ආරූඪයට පත් ශාස්ත්‍රකාරිය පවසා තිබේ.

“පස්සේ ඉඩමේ පහළම කෙළවරේ දෙනිය අයිනේ ළඳු කැලෑවක් අස්සේ ඔය කියන ගල තිබිලා අපට හම්බවුණා. අර සාත්තරේට කියැවුණු විදියටම ඒ ගල වටේම ලේ ගඳක් වගේ අමුතුම ගඳක් තිබුණා. ඒ වගේම අපේ නෝනා ඒක ටිකක් අතින් ඔබලා කිව්වා සාත්තරේට කියැවුණු විදියටම ඒක ඇඟිල්ලෙන් තද කළාම එබෙනවා තමයි කියලා.” එම නිවස සහ ඉඩම් හිමියා පැවසූ විට ඒ ගල් ප්‍රේතයා සියැසින් දැකගන්නට මා තුළ ඇතිවූ ආශාව සීනිබෝල අහුරක් හෝ අයිස්ක්‍රීම් එකක් දුටු සිඟිත්තකුගේ ආශාවට කිසිසේත් දෙවැනි නොවිණි. එබැවින් ඒ ප්‍රකාශය මුල්කොට ස්ථානීය විමර්ශනයක් කිරීමට මා තුළ ඇති කැමැත්ත මම ඔහුට ප්‍රකාශ කළෙමි.

එහෙත්, ඊට පසු දින මා හට කතා කළ නිවස හා ඉඩම් හිමියාගේ දියණිය සහ පුතු කියා සිටියේ ඔවුන්ගේ සහභාගීත්වයෙන් ස්ථානීය විමර්ශනයකට ඉඩ දිය හැකි මුත් ඡායාරූප ගැනීම්, වීඩියෝ සහ කටහඬ පටිගත කිරීම් කිසිවකටත් අවසර දිය නොහැකි අතර, එම ප්‍රවෘත්තිය කිසිදු විද්‍යුත්, මුද්‍රිත හෝ සමාජ මාධ්‍යයකට එක්කිරීමටද කිසිසේත්ම ඉඩ දිය නොහැකි බවකි. ඔවුන්ගේ කොන්දේසිවලට එකඟ වූ මම ඔවුන් එම නිවසට පැමිණි අවස්ථාවක ගල් ප්‍රේතයා වෙසෙන ඉඩමට පිවිසුණෙමි.

පොල්, කොස්, දෙල්, අඹ, රඹුටන්, දොඩම් ආදී මිශ්‍ර වගාවක් සහිත සරුසාර ඉඩමක් වූ එහි කෙළවර පොළොවින් උඩට නෙරා ආ උලක ස්වරූපයේ කුඩා ගල් කුළක් ඔවුහු මට පෙන්වූහ. නමුත් ශාස්ත්‍රයට පැවසුණු අන්දමට ඒ අවට කිසිදු දුර්ගන්ධයක් තබා එය අතින් එබූ විට කබර පිටක් මෙන් එබෙන අමුතුම ජාතියේ කළුගලක්ද නොවිණි.

Open Relationship

“මේක දරුවන්ගෙන් ඈත්වෙලා ගෙදර තනිවීමත් එක්ක මේ නෝනා තුළ ඇතිවුණු කාන්සාත්මක තත්ත්වයක්. අපිට යථාර්ථවාදීව හේතු සොයාගන්න බැරි මේ වගේ දේවල්වලට ගුප්ත හේතු හොයන්න ගියාම ඒ මිනිස්සු අපිට එක එක දිරච්ච ලණු දෙනවා. ඒ වෙනකොට මානසිකව බිඳ වැටිලා ඉන්න අපිත් ඒ මගින් හරි පිළිසරණක් බලාපොරොත්තුවෙන් ඒ දිරච්ච ලණු ඔක්කොම කනවා.”

එම නිවාස හා ඉඩම් හිමියා, ඔහුගේ බිරිඳ, පුතු, ලේලිය සහ ඒ යුවළගේ කුඩා දරුවන් ද සමඟ ගල් ප්‍රේතයා අභියසට ගිය මම, නිවසේ තිබූ මොට්ට පිහියක් ගෙන්වා ගෙන ඒ කළුගලට වේගයෙන් කොටන්නට වීමි. එවිට ඉන් ‘ටාං… ටාං..’ හඬ පිටවූයේ එය නිකම්ම නිකම් කළු ගලක් බව සනාථ කරමිනි.

“ඔය කියන ප්‍රේත දෝෂය හිතෙන් අයින් වෙන්න මුළු පවුලම ඇවිත් පුළුවන් පුළුවන් විදියට එකතු වෙන්න. ඔය කියන යක්ෂ, ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩ හැම ජාතියේම එවුන් ඉන්නවා තමයි. හැබැයි මතක තියාගන්න උන් ඉන්නේ දුබල මනස් තියෙන අයගේ සිතුවිලිවල විතරයි.” එසේ කී මම එම පවුලේ සාමාජිකයන්ගෙන් සහ එම දිවුලපිටියේ ව්‍යාජ ගල් ප්‍රේතයාගෙන් සමුගෙන ආපසු හැරුණෙමි.

Thilak Senasinghe
(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...