විශේෂයෙන් ඇමරිකාවට රැකියා කිරීමට සහ උසස් අධ්‍යාපනය ලැබීමට පැමිනි විදේශිකයන්ගේ සිට සංචාරකයන් දක්වා සැමට මේ පීඩනය එල්ල විය. විසා නැතිව අනවසරයෙන් ජීවත්වන අය පිටුවහල් කිරීම මේ ව්‍යාපෘතියේ අරමුණ ලෙස පැවසූවත් මේ ක්‍රියාවලිය තුලදී ශිෂ්‍යන්, සංචාරකයන් සහ තාවකාලික වීසා බලපත්‍ර සහිත විදේශීකයන්ද දැඩි පීඩාවට ලක්විය. ඔවුන්ගේ වීසා බලපත්‍රවල වලංගුබාවය සොයා බැලීමට කාලය වැය කිරීමට පවා බලධාරීන් මැලිවිය. අනවසර පදිංචිකරුවන් වහාම අල්ලා පිටුවහල් කරන ලෙසට ට්‍රම්ප් නියෝග දී තිබුනි. ඒ නිසා නිලධාරීන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග දැඩිලෙස ක්‍රියාත්මක කිරීමට සැදී පැහැදී සිටිති.
මුහුණු පොත වැනි සමාජ මාධ්‍යවල ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තීන් හෝ ඊශ්‍රායලය ඝාශාවල කරන සමූලඝාතනයන් විවේචනය කරමින් පලකරන ලද පෝස්ටු යනාදිය පවා මේ පිටුවහල් කිරීම්වලට හෝ විසා අවලංගු කිරීමට යොදාගන්නා ලදී.
මීට අමතරව අප්‍රිකානු සහ මැද පෙරදිග රටවල් 19 ක ජනයාට ඇමරිකාවට ඇතුලුවීම තහනම් කිරීමට ට්‍රම්ප් නියෝග කල අතර තවත් අප්‍රිකානු රටවල් 36 කට වීසා තහනම් කිරීමට සලකාබලමින් සිටී. මේ මගින් තමන්ගේ පවුලේ අය, දරුවන් සහ දෙමාපියන් බැහැදැකීමේ සිට අඹුසැමියන් ලෙස එකට ජීවත්වීමට ඇති මාණව අයිතිය පවා ට්‍රම්ප් විසින් උල්ලංඝනය කර ඇත.

මේ සහාසික ප්‍රතිපත්තීන් මගින් ට්‍රම්ප් උත්සාහ කරන්නේ ජාතිකවාදය උත්කර්ෂවත් කරමින් ආර්ථික අර්බුදයෙන් පීඩා විදින ඇමරිකානු ජනතාව මුලාවට පත්කිරීමයි. සියලු ආර්ථික අර්බුදයන්ට හේතුව සංක්‍රමණිකයන්, විදේශිකයන් සහ නීති විරෝධී ලෙස ජීවත්වන පිරිස් බව හගවන ට්‍රම්ප් තමන් ඊට විරුද්ධ බවත් ඔහුගේ දැඩි ප්‍රතිපත්තීන් මගින් නැවතත් ඇමරිකාවට සෞබාග්‍යය ලබාදෙනබවට පොරොන්දු වී ඇත. ඒ සදහා තම ආධාරකරුවන්ගෙන් සමන්විත බලවේගයක් වන මාගා (MAGA- Make America Great Again) ගොඩනගාගෙන ඇත.
කාලයක් තිස්සේ විවිධ අර්බුද මැද්දේ ඉදිරියට ගිය ඇමරිකන් ආධිපත්‍යවාදී බලය අද වෙන කිසිදාකවත් නොතිබූ ආකාරයේ තියුනු අර්බුදයකට මුහුන දෙමින් සිටී. කෝටිපති ව්‍යාපාරිකයන් ලාබ තීව්‍ර කරගැනීමේ පරමාර්ථයෙන් තම කර්මාන්තශාලා සහ සියලුම ආකාරයේ නිශ්පාදන වඩාත් ලාබ ශ්‍රම වෙළදපොලවල් වලට ගෙන ගොස්ය. ඒ නිසා නිෂ්පාදන හා ඒ ආශ්‍රිත කර්මාන්තශාලා වැසී ගොස් විශාල ප්‍රමාණයකට රැකියා අවස්ථා අහිමිවී ගොසිනි. තවත් කර්මාන්ත ලෝක වෙළදපොල තුල තවදුරටත් තරඟකාරී නොවන ව්‍යාපාර බවට පත්ව ඇත.

ඒ අතර කෘත්‍රිම බුද්ධිය වැනි නවීන තාක්ශණය නිසා සිදුවන ස්වයංක්‍රීයකරණ ක්‍රියාවලිය මගින්ද රැකියා වෙළදපොල තවත් සංකෝචනය වෙමින් පවතී. ඇමරිකානු නිශ්පාදන තවදුරටත් ලෝක වෙළදපොල තුල තරගකාරී නොවනවාසේම තොරතුරු තාක්ෂණය, ස්වයංක්‍රීයකරණය සහ කෘත්‍රිම බුද්ධිය වැනි නව තාක්ෂණ ක්ෂේත්‍රයන් වල පවා ඇමරිකාවට අභියෝග කලහැකි තවත් ප්‍රබල පාර්ශ්වයක් වන චීනය ඉදිරියට පැමින සිටී. චිනය ප්‍රමුඛ BRICS කදවුර ආමරිකානු ආධිපත්‍යවාදී බලයට සැබෑ අභියෝගයක් ලෙස මතුවී ඇත. මෙන්න මේ අර්බුදයට විසදුම ලෙස ට්‍රම්ප් තෝරාගෙන ඇත්තේ හුදකලාවාදය සහ වෙළද යුද්ධයයි. ඔහු, නැගී එන ජනතා විරෝධය සංක්‍රමණිකයින් සහ විදේශීය ප්‍රජාවන් මතින් යැවීමට උත්සාහ කලත්, එය ප්‍රෝඩාවකි.
දශක ගනනාවක් පුරා ඇමරිකානු ආර්ථිකය ගොඩනගා ඇත්තේ සංක්‍රමණිකයන්ගේ සහ විවිධ ජනකොටස්වල ආධාරයෙනි. ලතින් ඇමරිකාවෙන් පැමිණි ස්පාඤ්ඤ භාෂාව කතා කරන ප්‍රජාව ඉන් ප්‍රධාන තැනක් ගනී. ඒ වගේම ඇමරිකාව යුරෝපය ඇතුලු ධනවාදී කදවුර සමග ඒකාබද්ධව එම කදවුරට නායකත්වය දෙමින් තමයි ඉදිරියට ඇවිත් තියෙන්නෙ. ඒ මගින් තමයි ආධිපතිවාදී බලය ලෝකයපුරා තහවුරු කරගෙන තියෙන්නෙ. නමුත් අද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුතු ඇමරිකාව තම මිත්‍ර පාර්ශ්වයන් සමග පවා විශාල ගැටුමක නියුතු වෙලයි සිටින්නෙ. ආරක්ෂණවාදී තීරුබදු ප්‍රත්පත්තීන් සහ ජාතිකවාදී ප්‍රතිපත්තීන් මගින් මේ අර්බුදයෙන් ගොඩ ආ හැකියැයි ට්‍රම්ප් සහ ඔහුගේ න්‍යායාචාර්‍යවරුන් විශ්වාස කරති.

කෝටිපති ව්‍යාපාරිකයන්ට විශාල බදුසහන ලබාදෙන ට්‍රම්ප්, විවිධ මූල්‍ය වංචාවලට සිරගතකරසිටින දේශපාලකයන්ට පවා සමාව දීමට ඉදිරිපත්ව සිටී. එලෙසම තමාගේ අධිපතිවාදී තීරණ පිලිනොගන්නා රාජ්‍යය නිලධාරීන් ඉලක්ක කර ඔවුන්ට විවිධ පීඩනයන් එල්ල කරමින් සිටී. ට්‍රම්ප් මෙලෙස ඒකාධිපතියෙකු ලෙස හැසිරෙමින් ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට විශාල අභියෝගයක් එල්ල කර ඇත. මේ නිසාම ඇමරිකාව පුරාම ට්‍රම්ප්ගේ මේ ඒකාධිපති ක්‍රියාවන්ට එරෙහිව "අපට රජෙක් අනවශ්‍යයි" කියන තේමාව මත උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වී ඇත.
අද ලෝක ජනයා මුහුනපා සිටින අභියෝග ජාත්‍යන්තර එකගතා නොතකායමින් සහ පටු දේශපාලන වැඩපිලිවෙලකින් විසදාගත නොහැක. ඒ සදහා අවශ්‍ය වන්නේ සාමූහිකත්වය සහ සහජීවනය පදනම් කරගත් ගෝලීය වැඩපිලිවෙලකි. එසේ නැත්නම් මේ අර්බුදය විනාශකාරී ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් තිබේ. ට්‍රම්ප් තෝරාගෙන ඇත්තේ එවැනි ගැටුම් නිර්මානය කරන මාවතකි.
පසුගිය කාලය තුල යුරෝපය පුරාත් මෙවැනිම සංක්‍රමණ විරෝධී රැල්ලක් මතුව ආවත් රාජ්‍යය බලය අල්ලාගැනීමට තරම් ශක්තිමත් බලයක් ගොඩනැගුනෙ නෑ. ප්‍රංශයේ අන්ත දක්ශිනාංශික කණ්ඩායම් නැගී ආවත් ඔවුන් පරාජයකොට බලය අල්ලාගැනීමට එක්සත්ව තරගකල වාමාංශිකයින්ට හැකිවිය. ජර්මනිය තුලත් නැගී ආ අන්තවාදීන්ට එරෙහිව දැවැන්ත දක්ෂිණාංශික විරෝධී පෙළපාලි පැවත්විනි. එංගලන්තය තුලත් දක්ශිනාංශික බලවේග බලවත්වුවත් දේශපාලන බලය අල්ලාගැනීමට තරම් ශක්තිමත් වී නැත.
සංක්‍රමණ විරෝධයේ යතාර්ථය
යුරෝපියානු රටවල වරින් වර සංක්‍රමණ විරෝධය මතුව ඒමටත් එය ක්‍රමයෙන් නිෂේධ වී යෑමටත් හේතුවන කරුනු කාරනා ගනනාවක් ඇත. විශේෂයෙන් බටහිර රටවල ආර්ථිකය යම් පසුබෑමකට ලක්වනවිට තමයි මේ විරෝධයන් මතුවන්නෙ. ධනවාදී ආර්ථික ක්‍රමවේදයේ ඇතිවන නොවැලක්විය හැකි, ආර්ථික උත්පාත සහ අවපාතයන් නිසා විවිධ අර්බුදයන් නිර්මානය කරති.
විශේෂයෙන් රැකියා වෙළදපොල හැකිලෙනවිට තමන්ට රැකියා අවස්ථා නැතිවන්නේ විදේශීකයන්ගේ පැමිනීම නිසා යැයි ජනතාව මුලාවට පත්කිරීමට දක්ශිනාංශික දේශපාලන කදවුර උත්සාහ කරයි. විශේෂයෙන් ජාතිකවාදීන් සහ වර්ගවාදීන් සියලුම ප්‍රශ්න (නිවාස, ජීවන වියදම, සෞඛ්‍ය සේවාවන් යනාදී) සදහා සංක්‍රමනීකයන්ට චෝදනා එල්ල කරමින් ජනතා අසහනය ඒ අය පිටින් යැවීමට උත්සාහ කරති. දක්ශිනාංශික දේශපාලන කදවුර මේ අන්තවාදීන් සමග අනියම් සම්බන්ධ පවත්වමින් දේශපාලන වාසි ගනිති. සැබෑ ප්‍රශ්න යට ගසති. නමුත් මේ තත්වයන් අවබෝධ කරගත් ප්‍රගතිශීලී ජනතාව අන්තවාදී මතවාද පරාජය කිරීමට සෑමවිටම ඉදිරියට පැමින ඇත.
ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල් සංවර්ධනය වී තිබෙන්නේ සංක්‍රමණිකයන්ගේ ආධාරයෙනි. එංගලන්තයේ මූලිකත්වයෙන් ඇරඹුන යටත් විජිතකරණය නිසා මේ රටවල ජීවත්වූ මුල් පදිංචිකරුවන්ගේ ජීවන රටාවන් සම්පූර්ණයෙන්ම විනාශ කලේය. සමහර ප්‍රදේශවල ස්වදේශීකයන් සමූලඝාතනය කෙරුනි. මේ රටවල සැබෑ අයිතිකරුවන් වන්නේ එහි මුල්පදිංචි කරුවන් මිස මේ ආක්‍රමණිකයන් නොවේය. පසුකාලීනව යටත්විජිත වල ආර්ථිකය ගොඩනැගීමට විවිධ රටවලින් අවශ්‍ය ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම අත්‍යාවශ්‍ය විය. මේ සදහා ලෝකයේ විවිධ රටවලින් ගෙන්වාගත් විවිධ නිපුනත්වයන් ඇති ශ්‍රමිකයන් විසින් මේ රටවල යටිතල පහසුකම් ගොඩනගන ලද අතර අත්‍යාවශ්‍යය සේවාවන් ඇතුලු විවිධ සේවාවන් පවත්වාගෙන යන්නේත් ඔවුන් විසිනි.

විශේෂයෙන් ධනවාදී ලෝකයේ පවතින තරගකාරී වෙළදපොලට අවශ්‍ය විවිධ නිපුනතා ඇති ශ්‍රමිකයන් ලබාගන්නේ යම් ක්‍රමවේදයකට අනුවයි. එසේ පැමිනෙන සංක්‍රමනිකයින් පාරිභෝගිකයන් වශයෙන් වෙළදපොල පුලුල්කරන අතරම ව්‍යාපාර වලට අවශ්‍ය ශ්‍රමය ලබාදෙති. ඉහල යන ශ්‍රම වියදම පාලනය කරගැනීමත් මේ වැඩපිලිවෙලේ විශේෂ අරමුණකි. විදේශීය ශ්‍රමිකයන් අඩු වැටුපට සූරාකෑමට ලක්කිරීමට හැකිවීමත් ශ්‍රම වියදම පාලනය කිරීමත් මෙහි තවත් අරමුනකි. රැකියා විරහිත පුහුණු ශ්‍රමිකයන්ගේ සංචිතයක් පවත්වාගෙන යෑමෙන් කම්කරුවන්ට ඇති කේවල් කිරීමේ හැකියාවද දුර්වල කරනු ලබයි.
ඕස්ට්‍රේලියාව
ඕස්ට්‍රේලියාව තුල ආගමන පාලනය කල යුතු යැයි පවසන අය ඒ සඳහා වලංගු හේතු කාරණා ඉදිරිපත් කලත් ඒ අදහස් දැරූ අය වර්ගවාදී සහ අන්තවාදී දක්ශිණාංශික කණ්ඩායම් සමග එක්ව විරෝධතා දැක්වීම නිසා එහි විශ්වාසනීයත්වය නැති විය. වලංගුබාවයක් තිබූ කාරනා ලෙස ඉදිරිපත් වූයේ නිවාස හිගය, උද්ධමනය සහ විවිධ සේවාවන් ලබාගැනීමට ඇති අපහසුතාවයන්ය. මේ පිරිස් සංක්‍රමණිකයන් ගෙන්වන ප්‍රමාණය අඩුකරන ලෙසට ඉල්ලා සිටියත් සංක්‍රමණිකයන් ගෙන්වීමට මුලුමනින්ම විරුද්ධ නොවන බව පැවසීය.
ඇත්තටම ඕස්ට්‍රේලියාව ඇතුලු බොහෝ රටවල සංක්‍රමණිකයින්ගේ උපකාරය නැතිව අත්‍යාවශ්‍ය සේවාවන් කිසිවක් පවත්වාගෙන යා නොහැක. අද වැඩිහිටි නිවාස සේවා, රෝහල් සේවා, සෞඛ්‍ය සේවා, ගොඩනැගිලි සහ ඉදිකිරීම් ක්ශේත්‍රය, හෝටල් සේවා, සංචාරක කර්මාන්තය සහ ප්‍රවාහන සේවා යන ආදී සෑම ක්ශේත්‍රයක්ම පවත්වාගෙන යන්නේ සංක්‍රමණික ශ්‍රම බලකායේ උපකාරයෙනි.
ඉංදියානු විරෝධය
මෑත කාලයේ ඕස්ට්‍රේලියාව තුල ඉංදියානු සංක්‍රමණිකයන්ට විරුද්ධ ව්‍යාපාරයක් ගොඩනැගිනි. මේ විරෝධතාවලට ශ්‍රීලාංකික සංක්‍රමණිකයන් පවා එකතුවී සිටිබව මාධ්‍ය හරහා වාර්තා විය. විශාල පරිබෝජනවාදී අශාවන් කැටිව මෙරටට පැමිනෙන සංක්‍රමණිකයන් ඔවුන්ගේ ඒ ආශාවන් අලුතෙන් පැමිනෙන සංක්‍රමණිකයන් නිසා තෘප්තිමත් කරගත නොහැකිවේදෝ යන බියෙන් පසුවෙති. මෙවැනි මතදරන ශ්‍රීලාංකික වැනි විවිධ සංක්‍රමණික ප්‍රජාවේ කොටස්ද පසුගියදා පැවති මෙම විරෝධතා රැලිවලට සහබාගීවිය. ඉතිහාසය පුරාම මෙලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කල විවිධ ජනකොටස් මුල්කරගෙන විරෝධතා මතුවී ඇත. අතීතයේ මේ පීඩාවන් මුලින්ම එල්ලවූයේ ඉතාලි සහ ග්‍රීක් ජාතික සංක්‍රමණිකයන්ටයි. ඒ, විශේෂයෙන් ලෝක යුද්ධයෙන් පසුව, විශාල වශයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූයේ මේ ජන කොටස් බැවිනි. මේ ජනකොටස්වලට සේවා ස්ථානවල සහ ජීවත්වූ ප්‍රදේශවල පුළුල් ලෙස පැතිරුණු අගතීන්ට, වාචික අපයෝජනයන්ට සහ ශාරීරික පහරදීම්වලට පවා මුහුන දීමට සිදුවී ඇත. ඔවුන්ට අපහාස කිරීමට විවිධ නරක වචන පාවිච්චි කලේය.
ඉන්පසු විවිධ කාලපරිච්ඡේදවල එම විරෝධය වියට්නාම්, චීන, අප්‍රිකානු යනාදී විවිධ ජනකොටස්වලට එල්ලවිය. අද මේ මොහොතේ එම විරෝධය ඉංදියානු ප්‍රජාව වෙත එල්ලවී ඇත. ඊට ප්‍රධාන හේතුව මෑත කාලයේ ඉංදියානු ශ්‍රමිකයන් විශාල වශයෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමයි. මේ පිරිස් ඕස්ට්‍රේලියානු රජයේ සංක්‍රමණ වැඩපිලිවෙල මගින් ගෙන්වාගත් පිරිස් මිස නීති විරෝධීලෙස මෙරටට පැමිනි අය නොවෙති.

ඒ වගේම උසස් අධ්‍යාපනය සදහාත් විශාල ඉංදියානු ශිෂ්‍යන් පිරිසක් ඕස්ට්‍රේලියාවට වාර්ෂිකව පැමිනේ. අද උසස් අධ්‍යාපනය විශාල ව්‍යාපාරයක් වී ඇති අතර ඒ මගින් ගොඩනගාගන්නා ධනස්කන්ධය අති විශාලවී ඇත. බොහෝ පුරවැසියන් කිරීමට මැලිකරන රැකියා පුරප්පාඩු මේ විදේශීය ශිෂ්‍යන් මගින් පිරවෙන අතර ඔවුන් වැඩපලතුල දැඩි සූරාකෑමකටද භාජනය වෙති. අද වැඩිහිටි සේවාවන්, සෞඛ්‍ය සේවා, ප්‍රවාහන සේවා, ඉදිකිරීම්, හෝටල් යනාදී සෑම ක්ශේත්‍රයක්ම පවත්වාගෙන යෑමට මේ ඉංදියානු සංක්‍රමණික ප්‍රජාව විශාල මෙහෙයක් ඉටු කරති. විවිධ කශේත්‍රයන් තුල සහ වැඩබිමේ ඔවුන්ගේ මේ කැපී පෙනීම නිසාම තමයි අන්තගාමී සහ ජාතිවාදී කොටස්වල විරෝධය මේ ප්‍රජාවට මේ මොහොතේ එල්ලවෙලා තියෙන්නෙ.
කෝවිඩ් සහ ඉන් ඇතිවූ අර්බුදය
ඕස්ට්‍රේලියාවේ ආගමනික වැඩපිලිවෙලට අනුව කෝවිඩ්ව්ලට පෙර වසර පහ තුල සාමාන්‍යයෙන් වසරකට ලක්ශ 515,000 ක සංක්‍රමණිකයන් පිරිසක් මෙරටට පැමිනියේය. මෙයින් බහුතරයක්, 370,000 ක්, පැමිනියේ තාවකාලික විසා බලපත්‍ර ලබා ගැනීමෙනි. ස්තීර පදිංචිය සදහා පැමිනියේ 92,000 ක් පමනි. පසුගිය කෝවිඩ් සමයේ එම වැඩපිලිවෙල සම්පූර්ණයෙන්ම වගේ ඇණහිටුනි. ඒ නිසා කෝවිඩ් ව්‍යසනයෙන් පසු විශාල සංක්‍රමණිකයන් පිරිසකට එකවර වීසා නිකුත් කරන ලදී. මේ නිසා සංක්‍රමණිකයන්ගේ හදිසි වැඩිවීම කැපී පෙනුනි.
සංඛ්‍යාලේඛනවලට අනුව 2023/24 වර්ෂයේ පැමිනි සම්පූර්ණ සංක්‍රමණිකයන්ගේ ප්‍රමාණය 667,000 කි. ඉන් 465,000 ක් පැමින ඇත්තේ තාවකාලික විසා බලපත්‍ර වලිනි. 207,000 ක් උසස් අධ්‍යාපනය සදහා පැමිනි ශිෂ්‍යන්ය. ස්තීර පදිංචිය සදහා පැමිනි පිරිස 91,000 කි. වෙනත් රටවල සිට පැමිනි ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත පුරවැසියන්ගේ ප්‍රමාණය 111,000 කි.

කෝවිඩ් සමයේ ලෝකයේ දිගම වසා දැමීම සිදුවූයේ ඕස්ට්‍රේලියාවේය. ඒ නිසා ඒ කාලය තුල නිවාස ඇතුලු යටිතල පහසුකම් සපයන ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම කඩාවැටුනි. ඒ සමගම ලෝකය පුරාම සැපයුම් දාම කඩාවැටුනි. ඒ නිසා භාණ්ඩ හිගයක් ඇතිවූ අතර, භාණ්ඩ සහ සේවා මිල ගනන් ඉහල ගියේය. නිවාස හිගවූ අතර ගෙවල් කුලී ඉහල ගියේය. උද්ධමනය ඉහල ගියේය. මේ සියලු ප්‍රශ්ණ නිර්මානය වූයේ කෝවිඩ් අර්බුදය නිසා මිස සංක්‍රමණිකයන්ගේ පැමිනීම නිසා නොවේය. කෙසේවෙතත් එය තාවකාලික අර්බුදයකි.
ධනවාදී ආර්ථික ක්‍රමවේදය පවත්වාගෙන යෑමට සංක්‍රමණිකයන් ගෙන්වා ගත්තත් ඔවුන්ට අවශ්‍ය පහසුකම්, සුභසාධන සහ සේවාවන් ලබාදීමට රජය කරන මැදිහත්වීම ඒ තරම් අගය කල නොහැක. විශේෂයෙන් පසුගිය දශක දෙක තුල ඕස්ට්‍රේලියාව සංක්‍රණිකයන්ගේ ආකර්ශනීය නවාතැන් පොලක්වූ නිසාම රජය ඒ වගකීම්වලින් මගහැර සිටී බව ඇත්තකි. ඒ නිසාම මේ ජනකොටස් ප්‍රධාන දාරාව තුලට උකහා ගැනීමට අසමත්විය. එවැනි පසුබිමක් තුල තම ප්‍රජාවන්ට වඩා ලංවී ජීවත්වීම මගින් මේ සංක්‍රමණිකයින්ට සහනයක් සහ ආරක්ශාව ලැබුනි. විවිධ ජනකොටස් මෙලෙස තමන්ට සුවපහසු ස්ථාන වලට එක්වීම වැලක්විය නොහැකි කරුනකි.
විශේෂයෙන් මුලින්ම පැමිනෙන සංක්‍රණිකයින්ට, මුදල්, භාෂා සහ සංස්කෘතික යනාදී ප්‍රශ්න ගනනාවකට මුහුන දීමට සිදුවේ. තමා හැදුනු වැඩුනු පරිසරයෙන් වෙන්වී ආගන්තුක රටකට සංක්‍රමණය කිරීම මහත් අභියෝගයකි. මුල් යුගයේ පැමිනි සමහර සංක්‍රමණිකයන් අතර තවමත් ඉංග්‍රීසි භාශාව හරියට කතාකල නොහැකි අය සිටීම පුදුමයට කාරනාවක් නොවේය. අද ඔවුන්ගේ දරු මුනුපුරන් ප්‍රධාන දාරාවට එක්වී විවිධ වැදගත් තනතුරු හොබවති. මේ මුල්පරම්පරාවේ සංක්‍රමණිකයන් කලේ තම ශ්‍රමය විකුනමින් තම දූ පුතුන්ට ඉගැන්වීමට කැපවීමයි. ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමයි.

එදා යටත්විජිත සමයේ යුරෝපීයානුවන් විවිධ යටත්විජිත වලට සංක්‍රමණය කලේය. ඒ බලහත්කාරයෙනි, අනවසරයෙනි. දෛවයේ උත්ප්‍රාසයකට මෙන් අද එය සිදුවන්නේ අනිත් පැත්තටය. බොහෝ රටවල වැදගත් තනතුරු හොබවන්නේත් ඒවා පවත්වාගෙන යන්නේත් ඔවුන්ගේ පැරනි යටත් විජිතවල සිට පැමිනි සංක්‍රමණිකයින් විසිනි. මෙලෙස ඇමරිකාවේ ජනාධිපති සහ උප ජනාධිපති වූයේත් එංගලන්තයේ අගමැති වූයේත් සංක්‍රමණික පසුබිමක් ඇති පවුල්වල අයයි. අද ඕස්ට්‍රේලියානු අගමැතිවරයා වී සිටින්නේද ඉතාලි ජාතික සංක්‍රමණ පසුබිමක් ඇති අයෙකි. විදේශ ඇමතිවරිය මැලේසියානු පසුබිමක් සහිත කාන්තාවකි.
අද සියල්ල ගෝලීයකරණයට ලක්ව ඇති අතර සියලු ප්‍රශ්න දේශ සීමා සහ ජාතිකත්වයෙන් ඔබ්බට ගිය කාරනා බවට පත්ව ඇත. ඒ නිසා සියලුදෙනා පටු අන්තවාදී අදහස් පරාජය කරමින් ගෝලීය අභියෝගවලට මුහුන දීමට මණුෂ්‍යත්වය පෙරට පෙරට ගෙන බුද්ධිමත්ව ක්‍රියා කල යුතුය. ඒ සදහා සංක්‍රමණිකයින් පෙරට ආයුතු අතර තමන් ජීවත්වන රටේ දේශපාලනය ඇතුලු සෑම ක්ෂේත්‍රයකටම දායකවීමට සහ සහයෝගයෙන් කටයුතු කිරීමට සියලු ජන කොටස් සමග අත්වැල්බැද ගත යුතුය.
(සටහන | අජිත් රාජපක්ෂ)
ajith823@gmail.com
විදුලි ඉංජිනේරු (ඔස්ට්‍රේලියාව)




