The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රාක්ෂාව (3 කොටස) : රාසම්මා ගේ කොටහලු උත්සවය | ඉන්දු පෙරේරා

T

The Leader Desk

October 23, 2025 • 10:40 AM

 රාක්ෂාව (3 කොටස) : රාසම්මා ගේ කොටහලු උත්සවය | ඉන්දු පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්තරා උදෑසනක රාසම්මා වැඩිවියපත් වූවාය.
  • ඇතමුන් ජ්‍යොතිෂවේදියකු හමුවී නැකතක් හදා ගන්නා අවස්ථා ද නැතුවා නොවේ.
  • තමන්ගේ අතේ මුදල් ඇති හැටියට ඔවුන් මෙවැනි වියළි ආහාර වර්ගවලින් මොන මොනවා අරන් එති. යුවතිය කහ මිශ්‍ර ජලයෙන් මුලින්ම නැකතට නාවන්නේ මෙම තැල්ල දැමූ කාන්තාවන් ය.
  • ඒ සමග බිස්කට් ඇතුළු කෑම වර්ග ද සමග තේ අමුත්තන්ට පිළි ගන්වනු ලබයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
එක්තරා උදෑසනක රාසම්මා වැඩිවියපත් වූවාය. ගැහැනු ළමයකු වැඩිවියට පත් වූවිට එදිනම නැකතක් බලා නෑවීම ඔවුන්ගේ සම්ප්‍රදාය යි. නැකතක් බලා ගැනීම සඳහා බොහෝවිට යන්නේ ඔවුන් නිතර යන එන වැඳුම් පිදුම් කරන කෝවිලේ අය්යර් (පූජකවරයා) ළඟට ය. ඇතමුන් ජ්‍යොතිෂවේදියකු හමුවී නැකතක් හදා ගන්නා අවස්ථා ද නැතුවා නොවේ. කොහොම වුණත් නෑවීම සිදු කරන්නේ එදාටම ය. හවස් කාලයේ වැඩිවියපත් වී නම් රාත්‍රියට උණුසුම් වතුරෙන් හෝ නෑවීම සිදු කරති.       
 
මේ නාවන චාරිත්‍රය කළ යුත්තේ තැල්ල දැමූ කාන්තාවන් අතිනි. වැඩිවියපත් යුවතියගේ පවුලේ කෙනෙක් මේ අයට ආරාධනා කරයි. මෙහි "තැල්ල දැමූ" යන්නෙන් අදහස් කරන්නේ නීත්‍යානුකූලවම විවාහ වූ කාන්තාවන් ය. විවාහ මංගල උත්සවයේ දී මනාලියට තැල්ලක් පැළඳවීම ඔවුන්ගේ සංස්කෘතියෙහි චාරිත්‍රයකි. තැල්ල දැමූ පසු එය නොගලවා කරේම දමාගෙන සිටීම විවාහක කාන්තාවගේ සිරිතක් වේ. එසේම අවිවාහක තරුණියන් නළල මැද කළු පැහැයෙන් මොට්ටුව තියන්නා සේ විවාහක කාන්තාවෝ නළල මැදට අමතර ව නළල උඩ කෙළවරේ හරි මැදින් ද රතු පැහැති මොට්ටුවක් තබති. යම් හෙයකින් සැමියා මිය ගියහොත් විවාහක කාන්තාවන් තැල්ල ගලවා දමන අතර මොට්ටුව තැබීම කරන්නේ ද නැත. වැඩිවිය පත් යුවතියක ගේ නෑවීමේ චාරිත්‍රය තැල්ල දැමූ කාන්තාවන් අතින් සිදු කිරීම යන්නෙහි අරුත නම් නීතියෙන් විවාහක, සැමියා මිය නොගිය කාන්තාවන් මෙම කාර්යය ට සම්බන්ධ කර ගැනීම ය. මෙහිදී කාන්තාවන් තිදෙනෙක්, පස් දෙනෙක්, හත් දෙනෙක්, නව දෙනෙක් ආදී වශයෙන් තමන්ට කැමති ඔත්තේ සංඛ්‍යාවක් සම්බන්ධ කර ගත හැකිය. මෙසේ කරන්නේ වැඩිවියපත් ගැහැනු ළමයාට පත්තිනි දේවියගේ ආශිර්වාදය ලබා දෙන්නට ය.        
මෙම කාන්තාවන් පැමිණෙන්නේ හිස් අතින් නොවේ. අලුත් යුවතිය වෙනුවෙන් තෑගි ද රැගෙන ය. ඔවුන්ගේ සිරිතට අනුව තෑගි වශයෙන් ගෙනෙන්නේ සහල්, එළඟි තෙල්, බිත්තර, හකුරු, සීනි ආදී දේවල් ය. තමන්ගේ අතේ මුදල් ඇති හැටියට ඔවුන් මෙවැනි වියළි ආහාර වර්ගවලින් මොන මොනවා අරන් එති. 
 
pongal rice
       
යුවතිය කහ මිශ්‍ර ජලයෙන් මුලින්ම නැකතට නාවන්නේ මෙම තැල්ල දැමූ කාන්තාවන් ය. අවසන් වශයෙන් මවට තම දියණියගේ හිසට වතුර වත් කිරීමට අවස්ථාව ලැබේ. එදිනට අහල පහල නෑදෑයෝද පැමිණෙති. පොංගල් බත් සාදා කෙසෙල් කොළවල තබා සියලු දෙනාටම සංග්‍රහ කෙරේ. ඒ සමග බිස්කට් ඇතුළු කෑම වර්ග ද සමග තේ අමුත්තන්ට පිළි ගන්වනු ලබයි. රාසම්මාටත් එම චාරිත්‍ර එසේම විය. 
       
නමුත් ඔවුන්ගේ කොටහලු උත්සවය යනු මෙය නොවේ. එය තිබෙන්නේ ඊට පසුදිනයේ ය. මේ උත්සවය කරන්නේ වැඩිවියපත් යුවතිය ගේ මාමලා ය. එනම්, මවගේ සහෝදරයන් ය. සාමාන්‍යයෙන් දෙමළ ජනතාව ගේ සංස්කෘතියට අනුව පවුලක දරුවන් සම්බන්ධයෙන් තාත්තාටත් වඩා වැඩි බලයක් මවගේ සහෝදරයන්ට තිබේ. මේ මාමා කෙනෙකුට තම එක් කුස උපන් සහෝදරියකගේ දියණියක් විවාහ කර ගන්නට වුවද කිසිදු තහනමක් නැත. අවිවාහක මාමලා කිහිප දෙනෙක් සිටින විට ඔවුන් සහෝදරියකගේ දියණියක් වෙනුවෙන් ගහමරා ගන්නා අවස්ථාද තිබේ. අතීතයේ පැවති මේ සිරිත දැන් බොහෝදුරට අඩුවී තිබෙන්නේ ලේ ඥාතීන් අතර සිදුවන විවාහයන් නිසා ඇතැම් අවස්ථාවල දී ජාන විකෘතිතා සහිත දරුවන් බිහි වීමත්, මේ පිළිබඳව ඔවුන් බොහෝ දෙනෙක් දැන් දැනුවත් වීමත් නිසා ය. ඒ කෙසේ වුවද මෙම සිරිත නැත්තටම නැති වී ගොස් නොමැත.
       
10514මාමලා කොටහලු උත්සවයට පැමිණෙන්නේ දියණියට බොහෝ තෑගි බෝග රැගෙන ය. ඒ අතර ගවුම්, සාරි, කොණ්ඩයට ගැසීමට මල්, පාවහන්, නළලේ තබන මොට්ටු, වළලු, මාල, කරාබු වැනි දේවල් මෙන්ම ඇතැම් විට රන් ආභරණ ද සහල් ඇතුළු ආහාර වර්ග ද හැකි අයුරින් රැගෙන එනු ලබයි. ඒ හැරුණු විට එළුවන්, කුකුළන්, හරකුන් වැනි විකුණා හෝ ඇතිදැඩි කර ආදායමක් ලබාගත හැකි සතුන් ද තෑගි වශයෙන් ලබා දෙන අවස්ථා තිබේ.
       
රාසම්මා ගේ මවටද සහෝදර සහෝදරියන්  නව දෙනෙකි. මේ සියලු දෙනාම රාසම්මා ගේ කොටහලු උත්සවයට පැමිණ සිටියහ. මේ උත්සවය කෙරෙන්නේ මාමලා සහ එම පවුල්වල උදවිය වෙනුවෙන් පමණි. මෙහිදී සරුවටම බත් මාළුපිනි පිස ඔවුන් ට හොඳ සංග්‍රහයක් කෙරේ.
       
"රාසම්මා හොඳ කෙල්ල" නෑදෑයන් හැම දෙනාගේම අදහස වූයේ එයයි.   
 
"අනේ අප්පේ ඔව්. ගෙදර වැඩ ටික සේරම කරනව. හම්බ කරනව. මල්ලිවත් බලා ගන්නව. මගෙ දරුවෙක් නෙමෙයි රාසම්මා මට අම්මා කෙනෙක්" එසේ කී රාසම්මා ගේ මව සිය දෑසේ නැගුණු කඳුළු හැට්ට කර මඳක් උඩට ඔසවා එයින් පිසදා ගත්තාය.       
කොටහලු වී දින කීපයක් යනතුරු රාසම්මා වැඩට ගියේ නැත. උදෑසන ඉවුම් පිහුම් අවසන් කර රාසම්මා ඉස්තෝප්පු කෑල්ලේ බිම වාඩිවී සිටියාය. රාසම්මා ගේ මල්ලී මාරිමුත්තු සිටියේ මිදුලේ තවත් කුඩා දරුවන් සමග සෙල්ලම් කරමිනි. වත්තේ අනෙක් දරුවන්ට වඩා මාරිමුත්තු කුඩා ය. එනිසා ඔහු අනෙක් කොල්ලන්ගේ ඇඟේ හැපුණත් බිම ඇද වැටේ.
 
13790
       
" මල්ලී ගෙට එන්න. ඔයා වැටෙයි" යනුවෙන් කීප වතාවක් ම මාරිමුත්තු ට කතා කළත් ඔහු එය ගණනකට ගත්තේ නැත. රාසම්මා වහා ගොස් මල්ලී වඩා ගත්තාය. එහෙත් ඔහු බිමට පනින්නට දඟලයි.
       
"හා....හා.....රාසම්මා ඔයාට තාම බර උස්සන්න හොඳ නෑ" අම්මා එසේ කියාගෙන මිදුලට බැස්සාය.
       
රාසම්මා මල්ලිව බිම තබනවාත් සමගම ඔහු මිටෙන් හල කුරුල්ලකු මෙන් ළමා පිරිසට එකතු විය.
       
ගෙතුළට ගිය රාසම්මා තමන්ට ලැබී තිබූ තෑගිවල හැඩ බැලුවාය.
       
අත් දෙක පිරෙන්නටම පාට පාට වළලු ලැබී තිබේ. තොරොම්බල් කරත්තවල මෙවැනි වළලු රැගෙන යනවිට ආසාවෙන් බලා සිටින අන්දම රාසම්මාට සිහිපත් විය. ඇයට දිග කොණ්ඩයක් තිබිණි. ඒ කොණ්ඩයට ගසන්නට අලංකාර වැලකි. ලස්සන පබළු මාල සහ ඉමිටේෂන් මාල ද තිබේ. තෑගි අතර රබර් සෙරෙප්පු කුට්ටමකුත් ඇත. ඒක නම් වැඩට දාගෙන යන්න අගේ ය. තිබෙන එකම රබර් සෙරෙප්පු කුට්ටම කොයිතරම් ගෙවී ඇතිදැයි කිවහොත් විලුඹ කොට⁣ස හිල් වෙලා ය.
       
තද රෝස පාට සාරියකුත් එම තෑගි අතර තිබිණි. එය පිටතට ගෙන ඇය දිගහැරියාය. මේ දිගඇර බලන්නේ කීවෙනි වතාවටදැයි ඇයට ම මතක නැත. රන්වන් නූලෙන් වැඩ දමා තිබෙන සාරිය අගේට දිලිසෙයි. රාසම්මා එය පරිස්සමට අත ගෑවාය. බිම පෙරලෙමින් සෙල්ලම් කළ මල්ලිව වඩාගත් නිසා අතේ කුණු ගෑවිලාද දන්නේත් නැත. රාසම්මා ඉක්මනට තම අල්ල දෙස බැලුවාය. පෙනෙන්න නම් කුණු නැත. 
 
13781
"උඹ මනමාලි වෙන දවසට ඕක අඳින්න පුළුවන්"        
අම්මා ළඟට එනතුරුම රාසම්මා නොදැක්කේ ඇය දොරකඩට පිටුපා වාඩිවී සිටි නිසා ය.
       
"දීග යන්න තව කොච්චර කල් තියෙනවද අම්මා. මේක මම කෝවිලේ තේරු උත්සවය දවසට අඳිනව" 
 
13784
       
"මට කමක් නෑ. ඒත් ඉතින් උඹට හුඟ කලක් ගෙදර ඉන්න නම් බැරි වෙයි. හරියකට මගෙ ඇස් දෙක පේන්නෙත් නැතුව උඹව පරිස්සම් කරන්න පුළුවනෑ හැමදාම මට. මාමලාත් ඔය කතාව කිව්වා"
       
රාසම්මා අම්මාගේ මුහුණ බැලුවේ දෑස් හකුලුවාගෙන ය.
 
ලබන සතියේ යළි හමුවෙමු. 
 
ස්තුතිය - මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, සමාජ ක්‍රියාකාරී වීරේ වීරසිංහම්, මාරිමුත්තු රුවන් යන මහත්වරුන් ට සහ පන්විල සූරිය කුමාරි මහත්මියට 
 
ඡායාරූප - මාරිමුත්තු රුවන්, ඉන්දු පෙරේරා සහ අන්තර්ජාලය 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...