එසේ මරා දමනු ලබන්නේ පාතාලයේ නම ගිය අපරාධකරුවන් බව රටේ මහජන ආරක්ෂක ඇමති විලි සංගේ නැතිව පාර්ලිමේන්තුවේදී කරුණු කියයි.
ආණ්ඩුවේ කැකිල්ලෙ නඩු තීන්දු
ආණ්ඩුව කියන්නේ වෙඩි තැබීමකින් මිය යන්නේ අපරාධ කරුවෙක් නම් එහි කිසිම ප්‍රශ්නයක් නැති බවයි. ඒ අදහසින් නොකියා කියන්නේ රටට යුක්තිය පසිඳලන ආයතන අධිකරණ අවශ්‍ය නැති බවයි; කැලෑ නීතිය පමණක් හොඳටෝම ප්‍රමාණවත් බවයි.
මේ කාරණා පිළිබඳ මන්ත්‍රී කණ්ඩායම රනිල් හමුවේ කරුණු ගෙනහැර දැක්වීය.
"රටක අධිකරණය තියෙන්නේ යුක්තිය පසිඳලන්න. අපරාධකරුවෙක් තියා කිසිම කෙනෙක් හිතුමතේ මරා දාන්න කාටවත් අයිතියක් නෑ. වරදක් කර තිබේ නම් නීති ක්‍රියා දාමයකින් පස්සේ නඩු පවරා සුදුසු ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ආණ්ඩුවක් මේ වගේ දේවල් අනුමත කළොත් වෙන්නෙ මිනිස්සු නීතිය අතට ගන්න යන එක. එහෙම නීතිය අතට අරගෙන තමන් හිතුමතේ අපරාධකාරයෙක් කියලා විනිශ්චය කරන තැනැත්තෙක් මරලා දාන්න හැකියාව තියෙනවානේ. මේවා තමයි කැකිල්ලෙ නඩු තීන්දු කියන්නේ"
රනිල් තමන්ගේ අදහස සඳහන් කළේ එලෙසිනි.
මිනිස්සු රනිල්ට ඡන්දය නොදුන්නේ ඇයි?
මහපොළොවේ පවතින දේශපාලන තත්ත්ව නිරීක්ෂණය ගෙනහැර දක්වමින් හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනික් චින්තක රනිල් හමුවේ පැවසූයේ විපක්ෂයේ හවුල දැන් යළිත් ක්‍රියාශීලී වෙමින් පවතින බවයි.
"ඔව්, වමේ රැස්වීම හොඳින් යනවා. ඒකට එක්සත් ජාතික පක්ෂය සහභාගී වෙන්න නියමිතයි. සජබෙ තාම උත්තරයක් දීලා නෑ,'' යැයි රනිල් කීය.
කෙසේ වුව ද දේශපාලන ඕපාදූප සඳහන් කරන්නේ සජබෙ දිස්ත්‍රික් දේශපාලකයින් දෙකට බෙදී තිබෙන බවයි .ගම්පහ වගේම අනුරාධපුරයේ මේ තත්ත්වය තදින් තිබෙන බව දැනගන්නට ඇත.
මෙහි දී රනිල් ගම්පහ දේශපාලනයේ හැසිරෙන ආකාරය ගැන ගැඹුරු විශ්ලේෂණයක යෙදුණේ ය. අතීතයේ බියගම ගමේ දේශපාලනයේ නිරත වූ රනිල් වර්තමානයේ සිදුව ඇති වෙනස ගැන ඉවකින් මෙන් යම් දෙයක් වටහාගෙන උන්නේය.
"මට මිනිසුන් ඡන්දය නොදුන්නේ ඇයි?" යන ප්‍රශ්නය එහි දී රනිල් මන්ත්‍රී කණ්ඩායමෙන් විමසන ලද අතර ඊට බොහෝ දෙනෙක් සපයන ලද මෙන්ම සංක්ෂිප්ත පිළිතුර වූයේ "රනිල් හැමදාම දශකයක් ඉදිරියෙන් සිතන විට ප්‍රජාව දශකයක් පසුපසින් සිට කල්පනාව මෙහෙයවා ඇති බවයි. ඒ නිසා හැම විටම රනිල්ගේ සහ ප්‍රජාවගේ මතය එකට පෑහී නොගිය අවස්ථා නිර්මාණය වූ බව බොහෝ දෙනෙකුගෙන් ඉදිරිපත් වූ මතය විය.
උදාහරණයක් ලෙස රනිල් කොම්පියුටර් යුගය ගැන සිතන විට ජනතාව පොල් අතු, ලණු පැදුරු විවීම ආදිය ගැන සිතන යුගයක ජීවත්වීම ගැන සිතා ඇතැයි බොහෝ දෙනකුගේ මතය විය.
රනිල්ගේ අධ්‍යාපන ක්‍රමය සොරා ගත් මාලිමාව

අසූව දශකයේදී රනිල් සිතූ අධ්‍යාපන ක්‍රමයට එදා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු බොහෝ පක්ෂ අකුල් හෙළුෑ හැටිත් අද 2025 වසරේ දී ඒ අධ්‍යාපන ක්‍රමය ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔසවාගෙන යන්නට හදන හැටිත් උපහැරණ ඇතිව මන්ත්‍රීවරු ගෙනහැර දැක්වූහ.
රනිල්ගේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක ගම්පහ දේශපාලකයින් අසාර්ථක වන්නට හේතු වූ කරුණු ගෙනහැර දැක්වූයේ තමන් මහපොළොවෙන් ලද අත්දැකීම් ඇසුරිනි.
"සර් එදා බියගම දේශපාලනය කරපු විදියක් තියෙනවානේ. එදා සර් බියගම මිනිසුන් ගේ ගෙයක් ගානේ ඇවිද්දනේ. සර්ගෙන් පස්සේ ඒ ප්‍රදේශවලට ආපු දේශපාලකයන්ගෙන් මිනිස්සු බලාපොරොත්තු වුණේ සර්, ඒත් ඒ දේශපාලකයන්ට ඉල්ලුමට සැපයුම දීගන්න බැරි වුණා.
ඒ කතාවට මඳක් කල්පනාකාරී වූ රනිල් පැවසූයේ තමාගෙන් පසුව පැමිණි සුරනිමල රාජපක්ෂ තමා ගිය මාවතේ බොහෝ සාර්ථකව ගමන් කිරීමට කටයුතු කළ බවයි.
පත්තර ගැන රනිල් ගේ දැක්ම
රනිල් මාධ්‍ය කලාවට කොහොමත් ඉතා ප්‍රියතාවක් දක්වයි. ''මමත් මාධ්‍යවේදියෙක්,'' යැයි ඔහු වරෙක පවසා තිබිණි. පුවත්පත්වල සමස්ත බිඳ වැටීම සම්බන්ධයෙන් රනිල් මාධ්‍යවේදීන් සහ මන්ත්‍රී කණ්ඩායම් හමුවේ අදහස් පළ කර තිබිණි. පුවත්පත් අලුතින් සිතා පුළුල් නවීකරණයකට නොගියොත් එහි ආයුෂ ඉතා කෙටි විය හැකි බව රනිල්ගේ අදහස යි.
" news paper එකකට ඊ පත්තරයක් වෙන්න බෑ. මොකද එවෙලේ නිව්ස් එනවා. මාධ්‍යවේදීන් ට්‍රේනින් කරලා තියෙන්නේ දිගට ලියන්න.''
වත්මන් මාධ්‍ය භාවිතයේ අඩු ලුහුඬුකම් පිළිබඳව ද මෙහි දී මන්ත්‍රීවරුන් මෙන්ම මාධ්‍ය කණ්ඩායම් රනිල් හමුවේ කරුණු ගෙනහැර දැක්වීය.
හරින්ට පිරිනැමූ තනතුර

එක්සත් ජාතික පක්ෂය ඉකුත් සතියේ අලුත් තනතුරක් ඇති කළේ ය.
මේ අනුව දේශපාලන බළමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් (Deputy Secretary General of Political Mobilization) ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පත් කෙරිණි.
මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩ පිළිවෙළකට සම්බන්ධ කර ගැනීම හිටපු අමාත්‍ය හරීන්ට ලබා දුන් තනතුරේ වගකීමයි. ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන රැස්වීම් දහස බාරව ක්‍රියා කරන්නේ ද හරීන් ප්‍රනාන්දු ය.
වජිරගේ කඨින පිංකම
රනිල් වෙනුවෙන් මෙවර කොල්ලුපිටිය වාළුකාරාම විහාරස්ථානයේ කඨින පිංකමෙහි දායකත්වය ගෙන තිබුණේ සභාපති වජිරයි.
තෙමසක් පුරා පැවැති මෙම පිංකම් මාලවේ අවසානය සනිටුහන් කරමින් කඨින චීවර පූජාකිරීම සහ තිස් නමක් ස්වාමීන් වහන්සේලා උදෙසා දානය පිරිනැමීය. කඨින පෙරහරට සම්බන්ධ වූ සියලු දෙනාටම ඔවුන්ගේ හිස් මතින් කඨින චීවරය වැඩමවීමට අවස්ථාව ලබාදීමද විශේෂත්වයක් විය.
(සටහන | මල් පාරේ ලියුම්කරු )




