වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඝාතනයෙන් හෙළි වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය බලහත්කාරයක් බවට නිහඬව පරිවර්තනය වීමේ ක්‍රියාවලියකි. මෙම නව අනුපිළිවෙල, විසින් භීෂණයේ තුවක්කු සඳහා සමාජ අනුමැතියක් ඉල්ලා සිටි.
ඝාතනයේ රස්නය මැකී යාමටත් පෙර පොලිසිය භාර අමාත්‍යවරයා ඇතුළු රජයට පක්ෂපාතී හඬවල් වින්දිතයා "පාතාල චරිතයක්" එසේත් නැතිනම "ලියාපදිංචි අපරාධ කරුවෙක්" බවට ප්‍රකාශ කිරීමට ඉක්මන් විය. ඒ ඉක්මන් වීමේ කතාවෙන් පැහැදිලි වන්නේ අන් කවරක්වත් නොව, ඔහුගේ මරණය ඛේදවාචකයක් ලෙස නොව අවශ්‍යතාවයක්ව තිබු බවය. පාලක පක්ෂයට සමීප සමාජ මාධ්‍ය ගිණුම්, ඇතැම් විට ජනාධිපති මාධ්‍ය ඒකකයේ පවා, ඔහුව පාතාල ලෝකයට අනන්‍ය ආවේණික නම් වලින් හංවඩු ගැසීමට පටන් ගත් අතර, අනුකම්පාව සැකයෙන් විතැන් කරලීමට උත්සහ කළේය.
මෙම භාවිතය ගැඹුරු යථාර්ථයක් හෙළිදරව් කරයි. එනම් යුක්තිය ලැබිය යුත්තේ කාටද යන්න ඔවුන් විසින්ම තීරණය කරනු ලබන බවයි. එහි අවසන් ප්‍රතිපලය වන්නේ, නීතියේ ආධිපත්‍යය හුදු මායාකාරී මිත්‍යාවක් බවට පත්වී භීතිය පාලනයේ මොඩලයක් බවට පත්වෙමින් ඇති බවයි.
ඕනෑම රාජ්‍යයක් ස්වකීය පුරවැසියන්ගේ ආරක්ෂාව සඳහා පවතින බව කියා සිටින නමුත්, ඉතිහාසය විසින් නැවත නැවතත් එම පොරොන්දුව බිඳ වැටෙන අවස්ථා පෙන්වා දෙයි. ආණ්ඩු මහජනතාව ආරක්ෂා කිරීම වෙනුවට කෙනෙකුගේ ඝාතනයක් සාධාරණීකරණය කරන විට "රාජ්‍ය ත්‍රස්තවාදය හෝ ගැඹුරු රාජ්‍යය" (State terrorism or the Deep state) ගති ලක්ෂණ හඳුනා ගත හැකිය.
එනම් අදාළ ස්ථාපිතය තුල ඇති නිල අධිකාරිය පිටුපස ක්‍රියාත්මක වන, සිදුවීම් හසුරුවන, විසම්මුතිය නිහඬ කරන, සහ නීතිය ක්‍රියාත්මක කිරීම, සහ සංවිධානාත්මක අපරාධ අතර සීමාව බොඳ කරන අදෘශ්‍යමාන බල යාන්ත්‍රණයේ හැඩය හඳුනාගත හැකියි.
තුර්කියේ “අර්ජෙනෙකොන්” (Ergenekon) ජාලයේ සිට ආර්ජන්ටිනාවේ හමුදා ජුන්ටාව දක්වා සහ පිනෝචෙට් (Augusto Jose Ramon Pinochet Ugarte) යටතේ චිලීයේ සිට ආසියානු රාජ්‍ය කිහිපයක රහසිගත මෙහෙයුම් දක්වා, මෙම රටාව හුරුපුරුදුය. එනම් රාජ්‍යයක් තුළ රහසිගත උපකරණයක් ලෙස දේශපාලන බලය සහ පාලන අධිකාරිය පවත්වා ගැනීම සඳහා ද්විත්ව රාජ්‍ය (Deep State) ප්‍රචණ්ඩත්වය, බිය සහ ප්‍රචාරණය භාවිතා කරනු ලබන බවයි.
ගැඹුරු රාජ්‍යය හෙවත් ද්විත්ව රාජ්‍යයක ව්‍යුහය සහ සැකැස්ම
"ගැඹුරු රාජ්‍යය" (Deep state) යනු යම්කිසි කුමන්ත්‍රණ න්‍යායක් නොවේ, එය ස්ථාපිත ව්‍යුහයක අකාරයකි. එය පවතින දෘශ්‍යමාන රාජ්‍යයකට යටින් හෝ ඉන් ඔබ්බට ක්‍රියාත්මක වන, බුද්ධි සේවා, හමුදාවේ කොටස්, එකාධිකාරී ව්‍යාපාරික ආයතන, නිළධාරීවාදය තුල සංවිධාන ගතවීම්, ඇතුළු තෝරා ගත් බල කළමනාකරණ ජාලයේ සැකස්මකි.
ඊට වෙනස්ව, රාජ්‍ය ත්‍රස්තවාදය යනු (State terrorism) රාජ්‍යය විසින් තම පුරවැසියන් පාලනය කිරීම සඳහා ප්‍රචණ්ඩත්වය විවෘතව භාවිතා කිරීමයි. නමුත් දාර්ශනික වෝල්ටර් බෙන්ජමින් (Walter Benjamin) විවේචනය පිළිබඳ කෘතියේ අනතුරු ඇඟවූ පරිදි, "නීතියේ අවසාන පදනම ප්‍රචණ්ඩත්වයයි." (The ultimate basis of law is violence) එම ප්‍රචණ්ඩත්වය පාලනයකින් තොරව පුරුද්දක් බවට පත් වූ විට, එය නීතියක් බවට පත්වී නතර වේ. ඒ විතරක් නොවෙයි, එය පිළිවෙලක් ලෙස වෙස්වලාගත් භීෂණය බවට පත්වේ.
අද ශ්‍රී ලංකාවේ මෙම ආකාර දෙකම එකිනෙකට සහජීවනයෙන් පවතී. ගැඹුරු රාජ්‍යය හෙවත් ද්විත්ව රාජ්‍ය, රහස්‍යභාවය සපයන අතර රාජ්‍ය ත්‍රස්තවාදය ඊට අවශ්‍ය දර්ශනය සපයයි. මෙම විචල්‍යතා රේඛා දෙක "අවශ්‍ය මරාදැමීම" එනම් ඝාතන අවස්ථාව නමැති නිශ්චිත මොහොතේදී එකිනෙකට ඡේදනය වේ. ප්‍රචාරණය නමැති උපායෙන් ක්ෂණිකව යුක්ති සහගත කරන දේශපාලන ඝාතන සමාජ අනුකම්පාවෙන් විතැන් කර ඒ සඳහා සමාජ අනුමැතියක් ඉල්ලා සිටි.
ටෆ්ට්ස් විශ්ව විද්‍යාලයේ දේශපාලන දාර්ශනික මයිකල් ග්ලෙනන් (Michael Glennon) මෙම තත්වය හඳුන්වන්නේ “ද්විත්ව රජය” ක්‍රියාකාරිත්වය ලෙසයි. එනම් “දෘශ්‍යමාන හෙවත් ඇසට පෙනෙන ආයතන සැබවින්ම පාලනය කරනු ලබන්නේ අදෘශ්‍යමාන ආයතන පද්ධතියක් විසින් බවයි. ඒ හා සමානව, නෝම් චොම්ස්කි (Noam Chomsky) මෙම සංසිද්ධිය විස්තර කරන්නේ “බිය හරහා කැමැත්ත නිෂ්පාදනය කිරීම” ලෙසයි, එහිදී රාජ්‍යයන් අසාමාන්‍ය බලතල සාධාරණීකරණය කිරීම සඳහා සැබෑ හෝ පරිකල්පිත හෙවත් ආරෝපණය කරගත් තර්ජන වගාදිගා කරනු ලබන බවයි.

ඝාතනයට ලක්වූ වැලිගම සභාපතිවරයා පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස රටේ පොලිස්පති වරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටීමෙන් පසුවත් ඔහු ඝාතනය කරනු ලැබිය. ඉන් අනතුරුව රාජ්‍ය හිතවාදී ප්‍රචාරක යාන්ත්‍රණය ඔහු දරුණු "පාතාලයෙක්" හැටියට ලේබල් කිරීම, හුදකලා ඛේදවාචක නොවේ. ඒවා ගැඹුරු රාජ්‍ය හෙවත් ද්විත්ව රාජ්‍ය ක්‍රියාකාරිත්වයේ මිනුම්දඬු වේ. කෙනෙකුගේ ජීවිතයක් ආරක්ෂා කිරීමට ඇති නොහැකියාව එසේත් නැතිනම් ඒ ජිවිතයට ඇති අකැමත්ත, රාජ්‍යය විසින් ප්‍රචණ්ඩත්වයේ බලවේග සමඟ ගැටීමට සැලැස්වීමට ව්‍යංගයෙන් සහ සහයෝගයෙන් කටයුතු කරන බව ඔබට වැටහේවි.
ආණ්ඩුවට සතුරෙක් අවශ්‍ය වන්නේ ඇයි? වගකීමේ දාර්ශනික පැතිකඩ
ආණ්ඩුව ප්‍රචණ්ඩත්වය හෝ පාතාලය නමැති සැකැස්ම හෝ එය නඩත්තුවෙන සදාචාරාත්මක භීෂණය නොතකා දිගටම පවත්වාගෙන යන්නේ ඇයි?. පිළිතුර අර්ධ වශයෙන් දේශපාලන මනෝවිද්‍යාව තුළ සොයා ගත හැකිය. භීතිය විසින් අධිකාරිය තහවුරු කරයි. අවුල් සහගත බව හෙවත් අවිනිශ්චිත බව, පාලනය යුක්ති සහගත කරයි.

ඒකාධිපති පාලන තන්ත්‍රයන්ට බලපෑම් කළ දාර්ශනික කාල් ෂ්මිට් (Carl Schmitt) තර්ක කළේ "ස්වෛරී යනු ව්‍යතිරේකය තීරණය කරන තැනැත්තා" බවයි. ව්‍යතිරේක ප්‍රකාශ කිරීමේ මෙම බලය ස්ථිර වන විට, හෝ සමාජයක් අසාමාන්‍ය ප්‍රචණ්ඩත්වය සාමාන්‍යකරණය කරන විට, අනතුර ඝනීභවනය වෙයි.
1984 දී ජෝර්ජ් ඕවල් (George Orwell) මෙම ගතිකත්වය පැහැදිලිව දුටුවේය. ඔහු පැවසුවේ "බලයේ අරමුණ බලයයි" යනුවෙනි. එනම් ගැඹුරු රාජ්‍යය ක්‍රියාකාරිත්වය හුදෙක් දෘෂ්ටිවාදය මත නොව ස්වයං සංරක්ෂණය මත සමෘද්ධිමත් වේ. එහි සාමාජිකයන් රහස්‍යභාවය දේශප්‍රේමය ලෙසත් (බොහෝදුරට මෙය ලංකාවේ අද නිරවචනය වන්නේ ජනතාවාදී ආණ්ඩුව ලෙසයි) ප්‍රචණ්ඩත්වය අවශ්‍යතාවය ලෙසත් සාධාරණීකරණය කරයි. කාලයත් සමඟ "සත්‍යය" මෙහි භයානක ගොදුරක් බවට පත්වේ.
වැලිගම ඝාතනයෙන් ආණ්ඩුව රැගෙන ආ පණිවිඩය
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනයෙන් පසු පොලිසිය බාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේ, "ඔහු මැරුණත් පාතාල චරිතයක්, මහජන නියෝජිතයෙක් කියන කැටගරි එකට ඔහු දාන්න බැහැ, ඔහු අයිති පාතාල කැටගරි එකට" යනුවෙන්ය. ඒ ඇමතිවරයාට අනුව සෑම පුරවැසියෙකුම සන්සුන් විය යුතුය. එයින් ගම්‍ය වන්නේ කාගේ ජීවිතයට වටිනාකමක් තිබේද යන්න තීරණය කළ හැක්කේ ආණ්ඩුවට බවයි.
දාර්ශනික ජෝර්ජියෝ අගම්බන් (Giorgio Agamben) මෙය හඳුන්වන්නේ "හිස් ජීවිතයක් නිර්මාණය කිරීම" ලෙසයි. දේශපාලනික හෝ සදාචාරාත්මක වැදගත්කමක් නැති ජීවිතයක්, නැතිනම් අපරාධකරුවෙකු ලෙස ලේබල් කළ පසු, පුද්ගලයා "මරා දැමිය හැකි නමුත් කිසිවෙක් ශෝකයට පත් නොවේ." තෝරාගත් ශෝකයක් සහ උපායමාර්ගික සමාජ උදාසීනත්වයක් හරහා නූතන ජනතාවාදී (ඒකාධිපති) රාජ්‍යයන් සිය පාලනය පවත්වා ගෙන යන්නේ එලෙසයි.
නොපෙනෙන රාජ්‍ය - තුර්කිය, ආර්ජන්ටිනාව, චිලීයේ සිට ශ්‍රී ලංකාව දක්වා
තුර්කිය:

දශක ගණනාවක් තිස්සේ තුර්කියේ "ගැඹුරු රාජ්‍යය" (Deep state) මහජන ආණ්ඩු පිටුපස අදෘශ්‍යමාන හස්තයක් ලෙස ක්‍රියාත්මක විය. 1996 සුසුර්ලුක් සෝලිය (1996 Suzurluk scandal) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, පොලිස් ප්‍රධානියෙකු සහ පාතාල මාෆියා ලොක්කෙකු අතර ඇති සම්බන්ධය හෙළිදරව් කිරීමට සමත් විය. මේ සියල්ලෝම එකම මෝටර් රථ අනතුරකින් මිය ගියහ. ඔවුන්ගේ සන්ධානය කුර්දි සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් ඝාතනය කිරීමට සැලසුම් කර තිබුණි. සෑම ඝාතනයක්ම "ජාතික ආරක්ෂාව ආරක්ෂා කිරීම" නමැති කඩ තුරාවෙන් සාධාරණීකරණය කරන ලදී.
මයිකල් ෆූකෝ (Michel Foucault) සඳහන් කළ පරිදි, "බලය තමා තුළම නපුරක් නොවේ, එය හුදෙක් භයානක ය." (Power is not evil in itself, it is simply dangerous.) අනතුර පවතින්නේ එහි නොපෙනී යාම තුළ ය. බලය නිලධාරිවාදී සෙවනැලි තුළ සැඟවී වගවීමකින් තොරව ක්‍රියාත්මක වන්නේය.
ආර්ජන්ටිනාව: අපිරිසිදු යුද්ධය, (The Dirty War)
1976 සිට 1983 දක්වා කාල පරිච්ඡේදයේ, ආර්ජන්ටිනාවේ හමුදා ජුන්ටාව විසින් "කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට එරෙහි යුද්ධයක්" (War against subversion) ප්‍රකාශයට පත් කළේය. ඇත්ත වශයෙන්ම යථාර්ථයේ දී, එය තමන්ගේම ජනතාවට එරෙහි යුද්ධයකි. මෙම අත්තනෝමතිකත්වය තුලින් පුරවැසියන් 30,000 කට වැඩි පිරිසක් අතුරුදහන් කරලීය. මව්වරුන් තවමත් ප්ලාසා ඩි මායෝ දිගේ ඇවිද යන්නේ තම අතුරුදහන් වූ තම දරුවන්ගේ පින්තූර අතැතිවය.
යටත් විජිත ප්‍රචණ්ඩත්වය ගැන ලියමින් ෆ්‍රාන්ට්ස් ෆැනන්, (Frantz Fanon) කඩාකප්පල්කාරීන් සොයා ගැනීමේ නාමයෙන් ත්‍රස්තවාදය සැමවිටම යුක්ති සහගත කරන ආකාරය මැනවින් විස්තර කළේය. සෑම අවස්ථාවකම ආර්ජන්ටිනා ජෙනරාල්වරු ද එම සාධාරණීකරණය එලෙසම භාවිතා කළහ. එනම් ස්ථාවරත්වය සහ ඔවුන්ගේ විකාර පාලනයේ පැවැත්ම ආරක්ෂා කර ගැනීම සඳහා තක්කඩි විදිහට භීතිය අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්කර ගත්තේය.
චිලීය: මර්දනය තාර්කිකත්වයක් වෙත

චිලියේ ජෙනරාල් ඔගස්ටෝ පිනෝචේ (Augusto Pinochet) මර්දනය නිලධාරිවාදයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් කළේය. දහස් ගණනක් පුරවැසියන් ආ ගිය අතක් සොයා ගැනීමට නොහැකි වූ අතර, ඔවුන්ගේ මරණ නීත්‍යානුකූලභාවයට පත්කරන ලදුව හමුදා සහ අධිකරණ මාර්ග හරහා සුජතාතකරණයට ලක්කරන ලදී. හැනා අරෙන්ඩ් (Hannah Arendt) පැවසූ පරිදි, මිනිසුන් ඝාතනය කළා පමණක් නොව, ඔවුන් "උදාසීන කරන ලදී." නපුරේ ඇති නරකම අශෝභනත්වය වන්නේ මෙයයි. ඇය තවදුරටත් පවසන්නේ "කනගාටුදායක සත්‍යය නම් බොහෝ නපුර සිදු කරනු ලබන්නේ කිසි විටෙකත් හොඳ හෝ නරක විමසීමට තම මනස සකස් කර නොගන්නා මිනිසුන් විසිනි." මෙය නපුරේ අශෝභනත්වය හෙවත් සදාචාරාත්මක භීෂණයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටියේ මුහුණතයි.
ගැඹුරු රාජ්‍යය නිරමිතයන් ඒකාධිපතිත්වයන්ට පමණක් සීමා නොවේ. ජනතාවාදී පාලනයන් පවත්වාගෙන යනවා යැයි කියන ජාතීන් පවා පුරවැසි ඇස්වලට වැලි ගසා ඉන් ඔබ්බට ක්‍රියාත්මක වන වගකීම් විරහිත අනීතික සංවිධාන ජාල පවත්වාගෙන යයි. ඒවා මතුපිටට නොපෙනෙන අදෘශ්‍යමාන ව්‍යුහයන්ය. ඒ සඳහා උදාහරණ ඕනෑ තරම් සැපයිය හැකිය.
පකිස්තානයේ, හමුදාව, බුද්ධි සේවා සහ අන්තවාදී කණ්ඩායම් එකිනෙකට බැඳීම පවත්වා ගනිමින් ගැඹුරු රාජ්‍යයකට අවශ්‍ය පෙළපොත් බඳු උදාහරණයක් සපයා දෙයි. මෙතුලින් නිත්‍යානුකුල ආණ්ඩු අභිබවා යන සමාන්තර බල ව්‍යුහයක් නිරුපනය කරනු ලබයි. පරිපාලනයේ නිල පිළිගත් වැඩපිළිවෙල නොසලකා සෑම සිවිල් පරිපාලනය ඒකකයක්ම, අනීතික සහ තේරී පත් නොවූ ක්‍රියාකාරීන් විසින් අඳින ලද නොපෙනෙන රතු රේඛා වටා ගමන් කළ යුතුය.
කුඩා රාජ්‍යයන් පවා මෙයින් නිදහස් නොවේ. හමුදාව, පොලිසිය සහ බුද්ධි අංශ වගවීමෙන් ආරක්ෂා වී ස්වාධීන දේශපාලන ක්‍රීඩකයින් ලෙස ක්‍රියා කරන සෑම අවස්ථාවකම ගැඹුරු රාජ්‍යයකට (Deep State) අවැසි දේශපාලනය සඳහා කොන්දේසි සපුරාලනු ලබයි.
අන්ධකාර ගුහාවක් වෙත කැටුව යන රාජ්‍ය පාලනය ආපසු හැරවිය යුතුයි

ගැඹුරු රාජ්‍ය (Deep state) පාලනයකට මුහුණ දීමට මැතිවරණවලට තරඟ කරනවාට වඩා වැඩි සමාජ මැදිහත් විමක් අවශ්‍ය වේ. වැලිගමදී ඝාතනයට ලක් වුයේ ප්‍රධන විපක්ෂය නියෝජනය කරනු ලබන සභාවක සභාපතිවරයෙකි. එය පාතාල ක්‍රියාකාරිත්වයකට එහා ගිය දේශපාලන ඝාතනයකි. මෙම අවනඩුව සමාජ අවකාශය තුල අවධාරණය විය යුතු සංසිද්ධියක් බව කිව යුතුය. ඒ සඳහා අවැසි සිවිල් සමාජ සුපරීක්ෂාකාරිත්වය, ආයතනික විනිවිදභාවය සහ සදාචාරාත්මක ධෛර්යය සැපයීමට මේ මොහොතේ ලංකාවේ විපක්ෂ දේශපාලන බලවේගවලට පුළුල් කාර්යභාරයක් අවශ්‍ය වේ.
ඇල්බට් කැමූස් (Albert Camus) ලියූ පරිදි, "නිදහස් නොවන ලෝකයක් සමඟ කටයුතු කිරීමට ඇති එකම මාර්ගය වන්නේ ඔබේ පැවැත්මම කැරැල්ලේ ක්‍රියාවක් වන තරමට සම්පූර්ණයෙන්ම නිදහස් වීමයි."
සිවිල් සමාජය, ස්වාධීන පුවත්පත් කලාව, සහ නිර්භීත අධිකරණයක් යනු ප්‍රජාතන්ත්‍රවාදය සහ එහි සෙවනැල්ල අතර තුනී රේඛාවකි. බොහෝ විට අපකීර්තියට හෝ තර්ජනයට ලක්වන, රහස් හෙළි කරන්නන්, විමර්ශන වාර්තාකරුවන් සහ මානව හිමිකම් නීතිඥයින් මිනිස් සහ සමාජ නිදහසේ සැබෑ ආරක්ෂකයින් විය යුතුය. ඕනෑම ප්‍රජාතන්ත්‍ර විරෝධී ගැඹුරු තත්වයට එරෙහි ප්‍රතිවිරෝධකය ප්‍රති-ප්‍රචණ්ඩත්වය නොව එය පුරවැසි සමාජයට නිරාවරණය කිරීමයි. හිරු එළිය තවමත් හොඳම විෂබීජ නාශකය බව සිහි තබාගත යුතුය. එබැවින් හිරු එළියක් සේ අදෘශ්‍යමාන බලයට එරෙහිව සමාජ කතිකාවක් සඳහා සමාජය සංවිධානය කිරිම සත්‍ය සඳහා කරනු ලබන අරගලයකි.
දේශපාලන දාර්ශනික ජෝන් ස්ටුවර්ට් මිල් (John Stuart Mill) වරක් මෙසේ පැවසීය, "නරක මිනිසුන්ට තම අරමුණු ඉටු කර ගැනීමට තවත් කිසිවක් අවශ්‍ය නොවේ, හොඳ මිනිසුන් කිසිවක් නොකර බලා පමණක් ප්‍රමාණවත්ය." ගැඹුරු රාජ්‍ය භාවිතයක භීෂණය යන්න නොනැසී පැවතීම නොවැළැක්විය කොන්දේසියකි. ඇත්ත වශයෙන්ම එය නොනැසී එසේ පවතින්නේ සමාජයන් එයට අවශ්‍ය ඉඩ ප්‍රස්තාව නිර්මාණය කර දෙන බැවිනි.
ආණ්ඩු විසින් විචාරකයින් සතුරන් ලෙස ලේබල් කරන්නේ නම් හෝ නීතිය ක්‍රියාත්මක කරන පාර්ශවයන් විනිශ්චයකරු සහ අලුගෝසුවා භූමිකා දෙකටම පන පොවන්නේ නම්, පුරවැසියන් තරයේ මතක තබා යුතු කරුණක් තිබේ. එනම් නිහඬතාවය යනු ඔබ ඊට දක්වන නිහඬ අනුග්‍රහයක් බවයි.
ප්‍රජාතන්ත්‍රවාදය උරගා බැලිය හැකි පරීක්ෂණය වන්නේ එය බලවතුන්ට සලකන ආකාරය නොව, අවදානමට ලක්විය හැකි අයව ආරක්ෂා කරන ආකාරයෙනි. මාටින් ලූතර් කිං ජූනියර් (Martin Luther King Jr) අනතුරු අඟවා සිටයේ "වැදගත් දේවල් ගැන අපි නිහඬ වන දවසට අපේ ජීවිත අවසන් වීමට පටන් ගන්නවා" යනුවෙනි. නීති විරෝධී ඝාතන වටා ඇති නිහඬතාවය මධ්‍යස්ථභාවය හෝ ඉවසීම නොවේ, ඇත්ත වශයෙන්ම ඒ සඳහා දක්වන අනුග්‍රහකත්වයයි.
ඒ නිහඬතාවය බිඳ දැමීමට නම්, ඡන්දය පූජනීය වන්නේ එය උණ්ඩය ප්‍රතිස්ථාපනය කරන නිසා බව පුරවැසියන් මතක තබා ගත යුතුය. දේශපාලන මිනීමැරුම් සාමාන්‍ය දෙයක් ලෙස අප පිළිගන්නා මොහොතේ සිට, අපි දැනටමත් අපගේ ප්‍රජාතන්ත්‍රවාදය යටත් කර පාවා දී ඇත්තෙමු.

ගැඹුරු රාජ්‍යය (Deep State) රහසිගතව සමෘද්ධිමත් වේ. පාතාලය හෝ රාජ්‍ය ප්‍රචණ්ඩත්වය යුක්තිසහගතකරණය තුළ සමෘද්ධිමත් වේ. දෙදෙනාම බිය පෝෂණය කරති. දෙදෙනාම ප්‍රචණ්ඩත්වය ගුණධර්ම ලෙස වෙස්වලා ගනිති.
ශ්‍රී ලංකාව දැන් සදාචාරාත්මක සන්ධිස්ථානයකට මුහුණ දී සිටී..
ප්‍රජාතන්ත්‍රවාදය නොනැසී පැවතීමට නම්, එය තම හෘදය සාක්ෂිය නැවත සොයා ගත යුතුය. යුක්තිය බලවතුන්ගේ වරප්‍රසාදයක් වීම නතර කළ යුතුය. දාර්ශනික සිමෝන් වයිල් (Simone Weil) ලියූ පරිදි, "නපුර, අප එහි බලයේ සිටින විට, නපුරක් ලෙස නොව, අවශ්‍යතාවයක් ලෙස හෝ යුතුකමක් ලෙස පවා දැනේ."
කෙසේ වෙතත්, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සැබෑ යුතුකම වන්නේ පාතාලයේ හෝ සාමයේ නාමයෙන් මිනීමැරීම නොව, යුක්තියේ නාමයෙන් ජීවත් වීමට අවැසි ඉඩ හසර සෑම කෙනෙකුටම සලසා දීමයි.
(සටහන | විජේපාල දිසානායක)
wijepaladissanayake@gmail.com
භාණ්ඩාගාරික;
ආසියානු භූ දේශපාලන තිරසතාවය, සහ සාමය සඳහා වූ කවුන්සිලය
Asian Geopolitical Sustainability & Peace Council. (AGSPeC)
Treasurer- Asian Geopolitical, Sustainability & Peace Council




