වේගා අසන්නේ මේ 700ක් දෙනා පැමිණ සිටින්නේ කොයි කොයි දේස වලින් ද යන්න ය. 700න් කෙනෙකු වන චිත්තභානුගේ පිළිතුර මෙයාකාර වන්නේ වෙයි.
"හැම තැනින්ම ඇවිත් ඉන්නෙ. ඒත් තැන මෙතන. අපිට අයිති තැන. අයිතිය කියන දේ නිත්‍යානුකූලභාවය කියන වැරහැල්ලෙන් වහන්න බෑ. අයිතිය කියන්නෙ නීතිය නෙවෙයි. පටල ගන්න එපා. ඔයා ඔහොම ඇවිදගෙන කොංකෝඩ් වටරවුමට යන්න. බලන්න ඒක මැද්ද හිටවලා තියෙන 'ඔබලිස්කෙ' වේදනාවෙන් ඇඹරෙන හැටි. බලන අයට පේන්නේ ඒක ගරු ගාම්භීරව නොසෙල්ලී ඉන්නවා කියලා. නමුත් ගිහින් කන තියලා අහන්න කොයිතරම් වේදනාවක්ද කියලා. දැන් අපි කතා කළොත් මේකේ නිත්‍යානුකූල බව ගැන ප්‍රංශය ආණ්ඩුව අපිට පුකෙන් හිනාවෙයි. ඒකෙන් පැහැදිලි වෙනවා නීතිය කියන්නේ මොකක්ද කියලා..

නමුත් අයිතිය කියන දේ ඒකෙන් පැහැදිලි වෙනවද? ඒකේ අයිතිය ගැනත් ප්‍රංශ ආණ්ඩුව කතා කලොත් ඊජිප්තුවෙ පිරමීඩ ඇතුලේ ඉන්න මමි උනත් නැගිටලා පුකෙන් හිනාවෙයි. ඒක තමයි අපි කියන්නේ මේ බලෙන් අටවපු නීති කියන්නෙ ඇත්ත අයිතිය ඇඟවෙන දෙයක් නෙවෙයි. ඉතිහාසය ගොඩනගන්නෙ අයිතිය මිසක් නීතිය නෙවෙයි.
ඔහු කොංකෝඩ් චතුරස්‍රය හරහා යළි ත්‍රොකැදෙරෝවට ඇවිද එමින් සිටියේය. මම හීමිටියා නිතර මතුරන දිවැසි වැකියක් අනායාසයෙන් සිහියට නගා ගතිමි.
"සහෝදරයා දන්නවද මිනිස්සු ශිෂ්ටාචාරය හදනකොට ප්‍රංශකාරය මොකක්ද කළේ කියලා. ප්‍රංශකාරය කළේ මිනිස්සුන්ට නිදහසේ ශිෂ්ඨාචාරය හදන්න ඉඩ දීලා නැව් හදපු එක. ඊට පස්සේ ලේසියෙන්ම ඒ දේවල් නැව්වල දාගෙන මෙහාට ගෙනාපු එක. "
මහා සාහිත්‍ය කලා ඉතිහාසයක් ෆ්‍රන්සය සතුව තිබෙන බැවින් තරමක අතිශයෝක්තියක් සේ පෙනෙන යක්ෂණී ඇසුරේ මා සිදුකළ මෙම සාහිත්‍යයික වර නැඟීම හිතේ තබාගෙන ලූව්ර නරඹන්නට යන කෙනෙකු වේ නම් කෞතුකාගාරයෙන් පිටව යන්නේ මා කී දේ කෙතරම් අල්පෝක්තියක්දැයි සිතමිනි.

ෆ්‍රන්ස විප්ලවය සමයේ බැබැලුණු දරුණු රණකාමී නැපෝලියන් බොනපාර්ට් සිය උන්නතිකාමී ජීවිත කාලයේ දුටු එක් බරපතළ සිහිනයක් වූයේ තමන්ගේ නමින් හෙවත් ‘නැපෝලියන් නමින් කෞතුකාගාරයක්’ බිහිකර ගැනීම ය. ඔහු ක්‍රියා කරන්නට පටන් ගත්තේ කලාත්මක ලෝකයේ සංස්කෘතික බල කේන්ද්‍රය නොහොත් සංඛේතීය ගොඩනැඟිල්ල එය වනු දැකීම වෙනුවෙනි. පසුකාලීනව ලූව්ර කෞතුකාගාරය බවට පත්වුණේ මෙම නැපෝලියානු සිහිනයයි.
යුරෝපා කලාපයේ පැතිර ගිය නැපෝලියානු යුද්ධ අතරතුර නැපෝලියානු බලඇණිවලට පවරා තිබුණු මූලික වගකීමක් වූයේ කලා වස්තු මංකොල්ලයයි. නැපෝලියන් බලඇණි විසින් මුලින් ම, 1796 වසරේ බෙල්ජියමෙන් සහ ඕලන්දයෙන් කලාත්මක වස්තු කොල්ලය අරඹණු ලැබිණ. පසුව එය ක්‍රමනුකූලව, ඉතාලිය, ඊජිප්තුව වැනි බරපතළ ඓතිහාසික කලා මර්මස්ථාන කොල්ලකෑම හරහා සමස්ථ ලෝකයේ සියලු ශිෂ්ඨාචාර විනිවිද යාම ඇරඹිණ. නූතන ලෝකයේ 'අතිශය ක්‍රමනූකූලව' කලා වස්තු මංකොල්ල කෑ පුරෝගාමී බලවතා වූයේ මෙකී බොනපාර්ට් ය.
හමුදා ජනරාල්වරයකුගේ සිට ෆ්‍රන්ස අධිරාජයා දක්වා රූපන්තරණය වූ නැපෝලියන් බොනපාර්ට්, ඉතාලි නාපෝලියේ, ස්පාඤ්ඤයේ සහ ඉන්දියානු දූපත් කලාපයේ බලවතා නොහොත් තමන්ගේ රජ්ජුරු නියෝජිතයා බවට පත් කළ වැඩිමහල් සහෝදරයා වූ ජොසෙෆ් බොනපාර්ට් මේ සමයෙ කුප්‍රකටම සංස්කෘතික කොල්ලකරු බවට පත් විය. නැපෝලියන්ගේ ඇදවැටීමත් සමඟ ඇමෙරිකාවේ විප්‍රවාසී වූ ජෝෂප් තමන්ගේ කොල්ලකාරී කලාකෘති සමඟ ලක්ෂරිගත ඇමරිකානූ ජිවි පෙවෙතකට අවතීර්ණ වූ අයුරු ඉතිහාස ගවේශනයේද පෙනී යයි.

කෙසේ වුව මෙම මහා සංස්කෘතික කොල්ලයේ පෙළහරපෑම් මත විශ්මිත කලා කෞතුකාගාරයක් වූ ලූව්රය අද දක්වා ම ලෝකවාසී කලා ලෝලීන්ගේ මෙන්ම සංචාරකයන්ගේ සිහින ගමනාන්තයක්ව පවතී. අවමවශයෙන් වරක් කොල්ල කෑ, යළි ලූව්රගත මෝනාලීසාගේ මුහුණ නොබැලූ ජීවිතයක් කවර ජීවිතයක්දැයි සිතන්නෝ අපමණව සිටිති.
කලා මංකොල්ලයට දුන් මානුෂික මුහුණවර න්‍යායගත කර ලෝක පරිමානව පිළිගන්නට පුරුදු කර තිබුණේ යුද්ධයක ජයග්‍රහකයන්ට තමන් කැමති දෙයක් පරාජිත භූමියෙන් අත්පත් කර ගත හැකිය යන්න ය. එපමණකින් නො නැවතුණු සාධාරණීකරණය කිරීමේ පිළිවෙත අවධාරණය කළේ එවන් සුවිශේෂ කලා කෘතිවලට ආරක්ෂිතම ස්ථානය ෆ්‍රන්සය බව ය. තත්වය කෙසේ වුවත් 1815 සැප්තැම්බරයේ පෘසියානු සහ බ්‍රිතාන්‍ය බලඇණි කැටුව ලූව්ර කටුගෙයට කඩාවැදුණු පැරිසියේ පෘසියානු ආණ්ඩුකාරයා වූ කාල් වොන් මුෆ්ලිං සහ බෙල්ජියානු මෙන්ම ඕලන්දක්කාර නිලධාරීන් නැපෝලිියානු යුද සමයේ තමන්ගෙන් කොල්ල කෑ කලා වස්තු යළි ලබා දෙන ලෙස බලපෑම්සහගතව කළ මැදිහත්වීම නිසා එතෙක් න්‍යායගතව තිබි නීත්‍යානුකූලභාවය පිළිබඳ තර්කනය සසල වන්ට පටන් ගැනුණි.
තත්වය සමනය කර ගනු පිණිස අතිශය ජනප්‍රසාදයට පත් සිත්තම් ආදී ඇතැම් කලා වස්තු යළි පවරා දුන්නද දුසිම් ගණන් දෑ කිසිදාක යළි නොදෙන ලැයිස්තුවලට වැටුණි. මේ චෞර අතීතය සහ කලා කෘතීන්ගෙ අයිතිය පිළිබඳ විවාදය තවමත් නො සංසිඳුණු සංස්කෘතික හා බුද්ධිමය සංසිද්ධියකි. ලූව්රයේ පමණක් නොව, ෆ්‍රන්සයේ ප්‍රධාන නගර පුරා වන කලා කෞතුකාගාර දක්වා විසිරී ඇති, යළි බාර නොදුන් කලා කෘති ලැයිස්තුව කුමක්දැයි දළ වශයෙන් දැන ගන්නට අවශ්‍ය වේ නම් එය අන්තර්ජාල පරීක්ෂාවකින් ලේසියෙන්ම කළ හැක්කකි.
මේ හදිසියේ ලූව්ර චෞර ඉතිහාසය පිළිබඳ අතිශය සැකෙවින් ලියා දැක්වූයේ ඇයි දැයි 'බල්සාක් කැෆේ' වෙත ගොඩවුණු සහෘද ඔබ සිතන්නට පිළිවන.

ඒ මන්දයත් ගෙවුණු ඔක්තෝබර් 19වැනිදා හදිසියේ මහා දවාලයේ ලූව්ර කෞතුකාගාරයේ සිදුවූ අභරණ මංකොල්ලය හින්දා ය. එය කලා සංස්කෘතික ලෝකය කැළඹූ මහා ප්‍රවෘත්තියකි. ලූව්රයේ ඇපොලෝ ප්‍රදර්ශන ගැලරියේ වූ ‘කිරුළු මාණික්‍යය’ මංකොල්ලය සිදුවූයේ ප්‍රදර්ශන කාලය ඇරඹීමෙන් පසුව ය. සාමාන්‍යයෙන් ලූව්රය මහජනයා පිණිස විවෘත වන්නේ උදෑසන 9ට ය. මංකොල්ලය සිද්ධ වී තිබුණේ 9 හමාරට පමණ ය. සියලු ක්‍රියාකාරකම් සඳහා මංකොල්ලකරුවන් ගත කර තිබුණේ විනාඩි 8කි. ඉදිකිරීම් කම්කරුවන් අඳින කහ-තැඹිලි පැහැ නිල ඇදුම් සහිතව සෙන් ගඟ පැත්තෙන් ඇතුළුව වීදුරු ප්‍රදර්ශන කුටි කපා ඔටුණු සහ මැණික් අභරණ කොල්ලකා එළාම්- සයිරන් නාද මැද්දෙන් යළි ලූව්රයෙන් පිටව ගොස් ඇත්තේ ත්‍රාසජනක සිනමාපටයක මෙනි. මංකොල්ලකරුවන් එනතුරු මෝටර් ස්කූටර පණගන්වාගෙන සිටි චෞර සහයකයන් සෙන් ගඟ ඉවුරු දිගේ ගොස් පැරිසිය වටේ දිවයන සුප්‍රකට ‘ෆෙරිෆෙරික්’ මාර්ගයට පිවිස,
ඉක්බිති ඒ 6 හයිවේ-මහා මාර්ගය හරහා පළා ගිය හැටි ෆ්‍රන්ස රූපවාහීනී, ගුවන්විදුලි ඇතුළු සියලු ජනමාධ්‍ය තවමත් ත්‍රාසජනක ලෙස රසවිඳියි. ඔටුනු 3ක් සහ ආභරණ 6ක් වශයෙන් ප්‍රදර්ශන අංග 9ක් මංකොල්ල කෑ මංකොල්ලකරුවන් අතින් එක් ඔටුන්නක් අතහැරී තිබුණි. ඒ, ඕජෙනී අධිරාජිනියගේ ඔටුන්නයි. කෙසේ හෝ මිල කළ නොහැකි යැයි සැළකෙන මේ කෘතුක ප්‍රභූ වස්තූන්ගේ දළ වටිනාකම යුරෝ මිලියන 100 ඉක්මවා යන්නකි. හරියටම මංකොල්ලය දා එනම් ඔක්තෝබර් 19වැනි දා රාත්‍රියේ පැවති රූපවාහිනී සංවාදයකදී එක් ආරාධිතයෙක් සිනහමුසුව ප්‍රශ්නකර සිටියේ ඒවා කොච්චර වටිනවා වුව සඟවාගෙන සිටින්නේ මොකටද යන්න ය. ඒවා මිලදී ගන්නකු වේ නම් ඔහුට හෝ ඇයට ඉන් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද යන්න හාස්‍යයෙන් යුතුව සාකච්ඡා කරන කල්හි එක් ආරාධිතයෙකු ඇසුවේ ඒ ඔටුණු මොහොතකට හිසේ දමා ගත් විට මොකක් හෝ වෙනසක් සිදුවේද යන්න ය.
ෆ්‍රන්ස ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් මේ සංවාදය පෝෂණය කරමින් ඔහුගේ ‘එක්ස්’ ගිනුම ඔස්සේ වැදගත් අවධාරණයක් කළේ ය. ඔහුට අනුව මෙම මංකොල්ලය වනාහී ෆ්‍රන්සය මෙතෙක් රැකගත් ඓතිහාසික උරුමයට සිදුකළ දැනුවත් ප්‍රහාරයකි. එබැවින් කෙසේ හෝ මෙම වස්තූන් යළි සොයා ගන්නා අතරම අපරාධකාරයන් නීතිය හමුවට ගෙන එන බව ඔහු අවධාරණය කළේ ය. ඔහුට අනුව එළඹෙන ජනේරුවේ ලූව්රයේ ‘නව ප්‍රතිරෝධන ව්‍යාපෘතිය’ හෙවත් අධි ආරක්ෂණ වැඩ පිළිවලට ප්‍රාණය පිඹිනු ලැබෙයි. එය ෆ්‍රංස ජනතාවගේ ‘මතකය සහ සංස්කෘතිය’ වෙනුවෙන් දෙනු ලබන සහතිකයක් බව ඔහු ඉතා හැඟුම්බරව අවධාරණය කරයි.

ලූව්ර කලා කෞතුකාගාරයේ මහා දහවලේ සිදුවූ මංකොල්ලයක් අරභයා ෆ්‍රන්ස ජනාධිපතිවරයා විසින් ෆ්‍රන්ස ජනතාවට හඬ නඟා සහතික කරන ‘මතකය සහ සංස්කෘතිය’ කුමක්ද?
මෙකී ‘මතකය සහ සංස්කෘතිය’ ලෙස ලූව්රයේ තිබෙන කලා කෘති ෆ්‍රන්ස ජනපතිවරයාට සහ ෆ්‍රන්ස ජනයාට නඟා පවසන්නේ කුමක්ද? 
(සටහන | මංජුල වෙඩිවර්ධන)
Journalist/Writer
mwediwardena@gmail.com
http://www.jdslanka.org/
(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )




