The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ලෙනින් අතහැර 'ඔක්තෝම්බර විප්ලවය' මාක්ස්ගෙන් කියවීම | කුසල් පෙරේරා

T

The Leader Desk

October 26, 2025 • 10:21 AM

ලෙනින් අතහැර 'ඔක්තෝම්බර විප්ලවය' මාක්ස්ගෙන් කියවීම | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විප්ලවය දිග හැරුණු කාලයේ සාර් රුසියාවේ භාවිත වූ “ජූලියන් කැලැන්ඩරය” සහ පසුව භාවිතයට පැමිණි “ග්‍රෙගරියානු කැලැන්ඩරය” අතර ඇති කාලයේ වෙනස හේතුවෙන් ඔක්තෝම්බර 26 වන දින නොවැම්බර 07 වන දිනට මාරු වන්නේය.
  • පළමු ජයග්‍රාහී “කම්කරු විප්ලවය” යැයි කියන්නාවූ 1917 ඔක්තෝම්බර විප්ලවය සැමරීමේදී එදා විප්ලවයට සක්‍රීයව සහභාගී වූ සමාජ කණ්ඩායම් හා ඔවුන්ගේ දේශපාලන භාවිතාව කියවා ගැනීම වැදගත් ය.
  • සාර් රුසියාවේ සියයට 80 ක් පමණ ග්‍රාමීය ජනතාවක් වූ අතර, සාර් පාලනයෙහි ඔවුන්ට සැළකෙන ආකාරය පිළිබඳව ඔවුන්ට තිබුණේ නුරුස්නාවක් සමග වූ ලොකු කලකිරීමකි.
  • ඒ පසුබිමෙහි ඔක්තෝම්බර විප්ලවයට පෙරහුරු වැනි සාර්ට එරෙහි ජනතා කැරළි ගණනාවක් 1905 සිට ඇති විය.
අකුරු ප්‍රමාණය (Font Size):


විප්ලවය දිග හැරුණු කාලයේ සාර් රුසියාවේ භාවිත වූ “ජූලියන් කැලැන්ඩරය” සහ පසුව භාවිතයට පැමිණි “ග්‍රෙගරියානු කැලැන්ඩරය” අතර ඇති කාලයේ වෙනස හේතුවෙන් ඔක්තෝම්බර 26 වන දින නොවැම්බර 07 වන දිනට මාරු වන්නේය.

සෝවියට් රුසියානු බල ප්‍රදේශයද සාර් අධිරාජ්‍යයට හිමි වූ යුරෝපය හා ආසියාව බෙදන යූරල් කඳු වැටියෙන් නැගෙනහිරට බෙරිං මුහුද හා කොරියාව දක්වාත් දකුණට මායිම් වන චීනය, මොංගෝලියාව, ඇෆ්ගනිස්ථානය, තුර්කිය, ඉරාණය සහ ඉතිහාසයේ කිහිප විට මායිම් වෙනස් වූ යූරල් කඳු වැටියෙන් බටහිරට පෝලන්තය, හංගේරියාව, රුමේනියාව, නෝර්වේ සහ ජර්මනිය දක්වා වූ මායිම් තෙක් පැතිරුණකි. මේ රුසියානු භූමි ප්‍රදේශය, පෘථිවියෙන් හයෙන් පංගුවකි.  


පළමු ජයග්‍රාහී “කම්කරු විප්ලවය” යැයි කියන්නාවූ 1917 ඔක්තෝම්බර විප්ලවය සැමරීමේදී එදා විප්ලවයට සක්‍රීයව සහභාගී වූ සමාජ කණ්ඩායම් හා ඔවුන්ගේ දේශපාලන භාවිතාව කියවා ගැනීම වැදගත් ය. මෙය එවැනි ඓතිහාසික එළැඹුමකි.

සාර් රුසියාවේ සියයට 80 ක් පමණ ග්‍රාමීය ජනතාවක් වූ අතර, සාර් පාලනයෙහි ඔවුන්ට සැළකෙන ආකාරය පිළිබඳව ඔවුන්ට තිබුණේ නුරුස්නාවක් සමග වූ ලොකු කලකිරීමකි. විරෝධයකි. ග්‍රාමීය වගා ඉඩම් හිඟයට ප්‍රධාන හේතුවක් වූයේ ප්‍රභූ පැලැන්තියේ ඉඩම් හිමි “කුලාක්වරුන්” ය. ග්‍රාමීය දුප්පත්කමට ප්‍රධාන හේතුවක් වූයේ සාර් පාලනය අස්වැන්න මත බදු අය කිරීමත්, ඉඩම් කැබලිවීමෙන් අස්වැන්න අඩු වීමත් විශාල පිරිස් නිරන්තරව වගා බිම් අහිමි වීමෙන් අනාථ වීමත් ය.

ඒ පසුබිමෙහි ඔක්තෝම්බර විප්ලවයට පෙරහුරු වැනි සාර්ට එරෙහි ජනතා කැරළි ගණනාවක් 1905 සිට ඇති විය. දෙවන නිකලස් සාර් අධිරාජ්‍යයා 1905 මාර්තුවේදී ජපානය සමග වූ යුද්ධයෙන් පරාජය විය. එහි පලයක් ලෙස සමාජ අස්ථාවරත්වයක් සමග රුසියානු ආර්ථිකය දුර්වල වූයෙන් ඇති වූ ජනතා කැරළි වල වාසිය ගනු ලැබුවේ මෙන්ෂෙවික් වරුන් ය. වෙනත් ප්‍රගතිශීලී කණ්ඩායම්ද සමග දෙවන නිකලස් සාර් වෙත කෙරුණු බලපෑම් හමුවේ ඔහු “ඔක්තෝම්බර ප්‍රකාශනය” නිකුත් කර, එහි වූ ජනතා නියෝජන “ඩූමාව” පත් කිරීමට හා සිවිල් අයිතිවාසිකම් ලබා දීමට පොරොන්දු විය.

russian

අබලන් ආර්ථිකයද සාර් පාලනයට විරුද්ධව වර්ධනය වූ අප්‍රසාදය හා විරෝධයද නොතකා 1914 දී පළමු ලෝක යුද්ධයට දෙවන නිකලස් සාර් හවුල් වීම නිසා, දුප්පත් ග්‍රාමීය තරුණයින් සොල්දාදුවන් ලෙස විශාල ලෙස යුද්ධයට ගාල් කිරීම සිදු විය. එහි ප්‍රතිපලයක් ලෙස ග්‍රාමීය කෘෂිකර්මාන්තය අඩාල විය. කාන්තාවන්ට දුප්පත් ග්‍රාමීය ජීවිත ගෙන යාමේ වගකීම බාර ගැනීමට සිදු විය. සාර් රුසියාවේ වඩාත්ම කාර්මීකරණය වූ සාන්ත පීට(ර්)ස්බර්ග් යැයි නම් වූ පෙට්‍රොග්‍රෑඩ් නගරයට ගැමි තරුණියන් රැකියා සොයා ගෙන පැමිණියහ.

අතිශය දුෂ්කර තත්ත්වයන් තුල කළ රැකියා දුප්පත්කමට පිළිසරණක් නොවූයෙන් 1917 පෙබරවාරියේදී කාන්තාවන් “සාමය හා පාන්” ඉල්ලා පාරට පැමිණියහ. දෙවන තෙවන දවස වන විට, පෙට්‍රොග්‍රෑඩ් නුවරට විශාල දුගී ජනතාවක් එකතු වූහ. ලියෝන් ට්‍රොට්ස්කි සභාපතිවූ පෙට්‍රොග්‍රෑඩ් කම්කරුවන්ගේ සහ සොල්දාදුවන්ගේ සෝවියට් සභාව ඒ සමග වැඩ වර්ජනයක් කැඳවීය. ජනතා කැරැල්ලක් ලෙස වර්ධනය වූ ජනතා නැගිටීම හමුවේ දෙවන නිකලස් සාර්ගේ පාලනය 1917 පෙබරවාරියේ දී බිඳ වැටින. එය හඳුන්වනු ලබන්නේ 1917 “පෙබරවාරි විප්ලවය” ලෙසින් ය.

පෙබරවාරි විප්ලවය සමග පෙට්‍රොග්‍රෑඩ්, මොස්කව් වැනි නගරවල වර්ධනය වූ අරාජිකත්වය වළකා ගැනීමට ඩූමාවේ වූ මෙන්ෂෙවික් හා ලිබරල්වාදී ජනතා නියෝජිතයින් විසින් සෙසු ප්‍රගතිශීලීන්ද හවුල් කර ගනිමින් මාර්තුවේදී “තාවකාලික” ආණ්ඩුවක් පිහිටුවා ගත්හ. මෙන්ෂෙවිකයින්ගේ බලාපොරොත්තුව වූයේ යම් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවත්වා ගතහොත් ඔවුන්ට රාජ්‍ය බලය තහවුරු කර ගැනීමට හැකිවේයැයි කියා ය.  

 

so867ighj
ස්ථාවර පාලනයකට බ්‍රිතාන්‍ය හා ප්‍රංශය වැනි මිත්‍ර රටවල සහායද අවශ්‍යය යැයි සිතූ තාවකාලික ආණ්ඩුවේ නායකයින්ද පළමු ලෝක යුද්ධයෙහි දිගටම රැඳී සිටියහ. අර්බුද ගහණ සමාජයකට යුද්ධය විශාල බරක් වූයෙන් රටේ ආර්ථිකය එයින් තව තවත් අබලන් විය. ජනතාව ඉල්ලා සිටි “සාමය හා පාන්” දෙන්නට තාවකාලික ආණ්ඩුවට නොහැකි විය. ඒ වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය අලෙවි කරගත හැකි යැයි සිතූ ඔවුහු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට, මරණ දණ්ඩනය අහෝසි කිරීමට, පිටුවහලේ සිටි හැමට නැවත රට පැමිණීමට අවසර දීමට පියවර ගත්හ.

පිටුවහල්ව ස්විට්සර්ලන්තයේ සිටි ව්ලැදිමීර් ලෙනින් රුසියාවේ “සාමය” සඳහා ජර්මනිය හා එකඟතාවක් වෙනුවෙන් පෙනී සිටි හෙයින්, ඔහුට ජර්මනිය හරහා රුසියාවට යෑමට ජර්මන් පාලකයින් පහසුකම් ලබා දුන්හ. ඒ සැණෙන් පෙබරවාරියේ පෙට්‍රොග්‍රැඩ් වෙත පැමිණි ලෙනින් “බොල්ෂෙවික්” කණ්ඩායම් අතර සිය ආධිපත්‍ය තහවුරු කර ගත්තේ ය.

මෙහි පැහැදිලි කළ යුත්තක් ඇත. “බොල්ෂෙවික්” යැයි කියනු ලැබුවේ, රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ 1903 දී පැවැති දෙවන සම්මේලනයේදී “මධ්‍යගත” ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන ව්‍යුහයක් හැදීමේ ලෙනින්ගේ යෝජනාව සම්මත කළ “බහුතර” කණ්ඩායමට ය.  එය නායකත්වයට පක්ෂය පාලනය කර ගැනීම සඳහාවන බලය කේන්ද්‍රගත කර ගැනීමක් යැයි ඊට විරුද්ධවූ සුළුතරය “මෙන්ෂෙවික්” විය. එහෙත් 1905 රුසියානු විප්ලවයෙන් පසු මෙන්ෂෙවිකයින් බහුතරය වූ අතර, බොල්ෂෙවිකයින් සුළුතරය බවට පත් විය.

පෙබරවාරියේ නැවත පැමිණීමෙන් පසු ලෙනින් ගේ දේශපාලන පදනම වූයේ සුළුතරය බවට පත්ව සිටි බොල්ෂෙවිකයින් ය. සුළුතරයක් වූවාට පෙට්‍රොග්‍රැඩ් හා මොස්කව් නගරවල සෝවියට් සභා බලය මෙන්ෂෙවික්වරුන්ගේ තාවකාලික ආණ්ඩුවට විරුද්ධ වූයෙන් රුසියානු රාජ්‍යයේ කේන්ද්‍රීය බල මධ්‍යස්ථානවූ ඒ නගර දෙකෙහි රාජ්‍ය බලයට අභියෝග කිරීමේ ශක්තිය බොල්ෂෙවිකයින්ට තිබිණ. එය දේශපාලන සාධකයක් ලෙස වැදගත් වූයෙන් ආර්ථික අර්බුදය සමග වූ සමාජ අස්ථාවරත්වය හේතුවෙන් මෙන්ෂෙවිකයින්ගේ තාවකාලික ආණ්ඩුවට ජනතාවගේ ඉල්ලීම් ඉටු කරන්නට නොහැකි නිසා ඔවුන් ඉල්ලා අස් විය යුතු යැයි ලෙනින් යෝජනා කළේය. ඔහුගේ ස්ථාවරය බොල්ෂෙවික්වරුන් අතරද ජනප්‍රිය නොවූනි. තම මතය අත හැරීමට හැම විටම මෙන් සූදානම් නොවන ලෙනින් ඔහුගේ මතය වෙනුවෙන් දිගටම තර්ක කළේය.

leninghjh

ලෙනින් ඔහුගේ “අප්‍රේල් තීසීසය” ප්‍රකාශයට පත් කළේද ඒ වෙනුවෙන් ය. එහි ප්‍රධානම සටන් පාඨය හා තේමාව වූයේ “සියලු බලය සෝවියට් සභා වෙත” යන්න ය. එමගින් ඔහු කීවේ, සාර් ගේ ඩුමාවෙන් හදා ගත් මෙන්ෂෙවිකයින්ගේ “තාවකාලික ආණ්ඩුව” හා ඔවුන් නොවැම්බරයේදී පැවැත්වීමට සූදානම්වන කොන්ග්‍රස් නියෝජිත මණ්ඩල මැතිවරණය ගැන බොල්ෂෙවික්වරුන්ගේ කිසි බලාපොරොත්තුවක් නැති බවය. ඔහු ඒ සමග රුසියානුවන්ට “සාමය” පොරොන්දු විය. ලෝක යුද්ධයෙන් රුසියාව ඉවත් කර ගැනීමට ජර්මනිය සමග සාම ගිවිසුමකට පැමිණීම ඔහුගේ පොරොන්දුවක් විය. ඊළගට ඔවුන්ට නොතිබුණු අති බහුතරයක් ග්‍රාමිය ජනතාවගේ සහාය වෙනුවෙන් ලෙනින් ගොවීන්ට “ඉඩම්” බෙදා දෙන බවට පොරොන්දු විය. විශේෂයෙන් නාගරික සමාජයේ පැවති දැඩි ආහාර හිඟය නිමා කරමින් “පාන්” ලබ දෙන්නටද ඔහු පොරොන්දු විය.

“අප්‍රේල් තීසීසය” බොල්ෂෙවිකයින්ට සෝවියට් සභා දේශපාලනයෙහි පය ගැසීමේ වැඩි ඉඩක් ලබා දුනි. එයට ජනරාල් කෝනිලොව් ගේ අසාර්ථක අගෝස්තු හමුදා කුමන්ත්‍රණයද ලොකු හයියක් හැදුවකි. ඔහුගේ හමුදා කාණ්ඩ පෙට්‍රොග්‍රැඩ් නගරයේ බලය ගැනීමට ගමන් ගත් විට, තාවකාලික ආණ්ඩුවේ අගමැති කෙරෙන්ස්කිට ඊට මුහුණ දෙන්නට නොහැකි විය. නගරය බේරා ගන්නා මෙන් ඔහු පෙට්‍රොග්‍රැඩ් සෝවියට් සභාවට ඉල්ලීම් කළේය. තාවකාලික ආණ්ඩුවෙන් ලබා ගත් ආයුද සමග සෝවියට් සභාවේ සභාපති වූ සහ අතිශය දක්ෂ සංවිධායකයෙකු වූ ට්‍රොට්ස්කි හනි හනික සෝවියට් සභාවේ කම්කරුවන් හා සොල්දාදුවන්ගෙන් “රතු ආරක්ෂක බලකාය” සංවිධානය කළේය. අගෝස්තු අවසන් වන වට කෝනිලොව්ගේ පෙට්‍රොග්‍රෑඩ් ආක්‍රමණය පරාජය කර ඔහුව අත් අඩංගුවටද ගනු ලැබිණ. ඒ සමග සෝවියට් සභා සතු ශක්තිය සම්බන්ධ විශ්වාසය වර්ධනය විය.  

ඒ සියල්ල ලෙනින්ගේ දේශපාලන ස්ථාවරයට වාසි විය. එබැවින් ඔක්තෝම්බර 10 වන දිනට ලෙනින් විසින් බොල්ෂෙවික් නායක මණ්ඩලය කැඳවනු ලැබුවේ තාවාලික ආණ්ඩුවට එරෙහිව ජනතා කැරැල්ලක් දියත් කිරීමේ තීන්දුව ගැනීමට ය. පසු දින එළිවන තෙක් දීර්ග වාද කිරීමකින් පසු, ලෙනින්ගේ යොජනාව බහුතර ඡන්දයකින් සම්මත විය. ඒ සමග පෙට්‍රොග්‍රෑඩ් හා මොස්කව් සෝවියට් සභා විසින් කෙරෙන්ස්කිගේ තාවකාලික ආණ්ඩුව ඉවත් විය යුතුයැයි වැඩ වර්ජන තීන්දුව ප්‍රකාශයට පත් කළේය. විප්ලවවාදී සමාජවාදී පක්ෂයේ “සමාජ ප්‍රජාතන්ත්‍රවාදී” ප්‍රවනතාවෙහි ප්‍රධානියාවූ ඇලෙක්සැන්ඩ කෙරෙන්ස්කි 1917 ජූලි මාසය වනවිට තාවකාලික ආණ්ඩුවේ යුධ ඇමති හා අගමැති විය. ඔහු විරුද්ධවාදීන් දඩයම් කරන අතර, ඔහුගේ තාවකාලික ආණ්ඩුවට එරෙහි ජනතා කැරැල්ල “සාමය, ඉඩම් හා පාන්” ඉල්ලා සිටියේය.

Petrograd protest 1917

නගරවල කම්කරුවන්ට අමතරව ග්‍රාමීය නැරොඩ්නික්වාදී කැරැළිකරුවන්ද පෙට්‍රොග්‍රෑඩ් හා මොස්ව්කව් නගරයේ ආරක්ෂාවට රඳවා සිටි තාවකාලික ආණ්ඩුවේ හමුදා කණ්ඩායම්ද විරෝධයට හවුල් වූහ. ඊට අමතරව, ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් පිහිටුවා තිබූ බොල්ෂෙවික් “විප්ලවීය හමුදා කමිටුව” විසින් පෙට්‍රොග්‍රෑඩ් හමුදා බලකායත් කොන්ස්ට්‍රාඩ් නාවික බල ඇණියත් කැරැල්ලට හවුල්කර ගත්තේය. ඒ හයිය මත මොස්ව්කව් හා පෙට්‍රොග්‍රැඩ් නගර බොල්ෂෙවික් කැරළිකරුවන්ගේ ආධිපත්‍යයට යටත්වූ පසු ලෙනින් ප්‍රධාන වූ බොල්ෂෙවික් නායකත්වය පෙට්‍රොග්‍රැඩ්හි ඓතිහාසික මන්දිරයක් වූ “ස්මෝල්නි මන්දිරය” තම මූලස්ථානය කර ගත්හ. කෙරෙන්ස්කි රටින් පලා ගියද, “සීත මාළිගාව” (Winter Palace) තාවකාලික ආණ්ඩුවෙහි මධ්‍යස්ථානය ලෙස පැවතින.

මේ දෙපොළෙහි ගොඩනැගුණු ද්විත්ව බලය දෙසතියකට වැඩි කාලයක් රසියානු රාජ්‍ය බලය පිළිබඳව වූ අවිනිශ්චිතයක් ඉතිරි කෙරුවකි. ඔක්තෝම්බර 26 වන දින රුසියානු රාජ්‍ය නායකයා ලෙස ලෙනින් යුද්ධය අවසන් කරමින්, සියලු පෞද්ගලික ඉඩම් රාජ්‍ය සන්තකයට ගනිමින් හා කර්මාන්ත ශාලා පාලනය කම්කරුවන්ට පැවරීමට පොරොන්දු වෙමින් කළ ප්‍රසිද්ධ ප්‍රකාශය සමග රුසියාව බොල්ෂෙවික් බලයට නතු වූයේ බොල්ෂෙවික් හිතවාදී හමුදා කාණ්ඩයක් කලින් දිනයේදී “සීත මාළිගාව” අල්ලා ගැනීමේ සහ තාවකාලික ආණ්ඩුවේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ පසුබිමෙහි ය. (රුසියන් විප්ලවයේ අවසන් දස දින පිළිබඳව ජෝන් රීඩ් ගේ “ලොව හෙල්ලූ දස දවස” කෘතිය කියවන්න). ඒ සමග ප්‍රකාශයට පත් කෙරුණු විප්ලවවාදී කම්කරු-ගොවි ආණ්ඩුව, සභාග ආණ්ඩුවක් විය. එයට සාර් රුසියාවේ ග්‍රාමීය පදනමක් තිබූ විශාලම දේශපාලන පක්ෂය වූ විප්ලවීය සමාජවාදීන්ද හවුල් විය.

මෙන්ෂෙවික් පාලනයට නතුව පැවති රුසියානු සාර් පාලනයේ වූ රාජ්‍ය යාන්ත්‍රණයෙන් බොල්ෂෙවිකයින්ට අයත් වූයේ පෙට්‍රොග්‍රෑඩ් හා මොස්කව් නගරත් සෝවියට් සභා පිහිටුවා තිබූ තවත් නාගරික ප්‍රදේශ කිහිපයක් පමණි. එබැවින් මෙන්ෂෙවික් තාවකාලික ආණ්ඩුව නොවැම්බරයට තීන්දුකර තිබූ කොන්ග්‍රස් නියෝජිත මණ්ඩල මැතිවරණය 25 වන දින පැවැත්වින. එහි මන්ත්‍රී ආසන 767 කින් බොල්ෂෙවිකයින් දිනා ගත්තේ ආසන 187 ක් පමණි. වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගත්තේ වික්ට ච(ර්)නොව් ගේ විප්ලවීය සමාජවාදී පක්ෂය විසින් ය. ඔවුන්ට ආසන 324 ක් ලැබිණ. රටේ බහුතර සහාය බොල්ෂෙවිකයින්ට නොමැති බවද ඒ මැතිවරණයෙන් පත්වන කොන්ග්‍රස් නියෝජිත මණ්ඩල ආණ්ඩුවක් පිහිටුවීම බොල්ෂෙවික් පාලනයට විශාල අභියෝගයක් වන බවද ඉන් පැහැදිලිව ඔප්පු වූ හෙයින් බොල්ෂෙවික් කොමිසාර්වරුන්ගේ පාලන සභාව විසින් මැතිවරණයෙන් පත් වූ කොන්ග්‍රස් නියෝජිත මණ්ඩලය තහනම්කර විසුරුවා හරිනු ලැබිණ.  

Presidium of the 9th Congress of the Russian Communist Party Bolsheviks

 

රුසියානු ආණ්ඩුවක් පිහිටුවීමට තරම් බලයක් බොල්ෂෙවික් කොමිසාර්වරුන්ගේ පාලන සභාවට නොවුනු බව තව දුරටත් ප්‍රදර්ශනය කෙරුණේ මෙන්ෂෙවිකයින්ගේ තාවකාලික ආණ්ඩුවට සහ සාර් හිතවාදීන්ට බොහෝ ප්‍රදේශවල බොල්ෂෙවික් බලයට විරුද්ධ “සුදු හමුදා” සංවිධානය කිරීමට හැකි වූයෙනි. “සුදු හමුදා” විසින් දියත් කළ සිවිල් යුද්ධයට හසුව සිටියදී බොල්ෂෙවික් නායකත්වය 1918 මාර්තුවේදී බෙලාරුස්හි “බ්‍රෙස්ට්-ලිටොව්ස්ක්” නගරයේදී ලෝක යුද්ධයෙන් ගැලවීමට ජර්මනිය සමග අත්සන් කළ ගිවිසුමෙන් බරපතල අසීරුවකට හසු විය. ඔවුන්ට කෘෂිකාර්මික හා ස්වභාවික සම්පත් අතින් පොහොසත් විශාල පලදායි භූමි ප්‍රදේශ අත් හරින්නට සිදු විය. ඒ බිම් ප්‍රමාණය සාර් අධිරාජ්‍යයේ දේශ සීමා තුල වූ සියයට 30 ක පමණ බිම් ප්‍රමාණයක් විය. අනෙක, යුද්ධයෙන් ඉවත්වීමත් සමග යුද්ධයෙන් හෙම්බත්ව සිටි දස දහස් ගණනක් සොල්දාදුවන් නැවත රුසියානු ගම් බිම් වෙත පැමිණීමෙන් ග්‍රාමීය සමාජයේ රැකියා හා ආහාර හිඟය තව තවත් උග්‍ර විය.

ඉන් මෝදු වූ සමාජ නොසන්සුන්තාව හා විරෝධය සුදු හමුදාවට වාසි විය. 2019 වන විට “සුදු හමුදා” වලට මේ විරෝධතා සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය කර ගැනීමට හයියක් විය. සුදු හමුදා කාණ්ඩ වරෙක පෙට්‍රොග්‍රැඩ් නුවරද වට කළහ. බොල්ෂෙවික් “රතු හමුදාව” හැදෙන්නේ මේ සිවිල් යුද්ධය ජය ගැනීමට ය. එය ට්‍රොට්ස්කිට බාර කෙරුණකි. ඔහු කියන අයුරු, පක්ෂ ක්‍රියාකාරීන් පුහුණු කෙරෙන්නේ “සාමය” වෙනුවෙන් දේශපාලනය කිරීමට වූවත් යුධ හමුදාවක් හදා පුහුණු කෙරෙන්නේ ඕනෑම වට පිටාවක තවකෙකු ඝාතනය කිරීමට ඉක්මන්වන හා මිය යන්නට සූදානම්, සන්නද්ධ තරුණ සංවිධානයක් ලෙසය.

my life
ලියෝන් ට්‍රොට්ස්කිට අනුව ධනේශ්වර රාජ්‍යයන්හි පවතින හමුදා නඩත්තු කෙරෙන්නේ, සන්නද්ධ හමුදාකරණය සාධාරණය කිරීමේ දේශපාලන ආවරණයක් වශයෙනි. “අපගේ ප්‍රශ්නය වුනේ පැවති හමුදා කාණ්ඩ මුළුමනින් පිසදා ඉවත් කිරීමයි. ඒ සමග, ඒ වෙනුවට, යුද්ධයක් මැද අලුත් හමුදාවක් හැදීමයි. ඒ සඳහා කිසිම පොතක සැළසුම් නැහැ.” ඔහු “My Life” නම් ස්වයං චරිතාපදානයෙහි ලියා ඇත. සුදු හමුදා විසින් සිම්බ(ර්)ස්ක් නුවර අල්ලා ගත් පසු, බොල්ෂෙවික් පාලනය බරපතල තර්ජනයකට මුහුණ දුන් වොල්ගා ප්‍රාන්තයට යෑමට ට්‍රොට්ස්කිට සිදු විය. ඒ සඳහා ඔහු දුම්රියක් සූදානම් කර ගත්තේ ය. “මම මොස්කව් වලින් පිටත් වූනේ අගෝස්තු හත් වන දා. කලින් දවසේ කසාන් නගරය සුදු හමුදා අතට පත්වුනා කියලා මම දැනගෙන හිටියේ නැහැ. ඒ වගේම මට අවුරුදු දෙක හමාරක් යුද්ධයත් සමග මේ කෝච්චියේ ජීවත් වෙන්න සිදුවෙයි කියලත් මං හිතුවෙ නැහැ.” (එම කෘතියෙන්) එහි තිබූ අති බරපතලම දේශපාලන පරිවර්තනය නම්, 1922 දී සිවිල් යුද්ධය අවසන් වූ පසුවත් ඉතාම සංවිධිත, දැවැන්ත රතු හමුදාව බොල්ෂෙවික් පක්ෂයේ බලය වෙනුවෙන් මර්දන යාන්ත්‍රණයක් ලෙස තහවුරු වීම ය.  

පළමු ජයග්‍රාහී “කම්කරු විප්ලවය” ලෙසින් මේ ඔක්තොම්බර විප්ලවය ගැන කතා කෙරෙද්දී, එහි මූලික හා ප්‍රධාන ලක්ෂණ සම්පිණ්ඩනය කළහොත්,

1. එය විශාල වශයෙන් සන්නද්ධ හමුදා සහභාගි වූ නගරබද ජනතා කැරැල්ලකි

2. එහි කම්කරු සහභාගිත්වය ඉතාම අල්ප ය. කම්කරු නියෝජනය සනාථ කෙරෙන්නේ බොල්ෂෙවික් දේශපාලනයේ ආධිපත්‍ය මතින් ය.

3. බොල්ෂෙවික් බලය පවත්වා ගනු ලබන්නේ රතු හමුදාවේ මර්දනය සමග ය.
 

ඒ විස්තර ඉදිරිපත් කෙරුවේ, මාක්ස්වාදී සාහිත්‍යයෙහි සඳහන් වන “කම්කරු රාජ්‍ය” එය නොවේ යැයි කීමට ය. කාල් මාක්ස්ගේ ලිය කියවිලි වල කතා කෙරෙන්නේ දියුණු ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් උපරිම සංවර්ධනයක් අත් පත් කර ගැනීමත් සමග ස්ථාපිත වන සංවිඥාණික සමාජය විසින් මානව ඉතිහාසයෙහි පළමු වරට ඊළග සමාජය, දැනුවත්ව දියත් කෙරෙන සමාජ පෙරැළියකින් තීන්දු කරන බව ය. එහි පුරෝගාමී වගකීම දියුණු, බලසම්පන්න කම්කරු පංති රාජ්‍යයක මූලිකත්වයෙන් ඉටු කෙරෙන්නේ යැයි කියා ය. එවැනි දියුණු ධනේශවරයකින් තොරව, කම්කරු පංතික විප්ලවයක් ඇති විය නොහැකි බැව් කාල් මාක්ස්ගේ න්‍යායික තීන්දුව විය. ඔහු එංගලන්තය, ප්‍රංශය හෝ ජර්මනිය කම්කරු විප්ලවයක් දක්වා වර්ධනය විය හැකි රටවල් ලෙස පුරෝකතනය කෙරුවේ, යුරෝපයේ එවැනි ධනේශ්වර වර්ධනයක් ලැබූ වෙනත් රටවල් නොවූයෙනි. මනෝරාජික සංකල්පයක් ලෙස තවමත් පවතින “සමාජවාදී” දේශයක් (රාජ්‍යයක් නොවේ) යැයි හඳුන්වන පශ්චාත් ධනේශ්වර සමාජයෙහි මූලික ලක්ෂණ 03 කි.


1. එය නිදහස් ව්‍යවසායකයින්ගේ හවුලක් වන්නේය.

2. ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ව්‍යුහ සමගින් රාජ්‍ය වගකීම් බාර ගනු ලබන්නේ ය.

3. රාජ්‍ය ක්‍රමානුකූලව වියැකී යාමේ දියුණු ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් තහවුරු කෙරෙන්නේ ය.


ධනේශ්වරයේ උපරිම වර්ධනයක යෝධ සංවිධිත කාර්මික කම්කරු පංතියක් වර්ධනය වන්නේය. එබැවින් උපරිම ධනේශවර වර්ධනයේ කෙළවර, ඊළග සමාජය නිර්මාණය කිරීමේ වගකීම ඓතිහාසිකව කම්කරු පංතියට පැවරෙන්නකි. දෙවැන්න, දියුණු ධනේශ්වර වර්ධනයක ප්‍රජාතන්ත්‍රවාදය, අයිතිවාසිකම්, සමාජ සුභසාධනය, තාක්ෂණය, වෘත්තීන්, රාජ්‍ය පරිපාලනය, සමාජ විනය, ආචාර් ධර්ම වැනි සියල්ලද ඉතා කාර්යක්ෂමව හා සංවිධානාත්මකව නඩත්තු වන ජන සම්මතයන් හා සම්ප්‍රදායන් සමාජගත වන්නේ ය. එනිසා ඒ සඳහා නීති අවශ්‍ය වන්නේ නැත. එවගේම දියුණු මානව සම්පත් හා බුද්ධි වර්ධනය කම්කරු පංතියේ දායකත්වය ඇතිව සිදුවන්නකි.

marx
මාක්ස් කියන්නාවූ එවැනි ධනේශ්වර වර්ධනයක් රුසියාවේ තබා වෙනත් කොහේවත් රජ පෙළපතක් යටතේ ඇති වන්නේ නැත. එබැවින් ලෙනින් දිගින් දිගටම පෙනී සිටි සහ ට්‍රොට්ස්කි පිළිගත් කම්කරු රාජ්‍යයක් පිහිටුවීම සඳහා අවශ්‍ය ශක්තිමත් සංවිධානාත්මක කම්කරු පංතියක් සාර් රුසියාවේ නොතිබිණ. 1905 විප්ලවයට අවුරුදු 08 ට පෙර 1897 දී යූරල් කඳුවැටියට බටහිරින් යූරෝ රුසියාවේ මිලියන 93 ක ජනගහනයෙන් සියයට 84 ක් ගැමියන් යැයි නිල ජන සංගණනය දක්වන්නකි.

පෘථිවියෙන් හයෙන් පංගුවක් යැයි සැළකුණ සාර් රුසියාවේ පෙට්‍රොග්‍රැඩ්, මොස්කව්, ගල් අඟුරු සඳහා ඩොනබාස්, යකඩ සඳහා යෙකාටෙරිංබ(ර්)ග් සහ ඛනිජ තෙල් සඳහා බාකු වැනි මහ නගර අතළොස්සක් හැරුණු විට, සමස්ථ රුසියාවම සමාජ සංවිධාන වශයෙන් හා මතවාදීව වැඩවසම් සමාජයක් වූවකි. රුසියාව පුරා තාවකාලික ආණ්ඩුවට එරෙහිව කැරළි ගැසුවේ හෙම්බත්ව පැමිණි ග්‍රාමීය තරුණ සොල්දාදුවන් හා ගමෙන් නගරයට සංක්‍රමණය වූ අසංවිධානාත්මක අවිධිමත් ක්ෂේත්‍රයේ වූ ගැමියන් ය. කම්කරු දායකත්වය තිබූයේ පෙට්‍රොග්‍රැඩ්, මොස්කව් හා සෝවියට් සභා පැවති තවත් නගර කිහිපයක පමණි.

බොල්ෂෙවිකයින් 1917 ඔක්තෝම්බරයේ බලය ගැනීමේ සිට සිවිල් යුද්ධය හරහා බලහත්කාර මධ්‍යගත පාලනයක් වෙනුවෙන් මර්දනකාරී රාජ්‍යයක් හැදීමට ලෙනින්ගේ නායකත්වයේ සිට එකින් එක පියවර ගැනීමට සිදු වූයේ බලය ගැනීමට දියුණු ශක්තිමත් කම්කරු පංතියක් නොසිටියෙනි. එනිසා ඔක්තෝම්බර විප්ලවය කියවීමේදී ලෙනින්ගේ වැදගත්කම ඇත්තේ ධනේශ්වර විරෝධී, කම්කරු විප්ලවයකින් දේශපාලන බලය ගැනීමෙහි නොවේ. එසේ නොවන්නේ යැයි වූ මාක්ස්ගේ න්‍යායික පුරෝකතනය නිවැරදි යැයි ප්‍රායෝගිකව සනාථ කිරීමෙහිය. නොදියුණු ධනේශ්වර සමාජයක කම්කරු පංති විප්ලව යනු බලහත්කාර දූෂිත රාජ්‍ය පිහිටුවීමේ ග්‍රාමිය කැරළි යැයි ඔප්පු කිරීමෙහි ය.


Kusal 28(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2025 ඔක්තෝම්බරයේදී

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...